ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් හැත්තෑ වසරකට පසුව ඔහු පිලිබඳ අගැයීම

Assessing Leon Trotsky seventy years after his assassination

By David North, 23 November 2010

ස්ලාව් ජාතික නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයනය පිලිබඳ සම්මේලනයේ වාර්ෂික රැස්වීමට ඉදිරිපත්කල වාර්තාව 2010 නොවැම්බර් 21

මේ මන්ඩපයේ මාතෘකාව වන්නේ ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් මරාදමනු ලැබීමෙන් 70 වසරකට පසුවත් නොසැලී නැඟී සිටින සමකාලීන චරිතයකින් හෙබි මිනිසෙක්ය. ට්‍රොට්ස්කි, 20 වන සියවසේ දේශපාලන හා බුද්ධිමය ජීවිතයේ ටයිටන් කෙනෙකි (යෝධයෙකි). එහෙත් ට්‍රොට්ස්කිට නිගා කිරීම, ඔහුගේ න්‍යායික කටයුතු වැරදියට අර්ථකථනය කිරීම හා ඔහුගේ ජීවිතය පිලිබඳ සාවද්‍ය තොරතුරු නිෂ්පාදනය කිරීම සඳහා දිගටම උත්සාහය දැරේ. දහ අටවන සියවසේ ස්පිනෝසාවාදය මෙන් 21 වන සියවසේ දේශපාලන විරෝධාභාසය ලෙස ට්‍රොට්ස්කිවාදය පවතියි. නිසැක ලෙසම මෑත වසරවල දී ට්‍රොට්ස්කි කෙරෙහි සතුරුකම වඩාත් උත්සන්න වූ අතර එය විශේෂිත දරුනු ස්වභාවයක් ගෙන තිබේ. ට්‍රොට්ස්කිගේ මූලික ලිබරල් විරුද්ධවාදීන් වැඩෙන උද්යෝගයකින් හා ප‍්‍රසාදයක් පවා පලකරමින් ඔහුගේ කෘති කියවූ එම කාලයට වඩා අප සිටින්නේ බොහෝ දුරස්ථව බව කිව යුතුය. ලිබරල්වාදය නිශ්චිත මට්ටමක බුද්ධිමය පිරිපුන් බවක් දරාසිටි හා තවමත් අවංකව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාදර්ශ විශ්වාසකල තාක් දුරට, 1930 ගනන්වල දී ජෝන් ඩේවි වැනි පුද්ගලයෙකුට ට්‍රොට්ස්කි සමඟ නොඑකඟ වන අතරම ඔහුගේ ප‍්‍රතිභාව, ධෛර්යය හා මහත්මා ගුනය එක එල්ලේ පිලිගැනීමට ද හැකි විය. එනමුත් සැබවින්ම මෙය නේෂන් සඟරාවේ ප‍්‍රකාශකයන් වැනි සෝවියට් තන්ත‍්‍රයේ ලිබරල් සහකරුවන්ට නම් අදාල වන්නේ නැත. එපමනක් නොවේ. සිය ප‍්‍රතිපත්ති පදනම මත ට්‍රොට්ස්කිට එල්ල වූ ස්ටැලින්වාදී අපවාදයන්ට එරෙහිව සිය ආරක්ෂාව සලසා ගැනීම පිනිස අවශ්‍ය මාධ්‍ය සපයා දීමට වගකීමක් ඇති බවට හැඟීමක් ඩේවි තුල පැවතියේ ය.

පසුව, 1950, 1960, හා 1970 ගනන්වල දී, ඔක්තෝබර් විප්ලවය හා ලියොන් ට්‍රොට්ස්කි ද ඇතුලු එහි ශ්‍රේෂ්ඨ චරිත සමඟ වෛෂයිකව හා අවංකව කටයුතු කිරීමට ඉතිහාසඥයින්ගේ නව පරම්පරාවක් උත්සුකවූහ. සූක්ෂමාවධායී ලේඛනාගාර පරියේෂනයේ පදනම මත ඇලෙක්සැන්ඩර් රබිනොවිච්, ඔක්තෝබර් නැගිටීමේ මූලෝපාය හා එය ක‍්‍රියාවට නැඟූ උපායන් වර්ධනය කිරීමේ ලා ට්‍රොට්ස්කිගේ තීරනාත්මක භූමිකාව තහවුරු කලේය. රිචඩ් බී. ඩේ වාමාංශික විපාර්ශවයේ ආර්ථික චින්තනය පිරික්සා බැලීය. බරූක් නේ පැෂ් ට්‍රොට්ස්කිගේ දේශපාලන හා සමාජ චින්තනය පිලිබඳ සවිස්තරාත්මක පරීක්ෂනයක් ඉදිරිපත් කලේය. 1978දී නේ පැෂ්ගේ අධ්‍යයනය ප‍්‍රකාශයට පත්වුන කල, කැපී පෙනෙන ඉතිහාසඥයෙක් පමනක් නොව ට්‍රොට්ස්කිවාදියෙකු ද වූ පියරි බෲවේගේ උත්සාහයන් බැහැර කල විට එය, ලියොන් ට්‍රොට්ස්කිගේ විධිමත් ශාස්ත‍්‍රීය කටයුතු තුල හොඳම දිය සලකුන යයි සනාථ විය.

පසුගිය විසි වසර අත් දුටුවේ, පොදුවේ සෝවියට් අධ්‍යයන හා විශේෂයෙන් ලියොන් ට්‍රොට්ස්කි අධ්‍යයන ක්ෂේත‍්‍රයන්හි බුද්ධි විරෝධී ප‍්‍රති විප්ලවයකි. මෙම ප‍්‍රතිගාමිත්වයේ ආරම්භක හේතුව සොයාගැනීම අමාරු නැත. සෝවියට් සංගමය විසුරුවා හැරීම, එක්සත් ජනපදයේ හා යුරෝපයේ ලිබරල් බුද්ධිමතුන්ගේ පුලුල් ස්ථරයක් කෙරෙහි අපේක්ෂා භංග බලපෑමක් ඇති කලේය. ඔවුන්ගේ පුද්ගලික දේශපාලන ඒත්තු ගැනීම කවරක් වුවත්, රුසියානු විප්ලවය පිලිබඳව බැරෑරුම් අධ්‍යයනයක යෙදුනු සියලුම ඉතිහාසඥයින් අභිපේ‍්‍රරනය වූයේ 1917 ඔක්තෝබරය, ලෝක ඉතිහාසයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් නියෝජනය කලේය යන විශ්වාසය මඟින්ය. එහි මූලාරම්භය, එම සිදුවීම, ඉන් ඉක්බිතිව, හා මෙම ඓතිහාසික නාටකයේ වැදගත් ක‍්‍රියාකලාපයක් රඟපෑ අය, ඒ පිලිබඳව සවිඥානක අධ්‍යයනයක් ඉල්ලා සිටියේය. 1991 බිඳ වැටීම එම මූලික විශ්වාසය අවලංගු කල බවක් පෙනී ගියේය. ධනේශ්වර විජයග‍්‍රහනයේ යුගය හා එහි ගෘහස්ත බුද්ධිමතාවූ ෆ‍්‍රැන්සිස් ෆුකුුයාමා රූන්ඩ් සමාගමේ අනුග‍්‍රහයෙන් සැපත්වී තිබුනි. දැන් කියා සිටියේ ඔක්තෝබර් විප්ලවය දේශපාලන අපරාධයක් වූවා පමනක් නොව එය අත්වැරදීමක් බවත් ඒ නිසාම නිරර්ථක වූ දෙයක් බවත්ය.

ඔක්තෝබර් විප්ලවය ධනවාදයට ඓතිහාසික විභව විකල්පයක හැකියාව ඉස්මතු කලේය යන අදහස ම බොහෝ විට ප‍්‍රතික්ෂේප කර දැමුනි.

මෙම තර්කය, සෝවියට් සංගමය විසුරුවා හැරීමටත් පෙර සිටම, රේගන්ගේ වසරවල පැවති අඥාන වාචාලකමෙන් පමනක් නොව ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ හා පශ්චාත් නූතනවාදයේ ආත්මීයවාදය හා අහේතුවාදය මඟින් වල කපා තිබුනු, මානව ප‍්‍රගමනය පිලිබඳ ශාස්ත‍්‍රාලික ප‍්‍රජාවගේ විශ්වාසය මත සැලකියුතු තරමේ ආනුභාවයක් පතුරවා තිබුනි. කෙසේ වෙතත්, 1917 ඔක්තෝබරයේ හරය හා සුජාතභාවය ප‍්‍රතික්ෂේප කිරීමේ උත්සාහය ආරම්භයේ පටන්ම රඳා පැවතුනේ බෙහෙවින් වෙව්ලන බුද්ධිමය අතිතිවාරම් මතය. එසේ වුවත්, හුදෙක් දින 71කට සීමාවූ පැරිස් කොමියුනයේ ආයු කාලය සමඟ ගත්කල විප්ලවයෙන් නැඟී ආ සෝවියට් රාජ්‍යය වසර 73ක් නොනැසී පැවතුනි. එහි පැවැත්මේ ගමන් මාවත තුල සෝවියට් සංගමය අසාමාන්‍ය කාර්මික පරිවර්තනයක් අත්විඳි අතර යුද්ධයේදී නාසි ජර්මනිය පරාජය කලේය. එහි ජනතාවගේ ජීවන තත්වයන් හා සංස්කෘතික මට්ටම ඉමහත් ලෙස නඟා සිටුවීම ද විද්‍යාවේ කැපී පෙනෙන ජයග‍්‍රහන වාර්තා කිරීම ද ඉමහත් භූගෝලීය බලපෑමක් දැරීම ද සිදු විය. එසේම 1991 දෙසැම්බරයේ ප‍්‍රතිපලය, 1917 ඔක්තෝබරයේ අවලංගු කල නොහැකි නිමැවුමක් ය යන ප‍්‍රකාශය, ස්ටැලින් හා ඔහුගේ අනුප‍්‍රාප්තිකයින් යටතේ සිදුවූ සෝවියට් වර්ධනයට විකල්පයන්, එනම් විකල්පයන් සංකල්පනය කලා පමනක් නොව සැබවින්ම ක‍්‍රියාමාර්ගිකව සූත‍්‍රගතකල හා ඒ වෙනුවෙන් සටන් වැද තිබුනු බව ඉතිහාසඥයින් එක්කෝ ලඝුකොට තැකීමක් නැත්නම් නොතකා හැරීමක් පාදක කරගෙන තිබුනි. මෙම ප‍්‍රවිෂ්ටය පිලිබඳ එක් විශේෂිත නරුම නිදසුනක්, ස්ටැලින්ගේ තන්ත‍්‍රය ”පැවතිය හැකිව තිබූ එකම දේ” ලෙස යුක්ති සහගත කල ස්ටැලින්වාදී බි‍්‍රතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ දිගු කාලීන සාමාජිකයෙක්ව සිටි බි‍්‍රතාන්‍ය ඉතිහාසඥ එරික් හොබ්ස්බෝම්ගේ ලියවිලි තුල සොයාගත හැක.

සෝවියට් ඉතිහාසයේ අවසන් ප‍්‍රතිපලය 1917 විප්ලවයෙන් අනිවාර්ය කෙරී තිබුනේය යන ප‍්‍රති මාක්ස්වාදීන්ගේ ප‍්‍රකාශය, එනම්, යුද කොමියුනිස්ට්වාදයේ මුල් අවධියෙන් හා නව ආර්ථික ප‍්‍රතිපත්ති තුලින් සාමූහික කරනයටත්, ලිබර්මන් ප‍්‍රතිසංස්කරන හා ගොර්බචෙව්ගේ පෙරෙස්ට්‍රොයිකාවටත් වශයෙන් අනුගමනය කරන ලද දේශපාලන හා ආර්ථික ප‍්‍රතිපත්ති, සංවර්ධනය සඳහා වූ එකම පිලිගත හැකි මාවත වීය යන්න, ”ඓතිහාසික අවශ්‍යතාවයේ” ප‍්‍රකාශනයක් ලෙස අත්තනෝමතික නිලධාරිවාදී විස්තර කථන මඟින් සිය වැරදි වසාගැනීමට උත්සාහ කල ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ තර්ක ප‍්‍රතිබිම්බනය කිරීම, විකාර සහගතය. ස්ටැලින් විසින් කරන ලද, අව්‍යාජව භෞතිකවාදී හා අපෝහකවාදීවූ මාක්ස්වාදී නියතිවාදය පිලිබඳ සංකල්පයේ මෙම විකෘතිය, ”එකම විකල්පය බියවැද්දීම” මුල්කරගත් 1990 වසරේ සිය ඉදිරිදර්ශනාත්මක ප‍්‍රතික්ෂේපය තුල මහාචාර්ය ඩේ විසින් දක්ෂ ලෙස හෙලිදරව් කලේය. (1) ඩේගේ ලේඛනය රචනා කලේ, ගොර්බචෙව්ගේ පෙරෙස්ට්‍රොයිකාවෙහි නියත අසාර්ථකත්වයත්, ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම හා ධනවාදය පුනස්ථාපනය කිරීමත් ආසන්නයේ ය.

ඩේ නිවැරදි ලෙස සඳහන් කල පරිදි, ”1920 ගනන්වල ස්ටැලින් ලෙනින්වාදය ශුද්ධත්වයට පත්කරමින්, ලෙනින්ගේ චින්තනය තුල විචක්ෂන භාවයේ සෑම අංශුවක්ම ඉන් ඉවත්කල අතර, දේශපාලන හා ආර්ථික ජීවිතය ඒකාධිපති ලෙස සංවිධානය කිරීම සඳහා සෑම ව්‍යාජ යුක්තිකරනයක්ම ඊට ගැටගැසීය.” (2) ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත්කල විකල්පය පිලිබඳ පරීක්ෂනයක් වෙනුවෙන් ඩේ, ”එකම විකල්පය බියවැද්දීම” හෝ හොබ්ස්බෝම්ගේ ”පැවතිය හැකිව තිබූ එකම දේ” කෙරෙහි සිය විරුද්ධත්වය එක් කලේය. ට්‍රොට්ස්කිගේ දර්ශනවාදී සංකල්ප හා තනිරටක සමාජවාදයේ ජාතිකවාදී පිලිවෙත කෙරෙහි වූ ඔහුගේ විරුද්ධත්වය අතර බැඳීම අවධාරනය කරමින් ඩේ මෙසේ පැහැදිලි කලේය.

”ට්‍රොට්ස්කි ඓතිහාසික ප‍්‍රතිවිරෝධයන් දෙස බැලුවේ සමාජ පිලිවෙතේ විෂය ලෙසය. එනම්, සාර්වත‍්‍රිකත්වය කෙරෙහි හෙගලියානු හා මාක්ස්වාදී කැපවීමෙන් පසුව ඔහු ද, ධනවාදය හා සමාජවාදය දැන් ”පාර්ශවයන්” බවට පත්ව ඇති ලෝක ආර්ථිකයේ ”සමස්තය” තුල ප‍්‍රතිවිරෝධයන් වටහාගත යුතු යයි සැලකීය. ලෝක වෙලඳපොලේ මතුවී ඒමත් සමඟ ජාතික රාජ්‍යයට, ධනවාදී වුවත් සමාජවාදී වුවත්, ”ස්වාධීන ආර්ථික කරලියක්” ලෙස තවදුරටත් පැවතිය හැකිවූයේ නැත. ”අවශේෂ රටවල ධනේශ්වර ක‍්‍රමයක් පවතිද්දී තනි රටක සමාජවාදී ක‍්‍රමයක් පැවතුනේය යන කාරනය මගින්” ලෝක ශ‍්‍රම විභජනය ”කඩාකප්පල් කලේ නැත.” (3)

පශ්චාත් සෝවියට් ධනවාදයේ විජයග‍්‍රහනය මඟින් හැඩ ගැන්වූ වාතාවරනයක් තුල ඩේ විසින් පෙන්වාදුන් මාවත ඔස්සේ ඓතිහාසික වැඩ කටයුතු වර්ධනය කිරීමට හා ස්ටැලින්වාදයේ ඓතිහාසික විකල්පයන් ක‍්‍රමානුකූලව ගවේෂනය කිරීමට සූදානම් වූයේ ඉතිහාසඥයින් කිහිප දෙනෙක් පමනි. ප‍්‍රතිගාමී දේශපාලන හා දෘෂ්ටිමය බලවේගය හමුවේ පැතිර පැවති බුද්ධිමය දන්ඩනමස්කාරයේ රටාවේ එකම ශ්‍රේෂ්ඨ සුවිශේෂය වූයේ රුසියානු ඉතිහාසඥ හා සමාජ විද්‍යාඥ වාඩිම් රොගෝවින්ගේ වැඩ කටයුතුය. 1923 හා 1940 අතර කාලයේ ස්ටැලින්වාදයෙහි ට්‍රොට්ස්කිවාදී විපාර්ශවය පිලිබඳ ඔහුගේ වෙලුම් හතේ පලමු වෙලුම නම්කලේ Was There an Alternative? විකල්පයක් තිබුනේ ද? යනුවෙනි.

සෝවියට් සංගමය තුල ක‍්‍රියාත්මක කල හැකිව තිබූ එකම මාවත ස්ටැලින්වාදී ආඥාදායකත්වය නොවීය යන මතයට කිසිදු ඉඩක් දීම ප‍්‍රතික්ෂේප කිරීමේ ධනේශ්වර බුද්ධිමතුන්ගේ අවශ්‍යතාවය තුලින් 1990 ගනන්වල ට්‍රොට්ස්කිගේ ඓතිහාසික කීර්තියට පහර ගැසීමේ නව ව්‍යායාමය වැඩී ගියේය. තන්ත‍්‍රයේ විප්ලවවාදී විරුද්ධවාදියෙකු ලෙස පමනක් නොව ස්ටැලින්වාදී නිලධරයට ප‍්‍රධාන දේශපාලන තර්ජනයක් එල්ල කල තැනැත්තා ලෙස ට්‍රොට්ස්කිගේ පැවැත්ම ම ප‍්‍රතික්ෂේප කල යුතු විය. එබැවින් මෙම ප‍්‍රහාරයේ ස්වභාවය ම හා එහි අරමුන ද විසින් ඉල්ලා සිටියේ ස්ටැලින්වාදී නිලධරය ට්‍රොට්ස්කිට එරෙහිව ගෙනගිය කුරිරු යුද්ධයේදී ප‍්‍රයෝජනයට ගෙන තිබූ මුසාකරනයේ ක‍්‍රමෝපායන් හා එම මුසාවාද ම පවා පුනර්ජීවනය කිරීමකි. 1950 ගනන්වල ඩොයිස්චර්ගේ චරිතාපදානයෙහි පලමු වෙලුම ප‍්‍රකාශයට පත්කල තැන් පටන් ගතවූ හතලිස් වසර පුරා ට්‍රොට්ස්කිගේ ජීවිතය හා වැඩ කටයුතු පිලිබඳව ඉතිහාසඥයින් විසින් ස්ථාපිත කර තිබුනු සියලුම කරුනු වලට විකෘති කරන්නන්ගේ සුලභ කියමනක් බවට පත්ව තිබූ ”ප‍්‍රශ්නයට බඳුන්වේ” යන්න යොදාගත යුතු විය. 1990 ගනන්වල ග්ලාස්ගෝ සරසවියහි පිහිටුවා තිබුනු ඊනියා Journal of Trotsky Studies (ට්‍රොට්ස්කි අධ්‍යයනය පිලිබඳ ජර්නලයේ) ප‍්‍රකාශිත න්‍යාය පත‍්‍රය වූයේ මෙයයි. එහි සමාරම්භකයින් අතර එක් අයෙක් වූයේ මහාචාර්ය ඉයන් තැචර්ය. ජර්නලය වැඩි කලක් පැවතියේ නැත. එලි දැක්වුනේ කලාප හතරක් පමනි. එහෙත් ජර්නලය, ඊලඟ දශක එක හමාර පුරා ලියන ලද ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී කෘතීන් සියල්ලට මඟ පෙන්වූ මුසාකරනයේ පිලිවෙත වර්ධනය කර තිබුනි. මෙම ක‍්‍රියා පිලිවෙතේ මූලික උපාංඟයන් වූයේ, 1) 1917 ඔක්තෝබර් නැගිටීම තුල ට්‍රොට්ස්කිගේ නායකත්වය, රතු හමුදාවේ නිර්මාතෘ හා නායකයා ලෙස ඔහුගේ භූමිකාව, ජාත්‍යන්තරවාදය කෙරෙහි ඔහුගේ කැපවීම හා ස්ටැලින්වාදයට එරෙහිව ඔහුගේ සම්මුති විරහිතභාවය වැනි ට්‍රොට්ස්කිගේ ජීවිතය පිලිබඳව මනාව ස්ථාපිත කර තිබූ ප‍්‍රකාශ ”මිත්‍යාවන්ය”, හෙලිදරව් කිරීම සඳහා පරිනතය; 2) ඔහුගේ අනුස්මරනීය රුසියානු විප්ලවයේ ඉතිහාසය හා විශිෂ්ට සාහිත්‍ය කෘතියක් ලෙස පිලිගත් ඔහුගේ චරිතාපදානය ඇතුලු ට්‍රොට්ස්කිගේ කෘතීන් සැකකටයුතු යයි අවධාරනය කිරීම; සහ 3) ට්‍රොට්ස්කිගේ බුද්ධිමය, දේශපාලන හා සදාචාරාත්මක පරිපූර්නත්වය කෙලෙසීම.

නව සියවසේ පලමු දශකයේ අනුක‍්‍රමික ආර්ථික අර්බුදය හා නැඟී එන භූ දේශපාලනික ආතතීන්, ට්‍රොට්ස්කිට එරෙහි ප‍්‍රහාරය සඳහා තවදුරටත් ජවය සැපයීය. 1990 ගනන්වල විජයග‍්‍රාහී මනෝභාවය ධනවාදයේ අනාගතය පිලිබඳ කනස්සල්ලක් බවට පත්වෙන විට, අයිසැක් ඩොයිස්චර්ගේ සන්නද්ධ, නිරායුධ, පිටුවහල් කල අනාගත වක්තෘ. යන චරිතාපදාන ත‍්‍රිත්වය 1960 ගනන්වල දේශපාලනිකව පෙරලිකාරීවූ තරුනයන්ගේ පරම්පරාවක් මත ඇතිකල බලපෑම සිහිපත් වීමෙන් ප‍්‍රතිගාමී ශාස්ත‍්‍රාලිකයෝ බියපත් වූහ. ඩොයිස්චර්ගේ චරිතාපදානය වඩාත් භයානක මූලාශ‍්‍ර, එනම් ට්‍රොට්ස්කිගේම ලිපි ලේඛන වෙත ශිෂ්‍යයන්ට මග හෙලිකලේය! යුරෝපය හා උතුරු-දකුනු ඇමරිකා පුරා දස දහස් ගනන් තරුනයෝ මෙම ප‍්‍රතිභාසම්පන්න දේශපාලඥයාගේ හා සාහිත්‍යධරයාගේ ලිපිලේඛනවල ඉහවහා යන බුද්ධිමය බලපෑම අත්දුටුවෝය. නව හා වියහැකි වඩාත් බරපතල අර්බුදයක අවධියක් තුල මෙම ක‍්‍රියාවලිය යලි පනගැන්වීමේ අන්තරායක් නොතිබිනි ද? මෙය වැලැක්විය හැක්කේ කෙසේ ද? එබැවින් සය වසරක කාල පරාසය තුල ස්වේන්, තැචර් හා සර්විස් යන මහාචාර්ය වරුන්ගේ ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී චරිතාපදාන තුනක් එලිදැක්විනි. මේ සෑම චරිතාපදානයක්ම ආරම්භ වන්නේ පැහැදිලිවම ඩොයිස්චර්ගේ කෘතීන් හෙලාදකිමිනි. ”ඩොයිස්චර් ගමන් ගත්තේ සැබවින්ම ට්‍රොට්ස්කි මිත්‍යාව පෝෂනය කිරීමට අත්වැල අල්ලමිනි.” ස්වේන් එසේ පැවසීය. (4) තැචර් අවඥා සහගතව ඩොයිස්චර්ගේ චරිතාපදානය විස්තර කලේ ”ලමයෙක් තමාගේම ත‍්‍රාසජනක කථාව කියවන්නාක් මෙනි” යනුවෙන් හා ඔහු ට්‍රොට්ස්කිගේ ලියවිලි මත ඕනෑවට වඩා විශ්වාසය තැබූ බවට පැමිනිලි කරමිනි. (5) ”ට්‍රොට්ස්කිගේ පූජාසනය ඉදිරියේ වැඳ වැටුනු” අයෙක් ලෙස සර්විස් ඩොයිස්චර්ව බැහැර කලේය. (6) ට්‍රොට්ස්කිගේ බලපෑමට එරෙහිව පාඨකයින්ට ගිල්ලවීමේ පැහැදිලි අරමුන ඇතිව මෙම කෘතීන් රචනා කරන ලදී. ස්වේන් තම පොතේ දෙවන වාක්‍යය තුල එක එල්ලේ ලියාඇති පරිදි, ”මෙම චරිතාපදානය කියවන පාඨකයින් ට්‍රොට්ස්කිවාදය කරා ඔවුන්ගේ මග හෙලිකර නොගනු ඇත.” (7)

IDLT

මෙම ලේඛකයින් කවරෙක් හෝ ඔවුන්ගේ ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී ව්‍යාපෘතිය සමග තම අනන්‍යතාව හෝ කීර්තිය කැලැල්කර නොගෙන කෙලින් සිටියේ නැත. පසුගිය තෙවසරේ සැලකිය යුතු කාලයක් මම, මෙම පොත්වල අන්තර්ගතව ඇති නිමක් නැති විකෘතිකරන හා මුසාකරන හෙලිදරව් කිරීමට වැයකර ඇත්තෙමි. සමහර අවස්ථාවල මට හැඟී ගියේ මා එක් සේවාදායකයෙක් පමනක් සහිත නීතිඥයෙකු වැනි කිසිවෙකු ලෙසය. එහෙත් ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී මඩ ප‍්‍රහාර හා අසත්‍යකරන නිෂ්ප‍්‍රභා කිරීමේ කටයුත්තෙන් යම් ඉස්පාසුවක් ලැබිය හැකියයි මා තුලවූ කුමන බලාපොරොත්තුවක් හෝ පලදායී නොවීය. ඔක්තෝබර් මාසයේදී මම, ට්‍රොට්ස්කි ඝාතනයේ 70 වන සංවත්සරය සැමරීම්වස් බර්ලිනයේදී කැඳවා තිබුන රැස්වීමක් ඇමතීමට ජර්මනියට ගියෙමි. හම්බෝල්ට් සරසවියේ ඉතිහාස පීඨයේ සාමාජිකයෙකු විසින් මෑතකදී ලියන ලද ට්‍රොට්ස්කිට එරෙහි දීර්ඝ විවේචනයක් බිඳ හෙලීම සඳහා මගේ කථාවෙන් සැලකිය යුතු කොටසක් කැප කිරීමට මා හට බලකෙරුනි. ට්‍රොට්ස්කිට එරෙහි ව්‍යාපාරය පැහැදිලිවම ඇන්ග්ලෝ-ඇමරිකානු ව්‍යවසායකට සීමාවූවක් නොවේ.

සත්තකින්ම ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී සාහිත්‍යයට තවත් එකතු කිරීමක් මෑතක දී රෝයි මෙඩ්විඩෙව් යන රුසියානු ඉතිහාසඥයා විසින් සම්පාදනය කර තිබේ. මෙය රුසියානු ඉතිහාස ක්ෂේත‍්‍රයේ සිසුන්ට හුරු පුරුදු නමකි. Let History Judge (විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න) යන කෘතිය පලකිරීමත් සමඟ ඔහුට ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ලැබී තිබේ. මෙම කෘතියේ පලමු ඉංග‍්‍රීසි පරිවර්තනය 1972 වසරේදී පලවිය. දෙවන සංස්කරනය 1989 වසරේදී පලවිය. ‘විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න’ පෘතුල වශයෙන් සලකන ලද්දේ ස්ටැලින් හා ස්ටැලින්වාදයේ අපරාධ හෙලිදරව් කිරීමට සෝවියට් ඉතිහාසඥයෙකු විසින් දරන ලද පලමු වැදගත් උත්සාහය ලෙසය. මෙඩ්විඩෙව්ගේ දේශපාලන දැක්ම නූතන ප‍්‍රතිසංස්කරනවාදියෙකුගේ දැක්ම විය. ඔහුගේ රචනා යොමුකර ඇත්තේ හා පිලිබිඹු කරන්නේ කෘෂෙව්වාදියෙකුගේ හා පසුව සෝවියට් නිලධරයේ ගොර්බචෙව් පිල නියෝජනය කරන්නෙකුගේ දෘෂ්ටියයි. ඔහු කිසි කලෙක ට්‍රොට්ස්කිට දේශපාලනිකව හිතවත් කමක් නොදැක්වීය. එනමුත් ඔහු ‘විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න’ කෘතිය තුල මෙසේ ලිවීය. ”විශේෂිතව ඔහුගේ ක‍්‍රියාකාරකම් හා ඛේදජනක ඉරනම සමඟ ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳව සලකා බලන විට, දේශපාලන හා නීතිමය වශයෙන් නිශ්චිත හා ප‍්‍රවේශම් සහගත විමර්ෂනයක් ඉල්ලා සිටියි.” (8*

එය ලියා ඇත්තේ 21 වසරකට පෙරය. යුකේ‍්‍රනියානු-ඇමරිකානු වියතෙකු වන ජියෝජි චර්නියාව්ස්කි විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කිගේ නව චරිතාපදානයක හැඳින්වීම ලෙස දිස්වන ඔහුගේ මෑත රචනය තුල මෙඞඩ්විඩෙව්, ‘විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩදෙන්න’ කෘතිය තුල ඔහු නිෂ්ප‍්‍රභා කල එම මුසාකරනයන්හිම එල්බ ගනියි. චර්නියාව්ස්කි විසින් ට්‍රොට්ස්කි පිලිබඳව සපයන පොදුවේ ශුභවාදී චිත‍්‍රය මඩකරන මෙඩ්විඩෙව්ගේ හැඳින්වීම විකාරයකි. හරියට ප‍්‍රකාශකයින් චර්නියාව්ස්කිගේ සාධනීය පිලිගැන්වීම, මෙඩ්විඩෙව්ගේ කටුක නිෂේධනය හා වංක ප‍්‍රකාශ මඟින් ප‍්‍රති තුලනය කිරීමට බලාපොරොත්තු වූවාක් මෙනි.

1989 දී මෙඩ්විඩෙව් ලිවූ දේත් 2010 දී ඔහු ලියන දේත් අතර දැවැන්ත පරස්පරයක් දක්නට ලැබේ. ‘විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න’ තුල ඔහු මෙසේ සඳහන් කලේය:

”නැගිටීම සංවිධානය කර සූදානම් කිරීමේ දී ප‍්‍රධාන භූමිකාව ඉටුකලේ ට්‍රොට්ස්කි නායකත්වය දුන් පෙට්රොග‍්‍රෑඩ් සෝවියට් සභාව බව ප‍්‍රසිද්ධ කාරනයකි....පෙට්රොග‍්‍රෑඩ්හි සිදුවූ ජයග‍්‍රාහී නැගිටීමේ ප‍්‍රතිපලය වූයේ සෝවියට් සභා වෙත බලය මාරු කිරීමයි. තවකාලික ආන්ඩුව පෙරලා දමනු ලැබින. (9)

ඔක්තෝබර් විප්ලවයට සෘජුව ම සහභාගී වූවන්ගේ හා ඇසින් දුටු සාක්ෂිකරුවන් බොහොමයකගේ සාක්ෂි අනුව, ඔක්තෝබර් විප්ලවය ප‍්‍රායෝගිකව සූදානම් කර ක‍්‍රියාත්මක කිරීමෙහිලා ට්‍රොට්ස්කිගේ ක‍්‍රියාකලාපය සුවිගේෂ වැදගත්කමක් දැරීය. (10)

එහෙත් මෙඩ්විඩෙව් දැන් කියන්නේ කුමක් ද?

”ඔව්, මෙම සෝවියට් සංගමය තුල 1917 ඔක්තෝබරයේදී ට්‍රොට්ස්කි, පෙට්රොග‍්‍රෑඩ් සෝවියට් සභාවටත්, මිලිටරි විප්ලවවාදී කමිටුවටත් නායකත්වය දුන්නේය. සන්නද්ධ නැඟිටීමක් සූදානම් කලේය. එහෙත් එය අවශ්‍ය නොවීය. බලය තාවකාලික ආන්ඩුවෙන් සෝවියට් සභා වෙත සැහැල්ලුවෙන් හා සාමකාමී ලෙස මාරුකරන ලදී. රතුභටයන්ට බලය යොදා අල්ලාගැනීමට සිදුවූයේ මොස්කව් ක්‍රෙම්ලිනය පමනි. (11)

”එමනිසා, ඔක්තෝබර් විප්ලවයේදී ට්‍රොට්ස්කිගේ ක‍්‍රියාකලාපය ලඝුකොට දැක්වීමේ අරමුනෙන් මෙඩ්විඩෙව්, පෙට්රොග‍්‍රෑඩ් නැඟිටීම මකා දමයි. මේ බලන්න, 1917 ඔක්තෝබර් 24-25 දිනවල සවස් යාමයේ ට්‍රොට්ස්කිට කිරීමට කිසිවක් තිබුනේ නැත. මෙම සංස්කරනය, නැඟිටීම සිදුවූ දින සවස, අදක්ෂ හා කරකියාගත දෙයක් නොහැකිව සිටි ට්‍රොට්ස්කි හුදෙක් දුරකථනයට පිලිතුරු දීම සඳහා ස්ටැලින් වැනි ඔහුගේ වඩාත් දක්ෂ සහෝදරවරු විසින් ස්මෝල්නි ආයතනය තුල අතහැර දැමී යයි ට්‍රොට්ස්කි අධ්‍යයනය පිලිබඳ ජර්නලයට ලිවූ ග්ලාස්ගෝ සරසවියේ ඉයන් තැචර්ගේ හිටපු සගයෙකු වූ මහාචාර්ය ජේම්ස් වයිට් විසින් ගත් ප‍්‍රවිෂ්ටයේ පිට පලුවක් විය.

1989දී මෙඩ්විඩෙව් මෙසේ ලිවීය.

”රතු හමුදාව ගුලිගැසී තිබුනු ගරිල්ලා හා අර්ධ ගරිල්ලා සංවිධානයක සිට තරමක විනයගත මිලිටරි යාන්ත‍්‍රනයක් බවට පරිවර්තනය කිරීමේ දී ට්‍රොට්ස්කිගේ දායකත්වය මූලික ක‍්‍රියාකලාපයක් ඉටුකලේය යන්න සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රශ්නයක් ඇත්තේ නැත. ට්‍රොට්ස්කිට අධිකාර පත‍්‍ර නොලත් නිලධාරීන්ගේ පටන් ජෙනරාල්වරු දක්වා වූ හිටපු සාර්වාදී නිලධාරීන් දස දහස් ගනනක් රතු හමුදාව තුල වැඩ කිරීම සඳහා සංවිධානය කිරීමට හැකි විය. මිලිටරි කොමිසාර්වරු නොමැතිව සිවිල් යුද්ධය දිනීමට රතු හමුදාවට නොහැකිවනු ඇතැයි යන්න සත්‍යයක් නම් මිලිටරි විශේෂඥයින් නොමැතිව එයට එසේ කිරීමට නොහැකිවනු ඇතැයි යන්න ද සත්‍යයකි. (12)

එහෙත් දැන් මෙඩ්විඩෙව් අවධාරනය කරන්නේ, ”රතු හමුදාවේ අනදෙන නිලධාරියා ලෙස ඕනෑවට වඩා ට්‍රොට්ස්කිගේ නම අවධාරනය කිරීමෙන් ප‍්‍රාථමිකව ම වාසි සැලසෙන්නේ ධවල හමුදාවේ ජෙනරාල්වරුන්ට.” (13) බවය.

‘විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න’ තුල මෙඩ්විඩෙව්, බොල්ශෙවික් පක්ෂයේ නායකත්වය තුල ට්‍රොට්ස්කිගේ භූමිකාව දෙවෙනි වුනේ ලෙනින්ට පමනක් බව පිලිගනියි. ඔහු මෙසේ ලිවීය:

”1921-22 කාලයේදී ට්‍රොට්ස්කි,බොල්ශෙවික් පක්ෂ නායකත්වය තුල දෙවන වඩාත්ම වැදගත් පුද්ගලයා ලෙස සලකන ලදී. බොහෝ රැස්වීම් හා පෙලපාලි තුල ලෙනින් හා ට්‍රොට්ස්කි සහෝදරවරුන්ට ගෞරව දැක්වෙන ශුභ පැතුම් නිවේදනය කල අතර ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ පිලිරූ බොහෝ සෝවියට් හා පක්ෂ මධ්‍යස්ථානයන්හි බිත්ති මත ප‍්‍රදර්ශනය කෙරිනි. ට්‍රොට්ස්කිගේ නම මිලිටරි පෙලපාලි වලදී ගායනා කල ගීතවලදී හඬ නඟනු ලැබිනි. එම අවධිය සෝවියට් රාජ්‍යයේ විප්ලවවාදියෙක් හා දේශපාලන නායකයෙක් ලෙස ට්‍රොට්ස්කිගේ කාර්ය සාධනයේ උච්චතම අවස්ථාව වූ බවට සැකයක් නැත. මේ අවධියේ ට්‍රොට්ස්කි කෙරෙහි ලෙනින්ගේ ආකල්පය, ලෙනින් කෙරෙහි ට්‍රොට්ස්කිගේ ආකල්පය මෙන්ම ප‍්‍රබල එකක් විය. (14)

එහෙත් මෙඩ්විඩෙව්ගේ 2010 රචනාව ඉදිරිපත් කරන්නේ බෙහෙවින් වෙනස් අගැයීමකි.

”කෙසේ වෙතත් සත්‍ය කාරනය වූයේ 1917දී බොල්ශෙවික් පක්ෂය තුල ”දෙවන නායකයන්” සිටියේ නැති වීමයි. ට්‍රොට්ස්කි බොහෝවිට තමා ගැනම කියා ගත්තේ ලෙනින්ට පසුව දෙවෙනියා තමා බවයි. ඔහු හදවතෙන්ම සිතා සිටියේ ද එසේය. බලය සඳහා ඔහුගේ අභිලාෂයන්හි හා නායකයා මියගිය පසුව ලෙනින්ගේ උරුමයට හිමිකම් කීමේ පදනම සකසන ලද්දේ මෙම විශ්වාසයන් ගෙන්ය.

”කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨ නිකොලෝ පැගානිනී වරෙක සඳහන් කල පරිදි, ”දෙවැන්නන්” බොහෝ දෙනෙක් වූහ. එබැවින් ”දෙවන නායකයෙක්” පිලිබඳව කථාකරනවාට වඩා, 1917-20 කාලයේදී ට්‍රොට්ස්කි පමනක් නොව යාකෝව් ස්වර්ඩ්ලෝව්, ජොසෆ් ස්ටැලින්, ලෙව් කමනෙව්, ග‍්‍රිගෝරි සිනොවියෙව්, ෆීලික්ස් ඩර්සින්ස්කි මෙන්ම නිකොලායි බුකාරින් හා නිකොලායි ක්‍රෙටින්ස්කි වැනි අපට දැනගත හැකි අය අතර දෙවන පෙල නායකයන් පිලිබඳව කථා කිරීම වඩාත් නිවැරදිය.” (15)

ට්‍රොට්ස්කිගේ තත්වය පහත හෙලීම සඳහා මෙඩ්විඩෙව් දරන උත්සාහය වනාහි ඔහු හොඳටම දන්නා පරිදි ඓතිහාසික වාර්තාව පිලිබඳ අමූලික මුසාකරනයකි. යාකොව් ස්වර්ඩ්ලොව් බොල්ශෙවික් පක්ෂයේ සංවිධානාත්මක ව්‍යුහය තුල වැදගත් ක‍්‍රියාකලාපයක් ඉටුකර තිබේ. එහෙත් ඔහු න්‍යායාචාර්යවරයෙක් කෙසේ වෙතත් ස්වාධීන දේශපාලන නායකයෙක්වත් නොවීය. ස්ටැලින්, සිනොවියෙව් හා කමනෙව් සම්බන්ධයෙන් සලකන කල 1917දී ඔවුන්ගේ පලුදුවූ දේශපාලන භූමිකාව ප‍්‍රකටය. එක් හෝ තවත් අවස්ථාවකදී මේ තිදෙනාම බලය සඳහා කම්කරු පන්තියේ ස්වාධීන අරගලයකට සතුරුකම් පා තිබේ. 1917 මාර්තුවේදී ස්ටැලින් හා කමනෙව් මෙන්ම ස්වර්ඩ්ලොව් ද ධනේශ්වර තාවකාලික ආන්ඩුව පිලිබඳව ගත්තේ සම්මුතිවාදී ආස්ථානයකි. 1917 ඔක්තෝබරයේදී සිනොවියෙව් හා කමනෙව් නැගිටීමට විරුද්ධ විය. ඩර්ෂින්ස්කි, ප‍්‍රතිවිප්ලවවාදී බලවේගයන්ට විරුද්ධව සටන්වැදීම සඳහා සෝවියට් තන්ත‍්‍රය විසින් පිහිටුවන ලද චෙකා නමැති රාජ්‍ය පොලිස් සංවිධානයේ ප‍්‍රධානියා හැටියට විප්ලවයේ මුල් වසරවල වැදගත් ක‍්‍රියාකලාපයක් ඉටු කලේය. ප‍්‍රශ්නයකින් තොරවම බුකාරින් අස්ථාවර නමුත් වැදගත් නායකයෙක් විය. එහෙත් විප්ලවවාදී නායකයන් ලෙස ඩර්ෂින්ස්කි හෝ බුකාරින් ට්‍රොට්ස්කිගේ ආයාමයට යන්තමින් හෝ ලඟාවී සිටියේ නැත. අනාගත වාම විපාර්ශවයේ සාමාජිකයෙක් හා ස්ටැලින්ගේ විරේකයන්ට ගොදුරුවූ ක්‍රෙස්ටින්ස්කි ගැන සැලකුව හොත් ඔක්තෝබර් විප්ලවයේ සම නායකයා ලෙස ට්‍රොට්ස්කිගේ ක‍්‍රියාකලාපය හෙලා දකින අවසාන පුද්ගලයා විය හැකිව තිබුනි.

1917 දී ට්‍රොට්ස්කිගේ ක‍්‍රියා කලාපය බොඳකර දැමීමේ මෙඩ්විඩෙව්ගේ වත්මන් උත්සාහය තුල ඔහු ලෙනින් විසින් කල සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශයේ වැදගත්කම අවම කරයි. එනම්,

”1917 නොවැම්බර් 01දා පෙට්රොග‍්‍රෑඩ් පක්ෂ කමිටුවේදී ලෙනින් ”හොඳම බොල්ශෙවිකයා” ලෙස ට්‍රොට්ස්කි හැඳින්වීය. එහෙත් ට්‍රොට්ස්කි බොල්ශෙවික් පක්ෂයට බැඳුනේ 1917 ග‍්‍රීෂ්මයේ තරම් මෑතකදී වීමත් රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලේබර් පක්ෂයේ (බොල්ශෙවික්) සාමාජිකත්වයට තේරී පත්වුනේ හය වෙනි කොංග‍්‍රසයේදී වීමත් සලකා බලන විට මෙය හිතාමතා කල අතිශයෝක්තියකි.” (16)

සැබවින්ම මෙම තක්සේරුව ආවාට ගියාට කල දෙයක් නොවේ. ලෙනින් එය කරන ලද්දේ, මෙන්ෂෙවිකයන් සමඟ හවුල් ආන්ඩුවක් පිහිටුවීම ලෙනින් විසින් පිලිගත යුතු බව කියා සිටි බොල්ශෙවික් පක්ෂ නායකත්වය තුල සිය විරුද්ධවාදීන් සමඟ ජීවිතයත් මරනයත් අතර සටනක නිරතව සිටින අතරතුරය. බොල්ශෙවික් පක්ෂයේ හා විප්ලවයේ ඉරනම පරදුවට තබා තිබුනි. එය ඇලෙක්සැන්ඩර් රබිනොවිච් විසින් සිය Bolsheviks in Power ‘බොල්ශෙවිකයෝ බලය පිහිටුවති’ යන කෘතිය තුල සිහිපත් කල පරිදි,

‘‘සිය සංසුන්කම පවත්වා ගැනීමේලා අවිනිශ්චිත එහෙත් කැපී පෙනුනු අරගලයක නිරත වෙමින් පීටර්ස්බර්ග් කමිටු රැස්වීමේදී ලෙනින්, වික්සල් රැස්වීම්වලදී මධ්‍යම කාරක සභාවේ නියෝජිතයින් ද්‍රෝහී ලෙස හැසුරුනු බවට චෝදනා කලේය. ඔහුගේ ප‍්‍රශංසාවට ලක්වූ එකම බොල්ශෙවිකයා ට්‍රොට්ස්කි පමනි. ”බොහෝ කලකට පෙරම එක්සත් වීමකට ඉඩක් නැති බව ට්‍රොට්ස්කි වටහාගෙන සිටි අතර එතැන් පටන් ඔහුට වඩා හොඳ බොල්ශෙවිකයෙක් සිටියේ නැත.” (17)

ට්‍රොට්ස්කි පිලිබඳ සිය Revolutionary Silhouettes (විප්ලවවාදී ඡායාචිත‍්‍ර) නමැති රචනාව තුල, සංස්කෘතිය පිලිබඳ බොල්ශෙවික් කොමිසාර්වරයා වූ ඇනටෝලි ලූනචාර්ස්කි, ”රුසියානු විප්ලවයේ දෙවන ශ්‍රේෂ්ඨ නායකයා” ලෙස ට්‍රොට්ස්කි ගැන විස්තර කලේය. ලෙනින් හා ට්‍රොට්ස්කි සැසඳීමේ උත්සාහයක නිරතවෙමින් ලූනචාර්ස්කි, ලෙනින් තුල සිය ආවේගයන්ගෙන් සැලීමට පත්වීමේ සුලු නැමියාවක් තිබුනත් එය තාවකාලික වූ අතර, ”නොවරදින ඉවක්” සහිත විප්ලවවාදී දේශපාලඥයා ලෙස ලෙනින් ප‍්‍රශංසාවට ලක්කලේය. 1919දී ලියන ලද ලූනචාර්ස්කිගේ තක්සේරුවට පහත සඳහන් වැදගත් සුදුසුකම් ද ඇතුලත් විය.

”කෙසේ වෙතත් රුසියානු විප්ලවයේ දෙවන ශ්‍රේෂ්ඨ නායකයා හැම අතකින්ම තම නායකයාට වඩා පහත් වී යයි සිතීම වරදක් වනු ඇත. නිදසුනක් ලෙස, තරගයකින් තොරවම ට්‍රොට්ස්කි ඔහු ඉක්මවා ගිය අංශ පැවතුනි. ඔහු වඩා දීප්තිමත්ය, ඔහු වඩා පැහැදිලිය, ඔහු වඩා ක‍්‍රියාශීලීය. ප‍්‍රතිභාපූර්න ලෙස, මහජන කොමිසාර්වරුන්ගේ කමිටුවෙහි සභාපතිත්වය ඉසිලීමටත් ලෝක විප්ලවයට මඟ පෙන්වීමටත් අන් කවරෙකුටත් වඩා සුදුසු පුද්ගලයා වූයේ ලෙනින්ය. එහෙත් විදුලි වේගයෙන් තැනින් තැනට ගමන් කිරීම, එම විශ්මයජනක කථා පැවැත්වීම, එසැනින් නියෝග දුන් එම කාහල නාදය, දුබලවන හමුදාවට නොනවතින ආකර්ශනයක් වූ එම ක‍්‍රියා කලාපය, මේ දැන් එක් තැනකත් ඊලඟට තවත් තැනකත් පෙනී සිටිමින් ට්‍රොට්ස්කි කරගැසූ එම ටයිටනියානු (යෝධ) මෙහෙවරට ඔහු ගැලපුනේ නැත. ඒ අර්ථයෙන් ට්‍රොට්ස්කිට ආදේශ කල හැකි පුද්ගලයෙක් මේ මිහිපිට නොසිටියි.” (18) (අවධාරනය ඈඳිනි.)

ඓතිහාසික වාර්තාව සමඟ වෛරී සහගතවූ මෙඩ්විඩෙව්ගේ රචනාව, නානා ප‍්‍රකාර බාල ප‍්‍රකාශවලින් ගහනය. ”විදේශ කටයුතු පිලිබඳ මහජන කොමිසාර්වරයා ලෙස ට්‍රොට්ස්කි අග‍්‍රගන්‍ය නොවීය. (19) ”1930 ගනන්වලදී ට්‍රොට්ස්කිගේ ක‍්‍රියාකලාපය හා බලපෑම යුරෝපීය ආන්ඩු විසින් පුම්බා අතිශයෝක්තියට නැංවීය.” (20) ”අතීතයේදී හෝ වර්තමානයේදී කිසිවෙකුටත් කුඩා පත‍්‍රිකාවකින් පවා ‘ට්‍රොට්ස්කිවාදයේ පදනම්’ නිශ්චිතව ගෙනහැර දැක්වීමට නොපුලුවන් විය.” (21)

එවන් ප‍්‍රකාශ ඇඟවුම් කලේ මෙඩ්විඩෙව්ගේ බුද්ධිමය පරාභවයේ තරමයි. මෙඩ්විඩෙව්ගේ පූර්ව වැඩ කටයුතු හා සසඳා බලන විට, ඔහු ස්ටැලින් පිලිබඳ අලුතෙන් කර ඇති තක්සේරුව වඩාත් ම දෝශ සහගත ය. විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න කෘතියේ දක්නට ලැබෙන වඩාත්ම සාධනීය ලක්ෂනය වූයේ සෝවියට් ඉතිහාසය තුල ස්ටැලින්ගේ භූමිකාව හෙලාදැකීමයි. විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න ලියන ලද්දේ එක් අතකින්, ”1969 පටන් පැවතීගෙන ආ ස්ටැලින් පුනරුත්ථාපනය කිරීමේ ඇට්ටර උත්සාහයට” පිලිතුරක් ලෙස බව මෙඩ්විඩෙව් පැහැදිලි කලේය. (22) ස්ටැලින්ගේ සාපරාධී කටයුතු එක් හෝ තවත් ක‍්‍රමයකින් අවම කිරීමට නැත්නම් යුක්තිසහගත කිරීමට උත්සාහ කල සෝවියට් නිලධරයට එරෙහිව ඔහු තර්ක කලේය. 1920 ගනන්වල ස්ටැලින්ගේ ක‍්‍රියා නිවැරදිවූ අතර හෙලාදැකිය යුත්තේ ඔහුගේ පසුකාලීන වැඩකටයුතු පමනක් බවට පැවති පුලුල් මතයට ඔහු විරුද්ධ විය. සෝවියට් සංගමයේ හා ජාත්‍යන්තර සමාජවාදයේ ගමනට ස්ටැලින් විනාශකාරී ලෙස හානි සිදු කලේය. ස්ටැලින් තම කටයුතු යුක්තිසහගත කිරීමට මාක්ස්වාදී වාක්‍ය යොදාගත්තත්, ඔහු කවර කලෙකවත් මාක්ස්වාදියෙකු නොවූ බව මෙඩ්විඩෙව් පැහැදිලි කලේය.

එහෙත් මෙඩ්විඩෙව් දැන් ස්ටැලින් පිලබඳව මුලුමනින්ම වෙනස් අගැයීමක් ඉදිරිපත් කරන අතර මෙසේ ලිවීය.

”ලෙනින්ගේ කෘතීන් ට්‍රොට්ස්කි අධ්‍යයනය කලාට වඩා, ඉන් බොහොමයක් සමහරවිට ඔහු කවදාවත් කියවා ද නොතිබුනි,... ”ලෙනින්වාදයේ පදනම්” යන වඩා සම්පූර්න සංකල්පය තුලට ලෙනින්ගේ න්‍යායික උරුමය ඉක්මනින් හා සාර්ථක ලෙස කා වැද්දීමට හැකි පුද්ගලයා වූයේ එබැවින් ස්ටැලින්ය. ට්‍රොට්ස්කි, බුකාරින් සිනොවියෙව්, කමනෙව් යන කිසිවෙකුටත් ඔවුන් උත්සාහ කලත්, මෙය කිරීමට හැකිවූයේ නැත. ලෙනින්ගේ න්‍යායික හා දේශපාලන උරුමය මත පදනම් වීමට ට්‍රොට්ස්කි දැරූ සෑම උත්සාහයක්ම නිෂ්පලවූ බව සනාථ කෙරුනු අතර ස්ටැලින් ලෙහෙසියෙන්ම ඒවා නිෂ්ප‍්‍රභා කලේය. එහෙත් ලෙනින්ගේ උරුමයේ පිටිවහල නොතිබියේ නම් ට්‍රොට්ස්කිට පිලිගැනීමක් හෝ ජයගැනීමේ කිසිදු අවස්ථාවක් නොතිබෙනු ඇත.” (23)

මේ අනුව පාඨකයා යොමුකරන්නේ ට්‍රොට්ස්කි අභිබවා සිය ජයග‍්‍රහනය ලබාගනිමින් ලෙනින්ගේ උරුමය නියෝජනය කිරීමට පත්වූ පුද්ගලයා ස්ටැලින් බව ඒත්තු ගැනීම කරාය. ස්ටැලින්ගේ ජයග‍්‍රහනයට තුඩුදුන් තවත් කරුනු ද මෙඩ්විඩෙව් ඉදිරිපත් කරයි. ”ප‍්‍රශ්නය චරිත ශක්තිය, දේශපාලන අධිෂ්ඨානය වූ කල, බලය සඳහා අරගලයේදී අවශ්‍ය කෙරුනු නිර්දයභාවය හා වෙනත් බොහෝ ගුනාංග අතින් ස්ටැලින් පහසුවෙන්ම ට්‍රොට්ස්කි අභිබවා ගියේය.” (24) එහෙත් විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න තුල මෙඩ්විඩෙව්, ස්ටැලින්ගේ ”අධිෂ්ඨානය” අගය කරමින් කථාකල අය පිලිබඳව අවඥා සහගතව ලිවීය.

”සැඟවී සිට වෙඩි තබන ඝාතකයාට ඔහුගේ ගොදුරට වඩා ලොකු ශක්තියක් අවශ්‍ය නොවීය. ගරුකටයුතු පුද්ගලයා අපරාධවලින් වැලකී සිටියේ ඔහු සතුව බලගතු චරිතයක් නොතිබීම නිසා නොව, හුදෙක් එම චරිතය වෙනත් අරමුනු කරා මෙහෙයවා තිබුනු බැවින්ය. බොහෝ අවස්ථාවල අප පුද්ගලයෙක් ශක්තිමත් යයි කියන්නේ, මානව සම්බන්ධතාවයේ සියලු පිලිගත් සාරධර්ම හා ගෞරවනීය අරගලයේ සියලු නීති ඔහු විසින් උල්ලංඝනය කරන බැවින්ය. මෙම නීතිවලට වඩ වඩාත් ගරහන විට සමහර මිනිසුන්ට ඔහු වඩාත් ශක්තිමත් හා නිර්භීත අයෙක් ලෙස පෙනෙයි. සැබවින්ම බොහෝ අපරාධ සිදුකරන්නේ, අධිෂ්ඨාන ශක්තිය නිසා නොව, සදාචාර මූලධර්ම හිඟකම නිසාය.” (25)

මෙඩ්විඩෙව්ගේ බිහිසුනු බුද්ධිමය පරිහානියට හේතු සාධක වූයේ මොනවා ද? පැහැදිලිවම ඔහුගේ දේශපාලන හා චෛතසික සමබරතාවය වනසා දැමූ සෝවියට් සංගමය බිඳ වැටීමේ තවත් ගොදුරක් බවට ඔහු පත්ව තිබේ. මෙඩ්විඩෙව්, තමා මහා පීටර්ට සමාන කරන ව්ලැඩිමීර් පුටින්ගේ උද්යෝගිමත් ප‍්‍රසාදියෙක් බවට පත්ව සිටියි! මෙම අවමංගතවීම හුදෙක් මෙඩ්විඩෙව්ගේ පුද්ගලික දුබලතා පිලිබඳ කාරනයක් නොවේ. පූර්වයෙන් ඔහු ස්ටැලින්වාදය හෙලාදැක තිබුනේ වී නමුත් ට්‍රොට්ස්කිවාදය කෙරෙහි ඔහු තුල පැවති විරුද්ධත්වය, සෝවියට් තන්ත‍්‍රය පිලිබඳ සාරගර්භ විවේචනයක් කරා එලඹීමේ හැකියාව ඔහුට අහිමි කලේය. එහි බිඳ වැටීම ඔහු මවිතයට පත්කල අතර, අනෙකුත් බොහෝ සෝවියට් බුද්ධිමතුන් මෙන්ම ඔහු ද රුසියානු ජාතිකවාදය හා ස්වෝත්තමවාදයේ ප‍්‍රතිගාමී වාතාවරනය තුලට පාවී ගියේය. ස්ටැලින් සමීපයට ඔහු ඇදගනු ලැබුවේ මේ මඟින්ය.

ඔහුගේ වඩා සාර්ථක වසරවල මෙඩ්විඩෙව්, ස්ටැලින්වාදය ”සෝවියට් සමාජය තුල බරපතල හා කල්පැවති වසංගතයක්” ලෙස නීත්‍යානුකූලව විස්තර කල හැකි යයි ලියා තිබේ. මෙය ප‍්‍රති ට්‍රොට්ස්කිවාදය පිලිබඳ පරීක්ෂනයක් සඳහා ප‍්‍රයෝජනවත් විය හැකිව තිබුනු නිර්මානාත්මක හා පලදායී අදහසක් විය. ට්‍රොට්ස්කිගේ චින්තනයේ හා ක‍්‍රියාකාරකම්වල සෑම අංශයක්ම ව්‍යාජ ලෙස විකෘත කිරීමට දශක ගනනාවක් තිස්සේ පැවතීගෙන ආ වැඩකටයුතු පැහැදිලිවම වෛර බද්ධ මනෝව්‍යාධියක ලක්ෂන දරා සිටියේ ය. එහෙත් මෙම වසංගතයේ මූලාශ‍්‍රය ජීව විද්‍යාත්මක නොව සමාජ විද්‍යාත්මකය. එය, සමාජය තුල උග‍්‍රවූ ප‍්‍රතිඝතිතාවන්ගේ ප‍්‍රකාශනය විය. වැඩී ආ අර්බුදයේ අවධිය තුල ප‍්‍රති ට්‍රොට්ස්කිවාදය, පවත්නා සමාජ පර්යාය පිලිබඳ විප්ලවවාදී විවේචනයට හා ධනේශ්වර පීඩාව කෙරෙහි කම්කරු පන්ති ප‍්‍රතිරෝධයේ වැඩෙන විභවයට එරෙහි දෘෂ්ටිවාදී ආරක්ෂක යාන්ත‍්‍රනයක් ලෙස දැල්වී ආවේය.

මාක්ස්වාදියෙකු නොවූව ද තවමත් ඔක්තෝබරයේ ඓතිහාසික වැදගත්කම ගැඹුරින්ම විශ්වාස කරන සමකාලීන ඉතිහාසඥයින් අතලොස්ස අතුරින් එක් අයෙකු වන ඇලෙක්සැන්ඩර් රබිනොවිච්, මේ කාරනයම වඩා සෘජු හා සරල ආකාරයකට ඉදිරිපත් කලේය. මම මෑතකදී ඔහුගෙන් මෙසේ විමසුවෙමි. ට්‍රොට්ස්කිට එරෙහි ප‍්‍රහාරය ඔහුගේ මරනින් හැත්තෑ වසරකට පසුවත් අඛන්ඩව ගෙනයන්නේ කුමක් නිසා ද? ඔහුගේ පිලිතුර වූයේ මෙයයි. ”ට්‍රොට්ස්කි තවමත් තර්ජනයක්ව ඇති නිසාය.” සත්තකින්ම, අයුක්තිය හා අසමානත්වය ආරක්ෂා කරන සියල්ලන්ට ඔහු එසේ වන්නේය.

සටහන්

(1) බලන්න, ("The Blackmail of the Single Alternative: Bukharin, Trotsky and Perestroica in studies in Soviets in Soviet Thought," ”එකම විකල්පය බියවැද්දීම: බුකාරින්, ට්‍රොට්ස්කි, හා පෙරෙස්ත්‍රොයිකා” සෝවියට් තෝට් සඟරාවේ සෝවියට් පිලිබඳ අධ්‍යයනය නම් පරිච්චේදය, 40 වෙලුම, නො. 1/3, අගෝස්තු-නොවැම්බර් 1990, පිටු 159-188

(2) එම, පි. 163.

(3) එම, පි. 170

(4) Trotsky (ට්‍රොට්ස්කි), ලෝන්ග්මන් 2006 පි.1

(5) Trotsky (ට්‍රොට්ස්කි), රූට්ලෙජ් 2003, 14-16 පිටු.

(6) Trotsky (ට්‍රොට්ස්කි), මැක්මිලන් 2009 පි. XXI

(7) Swain, ස්වේන්, පිටු 1

(8) Let History Judge, (විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න), කොලොම්බියා 1989, පි 18.

(9) එම, පිටු 47-48

(10) එම, පි. 102.

(11) ජෝර්ජි චෙර්නියාව්ස්කී, Lev Trotskii (Moskva: Molodaia Gvardiia, 2010) හි රෝයි මෙඩ්විඩෙව් "Predislovie" [පෙරවදන], (රුසියානු ඉංග‍්‍රීසි පරිවර්තනයක් පලකොට නැත.) පි.9

(12) Let History Judge (විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න), පි.104

(13) මෙඩ්විඩෙව් "Predislovie" [පෙරවදන],පි.10

(14) Let History Judge (විනිශ්චය සඳහා ඉතිහාසයට ඉඩ දෙන්න), පි.109

(15) මෙඩ්විඩෙව් "Predislovie" [පෙරවදන],පි.8

(16) එම

(17) පි.33

(18) පෙන්ගුයින් ප්‍රෙස්, 1967, පි. 68.

(19) මෙඩ්විඩෙව් "Predislovie" [පෙරවදන],පි.9

(20) එම, පි.10

(21) එම.

(22) එම, XIV

(23) මෙඩ්විඩෙව් "Predislovie" [පෙරවදන],පි.9

(24) එම.

(25) එම. පි. 593

the WSWS | Contact Us |