මහජන පෙරමුන එපා - ක‍්‍රියාකාරී කමිටු කරා පෙරට -1935 නොවැම්බර් 26

For Committees of Action―Not the People’s Front

Lion Trotsky, 26 November 1935

නෝර්වේ රාජ්‍යයට පිටුවහල්ව සිටියදී 1935 වසරේදී ලියන ලද මෙම ලිපිය තුල ලියොන් ට්‍රොට්ස්කි, ධනේශ්වර රැඩිකල් පක්ෂය, සමාජවාදී පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම්ලත් ප‍්‍රංශ "මහජන පෙරමුනේ” දේශපාලනය හෙලිදරව් කලේය. ගැස්ටන් ඩෙමර්ගුගේ දක්ෂිනාංශික ආන්ඩුව බලයට පත්කල 1934 ෆැසිස්ට් කැරැල්ලෙන් පසුව ඇටවූ මහජන පෙරමුන විසින් ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයේදී කම්කරු පන්තිය ධනේශ්වරයට ගැටගැසීය. බලයේ සිටියදී එය, 1936 මැයි-ජූනි මහා වැඩවර්ජනය විකුනා දැමීමේ කටයුත්ත සංවිධානය කලේය.

බංකොලොත් පක්ෂවලින් බිඳී වෙන් වෙමින් බලයේ විප්ලවවාදී මධ්‍යස්ථාන බවට පත්වීමේ හැකියාව සහිත කම්කරු පන්ති අරගලයේ සංවිධාන ලෙස ක‍්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස ට්‍රොට්ස්කි ඉල්ලා සිටියේය. යුරෝපය තුල හා ලෝකය පුරා සමාජ කප්පාදුවට එරෙහිව කම්කරු පන්තිය අරගලයට පිවිසීමත් සමඟ කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය මැඩීමට ක‍්‍රියා කරන වෘත්තීය සමිතිවල හා පක්ෂවල ග‍්‍රහනයෙන් මිදීමේ අවශ්‍යතාවට ඔවුහු මුහුන දෙති. මෙම සන්දර්භය තුල 1930 ගනන්වල ප‍්‍රංශයේ පැවති තත්වය පිලිබඳව ට්‍රොට්ස්කි කරන විශ්ලේෂනය හා ධනේශ්වරයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා ස්වාධීන ක‍්‍රියාකාරී කමිටු ගොඩනැඟීමට ඔහු කල කැඳවුම අද දිනයේ වැඩකරන ජනතාව මුහුනදෙන දේශපාලන ප‍්‍රශ්නවලට අගනා මඟපෙන්වීමක් සපයයි.

~~~

"මහජන පෙරමුන” නියෝජනය කරන්නේ, රැඩිකල් පක්ෂයේ හා කැලිකසල වන් කුඩා සංවිධාන එකතු කර අධිරාජ්‍යවාදී ධනේශ්වරය සමඟ ඇතිකරගන්නා කම්කරු පන්තියේ සභාගයකි. මෙම සභාගය, පාර්ලිමේන්තුව ද පාර්ලිමේන්තුවෙන් පිටත ද යන ක්ෂේත‍්‍ර දෙකටම පැතිර යයි. මේ ක්ෂේත‍්‍ර දෙකෙහිදී ම රැඩිකල් පක්ෂය තමන්ගේ කටයුතු සඳහා පරිපූර්න නිදහස සුරක්ෂිත කර ගන්නා අතර කම්කරු පන්තියේ කටයුතු වලට දරුනු සීමාවන් පනවයි.

රැඩිකල් පක්ෂය පරිහානිගත වෙමින් තිබේ. එහි අනුගාමිකයන් එයින් බිඳ දකුනට මෙන්ම වමට ද දක්කන මාවතක් බවට සෑම අලුත් මැතිවරනයක්ම අමතර සාක්ෂියක් වෙයි. අනෙක් අතට සැබෑ විප්ලවවාදී පක්ෂයක් නොමැතිකම නිසා සමාජවාදී හා කොමියුනිස්ට් පක්ෂ ශක්තිමත්ව වැඩෙමින් තිබේ. සුලු ධනේශ්වරය ද ඇතුලු පීඩිත ජනතාවගේ පොදු ප‍්‍රවනතාවය ඉතා පැහැදිලි ලෙස වමටය. කම්කරු පක්ෂවල නායකයන්ගේ නැමියාව ඊට නොඅඩු ප‍්‍රත්‍යක්ෂ භාවයකින් දකුනටය. ඒ අතර මහජනතාව සිය සිය ඡන්දය තුලින් මෙන්ම තම අරගල මඟින් ද රැඩිකලුන්ගේ පක්ෂය අතුගා දැමීමට පෙලඹී සිටින අතර එක්සත් පෙරමුනේ නායකයෝ ඊට සපුරා වෙනස් ලෙස එය රැක ගැනීමට වලිකති. "සමාජවාදී” ක‍්‍රියාමාර්ගයක පදනම මත කම්කරු සමූහයේ විශ්වාසය දිනා ගැනීමෙන් පසුව කම්කරු පක්ෂවල නායකයෝ මහජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති රැඩිකලන්ට ඉන් වැඩි පංගුව පුද කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙති.

"මහජන පෙරමුන” එහි වර්තමාන වේශයෙන් කම්කරු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පමනක් නොව නිල, එනම් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද නිර්ලජ්ජිතව පාගා දමයි. රැඩිකල් ඡන්දදායකයන්ගේ වැඩි කොටස කම්කරුවන්ගේ අරගල වලට සහභාගී නොවන අතර එහි ප‍්‍රතිපල වශයෙන් මහජන පෙරමුනට ද හවුල් නොවෙති. තව ද මෙම පෙරමුන තුල රැඩිකල් පක්ෂය, සමාන පමනක් නොව වරප‍්‍රසාදිත තත්වයක් ද හිමිකර ගනියි. රැඩිකල් පක්ෂයේ ක‍්‍රියාමාර්ගයට ගැලපෙන පරිදි කම්කරු පක්ෂවලට සිය කටයුතු සීමාකිරීමට ද බල කෙරෙයි. මෙම අදහස ඉතා විවෘතව ඉදිරිපත් කරන්නේ ල හියුමනිතේ පත‍්‍රයේ නරුමයෝය.

සෙනේට් සභාවේ මෑත පැවැත්වූ මැතිවරනය, විශේෂ පැහැදිලි කිරීමකින් යුක්තව මහජන පෙරමුන තුල රැඩිකලුන්ගේ වරප‍්‍රසාදිත තත්වය ප‍්‍රදර්ශනය කර ඇත. කම්කරු පන්තික නොවන පක්ෂවල හොඳහිත තකා තමන් සාධාරනව කම්කරුවන්ට අයිති වරපත‍්‍ර ගනනාවක් අතහැර දැමූ බවට කොමියුනිස්ට් පක්ෂ නායකයෝ විවෘතව කයිවාරු ගැසූහ. හුදෙක්ම මෙහි අර්ථය වූයේ, එක්සත් පෙරමුන විසින් යම්තාක් දුරකට ධනේශ්වර ක‍්‍රමයට වාසිවන සේ දේපල සුදුසුකම් යලි ස්ථාපනය කලේය යන්නයි.

