රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු අයවැයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද?සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි)

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය, රාජ්‍ය අංශයට සහ සමාජ සේවාවන්ට පූර්න පරිමානයේ ප්‍රහාර මුදාහරින අතරම, වැටුප් වැඩි කිරීම් නවතා දමා මහජනතාව මත ඉහල බදු පටවයි.

“මෙය ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයයි,” යනුවෙන් මුදල් ඇමතිවරයා ගෝසාබද්ද ලෙස ප්‍රකාශ කලේ, කොවිඩ්-19 විසින් උග්‍ර කරන ලද ආර්ථික අර්බුදයේ බර වැඩ කරන ජනතාව සහ ග්‍රාමීය දුගීන් මත නිර්දය ලෙස පටවමිනි. රාජපක්ෂ, රාජ්‍ය අංශය “විනයගත” කිරීමට සහ රාජ්‍ය අරමුදල් කප්පාදු කිරීමට පොරොන්දු වෙමින්, ශ්‍රී ලංකාවේ මිලියන 1.4 ක් වන රාජ්‍ය අංශයේ කම්කරුවන් ද ඉලක්ක කර ඇත. රාජ්‍ය අංශය, මහජන මුදල් මත 'ඉවසිය නොහැකි බරක්' බව ඔහු උද්ධච්ඡ ලෙස මාධ්‍යයට පැවසීය.

අයවැය මගින් සෞඛ්‍ය, සමෘද්ධි, ජල සම්පාදන, කාන්තා හා ලමා සංවර්ධන සහ ග්‍රාමීය නිවාස වැනි සමාජ සේවා සඳහා අරමුදල් බිලියන ගනනක් කප්පාදු කරනු ඇති අතර, මිලිටරිය සහ පොලිසිය සඳහා ප්‍රතිපාදන ඉහල නංවනු ඇත.

ශ්‍රී ලංකාවේ “ආර්ථිකය කලමනාකරනය කිරීමේ ශක්තිය” පිලිබඳ රාජපක්ෂගේ ප්‍රකාශ නොතකා, මූල්‍ය අර්බුදය ගැඹුරු වෙමින් පවතී. රට නය පැහැර හැරීමේ අද්දර සිටින විට, මූඩි හි මෑතකදී ශ්‍රී ලංකාවේ ශ්‍රේනිගත කිරීම අනුව, එය, ඉතියෝපියාව, ලාඕසය සහ කොංගෝ ජනරජය දක්වා පහත හෙලා තිබේ. මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාවෙන් දින කිහිපයකට පසු, බොර තෙල් ආනයනය සඳහා ගෙවීමට ප්‍රමානවත් විදේශ මුදල් රට සතුව නොතිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ එකම තෙල් පිරිපහදුව වසා දමන ලදී.

කම්කරුවන්ගේ කෝපය පාලනය කිරීමට වෘත්තීය සමිතිවල වඩ වඩාත් මංමුලා සහගත උත්සාහයන් මධ්‍යයේ, කම්කරු පන්තිය විසින් ආන්ඩුවේ කප්පාදු පියවර දැනටමත් අභියෝගයට ලක්කර ඇත. මේ වසර පුරාම සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, රාජ්‍ය පරිපාලන අංශයේ සේවකයින් සහ වතු කම්කරුවන් ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව පියවර ගෙන ඇත. මේ මාසයේ විදුලි බල, ඛනිජ තෙල් හා වරාය කම්කරුවන් පුද්ගලීකරනයට එරෙහිව රටපුරා විරෝධතා පැවැත්වීය. වගාව සඳහා අත්‍යවශ්‍ය පොහොර සහ අනෙකුත් අවශ්‍යතා ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ගොවීන් විරෝධතාවයේ නිරත වී තිබේ.

කම්කරුවන් සටන් කිරීමට ඇති කැමැත්ත සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කර ඇති අතර, කම්කරු පන්තිය මුහුන දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ආන්ඩුවේ ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද යන්න පිලිබඳ දේශපාලනික හා වැඩසටහන්ගත පැහැදිලිකමක් නොමැතිකමයි. වෘත්තීය සමිති විසින් මෙම ව්‍යාපාරයේ දේශපාලනිකව ගෙල සිරකිරීමේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරමින්, ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු විරෝධතාවයේ වට වංගු තුල, නැගී එන විරෝධය සිරකර තැබීමට ක්‍රමානුකූලව ක්‍රියා කරයි.

රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව ස්වාධීන කම්කරු පන්තික නායකත්වයක් ගොඩනැගීමේ අවශ්‍ය විප්ලවවාදී ඉදිරිදර්ශනය, සසප ප්‍රසිද්ධ රැස්වීමේදී සාකච්ඡා කරනු ඇත. මෙම වැදගත් රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන් සහ ලෝසවෙඅ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

Join the Socialist Equality Party
දේශනය සඳහා නිර්දේශිත කියවීම්