ට්‍රෙන්ඩ් සෙටර් සමාගම ඇඟලුම් කම්හල් තුනක් වසා කම්කරුවන් 1500 ට රැකියා අහිමි කරයි

ට්‍රෙන්ඩ් සෙටර් (කලින් ෆැෂන් ගාමන්ට්) ඇඟලුම් සමාගම කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ, බෙලිඅත්තේ සහ බෙලිඅත්ත සිටිනාමලුව සමනලවැව කාර්මික උද්‍යානයේ පවත්වාගෙන ගිය ඇඟලුම් කම්හල් තුන ම පසුගිය මාස දෙකතුල වසා දමා කම්කරුවන් 1500 කගේ පමන රැකියා අහිමි කර ඇත. ට්‍රෙන්ඩ් සෙටර්, අපනයනය සඳහා ලමා, කාන්තා සහ පිරිමි ඇඳුම් නිෂ්පාදනය කරන සමාගමකි.

කොග්ගල ආයෝජන කලාපයේ කම්කරුවෝ

කම්හල් වසා දැමීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇනවුම් ප්‍රමාද වීම, අවලංගුවීම සහ ගැනුම්කරුවන්, සමාගම සමග ගනුදෙනු කිරීමෙන් ඉවත්වීමත්, අනාගතය සඳහා අවශ්‍ය තරමින් ඇනවුම් නොලැබීමත් බව සමාගමේ අධ්‍යක්ෂ ජෝසන් චොකාඩේ විසින් කම්කරුවන් ට එවන ලද ලිපියක සඳහන් කර තිබේ. මෙහෙයුම් “පිරිවැය ඉහලයාම සහ ඉන්ධන හිඟය නිසා නිෂ්පාදනය ඇනහිටීම” සමාගමේ “සැලකිය යුතු මුල්‍ය පාඩුවලට” හේතු වූ බව ද එහි සඳහන් වේ.

අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ඇතැම් කම්කරුවන් සේවයට කැඳවීමට සිදුවන අතර කම්හල් වැසීම “තාවකාලික” බව අධ්‍යක්ෂ චොකාඩේ පවසා ඇත.

“ඉදිරි අනාගතය සඳහා ඇනවුම් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ආයතනය ක්‍රියාකාරීව තබා ගැනීමට ඉදිරි මාස කිහිපයෙහි වියදම් කලමනාකරනය කිරීමට සිදුවන” බව ද “කම්කරුවන්ගේ වැටුපට බලපාන ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සිදුවන” බව ද ලිපියෙහි අවධාරනය කර ඇත. ඒ අනුව සැප්තැම්බර් පලමු වෙනිදා සිට අනෙකුත් දීමනා ගෙවීමට නොහැකි බවත් මූලික වැටුප පමනක් ගෙවන බවත් කම්කරුවන්ට දන්වා තිබේ.

ව්‍යාපාර මෙහෙයුම් වියදම අවම කිරීම සඳහා සියලුම ප්‍රවාහන සේවා සැපයීම් නතර කරන අතර දැනට කම්කරුවන් විසින් ම ප්‍රවාහන පහසුකම් සපයා ගත යුතු බව ද ලිපියෙහි වැඩි දුරටත් සඳහන් වේ. “සමාගම සුරැකීමට මෙම පියවර ගනීම හැර වෙනත් විකල්පයක් නැතැ” යි අධ්‍යක්ෂ සඳහන් කර ඇත.

අධ්‍යක්ෂ චොකාඩේ සරලව කියන්නේ මෙයයි: කම්කරුවනි රැකියා සහ වැටුප් කප්පාදුව පිලිගනිමින් අපේ අර්බුදයට ඔබ කර ගැසිය යුතුයි. ඔබ සහ ඔබේ දරුමල්ලන් සාගින්නේ මිය ගියත් “කනගාටුව” ප්‍රකාශ කිරීම හැර අපට වෙන විකල්පයක් නැත.

කම්හල් වසා තිබෙන කාලය තුල මූලික වැටුප ගෙවන බව ලිපියෙහි සඳහන් කෙරුන ද අගෝස්තු සහ සැප්තැම්බර් මාස සඳහා වැටුප් තවමත් නොගෙවූ බව කම්කරුවෝ කියති.

කොග්ගල කම්හලේ තත්ව පාලන අංශයේ සේවය කල කම්කරු තරුනියක් මෙසේ පැවසුවාය:

“මම ෆැක්ටරියෙ පසුගිය මාසෙ වෙනකම් වැඩ කලා. අපේ ෆැක්ටරිය වැහුවේ දැනට මාස දෙකකට කලින්, වහපු දවසේ ඉඳන් අපි කිහිප දෙනෙක් ඇවිල්ලා වැඩ කරනවා. අපිට මාස දෙකක පඩිය තාම දුන්නේ නැහැ . දෙනවයි කියපු විදිහට අනෙක් කිසි ලමයෙකුට බේසික් එක වත් දුන්නේ නැහැ. මම තවදුරටත් වැඩට යන්නේ නැහැ, බස් එකට වත් සල්ලි නැති නිසා.

“අපේ කොම්පැනියේ අනිත් ෆැක්ටරි දෙකත් වහලා, බෙලිඅත්ත ෆැක්ටරියේත් පඩි දීලා නෑ. පඩි නොලැබුනු නිසා පොලිසියට පැමිනිලි දෙකක් දාලා තියෙනවා. ඒත් ෆැක්ටරියෙන් කවුරුත් ඇවිත් නෑ. ලමයින්ට දැන් ගේට් පාස් නැතුව බිඕඅයි එකෙන් කලාපය ඇතුලට ගන්නෙත් නෑ. ගේට් පාස් මාසෙකින් අවසන් වෙන විදිහටයි දීලා තිබුනේ. ඒක නිසා පඩිය ගැන අහන්නවත් ෆැක්ටරිය ලඟටවත් එන්න අපිට අවසර නෑ'.

සමාගම තමන් ඇද දමා ඇති අර්බුදකාරී තත්වය ගැන සඳහන් කල තවත් කම්කරු තරුනියක්, අවුරුදු දහයයි මාස හතක් වැඩ කලත් වන්දියක්වත් නැතිව රැකියාව අහිමි වූ බව කීවාය. “පඩි නොලැබුනු නිසා හබරාදුව පොලිසියට පැමිනිලි කලා. ඒත් වැඩක් වුනේ නෑ. සමාගමේ අයිතිකාරයගේ මස්සිනා කියන සුජීව කියලා කෙනෙක් තමයි ෆැක්ටරිය බලා ගත්තේ. මොකද කරන්නේ කියලා අපිට හිතා ගන්න බහැ. කොග්ගල හැම ෆැක්ටරියක්ම දැන් වැඩ අඩු කරල නිසා කවුරුවත් අලුතින් වැඩට ගන්නේ නෑ. මම කුඩා ලමයින් දෙදෙනෙකුගේ මවක්. රැකියාවක් නැතිව ජීවත් වෙන්න මොනවද කරන්නේ කියලා අපි ට හිතාගන්න බැහැ. ගාමන්ට් වැඩ විතරයි අපි දන්නේ ඒක නිසා ගාමන්ට් වැඩක් හොයා ගන්න හැමතැනම මහන්සි වෙනවා. නමුත් තාම ලැබුනේ නැහැ.”

නඩුවක් පැවරීම සඳහා ස්ත්‍රී මධ්‍යස්ථානය විසින් කම්කරුවන්ගෙන් අත්සන් ලබා ගත් බව ද මෙම කම්කරු කාන්තාවෝ පැවසූහ. ස්ත්‍රී මධ්‍යස්ථානය නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සමග එක්ව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයකි. කාන්තා කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව ට පුරසාරම් දොඩන ස්ත්‍රී මධ්‍යස්ථාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වන්නේ තම අයිතීන් සඳහා අරගලය පන්ති අරගලයේ පදනම මත සංවිධානය කිරීමෙන් කම්කරුවන් වැලක්වා ධනේශ්වර රාජ්‍යයේ සහ හාම්පුතුන්ගේ සූරාකෑමට ඔවුන් ව යටත් කර තබන සංවිධාන ලෙසය.

ට්‍රෙන්ඩ් සෙටර් කම්කරුවන් පමනක් නොව, නිදහස් වෙලඳ කලාප සහ ඉන් පිටත පිහිටි ඇඟලුම් කම්හල් වල ලක්ෂ ගනනක් කම්කරුවෝ රැකියා හා වැටුප් කප්පාදුවීමේ අනතුරට මුහුන දී සිටිති.

කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ අවුරා ඇඟලුම් කම්හල ජුලි මාසයේ වසා දැමුනි. සති දෙකකට තාවකාලිකව වසන බව කම්හල් පාලනාධිකාරය පවසා තිබු නමුත් මෙතෙක් විවෘත කර නැතුවා පමනක් නොව කම්කරුවන් ට හිමිවිය යුතු ජුනි මාසයේ වැටුපෙන් ගෙවා ඇත්තේ අඩක් පමනි. හිමිකරු මුනගැසී වැටුප් සහ රැකියා ප්‍රශ්න විසඳා ගැනීමට කම්කරුවන් උත්සාහ කල නමුත් ඔහු කම්කරුවන් හමුවීම මඟ හැර ඇත. කම්හල වසා දැමීම සහ වැටුප් නොගෙවීම පිලිබඳව ගාල්ල කම්කරු කාර්යාලයේ සැප්තැම්බර් 12 සහ ඔක්තෝබර් 11 පැවති පරීක්ෂන වලට ද අවුරා පාලනාධිකාරයේ කිසිවෙකු පැමින නැත.

එස්කුවෙල් සමාගමේ යක්කල කම්හල පසුගිය වසරේ ද මෙම වසරේ මාර්තු මාසයේ කොග්ගල (පොලිටෙක්ස්) කම්හල් දෙක සහ ජා-ඇල ඒකල සහ කෑගල්ලේ කම්හල් ජුලි 29වසා දැමුනි. මෙම කම්හල් වැසීමේ දී ස්වේච්ඡාවෙන් රැකියාවෙන් ඉවත් වන බවට කම්කරුවන්ගෙන් ලිපි ලබාගෙන සොච්චම් වන්දියක් ගෙවා ඇත.

කොග්ගල සහ කටුනායක ඇතුළු අනෙකුත් නිදහස් වෙලඳ කලාප තුල ඇඟලුම් කම්හල් වල ද වැඩ දින ගනන සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දමා ඇත. කොග්ගල බ්රැන්ඩික්ස් කම්හල සැප්තැම්බර් 2 සිට 13 දක්වා දින 10 ක් වසා තිබුනි. මාස් හෝල්ඩින්ග් සමාගමේ යුනිචෙලා කම්හල මෙම මාසයේ මුල් සතියේ වසා ඇත. සියලුම ඇඟලුම් කම්හල් වල වැඩ මුර කප්පාදු කර දහවල් වැඩමුරය පමනක් ක්‍රියාත්මක වන බව ද සෙනසුරාදා සහ ඉරිදා මුළුමනින් ම වසන බව ද කම්කරුවෝ කීහ.

කටුනායක බ්රැන්ඩික්ස්, ස්ටාර් ගාමන්ට් හා නෙස්ට් ගාමන්ට් හි සෙනසුරාදා සහ ඉරිදා වැඩ නොකරන බව ද සවස 5 න් පසු අතිකාල සේවා නතර කර ඇති බව ද ඒවායෙහි කම්කරුවෝ කියති.

සෙසු සියලුම කර්මාන්ත සහ ව්‍යාපාර මෙන් ම, ඇඟලුම් කර්මාන්තයේ අර්බුදය ගෝලීය ධනවාදයේ අර්බුදයෙන් නිර්මිත වූවකි. කෝවිඩ්-19 වසංගතය සහ යුක්රේනය මැදිකරගෙන එක්සත් ජනපදය හා නැටෝව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය විසින් එම අර්බුදය තවත් ගැඹුරු කෙරෙමින් පවතී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෑතම වාර්තාවට අනුව ලෝක ධනවාදය ආර්ථික අවපාතයක ගැට්ටට ම සේන්දු වී ඇත. එවන් තතු තුල ට්‍රෙන්ඩ් සෙටර් අධ්‍යක්ෂ චොකාඩා කම්කරුවන්ට පවසා ඇති පරිදි ඇඟලුම් කර්මාන්තයේ අර්බුදය සමහන් වන්නේ නැත.

කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදු කෙරෙන්නේ අත්‍යාවශ්‍ය බඩු මිල, තෙල් සහ ගෑස් මිල, විදුලිය, ජලය සහ ප්‍රවාහන ගාස්තු බෙහෙවින් ඉහල නගින සහ එතුලින් ඔවුන්ගේ ජීවන තත්වයන් තියුනු ලෙස කාබාසිනියා කෙරෙන කොන්දේසි තුලය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදු පෙරමුනු ආන්ඩුව තමන් මුහුන දී සිටින ආර්ථික සහ මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාවට දමමින් සිටින මුල්‍ය අරමුදලේ ආර්ථික කප්පාදු නියෝග යටතේ ඇඟලුම් කම්කරුවන් ඇතුළු වැඩකරන ජනයා මුහුන දෙන රුදුරු ජීවන කොන්දේසි තවදුරටත් නරක අතට හැරෙනු ඇත.

ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා අහෝසි කෙරෙද්දී සහ වැටුප් කප්පාදු කෙරෙද්දී ඔවුන් නියෝජනය කරන බව කියන නිවෙකපොදුසේසේස, ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමය, වානිජ කාර්මික හා පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සෑම සමිතියක් ම ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලයක් සංවිධානය කිරීම මුලුමනින්ම ඇත හැර ඇතිවා පමනක් නොව, කම්කරුවන්ගෙන් මතුවන කවර හෝ අරගලයක් ගබ්සාකර පාවා දෙති.

එස්කුවෙල් සමාගම විසින් කම්කරුවන්ගේ රැකියා අහෝසි කෙරුනේ ඔවුන් සංවිධානය වී සිටි නිවෙකපොසේසේස පූර්න සහයෝගය ඇතිවය. රැකියා අහෝසි කිරීමට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර නිවෙකපොසේසේ සංගමය සහ එහි නායක ඇන්ටන් මාකස් වෘත්තීය සමිතිය ට පිටින් යක්කල කම්කරුවන් ආරම්භ කල අරගලය පාවා දුන්නේය. කොග්ගල කම්හල් වසන බව සංගමය දැනසිටි නමුත් එය කම්කරුවන්ගෙන් මුළුමනින් ම වසන් කලේ ය. එපමනක් නොව, කම්හල් මාස තුනකින් නව සමාගමක් යටතේ යලි විවෘත කරන බවත් සියලු දෙනාටම යලි රැකියා ලැබෙන බවටත් කම්කරුවන් නොමග යවා ස්වේච්ඡාවෙන් රැකියාවෙන් ඉල්ලා අස්වන බවට සමගාමේ වාසියට සකස්කල ලියුම් වලට අත්සන් කිරීමට කම්කරුවන් පොලොඹවනු ලැබුවේ ද ඔහු විසිනි.

හාම්පුතුන්ගේ සහ ආන්ඩුවේ ඒජන්තයින් බවට පරිවර්තනය වී ඇති වෘත්තීය සමිති, ඒවා සමග පෙල ගැසී සිටින රාජ්‍ය නොවන සංවිධාන හෝ ආන්ඩුවේ කම්කරු අමාත්‍යාංශයෙන් කම්කරුවන්ට තමන්ගේ අයිතීන් රැකගත නොහැකිය. තම අයිතීන් සඳහා අරගලයේ දී කම්කරුවන් තමන්ගේ ම කාර්මික ශක්තිය බලුමුගන්වා ගැනීම අවශ්‍ය වෙයි.

වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වීමටත් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ සහයෝගය ඉල්ලා සිටීමටත් ඔවුන් යොමු විය යුත්තේ ඒ නිසාවෙනි.

රැකියා ඝාතනය කරමින් අර්බුදයේ බර කම්කරුවන් මත පටවන ධනපති නිෂ්පාදකයන්ගේ ප්‍රහාරයට එරෙහිව රැකියා ඇතුලු අයිතීන් රැක ගැනීමට මාවතක් ඇත. එය නම්, කම්හල් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටතට ගැනීමේ සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමයි. කොග්ගල මතුවී ඇති අර්බුදයෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙම වැඩපිලිවලට සටන් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

සමාජවාදී සමානතා පක්ෂය කොග්ගල නිවෙක කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට පියවර ගෙන ඇත. එය පුලුල් කිරීමට සහ සියලුම නිවෙක වැඩපොලවල් තුල එවන් ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් රැකියා සහ තම අයිතීන් රැක ගැනීමේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට හා සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමට අප හා එක්වන්න.

Loading