වෙලඳ හා මූල්‍ය යුද්ධ අවතාරය ජී 20 සමුලුව අරක්ගෙන ඇත

G20 summit dominated by specter of currency, trade wars

By Barry Grey, 11 November 2010

ප‍්‍රධාන ආර්ථිකයන්ගේ ජී 20 සමුලුව දකුනු කොරියාවේ සියෝල් නගරයේදී අද ආරම්භ වන්නේ, ඩොලරය අවප‍්‍රමානය කිරීම මගින් සිය ප‍්‍රතිවාදීන්ට වඩා තරගකාරී වෙලඳ වාසි ලබාගැනීම සඳහා වොෂින්ටනය යොදන පීඩනය හමුවේ උත්සන්නවී තිබෙන වෙලඳ හා මූල්‍ය ගැටුම් වර්ධනය වන තත්වය හමුවේය.

වසර දෙකකට පෙර පුපුරා ගිය ලෝක ආර්ථික අර්බුදයේ මූලික හා පද්ධතිමය ස්වභාවය ජී 20 සමුලුවේ ඉරනම තුලම පිලිබිඹු වෙයි. ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් දියවී යාමේ පලමු වෙඩි මුරය වූ වෝල් වීදියේ ලේමන් බ‍්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳ වැටීමට සති කිහිපයකට පෙර, ප‍්‍රථම පශ්චාත් යුද්ධ අර්බුදය මුල්කරගත් ජී 20 ආන්ඩු නායක රැස්වීම 2008 නොවැම්බරයේ වොෂින්ටනයේදී පැවැත්වීමට යෙදුනි. එය හුවා දක්වනු ලැබුනේ ජාත්‍යන්තර සහයෝගිතාවයේ ජයග‍්‍රහනයක් ලෙසය.

අනෙකුත් ජාතීන්ගේ වියදමෙන් සිය අර්බුදය විසඳාගැනීමට උත්සාහ නොකරනු ඇතැයි එහි පෙනීසිටි නායකයෝ සිය ඒකමතික අනුමැතිය පල කලහ. දෙවන ලෝක යුද්ධයට මඟ පාදමින් 1930 ගනන් වසා පැවති තරගකාරී මුදල් අවප‍්‍රමානය, ආරක්ෂනවාදය හා වෙලඳ යුද්ධ වඩා ප‍්‍රබුද්ධිමත් 21 වන සියවසේ යලි ඇති නොවන බවට එහිදී සහතික කෙරුනි.

බෙහෙවින් ප‍්‍රමෝදයට පත් ප‍්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි ”21 සියවසේ ග‍්‍රහ ලෝකය තුල රජයන සෙවනැල්ල ලෙස ජී 20 සලකුනු වන්නේ” යයි පැවසීය.

දෙවසරකට හා ජී 20 සමුලු හතරකට පසුව අද රැස්වන ආන්ඩු නායකයෝ මුහුන දෙන්නේ, එක්සත් ජනපදයේ ද එහි ප‍්‍රධාන වෙලඳ තරගකරුවන්ගේ ද සාමුහික දොස් පරොස්වලට හා සතුරු බලපෑම්වලට හා ප‍්‍රති බලපෑම්වලටය. ගෝලීය ආර්ථික සබඳතාවයේ සමස්ත පශ්චාත් යුද්ධ පද්ධතියම බිඳ වැටෙමින් තිබෙන බවට නැඟී එන මතයක් පවතියි. මන්දගාමී හා එකතැන පල්වෙන එක්සත් ජනපද, යුරෝපීය හා ජපාන වර්ධනය සමඟ අත්වැල් බැඳෙඟන යුරෝපීය රාජ්‍ය නය අර්බුදය හමුවේ යුරෝපීය ආන්ඩු අතිශය දරුනු ආකාරයෙන් ක‍්‍රියාවට නගන ලද කප්පාදු පිලිවෙත් මෙන්ම යුරෝව බිඳ වැටීමේ හැකියාව පිලිබඳ නැඟී එන සලකුනු ද ආරක්ෂනවාදය හා ආර්ථික ජාතිකවාදය හිස එසවීමේ අන්තරාය වැඩිකර තිබේ.

අවපාතය හා දෙවන ලෝක සංග‍්‍රාමයට පසුව, ධනවාදයේ ප‍්‍රසාරනය හා යලි තහවුරු කිරීමේ පදනම බවට පත්ව තිබුනු එක්සත් ජනපද ගෝලීය ආර්ථික තත්වයේ දැවැන්ත පරිහානිය, මෙම අර්බුදයේ හරි මැද පිහිටා සිටියි. එක්සත් ජනපද මුදල මඟින් නැංඟුරම් ලා තිබුනු ඩොලරය මත පදනම් කල මූල්‍ය පද්ධතිය කෙරෙහි පැවති විශ්වසය බිඳී යාම තුල මෙය තියුනු ලෙස ප‍්‍රකාශයට පත්වෙයි.

නොවැම්බර් 08 දින ලෝක බැංකු සභාපති රොබට් සොලික්, ලෝක මූල්‍ය පද්ධතිය පිලිසකර කිරීම පිලිබඳව ජී20 හදිසියෙන්ම සලකා බැලිය යුතු යයි ඉල්ලා සිටීමත් සමඟ ආන්ඩු හා මහ බැංකුකරුවෝ තිගැස්සීමට පත්විය. සුපිරි සංචිත හා වෙලඳ මූල්‍යය ලෙස ඩොලරයේ කටයුත්ත අවසන්විය යුතු බව හා ඒ සඳහා ඩොලරය, යුරෝව, යෙන් හා චීන රෙන්මින්බි (යුවාන්) මුදල මැදිකරගත් නව ක‍්‍රමයක් ආදේශ කලයුතු බව ඔහු යෝජනා කලේය. ඔහු තව දුරටත් යෝජනා කලේ ව්‍යවහාර මුදලේ වටිනාකම් දර්ශකය ලෙස රත්රන් යොදාගැනීමේ නව ව්‍යුහයකි.

මෙය වනාහි, පසුගිය 65 වසර පුරා පැවති පද්ධතිය තව දුරටත් වලංඟු නොවන බව හා ලෝක සංචිත ව්‍යවහාර මුදල ලෙස ඩොලරය විස්ථාපනය කල හැකි වෙනත් ජාතික මුදලක් නැතැයි යන්න නිහඬව පිලිගැනීමකි.

එක්සත් ජනපද මහ බැංකුවේ බිංදුවට ආසන්න පොලී අනුපාතික පිලිවෙත නිසා ලාභ ඩොලර්වලින් මූල්‍ය වෙලඳපොලවල් උතුරා ගිය අතර එහි ප‍්‍රතිපලය වශයෙන් ලෝක මුදල් වෙලඳපොලවල් තුල ඩොලරයේ අගය විශාල ප‍්‍රමානයකින් පහත වැටුනි. මේ වසර තුල මේ දක්වා ජපාන යෙන් මුදලට සාපේක්ෂව ඩොලරය සියයට 13න් වැටී තිබේ. යන්තම් ජූනි මාසයේ සිට එය යුරෝවට සාපේක්ෂව සියයට 18න් පහත වැටුනි. ප‍්‍රධාන මුදල් පැසට බර තැබූ කල එය අගෝස්තුවේ සිට සියයට 8න් වැටී ඇත. ඩොලරය හා පවත්නා මූල්‍ය පද්ධතිය පිලිබඳ විශ්වාස භංගය රත්රන් අගය පුපුරනසුලු වේගයකින් නැඟීම තුල තියුනුම ප‍්‍රකාශනය අත්කර ගනියි. මෙම සතියේ අනාගත රන් සැපයුම කිසිදාක නොතිබුනු අවුන්සයක් ඩොලර් 1420 ඉක්මවා නැඟුනි. වටිනා ලෝහයේ අගය මේ වසර තුල සියයට 25න් ඉහල ගියේය.

ඩොලරයේ වේගවත් පරිහානිය තඔ, තෙල්, බඩඉරිඟු හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය ද ඇතුලුව පොදුවේ පාරිභෝගික භාන්ඩ මිල ගනන් ඉහල නැංවීමට තුඩු දුන්නේය.

ජී 20, රන් මිලෙහි වේගවත් නැඟීම ගෝලීය ආර්ථික බැඳීම්වල ගැඹුරුවන අර්බුදය පිලිබඳ බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගතයුතු යයි සෝලික් 10 දින ප‍්‍රකාශ කලේය. ”පද්ධතිය තුල ආතතීන් පවතින්නේ යයි මම නොසිතමි. මනා ලෙස කලමනාකරනය නොකල හොත් ආතතීන් පිලිබඳ අන්තරාය හා ආරක්ෂනවාදයේ හිස එසවීම නොවැලැක්විය හැකිය” ඔහු පැවසීය.

රෙන්මින්බි මුදල වේගයෙන් අධිප‍්‍රමානය වීමට චීනය ඉඩදිය යුතුය යන තම ඉල්ලීම පිටුපස සමුලුවේ යුරෝපීය හා ආසියානු ජාතීන් පෙලගස්වන සන්ධානයක් ඇටවීමට ඔබාමා පරිපාලනය බලාපොරොත්තු විය. එහි නිර්යාත ලාභ කිරීමටත් එහි හුවමාරු අනුපාතිකය පහතින් තබාගැනීමටත් තම මුදල අවභාවිතා කරන්නේ යයි චෝදනා කරමින් එක්සත් ජනපදය, අතිරික්ත හා හිඟ ජාතීන් අතර ගෝලීය ආර්ථික ප‍්‍රති තුලනය කිරීමට ප‍්‍රධාන බාධකය චීනය බවට උලුප්පා දැක්වීමට වෙර දැරීය. එහෙත් මෙම කූටෝපායට වොෂින්ටනයේ අතිශයින්ම ලිහිල් මූල්‍ය ප‍්‍රතිපත්තිය නිසා වලකැපී ඇත. එම ප‍්‍රතිපත්තිය ජාත්‍යන්තරව දැකගන්නේ, එක්සත් ජනපදයේ අපනයන වඩා තරගකාරී හා ආනයන වඩා මිල අධික කරන ඩොලරයේ ලාභ කිරීම යන එහි මුදල අවභාවිතයේ යොදන මාධ්‍යයක් ලෙසය.

චීනය, ජපානය හා ජර්මනිය යන ඇමරිකාවේ ප‍්‍රධාන වෙලඳ ප‍්‍රතිවාදීන් මෙන්ම ඉන්දියාව, දකුනු කොරියාව, බ‍්‍රසීලය, ඉන්දුනීසියාව, අකුනු අප‍්‍රිකාව, තායිලන්තය, තායිවානය හා සිංගප්පූරුව වැනි ඊනියා නැඟීඑන ආර්ථිකයන් සමූහය ද සමුලුවට සතියකට පෙර මහ බැංකුව ”ප‍්‍රමානාත්මක ලිහිල්කිරීමේ” දෙවන වටය දියත් කිරීමට ගත් තීරනයෙන් විශේෂයෙන්ම කැලඹීමට පත්ව සිටියි. ඒ අනුව, එක්සත් ජනපදයේ දිගු කාලීන පොලී අනුපාතික පහත හෙලීම, කොටස් වෙලඳපොල දහනය කිරීම හා තවදුරටත් ඩොලරය අවප‍්‍රමානය කිරීම සඳහා ඩොලර් බිලියන 600 ක මුදල් අච්චු ගසනු ලබයි.

චීනය ජපානය හා ජර්මනිය යන ප‍්‍රධාන අපනයන ජාතීන්, තම වියදමෙන් එක්සත් ජනපද නිර්යාත පිම්බීමට ගත් ආරක්ෂනවාදී පියවරක් ලෙස මෙය මනාව වටහාගත්හ. නැඟීඑන ආර්ථිකයන් සඳහා එක්සත් ජනපද ප‍්‍රතිපත්තිය, තම විනිමය අනුපාතික ඉහල දමමින් වත්කම් බුබුලු හා උද්ධමනය උසිගන්වන සමපේක්ෂනයේ ඩොලර් දෝරේ ගලාඒමක් විය.

සමුලුව එලඹෙමින් තිබියදී ජී20 සාමාජිකයන් එක්සත් ජනපදය හෙලාදැකීම, මැසිවිලි නැඟීම සමූහ ගායනයක ස්වභාවය ඉසිලීය. බෙහෙවින් රනකාමී ප‍්‍රතිචාරය පලවූයේ පසුගිය 06දා ඩර් ස්පීගල් සඟරාවට මෙසේ කියාසිටි ජර්මන් මුදල් ඇමති වුල්ෆ්ගෑන්ග් ෂෝබල්ගේ ප‍්‍රකාශයෙනි. ෆෙඩරල් මහබැංකුවේ තීරනය ”එක්සත් ජනපදයේම මූල්‍ය ප‍්‍රතිපත්තිය පිලිබඳ විශ්වාසනීයත්වයට වල කපයි.” යනුවෙන් ඔහු පවසා තිබුනි.

එක්සත් ජනපදයේ ”වර්ධන ආකෘතිය” පදනම්වී ඇත්තේ, ”නයට ගත් මුදලින් එහි මූල්‍ය ක්ෂේත‍්‍රය පිම්බීම හා තම කුඩා හා මධ්‍යම පරිමානයේ කාර්මික සමාගම් නොතකා හැරීම” මතය. පවත්නා එම පදනම ”ගැඹුරු අර්බුදයක” ගිලී ඇතැයි ඔහු පැවසීය.

එක්සත් ජනපදයේ කුහකත්වයට චෝදනා නඟමින් ඔහු පැවසුවේ, ඇමරිකානුවන් මුදල් අච්චුගසමින් ඩොලරයේ හුවමාරු අගය කෘතීම ලෙස පහත දමන අතරතුර, විනිමය අනුපාතික අවභාවිතා කරන්නේ යයි චීනයට චෝදනා කිරීම යුක්තිසහගත නොවන” බවයි.

ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් ද වඩා මැදහත් හඬකින් නමුදු එම පිලිවෙතම අනුව ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවාය. එහිදී ඇය, ජී20 විසින් ජංගම ගිනුම් අතිරික්ත හා හිඟයන් පිලිබඳ ප‍්‍රමානාත්මක ඉලක්ක පිහිටුවීමට කෙරෙන වොෂින්ටනයේ යෝජනාව ඉවත දමමින් කියා සිටියේ, ”ගෙවීම් ඉලක්ක පිලිබඳව ප‍්‍රමානාත්මකවූ තුලනතාවක් ගැන මම එතරම් දුරට සිතන්නේ නැත.” යනුවෙනි.

”තම වර්ධනය, නය හා බුබුලු මත ගොඩනැඟීමට” උත්සාහ කරන රටවල් විවේචනය කරමින් ඇය (ඊට එක්සත් ජනපදය ඇතුලත්ය) ”අපට තර්ජනය කරන ලොකුම අන්තරාය වන්නේ ආරක්ෂනවාදය” බව පැවසුවාය.

යුරෝ කලාපයේ මුදල් ඇමති කන්ඩායමේ සභාපති හා ලක්සම්බර්ග් අගමැති ඩීන් ක්ලවුඩේ ජුන්කර් යුරෝ පාර්ලිමේන්තු කමිටුව හමුවේ මෙසේ පැවසීය. ”ෆෙඩරල් මහ බැංකුව යලි ඇරඹූ ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් හොඳ තීරනයක් බව මම විශ්වාස නොකරමි. ඔබ නය සමග සටන් කරන්නේ නය වලිනි. චීන ප‍්‍රතිපත්තිය ගැන මහත් විවේචන තිබේ. එහෙත් වෙනත් මඟකින් ඔවුන් අනුගමනය කරන්නේ ද හරියටම එම ප‍්‍රතිපත්තියයි.”

රුසියානු ජනාධිපති දිමිත‍්‍රි මෙඩ්විඩෙව්ගේ ප‍්‍රමුඛ ආර්ථික උපදේශකයෙක් වන ආකේඩි ඩවෝකොවිච් පැවසුවේ, ජී20 සමුලුවේදී රුසියාව, කුමන හෝ ප‍්‍රධාන ප‍්‍රතිපත්ති තීරනයක් ගැනීමට පෙර ෆෙඩරල් මහ බැංකුව අනෙකුත් රටවල් විමසිය යුතු බව අවධාරනය කරනු ඇති බවයි.

බ‍්‍රසිලියානු වෙලඳ ඇමති වේබර් බරාල්, මහ බැංකුවේ පියවර ”අසල්වැසියා හිඟමනට දමනු ප‍්‍රතිපත්තිය” ලෙස හෙලා දුටුවේය.

චීන නිලධාරීන් ගනනාවක්ම එක්සත් ජනපදයේ පියවර හෙලාදකිමින් ජී20 එක්සත් ජනපද මූල්‍ය ප‍්‍රතිපත්තිය නියාමනය කලයුතු යයි කියා සිටියහ. රජයේ ෂින්හුවා ප‍්‍රවෘති ඒජන්සිය, ”වගකිවයුතු මූල්‍ය ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අසමත්වන කල ජාත්‍යන්තර සංචිත මුදල පිලිබඳ ප‍්‍රශ්නය සඵල ලෙස නියාමනය කරන නව යාන්ත‍්‍රනයක් ජී20 විසින් ගොඩනැඟිය යුතු” බව කියා සිටිමින් 19දා විශ්ලේෂනයක් පලකලේය.

චීන නියෝජ්‍ය මුදල් ඇමති ෂු ගුවාන්යා ඕ 08දා කෙටි පැහැදිලි කිරීමකදී පැවසුවේ ”ප‍්‍රධාන සංචිත මුදල නිකුත් කරන්නා ලෙස එක්සත් ජනපදය මේ අවස්ථාවේ එහි ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ දෙවන වටය දියත්කිරීම අපට පෙන්වන්නේ ගෝලීය වෙලඳපොලවල් ස්ථායී කිරීමේ එය සතු වගකීම හඳුනාගෙන නැති බව හා නැඟීඑන වෙලඳපොලවලට අතිරික්ත ද්‍රවශීලතාවකින් නිර්මානය කරන බලපෑම ගැන සිතා නැති බවයි.”

ප‍්‍රමුඛ චීන පුවත්පතක් අනතුරු ඇඟවූයේ, එක්සත් ජනපදයේ පියවර, නව වටයක මූල්‍ය යුද්ධ හා ගෝලීය ආර්ථික බිඳවැටීමකට පවා තුඩුදිය හැකි මුදල අවභාවිතාවේ රූපාකාරයක් වන බවටයි.

මහ බැංකුවේ ක‍්‍රියාවට දැක්වෙන ඔප නොදැමූ ප‍්‍රතික‍්‍රියාවකදී චීනයේ රාජ්‍ය අනුග‍්‍රහය සහිත ප‍්‍රමුඛ වර්ගීකරන ආයතනයක් 08දා එක්සත් ජනපද නය වර්ගීකරනය පහත හෙලීය. එම ආයතනය, මහ බැංකුවේ තීරනය ගැන සඳහන් කරමින් වොෂින්ටනයේ ”පිරිහෙන නය ආපසු ගෙවීමේ හැකියාව” ගැන අනතුරු ඇඟවූ අතර ”එක්සත් ජනපද ආර්ථික සංවර්ධනයේ හා කලමනාකරනයේ ආකෘතිය තුල බරපතල දෝෂ” ඇතැයි කියා සිටියේය. එය ”ජාතික නය ගෙවීමේ හැකියාව මූලික වශයෙන් පහත හෙලීමට” තුඩුදෙනු ඇතැයි එය අනාවැකි පලකලේය.

06දා වෝල් ස්ටී‍්‍රට් ජර්නලයට දුන් සම්මුඛ සාකච්ඡාවකදී ජපාන අගමැති නඔටෝ ඛාන් පැවසුවේ ”පලමුව ද ප‍්‍රාථමිකව ද යෙන් මුදලේ නැඟීමට හේතුවූ ප‍්‍රධාන කාරනයක් වන්නේ ඩොලරයේ බෙලහීනත්වයයි. එය ඇමරිකාවේ ආර්ථික ප‍්‍රතිපත්තියෙහි පිලිබිඹුවකි. සමුලුවේදී අපට ඒ පසුබිම පිලිබඳව පැහැදිලි වැටහීමක් අවශ්‍ය වන්නේය.” යනුවෙනි. සැප්තැම්බරයේ මහා පරිමානයෙන් සිදුකලාක් මෙන්, යලි වතාවක් මූල්‍ය වෙලඳපොලට මැදිහත්වීමේ අයිතිය ජපානය තබාගන්නා බව ඔහු පැහැදිලි කලේය. ”යෙන් මුදලේ තවත් වේගවත් නැඟීමකට අප මුහුනදුනහොත් එවන් පිවරක් ගැනීම අවශ්‍ය වනු ඇත.” ඔහු පැවසීය.

ජී20 සමුලුව ද ඇතුලත්වන රටවල් හතරක් තුල දින දහයක සංචාරයක නිරතවන ජනාධිපති ඔබාමා තමන්ගේ පැත්තෙන් මහ බැංකුවේ ක‍්‍රියාව ආරක්ෂා කරමින් යලි අවධාරනය කලේ එක්සත් ජනපදය, චීනය හා ජර්මනිය වැනි විශාල ගෙවුම්ශේෂ අතිරික්තයක් සතු නිර්යාත මුල්කරගත් ජාතීන් සිය නිර්යාත කපා හරීම හා ගෝලීය වෙලඳපොලවල ඇමරිකාවේ පංගුව වැඩිකිරීම පිලිගත යුතු බවයි. ගෝලීය ආර්ථිකය ”ප‍්‍රතිතුලනය” කිරීම යනුවෙන් වොෂින්ටනය අදහස් කරන්නේ මෙයයි.

ඉන්දීය අගමැති මන්මෝහන් සිං සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය සමුලුවකදී ඔබාමා කියා සිටියේ, ”මහ බැංකුවේ වරපත‍්‍රය, මගේ වරපත‍්‍රය, වන්නේ අපගේ ආර්ථිකයේ වර්ධනය බව මා කියා සිටිය යුතුය. එය නිකම්ම එක්සත් ජනපදයට වාසි සලසනවා පමනක් නොව සමස්තයක් ලෙස ලෝකයටම වාසි සලසන්නේය.” යනුවෙනි.

ව්‍යංගයෙන් චීනය හා ජර්මනිය එල්ල කර ගෙන ඔහු මෙසේ ද පැවසීය. ”අනෙකුත් රටවල් දැවැන්ත හිඟයන්ට මුහුනදී සිටියදී සමහර රටවල් දැවැන්ත (වෙලඳ) අතිරික්තයන් පවත්වාගෙන යාමේ තත්වයක් අපට දිගටම දරාගත නොහැකිය. මුදල පිලිබඳව සැලකීමේදී, වඩාත් තුලනාත්මක වර්ධන පිලිවෙලකට තුඩුදෙනු ඇති මාදිලියේ සීරුමාරුකිරීම් අවශ්‍ය වනු ඇත.”

ඔහුගේ ඊ ලඟ ගමනාන්තය වූ ඉන්දුනීසියාවේදී වඩාත් සෘජු ලෙස චීනයට පහර ගසමින් කථාකල ඔබාමා ”ඉතා විශාල අතිරික්තයන් සතු සමහර රටවල්, සිය මුදල සම්බන්ධ කාරනාවේදී තමන්ගේ වාසිය පිනිස සැලකිය යුතු තරම් මූල්‍ය වෙලඳපොලවල් තුල මැදිහත් වනු ඔබට දැකිය හැකිය.” යනුවෙන් පැවසීය.

උත්සන්න වෙමින් තිබෙන ගැටුම් විසඳගැනීමේ හෝ ඒවා සමනය කරගැනීමේ කිසිදු බැරෑරුම් එකඟත්වයක් පිලිබඳ මොනම බලපොරොත්තුවක් හෝ ජී20 සමුලුව තුල නොපැවති තරම්ය. සමුලුවේ සත්කාරක රට වූ දකුනු කොරියාවේ ජනාධිපති ලී මියුන් බක් 10දා පැවති සම්මුඛ සාකච්ඡාවකදී කථා කරමින් ”අපට සංයුක්ත කරුනු පිලිබඳව එකඟත්වයකට ඒමට පුලුවන්වූයේ නැත. එය ක‍්‍රියාකාරී කන්ඩායමකට පැවරෙනු ඇත. ඒ සඳහා කාලයක් ගතවනු ඇත.” යනුවෙන් එම තත්වය පිලිගත්තේය.

සමුලු සාමාජිකයන්ට තබාගත හැකි ලොකුම බලාපොරොත්තුව නම්, මතභේද මත පැලැස්තර අලවන හා විවෘතව ඒවා බිඳ දැමීම වලක්වාගැනීමේ හිස් ප‍්‍රකාශනයක් පමනි.