අත්‍යවශ්‍ය සේවා නීති ප්‍රතික්ෂේප කරමින් ඛනිජ තෙල් කම්කරුවෝ පුද්ගලීකරනයට එරෙහි ව වැඩ වර්ජනය කරති

[මෙය Sri Lankan petroleum workers strike against privatisation, defying essential services laws මැයෙන් 2022 ඔක්තෝබර් 19 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

විෂඝෝර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ දඬුවම් කරන බවට ආන්ඩුව කල තර්ජන නොතකා, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සීපීසී) කම්කරුවෝ පුද්ගලීකරනයට එරෙහි ව අඟහරුවාදා වැඩ වර්ජනය කලහ.

තාක්ෂනික කම්කරුවන්, ලිපිකරුවන්, විධායක නිලධාරීන් හා ඉංජිනේරුවන් ඇතුලු විවිධ මට්ටම්වල කම්කරුවන් 4,000ක් පමන මෙම කාර්මික ක්‍රියාවට සහභාගි වූ හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කොලොන්නාව බෙදා හැරීමේ මධ්‍යස්ථානය, මුතුරාජවෙල ගබඩා සංකීර්නය සහ සපුගස්කන්ද පිරිපහදු මධ්‍යස්ථානය ඇතුලු සියලු කම්හල්වල වැඩකටයුතු ඇන හිටවිනි. අගනුවර පාර්ලිමේන්තු වටරවුම අසල දී, කම්කරුවෝ සිය ගනනක් විරෝධතාවේ යෙදුනෝ ය.

2022 අගෝස්තු 22 දින කොලඹ දී ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ විරෝධතා පාගමන [ඡායාරූපය: ලෝසවෙඅ]

එහෙත් ආන්ඩුවේ තර්ජනයන්ට හිස නැමූ වෘත්තීය සමිති දහවල් වන විට කාර්මික ක්‍රියාව අත්හිටවූයේ ය. තෙල් ආනයනය කිරීමට, ගබඩා කිරීමට හා සම්පාදනය කිරීමට පුද්ගලික සමාගම්වලට අවසර ලබා දෙමින්, ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනතට ආන්ඩුව කරන ලද සංශෝධන පාර්ලිමේන්තුව තුල විවාදයට ගැනීම සමග සමපාත වන පරිදි විරෝධතාව කැඳවුම් කරනු ලැබ තිබුනි.

වෘත්තීය සමිති මෙම විරෝධතාව කැඳවන ලද්දේ, පුද්ගලීකරනයට එරෙහි ව දියත් කරන අව්‍යාජ අරගලයක් ලෙසින්වත්, සීපීසී කම්කරුවන්ගේ අයිතීන් රැකීමටවත් නොව, කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය පීලීපන්නවා මර්දනය කිරීමට ය.

“කොයි හැටි වෙතත් පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වනු ඇති” බැවින් “සේවාවන් අඩපන කරමින් වැඩ වර්ජනය අඛන්ඩ ව ගෙන යාමේ අර්ථයක් නැතැ” යි පැය කීපයක් තුල සංකේත වැඩවර්ජනය විසුරුවා හැරීමෙන් අනතුරුව, වෘත්තීය සමිති ප්‍රකාශක බන්දුල සමන් කුමාර කීවේ ය. වෘත්තීය සමිති “පනත පාර්ලිමේන්තුව තුල සම්මත වීම පරාජය කිරීමට විකල්ප මාවත් සොයාගත යුතුයි” යි ඔහු සඳහන් කලේ ය.

මෙම කියාපෑම ව්‍යාජ ය. ආන්ඩුවේ සැලසුම් ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දෙමින්, වෘත්තීය සමිති මාස ගනනාවක් තිස්සේ ඉලක්කයන් නැති විරෝධතාවන් කැඳවනු ලැබුවේ, කම්කරුවන්ගේ විරෝධය වාෂ්ප කිරීම සඳහා ය. ඔවුන් අනාගතයේ දී ද එය ම කරනු ඇත.

කම්කරුවෙක් ලෝසවෙඅට මෙසේ කීවේ ය: “මම වැඩ වර්ජනයට සහභාගි වුනේ පුද්ගලීකරනයට විරෝධය පල කරන්න. ආන්ඩුවට පීඩනය යෙදීමට වෘත්තීය සමිති නිරර්ථක විරෝධතා කිහිපයක් කැඳවා තිබෙනවා. මට වෘත්තීය සමිති ගැන විශ්වාසයක් නැහැ. රාජ්‍ය ආයතන පුද්ගලීකරනය නැවැත්වීමට කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය යි. මම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි කියවනවා, වෘත්තීය සමිතිවලින් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට මම එකඟයි.”

ඉංජිනේරුවෙක් සඳහන් කලේ මේ ආකාරයනි: “කම්කරුවන් බියවද්දමින්, ආන්ඩුව පුද්ගලීකරන ක්‍රියාදාමය අඛන්ඩ ව කරගෙන යනවා. එහෙත් ආන්ඩුව පාලනය කරන වෘත්තීය සමිති යටතේ සංවිධිත සේවකයනුත් විරෝධතාවන්ට සහභාගි වුනා. වෘත්තීය සමිති නායකයන් අරගල පීලිපන්නවනවා. වෘත්තීය සමිති නායකයන්ගේ දෙපිටකාට්ටුකම කම්කරුවන් තේරුම් ගත යුතු යි. ධනපති ක්‍රමය අහෝසි කරමින්, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අපි ම සංවිධානය විය යුතු යි.”

ඛනිජ තෙල් පොදු කම්කරු සංගමය (ඛපොකස), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය හා ශ්‍රී ලංකා ප්‍රගතිශීලී සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති 11ක සන්ධානයක් වන සීපීසී වෘත්තීය සමිති එකමුතුව (ටීයූසී) විසින් විරෝධතාව කැඳවන ලදී. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය (සජබ) හා පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) යන පක්ෂවලට, මෙම වෘත්තීය සමිති පිලිවෙලින් අනුබද්ධිත ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් විධානය කරනු ලබන රුදුරු කප්පාදු වැඩසටහන ක්‍රියාවට දමමින් සිටී. කම්කරුවන්ගේ ඕනෑ ම ප්‍රතිරෝධයක් ම්ලේච්ඡ මැඩීමට අධිෂ්ටානවත් ඔහු, ඔහුගේ පූර්වගාමියා වූ ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශිත අත්‍යවශ්‍ය මහජන සේවා පනත දිගට ම යොදාගනී.

වර්තමානයේ දී, ආන්ඩුව මෙම විෂඝෝර නීතිය යටතට විදුලිබල, ඛනිජ තෙල් හා සෞඛ්‍යය යන සේවාවන් අන්තර්ගත කරගෙන තිබේ.

අත්‍යවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කරන ඕනෑ ම පුද්ගලයෙක් හෝ සංවිධානයක්, “මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසුව වැරදිකාර” යයි ප්‍රකාශ කරනු ලැබ, වසර දෙකේ සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවම්” හා/හෝ රුපියල් 2,000 සිට 5,000 දක්වා දඩයකට යටත් කල හැක. වැරදිකරුවන් වන අයගේ “චංචල හෝ නිශ්චල දේපොල” රජයට අත් කරගෙන, ඔහුගේ හෝ ඇයගේ නම “වෘත්තීන්ගේ හෝ රැකියාවන් සඳහා පවත්වාගෙන යන ඕනෑම ලේඛනයකින්” ඉවත් කරනු ඇත.

ඕනෑ ම වෘත්තීය සමිතියක් හෝ කම්කරුවෙක් සීපීසීහි සේවාවන් කඩාකප්පල් කරන්නේ නම්, ඔවුන් අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගන්නා පියවරයන්ට මුහුන දෙනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර සඳුදා ප්‍රකාශ කලේ ය.

විරෝධතාව අතරතුර සීපීසී භූමියේ දී ඒකරාශී වුවහොත්, කම්කරුවන්ට එරෙහි ව විනය ක්‍රියා මාර්ග ගන්නා බවට, සීපීසී මානව සම්පත් කලමනාකරුවා අනතුරු ඇඟවී ය. මෙම බියවැද්දීම් මෙහෙයුමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සමිති ලේකම් බන්ඩාර අරඹේකුඹුරගේ වැඩ නැවැත්වීමට සීපීසී බලධාරීහු ඔක්තෝබර් 4දා ක්‍රියා කලහ.

සීපීසීය, ජාමූඅ පියවරයන් යටතේ පුද්ගලීකරනයට නියමිත ප්‍රමුඛ කර්මාන්තවලින් එකකි. ඉන්ධන වෙලඳපොලට ඇතුල් වීමට මනාපය පල කරන සමාගම් අතරට, ලංකා ඉන්දියානු ඔයිල් සමාගම (එල්අයිඕසී), චීනයේ සයිනෝපෙක්, පෙට්‍රෝලියම් ඩිවලොප්මන්ට් හා ෂෙල් ඇතුලත් වේ.

සීපීසී ඉන්ධන පිරවුම්හල් 1,200න් අඩකට වැඩි ප්‍රමානයක් එවැනි සමාගම්වලට පැවරීමට ආන්ඩුව සැලසුම් කරයි. ගබඩාකරනය හා පිරිපහදු කිරීම ඇතුලු සීපීසීයේ අනෙකුත් ආයතන පුද්ගලීකරනය කිරීමට මෙම පියවරයන් හේතු වනු ඇත.

සීපීසීය පුද්ගලීකරනය කිරීම, ලංකාවේ පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයට ප්‍රතිකර්මයක් ලෙස ජාමූඅ විසින් අනකරනු ලබන, පලල් වැඩසටහනක කොටසකි. අනෙකුත් ඊනියා ප්‍රතිසංස්කරන අතරට, සියලු රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම හෝ “වානිජකරනය,” නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන් කප්පාදුව, අඩු ආදායම් උපයන්නන්ගෙන් මුදල් උරාගැනීම සඳහා බදු හා මිල ගනන් ඉහල දැමීම ඇතුලත් වේ.

“රජයට අයත් ව්‍යවසායයන්ගේ බර අඩු කරගැනීම මගින්, අපට (විදේශ) සංචිත ප්‍රමානය ඇමරිකානු‌ඩොලර් බිලියන 2 සිට 3 දක්වා වැඩි කරගන්න පුලුවන්” යැයි වික්‍රමසිංහ ඔක්තෝබර් 5දා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ ය.

කෝවිඩ්-19 වසංගතය සහ එක්සත් ජනපද-නැටෝ සන්ධානය යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධය විසින් ගැඹුරු කර තිබෙන ලෝක ධනේශ්වර අර්බුදයෙහි බර කම්කරු පන්තිය මත පැටවීමට පාලක පන්තිය අධිෂ්ටානවත් ය. යෝධ විදේශ නය ගෙවීම තාවකාලික ව අත්හිටුවා ඇති මහ බැංකුව හා ආන්ඩුව, ජාත්‍යන්තර නය මෝරුන්ට ගෙවීම පිනිස ආන්ඩුවේ පෙට්ටගම් පිරවීමට උත්සාහ දරමින් සිටිති.

පුද්ගලීකරනයට, රැකියා මත තර්ජනයන්ට හා රැකියා කොන්දේසිවලට කම්කරුවන්ගේ විරුද්ධත්වය වර්ධනය වී ඇති තතු තුල, මෑත මාසවල දී ටීයූසීය විරෝධතා කිහිපයක් කැඳවුම් කලේ ය. පෞද්ගලීකරන වැඩපිලිවෙල ආපසු නොහරවන බව ප්‍රකාශ කර තිබුනු විදුලිබල හා බලශක්ති ඇමතිට පීඩනය යෙදීමට, අගෝස්තු 22දා ටීයූසීය විරෝධතාවක් කැඳවී ය. සැප්තැම්බර් 20දා, ආන්ඩුවේ පියවරයන් නවත්වන ලෙස කන්නලවු කරමින්, ටීයූසීය මිථ්‍යාමය දෙවියෙකුට විකාරසහගත කන්නලව්වක් සංවිධානය කලේ ය.

මෙම වෘත්තීය සමිතිවල පාලනය දරන දේශපාලන පක්ෂ, ජාමූඅ වැඩසටහනට මුලුමනින් සහයෝගය දෙති. සමාජ අයිතීන් මත වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට සියලු ම වෘත්තීය සමිති වගකිව යුතු ය. කම්කරුවන්ගේ අයිතීන් රැකගැනීම පිනිස දියත්වන ඕනෑ ම ස්වාධීන අරගලයකට ඔවුන් විරුද්ධ ය.

අහස උසට නගින ජීවන වියදම, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය හා පැය ගනන් දීර්ඝ විදුලි කප්පාදු අවසන් කරන ලෙස බල කරමින්, අප්‍රේල් මාසයේ පටන් කම්කරුවන් හා දුගීන් මිලියන ගනනක් මහජන අරගලවලට සහභාගි වී තිබේ. ඔවුහු, ජනාධිපති රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස් වන ලෙස බල කලහ. මෙම අරගලයට සහයෝගය දෙමින්, අප්‍රේල් 28 හා මැයි 6 දිනවල මිලියන සංඛ්‍යාත කම්කරුවෝ මහා වැඩ වර්ජනවලට ඒකාබද්ධ වූ හ.

එහෙත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය ලත් වෘත්තීය සමිති, ධනපති අන්තර්-වාර පාලන තන්ත්‍රයක් සඳහා විපාර්ශවික සජබ හා ජවිපෙ කල ඉල්ලීම් පිටුපසට මෙම අරගල අපසරනය කරමින්, ඒවා පාවාදුන් හ.

වෘත්තීය සමිති හරහා කම්කරුවන්ට පුද්ගලීකරනය නැවැත්වීම හා ඔවුන්ගේ අයිතීන් සඳහා සටන් වැදීම කල නො හැක. ධනපති ක්‍රමයට බැඳී සිටින වෘත්තීය සමිති, එම නිසා එහි අර්බුදයේ බර කම්කරුවන්ගේ උර මතට පැටවීමට සහයෝගය දක්වයි.

පුද්ගලීකරනයට එරෙහි සීපීසී කම්කරුවන්ගේ අරගලය යලි වතාවක් පෙන්වා ඇත්තේ, ආන්ඩුවට හා ධනවාදයට එරෙහි දේශපාලන අරගලයකින් තොර ව, කම්කරු පන්තියට සිය අයිතීන් ආරක්ෂා කරගත නො හැකි බව යි. ආන්ඩුවෙහි ජාමූඅ කප්පාදු ප්‍රහාරයට එරෙහි ව සටන් කිරීමට, සීපීසී කම්කරුවන් හා සියලු කම්කරුවන් සෑම වැඩපොලක හා නිවහන් ප්‍රදේශයක ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය ය.

එහෙත්, කම්කරුවන්ට හා දුගී ජනයාට, සමාජවාදී පිලිවෙත් සඳහා සටන් වැදීමෙන් තොර ව, ශිෂ්ට සම්පන්න රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි සඳහා ඔවුන්ගේ අයිතිය ආරක්ෂා කරගැනීමට හැකියාවක් ඇත්තේ නැත. මෙහි අර්ථය වන්නේ, ප්‍රධාන කර්මාන්ත, වතු හා බැංකු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම සහ සියලු විදෙස් නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම යි.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් කිරීම පිනිස වන සමාජවාදී මහජන ව්‍යාපාරයකට පදනම දැමීමට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයකට උද්ඝෝෂනය කරයි. මෙම අරගලය මෙහෙයවීම සඳහා, සසප හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට බැඳෙන ලෙස අපි ඉල්ලා සිටිමු.

Loading