පොදුජන පෙරමුනේ නාමල් රාජපක්ෂගෙන්, ජවිපෙට එරෙහි රාජ්‍ය මර්දනයකට ඉඟි කෙරෙන දේශපාලන තර්ජනයක්

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) තම ප්‍රචන්ඩ දේශපාලනයෙන් මෙතෙකුදු ඉවත්ව නොමැති බව “මැයි 9 වැනිදා ඔවුන්ගෙ හැසිරීමත්” සමග තහවුරු වී ඇතැයි, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) නායකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 31 දා මාධ්‍යයට පැවසී ය.

නාමල් රාජපක්ෂ (නාමල් රාජපක්ෂ ෆේස්බුක් පිටුව) [Photo]

පසුගිය මහජන නැගිටීමේ ප්‍රධාන විරෝධතා මධ්‍යස්ථානයක් වූ ගෝල්ෆේස් පිටියෙහි විරෝධතාකරුවන්ට ශ්‍රීලංපොපෙ මැරයන් විසින් මැයි 09 දා එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව රටපුරා ඇවිලී ගිය ප්‍රචන්ඩත්වය ගැන සඳහන් කරමින් රාජපක්ෂ මෙසේ කීවේය: “අපිත් හිතුවා ජනතා විමුක්ති පෙරමුනේ යම්කිසි වෙනසක් වෙලා කියලා. ඒත් මැයි 9 වැනිදා ඔවුන්ගෙ හැසිරීමත් එක්ක අපිට කියන්න පුලුවන් ජනතා විමුක්ති පෙරමුනට තාම තියෙන්නෙ 88 සහ 89 (සන්නද්ධ කැරැල්ල) කාලෙ හැසිරීම තමයි කියල. ... ඒ කඩු කිනිසි, තුවක්තු, පොලු මුගුරු සහ ගිනි පෙනෙලි පැත්තකින් තියල ප්‍රතිපත්තිමය වශයෙන් රට හදන දේශපාලන ගමනකට පිවිසුනොත් හොඳයි.”

රනිල් වික්‍රමසිංහ-ශ්‍රීලංපොපෙ ආන්ඩුවේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරන සහ ශ්‍රීලංපොපෙහි අනුප්‍රාප්තික නායකයා ලෙස ඔසවා තැබෙන තැනැත්තා විසින් කල මෙම ප්‍රකාශය ජවිපෙට එරෙහි රාජ්‍ය මර්දනයකට ඉඟි කෙරෙන දේශපාලන තර්ජනයකි.

ධනපති සංස්ථාපිතයේ ම පක්ෂයක් සම්බන්ධයෙන් ආන්ඩුව ගන්නා මෙම ආස්ථානය, තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටින කම්කරු පංතිය සහ අවශේෂ පීඩිත ජනයාට එරෙහිව මුදා හැරීමට සූදානම් කෙරෙන රාජ්‍ය මර්දනයේ පරිමාව ගැඹුරින්ම ප්‍රකාශයට පත් කරයි.

රාජපක්ෂ, ජවිපෙ ට එරෙහි ඉහත ප්‍රකාශය කරනුයේ, ශ්‍රී ලංකාවේ ධනපති පාලක පංතිය, වසර 74 ක තම පාලන කාලය තුල මුහුනදුන් ගැඹුරුතම ආර්ථික අර්බුදයට මුහුන දී සිටින තතු තුලයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු විධානයන් හරහා එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සම්බන්ධයෙන් ශ්‍රීලංපොපෙ සහ ජවිපෙ ඇතුලු සියලු ධනපති දේශපාලන පක්ෂ එකාවන්ව එකඟ ය.

ජවිපෙ යලියලිත් කියා සිටින්නේ, මහජන නැගිටීම තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමග ශ්‍රීලංපොපෙ 2020 මැතිවරනයේදී ලබාගත් “ජනවරම” අහෝසි වී ඇති බවයි. පාර්ලිමේන්තුව තුල ඡන්ද විමසීමකින් ජනාධිපති ධූරයට පත්, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එක ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහට ද කවර හෝ “ජනවරමක්” නොමැති බැවින්, ජාමූඅ විධානය කරන පිලිවෙත් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ-ශ්‍රීලංපොපෙ ආන්ඩුව මුලුමනින්ම අපොහොසත් බව ජවිපෙ පවසයි. හදිසි මැතිවරනයක් පවත්වා ඉන් ලැබෙන “නව ජනවරමක්” මගින් එම පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට තමාට හැකි බව එය කියා සිටී.

නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය පැමිනෙන්නේ, ඉහත අරමුන මත ජවිපෙ විසින් ඔක්තෝබර් 27 දා කොලඹදී පැවැත් වූ විරෝධතා රැලියකට ප්‍රතිචාරී ලෙසිනි.

රාජපක්ෂ එහි දී තවදුරටත් මෙසේ කියයි: “එතුමා (වික්‍රමසිංහ) පැහැදිලිව රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමට අවශ්‍ය වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම, හැකිතාක් එතුමාගෙ ප්‍රතිපත්තිත්, පොහොට්ටුවේ (ශ්‍රීලංපොපෙ) ප්‍රතිපත්තිත් අතර මධ්‍ය ලක්ෂ්‍යයක් හොයා ගන්න එතුමා උත්සාහ කරනවා. ඒ සඳහා එතුමාට අවශ්‍ය උපරිම දේශපාලන සහයෝගය අපි ලබා දෙනවා.”

“රටේ ආර්ථිකය ගොඩනැගීමේ” කඩතුරාව යටතේ, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ලාභ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ජාමූඅ විධානයන් ක්‍රියාවට නැංවීමේ දී කම්කරු-පීඩිත මහජනතාවගෙන් ආන්ඩුවට එල්ල වන ප්‍රතිරෝධය තලා දැමීමේ දී මෙම දෙපාර්ශ්වය දේශපාලන “මධ්‍ය ලක්ෂ්‍යයකට” පැමින ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) සහ අත්‍යවශ්‍ය සේවා විධිවිධාන පනත ඇතුලු රුදුරු නීති යටතේ කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට සහ අවශේෂ පීඩිතයන්ට එරෙහි ව වික්‍රමසිංහ මුදා හැර ඇති රුදුරු රාජ්‍ය මර්දනයට ශ්‍රීලංපොපෙ “උපරිම දේශපාලන සහයෝගය” ලබා දෙයි.

මැයි 09 දා ඇවිලී ගිය ප්‍රචන්ඩ ක්‍රියා, විරුද්ධ පක්ෂ වලට සහ විරෝධතාකරුවන්ට, සුවිශේෂිත ව කම්කරු පංතියට, එරෙහි රාජ්‍ය මර්දනයක් දිගේලි කිරීම සඳහා ආන්ඩුව විසින් වහා ඩැහැගනු ඇති බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) මුල සිටම අනතුරු ඇඟවී ය. මැයි 10 දා නිකුත් කෙරුනු සසප ප්‍රකාශයේ මෙසේ සඳහන් විය:

9දා රාත්‍රී කාලයේ අයාලේ යමින් සිදුකලාක් වැනි පුද්ගලික දේපල විනාශකිරීම් ආන්ඩුවේ හා ප්‍රතිගාමිත්වයේ අත ශක්තිමත් කිරීමට තුඩු දෙනු ඇත.

සසප අනතුරු ඇඟවීම සෑම අතින්ම සනාථ වී ඇත. සැප්තැම්බර් 06 දා, එජාප යේ 76 වන සම්මේලනය අමතා ජනාධිපති වික්‍රමසිංහ කල කතාවේදී, ඔහු, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ට “ප්‍රචන්ඩත්වය” ඇවිලවීම සම්බන්ධයෙන් චෝදනා කලේ ය. පෙසප, කලකට පෙර ජවිපෙන් බිඳුනු කන්ඩායමක් විසින් ගොඩනගාගත් ව්‍යාජ-වාම සංවිධානයකි.

අප්‍රේල් මාසයේ ඇවිලුනු මහජන නැගිටීම ගැන සඳහන් කරමින් වික්‍රමසිංහ මෙසේ පැවසී ය: “පලමුවැනි වතාවට තරුන-තරුනියන් තුවක්කු අරගන්නෙ නැතිව, බෝම්බ අරගන්නෙ නැතිව, රටේ වෙනසක් වුවමනායි කියල ප්‍රකාශ කලා. එහෙත් ඒක ඇතුලෙන්, විශේෂයෙන්ම ප්‍රචන්ඩත්වය මුල් කරගෙන පෙරටුගාමී සංවිධානය ඉදිරියට ආවා. අන්තිමට ඒකෙන් ඒ තරුන-තරුනියන් පිටවුනා. ප්‍රචන්ඩත්වය රජවුනා.”

