හතර වැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය

හතර වැනි ජාත්‍යන්තරය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයයි. එය සෝවියට් සංගමයේත්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේත් (තුන් වැනි ජාත්‍යන්තරය) ස්ටැලින්වාදී පරිහානියට එරෙහි ව, මාක්ස්වාදය උදෙසා අරගලය පෙරට ගෙන යාමට 1938 දී, ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිට වනු ලැබී ය.

ජෝශප් ස්ටාලින් නායකත්වය දුන් ජාතිකවාදී නිලධාරී තන්ත්‍රයක බලය ඩැහැ ගැනීමට එරෙහි වීමටත්, 1917 රුසියානු විප්ලවයට ප්‍රානය සැපයූ ජාත්‍යන්තර සමාජවාදී වැඩසටහන ආරක්ෂා කිරීමටත් 1923 දී ට්‍රොට්ස්කි වාම විපාර්ශ්වය පිහිටු වීය. ස්ටැලින්වාදයේ ව්‍යසනකාරී ප්‍රතිපත්තීන්ගෙන් ඉඩ ප්‍රස්ථා සැපයුනු 1933 දී නාසීන් බලයට පැමිනීමත් සමග ම ඔහු නව ජාත්‍යන්තරයක් (හතර වැනි ජාත්‍යන්තරය) සඳහා කැඳවුම් කලේ ය.

හතර වැනි ජාත්‍යන්තරය පිහිටවනු ලැබ එලඹුනු දශකවල දී, කම්කරු පන්තිය තුල විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමට යොමු වීම අතහැර දැමීම ඒ හෝ මේ රූපයෙන් යෝජනා කලා වූත්, ඒ වෙනුවට ඒ හෝ මේ සුලු ධනේශ්වර, ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නැතිනම් ධනේශ්වර ජාතිකවාදී ප්‍රවනතාවන්ට අනුගත වීමට යෝජනා කලා වූත් සංශෝධනවාදී ප්‍රවනතා එය තුල නැවත නැවතත් ඉස්මතු වන්නට විය.

ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භකයා වන ජේම්ස් පී. කැනන් නායකත්වය දුන් සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන් සහ මිෂෙල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් අවස්ථාවාදී කන්ඩායමක් අතර සිදු වූ භේදයෙන් පසු ව 1953 වසරේ නොවැම්බර් 23 වැනි දා හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටු වනු ලැබුනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන, හජාජාක මාක්ස්වාදී මූලධර්ම ආරක්ෂා කර ඇති අතර, වර්තමානයේ දී, විප්ලවවාදී සමාජවාදයේ ලෝකයේ එක ම නියෝජිතයා වන්නේ ද එයයි.

මෙම පිටුවේ දී, පාඨක ඔබ හතර වැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය අධ්‍යනය කල හැකි ලිපි, පොත් සහ තේමාවන් වෙත හඳුන්වා දෙනු ලබනු ඇත. තව ද, අපේ පුස්තකාලයේ ඇති කෘතීන් වෙත ද යොමු වන්නැයි අපි පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

ලියොන් ට්‍රොට්ස්කි
තෝරා ගත් ලිපි
1917 රුසියානු විප්ලවය

පලමු ලෝක යුද්ධයේ විලෝපනය මැද, 1917 වසරේ ඔක්තෝබර් මාසයේ දී, ව්ලැද්මීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි විසින් මෙහෙය වනු ලැබූ බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වයේ යටතේ රුසියාවේ කම්කරු පන්තිය ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි නායකත්වය දුන් තාවකාලික ධනේශ්වර ආන්ඩුව බලයෙන් පහ කර ලෝක ඉතිහාසයේ ප්‍රථම කම්කරු රාජ්‍යය ස්ථාපිත කලහ. මාස නවයකටත් අඩු කාලයකට මත්තෙන් රුසියාව පාලනය කරනු ලැබුනේ දෙ වැනි නිකොලස් සාර් විසින් නායකත්වය සැපයුනු රාජකීය පරම්පරාවකිනි. විප්ලවය අධිරාජ්‍යවාදී යුද්ධයේ අවසානයේ ආරම්භය විය.

රුසියානු විප්ලවය ලෝක ඉතිහාසයේ නව අදියරක් සනිටුහන් කලේ ය. ධනේශ්වර තාවකාලික ආන්ඩුව බලයෙන් පහ කර දැමීම ධනවාදයට විකල්පයක් ඇත යන්න මනෝරාජික සිහිනයක් නොවේ ය යන්නත්, එය කම්කරු පන්තිය දැනුවත් ව කරන දේශපාලන අරගලයකින් සාක්ෂාත් කර ගත හැක්කක් ය යන්නත් සනාථ කලේ ය.

රුසියානු විප්ලවය ගැන වැඩිදුර දැන ගන්න
ස්ටැලින්වාදයට එරෙහි වාම විපාර්ශ්වයේ සටන (1923-1933)

ට්‍රොට්ස්කි සහ ඔහුගේ ආධාරකරුවෝ 1923 වසරේ ඔක්තෝබරයේ දී වාම විපාර්ශ්වය පිහිට වූහ. එහි අරමුන වූයේ ජෝශප් ස්ටාලින්ගේ නායකත්වය යටතේ හිස ඔසවමින් සිටි ආචීර්නකල්පික ගතානුගතිකත්වයට හැඩ ගැසුනු, ජාතිකවාදී නිලධරයට එරෙහි ව කොමියුනිස්ට් පක්ෂයත් කොමින්ටර්නයත් ජාත්‍යන්තර සමාජවාදී පදනම් ඔස්සේ යලි හැඩ ගස්වා ගැනීමයි.

ස්ටැලින් සහ ට්‍රොට්ස්කි අතර පැන නැගුනු ගැටුම එකිනෙක සමහන් කල නොහැකි පසමිතුරු දේශපාලන වැඩසටහන් දෙකක් අතර ගැටුමක් විය. ස්ටැලින් බලය තහවුරු කර ගැනීමත්, ඔහු වෙතින් පුද්ගලාරෝපනය ලද නිලධාරිවාදී ආඥාදායකත්වයත් නොවැලැක් විය හැකි දේ නොවී ය. ආර්ථික වශයෙන් පසුගාමී වූත් ජාත්‍යන්තර සහ යුරෝපීය විප්ලවයන්ගේ පමාව හේතු කොට ගෙන හුදෙකලා වූත් කම්කරු රාජ්‍යය මුහුන පෑ කොන්දේසි තුලින් එම තත්ත්වයන් වර්ධනය විය.

ස්ටැලින්වාදය විවේචනයේ දී, ට්‍රොට්ස්කි ලෝක සමාජවාදී විප්ලවය ගැන න්‍යායක් වර්ධනය කලේ ය. එය ස්ටැලින්වාදී නිලධරයේ තත්කාර්යවාදී උපමාරුවලට වඩා නොමිනිය හැකි තරම් දුර දක්නා බවකින් යුත් බව සනාථ කර ඇත.

හතර වැනි ජාත්‍යන්තරය පිහිටු වීමට ට්‍රොට්ස්කිගේ අරගලය (1933-1938)

1923 දී පිහිට වනු ලැබීමේ පටන් ජාත්‍යන්තර වාම විපාර්ශ්වය වැඩ කලේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයත්, කොමින්ටර්නයත් ප්‍රතිසංස්කරනය කර ගැනීමේ මූලධර්මාත්මක මූලෝපාය මතයි. නමුත්, 1933 දී ජර්මනියේ දී නාසීන් බලයට පත් වීම මෙම ප්‍රතිපත්තිය යලි සලකා බැලීමක අවශ්‍යතාව මතු කර සිටියේ ය.

හිට්ලර්ගේ ජයග්‍රහනයෙන් පසු ව එලඹුනු මාසවල දී, ස්ටැලින් ක්‍රියාවට දැමූ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කොමින්ටර්නයේ කවර හෝ පක්ෂයකින් මොන යම් ම හෝ විවේචනයක් පැන නගිනු ඇතැයි බලාපොරොත්තුවෙන් ට්‍රොට්ස්කි සිටියේ ය. 1933 අප්‍රේල් 7 වැනි දා, කොමියුනිස්ට් ජාත්‍යන්තරය නොපැකිල ව ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති අනුමත කර සිටියේ ය. ට්‍රොට්ස්කි නව මාවතක් අවශ්‍ය යැයි නිගමනය කලේ ය. 1933 ජූලි 15 වැනි දින නිකුත් කල ප්‍රකාශයකින් කොමින්ටර්නයෙන් බිඳී නව ජාත්‍යන්තරයක් ගොඩ නැගීමට ඔහු කැඳවුම් කර සිටියේ ය. ඔහුගේ ජීවිතයේ සමස්ත ඉතුරු කාලය අනතුරු ව කැප කෙරුනේ මෙම අරගලය උදෙසා ය.

1938 දී පටිගත කෙරුනු මෙම කතාවේ දී, ට්‍රොට්ස්කි හතර වැනි ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාව වන සමාජවාදී කම්කරු පක්ෂයේ සමාරම්භය අමතමින්, 1928 දී ඇමරිකානු කොමියුනිස්ට් ලීගය ආරම්භ කිරීමේ සිට ගෙවුනු එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දසවන සංවත්සරය ගැන කථා කරයි. 

මොස්කව් හොර නඩු සහ සෝවියට් සංගමයේ දේශපාලන සංහාරය

1930 ගනන්වල දී, ජෝසප් ස්ටැලින්ගේ නායකත්වයෙන් යුත් සෝවියට් සංගමයේ ප්‍රති-විප්ලවවාදී නිලධරය ඔක්තෝබර් විප්ලවයේ සමස්ත නායකත්වය ම පාහේ ඝාතනය කලේ ය. 1936 සිට 1938 දක්වා කාලය තුල සිනොවියෙව්, කමනෙව්, බුඛාරින් සහ රකොව්ස්කි ආදී බොල්ෂෙවික් නායකයින්ට එරෙහි බොරු නඩු සංවිධානය කරන ලදී. මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ හා කම්කරුවන්ගේ දේශපාලන පරම්පරා කිහිපයක හොඳ ම නියෝජිතයන් වූ සිය දහස් සංඛ්‍යාත සමාජවාදීහු භෞතිකව සමූල ඝාතනය කරන ලදහ. 1936 සිට 1939 දක්වා ප්‍රති-විප්ලවවාදී ප්‍රචන්ඩ රැල්ලකින් මිලියනයකට ආසන්න පිරිසක් මිය ගියහ.

ට්‍රොට්ස්කි විසින් ස්ටාලින්ව “විප්ලවයේ මිනීවල කනින්නා” ලෙස කල තක්සේරු සෘජු ව සනාථ කෙරුනු මෙම දියකර හැරීම සෝවියට් කම්කරු පන්තියේ විප්ලවීය විඤ්ඤානයට එල්ල කෙරුනු මරු පහරක් වූ අතර එය යථා තත්වයට පත් කරගැනීමට සෝවියට් සංගමය කිසි විටෙකත් නොහැකි විය. මෙම අසමසම අපරාධවල ඉතිහාසය හා වාර්තාව, ස්ටැලින්වාදය මාක්ස්වාදයේ න්‍යායාත්මක හා දේශපාලන උරුමය මත පදනම් වූ බවට ගනන් කල නොහැකි තරම් ධනේශ්වර ප්‍රචාරකයන් විසින් ගෙනහැර දැක්වූ උත්තර බැඳිය නොහැකි ලෙස බිඳ හෙලන ලද ප්‍රකාශ අතරෙහි අඩංගු ය. ස්ටැලින්වාදය සහ ට්‍රොට්ස්කිවාදය එක ම මාක්ස්වාදයක යන්තමින් වෙනස් ප්‍රභේද දෙකක් යැයි කෙරෙන ප්‍රකාශ ගැන කියනුම කවරේද. ස්ටැලින්වාදය සහ ට්‍රොට්ස්කිවාදය අතර සැබෑ සම්බන්ධතාවය ට්‍රොට්ස්කි විසින් වඩාත් හොඳින් විස්තර කල පරිදි, ඒවා වෙන් වූයේ “ලේ ගංගාවකිනි”.

ට්‍රොට්ස්කි මෙම කථාව පැවැත්වූයේ, ස්ටැලින්වාදීන්ගේ මොස්කව් නඩු විභාගය හෙලා දකිමින් සහ 1937 ජනවාරි මාසයේදී මෙක්සිකෝවේ සිට මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ඩුවී කොමිසම කැඳවීම ප්‍රසිද්ධියට පත් කරමිනි.

“පාලක කල්ලියේ උවමනාව වෙනුවෙන් කෙරෙන කට උත්තර ගැනීම්. මෙම නඩු විභාගය පැන නගින්නේ කොමියුනිස්ට්වාදයෙන් හෝ සමාජවාදයේ නොව ස්ටැලින්වාදයෙනි. එනම්, ජනතාවට එරෙහි නිලධරයේ වගකීම් විරහිත ඒකාධිපතිවාදයෙනි!” යයි ට්‍රොට්ස්කි පැවසීය.

සමාජවාදී කම්කරු පක්ෂයේ (1939-1940) සුලු ධනේශ්වර විපාර්ශවයක්

1939 සැප්තැම්බරයේ දෙවන ලෝක යුද්ධය පුපුරා යාමත් සමඟ, ස්ටාලින්-හිට්ලර් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, මැක්ස් ෂැට්මන් සහ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් බර්න්හැම්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂයේ කොටසක් සෝවියට් සමූහාන්ඩුව පිරිහුණු කම්කරු රාජ්‍යයක් ය යන පදනම මත ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාත්නත්‍රවාදී පොදු මතයේ පීඩනයට යටත් වූහ.

සෝවියට් සංගමය දැන් “නිලධාරීමය සාමූහිකවාදයක්” ලෙස ගුනාංගීකරනය විය යුතු බව බර්න්හැම් ප්‍රකාශ කළේය. එය සූරාකෑමේ සමාජයේ නව ඓතිහාසික ස්වරූපයකැයි හඳින්වින. එහිදී ස්ටැලින්වාදී නිලධරය පාලක පන්තියේ නව ස්වරූපයක් බවට පරිවර්තනය කර තිබුනි. හතරවන ජාත්‍යන්තරය යුද්ධයකදී සෝවියට් සංගමය ආරක්ෂා කරන ලෙස ඉල්ලා නොසිටිය යුතු බව ෂැට්මන් සහ බර්න්හැම් ප්‍රකාශ කලහ.

ස්ටැලින්වාදී තන්ත්‍රය “නිලධාරීමය සාමූහිකවාදයක්” ලෙස , එනම් මාක්ස්වාදය විසින් පෙර නොදක්නා ලද පෙර නොවූ විරූ ආකාරයේ සූරාකෑමේ සමාජයක් ලෙස හැඳින්වීමෙහි දුරදිග යන දේශපාලන හා ඓතිහාසික ඇඟවුම් ඇති බව පෙන්වා දෙමින් ට්‍රොට්ස්කි පිලිතුරු දුන්නේ ය. අවසාන විග්‍රහයේ දී, මෙම කරුන සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි ගේ විශ්ලේෂනය මාක්ස්වාදී ව්‍යාපෘතියේ ශක්‍යතාව තහවුරු කලේ ය.

ට්‍රොට්ස්කි සිය ජීවිතයේ අවසාන මාස කිහිපය තුල දී, සමාජවාදී කම්කරු පක්ෂය තුල අරගලය උදෙසා ලිපි ලේඛන කිහිපයක් සම්පාදනය කලේ ය. මෙම ලිපි ඔහුගේ ඉතා ම දීප්තිමත් සහ දුර දක්නා ලිපි ලේඛන ගනයේ ලා ගැනේ.

මෙම අරගලය 1940 අප්රේල් මාසයේ භේදයකින් කුලුගැන්වින.

[Photo: WSWS]
මේ සම්බන්ධ ව අධ්‍යයනය කිරීමට ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් කෘතියෙන් කියවිය යුතු කොටස්
හතර වැනි ජාත්‍යන්තරය සහ පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි අරගලය
ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය
මෙක්සිකන් පොලිසිය 1940 දී ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට මර්කාඩර් විසින් භාවිතා කල පොරව අතැතිව

ජාත්‍යන්තර කම්කරු පන්තියට සහ ලෝක සමාජවාදී ව්‍යාපාරයට දුරදිග යන පාඩුවක් ජනිත කල ට්‍රොට්ස්කිගේ ඝාතනය විසිවන සියවසේ වඩාත් ම දේශපාලනික ව විපාක දුන් අපරාධ අතරට ගැනෙන්නකි. එහෙත්, දශක ගනනාවක් තිස්සේ, ඝාතනයේ පසුබිම රහසිගතව සඟවා තිබුනි. ට්‍රොට්ස්කිට එරෙහි ස්ටැලින්වාදී කුමන්ත්‍රනයේ දැවැන්ත පරිමානය පරෙස්සමින් සැලසුම් කල වසන් කිරීමකින් සඟවා තැබුනකි.

1975 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධ පලමු ක්‍රමානුකූල විමර්ශනය දියත් කරන ලදී. ආරක්‍ෂාව සහ හතරවන ජාත්‍යන්තරය ලෙස හැඳින්වෙන මෙම පරීක්ෂනය, ට්‍රොට්ස්කිගේ ජීවිතයට එරෙහි ස්ටාලින්ගේ කුමන්ත්‍රනයේ සාර්ථකත්වය සහතික කල හතරවන ජාත්‍යන්තරය තුල සිටි ජීපීයූ (ස්ටැලින්ගේ රහස් පොලිසිය) නියෝජිතයින්ගේ ජාලය එලිදරවු කලේ ය.

ජාත්‍යන්තර කමිටුවේ 1982-1986 භේදය

එවක හජාජාකයේ බ්‍රිතාන්‍ය ශාඛාව වූ කම්කරු විප්ලවවාදී පක්ෂය දිග්ගැස්සුනු දේශපාලන පරිහානිගත වීමේ සන්තතියකින් පසු, 1985 දී, ට්‍රොට්ස්කිවාදයෙන් තීරනාත්මක ලෙස බිඳී ගියේ ය. කවිපයේ දේශපාලන පරිහානියට එරෙහි අරගලය තුල දී සම්පාදනය කෙරුනු ලියවිලි මගින් හජාජකය පෙන්වා දුන්නේ, එම දේශපාලන පරිහානිගත වීම ඔවුන් පෙර දී ආරක්ෂා කල අව්‍යාජ ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම වෙතින් පසු බැස පැබ්ලෝවාදී අවස්ථාවාදයට නතු වෙමින් ඒවා පාවා දීමේ ප්‍රතිඵලයක් වන බවයි.

1982-1986 සමයේ දී හජාජාකය විසින් කවිපයට එරෙහි ව දියත් කරනු ලැබූ අරගලය සම්භාව්‍ය මාක්ස්වාදයේත් හජාජාකයේත් අඛන්ඩතාව සහතික කලේ ය. මෙම අංශය මෙම අරගලයට අදාල වන න්‍යායික ලිපි ලේඛන ඉදිරිපත් කරයි.

[Photo: WSWS]
සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම

1991 දෙසැම්බර් 26 වැනි දින, 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ප්‍රතිඵලය වූ සෝවියට් සංගමය (සෝවියට් සමාජවාදී ජනරජයන්ගේ සංගමය) මිහායිල් ගොර්බචෙව්ගේ නායකත්වයෙන් යුත් ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් නිල වශයෙන් විසුරුවා හරින ලදී. සෝවියට් සංගමය විනාශ කිරීම පාලක නිලධරයේ සමාජ විරෝධී හා ජාතිකවාදී ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය වූ අතර එය ස්ටැලින්වාදයේ ප්‍රති-විප්ලවවාදී ස්වභාවය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අනතුරු ඇඟවීම් සනාථ කලේය.

1985-1986 දී කම්කරු විප්ලවවාදී පක්ෂයේ ජාතික-අවස්ථාවාදීන් සමඟ භේද වූ විගස ම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ග්ලාස්නොස්ට් සහ පෙරෙස්ත්‍රොයිකා ආදී ගොර්බචෙව්ගේ ප්‍රතිපත්ති තුල පිලිබිඹු වන ස්ටැලින්වාදී නිලධරයේ ධනේශ්වර ගැති දිශානතිය පිලිබඳ අත්‍යසමාන පූර්ව විශ්ලේෂනයක් වර්ධනය කලේ ය. එම පූර්ව විශ්ලේෂනය ධනේශ්වර ප්‍රතිස්ථාපනයේ අන්තරාය ගැන සෝවියට් හා ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීය.

දකුනේ සිට දෙවැන්නා, සෝවියට් නායක මිඛායෙල් ගොර්බචෙව් සහ වමේ සිට දෙවැන්නා, එජ ජනාධිපති රොනල්ඩ් රේගන් 1986 ඔක්තෝබර් 11 දින සාකච්ඡා මාලාවක ආරම්භක අවස්ථාවේ, අයිස්ලන්තයේ රේක්ජවික්හි හොෆ්ඩි මන්දිරයෙන් පිටත දී, අතට අත දෙමින් (අනුග්‍රහය: AP ෆොටෝ/ රොන් එඩ්මන්ඩ්ස්)