න්‍යෂ්ටික යුද්ධයක තර්ජනයට එරෙහිව පැවැත්වුනු ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි රැස්වීමට පුලුල් ශ්‍රාවකයක්

[මෙය Broad audience at Sri Lankan SEP/IYSSE meeting against the threat of a nuclear war යන මැයෙන් 2022 ඔක්තෝබර් 20 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, ඔක්තෝබර් 16 දා—'න්‍යෂ්ටික යුධ අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනඟමු' යන මැයෙන්—බලගතු ඔන්ලයින් රැස්වීමක් පැවැත්වීය.

ශ්‍රී ලංකාව පුරා මෙන්ම ඉන්දියාව, එක්සත් ජනපදය, රුසියාව, යුරෝපය, මැදපෙරදිග සහ තවත් රටවල් කිහිපයක සිට සූම් තාක්ෂනය ඔස්සේ සහ පක්ෂයේ ෆේස්බුක් පිටුව හරහා 150 දෙනෙකු පමන මෙම රැස්වීමට සම්බන්ධ වූහ. සිංහල භාෂාවෙන් පවත්වනු ලැබූ රැස්වීමේ කතා සමගාමීව දෙමල භාෂාවට පරිවර්තනය කරමින්, ඉංග්‍රීසි උපසිරැසි ද සමඟ ඉදිරිපත් කරන ලදී. රැස්වීම් වීඩියෝව මේ වන විට පුද්ගලයින් 1,800 කට අධික පිරිසක් නරඹා ඇති අතර 570 ක් එය බෙදාගෙන ඇත.

ඉන්දියාවේ ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවන් පිරිසක් ඔක්තෝබර් 16 සසප ප්‍රසිද්ධ රැස්වීම ජංගම දුරකථනයෙන් නරඹමින්

සසප සහකාර ලේකම් සමන් ගුනදාස රැස්වීමේ මුලසුන දැරීය. යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපදය හා නැටෝව විසින් උසිගන්වන ලද යුද්ධය, ලෝකය න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක අද්දරට ගෙන ගොස් ඇති බවත් කම්කරුවන් හා තරුනයන් “මෙම කාරනයේ බරපතලකම තේරුම් ගත යුතු” බවත් ඔහු අවධාරනය කලේය.

“න්‍යෂ්ටික අවි ගැටෙන අවසන් සංග්‍රාමයක්” පිලිබඳ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ අනතුරු ඇඟවීම් ගැන සඳහන් කරමින් ගුනදාස පැවසුවේ, න්‍යෂ්ටික යුද්ධයක් “මිනිසුන් මිලියන ගනනින් නොව, බිලියන ගනනින් මැස්සන් මෙන් මරා දමනු ඇති” බව යි.

සමාජවාදය, “කම්කරු පන්තියට, පැවැත්ම සඳහා වෛෂයික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. අද ප්‍රශ්නය, සමාජවාදයද? අධිරාජ්‍යවාදය යටතේ සමූලඝාතනයද? යන්නයි,” ඔහු පැවසීය.

ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කල සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, යුක්‍රේනයේ යුද්ධයට එක්සත් ජනපදය හා එහි නැටෝ සගයින් දැන් විවෘතව ම මැදිහත් වන බව පැවසීය. බයිඩන් පරිපාලනය යටතේ, “එක්සත් ජනපදය රුසියාවට එරෙහිව යුද්ධ කිරීම සඳහා යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 50 කට වඩා වටිනා නවීන අවි සහ අනෙකුත් යුධ උපකරන සපයා තිබෙනවා. එක්සත් ජනපද හමුදා නිලධාරීන් යුක්‍රේන භූමියේ ක්‍රියාශීලීව යුක්‍රේන හමුදාවට පුහුනුව, උපදෙස් සහ මඟ පෙන්වීම් සපයමින් සිටිනවා,” ඔහු පැවසීය.

එක්සත් ජනපදය හා එහි නැටෝ සගයින්ගේ අඛන්ඩ ප‍්‍රකෝප කිරීම් මගින් පුටින්ගේ ආක්‍රමනය අවුලුවාලූ බව සසප පවසන විට, “අපි පුටින්ගේ ආක්‍රමනයට කිසිදු සහයෝගයක් ලබා නොදෙන අතර එය සාධාරනීකරනය කරන්නේ ද නැත” යනුවෙන් කථිකයා පැහැදිලි කලේය.

ශ්‍රී ලංකාවේ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර (වමේ) සහ සසප සහකාර ලේකම් සමන් ගුනදාස ඔක්තෝබර් 16 දා යුද විරෝධී රැස්වීම අමතමින්

කම්කරු පන්තියේ ස්වාධීන ආස්ථානය ගෙනහැර දක්වමින් ජයසේකර පැවසුවේ, “අපි පුටින්ගේ යුක්‍රේනය ආක්‍රමනයට විරුද්ධ වන්නේ, යුක්‍රේනයේ ‘ස්වෛරීත්වය’ හෝ ‘ස්වයං-නිර්නය’ හෝ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ආරක්ෂා කිරීමේ අර්ථයෙන් නොව, රුසියාව හා යුක්‍රේනය තුල මෙන්ම ජාත්‍යන්තරව ද යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කිරීමේ අර්ථයෙනි.”

රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයට පිටුබලය දෙන ව්‍යාජ වම්මු සහ අනෙකුත් ධනේශ්වර ගැති කන්ඩායම්වල දේශපාලන භූමිකාව කථිකයා පැහැදිලි කලේය. පැබ්ලෝවාදී එක්සත් ලේකම් කාර්යාලය, “යුක්‍රේනයේ ‘ස්වයං-නිර්නය’ ආරක්ෂා කිරීමේ නාමයෙන් අධිරාජ්‍යවාදී යුද්ධයට එහි සහාය දීම, නැතහොත් වඩාත් නිවැරදිව කියන්නේ නම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ආධිපත්‍යය දරන නැටෝව ඇතුලු සන්ධානවලට සම්බන්ධ වීමට යුක්‍රේනයට ඇති අයිතිය සාධාරනීකරනය කිරීමට උත්සාහ කරමින් සිටිනවා යැයි ජයසේකර පැවසුවේය

එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා බව කථිකයා පැවසීය. පලමුව, ඔවුන්ගේම භූ-දේශපාලනික අවශ්‍යතා හඹා යාම සහ දෙවනුව, “ධනවාදයේ ගෝලීය අර්බුදයේ කොටසක් ලෙස ඔවුන් මුහුන දෙන දැවැන්ත ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය” මග හැර යාම සඳහා ය.

එක්සත් ජනපදය, “රුසියාව යටත් කර ගැනීමෙන් නතර වන්නේ නැත,” නමුත්, රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කරමින් සිටියදී පවා, රුසියාවට එරෙහිව යුක්‍රේනය භාවිතා කලා සේම, තායිවානය කඩතුරාව ලෙස යොදා ගනිමින්, චීනයට එරෙහිව ගැටුමකට සූදානම් වෙමින් සිටිනවා. “එක්සත් ජනපදය, රුසියාව සහ චීනය සම්පූර්නයෙන්ම යටත් කර ගැනීම හරහා සිය ගෝලීය ආධිපත්‍යය තර කර ගැනීමට ආක්‍රමනශීලී ලෙස ක්‍රියා කරයි,” ඔහු පැවසීය.

එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල පාලක ප්‍රභූන්, ඔවුන් මුහුන දෙමින් සිටින වඩ වඩාත් නරක අතට හැරෙන ආර්ථික අර්බුදයේ බර, දැඩි කප්පාදු පියවරයන් ලෙස කම්කරු පන්තියේ උර මත පැටවීමට උත්සාහ කරන බව ජයසේකර ප්‍රකාශ කලේය.

“ඔවුන් සියල්ලෝම, කප්පාදු පියවරයන්ට එරෙහිව කම්කරු පන්ති අරගල, කොවිඩ්-19 නිදහසේ පැතිරීමට ඉඩ දීමේ සාපරාධී තීරන සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාර ඇතුලු වැඩෙන සමාජ අරගලවලට මුහුන දෙමින් සිටිනවා,” ඔහු පැවසීය.

කලාපයේ තීව්‍ර වන භූ දේශපාලන ආතතීන් ගැන සඳහන් කරමින්, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි වොෂින්ටනයේ යුද්ධය සමඟ පෙලගැසීම සඳහා ඉන්දියාව මත වැඩි පීඩනයකට යෙදෙන බව ජයසේකර සඳහන් කලේය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව, එක්සත් ජනපදය සමග ඉන්දියාවේ මිලිටරි-මූලෝපායික හවුල්කාරිත්වය සහ රුසියාව සමග එහි දශක ගනනාවක ආරක්ෂක සබඳතා අතර අඩමාන සමතුලිතතාවයක් පවත්වා ගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.

කලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේත් දැන් ඔහුගේ අනුප්‍රාප්තිකයා වන රනිල් වික්‍රමසිංහ යටතේත් ශ්‍රී ලංකා ආන්ඩුව, යුක්‍රේන යුද්ධයේ පැත්තක් නොගැනීමේ කොලඹ ආස්ථානය දිගටම පවත්වාගෙන යන බව ඔහු පැවසීය. මෙයට සමගාමීව, යුක්‍රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය හෙලා දැකීම සඳහා ඔක්තෝබර් 12 වැනි දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ ඡන්ද විමසීමේදී, ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.

යුක්‍රේන යුද්ධයේ “පැති නොගැනීමේ” ශ්‍රී ලංකා ආන්ඩුවේ ආස්ථානය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ එහි මිලිටරි-මූලෝපායික න්‍යාය පත්‍රයට ඇති විරුද්ධත්වය පිලිබඳ ඇඟවුමක් නොවේ. කොලඹ තමන්ගේම දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින අතර රුසියාව සහ යුක්‍රේනය යන දෙකම සමග එහි වෙලඳ සබඳතා ගැන සැලකිලිමත් වන බව ජයසේකර පැවසීය.

“විනාශකාරී න්‍යෂ්ටික යුද්ධයක් වැලැක්විය හැකි එකම මාර්ගය වන්නේ ජාත්‍යන්තර සමාජවාදයේ විප්ලවවාදී වැඩපිලිවෙලක් මත ගෝලීය කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමයි. එම වැඩපිලිවෙලේ ප්‍රධාන මූලධර්මයක් නම්, ඓතිහාසික වශයෙන් යල්පැන ගිය සහ ලෝක ආර්ථිකයේ ආධිපත්‍යයට සහ නිෂ්පාදන බලවේගවල ගෝලීය අන්තර් රඳා පැවැත්මට පටහැනි, ජාතික රාජ්‍යය ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමයි,” ජයසේකර පැවසීය.

1934 දී, පලමු හා දෙවන ලෝක යුද්ධ අතර අර්බුදකාරී වසර වලදී ට්‍රොට්ස්කිගේ ප්‍රකාශයට යොමුවෙමින් කථිකයා සඳහන් කලේ, “යුද්ධ කාලයකදී ජාතික රාජ්‍යයට බැඳී නොසිට, යුද සිතියම නොව, පන්ති අරගලයේ සිතියම අනුගමනය කිරීම අවශ්‍ය බව ය.” මින් අදහස් කරන්නේ, ජයසේකර පැහැදිලි කලේ, “අධිරාජ්‍යවාදයට විරුද්ධත්වය මුල්බැස ගත යුත්තේ සූරාකෑමට, අසමානතාවයට හා ධනේශ්වර ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමේ සටන තුල” බවයි.

අවසාන වශයෙන්, කම්කරුවන්, තරුනයින් හා ශිෂ්‍යයන් අතර ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන යන අරගලයට එක්වන ලෙස ජයසේකර සියලුම සහභාගිවන්නන්ට ආරාධනා කලේය.

සියල්ලටත් වඩා, ඔහු අවධාරනය කලේ, “අපගේ දේශපාලන වැඩපිලිවෙල හා ඉදිරිදර්ශන අධ්‍යයනය කරන ලෙසත්, ලෝසවෙඅ නිතිපතා කියවන ලෙසත්, අප සමග දේශපාලන සාකච්ඡා ආරම්භ කරන ලෙසත්, සසප හා හජාජාකට අවශ්‍ය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට සම්බන්ධ වන ලෙසත් අපගේ පක්ෂයට බැඳුනු නැති සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින,” බව යි.

ප්‍රශ්නෝත්තර වාරයේදී න්‍යෂ්ටික විනාශය නැවැත්විය යුතු ආකාරය පිලිබඳ ප්‍රශ්නයකට පිලිතුරු දුන් ජයසේකර, අධිරාජ්‍යවාදී බලවතුන් හෝ රුසියාව මෙම ව්‍යසනයේ මානව ප්‍රතිවිපාක ගැන තැකීමක් නොකරන බව පැහැදිලි කලේය.

“යම් සැකයක් තිබේ නම්,” ජයසේකර පැවසුවේ, “කොවිඩ්-19 නිදහසේ හා මාරාන්තික ලෙස පැතිරීමට ඉඩ දුන් විට, මෙම ධනපති පාලක පන්තීන්ම මිලියන ගනනකගේ ජීවිත බිලිදීමට පසුබට නොවූ බව මම ඔබට මතක් කර දීමට කැමතියි.

“යුද්ධය නැවැත්විය හැක්කේ ගෝලීය පරිමානයෙන් අර්බුදකාරී ධනේශ්වර පද්ධතිය බිඳ දමන කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයකින් පමනයි. ඉතිහාසය පෙන්වා දෙන පරිදි, රුසියාවේ බොල්ෂෙවික් පක්ෂය, 1917 දී ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ, කම්කරු පන්තිය එවන් ජයග්‍රහනයක් කරා ගෙන ගිය අතර, ඉතිහාසයේ ප්‍රථම කම්කරු පන්තික රාජ්‍යය ස්ථාපිත කලේය.

“පලමු ලෝක සංග්‍රාමය නැවැත්වූයේ මෙයයි,” ජයසේකර තවදුරටත් පැවසීය, “කම්කරු පන්තිය විසින් නායකත්වය දෙන ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම එකම ශක්‍ය වැඩපිලිවෙල වන අතර එම අරගලයට අප හා එක්වන ලෙස මම නැවත ඔබෙන් ඉල්ලා සිටිමි.”

Loading