අප්‍රිකානු රටවල් නය අර්බුදයේ සහ ආහාර අර්බුදයේ දරුනු ද්විත්ව ප්‍රහාරයන්ට මුහුන දෙයි

[මෙය African countries face double whammy of debt crisis and food crisis මැයෙන් 2022 සැප්තැම්බර් 20 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මෙම වසර මුල දී ලෝක බැංකුව අනතුරු ඇඟවූයේ, “දුප්පත් ම රටවල්වලින් සියයට 60 ක්—ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ—දැනටමත් නය උවදුරුවලට ගොදුරු වී හෝ එහි ඉහල අවදානමක සිටින බවයි.” එසේ ම ඉදිරි මාස 12 තුල, ඉන් රටවල් දුසිමක් දක්වා වූ ප්‍රමානයක් නය පැහැර හැරීමේ අවදානමක සිටින බව ද පැවසී ය.

පරම්පරාවක් තුල සංවර්ධනය වෙමින් පවතින මෙම ආර්ථිකයන්හි විශාලත ම නය අර්බුද මාලාව, එහි අපනයන මත පදනම් වූ භාන්ඩ සඳහා මිල පහත වැටීම, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථික බිඳවැටීම සහ පාලක පන්තීන්ගේ සාපරාධී ප්‍රතිචාරය හේතුවෙන්, එනම්, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ “පැතිර යාමට ඉඩ හරිනු” ප්‍රතිපත්තියේ මෙහෙයවීම මගින් දැනටමත් වාරු නැති ව සිටින මහාද්වීපයට සමාජ හා මානුෂීය ව්‍යසනයක තර්ජනය මතු කරයි.

එක්සත් ජනපදය සහ නැටෝව විසින් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයෙන් පසු ව, ආහාර, ඉන්ධන සහ පොහොර සඳහා මිල ඉහල යාම, විදේශ විනිමය සංචිත ක්ෂය වීම අප්‍රිකාව අත් දැක තිබේ. අප්‍රිකාවේ රටවල් 54 න් 23 ක්ම ඔවුන්ගේ ප්‍රධාන භාන්ඩ වලින් අඩකට වඩා ආනයනය සඳහා රුසියාව සහ යුක්‍රේනය මත යැපේ. සමහර රටවල් ඊටත් වඩා ඒ මත රඳා පවතී: සුඩානය, ඊජිප්තුව, ටැන්සානියාව, එරිත්‍රියාව සහ බෙනින් ඔවුන්ගේ තිරිඟු වලින් සියයට 80 ක් සහ ඇල්ජීරියාව, සුඩානය සහ ටියුනීසියාව සූරියකාන්ත තෙල්වලින් සියයට 95 කට වඩා වැඩි ප්‍රමානයක් රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් ආනයනය කරයි.

2021 ඔක්තෝබර් 24 වැනි දින කෙන්යාවේ වජිර් ප්‍රාන්තයේ ඩර්ටුහි කුසගින්නෙන් මියගිය ඔහුගේ එලුවන් හතලිස් දෙනාගේ මල සිරුරු පසුකර යන හර්ඩර් යූසුෆ් අබ්දුල්ලාහි. 2022 මාර්තු 22 වැනි අඟහරුවාදා, ආධාර දෙන ආයතනයක් වන ඔක්ස්ෆැම් ඉන්ටර්නැෂනල් අනතුරු අඟවමින් කියා සිටියේ, කලාපයේ වඩාත් ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට අරමුදල් ආධාර කිරීමක් සිදු නොවුනහොත්, නැගෙනහිර අප්‍රිකාව පුරා පැතිරුන සාගින්න “ව්‍යසනයක්” විය හැකි බවයි. (ඒපී ඡායාරූප/බ්‍රයන් ඉන්ගංගා)

ගෝලීය උද්ධමනය මිලියන ගනනක් දරිද්‍රතාවයට තල්ලු කර ඇත. අප්‍රිකානු මහාද්වීපයේ බිලියන 1.2 ක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා අතිශය දිලිඳු තත්වයේ ජීවත් වන අතර, එම සංඛ්‍යාව 2019 දී වසංගතයට පෙර මිලියන 424 සිට මේ වසරේ මිලියන 463 දක්වා ඉහල යන බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ. ප්‍රධාන බලවතුන්, ලෝක ආහාර වැඩසටහනේ ඉල්ලීම වෙනුවෙන් වෙන් කර තිබූ සම්පත්—2022 දී මිලියන 153 ක ජනතාවක් වෙත ලැබීමට තිබූ ඩොලර් බිලියන 24 ක අරමුදල—යුද ප්‍රයත්නය වෙත හරවා යවන බැවින්, එම අරමුදල්වලින් ලැබෙනු ඇත්තේ අඩක් පමනි.

අප්‍රිකාවේ වඩාත් ම ජනාකීර්න රට වන නයිජීරියාවේ මිල ගනන් සියයට 20 කට වඩා වැඩි වී ඇත. එහි මුදල් ඒකකය වන නයිරා වසර ආරම්භයේ සිට ඩොලරයට සාපේක්ෂ ව සියයට 25 කින් පහත වැටී ඇති අතර, මැයි මාසයේ සිට පොලී අනුපාතවල පදනම් සංඛ්‍යා (Bps හෝ “bips” ලෙස ද හැඳින්වෙන පදනම් සංඛ්‍යා, මූල්‍ය මිනුම් අගයෙහි ප්‍රතිශත වෙනස හෝ දර්ශකයක හෝ වෙනත් මිනුම් ලකුනක අනුපාත වෙනස් වීම විස්තර කිරීමට මූල්‍යකරනයේ දී භාවිතා කරන මිනුම් ඒකකයකි - පරිවර්තක) 250කින් වැඩි වී ඇත. ඉතියෝපියාවේ මිල ගනන් සියයට 32 කින් ඉහල ගොස් ඇති අතර අවිධිමත් වෙලඳපොලේ ඩොලරයට සාපේක්ෂ ව බිර්හි (බිර් යනු ඉතියෝපියාවේ මුදල් ඒකකය යි) අගය සියයට 82 කින් පහත වැටී ඇත්තේ ජුනි මස මුලදී එහි අගය වූ සියයට 60 සිට ය. ඝානාවේ මිල ගනන් 31කින් ඉහල ගොස් ඇති අතර මුදල් ඒකකය පහත වැටෙමින් පවතී. ඇක්‍රාව කඩාවැටීම වැලැක්වීම සඳහා ආක්‍රමනශීලී ලෙස රේට්ටු ඉහල නංවා ඇත.

යුරෝබොන්ඩ් (යුරෝබොන්ඩ් යනු, එය නිකුත් කරනු ලබන රටේ හෝ වෙලඳපොලේ ස්වදේශීය මුදල් වර්ගය හැර වෙනත් මුදල් වර්ගයකින් නම් කෙරෙන නය මිනුම් අගයකි.) ප්‍රධාන මූල්‍යය සංරචකය වූ, සංවර්ධනය වෙමින් පවතින රටවල් 65 ක රාජ්‍ය නය ගැනීම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18 කින් සහ උප-සහරානු අප්‍රිකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 27 කින් ඉහල ගිය අතර, දශකයක් පුරා නය වැඩි වීමෙන් පසු ව, වසංගතය විසින්, ඊනියා නැඟී එන වෙලඳපොල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් යන දෙ කොට්ඨාශයේ ම, රජයේ ආදායමෙන් සියයට 250 කට වඩා වැඩි වන්නාවූ මුලු නය බර, වසර 50 ක් තුල ඒ්වායේ ඉහල ම මට්ටමට වැඩි කලේ ය.

දුප්පත්ම රටවලින් සියයට 60 කට ආසන්න ප්‍රමානයක් දැනටමත් නය උවදුරුවලට ගොදුරු වී හෝ එහි ඉහල අවදානමක සිටින අතර, 2010 සහ 2021 අතර මිල ගනන් තුන් ගුනයකින් වැඩි වීමත් සමඟ මධ්‍යම ආදායම් ලබන රටවල නය සේවා මට්ටම් වසර 30 ක් තුල ඒවායේ ඉහලම මට්ටමට පැමින ඇත.

සැම්බියාව 2020 අගභාගයේ දී සහ මාලි රාජ්‍යය 2022 මුල දී නය පැහැර හැර ඇත. දැන් විශාල අප්‍රිකානු රටවලට මෙම නය සඳහා සේවා සැපයීමේ පිරිවැය හැර, ඔවුන්ගේ යුරෝබොන්ඩ් වලට ආපසු ගෙවීමේ දී ඩොලර් බිලියන 21.5ක් උපයා ගැනීමට නොහැකි වනු ඇතැයි සැලකේ. 2022 ජූනි සිට 2027 මැයි දක්වා බැඳුම්කර හිමියන්ට ඩොලර් බිලියන 4කට වඩා නය වී සිටින ඝානාව, ඉදිරි වසර පහ සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න බැඳුම්කර ආපසු ගෙවීමේ බිලක් සහිත කෙන්යාව සහ රටේ පවතින, ප්‍රදේශ කිහිපයකට බලපාන ගැටුම් මධ්‍යයේ 2024 දී යුරෝ බිලියන 1ක බැඳුම්කරයක් සහිත ඉතියෝපියාව, මෙයට ඇතුලත් වේ. යුරෝබොන්ඩ් ආපසු ගෙවීමේ දී ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් ගෙවිය යුතු නයිජීරියාවේ ගෙවීමේ හැකියාව ද සැක සහිත ය.

ඔවුන්ගේ නය ආන්ඩුවලටත්, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වැනි බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවලටත් ප්‍රතිවිරුද්ධ ව, වානිජ නය දෙන්නන්ගෙන් ලැබෙන අතර, ඒවාට දැන් විචල්‍ය පොලී අනුපාත ඇතුලත් වේ. එයින් අදහස් වන්නේ එක්සත් ජනපදය, යුරෝපා මහ බැංකුව සහ එක්සත් රාජධානියේ පොලී අනුපාත ඉහල යාමෙන් පසු ඔවුන්ගේ ගාස්තු ඉහල යාමට නියමිත බවයි. එය එක්සත් ජනපදය, යුරෝපීය මහ බැංකුව සහ එක්සත් රාජධානියේ නැගීම අනුගමනය කරයි. මෙය සැලකිය යුතු ප්‍රාග්ධන පිටතට ගලායාමක් ඇති කිරීමටත්, පොලී අනුපාත ඉහල දැමීමට අප්‍රිකාවේ මහ බැංකුවලට බල කිරීමටත්, එමගින් ඔවුන්ගේ ආර්ථිකයන් අවපාතයකට ඇද දැමීමටත් ඉඩ ඇත.

වටිනාකමේ තියුනු ඉහල යාමක් දැකිය හැකි ඔවුන්ගේ නය බොහෝමයක් ඩොලර් වලින් නම් කර ඇති බැවින්, නය සේවා ගාස්තු තවත් ඉහල යනු ඇත. මෙය උප සහරා අප්‍රිකානු ජාතීන්ට නය සහන හෝ ප්‍රතිව්‍යුහකරනය සෙවීමට බල කෙරෙන්නේ හුදෙක් තම නය හිමියන්ට, බොහෝ දුරට යුරෝපානුවන්ට සහ ඇමරිකානුවන්ට ආපසු ගෙවීම සඳහා ය.

තරඟකාරී අවශ්‍යතාවල ප්‍රධාන සටන් බිමක් බවට පත්ව ඇති අප්‍රිකාවේ එක්සත් ජනපද-චීන ​​එදිරිවාදිකම්, අප්‍රිකානු රටවලට ඔවුන්ගේ නය පියවීම සඳහා නැවත කාලය වෙනස් කර ගැනීම වඩාත් දුෂ්කර කරයි. වොෂින්ටනය විසින් මහාද්වීපයේ නැඟී එන නයගැතිභාවය, චීනයේ නයවල ප්‍රතිඵලයක් ලෙස නිරූපනය කිරීමට උත්සාහ කර ඇත්තේ, බීජිනය කෙරෙහි වඩ වඩාත් සටන්කාමී ආස්ථානයේ කොටසක් ලෙස, රාජ්‍ය නය පැහැර හැරීමේ දී අප්‍රිකානු වත්කම් අත්පත් කර ගැනීම සහ ඔවුන් මත දේශපාලන ග්‍රහනය තබා ගැනීම ඉලක්ක කර ගෙන ය.

2000 ගනන්වල මුල් භාගයේ සිට සම්පත් බහුල අප්‍රිකානු රාජ්‍යයන් වෙත, විශේෂයෙන් තෙල් නිෂ්පාදකයින් වෙත චීනයේ නය දීම වේගයෙන් ව්‍යාප්ත වූ අතර, 2015 න් පසු භාන්ඩ මිල සහ වර්ධන අනුපාත පහත වැටීමත් සමඟ, එය 2016 දී ඩොලර් බිලියන 29.5 සිට 2019 දී ඩොලර් බිලියන 7.6 දක්වා තියුනු ලෙස පහත වැටෙමින් පැවතුනි. එහි නය දීම් මූලික වශයෙන්, කිලෝමීටර් 10,000 කට වඩා වැඩි දුම්රිය මාර්ග, කිලෝමීටර් 100,000 ක් පමන අධිවේගී මාර්ග, පාලම් 1,000 ක් සහ වරායන් 100 ක් මෙන් ම විදුලි බලාගාර, රෝහල් සහ පාසල් ඉදිකිරීම සහ වැඩිදියුනු කිරීම ආදී යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ය. දැන් අප්‍රිකාවට දෙන මුලු නය ප්‍රමානයෙන් පහෙන් එකක් පමන චීන විසින් ලබා දෙනු ලැබේ.

ලෝක බැංකු දත්ත මත, ‘ඩෙබ්ට් ජස්ටිස්’ ආයතනය පසුගිය ජූලි මාසයේ වාර්තාවක පෙන්වා දුන් පරිදි, අප්‍රිකානු රටවල චීන නය, ප්‍රධාන වශයෙන් ලැබෙනුයේ රාජ්‍ය බැංකු වලිනි. ඔවුන්ගේ ම නයවලින් තුනෙන් එකක් චීන නොවන පුද්ගලික නය දෙන්නන්ගෙන් වන අතර පොලී අනුපාත අඩකට වඩා (සියයට 2.7 ට සාපේක්ෂ ව සියයට 5) වැඩි ය. 2020 දී මහාද්වීපයේ ඩොලර් බිලියන 696 ක බාහිර නය වලින් සියයට 12 ක් පමනක් චීනයේ රාජ්‍ය සහ පුද්ගලික නය දෙන්නන් වූ අතර, ඊට සාපේක්ෂ ව අනෙකුත් පුද්ගලික නය හිමියන්ට ගෙවිය යුතු ප්‍රමානය සියයට 35 ක් බව එය සොයා ගත්තේ ය.

එක්සත් ජනපද ආන්ඩුව සහ ලෝක බැංකුව, ඔවුන් වානිජ මිල ගනන් යටතේ නය දුන්න ද, චීන සංවර්ධන බැංකුව සහ චීනයේ කාර්මික හා වානිජ බැංකුව “නිල නය හිමියන්” හෝ රාජ්‍ය ආයතන ලෙස වර්ගීකරනය කිරීමෙන් අප්‍රිකාවට චීනයේ නය දීම අඩපන කිරීමට උත්සාහ කර ඇත. මෙ මගින් ඔවුන් නය සේවා අත්හිටුවීමේ මුල පිරීම (ඩීඑස්එස්අයි) සහ පොදු ආකෘතිය යටතේ නය කැටිකිරීම් වලට වගකිව යුතු අතර චැඩ්, ඉතියෝපියාව සහ සැම්බියාව යන රාජ්‍යයන් පමනක් අදාල කර ඇති, සීමාවන්ගෙන් බාධිත යෝජනා ක්‍රම වේ. මේ අතර, බොහෝ දුරට බටහිර පුද්ගලික නය දෙන්නන් එවැනි සීමාවන්ගෙන් නිදහස් කර ඇත.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ, එක්සත් ජනපද නය හිමියන් පොහොසත් කරන අතරතුර, අප්‍රිකානු රාජ්‍යයන්ට බහුපාර්ශ්වික සංවිධානවලින් නය සහන ලබා ගැනීමට නොහැකි වීමයි .

බිලියන 1.2 ක ජනගහනයෙන් සියයට 60 ක් වයස අවුරුදු 25 ට අඩු සහ බිලියනයකට ආසන්න ප්‍රමානයක් වයස අවුරුදු 35 ට අඩු අය සිටින අප්‍රිකාවේ දුප්පත් රටවල, නය සහ ජීවන වියදම් අර්බුදවල ඒකාබද්ධ බලපෑම නිසා බොහෝ දෙනා ජීවනෝපායක් සොයා ගැනීම සදහා දැඩි ලෙස වෙහෙසෙති. පසුගිය මාස කිහිපය තුල සුඩානය, ටියුනීසියාව, දකුනු අප්‍රිකාව, ඝානාව සහ නයිජීරියාව යන රටවල සමාජ කොන්දේසි සහ ඒවා පටවා ඇති පාලක ප්‍රභූවට එරෙහිව කෝපය පල කරමින් මහජන විරෝධතා සහ වැඩ වර්ජන දැකගත හැකි විය.

අගෝස්තු 16 වැනි අඟහරුවාදා, දකුනු අප්‍රිකාවේ රුස්ටන්බර්ග් හි මරිකානා අසල සමරු උත්සව ආරම්භ වන තෙක් පතල් කම්කරුවන් ගී ගයති. 2012 අගෝස්තු මාසයේදී වයඹ පලාතේ රස්ටන්බර්ග් අසල ප්ලැටිනම් පතලක සිදු වූ වර්ජනයට එල්ල වූ ප්‍රහාරයකින් 44 දෙනෙකු මිය ගිය මරිකානා සංහාරයට එදිනට වසර 10 ක් සපිරේ. [AP Photo/Themba Hadebe]

මෙම වැඩෙන විරෝධතා ව්‍යාපාර, අප්‍රිකාව පුරා සහ ජාත්‍යන්තර ව ධනවාදයට එරෙහි ව ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ගේ අරගල සමග ඒකාබද්ධ කල යුතු අතර, ඔවුන්ගේ දූෂිත නායකයින්ගේ සහ මූල්‍ය ආයතනවල ධනය අත්පත් කර ගැනීම සහ සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා සටන් කල යුතු ය. මේ සඳහා අප්‍රිකානු මහාද්වීපය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම අවශ්‍ය වේ.

Loading