මෙම කතාවට සති දෙකකට පෙරාතුව, අගෝස්තු 22 දා, පෙසප විසින් නායකත්වය දෙන, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් තිදෙනෙකු පීටීඒ යටතේ දින 90 ක් රඳවා තබා ගැනීමේ නියෝගයකට වික්‍රමසිංහ අත්සන් තැබුවේ ය. අගෝස්තු 18 දා කොලඹ පැවති විරෝධතාවක දී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් 19 දෙනාට ඔවුන් තිදෙනා අයත් වෙති.

මුදලිගේ සහ තවත් අයෙකු, මාස දෙකකට අධික කාලයක් පීටීඒ යටතේ මෙලෙස රඳවාගෙන සිටිනුයේ ඔවුනට එරෙහිව අධිකරනයක චෝදනා ගොනු කිරීමක් හෝ නොමැතිවයි. රාත්‍රි කාලයේදී ඇස් බැඳ, ඉහත දේපොල හානි සිදුවූ තැන් වලට තමා රැගෙන යමින් උක්ත ප්‍රචන්ඩ ක්‍රියා වලට තමා පැටලීමේ උත්සාහයක් පවතින බවත්, තම ජීවිතය අනතුරේ පවත්නා බවත් මුදලිගේ තම සොහොයුරාට පැවසූ බව මාධ්‍යයන්හි වාර්තා විය.

“ප්‍රචන්ඩකාරී” ලෙස හැසිරුනු බවට චෝදනා කරමින් 4000 කට වැඩි ප්‍රමානයක් අත්අඩංගුවට ගෙන ඇති වික්‍රමසිංහ ආන්ඩුව ඉන් 1000 කට වැඩි සංඛ්‍යාවක් මෙතෙකුදු රඳවාගෙන සිටී.

මෙම දඩයම් මාලාවට පසුබිම සම්පාදනය කරමින්, ජූනි 25 දා මහනුවර පැවති, මන්ත්‍රීවරුන්ගේ සහ ආධාරකරුවන්ගේ රැස්වීමක් අමතා වික්‍රමසිංහ මෙසේ පැවසීය: “අපි මේ මොහොතේ කටයුතු කරන්නේ ෆැසිස්ට් ත්‍රස්තවාදය සමඟයි. විරෝධතාවක් මුවාවෙන් බොහෝ පිරිස් නිවාස හා වාහන ගිනි තබා රාජ්‍ය දේපල විනාශ කිරීම හෝ සොරකම් කිරීම සිදු කලා.”

අගෝස්තු 2 දා සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල ප්‍රකාශය පැහැදිලි කල පරිදි, වික්‍රමසිංහගේ ඉහත සැඳහුම “මොනතරම් කැත ඉංගිතයක්ද! අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන සහ ජීවිතයේ අනෙකුත් මූලික අවශ්‍යතා ඉල්ලා උද්ඝෝෂන කරන කම්කරුවන්ට, තරුනයන්ට සහ ගම්බද දුගීන්ට එරෙහිව පොලිස්-මිලිටරි ප්‍රහාර මුදා හැරියේ හිටපු රාජපක්ෂ පාලනය සමග වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව යි.”

දේපොල හානි ඉස්මතු කරමින්, “ප්‍රතිපත්තිමය වශයෙන් රට හදන දේශපාලන ගමනකට” ජවිපෙට වංචනික ලෙස ආරාධනය කරන නාමල් රාජපක්ෂ එම පොලිස්-මිලිටරි ප්‍රහාර මුදාහල රාජපක්ෂ ආන්ඩුවේ කැබිනට් ඇමතියකු වූ අතර, එම ප්‍රහාර ඉදිරියට ගෙන යන වික්‍රමසිංහ-ශ්‍රීලංපොපෙ පාලනයේ කේන්ද්‍රීය පුද්ගලයෙකි.

1988-89 සමයේ ජවිපෙ ප්‍රචන්ඩත්වය ගැන නාමල් රාජපක්ෂ කරන ප්‍රකාශයන් ඒ තරමටම වංචනිකය. 1987 ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පාලන සමයේ අත්සන් කෙරුනු ඉන්දු-ලංකා ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉන්දියානු කොලනියක් බවට පත් කෙරෙන බව පවසමින් ජවිපෙ ගෙනගිය ඉන්දියානු විරෝධී ප්‍රතිගාමී උද්ඝෝෂනයට, නාමල් රාජපක්ෂගේ පියා වන මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) එවක නායකත්වයේ සිටි කන්ඩායමක් විවෘත ව ම සහයෝගය දුන්නේ ය.

කම්කරු පංතියට එරෙහි ලේවැකි ව්‍යාපාරයක් ලෙස ජවිපෙ වර්ධනය වීම සම්බන්ධයෙන් සහ ජවිපෙ මැඩීමේ මුවාවෙන්, රැඩීකලීකරන වෙමින් සිටි ගම්බද තරුනයන් 60,000 ක් ඝාතනය කරමින් එජාප ආන්ඩුව දියත් කල රාජ්‍ය මර්දනය සම්බන්ධයෙන් ශ්‍රීලනිප ඍජු ව ම වගකිව යුතු ය.

එම ලේ වැකි රාජ්‍ය මර්දනයට, එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කල අනුර බන්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රීලනිප ඍජුව සහයෝගය දුනි. අවසානයේ දී එම මර්දනයට එරෙහි ව වැඩුනු දැවැන්ත මහජන මතය ගසා කනු වස්, මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රීලනිප නඩයක්, මිය ගිය සහ සිර ගත කෙරුනු තරුනයන් සහ ඔවුනගේ දෙමාපියන් වෙනුවෙන් ව්‍යාජ උද්ඝෝෂනයක යෙදී ගත්හ.

මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සම්මිශ්‍රිත ජාතිකවාදී දේශපාලන දෘෂ්ටිවාදයක් මත පදනම්වූ සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් ලෙස 1960 ගනන්වල මැද භාගයේ ආරම්භ වූ ජවිපෙ, 1988-89 සමයේ තම දේශපාලන විරුද්ධවාදීන්ට සහ කම්කරු පංතියට එරෙහි ෆැසිස්ට් පන්නයේ ඝාතන සහ ප්‍රහාරයන්ට යොමු විය. නිෂ්පාදනයේ ගෝලීයකරන සන්තතියත් සමග පරිනාමය වූ ජවිපෙ, 1990 ගනන් මැද භාගය වනවිට තම සමාජවාදී වාගාලාප සහ සන්නද්ධ ඇඳුම් කට්ටල පසෙක තබා ධනපති දේශපාලන සංස්ථාපිතයට මුලුමනින් ම ඒකාග්‍ර වි ඇත.

අද දින වික්‍රමසිංහ-ශ්‍රීලංපොපෙ ආන්ඩුව මුදා හැර ඇති රාජ්‍ය මර්දනය අති මූලික වශයෙන් එල්ල කෙරී ඇත්තේ, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි ව අරගලයට ඇදෙන කම්කරු පංතියටයි. රාජ්‍ය මර්දනය ඇතුලු සමස්ත ධනපති ප්‍රහාර පරාජය කල හැක්කේ, ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ප්‍රතිප්‍රහාරයකිනි.

ඒ සඳහා, ජවිපෙ, සජබ, ශ්‍රීලනිප සහ දෙමල ජාතික සන්ධානය ඇතුලු සියලු ධනපති පක්ෂ වලින් ද, එම ධනපති පක්ෂවල අත යටට කම්කරුවන් තල්ලු කිරිමේ ප්‍රතිගාමී මෙහෙවරක යෙදෙන පෙසප වැනි ව්‍යාජ-වාම පක්ෂ වලින් සහ වෘත්තීය සමිති වලින් ද ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරි කමිටු ගොඩ නගා ගැනීම අත්‍යවශ්‍ය ය.

නොවැම්බර් 02 දා සසප ප්‍රකාශයේ සඳහන් වන පරිදි, “කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන අපගේ කැඳවීම කම්කරු පන්තියට සිය බලවේග තහවුරු කර ගැනීමටත්, සමාජවාදී පිලිවෙත් මත සමාජය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේම පාලනයක් ස්ථාපිත කිරීම සඳහා ගම්බද ජනතාවගේ සහයෝගය ඇතිව ඉදිරියට යාමටත් දේශපාලන මූලෝපායක් සම්පාදනය කරයි.”

Loading