"මහජන පෙරමුන” පාරම්බාන පරිදි එය සෘජු හා ක්ෂනික අරගල සඳහා වන සංවිධානයකි. ප‍්‍රශ්නය අරගලය වන කල හැම කම්කරුවෙක්ම ධනපතියන් දහදෙනෙකු තරම් වටින්නේය. ඒ ධනපතියන් මහජන පෙරමුනට ඇලී සිටින්නේද යන්න නොතකාය. විවිධ විප්ලවවාදී සටන් ශක්තිය පිලිබඳ ආස්ථානයෙන් ගත්කල මැතිවරන වරප‍්‍රසාදය දිය යුතුව තිබුනේ රැඩිකල් ධනේශ්වරයට නොව, කම්කරුවන්ට ය. එහෙත් හරය වශයෙන් ගත්විට මෙහිදී වරප‍්‍රසාද අවශ්‍යවන්නේ නැත. මහජන පෙරමුනේ අරමුන "ප‍්‍රජාතන්ත‍්‍ර වාදය” ආරක්ෂා කිරීම ද? එසේනම් එය, එහිම සාමාජිකත්වයට අදාල කරගෙන පටන් ගනිමු. මෙහි අර්ථය වන්නේ, මහජන පෙරමුනේ නායකත්වය එය සටන් වදින ජනතාවගේ අපේක්ෂාවන්හි සෘජු හා ක්ෂනික පිලබිඹුව විය යතුය යන්නය.

කෙසේ ද? ඉතා සරලය: මැතිවරනයක් මඟින් ෆැසිස්ට්වාදයට, ලවාල්ගේ බොනපාට්වාදී පාලනයට, අධිරාජ්‍යවාදීන්ගේ යුද කුමන්ත‍්‍රනයට හා පීඩනයේ ද ප‍්‍රචන්ඩත්වයේ ද සියලුම අනෙකුත් ක‍්‍රමවලට එරෙහිව තමන් සමඟ උරෙන් උර පැහැර සටන් කිරීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප නොකරයි. පන්ති විඥානයෙන් යුත් කම්කරුවන් ඔවුන්ගේ සැබෑ හෝ විභව මිත‍්‍රයන්ට යොමු කරන තනි ඉල්ලීම, ඔවුන් ක‍්‍රියාවෙන් අරගලයට සම්බන්ධවිය යුතුය යන්නයි. දෙනලද අවස්ථාවකදී අරගලයට සම්බන්ධවන හා පොදු විනයකට යටත්වීමට කැමති ජනගහනයේ සෑම කන්ඩායමකටම මහජන පෙරමුනේ නායකත්වය කෙරෙහි බලපෑම් කිරීමට සමාන අයිතියක් තිබිය යුතුය.

දෙනලද නගරයක, දිස්ත‍්‍රික්කයක, කම්හලක, බැරැක්කයක හා ගමක මහජන පෙරමුනට බද්ධවී සිටින සෑම දෙසීයක්, පන්සීයක් හෝ දහසක් පුරවැසියන් සටනට අවතීර්නව සිටින කාලය තුල සිය ප‍්‍රාදේශීය ක‍්‍රියාකාරී කමිටුව සඳහා තමන්ගේ නියෝජිතයන් පත්කර ගත යුතුය. අරගලයට සහභාගීවන සියල්ලන්ම එහි විනයට යටත් වන්නේය.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පසුගිය සම්මේලනය, ඩිමිට්‍රෝව් වාර්තාව පිලිබඳ තම යෝජනාව තුල, මහජන පෙරමුනට ජනතා සහාය පලකිරීමක් ලෙස, ඡන්දයෙන් පත් කෙරෙන ක‍්‍රියාකාරී කමිටුවලට පක්ෂව කථාකලහ. මෙය මුලු වාර්තාව තුලම පැවති එකම ප‍්‍රගතිශීලී අදහස වන්නට පුලුවන. එහෙත් හරියටම මේ කාරනය සාක්ෂාත් කිරීම සඳහා ස්ටැලින්වාදීන් කිසිවක් නොකරයි. ධනේශ්වරය සමඟ සම්මුතිය දෙදරනු ඇතැයි යන බිය නිසා ඔවුහු කිසිවක් කිරීමට ඉඩ නොදෙති.

සත්තකින්ම කමිටු තෝරා පත්කරගන්නා ඡන්දයේදී කම්කරුවන්ට පමනක් නොව, සිවිල් සේවකයන්ට, ක‍්‍රියාකාරීන්ට, යුද ප‍්‍රවීනයන්ට, ශිල්පීන්ට, කුඩා වෙලෙන්දන්ට හා සුලු ගොවීන්ට ද සහභාගී විය හැක. එබැවින් සුලු ධනේශ්වරය කෙරෙහි බලපෑම් කිරීම සඳහා වන කම්කරු පන්ති අරගලයේ කර්තව්‍යයන් සමඟ, ක‍්‍රියාකාරී කමිටු සමීප සහයෝගයෙන් කටයුතු කරයි. එහෙත් ඔවුහු කම්කරු නිලධරය හා ධනේශ්වරය අතර සහවාසය ආන්තිකව සංකීර්න කලහ. මේ අතර මහජන පෙරමුනේ වර්තමාන රූපාකාරයෙන් එය, ප‍්‍රතිසංස්කරනවාදීන් හා ස්ටැලින්වාදීන් යන නිර්ධන පන්තියේ දේශපාලන සූරාකන්නන් හා රැඩිකලුන් වන සුලුධනේශ්වරයේ දේශපාලන සූරාකන්නන් අතර සහයෝගිතා සංවිධානයකට වැඩි කිසිවක් නොවේ. ක‍්‍රියාකාරී කමිටුවල සැබෑ ජනතා ඡන්දයක් ස්වයංක‍්‍රීයවම ධනේශ්වර අතරමැදියන්, එනම්, රැඩිකලුන්, මහජන පෙරමුනේ සාමාජිකත්වයෙන් නෙරපා හැරිය යුතු අතර ඒ මඟින්, මොස්කෝව විසින් පනවන ලද සාපරාධී ප‍්‍රතිපත්ති සුන්කර දැමිය යුතුය.

කෙසේ නමුත්, යොදාගත් දිනයක හා වේලාවක එකඟවූ නීතිමය පදනම මත ක‍්‍රියාකාරී කමිටු පත්කර ගැනීම සඳහා කම්කරු පන්තියෙන් හා සුලුධනේශ්වරයෙන් ඉල්ලා සිටීමට හැකි යයි සිතීම වරදක් වනු ඇත. එවන් ප‍්‍රවේශයක් තනිකරම නිලධාරිවාදී හා ඒ නිසාම වඳ දෙයක් වනු ඇත. කම්කරුවන් යම් ආකාරයක ක‍්‍රියාවකට සම්බන්ධවීමේදී ඔවුන්ට විප්ලවවාදී නායකත්වයක අවශ්‍යතාවය දැනුනු විටෙකදී පමනක් ක‍්‍රියාකාරී කමිටුවක් පත්කරගත හැකිවනු ඇත. මෙහිදී ප‍්‍රශ්නය වන්නේ සියලුම හා ඕනෑම ජනකොටසකගේ විධිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නියෝජනය නොව සටන් වදින ජනතාවගේ විප්ලවවාදී නියෝජනයයි. ක‍්‍රියාකාරී කමිටුව යනු අරගලයේ යාන්ත‍්‍රනයකි. ක‍්‍රියාකාරී කමිටු ගොඩනනැඟීම සඳහා පීඩිතයන්ගේ කුමන ස්ථරය ආකර්ෂනය වනු ඇතිදැයි කල්තියා අනුමාන කිරීමේ අර්ථයක් නොමැත. සටන් කරන ජනතාව වෙන් කරන රේඛා අරගලය තුල එය විසින්ම ස්ථාපිත කරනු ඇත.

ප‍්‍රංශය තුල පවතින බරපතල අන්තරාය නම්, මියුලෝන්, ටෙ‍්‍රස්ට් හා ලිමෝගෙස් වැනි හුදෙකලා පිපිරීම් තුල විප්ලවවාදී ජනතාවගේ ශක්තිය හදිසියේම අපතේ යාමෙන් ඔවුන් උකටලීභාවයට පත්වීමට ඇති ඉඩකඩයි. මහජන පෙරමුනු ආන්ඩුව ඉහලින් සිට ඔවුන්ට ආශීර්වාද කරන මොහොත දක්වා වර්තමාන තත්වය තුල ජනතාව නිෂ්ක‍්‍රීයව තබාගත හැකියයි සිතීමට පුලුවන් වන්නේ දැනුවත් ද්‍රෝහීන්ට හා කමකට නැති මැටි මෝලුන්ට පමනි. වත්මන් තත්වය තුල වැඩවර්ජන, විරෝධතා, වීදි ගැටුම් හා කෙලින්ම මහජන නැඟිටීම් නොවැලැක්විය හැකිය. පක්ෂයේ කර්තව්‍ය වනුයේ මෙම ව්‍යාපාර නිරීක්ෂනය කිරීම හා පක්ෂගාත කිරීම නොව, ඒවා තුලට සෑම ශක්තියක්ම යෙදවීම හා ඒවා එක්සත් කිරීමය.

ප‍්‍රතිසංස්කරනවාදීන් හා ස්ටැලින්වාදීන් සියල්ලටත් වඩා බිය වන්නේ රැඩිකලුන් තැතිගැන්වීමටය. එක්සත් පෙරමුනේ යාන්ත‍්‍රනය, කඩින් කඩ ඇතිවන ව්‍යාපාර සම්බන්ධයෙන් කඩාකප්පල්කාරයෙකුගේ කාර්ය භාරය ඉටුකරයි. මාසේවු පිවෙට් වර්ගයේ "වම්මු” මෙම යාන්ත‍්‍රනය ජනතාවගේ යුක්තිසහගත කෝපයෙන් ආරක්ෂා කිරීම සඳහා උදව් කරති. අරගලයේ ක‍්‍රියාදාමය තුලදී සටන්වදින ජනතාවට නව යාන්ත‍්‍රනයක් ගොඩනැඟීමට උදව් කිරීමෙන් පමනක් මෙම තත්වය රැකගත හැකිය. මේ මොහොතේ අවශ්‍යතාවන් සපුරාලිය හැක්කේ එලෙසින්ය. ක‍්‍රියාකාරී කමිටුවලින් බලාපොරොත්තු වන්නේ මෙම වැඩ කොටසයි. මියුලේන් හා ටෙ‍්‍රස්ට් අරගලය අතරතුරදී, කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ නම් ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව ප‍්‍රාදේශීය සටන් සංවිධානයක් ගොඩනැඟීමට ඉඩ තිබුනි. ලිටෝගෙස්හි ලේවැකි ප‍්‍රහාරයෙන් පසු දිනයේම කම්කරුවන් හා සුලුධනේශ්වරයේ සැලකියයුතු කොටසක් ලේ වැකි සිද්ධිය පරීක්ෂා කිරීමට හා අනාගතයේ ඒවා වැලැක්වීමට කමිටුවක් තෝරාපත්කර ගැනීමට තබුන ඔවුන්ගේ සූදානම නොවලහා ප‍්‍රදර්ශනයකොට තිබුනි. එවන් මඟක් යෝජනාකර තිබුනේ නම් මේ වසරේ ගිම්හානයේදී රැබියොට් නමැති මිලිටරි සේවා කාලය දීර්ග කිරීමට එරෙහිව බැරැක්ක තුල පැනනැඟි ව්‍යාපාරයේදී සොල්දාදුවන් වැඩි පැකිලීමකින් තොරවම බලඇනි, රෙජිමේන්තු, මුරඇනි ක‍්‍රියාකාරි කමිටු ගොඩනඟා ගැනීමට ඉඩ තිබුනි. බොහෝ කොටම ප‍්‍රාදේශීය නමුත් ජාතික පරිමානයෙන් ද එවැනි තත්වයන් පැනනැඟුනි, නොකඩවා පැන නඟිනු ද ඇත. කර්තව්‍යය විය යුත්තේ මේ ආකාර යේ එකම තත්වයක්වත් මඟහැර නොගැනීමයි. මෙහි පලමු කොන්දේසිය වන්නේ, පක්ෂයේ හා වෘත්තීය සමිති යාන්ත‍්‍රනයේ ප‍්‍රතිවිප්ලවවාදී විරෝධය බිඳ දැමීමේ එකම මාධ්‍ය ලෙස ක‍්‍රියාකාරී කමිටුවල අවශ්‍යතාවය පැහැදිලිව වටහා ගැනීමයි.

මෙහි අර්ථය ක‍්‍රියාකාරී කමිටු පක්ෂයට හා වෘත්තීය සමිති සංවිධාන වලට ආදේශකයක් යයි කීම ද? මේ ආකාරයෙන් ප‍්‍රශ්නය ඉදිරිපත්කිරීම අඥාන කමකි. මහජනතාව තමන්ගේ අදහස්, සම්ප‍්‍රදායන්, කාන්ඩගැසීම් හා සංවිධාන ද සමඟ අරගලයට අවතීර්න වෙති. පක්ෂ දිගටම පවතිනු ඇති අතර, ක‍්‍රියාකාරී කමිටුවල ඡන්ද පැවැත්වෙන කාලයේදී සෑම පක්ෂයක්ම ක‍්‍රියාකාරී කමිටු බහුතරයකගේ එකඟත්වය තුලින් තමන්ගේ අනුගාමිකයන් පත්කර ගැනීමට ස්වභාවයෙන්ම උත්සාහ දරති. එහිදී, පක්ෂ හා කට්ටිවාදී කාන්ඩගැසීම් වලින් මුලුමනින්ම නිදහස්ව, තීරන ගනු ඇත. පක්ෂ සම්බන්ධයෙන් ගත්විට ක‍්‍රියාකාරී කමිටුව විප්ලවවාදී පාර්ලිමේන්තුවක් යයි කිව හැක. පක්ෂ නොතකාහරිනවා නොවේ. ඊට වෙනස්ව ඒවා අවශ්‍යයෙන්ම පූර්වාපේක්ෂිතය. ඒ අතරම ඒවා ක‍්‍රියාවේදී පරීක්ෂාවට ලක්වේ. මහජනතාව කුනුවී ගිය පක්ෂවලින් මිදෙන්නට තමන්ම ඉගෙන ගනිති.

එසේ නම් එහි අර්ථය ක‍්‍රියාකාරී කමිටු සරලවම සෝවියට් සභා ය යන්න ද? සමහර තත්වයන් යටතේ ක‍්‍රියාකාරී කමිටුවලට සෝවියට් සභා බවට පරිවර්තනය විය හැකිය. කෙසේ වෙතත් ක‍්‍රියාකාරී කමිටු මේ නමින් හැඳින්වීම සාවද්‍යය. අද, 1935 දී, පොදු ජනතාව සෝවියට් යන වචනයට හුරු පුරුදුවී සිටිති. එය දැනටමත් බලය අල්ලාගැනීම පිලිබඳ සංකල්පයකි. එහෙත් අද ප‍්‍රංශය සැලකියයුතු තරමින් ඉන් පිටස්තරය. ඒවායේ ආරම්භක අවධියේදී රුසියානු සෝවියට් සභා පසුව ඒවා ගත් පරිවර්තනයට වඩා බෙහෙවින් වෙනස් විය. ඒ දවස්වල ඒවා කම්කරු කමිටු හෝ වැඩවර්ජන කමිටු යන මධ්‍යස්ථ නාමයෙන් හැඳින්වින. වත්මන් අදියරේදී ක‍්‍රියාකාරී කමිටුවල කර්තව්‍යය වන්නේ, ආරක්ෂනවාදී අරගල තුල පීඩිතයන් එක්සත් කිරීමත් ඒ මඟින් ඉදිරියේදී එන ප‍්‍රහාරාත්මක අරගල සඳහා ඔවුන්ගේම ශක්තිය පිලිබඳ දැනුවත්කම ඔවුන් තුලට කාවැද්දීමයි. ප‍්‍රංශය තුල වර්තමානයේ පවතින තීරනාත්මක තත්වය, අවසානයේදී විප්ලවවාදී නිගමන කරා විහිද යයි ද යන්න හා තත්වය අව්‍යාජ සෝවියට් සභාවල තැනට ලඟාවනු ඇද්ද යන්න මත රඳා පවතියි. මෙය සැබවින්ම විප්ලවවාදී පෙරටු බලඇනියේ අපේක්ෂාව මත පමනක් නොව වෛෂයික කොන්දේසි ගනනාවක් මත ද රඳා පවතියි. කෙසේ වෙතත් අද මහජන පෙරමුනු බාධකයට එරෙහිව පිහිටා සිටින මහජන ව්‍යාපාරයට ක‍්‍රියාකාරී කමිටු නොමැතිව ඉදිරියට යා නොහැකිවනු ඇත. සටන්වදින ජනතාව ඔවුන්ගේ අධිකාරවත් සංවිධාන හරහා මෙම කර්තව්‍යයන් සමඟ පොරබදන්නේ නැතිනම් කම්කරුවන්ගේ හමුදාවක් ගොඩනැඟීම, කම්කරුවන් ආයුධ සන්නද්ධ කිරීම, මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම වැනි කටයුතු දිස්වනු ඇත්තේ කඩදාසිය මත පමනි. සටන්කරුවන් දහස්ගනනින් නොව දස දහස් ගනනින් ඒකරාශීවූ සැබෑ එකමුතුවක් සහතික කල හැක්කේ අරගලය තුල උපත ලත් ක‍්‍රියාකාරී කමිටුවලට පමනි. රටේ ඉතා වැදගත් මධ්‍යස්ථාන ආවරනය කරන ක‍්‍රියාකාරී කමිටුවලට පමනක් සටනේ වඩාත් තීරනාත්මක ක‍්‍රමවේදයන් කරා මාරුවීමේ මොහොත තෝරාගත හැකිවන අතර එම සටනේ නායකත්වය සැබවින්ම ඔවුන්ගේ අතෙහි පවතිනු ඇත.

ඉහත කටු සටහන් කල ප‍්‍රස්තුතයන්ගෙන්, ප‍්‍රංශයේ කම්කරු පන්තික විප්ලවවාදීන්ගේ දේශපාලන කර්තව්‍යයන් සඳහා නිගමන ගනනාවක් ගලාඑයි. මූලික නිගමනය ඊනියා ගවුචේ රෙවලූෂනයර් හෙවත් විප්ලවවාදී වාමාංශය මතට වැටේ. මෙම කාන්ඩගැසීම, විප්ලවවාදී ජනතා ව්‍යාපාරය පාලනය කරන නීති පිලිබඳ අවබෝධයේ පූර්න අඩුවකින් අංඟලක්ෂිත වෙයි. මාධ්‍යමිකයන් "ජනතාව” පිලිබඳව කෙතරම් කටමැත දෙඩුවත් ඔවුන් හැම විටම නැඹුරු වන්නේ ප‍්‍රතිසංස්කරනවාදීන්ගේ ගොඩ වෙතයි. ඒ හෝ මේ විප්ලවවාදී සටන්පාඨය හඬ නඟන මාකි‍යු පිවෙට් ක‍්‍රියාවේදී, විප්ලවවාදීන්ට එරෙහිව දේශපේ‍්‍රමීන් සමඟ එකමුතුවක් බවට පත්වන "සංවිධානාත්මක එකමුතුව” යන වියුක්ත මූලධර්මයට ඒ සියල්ල යටත් කරයි. ජනතාවන්ට එක්සත් සමාජ-දේශප්‍රෙමී හවුලේ විරුද්ධත්වය තලාදැමීම ජීවිතයත් මරනයත් අතර ප‍්‍රශ්නයක් බවට පත්වන මෙහොතේම වාම මාධ්‍යමිකයෝ, මෙම සමූහයේ "එක්සත්කම” විප්ලවවාදී අරගලයේ අවශ්‍යතාවන්ට ඉහලින් නැඟී සිටින පරම "යහපතක්” ලෙස සලකති.

