ශ්‍රී ලංකාවේ සසප සහ සසජාතශි, යුද විරෝධී ගෝලීය වෙබිනාර් රැස්වීම සඳහා උද්ඝෝෂනය කරයි

[මෙය Sri Lankan SEP and IYSSE campaign for global anti-war webinar යන මැයෙන් 2022 ‌ දෙසැම්බර් 02 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයෝ “යුක්‍රේනය තුල යුද්ධය නැවැත්වීමට තරුනයන්ගේ හා ශිෂ්‍යයන්ගේ මහජන ව්‍යාපාරයක් සඳහා!” යන මැයෙන් පැවැත් වෙන ජාත්‍යන්තර වෙබිනාර් රැස්වීම ගොඩනැගීමට ශ්‍රී ලංකාව පුරා විශ්ව විද්‍යාලවල උද්ඝෝෂනය කරමින් සිටිති. දෙසැම්බර් 10 දා පැවැත් වෙන එම රැස්වීමට සසජාතශි සංවිධානය විසින් සත්කාරකත්වය දරයි. තුන්වන ලෝක යුද්ධයක් බවට පත්වෙමින් තිබෙන එයට එරෙහි ව කම්කරු පන්තිය එක්සත් කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක් මෙම රැස්වීමේ දී ඉදිරිපත් කරනු ඇත.

සසප සහ සසජාතශි මෙම යුද විරෝධී ව්‍යාපාරය තුල, සිසුන් හා තරුනයින් විසින් ඉටු කල යුතු භූමිකාව පිලිබඳව කොලඹ, ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව, පේරාදෙනිය, රුහුනු සහ යාපනය යන විශ්ව විද්‍යාලවල සිසුන් සිය ගනනක් සමග කතා කලහ.

මුල දී, බොහෝ සිසුන් යුක්‍රේනය තුල යුද්ධය, එහි ඇඟවුම් සහ ඔවුන් මුහුන දෙන දැවැන්ත අන්තරායන් පිලිබඳව ජනතාව අඳුරේ තැබීමට උපකාර කර ඇති ව්‍යාජ-වම්මු සහ වෘත්තීය සමිති ඇතුලු විවිධ දේශපාලන පක්ෂ විසින් ඉටු කරන ලද භූමිකාව පිලිබඳ දැනුමේ අඩුවක් පෙන්නුම් කලහ.

ඉවසිලිවන්ත ව සවන් දීමෙන් සහ පැහැදිලි කිරීම් සොයා බැලීමෙන් පසු ව, බොහෝ දෙනෙක් ඔන්ලයින් වෙබිනාර් රැස්වීම සඳහා ලියාපදිංචි වීමට එකඟ වූහ. සිංහල සහ දෙමල භාෂාවට පරිවර්තනය කර ඇති, “ලොව පුරා තරුනයින්ට කැඳවීමක්: යුක්‍රේන යුද්ධය නැවැත්වීමට මහජන ව්‍යාපාරයක් ගොඩනඟනු!” යන ප්‍රකාශයේ පිටපත් 100 කට වඩා ප්‍රමානයක් සසජාතශි විසින් අලෙවි කරන ලදී.

ශිෂ්‍යයෝ පක්ෂයේ වෙනත් පොත් පත් ද මිල දී ගත් අතර ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය පිලිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට එකඟ වූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරන ශිෂ්‍යයෙක් අදහස් දක්වමින් කියා සිටියේ යුද්ධය හේතුවෙන් තරුන තරුනියන් මුහුන දී ඇත්තේ ඉතා අවිනිශ්චිත අනාගතයකට බවයි. “අපි අපේ අනාගතය කෙසේ සැලසුම් කලත්, න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට ලෝක බලවතුන් ගන්නා එක් තීරනයකින් ඒ සියල්ල විනාශ කල හැකියි” යැයි ඔහු පැවසී ය. “යුක්‍රේනය තුල යුද්ධය ගැන ශ්‍රී ලංකාවේ මාධ්‍යවල වාර්තා නොමැති තරම්‍. එබැවින් තරුනයින්ට ඒ පිලිබඳ යාවත්කාලීන තොරතුරු ලබාගන්න බැහැ. නමුත් මේ ගෝලීය අර්බුදය ගැන තරුනයන් දැනුවත් කල යුතුයි.”

සසප/සසජාතශි උද්ඝෝෂකයෝ, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ක්‍රියාමාර්ගයකින් පමනක් ම නැවැත්විය හැකි යුද්ධයේ මූල හේතු පැහැදිලි කලහ. එයට ශිෂ්‍යයා පිලිතුරු දුන්නේ: “කම්කරු පන්තිය සියලු ධනේශ්වර සංවිධානවලින් ස්වාධීන විය යුතුය යන තර්කයට මම එකඟයි.” යනුවෙනි.

ධනේශ්වර විරුද්ධ පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කරන මෙම සංවිධාන අතරට ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද ඇතුලත් ය. ශිෂ්‍යයා මෙසේ පැවසී ය: “මුලින්ම මම හිතුවේ [ජනාධිපති රනිල්] වික්‍රමසිංහ බලයෙන් නෙරපා හැරීමට බලපෑම් කිරීමට හැකි තරම් කන්ඩායම් එකතු කල යුතු බවයි. නමුත් [ඔබ සමඟ] මෙම සාකච්ඡාවේ දී මට පැහැදිලි වූයේ වෙනත් ධනේශ්වර ආන්ඩුවක් බලයට ගෙන ඒමේ එවැනි වැඩපිලිවෙලක් වෙනුවට, කම්කරු පන්තියට ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් අවශ්‍ය බවයි.

කැලනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන රංජිත් කියා සිටියේ යුක්‍රේනය තුල රුසියාවේ යුද්ධය අවුලුවා ඇත්තේ එක්සත් ජනපදය බවයි. “ඇමරිකාව මුහුන දෙන බරපතල ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා, රටවල් අල්ලා ගැනීමට සහ ඔවුන්ගේ සම්පත් කොල්ලකෑමට මිලිටරි බලය භාවිතා කරනවා. පසුගිය වසර 30 තුල මැදපෙරදිග විනාශය සිදු කලේ එම අරමුන ඉටුකර ගැනීම සඳහා යි.”

නරක අතට හැරෙන සමාජ අර්බුදයට එරෙහි විරෝධය අපසරනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් දෙමල-විරෝධී සහ මුස්ලිම්-විරෝධී වර්ගවාදය භාවිතා කර ඇති ආකාරය පෙන්වා දුන් රංජිත්, යුද්ධය විසින් එක්සත් ජනපදයට සහ අනෙකුත් ධනේශ්වර රටවලට එම අරමුනම ඉටු කරන දෙන බව පැවසී ය.

“මෙය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් පමනක් නොවේ” යැයි ඔහු පැවසී ය. “අපගේ මුලු අනාගතය ම ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා සඳහා ගෙන යන යුද්ධයකට පරදුවට තියලා. මෙම යුද විරෝධී ව්‍යාපාරය ගොඩනැගීමට මගේ සහයෝගය ප්‍රකාශ කරන අතර, දෙසැම්බර් 10 වැනි දින රැස්වීමට මම සහභාගී වෙනවා.”

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ පලමු වසර ශිෂ්‍යයෙකු වන අනුජ

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ පලමු වසර ශිෂ්‍යයෙකු වන අනුජ පැවසුවේ මානව වර්ගයා මුහුන දෙන ප්‍රධාන අනතුර න්‍යෂ්ටික යුද්ධය බවයි. “යුද්ධයේ ගොදුරු බවට පත්වන්නේ තරුනයන්,” ඔහු පැවසී ය. “මගේ සහෝදරයා ඉගෙනුම ලබන්නේ රුසියාවේ. ඔහු පැවසුවේ, එහි තරුනයින් විශාල මිලිටරිකරනයක තර්ජනයකට මුහුන දී සිටින බවයි. පලමු හා දෙවන ලෝක යුද්ධවල දී ලෝකය එවැනි දේ අත්විඳලා තියෙනවා, අපට එවැනි තත්වයක් නැවත අවශ්‍ය නැහැ.”

ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “ලෝකයේ බහුතරයකට අවශ්‍ය වන්නේ යුද්ධය අවසන් කිරීමයි. එය ජාත්‍යන්තර පරිමානයෙන් සංවිධානය කරන්නේ නම්, වැඩ කරන ජනතාවට එය කල හැකියි. මම ඔන්ලයින් රැස්වීමට සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා. යුද්ධය අවසන් කිරීමට ධෛර්යයෙන් යුතු ලොව පුරා සිටින පිරිසක් එක ම රැස්වීමක් අමතනු දැකීම ආශ්වාදජනකයි.”

භෞතීය විද්‍යා ශිෂ්‍යයෙකු වන සචින්ත පැවසුවේ එක්සත් ජනපදය සිතන්නේ ඔවුන්ගේ මිලිටරි බලයෙන් සියල්ල කල හැකි බවයි, “නමුත් න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර පවතින ආතතීන් මධ්‍යයේ එවැනි ගනනය කිරීම් කිරීම ව්‍යසනකාරී වනවා”

දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානයට පතිත වූ පරමානු බෝම්බ දෙක අතිවිශාල විනාශයක් සිදු කල බව ඔහු සඳහන් කලේය. “විද්‍යා ශිෂ්‍යයෙකු ලෙස, න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කෙතරම් ප්‍රබලද යන්න මම ඉගෙනගෙන තියෙනවා. එක්සත් ජනපදය ප්‍රමුඛ බලවතුන් රහසිගතව නිපදවා ඇති ආයුධ ලෝකය තවමත් දැක නැති අතර ඒවායින් ඇති කල හැකි හානිය අපට සිතාගත නොහැකියි.”

“එක්සත් ජනපද මිලිටරි වියදම් ගැන ඇසූ විට, අයෙකු නිසැක ව ම පුදුමයට පත් වේවි. මේවා, ලොව පුරා කුසගින්න සහ දුක් වේදනා අවසන් කිරීමට භාවිතා කල හැකි මුදල්. නමුත් ඔබ කියන පරිදි ඒ මුදල් තිබෙන්නේ යුදකාමී පාලකයන් අතේ. අපි යුද්ධයට බරපතල විරෝධයක් වර්ධනය කල යුතුයි, මම හිතන්නේ මේ වෙබිනාර් රැස්වීම ඒ සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි.” යැයි ඔහු පැවසී ය.

රෝයි (දකුන) දේශපාලන විද්‍යා අංශයේ අනෙකුත් සිසුන් සමඟ

දේශපාලන විද්‍යා අංශයේ ශිෂ්‍යයෙකු වන රෝයි, එක්සත් ජනපද ආන්ඩුවේ ප්‍රචාරනයේ කුහකත්වය පෙන්වා දුන්නේය: “මානව හිමිකම් ගැන වැඩි පුර ම කතා කරන එක්සත් ජනපදය, වඩාත්ම මානව හිමිකම් උල්ලංඝනය කරන රට බවට පත් ව තිබෙනවා.”

යුද්ධය නැවැත්වීමට අධිරාජ්‍යවාදී බලවතුන්ට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඔවුන්ගේ සංවිධානවලට ආයාචනා කිරීමෙන් පලක් නොවන බව ඔහු වටහා ගත්තේ ය. “ඔවුන් මානව හිමිකම් සංවිධානවල කුමන ආස්තාන දැරුවත්, ඔවුන් යුද්ධය නැවැත්වීමට පියවර නොගන්නේ, තම ධනේශ්වර ආර්ථිකයේ අර්බුදයෙන් ගොඩ ඒමට විනාශකාරී මාවතක් තෝරාගෙන ඇති බැවිනි.” මෙම යුද විරෝධී පනිවිඩය මහජනතාව ගෙන යාමේ දී ලෝසවෙඅ විසින් ඉටු කරන ලද කාර්යභාරය වෙනුවෙන් ඔහු කෘතඥතාව පල කලේ ය.

කලා අංශ සිසුවියක වන පියුමි හංසිකා උද්ඝෝෂකයන්ට මෙසේ පැවසුවා ය: “අධිරාජ්‍යවාදී බලවතුන් යුද්ධය අවසන් කරනු ඇතැයි අපට අපේක්ෂා කරන්න බැහැ. ඔවුන් හැම විට ම උත්සාහ කරන්නේ යුද්ධ හරහා ලෝකය යටත් විජිතකරනය කිරීමටයි. දශක කිහිපයකට පෙර එක්සත් ජනපදය තමයි ලෝකයේ ආර්ථික වශයෙන් බලවත් ම රට. ඔවුන් සතුව න්‍යෂ්ටික අවි සහ දැවැන්ත මිලිටරි බලකායන් සිටින අතර, ආර්ථික පරිහානියට එරෙහි ව ඔවුන් ඒවා භාවිතා කරනවා.” එක්සත් ජනපදය රුසියාවට එරෙහි ව යුද්ධයක් දියත් කරන අතර චීනය සමඟ යුද්ධයකට තර්ජනය කරමින් සිටින්නේ, ඔවුන්ගේ ඛනිජ සහ අනෙකුත් ස්වභාවික සම්පත් වෙත ප්‍රවේශය ලබා ගැනීමට යයි ඇය පැවසුවාය.

කලා අංශයේ ශිෂ්‍යාවක වන පියුමි හංසිකා

යුක්‍රේන යුද්ධය ශ්‍රී ලංකාවට සහ සෙසු ලෝකයට ඇති කල බලපෑම පෙන්වා දෙමින් පියුමි මෙසේ පැවසීය: “රුසියාව යනු රටවල් බොහෝමයකට ස්වභාවික වායු, ඉන්ධන සහ බලශක්ති නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන රටවලින් එකක්. යුද්ධය, එම නිෂ්පාදන සඳහා මිල ඉහල දැමීමට හේතු වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ අර්බුදය ගැඹුරු කර ඇත.”

ඇය තවදුරටත් කියා සිටියේ, “මේ ජාත්‍යන්තර තත්වය ගැන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඊට ප්‍රධාන හේතුව, ලෝක යුද්ධය පිලිබඳ දේශපාලන පක්ෂවල නිහඬතාවය යි. ඔවුන් සියල්ලෝම ක්‍රියා කරන්නේ, ජනතාව ධනවාදය පිලිබඳ සත්‍ය දැන ගැනීමෙන් වෙනතකට යොමු කිරීමට යි. ඔවුන් කම්කරුවන් හා ශිෂ්‍යයන් ජාතිකවාදයේ උගුලට හසු කරලයි තියෙන්නෙ.

“සිසුන්ට තනියම මේ ප්‍රශ්නවලට එරෙහිව සටන් කරන්න බැහැ, අපි ජනතාව වෙත හැරිලා ඔවුන්ව බලයක් ලෙස ගොඩනගන්න ඕන. ලෝක යුද්ධය කරා යන ගමන නැවැත්විය හැකි අතර අප මුහුන දෙන සියලු ගැටලු විසඳිය හැක්කේ ඔවුන්ට පමනයි.”

කෘෂිකාර්ම පිඨයේ ශිෂ්‍යයෙකු වන තිලින, සියල්ලටත් වඩා එක්සත් ජනපදය අධිරාජ්‍යවාදී බලවතුන් සතුව පවතින අතිවිශාල න්‍යෂ්ටික අවි සංඛ්‍යාවෙන් මතු කෙරෙන අන්තරාය ඉස්මතු කලේය. “න්‍යෂ්ටික යුද්ධයකින් මිනිස් ජනගහනයෙන් බහුතරයක් මිය යා හැකිය,” ඔහු පැවසීය.

කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍යයෙකු වන තිලින

ඔහු සමාජ අර්බුදය ගැන සඳහන් කරමින් මෙසේ පැවසීය: “තරුනයන් වශයෙන් අපට අනාගතයක් නැහැ. අපි විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු අපට රැකියාවක් සොයාගත හැකි නමුත් අපට ප්‍රමානවත් වැටුපක් නොලැබෙනු ඇති. සෑම රටක ම මිනිසුන් යුද්ධයේ හා අසමානතාවයේ අනතුරට මුහුන දෙමින් සිටියි. ඒ නිසා අපි මේ දෙකටම එරෙහි ව සටන් කල යුතුයි.”

නීති ශිෂ්‍යයෙකු වන රාහුල් සසජාතශි සාමාජිකයින්ට මෙසේ පැවසීය: “මම හිතන්නේ මේ යුද්ධය, රටවල් තමන්ගේ බලය වැඩිකර ගැනීමේ තරඟයේ ප්‍රතිඵලයක් කියලා.” රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීම හුදකලා සිදුවීමක් නොවන බවත්, එක්සත් ජනපදය සහ නැටෝ බලවතුන් විසින් නොයෙකුත් ප්‍රකෝපකරනයන් අනුගමනය කල බවත් උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. 1991 සිට අධිරාජ්‍යවාදී බලවතුන් මැද පෙරදිග සහ වෙනත් තැන්වල ලාභ හා සම්පත් සඳහා යුද්ධ කරමින් සිටිති; දැන් මෙය න්‍යෂ්ටික ලෝක යුද්ධයේ අනතුරට තුඩු දී ඇත.

ලෝකය පුරා ආන්ඩු යුද්ධය සඳහා ගෙවීමට සමාජ වැඩසටහන් කපා හරින බව රාහුල් සඳහන් කලේ ය. “ලංකාවේ අපි දකිනවා, අයවැයෙන් වික්‍රමසිංහ මිලිටරි වියදම් වැඩි කරලා අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන අඩු කරලා තියෙනවා. මේ කප්පාදු පියවරවල ප්‍රතිඵල අපි දැනටමත් අත්විඳිමින් ඉන්නෙ.” ශිෂ්‍ය නේවාසිකාගාර තුල තවදුරටත් වයිෆයි හෝ ජංගම දුරකතන අන්තර්ජාල දත්ත (mobile internet data) සඳහා ප්‍රවේශය නොමැති බව ඔහු පැහැදිලි කලේය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ශිෂ්‍යයන් ධනේශ්වර ක්‍රමයට හා න්‍යෂ්ටික යුද්ධයට එරෙහිව සටන් කල යුතු නමුත් ඔවුන්ට දේශපාලන නායකත්වයක් අවශ්‍ය වනවා.” සසජාතශි සාමාජිකයන් පැහැදිලි කලේ, මෙය ඔවුන්ගේ උද්ඝෝෂනයේ සහ දෙසැම්බර් 10 වෙබිනාර් රැස්වීමෙහි අරමුන බවයි. වෙබිනාර් රැස්වීම සඳහා මෙතැනින් ලියාපදිංචි වන්න.

Loading