වොෂින්ටනය රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කරද්දී, ඉන්දියාව එක්සත් ජනපදය සමඟ චීන විරෝධී හවුල ශක්තිමත් කරයි

[මෙය India strengthening anti-China alliance with US as Washington wages war on Russia යන මැයෙන් 2022 ඔක්තෝබර් 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මොස්කෝව හා චීනය යටත් කර ගැනීම සඳහා න්‍යෂ්ටික යුද්ධයක් අවුලුවාලීමේ අවදානමට තමන් සූදානම් බව වොෂින්ටනය පෙන්නුම් කර තිබියදීත්, ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග මිලිටරි-මූලෝපායික හවුල්කාරිත්වය තව තවත් වර්ධනය කරමින් සිටී.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සැප්තැම්බර් 18 සිට 28 දක්වා දින 10 ක එක්සත් ජනපදයේ සංචාරයක නිරත වූයේ ය. එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ 77 වැනි සැසිවාරයේදී ජයිශංකර් ඉන්දීය දූත පිරිසට නායකත්වය දුන් අතර, ඔහුගේ සංචාරයේ ප්‍රධාන අරමුන වූයේ ඉන්දියානු-එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමයි.

ඉන්දියාව ඉන්දු-පැසිෆික් කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දැඩි සහකරුවෙකි. සියල්ලටත් වඩා, නව දිල්ලියට අවශ්‍ය වූයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය සම්බන්ධයෙන් ඔවුන්ගේ වෙනස්කම් කුමක් වුවත්, චීනයට එරෙහිව වොෂිංටනයේ තකතිරු සහ අන්කවරදාටත් වඩා ප්‍රකෝපකාරී මිලිටරි-උපායමාර්ගික ප්‍රහාරයකට වඩාත් පූර්න ලෙස ඒකාග්‍ර වීමට තමන් අදහස් කරන බව බයිඩන් පරිපාලනයට සහතික කිරීමට ය.

බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් විසින්, “ආක්‍රමනිකයා” වසයෙන් ලේබල් ගැසීමට හැකිවනු පිනිස යුක්‍රේනය ආක්‍රමනය කිරීමට පොලඹවා ගනු ලැබූ සහ ඒ කාරනය හේතුකොටගෙන දඬුවම් පැමිනවීමේ නමින් දැඩි ආර්ථික ආර්ථික සම්බාධකවලට බඳුන් කර තිබෙන රුසියාව හෙලා දකින්නැයි එක්සත් ජනපදය කර තිබෙන ඉල්ලීම අනුයාමට මේ දක්වාමත් ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් 2022 සැප්තැම්බර් 27 වැනි දින රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් සමඟ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වයි. [Photo: U.S. Department of State]

ඔහුගේ සංචාරයේ අවසාන දිනයේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ජයිශංකර් පැවසුවේ, ඉන්දු-එක්සත් ජනපද සන්ධානය ගැන ඔහු “අතිශයින් සුබවාදී” බවයි. ඔහු එය හැඳින්වූයේ “ලෝකයේ දිශානතිය හැඩගැස්වීම” සඳහා “ඉමහත් ශක්‍යතාවන්ගෙන් යුත්. . .සුවිශිෂ්ඨ ධනාත්මක අත්දැකීමක්” ලෙසිනි. බ්ලින්කන්, ඔහුගේ පැත්තෙන්, ඉන්දු-එක්සත් ජනපද “හවුල්කාරිත්වය” “ලෝකයේ වැදගත්ම ප්‍රතිපලදායි සබඳතාවන්ගෙන් එකක්” ලෙස හැඳින්වීය. ඔහුගේ ප්‍රකාශයන් තුල, එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, චතුර් පාර්ශවික හවුල (Quad)—එක්සත් ජනපදයත්, එහි ප්‍රධාන ආසියා-පැසිෆික් සහචරයින්, ජපානය සහ ඕස්ට්‍රේලියාවත් ඉන්දියාවත් අතර අර්ධ මිලිටරි සන්ධානයේ—වැදගත්කම යලි යලිත් අවධාරනය කලේය.

මොස්කව් සහ චීනය යටත් කර ගැනීම සඳහා න්‍යෂ්ටික යුද්ධයක් අවුලුවාලීමේ අවදානමකට තමන් සූදානම් බව වොෂින්ටනය එලිපිට ප්‍රකාශ කරද්දී පවා, ඉන්දියානු ධනේශ්වරයේ සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයේ පූර්න සහයෝගය ඇතිව, ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ආන්ඩුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග මිලිටරි-මූලෝපායික හවුල්කාරිත්වය තව තවත්වර්ධනය කර ගනිමින් සිටී. රුසියාව සම්බන්ධයෙන් ගත් කල, මොස්කව්වලට න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට බලකෙරෙනු ඇතයි ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අනතුරු ඇඟවීම් වලට බයිඩන් පරිපාලනය ප්‍රතිචාර දක්වා ඇත්තේ, දැනටමත් යුක්‍රේනයට ලබා දෙන දැවැන්ත මිලිටරි සහයෝගය වැඩි කිරීම මගිනි. එය එසේ කරන අතරම, වොෂින්ටනය චීනයට එරෙහිව මුලුමනින්ම ප්‍රකෝපකරනය අවුස්සමින්, දියුනු පරිගනක තාක්‍ෂනය චීනයට විකිනීමට සම්බාධක දැමීම ද තායිවානය දැවැන්ත ලෙස සන්නද්ධ කර එය විශාල එක්සත් ජනපද මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ සැලසුම් ද නිවේදනය කරමින් සිටියි.

මෙම වර්ධනයන් පෙන්වා දෙන්නේ, ඉන්දියානු පාලක පන්තියේ සාපරාධී ස්වභාවයයි. මෙම ශතවර්ෂයේ ආරම්භයේ දී, සීඅයිඒ සහ විවිධ එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික චින්තන පර්ෂද ගෝලීය භූ-දේශපාලනික ලෝකයේ වඩාත්ම “වැදගත් හා තීරනාත්මකම රාජ්‍යය” ලෙස ඉන්දියාව ලේබල් කර තිබුනි. මේ කරුන ගැන හොඳින් දැනුවත් නව දිල්ලිය, වොෂින්ටනය මැද පෙරදිග හා මධ්‍යම ආසියාව පුරා යුද්ධ සහ දැන් රුසියාව සහ චීනය සමග අනවරත මූලෝපායික තරඟය හරහා ගෝලීය ආධිපත්‍යය සඳහා මෙහෙයුමක් දියත් කරන විට, එය සමග වඩා සමීප සබඳතා ගොඩනඟා ගත්තේය.

මේ අනුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ලෝකය පුරා, විශේෂයෙන්ම බීජිනයට එරෙහි එහි යුද ධාවනයේ දී පෙරනූවිරූ ආකාරයෙන් ආක්‍රමනශීලීව හා තකතිරු ලෙස ක්‍රියාත්මකවීමට ඉන්දියානු ධනේශ්වරය විසින් දිරිබල සපයයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී මැදිහත්වීම හරහා නතර නොකලහොත්, මෙම මෙහෙයුම, නියත ලෙසම දකුනු ආසියාව ගිල ගන්නා සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාටම තර්ජනයක් වන ගෝලීය වහ්නි ජාලාවකින් කූඨප්‍රාප්ත වනු ඇත.

කොවිඩ්-19 වසංගතයේ වසර දෙකහමාරක කාලය තුල මෝදි ආන්ඩුව එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික, ත්‍රිපාර්ශ්වික සහ චතුර්පාර්ශ්වික සබඳතා නාටකාකාර ලෙස වැඩි කර ගත්තේ ය. මීට අමතරව, එය, 2020 මැයි මාසයේ දී චීනය සමඟ ඇවිලුනු දේශසීමා ගැටුම යොදාගෙන ඇත්තේ, බීජිං කෙරෙහි පසමිතුරුතාව දැඩි කරගැනීමටත්, දකුනු ආසියාවේ සහ ඉන්දියානු සාගර කලාපය පුරා චීනයේ අනුහසට එදිරිවීම සඳහා ඉන්දියාව වොෂින්ටනය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීම යුත්කිසහගත කිරීමටත් ය.

ඉන්දියාව, චීනය මෙන්ම, දැන් දහස් ගනනක් සෙබලුන්, යුද ටැංකි සහ යුධ ගුවන් යානා ඔවුන්ගේ මතභේදයට තුඩු දී ඇති හිමාලයානු දේශසීමා දිගේ පිට පිට තුන්වන සීත සෘතුව දක්වාත් යොදවා තබා ගැනීමට සූදානම් වෙමින්, මෙම දේශසීමා ගැටුමට ඇතුලු වීමට වොෂින්ටනය දරන කුමන්ත්‍රනකාරී වෑයම් කැමත්තෙන්ම පිලිගෙන තිබේ. බීජිනයේ ආක්‍රමනකාරීත්ව පිලිබඳව සහ එය “ජාත්‍යන්තර ලෝක පර්යාය” පිලිපැදීම ප්‍රතික්ෂේප කිරීමේ උදාහරන ලෙස දක්වමින්, ඉන්දු-චීන දේශසීමා ආතතීන් දකුනු චීන මුහුදේ ආරවුලට නැවත නැවතත් ගැට ගැසීම ද මෙම සැලසුම්වලට ඇතුලත් ය.

මෙම සතිය මුලදී, ඉන්දියානු සහ එක්සත් ජනපද හමුදා සති දෙකක ‘යුද්අබ්‍යාස්’ (යුධ අභ්‍යාසය) ආරම්භ කලේ, ඉහල කඳුකර ගැටුම් සඳහා පුහුනු වීමේ සුපැහැදිලි අරමුන ඇතිව, තත්‍ය පාලන රේඛාවේ (එනම්, මතභේදයට තුඩු දී ඇති ඉන්දියාව-චීන දේශසීමාවේ) සිට යාන්තම් කිලෝමීටර් 100කට අඩුදුරකින් පිහිටා තිබෙන වන උතුරු ප්‍රාන්තයක් වන උත්තරකාන්ඩ්හි අවුලි ප්‍රදේශයේදී ය. බීජිං, මෙම අභ්‍යාසය ප්‍රකෝපකරනයක් ලෙස හෙලා දැක තිබීම පුදුමයට කරුනක් නොවේ.

චීනයට එරෙහි ඉන්දු-එක්සත් ජනපද සහයෝගීතාවයේ පුලුල් බව අවධාරනය කරමින්, ජයිශංකර් ප්‍රථම වරට එක්සත් ජනපද-පැසිෆික් දූපත් සමුලුවට ඔහුගේ එක්සත් ජනපද සංචාරය අතරතුර සහභාගී විය. මෙම සමුලුව—දෙවන ලෝක යුද්ධයේ සමහර දැවැන්තම නාවුක සටන් පැවති ප්‍රදේශය වන—දකුනු චීන මුහුදේ වැඩෙන චීන ආර්ථික හා මූලෝපායික බලපෑමට වොෂින්ටනයේ යුදකාමී ප්‍රතිචාරයේ කොටසකි. එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව මෑත මාසවලදී කුඩා සොලමන් දූපත් වල ආන්ඩුවට එරෙහිව තර්ජන මාලාවක් නිකුත් කලේ ය. ඒ, ඔවුන්ගේ අභිමතයන් නොතකා හරිමින්, වොෂිංටනය ලොව පුරා ආන්ඩු සමඟ ඇති කර ගැනීමට උත්සාහ කරන ආකාරයේ ආරක්ෂක ගිවිසුමක්, මෙම දූපත් රාජ්‍යය බීජිං සමඟ අත්සන් කිරීම හේතුවෙනි.

එක්සත් ජනපද-පැසිෆික් දූපත් සමුලුවට ඉන්දියාව සහභාගී වීම, චීනයට එරෙහි පුලුල් එක්සත් ජනපද මූලෝපාය තුලට ඉන්දියාව ඒකාබද්ධ කිරීමේ තවත් පියවරක් සනිටුහන් කරයි. විශාල ඉන්දියානු ජාතික ජනගහනයක් සිටින ෆීජි වැනි පැසිෆික් දූපත් රටවල් සමඟ ඉන්දියාවේ සබඳතා, එක්සත් ජනපදයට එම රට සමග පවතින සබඳතාවට වඩා වැඩියෙන් ශක්තිමත් ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2014 නොවැම්බරයේදී ෆීජි වෙත සංචාරය කලේ ය. ජයිශංකර් ද පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය ජස්ටින් ටිකැචෙන්කෝ වොෂිංටනයේදී හමුවූයේ, දෙරට අතර දැන් පවතින සහයෝගීතාව සහ එය වර්ධනය කර ගත හැකි ආකාරය පිලිබඳව සාකච්ඡා කිරීමට ය. ඉන්දියාව ගෙන ඇති පියවර සාදරයෙන් පිලිගනිමින්, එක්සත් ජනපද ආරක්ෂක සංස්ථාපිතය සමඟ සමීප සම්බන්ධතා ඇති ‘රැන්ඩ් කෝපරේෂන්’හි ජාතික ආරක්ෂක විශ්ලේෂකයෙකු වන ඩෙරෙක් ග්‍රොස්මන් පැවසුවේ, “මේ, මහා බලවතුන් සිතන සහ ක්‍රියා කරන ආකාරයයි: ගෝලීය වශයෙන්” .