ක‍්‍රියාකාරී කමිටු ගොඩනඟනවා ඇත්තේ, සමාජ දේශපේ‍්‍රමී ද්‍රෝහී නායකත්වයෙන් ජනතාව විමුක්තකර ගැනීමේ අවශ්‍යතාවය තරයේම වටහාගත් අය විසින් පමනි. මේ මෙහොතේ පිවෙට් ස්රොම්ස්කි ද ඔහු බ්ලූම් ද ඔහු අනෙක් අතට තෝරෙස් සමඟ හැරියට් ද ඔහු ලවාල් ද වැලඳගෙන සිටියි. පසුගිය ජාතික කවුන්සිල රැස්වීමේදී බ්ලූම්ගේ නිර්ලජ්ජිත යෝජනාවට ඡන්දය දී තිබීමේ කාරනය තුට්ටුවකටත් මායිම් නොකර පිවෙට්, මහජන පෙරමුනු ක‍්‍රමය තුලට ඇතුලුවී සිටින අතර මහජන පෙරමුන, ලවාල්ගේ බොනපාට්වාදී තන්ත‍්‍රයට ඇතුලු වෙයි. බොනපාට්වාදී තන්ත‍්‍රයේ ඇද වැටීම අනිවාර්ය වෙයි. මහජන පෙරමුනේ හැරියට්-බ්ලූම්-කැචින්-තෝරේස්-ස්රොම්ස්කි-පිවෙට් යන අයගේ නායකත්වය, එලඹෙමින් තිබෙන හා තීරනාත්මක කාලපරිච්ඡේදය මුලුල්ලේම දෙපයින් සිටගෙන සිටීමට සමත් වුවහොත්, බොනපාට්වාදී තන්ත‍්‍රය ෆැසිස්ට්වාදයට දොර හැරදීම නොවැලැක්විය හැකිය. කම්කරු පන්තියේ ජයග‍්‍රහනය සඳහා කොන්දේසිය වන්නේ වත්මන් නායකත්වය අතුගා දැමීමයි. මෙම තත්වය යටතේ "එක්සත්කමේ” සටන්පාඨය මොට්ටකමක් පමනක් නොව අපරාධයකි. ප‍්‍රංශ අධිරාජ්‍යවාදයේ ඒජන්තයින් හා ජාතීන්ගේ සංඟමය සමඟ එක්සත් කමක් නැත. ඔවුන්ගේ ද්‍රෝහී නායකත්වයට එරෙහිව විප්ලවවාදී ක‍්‍රියාකාරී කමිටු පිහිටුවීම අත්‍යවශ්‍යය. මාක්‍යු පිවෙට්ගේ නායකත්වයෙන් යුත් ඊනියා වාම විප්ලවවාදීන්ගේ ප‍්‍රති විප්ලවවාදී ප‍්‍රතිපත්ති ක්ෂමා විරහිතව හෙලිදරව් කිරීම මඟින් පමනක් මෙම කමිටු ගොඩනැඟිය හැකිය. මේ කාරනය පිලිබඳව අපගේ සාමාජිකයන් තුල මිත්‍යාවන් හා සැක සාංකාවලට ඉඩක් නැත.