ශ්‍රී ලංකාවේ මාධ්‍ය යුක්‍රේනය අරභයා න්‍යෂ්ටික යුද්ධයක අනතුර වසන් කරයි

[මෙය Sri Lankan media covers up danger of nuclear war over Ukraine යන මැයෙන් 2022 ඔක්තෝබර් 13 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදය/නැටෝව සහ රුසියාව අතර වැඩෙමින් පවත්නා න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය පිලිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය, එහි ජාත්‍යන්තර සගයන් මෙන්ම හිතාමතාම ජනතාවට කරුනු වසන් කරමින් සිටී. මෙම සැබෑ සහ වත්මන් අනතුර ගැන මාධ්‍ය කිසිවක් සඳහන් කරන තාක් දුරට, ඔවුන්ගේ ප්‍රකාශ අවසන් වන්නේ යුද්ධය නවත්වන ලෙස අධිරාජ්‍යවාදී බලවතුන්ට සහ රුසියාවට කරන නිෂ්ඵල ආයාචනා සමඟිනි.

1952 නොවැම්බර් 1 වන දින, මාර්ෂල් දූපත් වල එනෙවෙටැක් ඇටෝල්හි අයිවි මයික් ලෙස නම් කරන ලද තාප න්‍යෂ්ටික උපාංගයක ලොව ප්‍රථම පරීක්ෂනයෙන් නැගි හත්තක හැඩති වලාකුලු. [AP Photo/Los Alamos National Laboratory]

එක්සත් ජනපදය හා නැටෝව වඩ වඩාත් ප්‍රකෝපකාරී ලෙස රුසියාව මිලිටරිමය වසයෙන් වටලෑමට ප්‍රතිචාර වශයෙන් පෙබරවාරි මාසයේ දී රුසියාව යුක්‍රේනය ආක්‍රමනය ආරම්භ කල තැන් පටන් න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය තියුනු ලෙස ඉස්මතුව පවතී. යුක්‍රේනය තුල රුසියානු ආක්‍රමනය ඩැහැගත් වොෂින්ටනය සහ එහි සහචරයින්, ජනාධිපති සෙලෙන්ස්කිගේ යුක්‍රේන ආන්ඩුවට ඩොලර් බිලියන ගනනක නවීන අවි ආයුධ ලබා දෙමින්, රුසියාවට එරෙහිව ඔවුන්ගේ දිගු කලක් තිස්සේ සැලසුම් කල යුද්ධය වහාම දියත් කලේ ය.

ප්‍රතිගාමී රුසියානු ජාතිකවාදය මත පදනම් වූ සහ සාර්වාදී සම්ප්‍රදායන් කරා හැරී පවතින රුසියාවේ ක්‍රියාවන්හි මොන යම් ම හෝ ප්‍රගතිශීලීබවක් ඇත්තේ නැත. යුක්‍රේනය තුල මිලිටරි පරාජයන් මාලාවකින් පසු ව, සැප්තැම්බර් 21 දා, න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට ඔහුගේ සූදානම පෙන්නුම් කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කලේ, තම රට ආරක්ෂා කිරීම සඳහා “අපට තිබෙන සියලුම ආයුධ පද්ධති භාවිතා කිරීමට” තමන් සූදානම් බව ය.

එක්සත් ජනපද ජනාධිපති බයිඩන් ඇවිලෙන ගින්නට තෙල් වත් කරමින් ඊට ප්‍රතිචාර දැක්වූයේ, ව්‍යසනකාරී න්‍යෂ්ටික ගැටුමක තර්ජනය ඉහල මට්ටමකට ගෙන යමිනි. “කෙනඩි (සමයේ) හා කියුබානු මිසයිල අර්බුදයේ සිට, න්‍යෂ්ටික අවි ගැටෙන අවසන් සංග්‍රාමයක භව්‍යතාවට අපි මුහුන දී නැත” (“We have not faced the prospect of Armageddon since Kennedy and the Cuban Missile Crisis.”) යනුවෙන් ඔහු ඔක්තෝබර් 6 දා ප්‍රකාශ කලේය.

මේ දක්වාමත්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය, න්‍යෂ්ටික යුද අන්තරාය සඳහන් කරන ප්‍රවෘත්ති ආයතනවල වාර්තා ආවාට ගියාට මෙන් සරලව යලි පලකර ඇත. කොලඹ ඉංග්‍රීසි භාෂාවෙන් පලවන පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය ගැන කෙලින්ම සාකච්ඡා කරන එක්සත් ජනපද ආරක්ෂක විශ්ලේෂක ටෙඩ් ගැලන් කාර්පෙන්ටර්ගේ එක් ලිපියක් ප්‍රතිනිෂ්පාදනය කලේය.

පෙබරවාරි මාසයේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කරන විට, ශ්‍රී ලංකාවේ මාධ්‍ය යුද්ධය ගැන නොයෙකුත් ලිපි ලිවූ අතර, ඒවායින් බොහෝමයක් පුටින්ට දොස් පවරයි. යුද්ධයෙන් සිදු වූ විනාශය පිලිබඳ වාර්තා කිහිපයක් මෙයට ඇතුලත් විය, ඒවා තුල, ගැටුම ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කරන ගැඹුරු බලපෑම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.

සමස්තයක් ලෙස ගත් කල, 2020 දී ශ්‍රී ලංකා ආනයනවලින් සියයට 2 ක් සහ අපනයනවලින් සියයට 2.2 ක් රුසියාව සහ යුක්‍රේනය සමග සිදුකර තිබේ. මෙම රටවල් දෙකම, ශ්‍රී ලංකාවේ තිරිඟු ආනයනය සඳහා සහ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ කලු තේ අපනයන සඳහා අත්‍යවශ්‍ය මූලාශ්‍ර වේ. ඇත්ත වශයෙන්ම, රුසියාව සහ යුක්‍රේනය ශ්‍රී ලංකාවේ තේවලින් සියයට 18 ක් පමන මිලදී ගනී. එසේම, ශ්‍රී ලංකාවේ තිරිඟු ආනයනයෙන් සියයට 45 ක් රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් ලබා ගනී. තවද, ශ්‍රී ලංකාව රටවල් දෙකෙන්ම අත්‍යවශ්‍ය කෘෂිකාර්මික පොහොර වර්ගයක් වන පොටෑසියම් ක්ලෝරයිඩ් ආනයනය කරයි.

ඔක්‌තෝබර් 5 වැනිදා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ඉංග්‍රීසි පුවත්පතක් වන ඩේලි මිරර් පුවත්පත “යුක්‍රේනයේ බල තන්හාව සහ යුද්ධය” යන මැයෙන් දීර්ඝ කතුවැකියක් පල කලේය. එය න්‍යෂ්ටික යුද තර්ජනය ගැන කිසිවක් නොකියන නමුත්, රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් තිරිඟු, බාර්ලි, සූරියකාන්ත තෙල් සහ බඩ ඉරිඟු අපනයන පහත වැටීම “ලොව පුරා සිටින මිනිසුන්ගේ” සහ විශේෂයෙන් දුප්පතුන්ගේ යහපැවැත්මට බලපා ඇතිබව සටහන් කරයි.

“ගැටලුවේ මූලය, නේටෝව ප්‍රසාරනය කර ගැනීම සහ රුසියාව වටලෑමට උත්සාහ කිරීම” වන මුත් මොස්කෝව ද “සමාන වගකීමක්” දරන බව එය පිලිගනී. එක්සත් ජනපදය සහ එහි සහචරයින් ද රුසියාව ද අතර ඇත්තේ “ආධිපත්‍යය සඳහා සටනක්” වන අතර ඔවුන් “බල තන්හාවෙන්” අභිප්‍රේරනය වී ඇත.

කතුවැකිය අවසන් කරන්නේ මෙලෙසිනි: “යුක්‍රේනයේ සිවිල් ජනතාව මත ඇති කර ඇති හානිය නොතකමින් ද ඉහල යන ජීවන වියදම සහ ගෝලීය ජනගහනයේ දුප්පත්ම කොටස් මත ඇති කර ඇති ආහාර හිඟය නොතකමින් ද යුද්ධය අවසන් කිරීමට කිසිදු උත්සාහයක් නොගන්නවා පමනක් නොව, යුද්ධය සඳහා ඩොලර් බිලියන ගනන් වියදම් ද කරති.”

ගැටුම “බල තන්හාවේ” ප්‍රතිඵලයකට බැර කරමින්, ඩේලි මිරර්, රුසියාවට එරෙහි එක්සත් ජනපදය ප්‍රමුඛ නැටෝ යුද්ධය පසුබිමෙහි ඇති සැබෑ සාධක වසන් කරයි. ධනවාදයේ නොවිසඳිය හැකි ආර්ථික හා සමාජ අර්බුදය විසින් මෙහෙයවනු ලබන වොෂින්ටනය සහ එහි සහචරයෝ රුසියාව සහ අවසානයේ චීනය එහි ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවලට යටත් කිරීමට මාන බලයි. රුසියාව ගැන කියන්නේ නම්, අධිරාජ්‍යවාදී බලවතෙකු නොවන එය, එක්සත් ජනපදය සමඟ සම්මුතියකට පැමිනීමට උත්සාහ දරයි.

කොලඹ පදනම් කරගත් තවත් දිනපතා පුවත්පතක් වන අයිලන්ඩ්හි සැප්තැම්බර් 1 කතුවැකිය යුක්‍රේනයේ විනාශය ගැන සඳහන් කරන අතර, “මනුෂ්‍යයන්ට ඉමහත් දුක් වේදනා ගෙන දෙන සහ න්‍යෂ්ටික ප්‍රහාරවලට පවා තුඩු දිය හැකි අග්නි ජාලාවක් වැලැක්වීමට මහා බලවතුන් සැලකිල්ලක් නොදක්වති” යනුවෙන් විලාප තබයි. බටහිර බලවතුන්, රුසියාවට එරෙහිව “ප්‍රමානය ඉක්මවූ ප්‍රතිචාර” දක්වමින් සිටින බව පවසමින්, “එක්සත් ජනපදය හා එහි සටන්කාමී සහචරයින්, වයසට වඩා පැසුනු පාසල් තක්කඩියන් රොත්තක් මෙන් නොහැසිර තම යුක්‍රේන මූලෝපාය ගැන බුද්ධිමත්ව නැවත සිතා බලන ලෙස” ඉල්ලා සිටියි.

අනෙකුත් ඉංග්‍රීසි සහ සිංහල භාෂා මාධ්‍ය සමාන අදහස් පල කර ඇත, ඒවා, රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද යුද්ධය උත්සන්න වීම ආත්මීය සාධකවල ප්‍රතිඵලයක් බව අවධාරනය කරයි. ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් පසුගාමී රටවල පාලක ප්‍රභූව, වොෂින්ටනයේ භූ-මූලෝපායික න්‍යාය පත්‍රය තුලට ඇදී යමින් සිටිති. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවට යලි යලිත් පවසා ඇති පරිදි, කොලඹ, චීනයට එරෙහි යුද්ධය සඳහා වොෂින්ටනයේ මිලිටරි සූදානම මුලුමනින්ම අනුමත කල යුතුය.

යුක්‍රේනය තුල රුසියානු ආක්‍රමනයෙන් සතියකට පසු, එවක ශ්‍රී ලංකා ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කලේ, තම ආන්ඩුව ගැටුමේ පැත්තක් නොගන්නා බවයි. දැනටමත් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින සහ කම්කරුවන් හා දුගීන් මත නව බර පැටවීමට උත්සාහ කරමින් සිටි රාජපක්ෂ තන්ත‍්‍රයට මොස්කෝව සමග සිය වෙලඳ සබඳතා අවුල් කර ගැනීමට අවශ්‍ය නොවීය.

අප්‍රේල් මාසයේදී මහජන කෝපය මහා ආන්ඩු-විරෝධී විරෝධතා දක්වා පුපුරා යමින් මහා වැඩවර්ජන හා පෙලපාලි දක්වා වර්ධනය වූ අතර, එමගින් රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වීමට බල කෙරුනි. අනතුරුව, අපකීර්තියට පත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ධූරයට ඔසවා තැබූ එක්සත් ජනපද ගැති ගෝලයෙකු වූ රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ විසින් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කලේය.

2022 ජූලි 7 වන දින, කොලඹ සෞඛ්‍ය සේවකයින්ගේ පාගමනක්

ඔහුගේ පූර්වගාමියා මෙන්ම, වික්‍රමසිංහ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර කම්කරු පන්තිය හා ග්‍රාමීය ජනතාව මත පැටවීමට එකඟ වෙමින්, යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් රාජපක්ෂගේ ස්ථාවරයම නිල වශයෙන් පවත්වා ගෙන යයි.

ජූලි මාසයේදී වික්‍රමසිංහ, සාගින්න සහ සාගත වැලැක්වීම පිලිබඳ ජාත්‍යන්තර කමිටු සාකච්ඡාවකට පැවසුවේ, “[බටහිර] සම්බාධකවලට රුසියාව දන ගැස්වීමට නොහැකි නමුත් එය තුන්වන ලෝකයේ සෙසු රටවල් දනගස්වනු ඇත... එයට ඉඩ දිය නොහැක. එය යුරෝපා සංගමයේ පමනක් වරදක් නොවේ. රුසියාවටත් වගකීමක් තියෙනවා. ඔවුන් සටන් විරාමයක් ඉල්ලා සිටිය යුතු අතර තවදුරටත් ලෝකයට දුක් විඳීමට ඉඩ නොතැබිය යුතුය.”

වික්‍රමසිංහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන විශ්වාසනීය සහචරයෙක් වන අතර, වොෂින්ටනය, චීනයට එරෙහි යුද්ධය සඳහා කෙරෙන සූදාන සමග ඔහුගේ ආන්ඩුව මුලුමනින්ම පෙල ගැසිය යුතු යැයි බලකරමින් කොලඹ මත පීඩනය වැඩි කරමින් සිටී.

ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර කම්කරු පන්තිය, තුන්වන ලෝක යුද්ධයක් හා න්‍යෂ්ටික යුද තර්ජනයක් කරා අධිරාජ්‍යවාදී ධාවනය නැවැත්විය හැකි එකම සමාජ බලවේගය වේ. මෙය ඉල්ලා සිටින්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයේ මූලාශ්‍රය වන ධනවාදය අවසන් කර දමා එය සමාජවාදය මගින් විස්ථාපනය කිරීමයි.

මේ සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප), හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ සමග එක්ව, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වැද සිටී.

ඔක්තෝබර් 16 දා සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය, මෙම ඉදිරිදර්ශනය සාකච්ඡා කිරීම සඳහා “න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනඟමු” යන මැයෙන් ඔන්ලයින් මහජන රැස්වීමක් පවත්වයි. මෙම තීරනාත්මක රැස්වීමට ලියාපදිංචි වී සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading