ඉදිරිදර්ශන

යුක්‍රේනය පෝලන්තයට පහර දෙයි: දැනුවත් ප්‍රකෝපකරනයක්

[මෙයUkraineattacksPoland: Adeliberateprovocationයනමැයෙන් 2022 නොවැම්බර් 17 පලකෙරුනුඉදිරිදර්ශනලිපියේපරිවර්තනයයි.]

පෝලන්ත ගොවි ගම්මානයක පිපිරුම් මාලාවක් සිදුවී දිනකට පසු, යුක්‍රේනය පෝලන්තයට අවම වශයෙන් එක් මිසයිලයක් හෝ එල්ල කර පෝලන්ත සිවිල් වැසියන් දෙදෙනෙකු මරා දැමූ බව පැහැදිලි වී තිබේ.

යුක්‍රේනයේ අධිරාජ්‍යවාදී ආධාරකරුවන් ප්‍රහාරය දියත් කලේ කියෙව් බව පිලිගත් මුත්, යුක්‍රේන ගුවන් ආරක්ෂක අංශ සැතපුම් දුසිම් ගනනක් වැරදි දිශාවට නිරවද්‍ය ගුවන් ප්‍රහාරයක් එල්ල කලේ අහම්බෙන් බව, කිසිදු සාක්ෂියක් හෝ යුක්තියුක්ත භාවයක් නොමැතිව ඔවුන් පවසා ඇත.

යුක්‍රේන ගුවන් හමුදාව නැඟෙනහිර සිට පියාසර කරන රුසියානු මිසයිලවලට බාධා කිරීමට උත්සාහ කරන්නේ නම්, එහි මිසයිල බටහිර දෙසට, පෝලන්තයට එල්ල කලේ ඇයි? ජනාකීර්න නොවන ග්‍රාමීය ප්‍රදේශයක මිනිසුන් වාසය කරන ගොඩනැගිල්ලක් නිශ්චිතවම ඉලක්ක කර ගැනීමට ඔවුන්ට හැකි වූයේ ඇයි? පෝලන්ත බලධාරීන් ප්‍රහාරය පිලිබඳ තොරතුරු ප්‍රසිද්ධියේ තහවුරු කිරීමටත් පෙර යුක්‍රේන ජනාධිපති ව්ලැඩමිර් සෙලෙන්ස්කි, විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා සහ නම් නොකල “ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද ඔත්තු සේවා නිලධාරියෙක්” ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට ව්‍යාජ ලෙස චෝදනා කලේ ඇයි?

S-300 මිසයිල පද්ධතියට ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රකට හැකියාවක් ඇති බැවින්, මිසයිලය 'ආරක්ෂක' අවියකින් එල්ල කල බවට කෙරෙන ප්‍රකාශවලට කිසිදු විශ්වසනීයත්වයක් නොමැත.

යථාර්ථය නම්, මිසයිල ප්‍රහාරය යුක්‍රේනය විසින් ගනන් බලා සිදුකල ප්‍රකෝප කිරීමක් වූ බවත්, සමහර විට ඇමරිකානු රාජ්‍යය තුල කන්ඩායම්වල සහාය ඇතිව, ගැටුමට නැටෝහි සෘජු මැදිහත්වීම වේගවත් කිරීමට සහ සටන් විරාමයක් හෝ යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් සමථයකට පත් කිරීම පිලිබඳ ඕනෑම සාකච්ඡාවක් වැලැක්වීමට අදහස් කලා විය හැකි බවත්ය.

යුක්‍රේනය පෝලන්තයට ප්‍රහාරය එල්ල කලේ, ජී 20 සමුළුව ඉන්දුනීසියාවේ බාලිහිදී රැස්වෙමින් තිබියදී සහ එක්සත් ජනපදය රුසියාවට එරෙහිව අනෙකුත් රටවල් පෙලගැස්වීමට උත්සාහ කරමින් සිටියදී ය. එය සිදු වන්නේ, එක්සත් ජනපදය යුද්ධයට සම්බන්ධ වීමේ ප්‍රමානය හා වේගය පිලිබඳ වාර්තා වන ගැටුම් මධ්‍යයේ සහ ශීත ඍතුවේ දී එක්සත් ජනපදය සටන් විරාමයක් හෝ සාම සාකච්ඡා ආරම්භ කල හැකි බවට ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලීගේ යෝජනා මධ්‍යයේ ය.

විවේචනාත්මකව, සමස්තයක් ලෙස නැටෝව සහ නැටෝහි තනි පුද්ගල සාමාජිකයන් යන දෙකොටසම දැන් පිලිගෙන ඇත්තේ, ප්‍රහාරය රුසියාවෙන් පැමිනි බව යුක්‍රේනය දිගින් දිගටම අවධාරනය කරන මුත්, පෝලන්තයට පහර දුන්නේ රුසියාව නොව යුක්‍රේනය බව ය.

කියෙව්හි නැටෝ රටක රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත මෙසේ පැවසීය: “මෙය හාස්‍යජනක ය. යුක්‍රේනියානුවන් ඔවුන් කෙරෙහි [අපගේ] විශ්වාසය බිඳ දමමින් සිටී. කිසිවෙකු යුක්‍රේනයට දොස් නොකියන අතර ඔවුන් විවෘතවම කියන්නේ බොරු ය. මෙය මිසයිලයට වඩා විනාශකාරී වේ.”

බදාදා උදෑසන නැටෝව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “රුසියානු කෲස් මිසයිල ප්‍රහාරවලට එරෙහිව යුක්‍රේන භූමිය ආරක්ෂා කිරීම සඳහා යුක්‍රේන ගුවන් ආරක්ෂක මිසයිලයක් එල්ල කිරීමෙන් මෙම සිදුවීම සිදුවන්නට ඇති” බවයි. එය තවදුරටත් මෙසේ පවසයි, “මෙය යුක්රේනයේ වරදක් නොවේ. යුක්‍රේනයට එරෙහි සිය නීති විරෝධී යුද්ධය දිගටම කරගෙන යන බැවින් එහි අවසාන වගකීම දරන්නේ රුසියාව යි.”

ධවල මන්දිරය නැටෝවේ ප්‍රකාශය ම ප්‍රතිරාවය කරමින් පැවසුවේ, “අවසාන නිගමන කුමක් වුවත්, මෙම ඛේදනීය සිදුවීමට අවසාන වශයෙන් වගකිව යුතු පාර්ශවය, සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක් දියත් කල රුසියාව බව පැහැදිලිය. යුක්‍රේනයට තමන්ව ආරක්ෂා කර ගැනීමට සෑම අයිතියක්ම පැවතුනා මෙන්ම ඉදිරියටත් එසේ පවතියි.”

යුක්‍රේනය විසින් නැටෝ සාමාජිකයෙකුට හිතාමතා එල්ල කල ප්‍රහාරයක් පමනක් ම විය හැකි දෙය සම්බන්ධයෙන් රුසියාවට දොස් පවරමින්, එක්සත් ජනපදය අනුගමනය කරමින් සිටින්නේ, මොස්කව්හිදී රුසියානු ෆැසිස්ට්වාදී මහජන චරිතයක් වන ඩාරියා ඩුගිනා ඝාතනය කිරීමේ සිට නොර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල මාර්ගයට සහ කෙර්ච් පාලමට බෝම්බ හෙලීම දක්වා වූ සමස්ත ප්‍රකෝපකරන මාලාවක් විසින් සකස් කරන ලද රටාවයි. මෙම සෑම ක්‍රියාවක්ම, යුක්‍රේන හමුදා සහ එක්සත් ජනපද රාජ්‍යය තුල කන්ඩායම්වල එකමුතුව හරහා සිදු කෙරුනේ, යුක්‍රේනය සමග යුද්ධයට එක්සත් ජනපදයේ මැදිහත්වීම තීව්‍ර කිරීම අරමුනු කරමිනි. අතේ දුරින් තබාගෙන සිටියද, සියල්ල, අවසානයේ එක්සත් ජනපදය සහ එහි මාධ්‍ය විසින් ආරක්ෂා කරන ලදී.

එක්සත් ජනපදය මෙවර තෝරාගෙන ඇත්තේ, කියෙව් විසින් ප්‍රවර්ධනය කරන ව්‍යාජ ආඛ්‍යානය සම්පූර්නයෙන්ම වැලඳ නොගැනීමයි. මන්ද, එසේ කිරීම, තමන් තවමත් සූදානම් නැති රුසියාව සමග පූර්න පරිමාන යුද්ධයකට එක්සත් ජනපදය ඇද දමන බැවිනි. කෙසේ වෙතත්, බයිඩන් පරිපාලනය එවැනි ගැටුමක් සඳහා දුරදිග යන සූදානමක් ලෙස, යුක්‍රේනයට ඩොලර් බිලියන ගනනක ආයුධ පොම්ප කරමින් සහ රුසියාවේ සමස්ත යුරෝපීය දේශසීමාව දිගේ නැටෝ සටන් පෙරමුනක් ඉදි කරමින් සිටී.

ප්‍රහාර සිදු වූ දිනයේම, ධවල මන්දිරය කොංග්‍රසයෙන් ඩොලර් බිලියන 21 ක අමතර ආයුධ අනුමත කරන ලෙස ඉල්ලා සිටියේය. මෙම අගය, යුක්‍රේනයට එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම සඳහා වැය වූ මුලු මුදල මෙන් දෙගුනයකටත් වඩා වැඩි වනු ඇත, එය මේ මොහොත වන විට ඩොලර් බිලියන 18.2 කි.

බදාදා ප්‍රකාශයන්හිදී, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති මිලී, පසුගිය සති කිහිපය පුරා පුවත්පත් මගින් ඉදිරිපත් කරන ලද ශීත ඍතුවේ සටන් විරාමයක් පිලිබඳ ඕනෑම සාකච්ඡාවක් අවලංගු කලහ.

මිලීගෙන්, 'රුසියානුවන් සමඟ සාකච්ඡා සඳහා අවස්ථාවක් දුටු, පසුගිය සතියේ ඔබ දැරූ අදහස්වලින් පසුබසින්නේදැයි' විමසූ විට මිලී සහ ඔස්ටින් යන දෙදෙනාම කියා සිටියේ යුද්ධය දිගටම පවතිනු ඇති බවත්, ශීත ඍතුවේ දී පවා තීව්‍ර වන බව ඔවුන් දකින බවත් ය. 'මම හිතන්නේ ශීත ඍතුවේ සටන යුක්‍රේනියානුවන්ට වාසිදායකයි,' ඔස්ටින් පැවසීය.

ඔස්ටින් තවදුරටත් පැවසුවේ, “අපට පැවසිය හැකි හොඳම දෙය නම්, ඔවුන් ශීත ඍතුව දක්වා එම සටන දිගටම කරගෙන යනු ඇති බව යි, අපි, එක්සත් ජනපදය, ජනාධිපති සහ ආරක්ෂක ලේකම්ගේ මඟපෙන්වීම මත, ඔවුන්ගේ භූමි ප්‍රදේශයට හානියකින් තොරව නිදහස, ස්වෛරීත්වය, ස්වාධීනත්වය ලඟා කර ගැනීමට අවශ්‍ය තාක් අපි යුක්‍රේනයට දිගටම සහයෝගය දක්වමු.'

එක්සත් ජනපද මිලිටරි ප්‍රතිපත්තියේ උපායික වෙනස් වීම් සහ හැරීම් කුමක් වුවත්, එක්සත් ජනපදයේ සමස්ත දිශානතිය, 'තීරනාත්මක දශකය' ලෙස නම් කර ඉදිරි කාලපරිච්ඡේදය තුල මිලිටරිමය තීව්‍ර කිරීමක් දෙසට බව පැහැදිලි සහ නිසැක ප්‍රවනතාවයකි.

1930 ගනන්වල ජර්මානු යලි සන්නද්ධ කිරීම ගැන ලියමින් ලියොන් ට්‍රොට්ස්කි 'හිට්ලර් නම් වූ සාමවාදියා' නම් රචනයක් ප්‍රකාශයට පත් කලේය. එහි ඔහු පැහැදිලි කලේ ජර්මානු අධිරාජ්‍යවාදය සාමය අපේක්ෂා කරන බවට උස් හඩින් කරන ප්‍රකාශ, හුදෙක් ලෝක යුද්ධයකට සූදානම් වීමේ අරමුන ඇතිව ක්‍රමානුකූලව නැවත සන්නද්ධ කිරීමේ වැඩපිලිවෙලක් සඳහා ආවරනයක් පමනක් බව යි:

[හිට්ලර්] මිලිටරි හමුදාවන්ගේ සබඳතාවයේ රැඩිකල් වෙනසක් සඳහා ඔහුගේ වැඩ කටයුතු කරගෙන යයි. මෙම කාර්යය දැනටමත් ආරම්භ වී ඇති නමුත් තවමත් තීරනාත්මක ප්‍රතිඵල ලබා දී නොමැති විට, හරියටම දැන්, හිට්ලර් යුරෝපීය ක්‍ෂේත්‍රය තුල අතිශයින් ම ප්‍රවේසම්සහගත විය යුතුය. කිසිවෙකු බිය නොකරන්න, කිසිවෙකු කෝපයට පත් නොකරන්න; ඊට පටහැනිව, ඔබේ දෑත් පුලුල් ලෙස විහිදුවාලන්න. හිට්ලර් සාමවාදී කතාවලින් සහ ආක්‍රමනශීලී නොවන ගිවිසුම්වලින් යුද කම්හල්වල තාප්ප වසා දැමීමට සූදානම්‍ ය. Paris vaut bien une messe! (පැරිසිය මහත් සේ වටී!) සාමවාදී ආක්‍රමනශීලීත්වයේ පැහැදිලි, සරල, රාජ්‍යතාන්ත්‍රික නොවන සූත්‍රයක් අවශ්‍ය නම්, එය පහත පරිදි වේ: ඉදිරි වසර දෙක තුන තුල හිට්ලර්, තම විරුද්ධවාදීන්ගේ පැත්තෙන් සිදු විය හැකි වැලැක්වීමේ යුද්ධයක් (පසු කාලයකදී එම සතුරා විසින් සිදු කල හැකි ප්‍රහාරයක් වැලැක්වීමට අනුමාන සතුරෙකුට එරෙහි ප්‍රහාරයක් - පරිවර්තක) මග හැරිය යුතුය. මෙම සීමාවන් තුල ඔහුගේ සාමවාදය පරම වශයෙන් අවංක ය. නමුත් මෙම සීමාවන් තුල පමනි.

අද, රුසියාව හෝ චීනය සමඟ යුද්ධයක් අපේක්ෂා නොකරන බවට එක්සත් ජනපදය විසින් කරන ලද ප්‍රකාශයන්, දෙරටේ සහ මහජන හමුදා ඔවුන්ගේ දේශසීමාවල මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික වටලෑම සිදු කරන අතරතුර, කාලය ගැනීම අරමුනු කරගත් උපායකි. යුක්‍රේනය තුල පුපුරා ගොස් ඇති යුද්ධය එක්සත් ජනපද මිලිටරි සැලසුම්කරුවන් විසින් දකින්නේ වඩා පුලුල් ගෝලීය යුද්ධයක ආරම්භක ගැටුමක් ලෙස ය.

යුද්ධය දැන් පෝලන්තය දක්වා ව්‍යාප්ත වී තිබීම අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතුය: මෙම යුද්ධය අවසන් කල යුතුය! දෙසැම්බර් 10 දා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, “යුක්‍රේනය තුල යුද්ධය නැවැත්වීමට තරුනයන්ගේ හා ශිෂ්‍යයන්ගේ මහජන ව්‍යාපාරයක් සඳහා!” යන මැයෙන් ඔන්ලයින් රැස්වීමක් පවත්වනු ඇත. මෙම තීරනාත්මක රැස්වීමට සහභාගී වන ලෙසත්, එය ප්‍රවර්ධනය කරන ලෙසත් අපි සියලුම කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading