ඉදිරිදර්ශන

නිව් යෝර්ක් ටයිම්ස්, ගාඩියන් අවසානයේ අසාන්ජ්ගේ නිදහස ඉල්ලා සිටියි! ඔවුන්ට මෙතරම් කාලයක් ගත වූයේ ඇයි?

මෙම ලිපිය What took them so long? New York Times, Guardian finally call for Assange’s freedom යන මැයෙන් නොවැම්බර් 29 දින පලවූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.

විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ්ට ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරනය පැතීමට බල කෙරී වසර දහයකට පසුව සහ ඔහු අත්අඩංගුවට ගෙන හුදකලා කඳවුරක සිරගත කිරීමෙන් වසර තුනකට පසුව, ඔහුගේ නඩුව අවසන් කරන ලෙස ඉල්ලමින්, නිව් යෝක් ටයිම්ස්, ද ගාඩියන්, ලෙ මොන්ඩෙ, එල් පයිස් සහ ඩර් ස්පීගල් හි කතුවරුන් සහ ප්‍රකාශකයන් විසින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත විවෘත ලිපියක් නිකුත් කර ඇත.

දිගු කලකට පසු මෙම ප්‍රකාශන, අසාන්ජ් විසින් මුදාහරින ලද තොරතුරු මගින් 'ජාත්‍යන්තර පරිමාන දූෂන, රාජ්‍ය තාන්ත්‍රික අපචාර සහ ඔත්තු බැලීම්' සහ 'රටේ ජීවිතවලින් සහ මුදලින් ඉමහත් ලෙස වන්දි ගෙවීමට සිදුවූ තීන්දු හෙලිදරවු' කෙරුනු බව සඳහන් කරමින් ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු දැවෙන මහජන අවශ්‍යතාවයකින් සහ වැදගත්කමකින් යුතු ඒවා බව පිලිගෙන ඇත.

දැන් පවා “මාධ්‍යවේදියෝ සහ ඉතිහාසඥයෝ මෙම අද්විතීය ලේඛන ආකරය භාවිතා කරමින් නව හෙලිදරව් කිරීම් දිගටම ප්‍රකාශයට පත් කරති” යනුවෙන් ඔවුන් ලියා තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් විය: “2019 අප්‍රේල් 12 වන දින, එක්සත් ජනපද වරෙන්තුවක් මත අසාන්ජ් ලන්ඩනයේදී අත්අඩංගුවට ගනු ලදුව, දැන් වසර තුනහමාරක් තිස්සේ, ත්‍රස්තවාදීන් සහ සංවිධානාත්මක අපරාධ කන්ඩායම්වල සාමාජිකයින් සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන අධි ආරක්ෂිත බ්‍රිතාන්ය බන්ධනාගාරයක රඳවා ඇත. ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට සහ ඇමරිකානු අධි-ආරක්ෂිත බන්ධනාගාරයක වසර 175 දක්වා වන සිර දඬුවමකට මුහුන දී සිටී.'

“කිසි විටෙක ප්‍රකාශකයෙකුට හෝ ප්‍රචාරකයෙකුට නඩු පැවරීමට භාවිතා කර නොමැති පැරනි නීතියක් වන 1917 ඔත්තු බැලීමේ පනත” (මෙය පලමු වන ලෝක යුද සමයේදී ඔත්තුකරුවන් විය හැකියවුන්ට නඩු පැවරීමට නිර්මානය කරන ලද්දකි) අසාන්ජ්ට එරෙහිව භාවිතා කිරීමට කතුවරු විරුද්ධ වෙති,

ලිපිය අවසන් කරන්නේ, මෙය “භයානක පූර්වාදර්ශයක් සපයන අතර, ඇමරිකාවේ ප්‍රථම (ව්‍යවස්ථා) සංශෝධනය හා මාධ්‍ය නිදහස යටපත් කිරීමට තර්ජනය කරයි. මහජන යහපත වෙනුවෙන් සංවේදී තොරතුරු ලබා ගැනීම සහ හෙලිදරව් කිරීම මාධ්‍යවේදීන්ගේ දෛනික කාර්යයේ මූලිකාංගයකි. එම කාර්යය සාපරාධී ලෙස සලකනු ලැබුවහොත්, අපගේ මහජන කතිකාව සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සැලකිය යුතු ලෙස දුර්වල කරනු ලැබේ... රහස් එලිදරව් කිරීම සම්බන්ධයෙන් ජූලියන් අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීම අවසන් කිරීමට එක්සත් ජනපද ආන්ඩුවට කාලය පැමින තිබේ.”

විවෘත ලිපියෙන් පැහැදිලි වන්නේ අසාන්ජ් රාජ්‍ය හිංසන ව්‍යාපාරයක ගොදුරක් වී ඇති බවත්, ඔහුට වසර ගනනාවක් ඔහුගේ ජීවිතය සහ යහපත් සෞඛ්‍යය අහිමි වී ඇති බවත්, රාජ්‍ය සාපරාධීත්වය හෙලිදරව් කිරීම නිසා, අන් අයට බිහිසුනු ආදර්ශයක් ලෙස තැබීමට සැලසුම් කර ඇති බවත් ය.

නමුත් මෙය ප්‍රශ්නයක් මතු කරයි: මෙතරම් කාලයක් ගතවූයේ මක්නිසාද? නිව් යෝර්ක් ටයිම්ස් සහ ගාඩියන් පුවත්පත් අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට වසර 10 ක් ගත වූයේ ඇයි?

පසුගිය දශකය පුරා මෙම පුවත්පත් වල හැසිරීම තරයේ හෙලා දැකිය යුතු ය. අසාන්ජ්ට එරෙහිව මහජන මතයට විෂ කැවීමට , ඔහුට එරෙහිව කරන ලද ව්‍යාජ ප්‍රකාශ සහ චෝදනාවලට විශ්වාසනීයත්වයක් දීමට ඔවුන් දැරූ උත්සාහය, මෙම ප්‍රතිපත්තිගරුක නිර්භීත මාධ්‍යවේදියා හිංසාවට පත්කිරීම සඳහා ඇමරිකානු රාජ්‍යයට ඉඩ සලසා දුන්නේය.

බ්‍රිතාන්යයේ ගාඩියන්, විකිලීක්ස් සමඟ කේබල් පනිවුඩ පලකිරීම සඳහා ප්‍රථමයෙන් කටයුතු කලේය. එය, සිය ප්‍රකාශනයෙන් මාසයක් ඇතුලත සබඳතා බිඳ දමා අසාන්ජ් ජාත්‍යන්තර පරයෙකු බවට පත් කිරීමට උත්සාහ කරමින් ලෝක මාධ්‍යය විසින් ඩෑහැගන්නා ලද චරිත ඝාතන ව්‍යාපාරයක් වහා දියත් කලේය.

විකිලීක්ස් සමඟ පැවති සිය පුර්ව සහයෝගීතාවය පැහැදිලි කරමින්, එම පුවත්පත 2010 දෙසැම්බර්, 'විකිලීක්ස්: මිනිසා සහ අදහස' යන මැයෙන් කතුවැකියක් ලියා, එය 'කේබල් පනිවුඩ කුඩා සංඛ්‍යාවක්' පමනක් ප්‍රකාශයට පත් කිරීමට එකඟ වූ බව සඳහන් කල අතර එහි වේදනාකාරී 'සංස්කරනය කිරීමේ ක්‍රියාවලිය, සන්දර්භගත කිරීම, පැහැදිලි කිරීම සහ නැවත සකස් කිරීම' ඉස්මතු කලේය. වෙනත් වචන වලින් කිවහොත්, ලේඛනවල අඩංගු මිනීමැරුම්, වධහිංසා පැමිනවීම්, ඔත්තු බැලීම් සහ දූෂනය පිලිබඳ විස්තර වලින් ඇති විය හැකි නරක ප්‍රතිවිපාක පාලනය කිරීමට එය ක්‍රියා කර ඇත.

.

මෙය ඉටු කර ගත් පසුව, ගාඩියන් සහ අනෙකුත් ප්‍රකාශන රුදුරු ලෙස අසාන්ජ් එරෙහිව ආපසු හැරී ගත්තේ, ඔහුගේ නමේ දැලි ගෑමට, ඔහුව අල්ලා ගෙන එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට සැලසුම් කෙරුනු, ගොතන ලද බොරුවක් වූ ස්වීඩනයේ ලිංගික අතවර විමර්ශනයක් සහ පිටුවහල් කිරීමේ ඉල්ලීමක් මත සිය ප්‍රහාරයන් කේන්ද්‍ර ගත කරමිනි.

එතැන් සිට මෙම අවනඩුව මුලුමනින්ම හෙලිදරව් වී අතහැර දමාතිබේ, නමුත් එය අසාන්ජ් වසර හතක් තිස්සේ අත්තනෝමතික රඳවා තබා ගැනීම සඳහා යොදා ගැනුනි. ඔහුට ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සරනාගතභාවය ඉල්ලා සිටීමට සිදු වූ අතර පොලිසියේ පැහැර ගැනීමේ කන්ඩායමක් එලිමහනේ බලා සිටියේය. එක්සත් ජනපද බුද්ධි අංශ අසාන්ජ් ගැන ඔත්තු බැලූ, ඔහු ඒවායේ පැහැරගැනීම්වල සහ ඝාතන කුමන්ත්‍රනවල ඉලක්කය වූ මෙම කාල පරිච්ඡේදය විවෘත ලිපියෙන් බැහැර කර ඇත.

ඒ අතර අසාන්ජ්ගේ චරිතය ඝාතනය දිගටම පැවතුනි. 2016 එක්සත් ජනපද ජනාධිපතිවරනයට රුසියානු ආන්ඩුව ඇඟිලි ගැසුවේ යැයි කියනු ලබන කුමන්ත්‍රනයකට ඔහුව සම්බන්ධ කිරීමේ තම ව්‍යාපාරයේ කොටසක් ලෙස, ගාඩියන් පුවත්පත - තම සුවිශේෂී වාර්තාවක් තුල- ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිත්‍රයෙකු වන පෝල් මැනෆෝර්ට් සහ අසාන්ජ් අතර හමුවක් ගෙතීම දක්වා දුරදිග ගියේය.

2019 අප්‍රේල් මාසයේදී අසාන්ජ්ට එරෙහි එක්සත් ජනපද නඩුවේ සම්පූර්න විෂය පථය හෙලිදරව් වූ විට පවා ගාඩියන් හි පලමු ප්‍රතිචාරය වූයේ, ඔහු නිහඬ කිරීමේ මාර්ගයක් ලෙස, රාජ්‍ය ඔත්තු බැලීමේ පනත භාවිතා කිරීමේ දුෂ්කරතා ඇති නොවන පරිදි යලි ස්වීඩනයට පිටුවහල් කිරීම යෝජනා කිරීමයි.

මෙම පුවත්පත් කතුවරුන් සහ ප්‍රකාශකයින් මුල සිටම, අසාන්ජ් මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කරන බවත්, කිසිදු අපරාධයකට සම්බන්ධ නැති බවත් තේරුම් ගෙන සිටිබව ඔවුන්ගේ ලිපියෙන් පැහැදිලි වේ.

ගාඩියන්, නිව් යෝර්ක් ටයිම්ස් ආදිය මුලුමනින්ම ආපසු හැරී, දැන් පැහැදිලිවම අසාන්ජ් හිංසනයට විරුද්ධ වන්නේ නම්, ඊට හේතුව එක්සත් ජනපද යුද අපරාධ හෙලිදරව් කල මාධ්‍යවේදියෙකු ගැන බොරු නඩු විභාගයක් බයිඩන් පරිපාලනයට ප්‍රධාන දේශපාලන අර්බුදයක් ඇති කරනු ඇතැයි යන කනස්සල්ල යි.

අසාන්ජ් පිලිබඳ ඕනෑම නඩු විභාගයක් දැවැන්ත මහජන විරෝධයකට මුහුන දෙනු ඇති අතර බැරැක් ඔබාමාගේ ඩිමොක්‍රටික් පරිපාලනය යටතේ බයිඩන් උප ජනාධිපති ලෙස කල කටයුතු ද ඇතුලුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් කරන ලද අපරාධවලට තව දුරටත් එලිය විහිදුවනු ඇත.

මෙම එක්සත් ජනපද යුද අපරාධ හෙලිදරව් කිරීම සිදුවනු ඇත්තේ, රුසියානු සාහසික ක්‍රියාවන් වැලැක්වීමට එක්සත් ජනපද මැදිහත්වීම අත්‍යවශ්‍ය යැයි යන අදහස මහජනතාවට තොරොම්බල් කරමින් එක්සත් ජනපදය යුක්රේනය තුල රුසියාවට එරෙහි වක්‍ර යුද්ධයක් පලල් කරමින් සිටින අවස්ථාවක ය.

එපමනක් නොව, ඕනෑම නඩු විභාගයකින්, අසාන්ජ්ට හිංසා කිරීමට ඉඩ සැලසූ නිව් යෝර්ක් ටයිම්ස් සහ ගාඩියන් හි අසික්කිත භූමිකාව එලිදරවු කරනු ඇත.

කම්කරු පන්තිය අසාන්ජ්ගේ නිදහස සඳහා බලකිරීමේ සටන වේගවත් කල යුතුය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූයේ එක්සත් ජනපද ආන්ඩුව “සෑම තැනකම මාධ්‍යවේදීන්, ප්‍රකාශකයන් සහ ක්‍රියාකාරීන් දඬුගැසීමේ කොන්දේසි නිර්මානය කිරීමට” උත්සාහ දරන අතර, අසාන්ජ් “ලෝකයේ බලවත්ම ආන්ඩු, බුද්ධි අංශ සහ ඔවුන්ගේ හොරනෑ වන සංගත මාධ්‍ය සම්බන්ධ වූ බිහිසුනු සාපරාධී කුමන්ත්‍රනයක ගොදුරක්” ව ඇති බව යි.

අසාන්ජ්ගේ ආරක්ෂාව සඳහා වන ව්‍යාපාරය පදනම් විය යුත්තේ, සියලු ආන්ඩු, ඔත්තු සේවා සහ සංගත යන මේ සියල්ලටම වඩා බලගතු බලවේගයක් වන ජාත්‍යන්තර කම්කරු පන්තිය මත ය, එය ඔහුගේ ආරක්ෂාව, මිලිටරිවාදයට සහ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතිවාසිකම් වලට එල්ල වන ප්‍රහාරයන්ට එරෙහි ප්‍රතිප්‍රහාරාත්මක අරගලය සඳහා කේන්ද්‍රස්ථානය කර ගත යුතුය. නිව් යෝර්ක් ටයිම්ස්, ගාඩියන් සහ සෙසු අයගේ උද්‍යෝ ගිමත් සහයෝගය ඇතිව නැටෝ-රුසියානු යුද්ධය දිගටම ගෙනයන තතුතුල මෙම අරගලය වෙන කවරදාටත් වඩා වැදගත් ය.

Loading