දැවැන්ත පොලිස් බලමුලුවක්, ආන්ඩු විරෝධී රැලිය අවහිර කරයි

[මෙය Large police mobilisation blocks anti-government rally in Sri Lanka මැයෙන් 2022 නොවැම්බර් 4 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින්, ව්‍යාජ වම්මු, වෘත්තීය සමිති සහ විරුද්ධ පාර්ලිමේන්තු පක්ෂ විසින් කැඳවා තිබූ කොලඹ පැවති ප්‍රධාන රැලියක් නැවැත්වීමට පොලිසියේ සිය ගනනක් යොදවන ලදී.

2022 නොවැම්බර් 2 වන දින, පොලිස් සහ හමුදා සාමාජිකයෝ කොලඹ කොටුව දුම්රිය ස්ථානයට ලඟා වෙමින් සිටින විරෝධතාකරුවන් සිය ගනනක් අවහිර කරති.

මරදානට රැස් වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන්, කොටුව දුම්රිය ස්ථානය දෙසට පා ගමනක් යාමට පටන් ගත් අතර එහිදී ඔවුහු උද්ඝෝෂනයක් පැවැත්වීමට සැලසුම් කර තිබුනි. කෙසේ වෙතත්, ඔවුන්ගේ ගමනාන්තයට කිලෝමීටරයක් පමන තිබිය දී, පොලිස් කැරලි මර්දන ඒකකයේ සහ කුප්‍රකට පොලිස් විශේෂ කාර්ය බලකායේ (විකාබ) සහ හමුදාවේ නිලධාරීන් සමග 500 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාර්ගය හරහා බාධකයක් ඉදිකර විරෝධතාකරුවන් අවහිර කරන ලදී.

මෙම විරෝධතාව ආරම්භ කරන ලද්දේ, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), ලංකා ගුරු සංගමය (ලංගුසං) සහ ලංකා බැංකු සේවක සංගමය වැනි වෘත්තීය සමිති සහ විවිධ සිවිල් සංවිධාන විසිනි. පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ දෙක—සමගි ජන බලවේගය (සජබ) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප)—එයට සහභාගී වීමට තීරනය කර තිබුනි.

විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම් වූයේ, රඳවා ගෙන සිටින පෙසප විසින් පාලනය කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ ක්‍රියාකාරීන් තිදෙනෙකු සහ අනෙකුත් සියලු ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කිරීම ය. ඔවුහු ඉහල යන ජීවන වියදම ද හෙලා දුටුවහ.

ශිෂ්‍ය නායකයන් මුදා හරින්නැයි කියා සිටිමින් සටන් පාඨ කියන් ශිෂ්‍යයෝ සහ තරුනයෝ, 2022 නොවැම්බර් 2 විරෝධතාව

100,000 ක් කොලඹට ගෙන එන බව සංවිධායකයින් ප්‍රකාශ කල ද සහභාගී වූයේ 5,000 ක් පමනි. කෙසේ වෙතත්, අඩු සහභාගීත්වය, ආන්ඩුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදුවලට එරෙහි ව සටන් කිරීමට කම්කරුවන්, තරුනයින් සහ ග්‍රාමීය ජනතාව අතර පැවැති යම් හෝ අකමැත්තක් පෙන්නුම් නොකරයි. ඒ වෙනුවට එය අවධාරනය කරන්නේ, රැලියේ ආධිපත්‍යය දරන්නන් ගැන, විශේෂයෙන්ම පුලුල් ලෙස අපකීර්තියට පත් සජබ සහ ශ්‍රීලනිප, කෙරෙහි ජනගහනයේ පුලුල් ස්ථරයන්ට විශ්වාසයක් නොමැති බවයි.

මෙම සියලු පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පෙසප, රාජ්‍ය අංශයේ සමාගම් පුද්ගලීකරනය හා ප්‍රතිව්‍යුහගත කිරීම, ඉහල බදු, රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව සහ සමාජ සහනාධාර කප්පාදුව ඇතුලු ජාමූඅ වැඩපිලිවෙලට කරබදු වී සිටිති. සජබ සහ ශ්‍රීලනිප මහ මැතිවරනයක් සහ මෙම සමාජ ප්‍රහාර ක්‍රියාවට නංවන නව ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවීමට ඉල්ලා සිටියි.

ජාමූඅ විසින් නියම කරන ලද ක්‍රියාමාර්ග සඳහා වූ මෙම කැපවීම බෙදාහදා ගන්නා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) බදාදා රැලියට සහභාගී නොවූයේ අනාගත ඕනෑ ම මැතිවරනයක දී සජබ එහි ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සලකන බැවිනි. ජවිපෙ විසින් මහ මැතිවරනයක් ඉල්ලා ඔක්තෝම්බර් 27 වැනි දින හයිඩ් පිටියේදී දහස් ගනනකගේ සහභාගීත්වයෙන් වෙන ම විරෝධතාවක් පවත්වන ලදී. වික්‍රමසිංහ ආන්ඩුවට නීත්‍යානුකූල භාවයක් නොමැති බැවින් ඉල්ලා සිටින කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට නොහැකි බව එය මැසිවිලි නඟයි.

පෙසප සහ ලංගුසං වැනි වෘත්තීය සමිති, වික‍්‍රමසිංහ ආන්ඩුවට එරෙහි ව වැඩෙන මහජන විරෝධය දේශපාලනික ව පීලි පැන්නවීමට සහ එය සජබ හා ශ‍්‍රීලනිපයට ගැටගැසීමට උත්සාහ කිරීමේදී ද්‍රෝහී භූමිකාවක් ඉටුකර ඇත.

බදාදා, විරෝධතාවට සතියකට පෙර, පෙසප නායකයින් සහ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නිලධාරීන් සජබ සහ ශ්‍රීලනිප කාර්යාල වෙත ගොස්, විරෝධතාව පොදු පෙරමුනක් ලෙස සංවිධානය කිරීමට මෙම පක්ෂ සමග ගිවිසුමකට අත්සන් තැබූහ. මෙම සංවිධාන සියල්ල ම වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තියේ නැගී එන විරෝධයට බිය වන අතර තවත් ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ධනේශ්වර පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ, ව්‍යාජ-වාම සහ වෘත්තීය සමිති සන්ධානයක දේශපාලන අන්තරායන් පිලිබඳ ව කම්කරු පන්තියට නිරන්තර ව අනතුරු අඟවා ඇත.

1964 දී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ශ‍්‍රීලනිපය සමග සභාග ආන්ඩුවකට ඇතුලු වී කම්කරු පන්තියේ සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ දේශපාලන ස්වාධීනත්වය පාවා දීමෙන් පටන් ගත් එවැනි පෙරමුනු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියේ කටුක ඓතිහාසික අත්දැකීම, අඟහරුවාදා නිකුත් කල ප්‍රකාශනයක දී සසප සමාලෝචනය කලේය.

“ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධ වන බව ව්‍යාජ ලෙස ප‍්‍රකාශ කරන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන සමග වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සන්ධානය ප‍්‍රතික්ෂේප කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බව” ප්‍රකාශනය කියා සිටී.

බදාදා විරෝධතාව පොලිස්-මිලිටරි බාධකයට මුහුන දුන් පසු, සජබ නායක සජිත් ප්‍රේමදාස වාහනයක් මතට නැඟ, වාචාල ලෙස ආන්ඩුව හෙලා දැක, පසුව රැලිය නතර කරන ලෙස ඉල්ලා සිටියේ ය. විරෝධතාවය දිගට ම කර ගෙන යන ලෙසත්, බාධකය බිඳ දමන ලෙසත් ඉල්ලා සිටි සමහර විරෝධතාකරුවෝ ඔහුට සරදම් කලහ.

ලංගුසං ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් (වමේ), සජබ නායක සජිත් ප්‍රේමදාස සමඟ 2022 නොවැම්බර් 2 කොලඹ විරෝධතාවයේදී.

සජබ සහ ශ්‍රීලනිප නායකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පෙලපාලියෙන් ඉවත් වූ පසු, පෙසප සහ වෘත්තීය සමිති නායකයෝ තමන් “ආපසු එන” බවට ප්‍රතිඥා දුන් අතර රැලිය ක්‍රමයෙන් දියාරු වී ගියේ ය.

සෙනඟ අමතමින් ලංගුසං නායක ජෝසප් ස්ටාලින් පැවසුවේ, “ජනාධිපතිවරයාට සහ ආන්ඩුවට එරෙහි ව සියලු ම පක්ෂ එකමුතු ව සිටියා. … තව දින කිහිපයකින් අපි විශාල පිරිසක් සමඟ කොලඹට එනවා.” වෙනත් වචන වලින් කිවහොත්, ස්ටාලින් සහ පෙසප නායකත්වය වික‍්‍රමසිංහ තන්ත‍්‍රයට “විකල්පයක්” ලෙස සජබ සහ ශ්‍රීලනිප සමග ඔවුන්ගේ ප‍්‍රතිගාමී පෙරමුන දිගට ම ප‍්‍රවර්ධනය කරනු ඇත.

මහජන විරෝධතා බිඳ දැමීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව නැවත නැවතත් රාජ්‍ය බලවේග මුදා හැර තිබේ. පසුගිය බදාදා රැලියට එහි ප්‍රතිචාරය, ජාමූඅ විසින් නියම කරන ලද පියවරයන්ට එරෙහි ව නැගෙන විරෝධය තලා දැමීම සඳහා කොලඹ දැවැන්ත මර්දනයක් සූදානම් කරමින් සිටින බවට කම්කරු පන්තියට සහ ගම්බද කම්කරුවන්ට කරන තවත් අනතුරු ඇඟවීමකි.

බදාදා පොලිසිය විරෝධතා සංවිධායකයින්ට ලිපියක් යවමින් ප්‍රකාශ කලේ “කොලඹ මාර්ග අවහිර කිරීම”, “මහජනතාවට බාධා ඇති කල හැකි” නිසා රැලිය සඳහා කිසිදු අවසරයක් ලබා නොදුන් බවයි.

“බියගම, වතුපිටිවල සහ මහනුවර ආර්ථික කලාපවලින් කොලඹට ගෙන යාමට බලාපොරොත්තු වන භාන්ඩ ප්‍රවාහන කන්ටේනර් නැව්ගත කිරීම ප්‍රමාද වන අතර, එය රටේ ආර්ථිකයට සහ සංචාරකයින්ගේ ගමනාගමනයට බලපානු ඇතැයි” ද පොලිසිය කියා සිටියේ ය. “මාර්ග තදබදයක් හෝ බාධාවක් ඇත්නම්, මහජනතාවට සිදුවන එවැනි අපහසුතා ඉවත් කිරීමට පොලිස් ආඥාපනත සහ අනෙකුත් නීතිවලට අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව” එම ලිපියෙන් අනතුරු ඇඟවීය.

විරෝධතාවයට දිනකට පෙර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික මන්ඩල කිහිපයක් සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියේ “ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ගන්නා උත්සාහයන් වලක්වාලිය හැකි මෙවැනි විරෝධතා නවත්වන ලෙසයි... මේ අවස්ථාවේ සිදු වන ඕනෑ ම අස්ථාවර කිරීමේ ක්‍රියාවක් සහ එයින් පැන නගින ඕනෑ ම ඍනාත්මක ප්‍රචාරයක් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ගන්නා ප්‍රයත්නයන් ඇතුලුව ආර්ථිකය පුනර්ජීවනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග බරපතල ලෙස අඩාල කරනු ඇත.”

මෙම මැදිහත්වීම තවදුරටත් අවධාරනය කරන්නේ ආන්ඩුවේ සමාජ ප‍්‍රහාරයන්ට එරෙහි ව නැගී එන කම්කරු පන්තික විරුද්ධත්වය පිලිබඳව මහා ව්‍යාපාරිකයන් තුල පවතින දැවැන්ත භීතිය යි. ධනේශ්වර ප්‍රභූ පැලැන්තිය ඔවුන්ගේ ලාභ අවශ්‍යතා කඩාකප්පල් කිරීම ඉවසන්නේ නැත.

ලොව පුරා සිටින ඔවුන්ගේ සගයන් මෙන් ම, ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ද කොවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් ගැඹුරු කර ඇති රටේ ආර්ථික අර්බුදයේ සමස්ත බර සියලු වැඩ කරන ජනතාව මත පැටවීමට අධිෂ්ඨාන කර ගෙන ඇත.

ඔක්තෝබර් 19දා ජාතිය අමතමින් වික්‍රමසිංහ තම ආන්ඩුව ජාමූඅ ප්‍රතිසංස්කරන ක්‍රියාවට නංවන බවට සපථ කලේ “අසීරු කාලයන් නොවැලැක්විය හැකි” බවට අනතුරු අඟවමිනි. ඒ අතර ම, ඔහුගේ ආන්ඩුව මහා ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට ත්‍යාගශීලී බදු සහන සහ යටිතල පහසුකම් ඇතුලු සහන ලබා දෙයි.

අඟහරුවාදා සසප ප්‍රකාශය පැහැදිලි කල පරිදි, “කම්කරුවන් හා දුගීන් මුහුන දෙන දැවැන්ත සමාජ ප්‍රශ්නවලට ධනේශ්වර රාමුව තුල විසඳුමක් නොමැත.” සසප, “කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට” කැඳවුම් කර සිටින්නේ ඒ නිසා ය.

කම්කරු පන්තියට, “සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේ ම පාලනයක් ස්ථාපිත කිරීමට ග්‍රාමීය මහජනතාවගේ සහාය ඇති ව තම බලවේග තහවුරු කර ගැනීමට දේශපාලන මූලෝපායක්” අවශ්‍ය බව ප්‍රකාශනය සඳහන් කරයි.

Loading