තතු එසේ වද්දීම, අන්කවරදාටත් වඩා ගැඹුරු වෙමින් පවත්නා පද්ධතිගත ගෝලීය ධනේශ්වර අර්බුදයක කොන්දේසි යටතේ සිය කොල්ලකාරී අවශ්‍යතා තහවුරු කර ගැනීමට ඉන්දියානු පාලක පන්තිය පොරකමින් සිටීම සහ වොෂින්ටනය එහි ලෝක තත්වය ඛාදනයවීමෙන් වලක්වා ගැනීමට ලෝක මූල්‍ය පද්ධතිය තුල තවමත් එයට පවතින අධිකාරියත් මිලිටරි ශක්තියත් නිර්දය ලෙස පාවිච්චි කිරීමට වෑයම් කරමින් සිටින අතරවාරයේ, ඉන්දු-එක්සත් ජනපද සන්ධානය තුල අනේකාකාර ආතතීන් පවතී.

සැප්තැම්බර් 30 දා හින්දු පුවත්පත වාර්තා කල පරිදි, ඉරානියන් ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කල බවට චෝදනා එල්ල වූ මුම්බායි හි පිහිටි දැවිතෙල් නිෂ්පාදන සමාගමකට එරෙහිව එක්සත් ජනපද භාන්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇත. “චීනයට නැව්ගත කිරීම්” සඳහා ඩොලර් මිලියන ගනනක් වටිනා දැවි තෙල් නිෂ්පාදන මිලදී ගත් බවට, වොෂිංටනය ‘ටිබ් පෙට්‍රොකෙමිකල් ප්‍රයිවට් ලිමිටඩ්’සමාගමට චෝදනා එල්ල කරයි. 2018 දී එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී, ඒකපාර්ශ්විකව ඉරානයට එරෙහිව යුද්ධයකට සමාන ගෝලීය ආර්ථික සම්බාධක පැනවීමෙන් පසු, එවැනි තහනමකට මුහුන දුන් පලමු ඉන්දියානු සමාගම මෙයයි.

මේ අතර, නව දිල්ලිය, ඉන්දියාවේ ජන්මාන්තර ප්‍රතිවාදියා වන පකිස්තානය සමඟ එහි බිඳ වැටුනු සබඳතා යලි පිහිටුවා ගැනීමට වොෂින්ටනය දරන වෑයම කෙරෙහි කුපිත වී ඇත. සිය එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා ප්‍රතිසංස්කරනය කිරීම සඳහා පකිස්තානයට ඩොලර් මිලියන 450 ක් වටිනා යුධ උපාංග විකිනීමට වොෂින්ටනය මෑතදී අනුමත කිරීම සම්බන්ධයෙන්, ජයිශංකර් ඉන්දියාවේ අප්‍රසාදය ප්‍රකාශ කලේය. සීතල යුද්ධය පුරාවට එහි ප්‍රධාන කලාපීය හවුල්කරුවා වූ පකිස්තානය සමග එක්සත් ජනපද සබඳතාව දෙරටටම “සෙත සලසා නොමැත” යැයි ඉන්දීය විදේශ ඇමති ප්‍රකාශ කල අතර, “ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා” එෆ්-16 යොදා ගනු ඇතැයි යන වොෂින්ටනයේ ප්‍රකාශය සෘජුවම ප්‍රතික්ෂේප කලේ, “ඔබට කිසිවකු රැවටිය නොහැකිය” යි පවසමිනි.

දකුනු ආසියාවේ එහි ප්‍රධාන මිලිටරි-මූලෝපායික සහකරු ලෙස ඉන්දියාව ප්‍රවර්ධනය කරමින්, පකිස්තානය සමග සිය ආරක්ෂක සබඳතා අලුත් කිරීමට එක්සත් ජනපදය ගත් තීරනය ආරක්ෂා කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් වාර්තාකරුවන්ට පැවසුවේ, වොෂින්ටනය, ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් දෙකම දෙස බලන්නේ “හවුල්කරුවන් ලෙසයි, මන්ද අපට බොහෝ අවස්ථාවල පොදු මූලධර්ම ඇති බැවිනි.” සැප්තැම්බර් 26දා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල සැසිය අතරතුර අවස්ථාවකදී පකිස්තාන විදේශ අමාත්‍ය භූතෝ සර්දාරි හමුවීමෙන් පසු බ්ලින්කන් “සාධනීය” ඉන්දියා-පකිස්තාන සබඳතාවක් සඳහා කැඳවුම් ක‌ලේ ය.

ඉස්ලාමාබාදය මුලුමනින්ම චීනය මත රඳා නොපවතින බව සහතික කරගැනීමේ එල්ලයෙන්, පකිස්තානය සහ එහි මිලිටරිය සමග තමන්ට පවතින සබඳතා තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් ජනපදය දරන සාපේක්ෂව සීමිත ප්‍රයත්නයන් මත සිය සීඝ්‍රයෙන් වැඩෙන හවුල්කාරිත්වය අනතුරට හෙලීමට වොෂිංටනය වත් නවදිල්ලිය වත් නොයනු ඇත. නව දිල්ලියේ පස්සට ඇදීම නිසැකවම- අඩු ගනනේ ආංශිකව- නව දිල්ලිය රුසියාවෙන් ඈත් කරනු වස් පීඩනය යෙදීමේ විධික්‍රමයක් ලෙස වොෂිංටනය පාකිස්තානය සමග යලි මිත්‍රවීම යොදාග්නේ ය යන විශ්වාසය නිසා ය.

සැලකිය යුතු කරුනක් නම්, පකිස්තානය යුක්‍රේනයට කාලතුවක්කු සහ අනෙකුත් යුධෝපකරන නැව්ගත කිරීම මෑතකදී ආරම්භ කර ඇති බවයි.

යුක්‍රේනය තුල යුද්ධය, ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සහ භූ දේශපාලනික මූලෝපාය අර්බුදයකට ඇද දමා ඇත. පසුගිය දශක දෙක පුරා එය ලෝක භූ දේශපාලනයේ දිනෙන් දින පුලුල් වන විභේද රේඛා (fault lines) හරහා සමබරව ගමන් කිරීමට වෑයම් කර තිබේ. ඉන්දියානු පාලක පන්තිය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සිය ප්‍රතිගාමී හවුල්කාරිත්වය සිය භූ දේශපාලන මූලෝපායේ මුල්ගල කරගෙන ඇත, එම ප්‍රතිපත්තිය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලී සන්ධාන ආන්ඩුව යටතේ ආරම්භ වී, මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය යටතේ ඊටත් වඩා දැඩිව පවත්වා ගෙන යයි. එහෙත් නව දිල්ලිය චීනයට එරෙහිව වඩාත් විවෘතව එක්සත් ජනපදය සමඟ පෙලගැසී සිටියද, එය සිය දිගුකාලීන උපායමාර්ගික හවුල්කරුවා වන රුසියාව සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගිය අතර එයට හේතු ගනනාවක් පවතී. රුසියාව නවදිල්ලියේ විශාලතම ආයුධ සහ ආයුධ පද්ධති සැපයුම්කරු ය. එක්සත් ජනපදය මෙන් නොව, විවිධ හවුල් ව්‍යාපෘති හරහා ඉන්දියාවට මිලිටරි තාක්‍ෂනය හුවමාරු කිරීමට එය සූදානම්ව සිටී. ඉන්දියාවේ න්‍යෂ්ටික වැඩසටහනට ද රුසියාව තීරනාත්මක සහයෝගයක් ලබා දී ඇත. අවසාන වශයෙන්, සිය “සදාකල් මිතුරා” වන රුසියාව මෙන් නොව, වොෂින්ටනය ඉන්දියාවට යලි යලිත් තර්ජනය කර ඇති බවත්, එය එක්සත් ජනපද ආයුධ සහ සහයෝගය මත මුලුමනින්ම යැපෙන තත්වයකට පත් කර, එය පුරසාරම් දොඩන “මූලෝපායික ස්වාධිපත්‍යය” ශුන්‍ය කිරීමට අදහස් කරන බවත් ඉන්දියානු සංස්ථාපිතය හොඳහැටි දැනුවත් ය.

ඉන්දියාවට සම්බාධක පැනවීමේ එක්සත් ජනපද තර්ජන නොතකා, නව දිල්ලිය ඩොලර් බිලියන 5 ක් වටිනා, රුසියාවේ නිෂ්පාදිත S-400 Triumf ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මිලදී ගෙන ස්ථාපිත කර ඇති අතර, ඒවා ලෝකයේ වඩාත්ම දියුනු, දිගු දුර, මතුපිට සිට ගුවනට එල්ල කල හැකි ආරක්ෂක පද්ධතිවලින් එකක් ලෙස සැලකේ. වඩාත් මෑතක දී, ඉන්දියාව, යුක්‍රේන යුද්ධයට පසු රුසියාවට එරෙහි එක්සත් ජනපදය පැනවූ සම්බාධක නොසලකා හරිමින් එහි දෙවන විශාලතම තෙල් ගැනුම්කරු බවට පත් වූ අතර, යුද්ධය සහ කොවිඩ්-19 වසංගතය මගින් උත්සන්න වූ ගෝලීය තෙල් මිල ඉහල යාමේ සහ ගෝලීය ආර්ථික අර්බුදයේ දැඩි මිල වැඩිවීමේ බලපෑමට මුහුන දීමට ඉන්දියානු ආර්ථිකයට උපකාර කල රුසියාවේ විශාල වට්ටම් වලින් ප්‍රයෝජන ගත්තේය.

ඒ අතරම නව දිල්ලිය, රුසියාව මත යැපීම අඩු කිරීම සඳහා වෙනත් රටවලින් මිලිටරි උපකරන ලබා ගැනීම ඇතුලුව රුසියාවෙන් යම් ආකාරවලින් දුරස් වීමෙන්, එක්සත් ජනපදය හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් සන්සුන් කිරීමේ වෑයමක නිතරව සිටී. එක්සත් ජනපද ෆොරීන් අෆෙයාර්ස් සඟරාවට අනුව, රුසියාව ඉන්දියාවේ විශාලතම ආයුධ සැපයුම්කරුවා වුවද, පසුගිය දශකය තුල ඉන්දියාවේ අවි ගබඩාවේ රුසියානු ආයුධ පංගුව අඩකට ආසන්න ප්‍රමානයකින් හැකිලී ඇත. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමෙන් පසුව, නව දිල්ලිය, ඉන්දියානු ගුවන් හමුදාව සඳහා නව MiG-29 ප්‍රහාරක ජෙට් යානා 21 ක් සඳහා වූ ගනුදෙනුව ඇතුලුව, මොස්කෝව වෙතින් තවත් මිලිටරිමය මිලදී ගැනීම් සඳහා වූ එහි සැලසුම් කල් දැමීය.

කෙසේ වෙතත්, වොෂින්ටනය සෑහීමකට පත් නොවන අතර රුසියාව සමඟ ඉන්දියාවේ හවුල්කාරිත්වය කඩාකප්පල් කිරීමට සහ අවසානයේ බිඳ දැමීමට සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනු ඇත, මන්ද යත්, රුසියාව යටත් කර ගැනීම, වොෂිංටනය සිය ප්‍රධාන මූලෝපායික තර්ජනය ලෙස හඳුනාගෙන ඇති චීනයට එරෙහිව තම හස්තය ශක්තිමත් කරගැනීමෙහිලා කේන්ද්‍රීය වසයෙන් වැදගත් වන බැවිනි.

එක්සත් ජනපදය හා එහි නැටෝ සහචරයින් රුසියාව සමග ඔවුන්ගේ යුද්ධය උත්සන්න කරමින් සිටින තතු තුල සහ වොෂින්ටනය චීනය සමග ආතතීන් උත්සන්න කරමින් සිටින තතු යටතේ, ඉන්දියාවේ අස්ථිර භූදේශපාලනික තුලනය කිරීමේ ක්‍රියාවලිය වඩ වඩාත් දුර්වල වෙමින් පවතී.

Loading