නිවාස අයිතිය සඳහා සටන් වැදීමට කජීමාවත්තේ නිවැසියන් ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීම අවශ්‍යයි

පසුගියදා ගිනිබත් වූ කොලඹ, කජීමාවත්ත නිවාස සංකීර්නයේ පදිංචිකරුවන් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය “අවම සුදුසුකම් සපුරා නොමැති” බවට මෑතකදී අධිකාරීන් විසින් සිදුකල ප්‍රකාශය, නාගරික දුප්පතුන් හා සමස්ථයක් වසයෙන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවිත කෙරෙහි පාලක පන්තියේ පිලිකුල ප්‍රකට කරයි.

කොලඹ කජීමාවත්ත පැල්පත් ප්‍රදේශයේ ගින්නෙන් විනාශ වුනු නිවාස. [Photo: WSWS]

“නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය” යටතේ අනුමත ප්‍රතිපත්තිවලට (මේවා මොනවාදැයි විස්තර නැත) අනුව අදාල පදිංචිකරුවන්ට නිවාස ලබා නොදිය හැකි බව, කජීමාවත්ත ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වෙතැයි මාධ්‍ය ඔක්තෝබර් 16දා වාර්තා කලේ ය.

පවුල් ඒකක 20ක් “අවම සුදුසුකම්” සපුරා ඇති බැවින් නිවාස ලබාගැනීමට හැකියාව ඇති බව වාර්තාවේ සඳහන් වූවත් ඒ පිලිබඳ වැඩි විස්තර ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මේ පවුල්වලට ද නිවාස ලැබේද යන්න අවිනිශ්චිත ය.

මෙම ඊනියා “අවම සුදුසුකම් නොසැපිරීමේ” ලේබලය ගසා ඇත්තේ, පරම්පරා කීපයක් දක්වා දශක ගන්නාවක් තිස්සේ කොලඹ පදිංචිව සිට, එවක මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ “කොලඹ සංවර්ධන වැඩසටහන” යටතේ විවිධ ප්‍රදේශ වලින් තර්ජනයෙන් ඉවත් කරනු ලැබ, කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් වල බලහත්කාරයෙන්ම පදිංචි කරවූ දුගී පවුල් ගනනාවකි. ඔවුන් එසේ පදිංචි කිරීමේදී, ඔවුන්ට නිවාස ලබා දෙන බවට ප්‍රෝඩාකාරී පොරොන්දු ද ලබා දී තිබේ.

සභ්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නිවසක් ලබා ගැනීම මූලික මිනිස් අවශ්‍යතාවක්ය යන සම්මත කාරනය පසෙක තැබූවත්, ආන්ඩුව විසින් “නුසුදුස්සන්” බවට පත් කර ඇති මෙම නිවැසියෝ වසර ගනනාවක් තිස්සේ විදුලි හා ජල බිල් පමනක් නොව බදු මුදල්ද ගෙවා ඇත. එපමනක් නොව, ඔවුනට චන්ද බලය ද හිමි ය. මෙයින් පැහැදිලි වන්නේ, දුෂ්ට ධනපති පාලකයන්, මෙම ජනයාගේ නිවසක ජීවත්වීමේ අයිතිය අමුඅමුවේම උල්ලංඝනය කිරීමට තීන්දු කර ඇති බව මිස අනෙකක් නොවේ.

ධනපති පන්තියේ මෙම රුදුරු පිලිවෙත, සමස්ත කම්කරු පන්තිය විසින් හෙලා දැකිය යුතුය. අවශේෂ වැඩකරන ජනයා මෙන්ම, මෙම පීඩිත ජනකොටස මුහුන දෙන්නේ ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) රුදුරු නියෝග අනුයමින්, ජීවන තත්වයන් මෙන්ම කම්කරු අයිතීන් කබාසීනියා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාත්මක කරන සමාජ ආර්ථික ප්‍රහාරවලටම ය. නොනවත්වා ඉහල යන උද්ධමනය මධ්‍යයේ, අයිඑම්එෆ් නියෝග කර ඇති, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය වේගවත් කිරීම සහ ජනගහනයෙන් අති බහුතරක් වන කම්කරු පීඩිතයන්ට පහර වදින ලෙස බදු ඉහල දමමින් ගෙන යන ප්‍රහාරවලට සමගාමීව, කඩිනමින් කොලඹ වානිජ වසයෙන් වටිනා ඉඩම් ආයෝජකයන් සඳහා නිදහස් කිරීමට ආන්ඩුව උත්සුක වෙයි.

ධනපති පන්තිය මුහුනදී ඇති දැවැන්ත විදෙස් සංචිත හිඳීයාමේ අර්බුදයට පිලියමක් ලෙස, ගොඩනගා ඇති මහල් නිවාස ඩොලර් වලට විකිනීමට ආන්ඩුව සූදානම්ය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කල මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඇමරිකානු ඩොලර්වලින් ගෙවා මිල දී ගන්නා අයට සියයට දහයක වට්ටමක් ලබාදීමට තීරනය කර ඇති බව වාර්තා වන්නේ මේ තතු තුල ය. විදෙස්ගත ලාංකිකයන්ට සහ ශ්‍රමිකයන්ට ඩොලර්වලින් ගෙවා අදාල නිවාස මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රනතුංග පැවසූ බව “අරුන” පුවත් පත සැප්තැම්බර් 6දා වාර්තා කලේය.

රාජපක්ෂ පාලනය මෙන්ම ඉන් පසු ඊනියා යහපාලන ආන්ඩුව විසින් ක්‍රියාවට දැමූ කොලඹින් දුප්පතුන් පලවා හැර එම ඉඩම් ආයෝජකයන්ට විකිනීමේ මහනගර ව්‍යාපෘතිය යටතේ ඇපල් වත්ත ඇතුලු ප්‍රදේශ වලින් ඉවත් කල නිවැසියන් ද 2014 සිට කජීමාවත්තේ පදිංචි කර ඇත. ඉඩම් සඳහා ඔප්පු ඉදිරිපත් කල කොටසකට පමනක් මහල් නිවාස ලබා දුන් නමුත්, පසුගිය ආන්ඩු මගින් නිවාස ලබා නොදුන් පවුල් දෙසීය ගනනක් පමන කජීමා වත්තේ තාවකාලික නිවාසයන්හි වසර 10ක් පමන ජීවත් වූයේ අතිශය දුෂ්කර කොන්දේසි මධ්‍යයේ ය.

2016 මාර්තු 16 දින කජීමා වත්තේ නිවාස 200ක් පමන නාගරික සංවර්ධන අධිකාරියෙන් (නාසඅ) පැමින බුල්ඩෝසර් කර බිමට සමතලා කලේ නිවෙස් වල තිබූ ලී බඩු, ලමයින්ගේ පොත් පත්, මුලූතැන්ගෙයි බඩු භාන්ඩ පවා විනාශ කරමිනි.

2016දී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇස්තමේන්තු කර තිබූ පරිදි, ධනපති ආන්ඩුවල ඊනියා නගර සංවර්ධන සැලසුම්වලට අනුව 280,000 ත් 500,000 ත් අතර පදිංචිකරුවන් කොලඹින් ඉවත්කිරීමට සැලසුම් කර තිබුනි.

කොලඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය සිරි හෙට්ටිගේ 2014 මැයි මාසයේදී මිරර් සිටිසන් (Mirror Citizen) වෙබ් අඩවියට පැවසුවේ කොලඹ ජනගහනයෙන් සියයට 50කට වඩා අඩු ආදායම්ලාභී පවුල් බවයි. “අද සිදු වන්නේ ඔවුන් සුදුසු නිවාසවල පදිංචි කිරීම නොව මෙම නිවැසියන් විසින් දුෂ්කරතා මධ්‍යයේ ඉදිකර ගන්නා ලද නිවාස විනාශ කර වානිජමය වශයෙන් වටිනා ඉඩම් පවරා ගැනීමයි.”

සමාජවාදී සමානතා පක්ෂයම (සසප) පමනක් මුල සිටම ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ඔස්සේ, නාගරික දුප්පතුන්ට එරෙහි ධනපති ආන්ඩුවේ ප්‍රහාර එලිදරව් කරමින් ඊට එරෙහිව විරුද්ධව දුසිම් ගනනක් ලිපි පල කර තිබේ. මෙම ජනයාගේ නිවාස ප්‍රශ්නය විසඳාගත හැක්කේ කම්කරු පන්තියේ සහයෝගය හා නායකත්වය ලබා ගනිමින් සමාජවාදය සඳහා කෙරෙන පුලුල් අරගලයක කොටසක් වසයෙන් පමනක් බව, ඔවුන් අතර නිරන්තරයෙන් උද්ඝෝෂනයේ නිරත වෙමින් සසප අවධාරනය කර ඇත. ලෝසවෙඅ මෙම මූලධර්මාත්මක අරගලය පිලිබඳව ඉමහත් ගෞරවයෙන් කතා කරන මෙම ජනයා කරුනු විකෘති කර වාර්තා කරන ධනපති මාධ්‍ය කෙරෙහි ඔවුන්ගේ කෝපය හා කලකිරීම ප්‍රකාශයට පත් කලෝය.

ආන්ඩුව සඳහන් කරන “අවම සුදුසුකම් සපුරා නැත” යන ප්‍රකාශය කෙරෙහි තම බලවත් විරෝධය පලකල, කජීමාවත්තේ නිවාස අහිමි වූවෝ ලෝසවෙඅ වෙත අදහස් දැක්වූහ. “අපි චන්දය දානවා , අපි වරිපනම් ගෙවනවා, අපි ලයිට් බිල් ගෙවනවා, අපි වතුර බිල් ගෙවනවා කජීමා වත්තේ නමට අයිඩන්ටිටි කාඩ් තියෙනවා. මේ ලිපිනයට ලමයින්ගේ උප්පැන්න සහතික තියෙනවා, ග්‍රාම සේවක මහත්තයාගෙන් චරිත සහතික ගන්නව. තව මොනවද අවම සුදුසුකම්? අපි මෙතනින් යන්නෙ නෑ . අපිට මේ දරුවොත් අරන් මහ පාරට ද යන්න කියන්නේ?” නිවැසියෙක් කෝපයෙන් සඳහන් කලේ ය.

ඇතැම් රූපවාහිනි නාලිකා තමන් ප්‍රකාශ කරන තොරතුරුවල වැදගත් කොටස් කපා ඒවාට අවශ්‍ය කොටස් පමනක් විකාශය කල බවට මෙම පදිංචිකරුවෝ දෝෂාරෝපනය කලහ. මේ කාරනය ගැන ද අදහස් දක්වමින්, කුලීකම්කරුවකු වන නවාස් කීවේ, “ලංකාවේ පුරවැසියෙක් වෙලා අපිට ලංකාවේ ජීවත්වෙන්න බැරි නම් අපිව මරල දාන්න මොකක් ද සුදුසුකම? මම හිරු (නාලිකාවට) ටත් කිව්වා දෙරනටත් කිව්වා, ඒ මාධ්‍ය ඒවා දැම්මෙ නැහැ.”

ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය: “බ්‍රිගේඩියර් සමරසිංහ (කලින් සිටි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකි) ගෙවල් 57 දෙනවා කියලා අපිට නොම්බර අහුලන්න කිව්වා. මට හම්බවුනේ 10 වෙනි තට්ටුවේ 7වෙනි ගේ. ඒ ගේ තාම වහල . තාම යතුර දුන්නේ නෑ. පුංචි අයට ලොසින්ජර දෙනවා වාගේ අපිව රැවැට්ටුවා” නවාස් කීවේ ය. ආන්ඩුව මිනිසුන් එකිනෙකා කොටවන ආකාරයෙන්, දැන් 20කට පමනක් නිවාස ලබා දීමේ සුදුසු කම කුමක්දැයි ඔහු ප්‍රශ්න කලේය.

කජිමාවත්තේ ගින්නෙන් විපතට පත්වූවන් නවාතැන් ගත් මුවදොර උයන්වත නිවාස යෝජනා ක්‍රම ප්‍රජා මධ්‍යස්ථානය-oct21-wsws

වැසි සහිත කාලගුනික තත්වය මැද, සීතල තෙත සිමෙන්ති පොලව මත පැදුරු සහ රෙදිකඩවල් අතුරා, සිය පැල්පත් අහිමි වී සිටින ජනයා තම දූ දරුවන් සමග කජීමා වත්ත ආසන්නයේ පිහිටි හිස් කුඩා ගබඩාවක සහ ඒ අසල ප්‍රජාශාලාවක රැදී සිටිති. දිගින් අඩි100 ක් පමන වූද පලලින් අඩි 50කට ආසන්න වූ ගබඩාව වටා පිහිටි බිත්තිය අඩි 13ක් පමන උසට පිහිටා ඇති නිසා ඇතුලට යාන්තම් වාතය හා ආලෝකය ලැබෙන්නේ එම බිත්තියේ ඉහලින් පිහිටි කුඩා කවුලු කිහිපයකිනි. මිනිස් වාසය සඳහා කිසිසේත් නුසුදුසු මෙම ගබඩාවේ අනාථවූ පවුල් පහලොවක් පමන තම දූදරුවන් සමග ජීවත් වන්නේ දහවල් කාලයේ පවා එකිනෙකා හරිහැටි හඳුනාගත නොහැකි අඳුරෙහි ය.

මව්වරු- කජිමා වත්ත ගින්නෙන් විපතට පත්වූවන් නවාතැන් ගත් මුවදොර උයන් වත්ත නිවාස යෝජනා ක්‍රම ප්‍රජා මධ්‍යස්ථානය-oct21-wsws

පැදුරක තම කුඩා මිනිපිරිය නිදිකරවා ඒ අසලින් ආරක්ෂාවට සිටින රූපා ඩයස් නැමැති මිත්තනිය වේදනාබරව මෙසේ කීවා ය: “මේ මගේ පුතාගේ බාල දුව. ලොකු දරුවට වයස අවුරුදු දොලහයි. එයා ඉස්කෝලේ ගියා. පාට ඇඳුම් ඇඳගෙන. මගේ පුතා කුලීවැඩ කරන්නේ. ඒත් හැමදාම වැඩ ලැබෙන්නේ නෑ. අපේ මුලු ගේම ගින්නට අහුවුනා. ඔක්කොම පිච්චුනා. කිසිම බඩුවක් නෑ. මේ ඇඳුම් ඔක්කොම අනුන්ගෙන් ඉල්ල ගත්ත ඒවා” ඔවුන් වසර 10ක් පමන එහි ජීවත් වන්නේ කජීමාවත්තේ බව ද ඇය කීවා ය.

මිත්තනිය රූපා ඩයස් -කජිමාවත්ත ගින්නෙන් විපතට පත්වූවන් නවාතැන් ගත් මුවදොර උයන් වත්ත නිවාස යෝජනා ක්‍රම ප්‍රජා මධ්‍යස්ථානය -oct21-wsws


සාකච්ඡාවට එක්වූ මාලු කඩේ කම්කරුවකු ලෙස සේවය කරන ජනකගේ කතාවද මෙය ම ය. “මගේ ගේ මුලුමනින්ම පිච්චුනා. මට ඉස්කොලේ යන දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ වයස අවුරුදු 15, අවුරුදු 11, අවුරුදු 10යි., ඒගොල්ලෝ ඔක්කොම ඉස්කොලේ ගියේ පාට ඇඳුම් ඇඳ ගෙන.” නිවාස ලබාදීම සඳහා “අවම සුදුසුකම්” ඉල්ලීම ඔහු හෙලා දැක්කේ ය. අනෙක් නිවැසියන් මෙන්ම තමන් ද මෙරට පුරවැසියෙක් බවත්, නිවසක් ලබා ගැනීමට ඊටත් වඩා තිබිය යුතු “සුදුසුකම” මොකක්දැයි ඔහු ඇසුවේ ය.

මාලු කඩේ කම්කරුවකු ලෙස සේවය කරන ජනක -oct21-wsws

වානිජ වසයෙන් වටිනා ඉඩම් අයෝජකයන්ට විකිනීම සඳහා ධනපති පාලකයන් නාගරික දුප්පතුන්ගේ ඉඩම් මෙලෙස පැහැර ගන්නා බවත්, දුගීන්ගේ නිවාස අයිතිය දිනාගැනීම සඳහා කම්කරු පන්ති නායකත්වය යටතේ සමාජවාදී වැඩපිලිවල මත සංවිධානය විය යුතු බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ජනයාට පැහැදිලි කලහ. ඒ සඳහා, සියලුම ධනපති පක්ෂ හා එවන් සංවිධානවලින් ස්වාධීනව නිවාස අයිතිය සඳහා සටන් වැදීමට, කජීමාවත්තේ නිවැසියන් ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගත යුතු බවද සාකච්ඡා කෙරිනි.

සමාජවාදයේ නාමයෙන් ඔවුන්ව රැවටීමට ලක්කල, කලෙක වාමාංශික නායකයින් වශයෙන් පෙනී සිට දැන් ධනපති ආන්ඩුවල ගැත්තන් බවට පත්ව සිටින දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරන වැනි දේශපාලඥයින් ගැන ජනක කෝපයෙන් කතා කලේ ය. “මේ නායකයෝ අපි කම්කරුවො වෙනුවෙන් කථා කරනවා කියලා පාර්ලිමෙන්තු ගිහින් මොනවද කලේ කම්කරුවන්ට? අපි ජේවීපීයත් ගමු, 1994 පාර්ලිමේන්තු ගිහින් මහින්ද (රාජපක්ෂ) එක්ක ඩීල් එක ගැහුවා. 2005 චන්ද්‍රිකාගේ ආන්ඩුවේ හිටියා, ඇමතිකම් ගත්තා. අපි වෙනුවෙන් මොනවද කලේ?” ඔහු ප්‍රශ්න කලේය .

දීර්ගව කරුනු පැහැදිලි කල වාර්තාකරුවන් පෙන්වා දුන්නේ ලංකා සම-සමාජ පක්ෂය, 1964හී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුල් ආන්ඩුවකට යාම මගින් කම්කරුවන්ගේ ස්වාධීනත්වය පාවා දුන් බවයි. උක්ත සඳහන් කල විතාරන ඇතුලු “වාම” නායකයින් මෙම පාවාදීමට මුලුමනින්ම සහය පලකලෝ ය. මෙම පාවාදීම එකහෙලා හෙලාදුටු ට්‍රොට්ස්කිවාදීන් කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය සඳහා බලමුලු ගැන්වීමට 1968දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (සසප පූර්වගාමීයා) පිහිටුවා ගත්තේ ය.

එතැන් සිට දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා විකොස/සසප සටන් වැදුන ආකාර ද එම කටයුත්ත සඳහා අද දිනයේදී කම්කරු පීඩිතයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙහිලා මූලිකත්වය ගෙන සිටින බවද ලෝසවෙඅ වාර්තාකරුවන් තවදුරටත් ඔවුන්ට පැහැදිලි කලෝ ය. ජවිපෙ කිසිදිනක කම්කරු පන්තියේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනීසිටි සංවිධානයක් නොවන බවද අද මෙම සුලු ධනපති පක්ෂය ධනේශ්වර පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ආකාරය ද ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

තම වාසස්ථාන වලින් නෙරපා හැරීමට මුහුන දී සිටින නිවැසියන් කම්කරු පන්තියේ සියලුම කොටස් සම්බන්ධ කරගත් ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, යහපත්, උසස් තත්ත්වයේ නිවාස සඳහා වූ මූලික සමාජ අයිතිය සඳහා සටන් කල යුතුය.

කොලඹ නගරය සිසාරා අහස් උස මාලිගා සදිසි සුපිරි මහල් නිවාස ඉදිවෙමින් පවතින අතර සුපිරි ධනවතුන් මේවා මිලට ගන්නේ බොහෝ විට ඒකකයක් රුපියල් මිලියන 50 හෝ ඊට අධික මිලකට ය. මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ, සෑම පුද්ගලයෙකුටම සදාචාරවත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය නිවාස ඇතුලු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඕනෑවට වඩා සම්පත් ප්‍රමානයක් තිබෙන බවත් ඒවා ඉතාම අතලොස්සක් අත ගොඩ ගසාගෙන තිබෙන බවත් ය.

මෙලෙස සමාජ ධනය අතලොස්සක් ධනපතියන් සන්තකකරගෙන සිටිනතාක් දුරට, අතිබහුතරයක් වන කම්කරු පීඩිත ජනයාගේ නිවාස අයිතිය වේවා වෙනත් කිසිදු සමාජ, ආර්ථික ඉල්ලීමක් හෝ දිනාගැනීමේ හැකියාවක් ඇත්තේ නැත. සියලු මූලික සමාජ අයිතීන් හා අවශ්‍යතා සපුරාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට බැංකු, දේපල හා නිවාස කර්මාන්ත පත් කරන සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස මෙම අරගලය වර්ධනය කල යුතුව ඇතයි සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ මේ නිසා ය.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් කිරීම පිනිස වන සමාජවාදී මහජන ව්‍යාපාරයකට පදනම දැමීමට, සසප කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයකට උද්ඝෝෂනය කරයි.

මෙම සමාජවාදී වැඩපිලිවෙලට නායකත්වය දෙන මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම සඳහා පෙරට එන ලෙස අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා දුගී නිවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading