අවිශිබම ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කරනු!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබ) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ එහි ක්‍රියාකාරිකයෙකු වන ගල්වැව සිරිධම්ම භික්ෂුව බන්ධනාගාර ගත කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත බදාදා නියෝග කලේ ය. ඔහු එම නියෝගය නිකුත් කලේ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී ) කල ඉල්ලීමකට අනුවය. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගත යුතු බව ටීඅයිඩී ය අධිකරනයට දන්වා සිටියේ ය.

ටීඅයිඩී ය අධිකරනයෙන් කල ඉල්ලීම මුදලිගේ සහ සිරිධම්ම තවදුරටත් බන්ධනාගතකර තැබීමේ දුෂ්ට වුවමනාවෙන් කෙරුනකි.

2022 නොවැම්බර් 2 වන දින ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් නිදහස් කරන ලෙස කොලඹ සිසුන් සහ තරුනයින් ඉල්ලා සිටී.

මුදලිගේ සහ සිරිධම්ම සමග කැලනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වන හසන්ත ජයවන්ත ගුනතිලක අත්අඩංගුවට ගැනුනේ අගෝස්තු 18 වෙනිදා කොලඹ පැවති ශිෂ්‍ය විරෝධතාවක් අතරතුර ය. ඉක්බිතිව ජනාධිපති සහ ආරක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහ විසින් රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ අගෝස්තු 22 වෙනිදා අත්සන් කෙරුන දින 90 ක රැඳවුම් නියෝගයක් මගින් ඔවුන් බූස්ස බන්ධනාගාරයේ රඳවාගෙන ටීඅයිඩී නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබීය. ගුනතිලක දැනට ඇප මත නිදහස් කර ඇත.

එහෙත් ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට පොලීසියට හැකිවී නැත. එයින් පෙන්නුම් කෙරෙන්නේ, ඔවුන් ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීම හුදෙක් ම ආන්ඩු විරෝධීන් දඬු ගැසීමේ රාජ්‍ය ත්‍රස්තයේ කොටසක් බවයි. මුදලිගේ සහ සිරිධම්ම බුස්ස කඳවුරේ රඳවාගෙන සිටි කාලය තුල ටීඅයිඩී නිලධාරීන් විසින් ඔවුන් ට කායික සහ මානසික හිංසනයන් කල බවට අවිශිබ සහ ඔවුන්ගේ ඥාතීහු චෝදනා කරති.

වික්‍රමසිංහ ආන්ඩුවේ මෙම දුෂ්ට රාජ්‍ය මර්දනය තරයේ හෙලා දකින සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මුදලිගේ, සිරිධම්ම සහ අත්අඩංගුවේ සිටින සියලු දේශපාලන සිරකරුවන් වහා කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙසත්, ඔවුන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්නා ලෙසත් බලකර සිටී. කම්කරු පන්තිය ආන්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව අවිශිබම ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස බලකල යුතුය.

මෙම මර්දනය දුරදිග යන ඇඟවුම් සහිත ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට දමන ආන්ඩුව මෙමගින් නිවේදනය කර ඇත්තේ තම ජීවන හා සමාජ අයිතීන් තලා දැමීමේ මුර්ග වැඩපිලිවෙලට කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් නැගෙන ඕනෑම විරෝධයක් රුදුරු ලෙස තලා දැමීමට ක්‍රියා කරන බවයි.

සසජතාශි සහ සසප කොන්දේසි විරහිතව මුදලිගේ සහ සිරිධම්ම නිදහස් කරන ලෙස බල කර සිටින්නේ, අවිශිබම සහ එය මෙහෙයවන ව්‍යාජවාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දේශපාලනය සමග අපට පවතින බරපතල වෙනස්කම් නොතකා ය. ඔවුන්ගේ දේශපාලනය ආන්ඩුවේ ප්‍රහාරවලට පාර කපා ඇතිබව සසප හා සසජාතාශි පෙන්වා දී ඇත.

අවිශිබ ක්‍රියාකාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනුනේ ආන්ඩුවට එරෙහිව අප්‍රේල්-ජූලි මාසවල මහජන උද්ඝෝෂන වලට සම්බන්ධවීම හේතුවෙනි. එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස ද ජීවන කොන්දේසිවලට එල්ලවී තිබු ප්‍රහාර නවතන ලෙසද උද්ඝෝෂකයෝ බලකර සිටියහ. ආන්ඩුව බිඳවැටුනු අතර රාජපක්ෂට රටින් පලා ගොස් අස්වීමට බලකෙරුනි. මහජන නැගිටීම, වෘත්තීය සමිති, පෙසප හා ගෝල්ෆේස් වාඩිලා සිටි කන්ඩායමේ නායකත්වය ගත් මධ්‍යම පන්තික රැඩිකලුන්ගේ නොමග යැවීමට හා පාවාදීමට ලක්විය. මෙම අරගලවලට සම්බන්ධවූ දහස් ගනනක් අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

එහෙත් මහජන නැගීටීම, වෙසෙසින්ම කම්කරු පන්තියේ මැදිහත්වීම ලංකාවේ ආන්ඩුවේ පමනක් නොව සමස්ත පාලක පන්තියේම භීතියට තුඩුදුන් අතර ප්‍රධාන ධනපති රටවල පාලකයන් සලිත කලේය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනාධිපතිකමට පැනගත් වික්‍රමසිංහ, පාවාදීමේ වාසිය ඩැහැගෙන, ජාමුඅ විධානයන් ක්‍රියාවට දමමින් මුර්ග මර්දනයක් මුදා හරිමින් සිටියි. ධනපති කන්ඩායම් සමග එකතුවී ආන්ඩුවට හා අධිරාජ්‍යවාදී බලයන්ට ආයාචනා කිරීමෙන් මෙම මර්දනය හා ජාමුඅ වැඩපිලිවෙල පරාජය කල නොහැක.

වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන් ට එරෙහිව සටන් කල හැක්කේ ධනපති පක්ෂ වලින් සහ ඔවුන්ට ගැතිකම් කරන ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ කම්කරු පන්තියේ නායකත්වය සහිත ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තුලින් පමනි.

එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා අරගලයේ කොටසක් ලෙස,

*සියලු දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිත ව නිදහස් කරනු!

*පීටීඒ, අත්‍යවශ්‍ය මහජන සේවා පනත, මහජන ආරක්ෂක ආඥා පනත හා හදිසි නීතිය ඇතුලු සියලු මර්දන නීති ඉවත් කරනු!

*විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!

යන ඉල්ලීම් පදනම්කර ගනිමින් කම්කරුවන් සහ තරුනයන් බලගතු උද්ඝෝෂනයකට හැරී ගත යුතුය.

වික්‍රමසිංහ ආන්ඩුවේ රාජ්‍ය මර්දනයට හේතුව වනුයේ, වසංගතයෙන් සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් ගැඹුරු වන ලෝක ධනේශ්වර අර්බුදයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ තීව්‍ර වන අර්බුදයයි. ලෝකයේ සියලු ධනපති පාලක පන්තීන් මෙන් ම ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය වඩ වඩා නැඹුරුවෙමින් සිටින්නේ ආඥාදායක පාලන ක්‍රමයක් දිශාවටය.

වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයන්ට විරුද්ධ අරගලය, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනයට එරෙහිව කරන සටනකි. එනම් සියලු විදේශ නය අහෝසි කරන, බැංකු, මහා සමාගම් හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන, ප්‍රතිගාමී ධනපති ව්‍යවස්ථාව හා මර්දන නීති කටුගා දමන හා කම්කරුවන්ගේ සහ දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කරන ව්‍යවස්ථාවක් ඇතුලු වැඩකරන ජනයාගේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්න වලට විසඳුම් සම්පාදනය කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනකි.

ඒ සඳහා දේශපාලන පදනම සම්පාදනය කරන කම්කරු - ගොවි ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා සසප සහ සසජාතශි කැඳවුම් කර ඇත. මෙම අරගලයට එක්වන ලෙස සසප සහ සසජාතශි කම්කරුවන් ට සහ තරුනයන් ට ඇරයුම් කරයි.

Loading