දකුනු කොරියානු මිලිටරි අභ්‍යාස යුද්ධයේ තර්ජනය මතුකරයි

South Korean military exercise raises danger of war

By John Chan, 20 December 2010

පලමු වටයේදී උතුරු කොරියාවට එරෙහිව මනාව ගනන්බලා එල්ල කර ඇති අදූරදර්ශී ප‍්‍රකෝපකරනය මඟින් ඔබාමා පාලනාධිකාරය, යොන්පියොන් දිවයින පේනතෙක් මානයේ ජීව උන්ඩ භාවිතාකරමින් පැවැත්වෙන අභ්‍යාස සඳහා දකුනු කොරියාව දිරිගන්වා තිබේ. නොවැම්බර් 23දා උතුරු හා දකුනු කොරියාවන් අතර කාලතුවක්කු වෙඩි හුවමාරුවූ එම දිවයින බෙහෙවින් සංවේදී ස්ථානයකි.

දකුනු කොරියාව, ප‍්‍රතිප‍්‍රහාර පිලිබඳ උතුරේ තර්ජනය මෙන්ම සංසුන් හා සංයමයෙන් කටයුතු කරන ලෙසට රුසියාව හා චීනය කල ඉල්ලීම ද නොසලකාහැර ඇත. ජීව උන්ඩ අභ්‍යාස කොරියාවන් අතර මිලිටරි ගැටුමක විභවය පමනක් නොව මහ බලවතුන්ද පටලැවෙන පුලුල් ගැටුමක තර්ජනය ද අන්තර්ගත කර ගනියි.

දකුනු කොරියානු අභ්‍යාසවලට එක්සත් ජනපදය පිටුබලය දෙන්නේ හුදෙක් උතුරු කොරියාවට පමනක් නොව චීනයට ද පීඩනය එල්ල කිරීම සඳහාය. මෑත මාසවලදී ඔබාමා පරිපාලනය, චීනයේ වර්ධනය වන බලපෑම කපාහැරීම අරමුනු කරගෙන කලාපය පුරා ආක‍්‍රමනශීලී රාජ්‍යතාන්ති‍්‍රක මැදිහත්වීමක් සිදුකලේය. උතුරු කොරියාව "හීලෑ කිරීම” සඳහා ඇති තරම් මැදිහත් නොවන බවට යලි යලිත් චීනයට දොස් පැවරූ වොෂින්ටනය, කොරියානු මහාද්වීයේ ආතතිය ලිහිල් කිරීම සඳහා බීජිනය දරන ලද සියලු උත්සාහයන් ව්‍යර්ථකර දැමීය.

කාලතුවක්කු ප‍්‍රහාරක අභ්‍යාසය අද දිනයේ ආරම්භවන බව දකුනු කොරියාව නිවේදනය කර තිබේ. නිවේදනය නිකුත් වූයේ චීනයේ සහයෝගය ඇතිව රුසියාව විසින් කැඳවා තිබුනු එක්සත් ජාතීන්ගේ හදිසි ආරක්ෂක මන්ඬල සැසිවාරය බිඳවැටී පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන්ය. රොයිටර් වාර්තාවකට අනුව, අර්බුදය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වීම වලක්වාගැනීම සඳහා සියෝල් හා පියෝන්යෑන් වෙත නියෝජිතයෙකු යවන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කි මූන් ගෙන් ඉල්ලා සිටි රුසියාව ආරක්ෂක මන්ඩල සාමාජිකයන් අතර බෙදාහල කෙටුම්පත් ප‍්‍රකාශනයකින් "උපරිම සංයමයකින්” කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කලේය. පසුගිය මාසයේ කාලතුවක්කු ප‍්‍රහාර පිලිබඳව උතුරු කොරියාව හෙලාදකිමින් හා අර්බුදය සඳහා එරටට දොස් නඟමින් නිකුත්කල බි‍්‍රතාන්‍ය කෙටුම්පතට සහාය දැක්වූ ප‍්‍රන්සය, ජපානය හා දකුනු කොරියාව සමඟ එක්ව එක්සත් ජනපදය එම යෝජනාව පරාජය කලේය. එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි සුසාන් රයිස් "යම් ආකාරයක ව්‍යාකූල ප‍්‍රකාශයක් වැදගැම්මකට නැති බව” ප‍්‍රකාශ කරමින් මොනම සම්මුතියක් හෝ ප‍්‍රතික්ෂේප කලාය.

යොන්පියොන් දිවයින පිහිටා ඇත්තේ මතභේදයට තුඩුදී ඇති කහ මුහුදේ උතුරු දකුනු නාවික සීමාව ආසන්නයේය. 1953දී කොරියන් යුද්ධය අවසන්වීමත් සමඟ එක්සත් ජනපදය විසින් ඒකපාර්ශවිකව ප‍්‍රකාශයට පත්කල මෙම මායිම පියොන්යෑනය කිසි විටෙකත් පිලිගත්තේ නැත. මෙම සතියේ නාවික අභ්‍යාස වෙඩි පුහුනුව උතුරු කොරියානු මුහුදු වෙරල දෙසට නොව ජලයට ඉලක්ක කරන බව සියෝල් හා වොෂින්ටනය කොතෙක් කියා සිටියත් පසුගිය මාසයේ එම ප‍්‍රදේශයේම පැවති විශාල පරිමානයේ දකුනු කොරියානු මිලිටරි අභ්‍යාසය අතරතුර තම වෙරල සීමාවට ෂෙල් වෙඩි එල්ල කල බව පියොන්යෑනය ප‍්‍රකාශ කලේය. ඉන්පසුව තමන් දිවයිනට ෂෙල් ප‍්‍රහාර එල්ල කලේ ඊට ප‍්‍රතික‍්‍රියාවක් ලෙස බව එරට අවධාරනයෙන් කියා සිටි අතර එම වෙඩි ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනෙකු ද ඇතුලුව සිව් දෙනෙක් මිය ගියේය. ඉන් පසුව දකුනු කොරියාව උතුරට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කලේය.

දකුනු කොරියානු අභ්‍යාස සඳහා ප‍්‍රසිද්ධියේ අනුකුලතාව පලකරමින් වොෂින්ටනය හිතාමතාම ආතතීන් උත්සන්න කර තිබේ. 17දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක ෆිල්ප් ක්‍රොව්ලි ප‍්‍රකාශ කලේ "ස්වෛරී රාජ්‍යයක් ලෙස” දකුනු කොරියාවට "තමන්ට සුදුසු යයි හැඟෙන්නේ නම් මිලිටරි අභ්‍යාස පැවැත්වීමේ අයිතිය” ඇති බවයි. මෙම අභ්‍යාස සඳහා ඇමරිකානු මිලිටරියේ පුහුනුකරුවන් හා නිරීක්ෂකයින් 21 දෙනෙක් සහභාගී වනු ඇත.

16දා ඒකාබද්ධ මෙහෙයුම් අනදෙන මඬුල්ලේ උප සභාපති හා නාවික සේනාංක ජෙනරාල් ජේම්ස් කාට්රයිට් අවධාරනයෙන් කියා සිටියේ යුද අභ්‍යාස සාමාන්‍ය පරිපාටියේ කොටසක් බවයි. එහෙත් ඔහු, "උතුරු කොරියාව ඒ පිලිබඳව නිශේධනීය ලෙස ප‍්‍රතිචාර දක්වමින් එම දිවයිනේ ප‍්‍රහාරක මධ්‍යස්ථාන වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කලහොත් එය ප‍්‍රහාර හා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ විභව ක‍්‍රියාදාමයක ආරම්භය වනු ඇත.” යනුවෙන් ද ප‍්‍රකාශ කලේය.

එක්සත් ජනපදය හා එහි මිත‍්‍ර ජාතීන් යුද අභ්‍යාස නිසා යුද්ධයක් ඇවිලීයාමේ හැකියාව ගැන හොඳින්ම දැනුවත්ය. 17දා සීඑන්එන් මාධ්‍ය වෙත නම සඳහන් නොකල එක්සත් ජනපද මිලිටරි නිලධාරියෙක් ප‍්‍රකාශකර ඇත්තේ, ඔබාමා පාලනාධිකරය හා දකුනු කොරියානු ආන්ඩුව උතුරු කොරියානු ප‍්‍රතිප‍්‍රහාරයක දී "හදිසි සන්නිවේදන සැලසුම්” සකස්කර තිබෙන බවයි. "අතිශයින්ම අවදානම් සහගත ක‍්‍රියාමාර්ග ද ඇතුලු” විවිධ ක‍්‍රියාමාර්ගික වැඩසටහන් සියෝල් සමග සාකච්ඡා කිරීමට එක්සත් ජනපද පාර්ශවය සූදානම්ව සිටින බව ඔහු පැවසීය.

චීනයට මූලෝපායිකව වැදගත් කහ මුහුදේ නැගෙනහිර දෙසට වන්නට දිවයිනේ පිහිටීම එහි සංවේදීතාව ඉස්මතු කරයි. මේ වසරේ මුල බීජිනය, මෙම ප‍්‍රදේශයේ නාවික අභ්‍යාස නොපවත්වන ලෙස වොෂින්ටනයට කියා සිටියේය. කහ මුහුදේ පැවති දකුනු කොරියා-එක්සත් ජනපද ප‍්‍රධාන ඒකාබද්ධ යුද අභ්‍යාසය අවසන්වූ වහාම දකුනු කොරියාව ජීව ප‍්‍රහාරක අභ්‍යාස ආරම්භ කිරීම පෙන්නුම් කරන්නේ එය උතුරු කොරියාවට පමනක් නොව චීනයට ද එරෙහි ප‍්‍රකෝපකරනයක් ලෙස පමනි.

පසුගිය සතියේදී චීනය දකුනු කොරියානු තානාපති හා රුසියාව දකුනු කොරියානු මෙන්ම එක්සත් ජනපද තානාපතීන් ද කැඳවා අභ්‍යාස අවලංඟු කරන ලෙස දැනුම් දුන්නේය. 18දා චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකාවක වන ජියැන් යූ "අර්ධද්වීපයේ ලේ වැගිරීමක් කලාපය අස්ථාවර කර අසල්වැසි රටවල් අනතුරේ හෙලනු ඇතැ”යි අනතුරු ඇඟවූවාය. එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති විටාලි චර්කින් ප‍්‍රකාශ කලේ වාතාවරනය, "රුසියානු සමුහාන්ඩුවේ ජාතික ආසක්තයන් කෙරෙහි සෘජුවම බලපාන බව” ය.

එහෙත් ඔබාමා පරිපාලනය, තමන් සඳහන් කරන උතුරු කොරියාවේ "මැරවර” චර්යාව නතරකරන ලෙස චීනය හා රුසියාව එරටට බලකල යුතු බව යලි යලිත් කියා සිටියි. රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක ක්‍රොව්ලි 17දා ප‍්‍රකාශ කලේ "අපට අවශ්‍ය වන්නේ චීනය හා රුසියාව ද ඇතුලූ අනෙක් රටවල් උතුරු කොරියාවට ප‍්‍රකෝපකරන නතර කරන ලෙසට තරවටු කරනු දැකීමය”.

යථාර්තය නම් ප‍්‍රකෝපකරනය සිදුවන්නේ දකුනු කොරියාව හා එක්සත් ජනපද පාර්ශවයෙන් වීමයි. දකුනු කොරියානු ජනාධිපතිගේ මහා ජාතික පක්ෂ නොහොත් ජීඑන්පී ආන්ඩුව එන්ට එන්ටම දැඩිවන පිලිවෙතක පිහිටා සිටියි. නොවැම්බර් 23දා වෙඩි හුවමාරුවෙන් පසුව, විශාල පරිමානයේ මිලිටරි ගැටුම් පිලිබඳ තර්ජනය මතුකරමින් උතුරු කොරියාවේ ප‍්‍රතිප‍්‍රහාරයකට බලගතු ලෙස හමුදා ප‍්‍රතිචාර දැක්වීම සඳහා කොන්දේසි නිර්මානය කරමින් සියෝල් ආන්ඩුව සිය මිලිටරි රෙගුලාසි වෙනස්කර තිබේ.

දකුනු කොරියානු ජනාධිපති ලී මියුන්ග්-බක්ගේ මහා ජාතික පක්ෂය හෙවත් ජීඑන්පී ආන්ඩුව එන්ට එන්ටම දැඩි පිලිවෙතක් ගනිමින් සිටියි. නොවැම්බර් 23 දින වෙඩි හුවමාරුවෙන් පසුව, වඩාත් විශාල මිලිටරි ගැටුම්වලට ඉඩ සලසමින් සියෝල් ආන්ඩුව සිය මිලිටරි ක‍්‍රමවේදයන් වෙනස්කර ඇත. පසුගිය සතියේදී ජීඑන්පී ආන්ඩුව, අනතුරු ඇඟවීමේ සයිරන් හඬවමින් සියෝල් අහස්කුස සිසාරා ප‍්‍රහාරක යානා ගුවන්ගතකල අතර එය මෙතෙක් පවත්වා ඇති එවැනි විශාලතම අභ්‍යාසයයි. දහස් ගනන් වැසියන් ආරක්ෂක ස්ථානවලට හෝ ගොඩනැඟිලිවල බිම් මහල් හා පොලොව යට ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරන ලදී.

යුද තර්ජනය තුනී කිරීම්වස් එක්සත් ජනපදය, චීනය, රුසියාව, ජපානය හා කොරියාවන් දෙක ඇතුලත්වන සය පාර්ශවික සාකච්ඡා යලි ආරම්භ කිරීම සඳහා චීනය කල කැඳවුම ප‍්‍රතික්ෂේප කල වොෂින්ටනයේ ආස්ථානය යලි තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජේම්ස් ස්ටේන්බර්ග් තෙදින නිල සංචාරයක් සඳහා 17 දින බීජිං වෙත පිටත්ව ගියේය. ස්ටේන්බර්ග් කිවූ බෝහෝදේ ප‍්‍රසිද්ධියට පත්කර නොමැති නමුත් සවුත් චයිනා මෝනිං පෝස්ට් පත‍්‍රය "උතුරු කොරියාව පලමුවෙන් ගැටුම් අවසන්කර න්‍යෂ්ටික නිරායුධකරනය යලි ඇරඹීම පිනිස සැබෑ පියවර ගතයුතුය යන එක්සත් ජනපදයේ ඉල්ලීම වෙනස්කර ඇති බවට කිසිදු සලකුනක් නැතැයි” වාර්තා කලේය. චීන රාජ්‍ය නියෝජිත ඩායි බිංගු ඕ ස්ටේන්බර්ග් වෙත මෙසේ පැවසූ බව වාර්තා විය. "අපට අවශ්‍ය වන්නේ ආරවුල් නොව ඉස්පාසුවයි. ගැටුම් නොව සාකච්ඡාවන්ය”.

සාකච්ඡා සඳහා කැමැත්ත කෙසේ වෙතත් දෙසැම්බර් 06දා එක්සත් ජනපදය, ජපානය හා දකුනු කොරියාව වෙනම හමුවූහ. 16 දින ජපානයේ අසාහි ෂින්බුන් පුවත්පත සඳහන්කල පරිදි බලවතුන් තිදෙනාට අනුව මොනම සාකච්ඡාවකට හෝ පෙර පියොන්යෑනය සුවිශේෂී පියවර පහක් ගත යුතුව ඇත. මේ පිලිබඳව වහාම රුසියාවට හා චීනයට දැනුම්දෙන ලදී. ප‍්‍රසිද්ධ කොන්දේසි තුනක් වන්නේ, පියොන්යෑනය 2005 වසරේ එකඟතාවන් ක‍්‍රියාවට නැඟිය යුතුය යන්නයි. ඒ අනුව එරට තම න්‍යෂ්ටික වැඩසටහන අත්හල යුතුය. යුරේනියම් සුපෝෂනය නවතා දමා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ පරීක්ෂක වරුන් පිලිගත යුතුය. කෙසේ වෙතත්, බුෂ් මෙන්ම ඔබාමා පරිපාලනය ද 2005 සය පාර්ශවික සම්මුතියෙන් එකගවූ පරිදි කටයුතු කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ. එනම්, උතුරු කොරියාවට එරෙහි එක්සත් ජනපද සතුරුකම් අවසන් කිරීම සඳහා බැරෑරුම් සාකච්ඡා පැවැත්වීම හා එරට සමඟ සබඳතා යථා තත්වයට පත්කරගෙන දශක ගනනාවක සම්බාධක ඉවත් කිරීමයි.

දකුනු කොරියාව හා ජපානය සමග ඔබාමා පාලනාධිකාරයේ පෙලගැස්ම, කොරියානු අර්ධද්වීපය යුද්ධයක් තුලට ඇද දමමින් ප‍්‍රධාන බලවතුන් අතරම පුලුල් ගැටුමක් අවුලුවාලන අදූරදර්ශී ක‍්‍රියාවක් වන්නේය යන්න පිලිබඳව සියලු ලකුනු පහලවී තිබේ.

the WSWS | Contact Us |