විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව යලි කප්පාදු කෙරේ

By Kapila Fernando, 24 February 2013

2012 වසරේ උසස් පෙල ප‍්‍රතිඵලවලින් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප‍්‍රමානය යලි කප්පාදු කිරීමට රාජපක්ෂ ආන්ඩුව තීරනය කොට ඇත. 2011 වසරේ ප‍්‍රතිඵල ප‍්‍රමිතිකරනය සම්බන්ධයෙන් පැන නැගුනු බලගතු සිසු සහ මහජන විරෝධය හමුවේ ශ්‍රේෂ්ඨාධිකරනය දුන් තීන්දුවක් මත අමතර සිසුන් 5609 ක් බඳවා ගැනීමට ආන්ඩුවට සිදු වූ නමුදු මෙවර එම අමතර ප‍්‍රමානය බඳවා නො ගැනේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මාධ්‍යයට කල ප‍්‍රකාශයකට අනුව මෙවර බඳවා ගන්නා සිසුන් ප‍්‍රමානය 21,500 ට සීමා වන අතර එය පසුගිය වසරේ අගය වන 26,944 හා සසදන කල සියයට 20 ක කප්පාදුවකි.

සරසවිවල පවත්නා අඩු පහසුකම් හේතුවෙන් වසරක් පාසා උසස් පෙල විභාගය සමත් වන සිසුන් දහස් ගනනකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වීම රාජපක්ෂ ආන්ඩුව ඇතුලු සමස්ත ධනේශ්වර පද්ධතියට එරෙහි චෝදනා පත‍්‍රයකි.

ශ්‍රේෂ්ඨාධිකරනයෙන් තීන්දු කල අමතර සිසුන් 5609 ද සිසුන් 427 ක් දෙනෙක් "සාමාන්‍ය දැනීම සහ අභියෝග්‍යතාව" විභාගය අසමත් වීම දඩමීමා කොට නොසුදුස්සන් සේ ඉවත දමා තිබේ. කෙසේ නමුත්, සියලූ ප‍්‍රමාදයන් හා අක‍්‍රමිකතා මැද පැන නැගිය හැකි විරෝධතා මර්දනය කිරීමේ මංමුලා සහගත ප‍්‍රයත්නයක් ලෙස අදියර හතරක් යටතේ මෙවරත් ආන්ඩුව නවක සිසුන් හට හමුදා කඳවුරු 25 දී සති තුනක මිලිටරි පුහුනවක් ලබා දුන් අතර ඒ සඳහා රුපියල් මිලියන ගනනක් වැය කලේ ය.

2012 උසස් පෙල විභාග ප‍්‍රතිඵල මගින් අර්බුදය තවත් විශදව පෙන්නුම් කරයි. විභාගය සමත් ප‍්‍රතිශතය සියයට 63 ක් වන අතර තමන් පෙනී සිටින විෂය ධාරාවේ විෂයන් තුනට ම විශිෂ්ඨ සමාර්ථ ලබා ගත් සිසුන් විශාල ප‍්‍රමානයකි. නමුත් එම සිසුන්ගෙන් ද සැලකිය යුතු සංඛ්‍යාවකට ද ඉඩකඩ නොමැති තත්වය මත සරසවි වරම් හිමි නොවන තත්වයක් උදා වී තිබේ.

විෂයන් තුනට ම විශිෂ්ඨ සාමාර්ථ ලබා ගත් සිසුන්ට ද සරසවි ප‍්‍රවේශය අහිමි වීම මගින් පෙන්නුම් කරනුයේ සරසවිවල පවත්නා ඉඩ පහසුකම්වල දැඩි අප‍්‍රමානවත් බව හා විභාග පද්ධතිය තුල ඇති කොට තිබෙන තරගය යි. සෑම වසරක ම සරසවි ප‍්‍රවේශය හිමි වන්නේ විභාගය සමත් සිසුන්ගෙන් සියයට 15 ක් පමන ප‍්‍රතිශතයකට පමනි.

තමන් සමත් වූ විෂය ධාරාව යටතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව අහිමි වීම හා රැකියා බලාපොරොත්තු සුන් කර ගැනීමට සිදුවන සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් ඇද වැටී ඇත්තේ දරුනු කලකිරීමකට ය.

මේ මස මුල ඩේලි මිරර් පුවත්පත වාර්තා කල ආකාරයට 1973-74 ගෙන ආ ප‍්‍රමිතිකරන වැඩපිලිවෙල හා දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමය, උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ (එල්එල්ආර්සී) වාර්තාවට අනුව යලි සලකා බලමින් සිටින බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න ප‍්‍රකාශ කොට තිබේ.

ඉහත ක‍්‍රමය යටතේ සරසවිවලට තෝරා ගන්නා සිසුන්ගෙන් සියයට 40 ක් ජාතික කුසලතා මත පදනම්ව ද තවත් සියයට 55 ක් දිස්ත‍්‍රික් කුසලතා පදනමින් ද ඉතිරි සියයට 5 අති දුෂ්කර දිස්ත‍්‍රික්කවල සිසුන්ට ද හිමි වේ.

ඉහත ඩේලි මිරර් වාර්තාවට අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ (විප‍්‍රකොස) නම සඳහන් නොකල නිලධාරියෙකු ප‍්‍රකාශ කොට ඇත්තේ දිස්ත‍්‍රික් කුසලතා ක‍්‍රමය සඳහා තවමත් 1993 වසරේ ජන සංයුතිය යොදා ගනු ලබන බැවින් කොලඹ වැනි ජනාකීර්න දිස්ත‍්‍රික්කවල වැඩි වී ඇති ජනගහනය නොසලකා ඇති බව හා යාපනය වැනි දිස්ත‍්‍රික්කවල ජනගහනය 1993 දී 700,000 සිට වර්තමානයේ දී 400,000 දක්වා අඩු වී ඇති බවයි. විශ්වවිද්‍යාල ප‍්‍රමිතිකරනය දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවල දරුවන් හට සම අධ්‍යාපන අයිතිය ලබා දීමේ ප‍්‍රයත්නයක් නොවූ අතර එය දෙමල සිසුන්ට එරෙහි නොපනත්කම්වල කොටසක් විය.

විශ්වවිද්‍යාල සමත් සියලු සිසුන්ට සරසවි ප‍්‍රවේශය ලබා දීමට නොහැකි වීම අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් වී ඇති ධනපති ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් වන අතර නිලධාරියාගේ ඉහත ප‍්‍රකාශය වාර්ගික ආතතීන් ඇවිස්සීමේ පාලක පන්ති ප‍්‍රයත්නයේ කොටසකි.

රජයේ සරසවි කප්පාදුවට ලක්කරමින් ආන්ඩුව කියා සිටින්නේ විභාගය සමත් සිසුන්ට සරසවි ප‍්‍රවේශය ලබා දීමට නම් පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කල යුතු බවයි. පුද්ගලික විශ්වවිද්‍යාලයන්හී උපාධියක් හැදෑරීම සඳහා රුපියල් මිලියන ගනන් වියදම් කල හැක්කේ අතලොස්සක් ධනවතුන්ට පමනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට නැගීම සඳහා අධ්‍යාපනය ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය ආන්ඩුව වේගවත් කර තිබේ. අධ්‍යාපනයේ රාජ්‍ය ඒකාධිකාරය තවදුරටත් පවත්වා ගෙන යා නො හැකි බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමති සරත් අමුනුගම පසුගිය දා ප‍්‍රකාශ කලේ ය. දේශීය හා විදේශීය ආයෝජකයන් විසින් ආරම්භ කිරීමට අපේක්ෂිත පුද්ගලික විශ්වවිද්‍යාල ආයෝජන මන්ඩලයේ ව්‍යාපෘති ලෙස සලකා ආන්ඩුව දැනටමත් ඒ සඳහා අනුමැතිය දී තිබේ.

කම්කරු පන්තියේ අතීත අරගලවල ජයග‍්‍රහනයක්ව පවතින සීමිත නිදහස් අධ්‍යාපනය බලයට පැමිනි සෑම ආන්ඩුවක් විසින්ම පසුගිය දශකවල බරපතල කප්පාදුවකට ලක් කොට තිබේ. වැඩිවන ශිෂ්‍ය ඉල්ලුම සඳහා නව විශ්වවිද්‍යාල පහුසුකම් සම්පාදනය නොවීම හේතුවෙන් වැඩුනු මහජන විරෝධය හමුවේ 80 දශකයෙන් පසු සබරගමුව, වයඹ, රජරට, රුහුනු හා නැගෙනහිර වැනි සරසවි ආරම්භ කල නමුදු ඒවායේ ඉදිකිරීම් කවර හෝ ජාත්‍යන්තර ප‍්‍රමිතියකට අනුකූල නොවු අතර බොහෝ සරසවි පවත්වා ගෙන යනු ලබන්නේ අත්හැර දැමූ රජයේ පැරනි ගොඩනැගිලිවල ය.

වර්ෂයකට බඳවා ගන්නා සිසුන් 21,000 ක සංඛ්‍යාවකට ද සරසවි තුල ඉඩ ප‍්‍රමානවත් නොවන තත්වයක් යටතේ, අමතර සිසුන් බඳවා ගැනීම සඳහා ආන්ඩුව මෙතෙක් කිසිදු නව ඉදිකිරීමක් ක‍්‍රියාත්මක කොට නැත. මේ තත්වය සරසවි තුලත්, පීඨ හා අධ්‍යනාංශ තුලත් නව ගැටලු නිර්මානය කරනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට තම සරසවියේ තත්වය සම්බන්ධව පැහැදිලි කල රුහුනු සරසවියේ ආචාර්යවරයෙක්: "ලමයින්ගේ ප‍්‍රශ්න එක තැන. දේශන ශාලා ප‍්‍රශ්නය ඉන් ප‍්‍රධාන එකක්. දැනට ධීවර අධ්‍යයන පීඨයේ දේශන පවත්වන්නේ කලින් තිබුන රසායනාගාරයක් තුල. මාර්තු මාසයේ අලුතින් ලමයි ගන්නවා වැඩිපුර සංඛ්‍යාවකුත් එක්ක. නමුත් දේශන ශාලා හදලා නෑ. තාවකාලික ඒවා හදනවා කියලා තිබුනා. ඒකටවත් ආරම්භකත්වයක් අරන් නෑ."

"දැනට තිබෙන කාල සටහන් සතිය පුරා පවත්වන්නේ ඉතා ම දුෂ්කර කොන්දේසි යටතේ. අලුත් ලමයි ගත්තාම මේ තත්වය තවත් අමාරු වෙයි. දේශන හවස් වෙනකන් පවත්වන්නත් වෙයි. කාල සටහන දෙකට බෙදන්න වෙයි. ශිෂ්‍යයෝ මේ තත්වය හේතුවෙන් නොසන්සුන්තාවයෙන් ඉන්නේ."

2008 සිට අවපාතයක් දක්වා වර්ධනය වන ලෝක ධනේශ්වර ආර්ථික අර්බුදය යටතේ අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධන අතුගා දැමීම ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂන පෙන්නුම් කරන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා කලාපයේ රටවල් හා ජාත්‍යන්තරවමත් පුද්ගලික පාසල් හා විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වේගවත් කිරීම මගින් නව ගැටලු නිර්මානය කොට තිබේ. ලාභ ශ‍්‍රමිකයන් බිහි කිරීම සඳහා අධ්‍යාපනයේ ගුනාත්මක භාවයේ කප්පාදුව, ඉහල යන පන්ති ගාස්තු දරා ගත නොහැකි කම්කරු පන්තික සිසුන් අධ්‍යාපනය හැර යෑම, ශිෂ්‍ය නය ඉහල නැගීම, ගුරුවරුන්ගේ හා අනධ්‍යයන කාර්ය මන්ඩල කම්කරුවන්ගේ රැකියා දහස් ගනනින් කප්පාදුව ඒ අතර වෙයි.

පුපුරා යමින් තිබෙන ලොව පුරා ශිෂ්‍යන්ගේ අරගල හමුවේ ජාත්‍යන්තරව ම අත්දකිනු ලබන්නේ "ශිෂ්‍යයන් මත ලැග සිටින ආන්ඩුවලට බලපෑම් දැමීමේ ව්‍යාපාර මගින් අධ්‍යාපනය අයිතිය තහවුරු කර ගත නොහැකි ය" යන කාරනය යි.

සරසවි ප‍්‍රවේශ කප්පාදුව සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) මේ මස 06 දා සබරගමුව සරසවිය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂනයක දී එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පැවසුවේ, "අධ්‍යාපනය මුදලට විකිනීම නතර කිරීමටත්, සිසුන් 28,000 බඳවා ගන්නා තුරුත් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා," යනුවෙනි.

අවිශිබමයේ ආන්ඩුවට බලපෑම් දැමීමේ ප්‍රෝඩාවන්ගෙන් සිසුන් ගැලවී ගත යුතු යයි සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ කියා සිටී. පෙර ජනතා විමුක්ති පෙරමුන යටතේ ද, දැන් ඉන් කැඞී ගොස් ඇති පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ ද ක‍්‍රියාත්මක අවිශිබමය ශිෂ්‍යයන් කම්කරු පන්තිය හා ඒකාබද්ධ කරන සමාජවාදී වැඩපිලිවෙලකට හතුරු සංවිධානයකි. රාජපක්ෂ ආන්ඩුවත්, එහි යුද්ධයත් සඳහා සහයෝගය දුන් මෙම ව්‍යාපාර, ශිෂ්‍යයන් මත එල්ල කොට ඇති ප‍්‍රහාර සම්බන්ධව වගකිව යුතු ය.

ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් ආන්ඩුවට බලපෑම් දැමීමේ හුදකලා ශිෂ්‍ය උද්ඝෝෂන මගින් හෝ ධනේශ්වර රාජ්‍යයේ උපකරනයක් වන අධිකරනයේ පිහිට පැතීම වැනි ගුරු හා ශිෂ්‍ය සංගම්වල බංකොලොත් පිලිවෙත් මගින් දිනා ගත නොහැක.

අධ්‍යාපන පද්ධතිය නගා සිටුවීමට බිලියන ගනනින් මුදල් ඒ සඳහා වෙන් කිරීම අවශ්‍ය වන අතර ඒ සඳහා මහ බැංකු හා ව්‍යාපාර කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ජනසතු කරමින් සමාජ සමානතාවය ඉලක්ක කරගත් සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාත්මක කල යුතු ය. එය සිදු කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් පමනි.

Share this article: