ඉදිරිදර්ශන

II වන එලිසබෙත්ට ප්‍රශස්ති ගැයීම: ධනේශ්වර පන්තිය රාජාන්ඩුවේ මූලධර්මය සමරයි

[මෙය The adulation for Elizabeth II: The capitalist class celebrates the principle of monarchy මැයෙන් 2022 සැප්තැම්බර් 16 පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

දෙවන එලිසබෙත් රැජින වයස අවුරුදු 96 දී අභාවප්‍රාප්ත වී සතියකට වැඩි කාලයක් ගත වී ඇතත්, ඇයගේ මරනය සම්බන්ධ පුවත් තවමත් යම් ආකාරයක ලෝක සිදුවීමක් ලෙස මාධ්‍ය වාර්තා තුල ආධිපත්‍ය දරයි.

සවස් ප්‍රවෘත්ති තම ගුවන් කාලයෙන් වැඩි ප්‍රමානයක් වෙන් කර ඇත්තේ අවසන් ගෞරව සඳහා තබා ඇති රාජකීය දේහය සම්බන්ධ නාටකාකාර වැල්වටාරම් සඳහායි. මෝර්නිං ටෝක් ෂෝ වැඩසටහන් දෙ වැනි එලිසබෙත් කාන්තාවන්ට ආදර්ශයක්, බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සුක්කානම දැරූ දෘඪ හස්තය සහ නිර්දය ලෝකයේ වීනිත බවේත් ශිෂ්ඨ සම්පන්න බවේත් සංකේතයක් ලෙස හුවා දැක්වෙන ප්‍රශස්ති ගායනාවන්ගෙන් ද, නැති වැදගැම්මක් මවා පාන චරිත කතනයන්ගෙන් ද පිරී ගොස් ය.

එලිසබෙත් රැජිනගේ මිනී පෙට්ටිය රැගත් අවමංගල්‍ය රථය එඩින්බරෝ හි ශාන්ත ගයිල්ස් ආසන දෙව්මැදුරේ සිට එඩින්බරෝ ගුවන් තොටුපලට යන විට මිනිස්සු බලා සිටිති. සැප්තැම්බර් 13, 2022. [AP Photo/Petr Josek]

ප්‍රශංසාව ඇයි? එලිසබෙත්ගේ එකම දායකත්වය වූයේ මෙතරම් කාලයක් ජීවත් වීමයි. ඇය ලෝක ඓතිහාසික චරිතයක් නොවී ය; ඇයට අඩු ඓතිහාසික වැදගත්කමක් ඇති කිසිවෙකු ගැන සිතීම දුෂ්කර ය. උපන් අහම්බෙන් ගනන් කල නොහැකි ධනයක් උරුම කර ගත් ඇය ශතවර්ෂයකට ආසන්න කාලයක් ජීවත් වූ නමුත් එම ශතවර්ෂයේ සැබවින් ම අඩංගු වූ සෑම දෙයකින් ම ආරක්ෂාව ලැබුවා ය.

තේම්ස් ගංගාවේ දකුනු ඉවුර දිගේ නිර්මානය වී ඇති රාජකීය දේහය නැරඹීමට සැතපුම් පහක් දිග පෝලිම ගැන සිත් කරදර කර ගත යුතු දෙයක් තිබේ. ඇස්තමේන්තු කර ඇති පරිදි මිලියනයකින් හතරෙන් තුනක ජනතාවක් ඇගේ දේහය පසුකර යාමට පැය 22ක් බලා සිටිනු ඇත. කිසි දිනෙක කිසිවෙකුගේ ජීවිතයට කිසිදු දෙයක් දායක නොකල මෙම ගැහැනියගේ මරනය අර්ථවත් ජීවිතයක් ලෙස හඳුනා ගැනීම පසුගිය දශක කීපය තුල සමාජ ජීවිතයේ පොදු හිස් බවත් ගැඹුරක් නැති කමත් ගෙන හැර පාන්නකි. ඇගේ මෘත දේහය බැලීමට බලා සිටින අය ඉන් තමන් ඉතිහාසය ඉදිරියට පමුනුවනවා යැයි සිතනවා විය හැකියි, නමුත් අවසානයේ ඔවුන්ට හමු වනු ඇත්තේ අතීතය පමනි.

ඇගේ ජීවිතය මෙන්ම, ඇගේ මරනය වටා ඇති සමස්ත දර්ශනය - බැල්මොරල් සිට වෙස්ට්මිනිස්ටර් හි පිරිමි ලමයින්ගේ ගායන කන්ඩායමේ ආශිර්වාද කිරීම දක්වා වූ විචිරවත් ‍ඝෝෂාකාරි නික්ම යාමේ සිට - යථාර්ථවාදී නොවේ. යථාර්ථය දුෂ්කර හා අර්බුදවලින් ගැබ්ගෙන ඇත. බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය දැවැන්ත මිල ඉහල යාමකට මුහුන දෙයි; බලශක්ති පිරිවැය දස ගුනයකින් වැඩි වී ඇත. මෙම ශීත ඍතුවේ දී ජනගහනයෙන් අඩකට තම නිවෙස් ප්‍රමානවත් ලෙස උනුසුම් කිරීමට නොහැකි වනු ඇත.

මෙම අයථාවත් සැමරුම් කෘශ, කුදු ගැසුනු නාකි ගැහැනියගේ මරනය සම්බන්ධයෙන් නොවේ; ඒවා ඇය වසා සිටි රාජකීය සංස්ථාපිතය සහ ඇය විසින් පුද්ගලාරෝපිත රාජන්ඩුවේ මූලධර්මය ඔජ වැඩීමටයි.

ධනේශ්වර පංතිය බොහෝ කලකට පෙර තම රිපබ්ලිකානු මුතුන් මිත්තන්ගේ අවතාර වල දැමුවේය. පෙර නොවූ විරූ විශාලත්වයකින් යුත් සමාජ හා දේශපාලන අර්බුදවලට මුහුන දෙමින්, ඔවුන් තම වරප්‍රසාද ආරක්ෂා කිරීමේ බලකොටු ලෙස අත්තනෝමතිකත්වය සහ අධිකාරීවාදය වෙත හැරෙන අතර රාජාන්ඩුව තුල ඔවුන්ගේ පන්ති අභිලාෂයන්හි ආයතනික ස්වරූපයක් හඳුනා ගනී.

රාජාන්ඩුව යනු දැවැන්ත මෝඩකමේ ආයතනයක් වන අතර වැඩවසම් අතීතයේ ම්ලේච්ඡ අවශේෂයකි; එහි නොනැසී පැවතීම මනුෂ්‍යත්වයට ලැජ්ජාවකි. පරම්පරාගතභාවය මත පදනම් වූ, අභිජනනය, අන්තර් විවාහ සහ දිව්‍ය අයිතියට හිමිකම් කියන, රාජාන්ඩු මූලධර්මය අසමානතාවය මනුෂ්‍යත්වයේ මූලික හා වෙනස් කල නොහැකි මූලිකාංගය ලෙස සලකන අතර අත්තනෝමතික බලයෙන් මෙම මූලිකාංගය පවත්වාගෙන යයි.

මෙම මූලධර්මය මගින් සිංහාසනාරූඪ වූ රජවරුන් සහ රාජිනයන් හිමොෆිලියා සහ හැබ්ස්බර්ග් හකු වලට වැඩි රෝගයකින් පෙලුනෝ වෙති. ඔවුන්ගේ සමාජ ක්‍රියාකාරිත්වයේ වඩාත් වැදගත් අංගය වන්නේ ඔවුන්ගේ පරම්පරාගත වඩාත් සංකේන්ද්‍රිත ප්‍රතිගාමීත්වයයි. දෙවන එලිසබෙත් සාර් රොමානොව්වරුන්ගේ ඥාති සහෝදරියකි. ඇගේ නාසි-අනුකම්පික මාමා වන VIII එඩ්වඩ් රජු 1936 දී රජකම අතහැර දමා ඇඩොල්ෆ් හිට්ලර්ට ආචාර කිරීමට ඔහුගේ නාසි-හිතකාමී බිරිඳ සමඟ ජර්මනියට ගියේ ය.

රාජකීය පවුල කැලැල් වී ඇත්තේ උපයා නොගත් ධනස්කන්ධයකටත් ඇති තරම් විවේක කාලයකටත් උරුමකම් කියන අය අතර දැකිය හැකි ආකාරයේ සෝලීන්වලිනි. ඇගේ පුත් ඇන්ඩෲ කුමරු, අත්තනෝමතික පාලන තන්ත්‍රයන්ට ආයුධ විකුනා ඇති අතර ජෙෆ්‍රි එප්ස්ටයින් සමඟ බාල වයස්කාර දැරියන් ලිංගික ජාවාරම් කිරීමේ භූමිකාව වසන් කිරීම සඳහා පවුම් මිලියන 12 ක් ගෙවා ඇත. ඇගේ මුනුබුරා වන හැරී කුමරු සම්පූර්න නාසි නිල ඇඳුමින් සැරසී සිට ඇත.

