ශ‍්‍රී ලංකාවේ බොදුබල සේනා සංවිධානය මුස්ලිම්-විරෝධී ප‍්‍රචාර උත්සන්න කරයි

By Wasantha Rupasingha, 24 February 2013

අන්තවාදීන් භික්ෂූන්ගේ නායකත්වයෙන් පිහිටුවා ඇති බොදුබල සේනා සංවිධානය (බොබසේසං) රටේ සුලුතර මුස්ලිම් ජනවර්ගයට එරෙහිව දියත් කර ඇති සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී මෙහෙයුම උත්සන්න කිරීමේ රැස්වීමක් පෙබරවාරි 18 වෙනි දින මහරගම නගරයේ සංවිධානය කර තිබුනි.

දහසක පමන පිරිසක් සහභාගී වූ රැස්වීමේ අඩක් බෞද්ධ භික්ෂූන් වූ අතර සුලු පරිමානයේ සිංහල ව්‍යාපාරිකයන් ද ඇතුලු වර්ගවාදී ප‍්‍රචාරයෙන් අද්දා ගත් පිරිසක් ද එහි සිටිනු දක්නට ලැබුනි. පනහකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් රැස්වීමේ ආරක්ෂාවට යොදවා තිබුනේ ය.

රැස්වීම ආවරනය කල බීබීසී වාර්තාකාරුවන්ට මැර නඩයක් හිරිහැර කලේ, පොලිසිය බලා සිටිය දී ය. තවත් නඩයක් මුස්ලිම් පුවත්පතක් වන නවමනි මාධ්‍යවේදියෙකුට අඩත්තේට්ටම් කර පොලිසියට භාර දුන් අතර පොලිසිය නීති විරෝධී ලෙස ඔහු පැය ගනනාවක් රඳවා තබා ගත්තේ ය. මේ සිද්ධි වර්ගවාදීන්ට සහාය දැක්වීමට හුරු කෙරුනු පොලිසිය බොබසේසං වෙත දක්වන පක්ෂපාතිත්වය පෙන්නුම් කරයි.

රැස්වීම ඇමතූ බොබසේසං මහලේකම් ගලගොඩඅත්තේ ඤානසාර, එහි ප‍්‍රධානී කිරම විමලජෝති ඇතුලූ භික්ෂූන්ගේ කතා, "මුස්ලිම් අන්තවාදයට” එරෙහි වීම නම් කඩතුරාව යටතේ මුස්ලිම් ජනවර්ගයට එරෙහිව එල්ල කල ඒවා විය. පාරිභෝගික භාන්ඩවල ප‍්‍රමිතිය පිලිබඳව හලාල් නමින් සහතිකයක් ලබා දෙන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව දැන් රටපුරා බෙදා හරිමින් තිබෙන පත‍්‍රිකා හා පෝස්ටර්වලට යොදා ගන්නා හලාල් විරෝධී ලාංඡනයේ විශාල පුවරුවක් වේදිකාව ඉදිරිපිට ප‍්‍රදර්ශනය කෙරුනි. එම ලාංඡනය මුද්‍රනය කල ටී-ෂර්ට් හැඳගත් තරුනයින් වේදිකාවේත් අවට ගොඩනැගිලිවලත් සිට නිරීක්ෂනයේ යොදවා තිබුනේ සංවිධානය සතුව මැරභට කන්ඩායමක් ගොඩ නැගෙන බව ප‍්‍රදර්ශනය කිරීමට ය.

"හලාල් තුලින් අද සමාජයේ බෙදුම්වාදය යලි පටන් අරන් ඇති” බවත් එය "එල්ටීටීඊ සංවිධානයේ ත‍්‍රස්තවාදයටත් වඩා බියකරු” බවත් කියා සිටි ඤානසාර භික්ෂුව, එය "එක පිලටවිත් පරාජය කල යුතු” බවට ගිගිරුවේ ය. ජමිය තුල් උලමා සංවිධානය විසුරුවා හැරිය යුතු බවට ද මාර්තු 31 වන විට හලාල් ලාංඡනය ඉවත් කරගත යුතු බවට ද ඤානසාර තර්ජනය කලේ ය.

"ජාතිය හා ආගම රැක ගැනීම” සඳහා රැස්වීමට පැමින සිටින සෑම අයෙක් ම එදින සිට "නිල නොවන පොලිස්කාරයෙක්” බවට පත් විය යුතු යැයි ඤානසාර භික්ෂුව ප‍්‍රකාශ කලේ, "සිංහල-බෞද්ධ ජනයාට” සිදුවන්නේ යැයි බොබසේසං නම් කරන "අකටයුතුකම්වලට” එරෙහිව ප‍්‍රචන්ඩත්වය යොදා ගැනීමට උඩගෙඩි දෙමිනි. මොවුන්ගේ ප‍්‍රධානත්වයෙන් රට තුල මුස්ලිම් පල්ලි කීපයකට පසුගිය කාලයේ එල්ල කල ප‍්‍රහාරත් දැන් ගම්බදව මුස්ලිම් ජනයාට එරෙහිව ගෙයින් ගෙට යමින් කෙරෙන ප‍්‍රචාරත් මෙකී කල්ලියේ ආරම්භක කාර්යයන් ය.

මුස්ලිම්වරුන්ට එරෙහිව ප‍්‍රචන්ඩත්වය ඇවිස්සවීමට හේතු නිර්මානය කරමින් ඤානසාර තවදුරත් කීවේ, "සිංහල බොද්ධයන්ගේ අයිතිවාසිකම් විනාශ කිරීමට” අන්තවාදී මුස්ලිම් සංවිධාන කීපයක් රට තුල ක‍්‍රියාත්මක වන බවයි. 2012 ජනවාරි 22 තුම්මුල්ල බොබසේසං ජාතික මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඤානසාර මීට පෙර ප‍්‍රකාශ කර තිබුනේ, මුස්ලිම් තරුනයින් සෞදි අරාබියට හා පාකිස්ථානයට "ශිෂ්‍යත්ව දෙන මුවාවෙන් රැගෙන ගොස්” පුහුනු කරන ලද "ජිහාද් සටන්කාමීන් 12,000ක්” පමන රටතුල විසිරී සිටින බවත් ඔවුන් ජාත්‍යන්තර මුස්ලිම් ත‍්‍රස්තවාදී සංවිධානවලට අනුබද්ධ බවත් ය.

"මුස්ලිම් ව්‍යාප්තවාදය ඔස්සේ වසර 2040 වන විට ලංකාව ‘සපරිස්ථාන්’ නමින් වෙනම ම මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ” සැලස්මක් ගැන ද රටපුරා ඉදිකෙරෙමින් පවතින පල්ලි "අනාගත ඉස්ලාමීය ත‍්‍රස්ත මර්මස්ථාන” ලෙස යොදා ගැනීමේ හා "බුර්කා-ලෝගු පොරවාගත් ඉස්ලාමීය අන්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සේ මුදාහැරීමේ සූදානමක් ගැන ද” බොබසේසං නායකයා කියා සිටියේ සිංහල-මුස්ලිම් ගැටුමකට අතවනමිනි.

මහරගම රැස්වීමේදී "බොදුබල සේනා ඓතිහාසික මහරගම ප‍්‍රකාශනය” නම් ලියවිල්ලකින් හලාල් සහතිකය තහනම් කල යුතුය යන යෝජනාව ඇතුලු එම සංවිධානයේ ප‍්‍රතිගාමී යෝජනා 10ක් ඉදිරිපත් කෙරුනි.

"මැදපෙරදිග ප‍්‍රමුඛ විදේශ රටවලින් පැමිනෙන මුදල් මගින් පල්ලි ඉදිකිරීම, ව්‍යාපාර අත්පත් කරගැනීම ඉඩම් මිලදී ගැනීම ඇතුලු රටේ ආරක්ෂාවට හා සංහිඳියාවට තර්ජනයක් වන්නා වූ සියලු ක‍්‍රියා වහා නතර කිරීම, ‘රටේ අභිමානයට කැලලක් වන බැවින්’ කාන්තාවන් මැදපෙරදිගට නොයැවීම” මෙම යෝජනා අතර වේ.

”‘විදේශ අරමුදලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන’ සිංහල ජනතාව වර්ධනය වීම වැලැක්වීමේ ක‍්‍රියාවල යෙදෙන නිසා ඒ පිලිබඳව පරීක්ෂා කර ඒවා තහනම් කල යුතු බව, සිංහල ජාතිකයන්ට ද මුස්ලිමුන්ට මෙන් බහුභාර්යාවන් තබා ගැනීමේ අයිතිය ලබා දීම, 1978 ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ‘බුද්ධ ශාසනයට ප‍්‍රමුඛස්ථානය දී සුරක්ෂිත කොට පෝෂනය කිරීම’ යන්න නිර්වචනය කරමින් නව නීති රීති ගෙන ඒම” යනාදිය තවත් යෝජනාවන් ය.

රාජපක්ෂ ආන්ඩුව සමග බොබසේසංට ඇති හිත පක්ෂපාතීත්වය කථිකයන් ප‍්‍රකාශ කලේ, ඔහු ජනාධිපති පදවියේ සිටින්නේ නම් තමන්ට ප‍්‍රශ්නයක් නැති බව කියා සිටිමිනි. රාජපක්ෂ තම ඉල්ලීම් ඉටු කිරීමට ක‍්‍රියාකල යුතු බව ද බොබසේසං නායකයෝ අවධාරනය කලහ.

බොබසේසං හා ඊට සමාන සිංහල රාවය වැනි සංවිධාන පැන නැගීම සිය අයිතීන් සඳහා සටන් කරන කම්කරු පන්තියට පීඩිතයන්ට හා තරුනයින්ට බරපතල අන්තරායක් මතු කර ඇත.

26 වසරක වර්ගවාදී යුද්ධය අවසන් කර අවුරුදු හතරකට ආසන්න වී ඇති දැන්, ලංකාවේ ධනපති පන්තියත් එහි රාජපක්ෂ ආන්ඩුවත් තවදුරටත් උග‍්‍රවන බරපතල දේශපාලන හා අර්ථික අර්බුදයක කිඳී ඇත. ලෝක ධනවාදයේ දියවීමෙන් ලංකාවේ ධනපති ක‍්‍රමය බැටකන තතු තුල එහි බර තමන් මත පැටවීමට එරෙහිව අරගල පිපිරී ඒම ගැන භීතියෙන් කම්කරුවන් ජාතිවාදයෙන් බෙදීමට හා මැඩීමට සූදානම් වන ආන්ඩුවේ අත්ගෙඩියක් ලෙස බොබසේසං හා ඒ සමාන සංවිධාන ක‍්‍රියාත්මක වේ.

ජනාධිපති රාජපක්ෂ පසුගිය මාසයේ බොබසේසං නායකයින් සමග සාකච්ඡා පවත්වා ඊට පිලිගැනීමක් ලබා දුන්නේ ය. සංවිධානයේ ප‍්‍රකෝපකාරීත්වය වැඩි දියුනු වීම නිසා එය සාකච්ඡාවට භාජනය කල පසුගිය සතියේ කැබිනට් මන්ඩල රැස්වීමේදී රාජපක්ෂ කියා සිටියේ සංවිධානයේ නායකයින් හමුවූ අවස්ථාවේ, "බොබසේසං මුස්ලිම්වරුන්ට එරෙහි උද්ඝෝෂනයට සම්බන්ධ නැති බව” තමන්ට කියා සිටි බවයි (සන්ඬේ ටයිම්ස්, පෙබරවාරි 18).

"ආගමික ආතතීන්” සොයාබැලීමේ මුවාවෙන් පාලක සභාගයේ මන්ත‍්‍රීන්ගෙන් හා ඇමතීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට කැබිනෙට්ටුව තීරනය කර ඇත. මෙම කමිටුව ක‍්‍රියාකරනු ඇත්තේ, ස්වෝත්තමවාදීන්ගේ ප‍්‍රචාරයන්ට අනුකූලව ක‍්‍රියාකිරීමට මුස්ලිම් සංවිධානවලට උපදෙස් දීමට යි.

කැබිනෙට්ටුවේදී බොබසේසං විවෘතව ම ආරක්ෂා කල ජාතික හෙල උරුමයේ ඇමැති චම්පික රනවක, "සියයට 91ක් වන මුස්ලිම්-නොවන ජනයා ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගන්නේ මන්දැයි” ප‍්‍රශ්න කලේ ය. එදාම හවස පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවේදී මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට බැකිම දුන් රනවක, "ලංකාව තුල හලාල් සහතිකය සහිත නිෂ්පාදන මුලුමනින් ම වර්ජනය කරන ලෙස” ඉල්ලා සිටියේ ය (ටයිම්ස්, එම).

ආන්ඩුවේ නායකයන් හා පාලක සභාගයේ වර්ගවාදී පක්ෂ බොබසේසංට උඩගෙඩි දෙන්නේ එලෙස ය.

ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තිය 1948 ඊනියා නිදහස ලත් තැන් පටන්, බි‍්‍රතාන්‍ය ආධිරාජ්‍යවාදීන්ගේ උරුමයන් ද කරපින්නා ගෙන, තම බෙලහීන පන්ති පාලනය පවත්වාගෙන යාමට යලියලිත් දෙමල-විරෝධී වර්ගවාදය ඇවිස්සීම, කම්කරු පන්තිය බේද කිරීමේ ආයුධය ලෙස යොදා ගත්තේ ය. එලෙස, දෙමල ජාතිකාවදී බෙදුම්වාදී එල්ටීටීඊයට පාර කපා, 1983 වර්ගවාදී යුද්ධය ඇරඹූ එවක යූඇන්පී ආන්ඩුව කම්කරු පන්තියට පහර දීමට එය යොදා ගත්තේ ය.

දෙමල ජනයා අධ්‍යාපනයෙන් වරප‍්‍රසාද ලබා පරිපාලනයේ ඉහල තැන්වල වැජඹීම, ව්‍යාපාරික කටයුතුවල ආනුභාවය පතුරුවා ගැනීම ආදී වර්ගවාදී විෂකුරු ප‍්‍රචාර මගින් සිංහල ධනපතියන්ගේ වරප‍්‍රසාද රැක ගැනීමට ගෙන ගිය තුච්ඡ ව්‍යාපාරය 1983 කලු ජූලියෙන් ලේ වැගිරීම් දක්වා පෙරට ගෙන යන ලදි. බොබසේසං මුස්ලිම්-විරෝධී ප‍්‍රචාර හා එදා ඒ ප‍්‍රචාර සමාන ය. මේ සංවිධානය නියෝජනය කරන්නේ අර්බුදයෙන් බැටකන සිංහල ව්‍යාපාරිකයන් කොටසකගේ වුවමනාකම් ය.

ධනපති ජනමාධ්‍ය, විශේෂයෙන් ආන්ඩුවේ පත්තර බිස්ස බොබසේසං පුම්බා තැබීමේ වෑයමක යෙදෙයි. ජනවාරි 12 වෙනි දින, ෂෙහාලි වඩුගේ නම් ලේඛිකාවක් විසින් ආන්ඩුවේ හොරනෑව වන ඬේලි නිව්ස් පුවත්පතේ "ආගම හා නීතිය- සිංහල බෞද්ධයන්ගේ සමහර උත්සුකතාවන්” යනුවෙන් ප‍්‍රධාන පිටුවේ ලියා පලකර තිබූ දීර්ඝ ලිපිය ද මෙම මෙහෙයුමේ ම කොටසක් වේ. මෙම ලිපිය මුස්ලිම් ෂරියා නීතිය හා මුස්ලිම් ඇදහිලි විවේචනය කර තිබුනේ, හුදෙක් ම සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයට ආවැඩීමට ය.

සමාජවාදී සමානතා පක්ෂය, බොදු බල සේනා සංවිධනය හා ඒ සමාන සංවිධාන විසින් ගෙනයන විෂකුරු ස්වෝත්තමවාදී ව්‍යාපාරය පිලිබඳව කම්කරු පන්තියට අනතුරු අඟවයි. ධනපති පන්තිය විසින් ගෙන ගිය 26 අවුරුදු යුද්ධයක දුෂ්ට ප‍්‍රතිවිපාකවලින් කම්කරුවන්, දුගීන් හා තරුනයින් ගමන් කලේ තම අයිතීන් වැනසූ ලේවැකි අත්දැකීම් තුලිනි. රාජපක්ෂ ආන්ඩුව පිටුපස ගාල්වී ඇති මුස්ලිම්-විරෝධී සංවිධාන තවත් ලේවැකි විනාශයක් ගෙන ඒමට තැත් කරයි. එය, ලංකාවේ පාලක පන්තියේ කුනුවීමේ ප‍්‍රකාශනයකි.

මීට ජාත්‍යන්තර සමාන්තරයන් ඇත. අර්බුදයෙන් ඉහවහා ගිය ග‍්‍රීසියේ ගෝල්ඩන් ඩෝන් නම් වූ ෆැසිස්ට් සංවිධානය ආන්ඩුවේ ද ධනපතියන්ගේ ද සහයෙන් නිදැල්ලේ ක‍්‍රියාකරන්නට පටන් ගෙන ඇත්තේ, කම්කරුවන් තම අයිතීන් රැක ගැනීමට නිරන්තරව අරගල කරන තත්වයක ය. ධනපති ක‍්‍රමයේ අර්බුදය තුල සෙසු යුරෝපීය රටවල ද ෆැසිස්ට් පන්නයේ දක්ෂිනාංශික සංවිධාන ගොඩනැගෙමින් ඇත.

ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තිය සිංහල, දෙමල, මුස්ලිම් වාර්ගික භේද කපාගෙන ජාත්‍යන්තරවාදී එකමුතුව ගොඩනගා ගනිමින් රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කල යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන්නේ මෙම ක‍්‍රියාමාර්ගය ය.

Share this article: