ටොම් හෙනහන් ඝාතනයෙන් හතලිස් පස් වසරක් (1951-1977)

ටොම් හෙනහන්: විප්ලවවාදී ජීවිතයක්

මෙය Tom Henehan: A revolutionary life මැයෙන් 2022 ඔක්තෝබර් 16 දින යලි පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි. එය 1997 නොවැම්බර් 7 දිීන ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පෙරගමන්කරු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කම්කරු මාවත පුවත්පතේ පලවිය.)

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයෙහි පූර්වගාමියා වන වර්කර්ස් ලීගයේ දේශපාලන කමිටු සාමාජිකයෙක් වූ ටොම් හෙනහන් ඝාතනයෙන් හතලිස්-පස් සංවත්සරය ඊයේට (ඔක්තෝබර් 16) යෙදුනි.

1997 ඔක්තෝබර් 19දා, ටොම් හෙනහන්ගේ මරනයෙන් 20වන සංවත්සරය සැමරීමට සසප ඈන් ආබර්හි දී රැස්වීමක් පැවැත්වී ය.

එවකට සසප ජාතික ලේකම් වූ ඩේවිඩ් නෝර්ත්, එම රැස්වීමේ දී ටොම් වෙනුවෙන් පැවැත්වූ උපහාර කතාව අපි පහත පලකරමු. මෙම දේශනය මෙහ්රින්ග් බුක්ස් (Mehring Books) වෙතින් ඉංග්‍රීසි බසින් පොත් පිංචක් ලෙස ද ලබාගත හැකි ය.

1977 ඔක්තෝබර් 15 සවස, ටොම් පක්ෂයෙහි තරුන ව්‍යාපාරය වූ, තරුන සමාජවාදීන් විසින් අනුග්‍රහය දක්වන ලදුව නිව් යෝක්හි බෲක්ලින්හි දී පවත්වන ලද වැඩසටහනක් අධීක්ෂනය කරමින් සිටියේ ය. පසුව එඩ්වින් සෙක්විනෝ හා ඒන්ජල් රොඩ්රිගුවස් ලෙස හඳුනා ගන්නා ලද මිනිසුන් දෙදෙනෙක්, ජැක් වියෙලොට් නමැති වර්කර්ස් ලීගයේ වෙනත් සාමාජිකයෙකුට පහර දී නො සන්සුන්තාවක් ඇති කිරීමට පටන් ගත් හ. වියෙලොට්ගේ සහායට දිව ගිය ටොම් ට, එහි බලා සිටි තුන්වැනි ප්‍රහාරකයෙක් හා වෘත්තීය තුවක්කුකරුවෙක් වූ ඇන්ජලෝ ටෝරෙස් විසින් පස් වතාවක් වෙඩි තබන ලදී. ඉන්පසු තුවක්කුවක් ඇදගත් සෙක්විනෝ වියෙලොට් ට වෙඩි තැබුවේ දරුනු ලෙස තුවාල සිදු කරමිනි. තුවාල ලද වියෙලොට් වහා ම ටොම් ව වයිකෝෆ් හයිට්ස් රෝහලට රැගෙන ගියේ ය. රෝහල වෙත ලඟාවීමෙන් ආසන්න වසයෙන් පැයකට පමන පසුව, ඔක්තෝබර් 16දා හිමිදිරි උදයේ ටොම් මියගියේ ය. එවිට ඔහු 26 හැවිරිදි වියේ පසු විය.

(ඡායාරූපය: ලෝසවෙඅ)

ටොම් මරා දැමීම, වර්කර්ස් ලීගය බියවැද්දීම හා ඇමරිකානු කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වය ගොඩනැගීමට එය දරන ලද උත්සාහයන් වැලැක්වීම ඉලක්ක කරගත්, දේශපාලනික ප්‍රහාරයක් විය. ටොම්ගේ මරනය සිදුවූයේ නිව් යෝක්හි නගර කම්කරුවන් ද වෙස්ට් වර්ජිනියා හා කෙන්ටකීහි පතල් කම්කරුවන් ද සටන්කාමී කම්කරුවන්ගේ අනෙකුත් කොටස් අතර ද පක්ෂය සැලකිය යුතු ආනුභාවයක් ලබාගනිමින් සිටිය දී ය.

ඒ අතර ම, හතරවැනි ජාත්‍යන්තරයෙහි ආරම්භකයා වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනය කිරීම වටා වූ සිද්ධීන් පිලිබඳ ව, වර්කර්ස් ලීගය ඓතිහාසික විමර්ශනයක නිරත ව සිටියේය. සිය සොයාගැනීම් ආරක්ෂාව හා හතරවැනි ජාත්‍යන්තරය නමින් පලකරන ලද මෙම විමර්ශනයේ දී, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනිවිද යටත් කරගැනීම සඳහා අධිරාජ්‍යවාදයේ හා ස්ටැලින්වාදයේ පොලිස් ඒජන්සි දශක ගනනාවක් තිස්සේ දැරූ ප්‍රයත්නයන් හෙලිදරවු කෙරුනි. අනෙකුත් දේවල් අතර, පසුව ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂයෙහි නායකයෙක් වූ ජෝසෆ් හැන්සන් හා මධ්‍යම විමර්ශන කාර්යාංශය අතර පැහැදිලි සබඳතාවන් ද විමර්ශනය තුලින් හෙලි කලේ ය. විමර්ශනය අඛන්ඩ ව ඉදිරියට ගියහොත්, “මාරක ප්‍රතිවිපාකවලට” මුහුන දීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවූ ප්‍රකාශයක්, 1977 ජුනි මාසයේ දී හැන්සන් හා සකපය ප්‍රසිද්ධ කල හ. බෲක්ලින්හි රෝහලක දී ටොම් අවසන් ගමන් ගියේ ඉන් කෙටි කලකට පසුව ය.

ටොම්ගේ මරනයෙන් වහා ඉක්බිති ව, වර්කර්ස් ලීගය හා තරුන සමාජවාදියෝ, ඔහුගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන දඬුවම් පමුනුවන ලෙස ඉල්ලන උද්ඝෝෂනයක් දියත් කල හ. බෲක්ලින්හි දිස්ත්‍රික් නීතිඥයා වෙත යැවූ පෙත්සම්වලට අත්සන් තැබූ දසදහස් ගනනක් ඇතුලු රට පුරා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පලල් සහයෝගය දිනාගැනීමට මෙම උද්ඝෝෂනයට හැකි විය. එක්සත් ජනපදයේ කම්කරුවන් මිලියන 3ක් නියෝජනය කරන වෘත්තීය සමිති නිලධාරීහු ද එම උද්ඝෝෂනයට අනුමැතිය දුන් හ.

1980 වසර පසුභාගයේ දී, ටෝරෙස් පලාගොස් ඇතැයි ද ඔහු සොයාගත නො හැකි යයි ද සෙක්විනෝට එරෙහි ව නඩු පැවරීමට කරුනු නැතැයි ද වසර තුනක් තිස්සේ කියාපෑමෙන් පසුව නිව් යෝක් පොලීසිය එම පුද්ගලයන් දෙදෙනා ම අත්අඩංගුවට ගත්තේ ය. ප්‍රසිද්ධ මිනීමැරීමේ වරෙන්තුවක් යටතේ පසු වුව ද ටෝරෙස් මෙම සමස්ත කාලපරිච්ඡේදය පුරා එක ම නිවසක ජීවත් වී තිබූ අතර, එක් වරක් අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබුනි. 1981 ගිම්හානයේ දී මේ දෙදෙනාට එරෙහි ව නඩු විමසා, ටොම් හෙනහන් මරා දැමීම හා ජැක් වියෙලොට් ට තුවාල සිදුකිරීමේ වරදට වරදකරුවනු කරනු ලැබ දීර්ඝ සිරදඬුවම් නියම කෙරුනි.

එතරම් තරුන වයසක දී ටොම් හෙනහන් මරුමුවට පත්වීම, ජාත්‍යන්තර කම්කරු පන්තියට සිදු වූ ඛේදනීය පාඩුවක් විය. බුද්ධිමත්, ධෛර්යය සම්පන්න, ගතික, ප්‍රෝත්සාහී හා කාරුනික යන වදන් තරුන ටොම් ව හොඳින් ම විස්තර කරයි. 1951 මාර්තු 16දා ඔහු විස්කොන්සින්හි මිලවුකීහි දී උපත ලැබුවේ ය. ටොම් තවමත් කුඩා දරුවෙක් ලෙස පසුවෙද්දී, ඔහුගේ පවුල් මිචිගන්හි ග්රෑන්ඩ් රැපිඩ්ස් වෙත පදිංචියට පැමිනුනේ ය. පසුව, ටොම් නව යෞවනයෙක් ලෙස පසුවෙද්දී, එම පවුල් කලමාසූ හි පදිංචි විය. 1969 දී නිව් යෝක් නගරයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයට ටොම් ඇතුලත් වූ අතර, ඔහුගේ ජ්‍යේෂ්ට වසරේ දී ඔහුට වර්කර්ස් ලීගය මුනගැසුනේ එහි දී ය. 1973 මාර්තුවේ දී, ටොම් පක්ෂයට බැඳී ඔහුගේ ජීවිතය කම්කරු පන්තියෙහි දේශපාලන අධ්‍යාපනය හා විමුක්තිය වෙනුවෙන් කැප කලේ ය.

ඔහු පක්ෂය තුල සිටි වසර හතර තුල, එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව තරුන ව්‍යාපාරය වර්ධනය කිරීමේ දී කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කල ටොම්, වෙස්ට් වර්ජිනියා හා කෙන්ටකී තුල පතල් කම්කරුවන් අතර වර්කර්ස් ලීගයේ ආනුභාවය විස්තාරනය කිරීමේ දී විශේෂයෙන් ක්‍රියාකාරී විය. ජනකාන්ත පුද්ගලයෙකු වූ ටොම්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම, පරමාදර්ශී විය. ඔහු ගැන දැන සිටි හා ඔහු සමග වැඩ කල සියල්ලන් අතර, ඔහු යෝධ, අමතක නො වන මතක සටහනක් තබා ගියේ ය.

* * *

ටොම් හෙනහන් 1976 දෙසැම්බරයේ හාර්ලෙම් හරහා ගැරී ටයිලර් පාගමන මෙහෙයවීය [ඡායාරූපය: WSWS]


ටොම් හෙනහන් : විප්ලවවාදී ජීවිතයක්

අතීතාවර්ජනයකින් මගේ කතාව ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. 1977 ඔක්තෝබර් 16 දා අලුයම ටොම් හෙනහන් අවසන් හුස්ම හෙලූ රෝහලේ සිට පැමැනි මම, ටොම් ගේ වැඩිමහල් සොහොයුරා වන පෝල්ට දුරකථනයෙන් කතා කොට, ඒ් භයංකර පුවත ඔහුට දැනුම් දුනිමි. ටොම්ගේ පවුලේ සෙසු සාමාජිකයන්ට මේ ගැන දැනුම් දීමේ වගකීම තමා බාර ගන්නා බව එවිට පෝල් මට පැවසීය. පැය කිහිපයකට පසුව, මට කතා කල පෝල් දන්වා සිටියේ ටොම් ගේ මෑනියන් වන මේරි ඇලිස්, ඝාතනයෙන් පසු දින නිව් යෝර්ක් නුවරට ගුවනින් පැමිනෙන බවයි. චකිතයකින් යුතුව මේරි ඇලිස් හෙනහන්ගේ පැමිනීම බලාපොරොත්තුවෙන් සිටි අයුරු මගේ මතකයට නැගේ. පෙර කිසි දිනක මට මේරි ඇලිස් හෙනහන් මුන ගැසී නොතිබුනි. මා මගෙන්ම අසා ගත් ප්‍රශ්නය නම්: එවන් ඛේදනීය මොහොතක යම් අයුරින් ටොම් ගේ මෑනියන් සනසන්නට මට කුමක් කිවහැකි ද යන්න යි. එහෙත් මේරි ඇලිස් හෙනහන් අපගේ කාර්යාලයට පැමිනි විට මා ඇයට යමක් කියන්නටත් ප්‍රථම ඇය මා වැලඳගත්තා ය. ටොම්ගේ මව සනසා ලන්නේ කෙසේද යන්න කල්පනා කරමින් සිටි මම ඒ වෙනුවට ඇය විසින් සනසාලන ලදී. 1977 ඔක්තෝබරයේ සිද්ධීන් තුල ජීවත් වූ අප කිසිවෙකුටත්, ඇයගේ ජීවිතයේ ඛේදනීයම සතිය වන එම කාල පරිච්ඡේදය තුල දී මේරි ඇලිස් හෙනහන් අපට ලබා දුන් ශක්තිය හා සහයෝගය කිසිසේත්ම අමතක කල නොහැකිය. මා එවිට අවබෝධ කර ගත්තේ, ටොම් හෙනහන්ගේ සුවිශේෂ ගුනාංගයෙන්, ඔහු සුවිශේෂ මනුෂ්‍යයෙකුගේ පුත්‍රයා වීමට නොඅඩුව සම්බන්ධ බවයි. මෙම සුවිශේෂ තැනැත්තිය, මේරි ඇලිස් හෙනහන් මෙන්ම ටොම්ගේ සොහොයුරියන් ද මෙම අනුස්මරන අවස්ථාවේ අද අප සමග සිටීම ගැන අපි සියල්ලෝම බෙහෙවින් ආඩම්බර වෙමු.

1977 ඔක්තෝබර් 22 දා ටොම් හෙනහන් ඝාතනයෙන් දින කිහිපයකට පසුව පැවති අනුස්මරන රැලියේ දී, අපි ඔහු කිසිදාක අමතක නොකරන බව ට ප්‍රතිඥා දුන්නෙමු. අද ඉන් විසි වසරකට පසුව අපි එම ප්‍රතිඥාව ඉටු කරන්නෙමු. එම ප්‍රථම අනුස්මරන රැස්වීමට සහභාගි වූ අයගෙන් බොහොමයක් දෙනා අද යලි මෙහි සිටී. -ඔවුන්ගෙන් සමහරෙක් හැතැප්ම දහස් ගනන් ගෙවා මෙහි පැමින සිටී- යන කාරනාවම, ඔහු දන්නා, ඔහුට ගෞරව කල අය මත හා ඔහුට ආදරය කල අය මත පවා ටොම්ගේ පෞරුෂත්වය විසින් ඇති කරන ලද කල් පවත්නා බලපෑම තියුනු ප්‍රකාශනයකි. විසි වසරකට පසුව පවා, ඔහුගේ පෞරුෂත්වයේ බොහෝ පැති - ඔහුගේ බුද්ධිය, අධිෂ්ඨානය, ශාරීරික ධෛර්යය, දයාව, ශක්තිය, රසිකත්වය සහ ජීවිතය උද්‍යෝගිමත්ව ආස්වාදනය කිරීම - ටොම් පිලිබඳ අපගේ මතක සටහන් තුල තවමත් ඔපවත්ව දක්නට ලැබේ. එහෙත් මෙම රැස්වීමේ අරමුන අතීතය ආවර්ජනය කොට වියෝවූ සහෝදරයෙකු පිලිබඳ මතකයට උපහාර පිදීම පමනක් නොවේ. අප ඔහුගේ මරන සංවත්සරය අවස්ථාවේ ටොම්ට ගෞරව දැක්වීමේ ක්‍රියාදාමය තුල දී ම ඔහුගේ ජීවිතයේ අරමුන වූ පරමාදර්ශයන්ට හා මූලධර්මවලට අපගේම කල්පවත්නා කැපවීම යලි සනාථ කිරීම ද කරන්නෙමු. සත්තකින්ම එම පරමාදර්ශයන්ගේ බලය හා අදාලත්වය සිය ප්‍රකාශනය අත්පත් කර ගන්නේ, තරුන පරම්පරාවක නියෝජිතයන් - ඔවුන්ගෙන් සමහරෙක් ටොම්ගේ මරනය අවස්ථාව වන විට අතදරුවෝ ය, නැතහොත් ඒ් වන විට ඉපදී වත් නොසිටියහ - මෙම රැස්වීමට සහභාගිවීම තුල ය.

නිව් යෝර්ක් නගරයේදී ඝාතනයට ලක් වන විට, ටොම් හෙනහන්ගේ වයස යන්තම් 26කි. ඔහුගේ සමකාලීනයන් වන අප ටොම්ගේ ඡායා රූපය දෙස බැලූ කල, අපම අවුරුදු 20කින් වියපත්ව සිටින තතු තුල 1977දීට වඩා ප්රගාඪ ලෙස අද අපිට තක්සේරු කර ගත හැක්කේ, ඔහු මරනයට පත් වන අවස්ථාවේ කොතරම් නම් තරුනවීද යන්නයි. ඔහු ඝාතනයට ලක් නොවුනා නම් ඔහු කොතරම් නම් දේවල් අත්පත් කර ගැනීමට සමත් වනු ඇති ද, අත්පත් කරගනු ඇති ද යන්න පිලිබඳ වඩා හොඳ අදහසක්, අද අපිට ඇති කර හැකිය. අද දක්වා අපට දැනෙන්නේ වියෝව පිලිබඳ කල්පවත්නා හැඟීමකි; එහෙත් අපතේ යාම හා අනර්ථය පිලිබඳ හැඟීමක් නම් නොවේ. ටොම්ගේ ජීවිතයේ 26 වසර බෙහෙවින් කෙටි කාල පරිච්ඡේදයක් වන නමුත් එය පරමාර්ථයෙන් හා කල් පවත්නා අර්ථයෙන් නම් කිසිසේත්ම ලුහුඬු නොවේ.

ටොම් හෙනහාන් 1975 ජනවාරියේ බෘක්ලින්හි තරුනයින් අතර ප්‍රචාරක ව්‍යාපාරයක් [ඡායාරූප: WSWS]

ටොම් 1977 ඔක්තෝබරයේ මිය ගියේ නැති නම්, තවත් වසර 20ක් ජීවත්වීමේ වරප්‍රසාදය ඔහුට ලැබුනේ නම්, ඔහු දැන් අප සමග සිටීනම්, ඔහු නිසැකව ම, වසර 26 කාල පරිච්ඡේදය තුල දී කල හැකි වූ දේට වඩා අත්දැකීම් ලබා ගැනීමට ද දේවල් අත්පත් කර ගැනීමට ද සමත් වනු ඇත. එහෙත් ඔහුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය ගමන් මාවත වැටෙනු ඇත්තේ, 1973 වසන්තයේ දී ඔහු කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා පිටවීමට ආසන්නයේ දී වර්කර්ස් ලීගයට බැඳීමට සහ කම්කරු පන්තියේ කාර්යභාරය හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා වූ අරගලය වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීමට ඔහු තීරනය කල කල්හි, නිර්නය වූ මාවත ඔස්සේ ය.

ටොම් වචනයේ හොඳම හා ධනාත්මක අර්ථයෙන් ගත් කල පරමාදර්ශියෙකි. ඔහු යුක්තිය, සමානත්මතාව හා මනුෂ්‍ය වර්ගයාගේ සහයෝගිතාව පිලිබඳව බලගතු හැඟීමකින් යුතුව විශ්වාස කලේ ය. එහෙත් ඔහු වර්කර්ස් ලීගයට බැඳුනේ , නොසැලකිලිමත් යෞවන ප්‍රමෝදය හේතු කොට ගෙන නම් නොවේ. ටොම් 1960 ගනන්වල හා 1970 දශකයේ මුල සමාජ හා දේශපාලනික කම්පනයන් මධ්‍යයේ පරිනත වූ අතර , ඔහු වියට්නාම් යුද්ධය, නගරවල පැවති ප්‍රචන්ඩ අරගල සහ එක්සත් ජනපදය තුල පවත්නා දරිද්‍රතාව හා පීඩනය පිලිබඳ ගැටලුවලට කිසිදු සත්‍ය විසඳුමක් නිර්මානය කර ගැනීමෙහි ලා ලිබරල් ප්‍රතිසංස්කරනවාදය දැක්වූ පැහැදිලි නොහැකියාව යනාදිය මගින් දේශපාලනිකව රැඩිකලීකරනය කෙරුනි. සිය පරම්පරාවේ අන් බොහෝ අය මෙන්, ඔහු ද, ඇමරිකානු සමාජයට මහත් සේ වධ දුන් සමාජ පීඩාවන්ගේ මූලය ධනවාදය ය යන නිගමනය කරා පැමිනියේ ය.

1976 ඔක්තෝබර් බෘක්ලින් නාවික අංගනයේ කම්කරුවන් අතර බුලටින් සඳහා ප්‍රචාරක ව්‍යාපාරය [ඡායාරූපය: WSWS]

ටොම් මුලින්ම වර්කර්ස් ලීගය හා සම්බන්ධතා හදා ගත් අවස්ථාව වන විට, එකල ක්‍රියාකාරීව සිටි අනේකවිධ වාමාංශික දේශපාලන ප්‍රවනතා බොහොමයක් ම -එස්ඩීඑස් සංවිධානයේ බිඳී ගිය කන්ඩායම්වල හා ප්‍රගතිශීලී කම්කරු සංවිධානයේ මාඕවාදීන්ගේ සිට සමාජවාදී කම්කරු පක්ෂයේ හා ස්පාටකස් ලීගයේ සංශෝධනවාදීන් දක්වා - ඔහුට ඒ් වන විටත් හමුවී තිබුනි. එහෙත්, ඊට පෙර දශකයේ කාලපරිච්ඡේදය තුල දී තරුන ශිෂ්‍යයන් දහස් ගනනක් අතරේ ආධාරකරුවන් දිනා ගත්, මෙම ප්‍රවනතාවලින් එකක් වත්, ටොම් හෙනහන්ගේ පක්ෂපාතීත්වය දිනා ගැනීමට සමත් නොවී ය.

ටොම් හෙනහන් වර්කර්ස් ලීගයට ආකර්ෂනය කර ගත්තේ කුමක් මගින් ද? පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය ඔහු පිලිගන්නා දර්ශනය තුල ප්‍රකාශයට පත් වන්නේ යම් සේ ද , එමෙන්ම, පුද්ගලයෙකු, පක්ෂයක් තෝරා ගැනීමේ දී, සිය බුද්ධිමය හා සදාචාරාත්මක පැවැත්මේ ඉතාම ප්‍රගාඪ මට්ටමේ දී තමා පොලඹවන, බල​වේග, පරමාදර්ශ, මූලධර්ම හා අරමුනු එලිදරව් කරයි. එහෙත් පක්ෂය සහ එය සමන්විත වන පුද්ගලයන් අතර සම්බන්ධය සංකීර්න එකකි. පුද්ගලයෙකු තමා බැඳීමට ඉටා ගන්නා පක්ෂය තෝරා ගත යුතුය යන්න නිසැකවම සත්‍ය කාරනාවකි. එහෙත් වඩා පුලුල් ​​ඓතිහාසික අර්ථයකින් ගත් කල, පක්ෂයක සාමාජිකයන් ම - වි​​ශේෂයෙන්ම මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයන් ම - ඓතිහාසික තෝරා ගැනීමක නිෂ්පාදිතයක් ය යනුවෙන් පැවසීම තවමත් වඩා සත්‍ය ය.

විප්ලවවාදී ව්‍යාපාරය වනාහි, මිනිසුන් හා ගැහැනුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨයෙකි. එය ඓතිහාසික කර්තව්‍යයන්ගෙන් අතිශයින්ම අසීරු කර්තව්‍යයේ මට්ටමට නැග ගැනීමේ හැකියාවෙන් යුත් අය, හුදෙක් මාස ගනනාවක් හෝ නැතිනම් වසර ගනනාවක් පවා නොව, දශක ගනනාවක් හා ජීවිත කාලයම පවා සමාජවාදී පරමාර්ථය වෙනුවෙන් කැප කිරීමට සූදානම් අය, සොයා ගනී. එය බුද්ධිමය හා සදාචාරමය දරා සිටීමේ විශිෂ්ට ශක්තීන් සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටී. මේ ලෝකයේ පවත්නා ගැටලුවලට මතුපිට විසඳුම් පමනක් සොයනඅය තෝරා ගනු ඇත්තේ, සිය බුද්ධියෙන් සුලුවෙන් ඉල්ලන, සංකීර්න ගැටලුවලට ලේසි සහ සැනසුම් සහගත පිලිතුරු ඉදිරිපත් කරන, මහජන මතයේ හා ඊනියා සාමාන්‍ය බුද්ධියේ පවත්නා අගතීන්ට අනුගත වන, සහ කැපවීමේ ගැඹුර, අරගලයේ තීව්‍රභාවය හා සමාජය විප්ලවවාදී ව පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය න්‍යායික ශ්‍රමය ප්‍රතික්ෂේප කරන, පක්ෂයකි. නොගැඹුරු සංවිධාන ආකර්ෂනය කර ගන්නේ නොගැඹුරු මිනිසුන් ය.

ටොම් හෙනහන් විස්තර කිරීමට යොදා ගත හැකි වචන සියල්ලෙන්ම, නොගැඹුරු භාවය වනාහි සිතට නැගෙනුඇති වචනවලින් අවසානය වනු ඇත. ටොම් වර්කර්ස් ලීගය වෙත ආකර්ශනය කර ගනු ලැබුවේ, න්‍යායික ගැටලු කෙරෙහි එය දැක්වූ සැලකිල්ල, එය මාක්ස්වාදය විද්‍යාවක් ලෙස අධ්‍යයනය කිරීම, සහ ඉදිරි දර්ශනයට හා ක්‍රියා මාර්ගයට කා වැදී තිබූ ඉතිහාසය පිලිබඳ ප්‍රගාඨ අවබෝධය විසිනි. වර්කර්ස් ලීගයට බැඳීමට ටොම් ගත් තීන්දුව, චින්තනයේ හා අරමුනේ අත‍්‍යවශ්‍ය බැරෑරුම් භාවයක් ප්‍රකාශයට පත් කලේ ය.

ටොම් හෙනහන් මෙන්ම, 1970 දශකය මුල දී වර්කර්ස් ලීගයට බැඳුනු අප එසේ කලේ, එක්සත් ජනපදයේ කම්කරු පන්තිය මුහුන දෙන ගැටලු, විසි වන සියවසේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම්වල වඩා පුලුල් සන්දර්භය තුල තැබූ එකම ව්‍යාපාරය එය වූ නිසා ය. දවසේ මහා දේශපාලනික හා සමාජ ප්‍රශ්නවලට කල් පවත්නා විසඳුම් සොයා ගත යුත්තේ, රැඩිකල් ශබ්ද නගන එහෙත් මූලිකව හිස් සටන් පාඨ ('බලය ගලා එන්නේ තුවක්කු කටෙනි' යනාදී ) මට්ටමේ හෝ උමතු ක්‍රියාවාදය තුල නො වන බව එය පැහැදිලි කලේ ය. එ වෙනුවට, වර්කර්ස් ලීගය අවධාරනය කලේ, විප්ලවවාදී භාවිතාවේ අත්‍යවශ්‍ය පදනම සමන්විත වන්නේ, ස්ටැලින්වාදය විසින් 1917 ඔක්තෝබර් විප්ලවය පාවා දෙනු ලැබීමට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය ගෙන ගිය ශ්‍රේෂ්ට අරගලයෙන් ව්‍යුත්පන්න කර ගැනෙන න්‍යායික හා දේශපාලනික පාඩම උකහා ගැනීම තුල බව ය.

ටොම් පක්ෂ සාහිත්‍යය මුද්‍රණය කරයි [ඡායාරූපය: WSWS]

ඉහත 1970 ගනන්වල දී, වර්කර්ස් ලීගය, එහි රැඩිකල් වාමාංශික විරුද්ධවාදීන් විසින් පොදුවේ හෙලා දකින ලද්දේ 'කට්ටිවාදීන් ' ලෙස ය. මෙම විශේෂන පදයෙන් ඔවුන් අපකීර්තියට ලක් කිරීමට බලාපොරොත්තු වූයේ, අප අපගේ දැවැන්තම ශක්තිය ලෙස සැලකූ දේශපාලන ගති ලක්ෂනයන්ම ය: එනම්, භෞතිකවාදී අපෝහකයෙහි අප නිමග්නව සිටීම, ඉතිහාසය සම්බන්ධයෙන් අප දක්වන බලගතු උනන්දුව, සහ, එයින් ගලා එන, අද දිනයේ මහජන ව්‍යාපාරය මත ආධිපත්‍යය දරන පක්ෂ හා සංවිධාන පිලිබඳ අපගේ සම්මුති විරහිත විවේචනශීලී ආකල්පය අපි වනාහි, ස්ටැලින්වාදී නිලධරය හා එහි හවුල්කරුවන් විසින් සෝවියට් හා ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව කරන ලද අපරාධ අමතක කිරීම හෝ ඒ්වාට සමාව දීම හෝ ප්‍රතික්ෂේප කල පක්ෂය වීමු. සංශෝධනවාදී ව්‍යාපාර මෙන් නො ව, අපි ස්ටැලින්වාදයට මොන යම් හෝ ප්‍රගතිශීලී අංග ලක්ෂනයක් ආරෝපනය කිරීම ප්‍රතික්ෂේප කලෙමු. අප ස්ටැලින්වාදය දුටුවේ, බලපෑම් දමා වමට තල්ලු කර ගැනීමට නියමිත නොමග ගිය දේශපාලනික ප්‍රවනතාවක් ලෙස නොව, ඒ් වෙනුවට, එලිදරව් කොට, අපකීර්තියට පත් කොට විනාශ කිරීමට නියමිත ප්‍රතිවිප්ලවවාදී නිලධරයක දේශපාලන ප්‍රකාශනයක් ලෙස ය.

රැඩිකල් ධනේශ්වර ජාතිකවාදී දේශපාලනය පිලිබඳ අපගේ ආකල්පය ද ඊට අඩු නොඅඩු ලෙස සම්මුති විරහිත විය. 1966 දී වර්කර්ස් ලීගය පිහිටුවනු ලැබුවේ, ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ෆිදෙල් කස්ත්‍රෝගේ දේශපාලනයට යටත් වීමට එරෙහිව හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන යන ලද අරගලයේ පදනම මත ය. ජාත්‍යන්තර කමිටුව නිවැරදිව අනතුරු ඇඟවූ පරිදි, කස්ත්‍රෝවාදයට සකපයේ යටත් වීමෙන් නියෝජනය වූයේ, කම්කරු පන්තියේ නායක විප්ලවවාදී කාර්යභාරය ප්‍රතික්ෂේප කිරීමකි. කස්ත්‍රෝගේ ජයග්‍රහනය, නිසැකවම, එක්සත් ජනපදයට අපහසුතාවක් හා පසුබැසීමක්, තාවකාලිකව වුවත්, නියෝජනය කලේ ය. එය, කෙසේ වෙතත්, කම්කරු පන්තික බලයේ නව රූපාකාරයක් වත් සමාජවාදී විප්ලවයේ සක්‍ය මූලෝපායක් වත් නියෝජනය නො කලේ ය. රැඩිකල් සුලුධනේශ්වරයේ දේශපාලනඥයන් විසින් මෙහෙයවනු ලබන නාගරික හා ග්‍රාමීය ගරිල්ලා හමුදාවන්ගේ සංයෝජනයක් සමාජවාදය ගෙනඒමට සමත් වන්නේ නැත. අප අවධාරනය කලේ, සමාජවාදයේ ඉරනම රඳා පවත්නේ, ජාත්‍යන්තර මාක්ස්වාදී පක්ෂයක් විසින් උගන්වා ගනු ලැබ මෙහෙයවනු ලබන ජාත්‍යන්තර කම්කරු පන්තිය බලය සඳහා කරන දැනුවත් දේශපාලන අරගලය මත ය යන්න ය.

මේවා 1970 ගන්නවල දේශපාලන වාතාවරනය තුල ජනප්‍රිය සංකල්ප නො වී ය. සෝවියට් නිලධරය සහ ඒ හා බැඳුනු කොමියුනිස්ට් පක්ෂ ඒ් වන විටත්, දැවැන්ත සම්පත්වලට හිමිකම් කියමින්, දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් මත අතිමහත් ආනුභාවයක් භුක්ති විඳිමින් සිටියේ ය. 'ජාතික විමුක්ති' ව්‍යාපාර - ඒවා එකල හැඳින්වූයේ එලෙස ය- අති මහත් ජාත්‍යන්තර පිලිගැනීමක් භුක්ති වින්දේ ය. ඒක්සත් ජනපදයේ භූගෝලීය ආනුභාවයට මුහුන දීමේ මාධ්‍යයන් ලෙස මෙම සංවිධාන දෙස බැලූ, සෝවියට් සංගමයෙන් සපයන ලද අරමුදල්වල පිහිටෙන්, ඊනියා තුන්වන ලෝකයේ රැඩිකල් ජාතිකවාදීන් විසින් ගෙන යනු ලැබූ 'සන්නද්ධ අරගල' ශිෂ්‍යයන්ගේ, බුද්ධිමතුන්ගේ පුලුල් කොටස්වල සහ මධ්‍යම පන්තියේ සෙසු කන්ඩායම්වල උද්‍යෝගයට හා ප්‍රශංසාවට ලක් විය. 1970 ගනන් ජාතික විමුක්ති ව්‍යාපාරවල - අයිආර්ඒ, එම්පීඑල්ඒ, පීඑල්ඕ, සන්දිනිස්තා, පැරාබුන්ඩෝ මාටි, ෆ්රෙ​ලිමෝ, සහ තවත් නිමක් නැති සංවිධානවල - සමෘද්ධිමත් සමය විය. එවන් ව්‍යාපාර පිලිබඳ අපගේ විවේචන, ධනේශ්වර ජාතිකවාදීන්ගේ දේශපාලනය තුල ප්‍රකාශයට පත්වූ සැබෑ සමාජ අවශ්‍යතා ගැන අප කල විශ්ලේෂන, සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය, ආර්ථික පසුගාමිත්වය හා ජාතික පීඩනය පිලිබඳ එකිනෙක සම්බන්ධිත ගැටලු විසඳාලීමට මෙම ව්‍යාපාරවලට පවතින නො හැකියාව ගැන අපගේ අනතුරු ඇඟවීම්, යනාදියට නිරතුරුවම ලැබුනේ වෛරී ප්‍රතිචාරයකි. අපට සාවඥ ලෙස යලියලිත් මෙසේ කියන ලදී: 'ට්‍රොට්ස්කිවාදීන් වන නුඹලා ... න්‍යාය ලෝකයේ ජීවත් වෙන ගමන්, සැබෑ අරගල මෙහෙයවන ව්‍යාපාර නිරතුරුවම විවේචනය කරනවා.'

1977 ජර්සි නගරයේ තරුණ සමාජවාදී රැස්වීමකදී ටොම් කතා කරමින් [ඡායාරූපය: WSWS]

රැඩිකල් සුලුධනේශ්වරයේ ජනප්‍රිය දේශපාලනයට අනුගත හා අනුකූල වන ලෙස අපගේ ව්‍යාපාරය මත අතිමහත් පීඩනයක් හෙලන ලදි. අවාසනාවන්ත ලෙස, අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් එම පීඩනය යටතේ නැමුනි. 1970 ගනන් මැද වන විට, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප), තමන්ම සමාජවාදී කම්කරු පක්ෂයේ අවස්ථාවාදයට එරෙහිව සටන් වැදැනු කල්හි කලින් විරුද්ධ වී තිබූ සංකල්පයන්ටම අනුගත වීමට පටන් ගති. තථ්‍ය වශයෙන්ම, 1977 ඔක්තෝබරයේ ටොම්ගේ ඝාතනයෙන් පසුව පැවති අනුස්මරන රැස්වීමේ දී, කවිප ප්‍රධාන ලේකම් මයික් බන්ඩා, ටොම් පිලිබඳ ප්‍රසංශාවක් ලෙස ආරම්භ කල සිය කතාව, පලස්තීන විමුක්ති සංවිධානයට පිදෙන විලිලැජ්ජානැති උපහාරයක් බවට පරිවර්තනය කල විට, අප එයට සවන් දුන්නේ, මවිතය, අනතුරු ඇඟවීම හා කැලඹීම මිශ්‍රිත හැඟීමකිනි! අරෆත්ගේ දේශපාලනයට ප්‍රසංශා කරමින්, බන්ඩා, ප්‍රජාතන්ත්‍ර හා සමාජවාදී පලස්තීනයක එල්ලය කරා යාම තුල දී, පීඑල්ඕ නායකයන් 'කිසිදු කෙටි මාවතක්, කිසිදු තත්කාර්යවාදී උපායක් යොදා ගැනීමට උත්සාහ නොකරන ...' බව ප්‍රකාශ කලේය.

පසුගිය විසිවසර තුල දී, අරෆත් හා පීඑල්ඕව යොදා ගන්ට උත්සාහ දරා ඇත්තේ, 'කෙටි මාවත්' හා 'තත්කාර්යවාදී උපායන්' දෙකතුනක් නොවේ. ධවල මන්දිරයට කල සංචාර, නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීමට ඔස්ලෝවට කල සංචාරයක්, සහ විවිධ ඊස්රායල අගමැතිවරුන් සමග පැවැත්වූ මිනිය නොහැකි තරම් වූ රහස් මන්ත්‍රන, හරියටම 'කෙටිමාවත්' නොවේ නම්, 'තත්කාර්යවාදී උපායන් ' ලෙස ගුනාංගී කරනය කල හැකියි මම විශ්වාස කරමි. කෙසේ වෙතත්, අරෆත් හා පීඑල් ඕව බෝහෝ කලකට ඉහත දී 'ප්‍රජාතන්ත්‍ර හා අනාගමික පලස්තීනයක්' පිලිබඳ එල්ලය අතහැර දමා, ඒ වෙනුවට, පලස්තීන මහජනයා අන්ත දරිද්‍රතාව තුල හා කිසිදු අයිතියකින් තොරව, ඊස්රායල තන්ත්‍රය මගින් පමනක් නො ව, ඊනියා 'පලස්තීන අධිකාරියේ' පොලීසිය මගින් ද පීඩනයට ලක් වෙමින්, ජීවත් වන, 'ස්ථිතියක්' (entity)(ජාත්‍යන්තර රාජ්‍ය තන්ත්‍රික භාෂාවෙන් එසේ හඳුන්වන) පිලිගැනීමට එකඟ විය. මම බන්ඩාගේ කතාව යලි මතකයට නගා ගෙන, ජාත්‍යන්තර කමිටුව, වර්කර්ස් ලීගය හා ටොම් හෙනහන් සටන් වැදුනු දේශපාලනික හා මූලධර්ම හා ක්‍රියාමාර්ගය ඓතිහාසික ක්‍රියාදාමය මගින් සනාථ කෙරී ඇත්තේ, කෙතරම් නම් පරිපූර්න ලෙස ද යන්න පෙන්නුම් කිරීම පිනිස පීඑල්ඕවේ විකාශනයට අවධානයට යොමු කර ඇත්තෙමි.

ට්‍රොට්ස්කි හතර වන ජාත්‍යන්තරය පිහිටුවන කාලයේ පටිගත කල සිය කතාවක දී එකල බලගතු මහජන සංවිධාන - ස්ටැලින්වාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් පාලනය කරන ලද පක්ෂ හා වෘත්තීය සමිති - ගැන සඳහන් කරමින්, 'මෙම යල්පිනූ සංවිධානවල එක ගල් කැටයක් වත් ඉතිරි නොකරනු ඇති' ඓතිහාසික සිද්ධීන් මගින් ඒවා බිඳ දමනු බවට, අනාවැකි පල කලේ ය. ටොම් හෙනහන්ගේ මරනයෙන් පසුව ගත වූ වසර ගනනාව තුල අපි එම අනාවැකිය සනාථ වනු දැක ඇත්තෙමු. එවන් කෙටි කලකට ඉහතදී එතරම් බලගතු සේ පෙනුනු සංවිධාන, එකකට පසු එකක්, කැබලිවලට පිපිරී ගොස් තිබේ. සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය පුපුරා ගියේ ය. චීනයේ මාඕවාදී තන්ත්‍රය, භූගෝලීයකෘත ධනවාදී නිෂ්පාදනයේ කඩඇනවලින් එකක් බවට පත්ව ඇති ම්ලේච්ඡ ආර්ථික සූරාකෑමේ පද්ධතියක් පාලනය කරයි. ෆිදෙල් කස්ත්‍රෝ, සෝවියට් සහනාධාර අහිමි වීමට ලක්ව, කියුබානු ආර්ථිකයේ ඉරනම, බැටිස්ටා යුගයේ අන්ත දරිද්‍රතාව හා දූෂනය නවීන රූපාකාරයන්ගෙන් දැනටමත් ප්‍රති නිර්මානය කරන, සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම මත ඔට්ටු අල්ලා ඇත.

ටොම් හෙනහන් ගේ ජීවිතය පිලිබඳ තක්සේරුවක් කිරීමේ දී, ඔහු සටන් වැදැනු පරමාර්ථයේ හා මූලධර්මවල අදාලත්වය ගැන සලකා බැලීම අවශ්‍ය ය. අද අපිට සෑම අතින්ම ඇසෙන්නේ, සමාජවාදය අභාවයට ගොස් ඇත යන ප්‍රකාශය යි. එහෙත් මෙම ප්‍රකාශයේ සමස්ත පදනම ම රඳා පවත්නේ, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය මාක්ස්වාදය හා සමාජවාදය සමග සාවද්‍ය හා නරුම ලෙස අනන්‍ය කිරීම මත ය. මාක්ස්වාදය ස්ටැලින්වාදයට දක්වන සම්මුති විරහිත විරුද්ධත්වය, වර්කර්ස් ලීගයේ දේශපාලනික ක්‍රියාමාර්ගයේ හා ඉදිරිදර්ශනයේ සාරභූත පරිශ්‍රය විය. ටොම් සම්බන්ධයෙන් නම්, සමාජවාදය සඳහා අරගලය අවශ්‍යයෙන්ම ඉදිරියට ගියේ, ස්ටැලින්වාදයට හා සෝවියට් නිලධරයේ දේශපාලනයට එරෙහි සටනක් හරහා ය. සෝවියට් සංගමයේ බිඳ වැටීම මගින් මූර්තිමත් කෙරුනේ, සමාජවාදයේ නො ව, සමාජවාදය පාවා දීමට හා අපකීර්තියට ලක් කිරීමට පමනක් මාක්ස්වාදී වාග්පාඨ යොදා ගත් ප්‍රතිගාමී තන්ත්‍රයක අවසානය යි.

ඇත්ත වශයෙන්ම, සමාජවාදය පිලිබඳ කාර්යභාරයට ස්ටැලින්වාදය විසින් එල්ල කරන ලද භයංකර පහරවලට මුහුන දීමට සිදු විය යන්න ප්‍රතික්ෂේප කල නොහැකි ය. ස්ටැලින්වාදයේ ස්වභාවය පිලිබඳ අපේ විද්‍යාත්මක තක්සේරුවත් කම්කරු පන්තික පුලුල් මහජනතාව විසින් වර්තමානයේ දී සෝවියට් සංගමයේ බිඳ වැටීම අවබෝධ කර ගනු ලබන ආකාරයත් අතර, නොවැලැක්විය හැකි ලෙසම වෙනසක් පවතී. විසිවන සියවසේ සංකීර්න දේශපාලනික අත්දැකීම් උකහා ගැනීමට හා අවබෝධ කර ගැනීමට මහජනතාවන් සඳහා කාලයක් ගත වනු ඇත. උකහා ගැනීමේ හා යලි ඉගෙන ගැනීමේ එම කාලපරිච්ඡේදයේ සීමාව ගැන කිසිවෙකුටත් අනාවැකි පල කල නොහැකි ය. එහෙත් දේශපාලනික ව්‍යාකූලත්වය සමාජවාදී ව්‍යාපාරයේ වර්ධනය යම් කාල සීමාවකට ප්‍රමාද කිරීමට හැකි වුවත්, සමාජවාදය අවශ්‍ය හා ඓතිහාසික අර්ථයෙන් නො මැකිය හැකි ප්‍රකාශනයක් බවට පත් කරන ප්‍රතිවිරෝධතා, ධනවාදී නිෂ්පාදන විධියේ ව්‍යූහය තුලම, තවමත් පවතී.

1977 ජූනි, ෆිලඩෙල්ෆියා හි පැවති තරුණ සමාජවාදී පස්වන ජාතික සමුළුවේදී අදහස් දක්වමින් [ඡායාරූපය: WSWS]

මෙම ප්‍රතිවිරෝධතා සෘජු හා පුපුරන සුලු විභවයකින් යුත් ප්‍රකාශනය අත්පත් කර ගන්නේ, අන්තර්ජාතික සංගතවල අධිපති ක්‍රියා කලාපය, නිෂ්පාදනයේ භූගෝලීය ඒකාග්‍රකරනය සහ ධනවාදී ශ්‍රම ක්‍රියාදාමයේ ජාත්‍යන්තරකරනය තුල ය. පසුගිය විසි වසර තුල, ජාත්‍යන්තර ධනවාදී වර්ධනයේ සෘජු ප්‍රතිවිපාකයක් ලෙස, කම්කරු පන්තියෙහි ප්‍රමානයේ දැවැන්ත ප්‍රසාරනයක් සිදු වී තිබේ. පසුගිය විසිවසරේ තවත් ප්‍රපංචයක් වී ඇත්තේ, ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයකින් සමන්විත වන අත්‍යධික ලෙස ධනවත් අතලොස්ස සහ අවිනිශ්චිත භාවයේ හා ව්‍යසනයේ විවිධ මට්ටම්වල ජීවත් වන පුලුල් මහජනතාවන් අතර පවත්නා ධනවාදී පද්ධතියේ අසාමාන්‍ය ධ්‍රැවාන්තගත වීම යි. මෙම ක්‍රියාදාමය ගැන බෙහෙවින් අඳෝනා නැගෙන නමුත් එය ධනවාදයේ රාමුව තුල පාලනය කල නො හැකි ය.

නිශ්පාදන බලවේග තව තවත් දැවැන්ත ලෙස වැඩෙන අතර තාක්ෂනය වඩවඩාත් විශ්මයජනක මටටම් කරා නැගේ. විද්‍යාවේ ක්ෂේත්‍රය තුල සෑම දෙයක්ම කල හැකි ලෙස පෙනී යයි. සමාජයේ ක්ෂේත්‍රය තුල, කෙසේ වෙතත්, මනුෂ්‍ය වර්ගයා නීරස භාවය තුල කොටුවී ඇති බව පෙනේ. ඉතිහාසය පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයෙන් උගතහැකි යමක් ඇති නම්, එය වනාහි, මෙවන් තත්වයක් කල් පැවතිය නොහැකිය යන්නයි. ඉක්මනින් හෝ පසුව ප්‍රගතියට පවත්නා බාධකයන් පුපුරා හැරෙනු ඇත. පවත්නා ව්‍යාකූලත්වය හා අවදිශාවනතිය නොතකා, සිද්ධීන්ගේ මතුපිටට යටින්, බලගතු වෛෂයික ක්‍රියාදාමයන්, විප්ලවවාදී මහත් කම්පනයන්ගේ නව පිපිරීමක් සඳහා පදනම දමයි.

ටොම් හෙනහන්ගේ මරනය, ඔහුගේ පවුලට, ඔහුගේ සහෝදරවරුන්ට හා මිතුරන්ට සහ කම්කරු පන්තියේ කාර්යභාරයට ඛේදනීය පාඩුවක් විය. 1977 ඔක්තෝබරයේ සිද්ධීන් පුද්ගලිකව අත් විඳි අප සම්බන්ධයෙන් නම්, එම සිද්ධීන් අපගේ ජීවිතවල ශෝකජනකම අවස්ථාවක් යයි මා කියන විට මා සිතන්තේ මා අප සියල්ලන්ම වෙනුවෙන් කතා කරන බවයි. වියෝවේ හැඟීම අද දක්වා අප තුල නොනැසී පවතිනවා පමනක් නොව, එය වඩා ප්‍රගාඪ බවට ද පත්ව තිබේ. පසුගිය වසර 20හි නැගිටීම හා කම්පනයන් පසු කර ගෙන විත් , සමාජය මත ඒ්වායේ බලපෑම දැක සිටින තතු තුල , ටොම්ගේ මරනය සමග අපට අහිමි වූයේ කුමක්ද යන්න පිලිබඳ වඩා ගැඹුරු හැඟීමක් අපට අද දැනෙයි.

අප වයස හා අත්දැකීම මගින් යමක් උගෙන ඇත්නම් එය වනාහි වත්මන් ඓතිහාසික ක්‍රියාදාමය තුල සමාජවාදී විඤ්ඤානයේ දැවැන්ත අර්ථභාරයයි. ධනේශ්වරය විසින් මාක්ස්වාදයට එරෙහිව පෙරමුනු ගනනාවකින් ගෙන යනු ලැබෙන නොනවතින යුද්ධය මගින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ, සමාජවාදී චින්තනයේ බලයත්, එහි පැතිරීම මගින් මතුකෙරෙන අන්තරායන් පිලිබඳව ධනේශ්වරයම පිලි​ගෙන තිබීම යි. වෛෂයික කොන්දේසි කම්කරු පන්තිය වෙත සමාජවාදයේ හැකියාව සම්පාදනය කලත්, සමාජවාදය ගැන හැකියාවක් සම්පාදනය නො කරයි. අප ව්‍යාපාරයේ නිර්මතෘවරුන් විසින් සැක කෙරුනාටත් වඩා දැවැන්ත පරිමානයකට පවා, සමාජවාදයේ ඉරනමත් ඒ නිසා ම මනුෂ්‍ය වර්ගයාගේ ඉරනමත්, කම්කරු පන්තියේ බුද්ධිමය ක්ෂිතිජයක් පුලුල් කිරීම මත රඳා පවතී.

මේ අර්ථයෙන් ගත් කල, සමාජවාදය වනාහි, හුදෙක් ආර්ථික හා දේශපාලනික ඉල්ලීම් මාලාවක් වටා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම පමනක් නොව, කම්කරු පන්තියේ අතිමහත් සංස්කෘතික ව්‍යාපාරයක් ද වේ. එහෙත් මෙම ව්‍යාපාරය ස්වයංසිද්ධව පැන නැගිය නොහැකිය. සමාජවාදී දේශපාලනය හා සංස්කෘතිය කම්කරු පන්තිය තුලට ගෙන යා හැක්කේ, කේඩරය හරහා පමනි. කේඩරය -සමාජවාදය සඳහා අරගලය සිය ජීවිතවල කේන්ද්‍රීය අරමුනු බවට පත් කර ගන්නා මිනිසුන් හා ගැහැනු - යනු විශ්වීය සමාජ විමුක්තියේ එකම විද්‍යාත්මක දෘෂ්ටිවාදයේ මානුෂික ධාරකයෝ ය. ටොම් හෙනහන්ගේ මරනයේ දී අප ශෝකවන්නේ, සහෝදරයෙකු හා මිතුරෙකු ගැන පමනක් නොව සමාජ බුද්ධිප්‍රබෝධයෙන් හා මානුෂික ප්‍රගතියේ අගනා හා විස්ථාපනය කල නොහැකි උපකරනයක් ද අහිමි වීම පිලිබඳව ය.

1976 දී තරුණ සමාජවාදී සාමාජිකයෙකු ලියාපදිංචි කිරීම [ඡායාරූපය: WSWS]

සමාප්තියේ දී, ටොම් හෙනහන්ගේ ආදර්ශයෙන් බොහෝ දේ ඉගෙනගැනීමට ඇති තරුන පරම්පරාවට ආමන්ත්‍රනය කිරීමට මම කැමැත්තෙමි. ඔවුන්ගේ වරදකින් නොවුනත්, තරුනයෝ, මෙම සියවසේ ප්‍රථම කාර්තු තුන පුරා එතරම් විශාල ලෙස පෙනුනු විප්ලවවාදී සාරයෙන් පමනක් නොව, මුල් කාලයේ තරුන පරම්පරාවන් දැවැන්ත හා ආත්ම පරිත්‍යාගි සමාජ අරගලවල යෙදීගැනීමට උද්යෝගිමත් කලා වූ බුද්ධිමය සම්ප්‍රදායන්ගෙන් ද වියෝ කරනු ලැබ ඇත. අද තරුන ජනයා, සත්තකින් ම, සමාජීයව විවේචනශීලී චින්තනයේ ක්‍රියා දාමයට එල්ල කෙරෙන රුදුරු ප්‍රහාරයක ඉලක්කයන් හා ගොදුරු බවට පත්ව තිබේ. අනේක මාර්ගයන්ගෙන් හා මිනිය නොහැකි තරම් විවිධාංගීකරනයන්ගෙන් යුක්තව, නිල මහජන මතයේ නිෂ්පාදකයෝ - ආන්ඩුව, මාධ්‍ය හා විශේෂයෙන්ම විශ්ව විද්‍යාල තුල - යටහත් පහත් භාවය හා සංසුන්කම පිලිබඳ එකම නීරස පනිවිඩය දේශනා කරති. සියලු දේවල්වල මිම්ම මුදල් යැයි කියනු ලැබේ. ජීවිතයේ අභිප්‍රාය වනාහී හුදෙක් හැකිතරම් කල් ජීවත් වී හැකිතරම් වස්තුව රැස් කර ගැනීමයි. පුද්ගලයෙකුගේ ජීවිතයේ වඩාත්ම වැදගත් තීන්දුව නම්, ඔහු සටන්වදිනු ඇති පරමාර්ථය නොව, ඔහු ආයෝජනය කරනු ඇති අන්‍යොන්‍ය අරමුදල් මිශ්‍රනයයි.

ඉතිහාසය පෙන්වා දෙන්නේ, එවන් හිස් හා ආත්මාර්ථකාමී සංකල්පවල ආධිපත්‍යය ඛාදනයේ හා බිඳ විසිරී යාමේ ක්‍රියාදාමය තුල පවත්නා සමාජයක ගති ලක්ෂනයන් ය. යන්නයි. තරුනයෝ මෙම කුනු වූ වාතාවරනයෙන්, බුද්ධිමයව හා ප්‍රායෝගිකව නිදහස් වී ගත යුත්තා හ. ඔවුහු අනාගතය ගැන සිතා ඒ් සම්බන්ධයෙන් වගකීමට උරදිය යුතු ය. තමන් ජීවත් වන්නේ මන්ද හා කුමන අරමුනක් සඳහා ද යන්න ඔවුහු තමන්ගෙන්ම විමසිය යුතු ය. ටොම් හෙනහන් තම ප්‍රශ්න තමන්ගෙන් ම අසා ගෙන, තමා සොයා ගත් පිලිතුරු මත බැරෑරුම්ව හා මහත් ලැදි කමකින් යුක්තව ක්‍රියා කලේ ය. එසේ කිරීම මගින්, ඔහු කල් පවත්නා අර්ථභාරයකින් යුත් ජීවිතයක් ගතකලේ ය.

දැන් පවත්නා නරුමවාදී වාතාවරනය තුල, එතරම් තරුන වයසකදී මිය යාම හුදෙක් පුද්ගලික විපත්තියක් යයි ද එවන් කැප කිරීමක් කිරීමට තරම් වටිනා අරමුනක් තිබිය නොහැකි යයි ද සිතන පුද්ගලයන් සිටින බවට කිසිදු සැකයක් නැත. එම පුද්ගලයන් ම අන් සියල්ලටම ඉහලින් තමන් අගය කරන ස්වකීය අගනා සැපපහසුව රඳාපවත්නේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා දරිද්‍රතාවට හා ඉක්මන් මරනයන්ට ගොදුරු කරන ආර්ථික පර්යායක් මතය යන කාරනාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැත. ටොම් අද ජීවත්ව සිටියා නම් යයි අපි සියල්ලෝම පතන්නෙමු. එහෙත් ජීවිතයක් මැනියයුත්තේ එහි දීර්ඝත්වයෙන් හෝ පුද්ගලික සාර්ථකත්වයේ සෙසු මතුපිට හා සම්මත දර්ශකයන්ගෙන් නොව, එය මනුෂ්‍ය වර්ගයාගේ තත්වය වැඩි දියුනු කිරීමට කර ඇති ප්‍රතිපදානය කුමක්ද යන්න මගිනි. බොහෝ දෙනෙකු විසින් ටොම් සිහිකරනු ලැබේය හා ඔහු තවමත් ලොව පුරා ජනයාට උද්‍යෝගය සපයන ප්‍රභවයක් ලෙස පවතී ය යන කාරනා ඔහුගේ ජීවිතයේ පවත්නා වටිනාකම පිලිබඳ සැබෑම දර්ශකයයි.

තරුන විය වනාහි පුද්ගලයෙකුගේ ජීවිතයේ අගනාම කාල පරිච්ඡේදය බවත් අන් කිසිවකටත් වඩා පරමාදර්ශ සැලකිල්ලට භාජනය කෙරෙන අවස්ථාව බවත් කියනු ලැබේ. පුද්ගලයෙකු තරුන වියෙහි සිටින විට පරමාදර්ශ මගින් ඔහුව ග්‍රහනය කර ගනු නොලැබේ නම්, ඔහු කිසිදා එසේ ග්‍රහනය කර නොගැනෙනු ඇත. ඔහුගේ ජීවිතය කිසිදා කිසිදු වටිනාකමක් අත් පත් කර නොගනු ඇත. එවන් මිනිසුන් ගැන දැක්විය හැක්කේ අනුකම්පාවක් පමනි. මක් නිසාද යත්, ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව, කිසිදු යථා අරමුනකින් තොර ජීවිතයක් බවට තමන්වම පිරිහෙලා ගන්නා බැවිනි. එහෙත් තරුන වියෙහි අර්ථභාරය පිලිබඳ මෙම සියුම් දැක්මෙහි තවත් අංගයක් පවතී. එය නම් කෙනෙකුගේ තරුන විය ඔහුගේ ජීවිතයේ අවශේෂ කාලයට දක්වන සම්බන්ධතාවයි. පුද්ගලයෙකුගේ ජීවිතයක සදාචාරගුනය වඩාම හොඳින් මැනෙන්නේ ඔහු සිය තුරුනු වියෙහි පරමාදර්ශයන්ට තව දුරටත් පක්ෂපාතීව සිටින්නේ කෙතරම් මට්ටමක් දක්වාද යන්න නිර්නය කිරීම මගිනි. එය වනාහි, පුද්ගලයන් සඳහා පමනක් නොව, දේශපාලන පක්ෂ සඳහා ද ඉතා දුෂ්කර පරීක්ෂනයකි.

ටොම් හෙනහන් මෙම පක්ෂයේ තරුන වියෙහි කොටසක් විය. ඔහු මෙම පක්ෂය සිය තරුන වියේ දී මෙහෙයවනු ලැබූ පරමාදර්ශයන් පිලිබඳ නිදර්ශනයක් විය. අපගේ පක්ෂය පසුගිය වසර 20ක කාල පරිච්ඡේදය පුරා බොහෝ අත්දැකීම් - කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් අප සදහටම වෙන් කල තියුනු දේශපාලන භේදයක් ද ඇතුලත්ව - මැදින් පැමින තිබේ. අපි බොහෝ දේ උගෙන වඩා පරිනත බවට පත්ව ඇත්තෙමු. අපි වර්කර්ස් ලීගය සමාජවාදී සමානතා පක්ෂය බවට පරිවර්තනය කොට ඇත්තෙමු. එහෙත් මේ සියලු අත්දැකීම් තුල දී ලෝකය උඩුයටිකුරු කර ඇති දේශපාලන කලබැගෑනි මැද දී අපි වරක් ටොම්ව උද්‍යෝගිමත් කොට ඔහුගේ කල්පනා ශක්තිය ඇවිලවූ විප්ලවවාදී මූලධර්මයට සත්‍යගරුකව සිට ඇත්තෙමු. මෙම පක්ෂයේ යටත් නොවන ස්වභාවය, සිය පාදක මූලධර්මයන්ට එහි පවතින අනම්‍ය කැපවීම, සහ අනාගතය පිලිබඳ එහි විශ්වාසය අවසාන විග්‍රහයේ දී ව්‍යුත්පන්න කර ගනු ලබන්නේ, එහි ​ඓතිහාසික ඉදිරිදර්ශනයේ සහ ලෝක ධනවාදී පද්ධතියේ විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතා පිලිබඳ තියුනු දැක්මෙහි ශක්තිය තුලිනි. ධනවාදය වනාහි මිනිසාගේ ​ඓතිහාසික විකාශනයේ එක් අදියරක් පමනි. වෙලඳ පොල යනු මිනිසාගේ බුද්ධිප්‍රභාවේ ඉහලම හා අවසාන ප්‍රකාශනය නොවේ. ප්‍රාග්ධනයේ මූලය වන ශ්‍රමය මිනිසාගේ සාරය ලෙස තවමත් පවතී; ඉතිහාසයේ චලනය එහි සියලු සංකීර්නතා හා බේදයන් සහිතව නොවැලැක්විය හැකි ලෙසම සමාජවාදය දෙසට ගමන් කරයි.

ටොම්ගේ මරනයේ සිට මේ දක්වා වූ වසර ගනනාව අපගේ පක්ෂය සඳහා -එක්සත් ජනපදය තුල හා එහි ජාත්‍යන්තර ශාඛාවන් අතර- දේශපාලනික හා බුද්ධිමය වර්ධනයේ කාලපරිච්ඡේදයක් බවට පත්ව තිබේ. එහෙත් අපගේ දේශපාලන වැඩකටයුතුවල රූපාකාරයන්ගේ සියලු අවශ්‍ය වෙනස්කම් සම්බන්ධයෙන් ගතහොත් ටොම් හෙනහන් ඔහු අද ජීවත්ව සිටියේ නම් මෙම ව්‍යාපාරය තමන්ගේ පක්ෂය ලෙස අදත් හඳුනා ගනු ඇත. ඔහුගේ වැඩකටයුතු මෙම ව්‍යාපාරය තුල ජීවත් වේ. ඒ් නිසයි සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අභ්‍යන්තර නොසන්සුන්තාවක අංශුමාත්‍රයකිනුදු තොරව මෙම සංවත්සරය පැවැත්වීමට හා ටොම් පිලිබඳ මතකයට ගෞරව දැක්වීමට සමත් වන්නේ. අව්‍යාජ මාස්වාදයේ හා විප්ලවවාදී සමාජවාදයේ පක්ෂය මෙයයි; ඉදිරියට පැමින සූරාකෑමේ සහ අයුක්තියේ සියලු රූපාකාරයන්ට අවසන් තිත තබනු ඇති ව්‍යාපාරය ගොඩනැගීමට අපට සහාය දෙන ලෙස අපි තරුනයන්ට ආයාචනා කරමු.

Loading