ඇමරිකානු නිදහස් ප්‍රකාශනය රාජාන්ඩු මූලධර්මයට පටහැනිව ප්‍රකාශ කලේ “අපි මෙම සත්‍යයන් ස්වයං-ප්‍රත්‍යක්ෂයන් ලෙස සලකමු: සියලු මිනිසුන් එක හා සමාන ව නිර්මානය කර ඇති ඔවුන්ගේ මැවුම්කරු විසින් ඔවුන්ට ලබා දී ඇති නිශ්චිත අහිමි කල නොහැකි අයිතිවාසිකම් වේ. මේවා අතර ජීවිතය, නිදහස සහ සතුට සොයා යාම වෙයි.” යනුවෙනි.

මෙම සංකල්පය ඇමරිකානු විප්ලවයට ගාමකය සපයන ලදී. ඉතිහාසඥ ගෝර්ඩන් වුඩ් “සමස්ත විප්ලවවාදී යුගයේ වඩාත්ම ගිනි අවුලුවන සහ ජනප්‍රිය පත්‍රිකාව” ලෙස හැඳින්වූ තෝමස් පේන්ගේ කොමන් සෙන්ස් නම් පත්‍රිකාව, III වන ජෝර්ජ් රජුට පමනක් නොව රාජාන්ඩුවේ පැවැත්මට ම සෘජු ව ම පහර දෙමින් මෙසේ ලිවී ය:

එංගලන්තයේ රජෙකුට යුද්ධ කර ප්‍රදේශ අහිමි කර ගැනීම මිස වැඩි දෙයක් ඇත්තේ නැත; සරලව කිවහොත්, ජාතිය දුප්පත් කර එය එය තුල භේදයන් අවුලුවාලීමයි. මිනිසෙකුට වසරකට ස්ටර්ලිං ලක්ෂ අටක් ද ඊට අමතර ව ගරු බුහුමන් ද මෙ වැනි අධම වැඩකට ලබා දීම! මෙතෙක් ජීවත් වූ සියලුම ඔටුන්න හිමි තක්කඩි දාමරිකයන්ට වඩා සමාජය සහ දෙවියන් වහන්සේ ඉදිරියෙහි එක් අවංක මිනිසෙක් වටී.

එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I ලේඛනයේ, 9 වැනි කොටස, 8 වැනි වගන්තිය නව ජාතිය සඳහා මෙම මූලධර්මය සංග්‍රහ කරන ලදී: “එක්සත් ජනපදය විසින් වංශවත් තනතුරක් ලබා නොදේ.”

සූරාකෑම හා අසමානතාවය මත පදනම් වූ අතිමහත් සංකේන්ද්‍රිත පුද්ගලික ධනය සහ අධිරාජ්‍යයේ නිමක් නැති ව්‍යාප්තිය, ඇමරිකානු පාලක ප්‍රභූව තුල එවැනි ප්‍රජාතන්ත්‍රවාදී හැඟීම්වල සෑම ලකුනක් ම ඉවත් කර ඇත. “වහල්කමේ පහසු වියගහට පෙර දුෂ්කර නිදහස” යන මිල්ටන් කවියාගේ වාක්‍ය ඛන්ඩය ඔවුන්ට තව දුරටත් රුස්සන්නේ නැත. ඔවුහු අත්තනෝමතික පාලනය හරහා තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන අතර රාජාන්ඩුවේ මූලධර්මය සාදරයෙන් පිලිගනිති.

ජනාධිපති බිඩෙන්ගේ නියෝගය මත, මියගිය රැජින වෙනුවෙන් එක්සත් ජනපද ධජ දින 12 කට අඩ කුඹු කර තබා ඇත. II වන එලිසබෙත් පරම්පරාවෙන් III ජෝර්ජ් ගෙන් වෙන් වේ; බිඩෙන් ජෙෆර්සන්ගෙන් (ඇමරිකානු විප්ලවයේ ස්වාධීනතා ප්‍රකාශයේ කර්තෘ-පරි.) වෙන් වන්නේ පෑහිය නොහැකි ඓතිහාසික අගාධයකින්‍ ය.

අධිරාජ්‍යයේ සාරය ආඥාදායකත්වයයි; එය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සමග පෑහෙන්නේ නැත. වොෂින්ටනය යුද්ධ දියත් කරයි; තන්ත්‍ර මාරු කුමන්ත්‍රන කරයි; මිනිස් ජීවිතය ගැන කිසිදු තැකීමක් නොකර හෝ ඇමරිකානු ජනතාවගේ මතය නොසලකා කුඩා රටවල් ගල් යුගයට ඇද දමමින් එම රටවල් මතට බෝම්බ දමයි. ධනවාදය එහි කේන්ද්‍රය වන එක්සත් ජනපදය ද ඇතුලු ව ලොව පුරා පෙර නොවූ විරූ මට්ටමේ අසමානතාවයන් සහ සමාජ දුක්ඛිත තත්වයන් නිර්මානය කර ඇත. අධිරාජ්‍යවාදය යනු ලෙනින්ගේ වචන වලින් කිවහොත්, “හැම අතින් ම ප්‍රතිගාමීත්වය” යි. ප්‍රජාතන්ත්‍රවාදයේ මවාපෑම් පවා තවදුරටත් තබා ගත නොහැක.

සමාජ හා දේශපාලන අර්බුදය තියුනු වී මාරාන්තික බවට පත් වී ඇති හෙයින්, පසුගිය වසර හය තුල ලොව පුරා පාලක ප්‍රභූව අතර විවෘත ව ඒකාධිපති හා ආඥාදායක පාලන ආකාර වෙත හැරීමක් අපි දුටුවෙමු. මියගිය රැජින සහ ඇය පැලඳ සිටි ඔටුන්න පිලිබඳ ඇමරිකානු මාධ්‍යවල අසීමිත ප්‍රශංසාවට හේතු ව ඇත්තේ මෙයයි. පෙර නොවූ විරූ දේශපාලන අර්බුදයක් එක්සත් ජනපදය අලලා ගනී. ගැටුමට ඉහලින් සිටින අත්තනෝමතික රාජ්‍ය නායකයෙකු සහිත රාජාන්ඩු ක්‍රමයක් පිලිබඳ අදහස, ගැටුමට මැදි ව සිටින ධනේශ්වරයට ආකර්ශනීය වී ඇත.

මාධ්‍ය ධනේශ්වරයේ මෙම ආශාවන්ට හඬක් ලබා දී මහජන පරිභෝජනය උදෙසා පිලිගන්වයි. 20 වැනි ශතවර්ෂයේ ආරම්භයේ දී අධිරාජ්‍යවාදය ගැන ජේඒ හොබ්සන්ගේ වාක්‍ය ඛන්ඩය උපුටා දැක් විම යෝග්‍ය ය: “නින්දිත යටහත් පහත්කම, ධනය හා තරාතිරම අගය කිරිම, වැඩවසම්වාදයේ අසමානතාවයේ දූෂිත පැවැත්ම”. රූපවාහිනී ප්‍රවෘත්තිවල රාජකීයත්වයට යටහත් පහත් ගැත්තන් මෙන් කතා කරන ප්‍රධානීන් මෙම ගති ලක්ෂන වගා කරයි. බොහෝ විට අනන්‍යතා දේශපාලනයෙන් ප්‍රගතිශීලී ලෙස සැරසී සිටින රාජාන්ඩු මූලධර්මය වකන්ඩා සිට බියොන්සේ සිට ඩවුන්ටන් ඇබේ දක්වා සෑම තැනකම උත්කර්ෂයට නංවා ඇත.

මිය ගිය රැජින වෙනුවෙන් කරන නිර්දය ප්‍රශංසාව මනස හිරිවට්ටන සුලු ය. මුග්ධත්වයේ කුනාටුවට මුහුන දීමට බිමට පහත් වීමට පොලඹවයි. කෙසේ වෙතත්, එය බරපතල ලෙස සැලකිය යුත්තේ එය අනතුරු ඇඟවීමක් වන නිසාවෙනි.

ධනවාදයට මානව සංවර්ධනයේ කිසිදු ප්‍රගතිශීලී භූමිකාවක් ඉටු කල නොහැකි නමුත් එහි ඕජස් ගලන ආන්තික කුනුවීම සියලු ආකාරයේ ප්‍රතිගාමීත්වයන් ජනනය කිරීමට සමත් ය. තම සමාජ තත්ත්වය සුරක්ෂිත කර ගැනීම සඳහා මංමුලා සහගත ලෙස බලා සිටින ධනේශ්වරය අත්තනෝමතික පාලන ආකාර වෙත හැරෙමින් සිටී. මේ සඳහා සේවය ලබා ගැනීමට, ඔවුහු ඉතිහාසයේ වඩාත්ම පසුගාමී සංකල්පයක් වන රාජාන්ඩුවේ මූලධර්මය පුනරුත්ථාපනය කරති.

Loading