බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද දේශනය

ගෝලීය ආර්ථිකයේ බිඳවැටීම-මාක්ස්වාදී විශ්ලේෂනයක්

University of Western Sydney lecture - The global economic breakdown—a Marxist analysis

By Nick Beams,17 September 2010

පහත පලවන්නේ ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඬල සාමාජික නික් බීම්ස් විසින් 2010 සැප්තැම්බර් 14 දින බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද දේශනයකි. නීති අධ්‍යයන අංශය සහ ආර්ථික සහ මූල්‍ය අධ්‍යයන අංශය විසින් දේශනය සඳහා ඔහුට ආරාධනය කරනු ලැබීය:

Lecturn

සියයක් පමන සිසුහු සහ විද්‍යාර්ථීන් සහභාගී වූහ. දේශනයෙන් පසුව සජීව සාකච්ඡාවක් සිදුවිය. මූල්‍ය ප‍්‍රාග්ධනයේ ස්වභාවයේ සිට වර්තමාන සමාජයෙහි කම්කරු පන්තියේ ස්වභාවය සහ ධනවාදයේ වලංගුභාවය දක්වා වූ ප‍්‍රශ්න ගනනාවකට එහිදී නික් බීම්ස් පිලිතුරු සැපයීය.

1. හෙට, සැප්තැම්බර් 15දා ට ඇමරිකා එක්සත් ජනපදයේ වෝල් වීදියෙහි ආයෝජන බැංකුවක්වූ ලේමන් බ‍්‍රදර්ස් බිඳ වැටීමෙන් පසුව දෙවන සංවත්සරය සනිටුහන් කෙරෙයි. එහි අභාවයෙන් පසුව ගතවූ තෙසතිය තුල වෝල් වීදිය දියවී යාමේ සිද්ධි මාලාවක් මුදාහල අතර මූල්‍ය පද්ධතිය බිඳ වැටීමේ අද්දරටම ගෙන ආවේය. ජාතික රූපවාහිනියේ පෙනී සිටි එක්සත් ජනපද ජනාධිපති, ”ඇමරිකානු මූල්‍ය පද්ධතියේ ප‍්‍රධාන අංශ වසා දැමීමේ අවදානමක් මතුවී ඇති” බවට හා, හදිසි පියවර නොගත හොත් ”ඇමරිකාව මූල්‍ය සන්ත‍්‍රාසයකින් වෙලාගනු ඇති” බවට අනතුරු ඇඟවීය. 1930 ගනන්වලින් පසුව එවැන්නක් දක්නට ලැබී නැත.

දෙවසරකට පසුව තත්වය කෙබඳු ද? ගෝලීය මූල්‍ය පද්ධතිය අඛන්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ලෝකයේ ප‍්‍රධාන රටවල ආන්ඩු හා මහ බැංකු ප‍්‍රමුඛ ගෝලීය මූල්‍යායතනවලට ඩොලර් ටි‍්‍රලියන ගනනක් සම්පාදනය කිරීම සඳහා ඇප දීමේ මෙහෙයුමක් සංවිධානය කලේය. සමහර ඇස්තමේන්තු වලට අනුව ඩොලර් ටි‍්‍රලියන 14 ක් හෙවත් ලෝක දල දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් පංගුවක් වූ, ලෝක ධනවාදයේ ඒ ආකර දැවැන්තම පියවර වන මෙම ගලවා ගැනීමේ මෙහෙයුම නොතකා, සිදුවන බිඳවැටීමට යටින් පවතින පද්ධතිමය අර්බුදය විසඳී නැත. ඒ වෙනුවට, පසුගිය මැයි මාසයේදී පුපුරා ගිය යුරෝපීය රාජ්‍ය නය අර්බුදය ඉතා පැහැදිලිව ඇඟවුම් කර ඇත්තේ, පෙර නොවූ විරූ මුදල් කන්දරාවක් සැපයීම මඟින් ගෝලීය ධනේශ්වර ආර්ථිකය තුල නව පරස්පර විරෝධයන් නිර්මානය කර ඇති බවයි.

2. මූල්‍ය බිඳවැටීමෙන් දෙවසරකට පසුව ගෝලීය ආර්ථිකය, 1930 ගනන්වල මහා අවපාතයෙන් ඉක්බිත්තෙහි ඇතිවූ ප‍්‍රගාඪම අර්බුදයේ හිරවී ඇත. එක්සත් ජනපදය තුල මිලියන 30ක ජනතාවක් එක්කෝ රැකියා වියුක්ත, ඌන සේවා නියුක්ත නැතිනම් රැකියාවක් සොයාගැනීමට නොහැකි නිසා ශ‍්‍රම බලකායෙන් ගිලිහී ගොස්ය. විරැකියා සංඛ්‍යාවෙන් අඩක්ම හය මසකට වැඩි කාලයක් රැකියාවක් නොමැතිව සිටිති. මෙය 1930 ගනන් වලින් මෙපිට දක්නට ලැබෙන ඉහලම දිගු කාලීන අනුපාතයයි. මාධ්‍ය තුල ”ද්විත්ව ප‍්‍රහාරාත්මක” පසුබෑමක් ගැන සාකච්ඡා පැවැත්වේ. එක්සත් ජනපද උත්සුකයේ තරමට එවන් ඊනියා ”ප‍්‍රකෘතිමත් වීමක්” පවා දක්නට ඇත්තේ නැත.

3. අප යුරෝපය දෙසට නෙත් යොමුකල හොත් එහි ද තත්වය මීට වඩා යහපත් නැත. පශ්චාත් යුද කාලපරිච්ඡේදය තුල දැක නොතිබුනා වූ ද 1980 ගනන්වල අපකීර්තිමත් තැචර් ආන්ඩුව යටතේ ගනු ලැබුවා වූ ද පියවර පරදවා යන රාජ්‍ය වියදම් හා රැකියා කප්පාදුවකට බි‍්‍රතාන්‍ය ජනතාව මුහුන දී සිටිති. යුරෝපා මහාද්වීය තුල මැයි මාසයේදී සංවිධානය කල යුරෝ බිලියන 750ක ඇපකරය තිබිය දී ම තනි මුදලකින් සමන්විත යුරෝ ව්‍යාපෘතිය පවතින්නේ අන්ධකාරයේය. අර්බුදය ජයගෙන ඇතැයි කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැත. මෝගන් ස්ටැන්ලි ආයතනයේ ලන්ඩන් කාර්යාලයේ විශ්ලේෂකයෙක් මෑතක දී සකස් කල සටහනකින් රාජ්‍ය නය පැහැරහැරීමක් අනිවාර්ය බවට අනතුරු අඟවා තිබේ. ”එකම ප‍්‍රශ්නය ඔවුන් සිය පොරොන්දු කඩකරන්නේ ද යන්න නොව, කඩකරන්නේ කුමන පොරොන්දු ද යන්නයි. එය කුමන ස්වරූපයක් ගනු ලබන්නේ ද යන්නයි.” රාජ්‍ය නය අර්බුදය අවසන්ව නැති අතර, එය ගෝලීය වූවකි. නුබුන්වත්කමේ තීරනාත්මක නිර්නායකය දල දේශීය නිෂ්පාදිතයට අනුව රාජ්‍ය නය අනුපාතය නොව, නය ආපසු ගෙවනු ලබන රජයේ ආදායමට නයේ අනුපාතයයි. දදේනි පහත වැටීමට වඩා රාජ්‍ය ආදායමේ පහල වැටීම වැඩි බව අත්දැක තිබේ. ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයේ යුරෝපීය තීරු ලිපි රචකයෙක් වන වුල්ෆ්ගෑන්ග් මුන්චාවු මෙසේ ලිවීය. ”ලේමන් බිඳ වැටීමෙන් දෙවසරකට පසුව යුරෝපීය බැංකු ක්ෂේත‍්‍රයේ බෙලහීනත්වය තවමත් මතභේදාත්මක ය. තව අවුරුදු පහක් ගතවුන කල ද අප එයම සාකච්ඡා කරනු ඇතැයි මම ඔට්ටු අල්ලන්නෙමි. එහි අර්ථය, මූල්‍ය අර්බුදය අඩු තරමින් යුරෝ කලාපය තුල නොනැවතී ඉදිරියට යනු ඇති බවයි.”

4. අප නැගෙනහිර දෙසට හැරුනොත්, ජපානයේ ආර්ථික පැසවීම කෙතරම් ද යත් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ තැන චීනයට පැවරීමට එයට සිදුව තිබේ. චීනයේ නැඟීමත් සමඟ සමස්ත චිත‍්‍රය ප‍්‍රතිවිරෝධී වන්නේ ද? කෙසේ නමුත් එහි නැඟඑන ආර්ථික වර්ධනයට ලෝක ආර්ථිකය සඳහා නව ස්ථාවරත්වයේ පදනමක් සම්පාදනය කල හැකි ද? එසේ නොවනු ඇත. මක්නිසා ද යත් අවසාන විග‍්‍රහයේදී චීන ආර්ථික වර්ධනය ලෝක ආර්ථිකයේ වර්ධනය මත රඳා පවතින නිසාය. 1914 ලෝක ධනේශ්වර ආර්ථිකයේ පලමු බිඳවැටීමෙන් පසුව, 1920 ගනන්වල එක්සත් ජනපදය දැවැන්ත ආර්ථික උත්පාතයක් අත්විඳීය. එහෙත් සමස්තයක් වශයෙන් ලෝක ආර්ථික අර්බුදය විසින් එහි ප‍්‍රසාරනය මත පැනවූ සීමාවන් කරා එලඹෙනවාත් සමග ම, එය බිඳ වැටුනු බව යලි සිහිපත් කරගත යුතුය. 2008 වසර අවසානයේ අර්බුදය ජයගැනීම සඳහා චීන ආන්ඩුව ඩොලර් බිලියන 500ක උත්තේජන ඩොලර් පැකේජයක් සමඟින් දැවැන්ත නව ව්‍යාපෘතියක් දියත් කල ද ප‍්‍රධාන අර්බුදයකට එරට මුහුනපෑවේය. 2009 වසරේ පමනක් චීන බැංකු වඩාත් සමාන වන්නේ ටි‍්‍රලියන 1.4 ක වාර්තාගත නය සමුදායක් නිකුත්කල බවට ගනන් බලා තිබේ. ලෝක ආර්ථිකයට නව පදනමක් සම්පාදනය කිරීම කෙසේ වෙතත්, චීනයේ ප‍්‍රසාරනය ධනේශ්වර පද්ධතියේ අර්බුදය මනින උන රෝගයේ ප‍්‍රස්ථාරයකට ය.

5. අප මෙම සන්තතිය වටහාගත යුත්තේ කෙසේ ද? වර්ධනයේ මූලික ප‍්‍රවනතා ග‍්‍රහනය කර ගැනීම සඳහා සැබවින්ම, විවිධාකාර ආර්ථික සිද්ධීන් තුලින් උපුටාගැනීම් අවශ්‍ය කෙරේ. එහෙත් එවන් වියුක්තකර ගැනීමක් බාහිර වෛෂයික යථාර්තය හා අප අවබෝධ කර ගැනීමට උත්සාහ දරන ක‍්‍රියාදාමයට හානි නොකල යුතුය. මේ හේතුව නිසා, ඕස්ටේ‍්‍රලියාව හෝ වෙනත් ඕනෑම රටක්, ගෝලීය කම්පනයන්ගේ වාතාවරයට හැඩ ගැසෙමින්, ඒවා යම් ආකාරයක බාහිර සාධක වන්නාක් මෙන්, ගෝලීය ආර්ථිකයේ රලු මුහුද හරහා කෙසේ හෝ පැද යාමට සමත් වන්නේය යන සියලු ජාතිකවාදී සංකල්ප තරයේම අවිද්‍යාත්මක වෙයි. වසර 80 කට පමන පෙර ලියොන් ට්‍රොට්ස්කි විද්‍යාත්මක විශ්ලේෂනයේ පදනම මෙසේ විස්තර කලේය. ”මාක්ස්වාදය, තමන් ලෝක ආර්ථිකයෙන් ස්වාධීන වන්නේ, ජාතික කොටස්වල එකතුවක් ලෙස එය සලකා ගැනීමෙන් නොව, අපගේ යුගයේ ජාතික වෙලඳපොල මත අනුල්ලංඝනීය ආධිපත්‍ය දරන, ජාත්‍යන්තර ශ‍්‍රම විභජනය හා ලෝක වෙලඳපොල විසින් නිර්මානය කර ඇති යෝධ හා ස්වාධීන යථාර්ථයක් ලෙස එය දැක ගනිමින්ය. සෑම ජාතික තත්වයක්ම, ලෝක සන්තතියේ මූලික අංගයන් පිලිබඳ ‘යථා සංයෝගයක්’ ලෙස පමනක් වටහාගත යුතු යයි” [1] ඔහු පැහැදිලි කලේය. මා යොදාගැනීමට උත්සාහ කරනුයේ මෙම විධික‍්‍රමයයි.

6. පලමුවෙන්ම, පවත්නේ ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බුදයක් පමනක් නොව, ධනේශ්වරය හා එහි නියෝජිතයින් - මෙම කාරනයේ දී අර්ථශාස්ත‍්‍රඥයින්- විස්තර කිරීමට උත්සාහ දරන සමස්ත සංකල්පිත රාමුවම වෙලාගත් අර්බුදයක් බව සටහන් කරගත යුතුය. ලෝක ආර්ථික බිඳ වැටීම යනු, පසුගිය අවුරුදු තිහ පුරාවට අධිකාරය ඉසුලූ ”නිදහස් වෙලඳපොල” පිලිබඳ මන්තරයේ අතිශයින්ම තියුනු ප‍්‍රතික්ෂේපයයි. මෙම ප‍්‍රවාදයන්ට අනුව ආර්ථික සංවිධානයේ ධනේශ්වර ආකෘතිය, මනුෂ්‍ය වර්ගයාගේ ඉහලම ජයග‍්‍රහනය පමනක් නොව, සැබවින්ම ”විචාර බුද්ධියේ නීති” සමඟ එකඟ වන, තිබිය හැකි ආර්ථික සංවිධානයේ එකම ආකෘතිය හෝ ආගමික නැඹුරුවට අනුකූලව, සර්වබලධාරියාගේම දෘෂ්ටිය වන්නේය.

7. අර්බුදය ආරම්භවූ ක්ෂනික ඉක්බිත්තෙහි, ලංඩනයේ ආර්ථික විද්‍යා පාසැලේදී බි‍්‍රතාන්‍ය ආර්ථික විද්‍යාඥයින් කන්ඩායමකගෙන් බි‍්‍රතාන්‍යයේ එලිසබෙත් රැජින, ”ඔබලාගෙන් කිසිවෙකුත් මෙම අර්බුදය පැමිනෙන බව දැන නොසිටියේ මන්දැයි” ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කලාය. 2009 ගිම්හානයේ බි‍්‍රතාන්‍ය ආර්ථික විද්‍යා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෝ එයට පිලිතුරක් සම්පාදනය කිරීම සඳහා රැස්වූහ. ප‍්‍රශ්නය පිලිබඳව බොහෝ වෙහෙස මහන්සි වීමෙන් පසුව බකිංහැම් මාලිගාව වෙත යැවූ ඔවුන්ගේ ලිපිය පහත සඳහන් පරිදි අවසන් කෙරින. ”උත්තමාවියනි, සාරාංශ වශයෙන් අර්බුදයේ කාල වකවානු, පරිමාව හා බරපතලකම පෙර දැකීමට අපොහොසත්වීම හා අපගේ අවධානයෙන් එය බැහැර වීමට බොහෝ කාරනා තිබෙන අතර, සමස්තයක් වශයෙන් පද්ධතියට විය හැකි අනතුර වටහා ගැනීමට මෙරට හා ජාත්‍යන්තර වශයෙන් දීප්තිමත් බොහෝ දෙනෙකුගේ ඒකාබද්ධ කල්පනා මහිමය අසමත් වීම එයට හේතුවයි.”

මෙය වනාහි ධනේශ්වර ආර්ථික විද්‍යාවේ මහිමය පිලිබඳව එහි පතුලටම ගමන් ගන්නා විනාශකාරී පිලිගැනීමකි. ධනේශ්වර ක‍්‍රමය තුල, එහි පද්ධතියටම තර්ජනය කල හැකි ප‍්‍රතිවිරෝධයන් හෝ සන්තතීන් ඇත්තේ නැතැයි ධනේශ්වර අර්ථශාස්ත‍්‍රඥයින් ප‍්‍රාථමිකව පිලිගෙන සිටීම නිසා පද්ධතිමය අවදානමක් පිලිබඳව ගනන් බැලීම් කර නොමැත. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා විසින් ප‍්‍රසිද්ධියේම එය ඉතිහාසයේ අවසානය ලෙස නම් කිරීමට බොහෝ කලකට පෙර ධනේශ්වර අර්ථශාස්ත‍්‍රඥයෝ, මනුෂ්‍ය ස්වභාවය මත පදනම්වූ නිසාම, නිෂ්පාදන බලවේග හා පුද්ගලික ලාභය මත පදනම්වූ ධනේශ්වර වෙලඳපොල ආර්ථිකය, වියහැකි එකම තර්කානුකූල අර්ථ ක‍්‍රමය යයි නිගමනය කලහ.

8. දිගු කලක් පැවතියාවූ මෙම සංකල්පවලට අමතරව, වඩාත් ආසන්න ද්‍රව්‍යමය හේතුවක් ද පැවතියේය. ධනේශ්වර ආර්ථික න්‍යායට ගැලපෙන කාර්යක්ෂම වෙලඳපොල උපන්‍යාසය බඳු වඩාත් මෑත නව්යො‍‍ත්පාදනයන්, පසුගිය තිස් වසර පුරා ලෝක ධනේශ්වර ආර්ථිකය තුල ඒ සා පරිමාන භූමිකාවක් ඉටුකර තිබෙන මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා පිලිබඳ ප‍්‍රකාශනයක් විය. ඕනෑම දෙන ලද අවස්ථාවක පවත්නාවූ සියලු තොරතුරු ගැබ්කරගෙන ඇති හෙයින් කාර්යක්ෂම වෙලඳපොල උපන්‍යාසයට අනුව වෙලඳපොල හැම විටම නිවැරදි යයි සිතනු ලැබේ. මෙහි ප‍්‍රතිවිපාක වශයෙන් වෙලඳපොලට වඩා, අවශ්‍යයෙන්ම පාර්ශවීය හා සීමිත තොරතුරු මත පදනම්වූ නියාමනය කිරීමේ උත්සාහයක් අකාර්යක්ෂම යයි කිසිවෙකුට දැනගැනීමට ඉඩක් නැත.

එවැනි කුනු කසල ඉතා දීර්ග කාලයක් ”විද්‍යාවක්” ලෙස සේවයේ යොදවා තිබුනේ කුමක් නිසා ද? එය, නිශ්චිත මූල්‍ය අවශ්‍යතාවන්ට සේවය කල බැවිනි. මෑත වාර්තාවක සඳහන්වූ අන්දමට, ”කාර්යක්ෂම වෙලඳපොල උපන්‍යාසයෙන් තොරව, ප‍්‍රධාන මූල්‍යායතන යොදාගත් වානිජ්‍ය හා අවදානම් දැරීමේ අත්හදාබැලීම් කසල ගොඩට වැටීමට ඉඩ තිබුනි.” [2] අප දන්නා පරිදි බැංකු ආයෝජන සමාගම් හා ආරක්ෂක අරමුදල් මෙම අත්හදාබැලීම් කරමින් ඩොලර් බිලියන ගනන් උපයාගත් අතර, ඔවුන්ගේ විධායකයන්ට හා ඊනියා ආයෝජන මූලෝපායඥයන්ට සරුසාර පාරිතෝෂික ප‍්‍රදානය කලහ. ගෝලීය වෙලඳපොලේ සැබෑ තත්වය පිලිබඳ ඕනෑම අනතුරු ඇඟවීමක් ගොඩින්ම ඉවත දැමුනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ රගුරන් රාජන්, මෑතක පලකල ඔහුගේ පොතේ පෙරවදනෙහි, 2005 අගෝස්තු අවසානයේ ජැක්සන් හෝල් හි පැවති මධ්‍යම බැංකු කරුවන්ගේ රහසිගත හමුවකදී තමාට දැඩි විවේචන එල්ල වූ බව සිහිපත් කරයි. විශ‍්‍රාම ගිය එක්සත් ජනපද මහ බැංකුවේ සභාපති ඇලන් ග‍්‍රීන්ස්පෑන්, ”ඉතිහාසය තුල පහලවූ හොඳම බැංකුකරුවා නොවේ නම් ඉන් එකෙක් ද” යන්න සාකච්ඡාවේ තේමාව වූ තත්වය හමුවේ රාජන්, ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල් තුල වැඩෙන ගැටලු ගැන සඳහන් කිරීමේ පාපය සිදුකර තිබුනි.[3]

9. අපි මාක්ස්වාදී විධික‍්‍රමය මත පදනම් වෙමින් මෙම අර්බුදය විශ්ලේෂනය කිරීමට යොමු වෙමු. එවන් විශ්ලේෂනයක්, ධනේශ්වර ආර්ථික නීති හා එම නීති අතර අන්තර් ක‍්‍රියාකාරිත්වය යන මේ දෙක, ක‍්‍රියාත්මක වන්නේ හා නීර්නය වන්නේ ඓතිහාසික වර්ධනය තුලය යන අවබෝධය මත පදනම් විය යුතුය. ධනේශ්වර ක‍්‍රමය යටතේ, ”නිර්මානාත්මක වැනසීම” පිලිබඳ මතය නිසා මේ දිනවල ජනප‍්‍රියත්වයට පත්ව සිටින ධනපති අර්ථශාස්ත‍්‍රඥයෙකු වන ජෝසෆ් ෂුම්පිටර්, මාක්ස්වාදයේ සතුරෙකි. එහෙත් මාක්ස්ගේ විශ්ලේෂන විධික‍්‍රමය හා ඔහුගේ ජයග‍්‍රහන පිලිබඳව ඔහු විශාල වශයෙන් අගය කලේය. ඔහු මෙසේ ලිවීය. ”ඔහු (මාක්ස්) සැබවින්ම සාක්ෂාත් කරගත් ආර්ථික විද්‍යා ක‍්‍රමවේදය සඳහා මූලික වැදගත්කමක් දරන එක් දෙයක් ඇත. ආර්ථික විද්‍යාඥයෝ හැම විටම එක්කෝ තමන් විසින්ම ආර්ථික ඉතිහාසය තුල ක‍්‍රියාත්මක වූහ. නැතිනම් වෙනත් අයගේ ඓතිහාසික කෘති පරිශීලනය කලහ. එහෙත් ආර්ථික ඉතිහාසය පිලිබඳ පරිසිද්ධීන් වෙනත් අංශයකට භාර කලහ. ඔවුන් න්‍යාය ඇතුලත් කලානම් එසේ කලේ, හුදු නිදසුනක් ලෙස නැත්නම් ඇතැම් විට ප‍්‍රතිපල පිලිබඳ සත්‍යෙක්ෂනයක් ලෙසය. ඔවුන් ඒවා සම්මිශ‍්‍රනය කලේ යාන්ත‍්‍රිකවය. ඒ අනුව මාක්ස්ගේ සම්මිශ‍්‍රනය රසායනික සම්මිශ‍්‍රනයකි. එනම් ප‍්‍රතිපල ගෙනදුන් තර්කය තුලටම ඒවා අන්තර්ගත කලේය. ආර්ථික න්‍යායක් ඓතිහාසික විශ්ලේෂනයක් බවට හැරීමට ඉඩ තිබෙන්නේත්, ඓතිහාසික කථනයක් ඓතිහාසික හේතුවක් වීමට ඉඩ තිබෙන්නේත් කෙසේ දැයි ක‍්‍රමානුකූලව දැකීමට හා ඉගැන්වීමට උත්සාහ දැරූ ප‍්‍රමුඛ පෙලේ පලමු අර්ථශාස්ත‍්‍රඥයා ඔහු විය.” [4]

10. මාක්ස් දුටුවේ ධනවාදයේ ඓතිහාසික වර්ධනයේ ආරම්භය පමනි. ධනවාදයේ ඓතිහාසික වර්ධනයෙහි විශ්ලේෂනයක් වර්ධනය කිරීමේ දී, සියල්ලටත් වඩා වත්මන් බිඳ වැටීම තක්සේරු කිරීමේ දී තීරනාත්මක යයි ඔප්පු කෙරෙන සංකල්ප ලියොන් ට්‍රොට්ස්කි විසින් 1921දී හඳුන්වාදුන් අතර, ඓතිහාසික විශ්ලේෂනය පිලිබඳ මාක්ස්ගේ ක‍්‍රමවේදය ඉතා ගෞරවයෙන් යුක්තව ගැඹුරු කලේය.

විශ්ලේෂනයක් කිරීමේ දී ධනේශ්වර ක‍්‍රමයේ කෙටිකාලීන උච්චාවචන, එනම්, අර්බුද, උත්පාත, කඩා වැටීම්, අවපාත හා ප‍්‍රකෘතිමත් වීම්, හා ඒවා සිදුවන්නාවූ වර්ධනයේ දිගු කාලීන අවධීන් එකිනෙකින් වෙන්කර ගැනීම අවශ්‍ය වන්නේ යයි ට්‍රොට්ස්කි පැහැදිලි කලේය. පලමු ලෝක සංග‍්‍රාමයෙන් පසුව සියලුම ධනපති ආර්ථිකයන් ඇද වැටුන අවපාතය අවසානයේදී ආර්ථිකය සුවපත්වීමට පටන් ගෙන ඇති බව 1921 වන විට පැහැදිලි විය. එවක ධනපති අර්ථශාස්ත‍්‍රඥයින් දැඩි වෙහෙසක් දරා පවත්වාගෙන ගිය පරිදි මෙහි අර්ථය, මාක්ස්වාදීන් කියා සිටි ආකාරයට ධනවාදයේ බිඳවැටීම මනඃකල්පිත වාමාංශික හිතලුවක් වීය යන්න ද? ඔවුහු මෙසේ කීහ: බලන්න, ධනවාදය මියගියේ නැත. එය එහි ශක්‍යතාව ඔප්පුකර ඇත. සමාජවාදය සඳහා, ඓතිහාසික සුජාතභාවයක් ඇත්තේ නැත. 1917 ඔක්තෝබර් විප්ලවය වැදගැම්මකට නැත. මේ ප‍්‍රකාශ අපි තවදුරටත් විමසා බලමු.

11. ට්‍රොට්ස්කි සිය විශ්ලේෂනය වර්ධනය කරන ලද්දේ, මෙකී සංකල්පවලට මෙන්ම, 1914 බිඳවැටීමෙන් පසුව ධනවාදය, පතුලක් නොදකින ආගාධයකට ලුහුටා යෑමට නියමිතව ඇතැයි කියා සිටි අති වාම නිර්වචන වලට ද එරෙහිවය. වම්මුන්ගේ තක්සේරුවට ප‍්‍රති විරුද්ධව ට්‍රොට්ස්කි, ඉහල නැඟීමේ පැහැදිලි සංඥා පැවති බව ද ඒවා ශක්තිමත් වනු ඇති බව ද පෙන්වා දුන්නේය. එහෙත් ධනවාදයේ ඓතිහාසික ශක්‍යතාව ඔහු ප‍්‍රතික්ෂේප කලේය. ධනේශ්වරය සජීවී බවත්, පුද්ගලයෙකු ඔහුගේ අවසන් මොහොත දක්වාම හුස්ම ගන්නාක් මෙන් එය ද හුස්ම ගන්නා බවත්, ඔහු පෙන්වා දුන්නේය. තවම ධනවාදය ජීවතුන් අතර සිටින නමුත් පලමුවෙනි ලෝක යුද්ධයට පූර්වයෙන් පෙරට ගිය ධනවාදයේ ප‍්‍රසාරන අවධිය කරා යලි අපසු පැමිනීමක් සිදු නොවන අතර, සැබවින්ම, ඕනෑම උත්පාතයක් ඉක්මනින්ම, නව හා වඩා ගැඹුරු ආර්ථික අර්බුදයකට කොන්දේසි නිර්මානය කරන බවත් ඔහු පැවසීය.

ඊලඟ කාල පරිච්ඡේදය මේ විශ්ලේෂනය සනාථ කලේය. ධනවාදය වේගවත් වර්ධනයක් අත්විඳීම කෙසේ වෙතත් එය, යුද පූර්ව අවධියේ පැවති මට්ටමට පවා ලඟා වූයේ 1925-26 වසරවන විට පමනි. එපමනක් නොව, යන්තම් තෙවසරකට පසුව 1929දී වෝල් වීදියේ බිඳ වැටීම මහා අවපාතයේ ආරම්භය සලකුනු කලේය.

12. ධනවාදී වර්ධනයේ වක‍්‍රය ලෙස ට්‍රොට්ස්කි හැඳින්වූ වක‍්‍රයේ නව ඉහලට පැද්දීමක් ශක්‍ය වී ද? ට්‍රොට්ස්කි එය මඟහැරියේ නැත. ඒ වෙනුවට ඔහු පැහැදිලි කලේ, එසේ විය හැක්කේ විශේෂ තත්වයන් යටතේ පමනක් බව අවධාරනය කරමිනි.

”අප එයට ඉඩ හැරියොත්, - අපි මොහොතකට එයට ඉඩ හරිමු - කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයේදී නැඟී සිීටීමට අසමත්ව හා අවුරුදු ගනනාවකට, ධනේශ්වරයට ලෝකයේ ඉරනම පාලනය කිරීමට දශක දෙක තුනක් යයි කියමු, ඉඩ හරින්නේ නම්, සහතිකෙන්ම යම් ආකාරයක නව සමතුලිතයක් ස්ථාපිත කරනු ඇත. යුරෝපය ප‍්‍රචන්ඩ ආකාරයකට පසුපස ගියරයට ඇද දමනු ඇත. යුරෝපීය කම්කරුවන් මිලියන ගනනක් විරැකියාවෙන් හා මන්දපෝෂනයෙන් මිය යනු ඇත. එක්සත් ජනපදයට ලෝක වෙලඳපොල තුල තෙමේම යලි දිශානුගත වීමට හා සිය කර්මාන්ත ප‍්‍රතිවර්තනය කිරීමට ද සැලකිය යුතු කාලයකට සීමා කිරීම් වලින් පීඩාවිඳීමට ද බලකෙරෙනු ඇත. ඉන් පසුව, අවුරුදු 15ක, 20ක හෝ 25ක මරලතෝනිය තුල, නව ලෝක ශ‍්‍රම විභජනය මෙලෙස ස්ථාපනය කලාට පසුව ධනේශ්වර ඉහල නැඟීමක නව යුගයක් සමහරවිට සහතික කෙරෙනු ඇත.” [5]

ඊලඟ 25 වසරක ගමන් මගේදී අකුරටම සනාථ කෙරුනු මෙම අසාමාන්‍ය විශ්ලේෂනය ප‍්‍රස්ථාරගත කෙරුනේ 1921 වසරේදීය. මිලියන ගනනකගේ රුධිරය හා ඇටකටු මත නව ධනේශ්වර ඉහල නැඟීමක් සක්ෂාත් විය. කෙසේ වෙතත් මට ඔබගේ අවධානය යොමුකල යුතු ප‍්‍රධාන කාරනය ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයේ විනිවිදභාවය නොව, එය පදනම් කල ක‍්‍රමවේදයයි.

ධනේශ්වර වර්ධනයේ විවිධ අවධීන් පිලිබඳ සංඥානනය ලබාගත් එකම පුද්ගලයා ට්‍රොට්ස්කි පමනක් නොවීය. ආර්ථිකය පිලිබඳ දැනුවත් ඕනෑම පුද්ගලයෙකුට ඒවා පැහැදිලිව තිබුනි. 1851 සිට 1873 දක්වා පැවති මහා වික්ටෝරියානු උත්පාතය, එය පසු පසින් පැමිනි 1873-1896 මහා අවපාතයට වඩා බෙහෙවින් වෙනස් විය. අනෙක් අතට එය 19 වන සියවසේ පලමු දශකයේ ඇතිවූ ධනේශ්වර ප‍්‍රසාරනයට වඩා වෙනස් විය.

මෙම අවධි ට්‍රොට්ස්කි සිය විශ්ලේෂනය ඇරඹූ තැන් පටන් ද අඛන්ඩව ඉදිරියට ගොස් තිබේ. අන්තර් යුද්ධ අවධිය පශ්චාත් යුද කාලයට වඩා වෙනස් විය. අනෙක් අතට පශ්චාත් යුද්ධ උත්පාතය 1970 සිට 1980 දක්වා අවධියට වඩා වෙනස්ය. එමෙන්ම 1990 සිට 2008 දක්වා වකවානුව, ධනේශ්වර වර්ධනයේ නව අවධියක් සලකුනු කලේය.

පිලිතුරු දිය යුතු ප‍්‍රශ්නය මෙම අවධීන්ගේ පැවැත්ම නොව ඒවා නැඟී ආවේ කුමන තත්වයන් යටතේ ද යන්නයි.

වර්ධනයේ දිගුකාලීන අවධීන් ධනවාදයේම ආර්ථික ක‍්‍රියාදාමයන් විසින් නීර්නය කරන ලද පරිදි, ව්‍යාපාරික චක‍්‍රයන්ගේ කෙටිකාලීන උච්චාවචනයන් ද එය විසින්ම තීන්දු කරනු ලබන්නේය යන මතය දැරූ රුසියානු අර්ථශාස්ත‍්‍රඥ කොන්ඩ‍්‍රාටියෙව්ගේ න්‍යායන්ට ප‍්‍රතිපක්ෂව ට්‍රොට්ස්කි ඔහුගේ විශ්ලේශනය වර්ධනය කලේය. කෙසේ වෙතත් ට්‍රොට්ස්කි, ධනේශ්වර ඉල්පීමක් වැඩී ඒමට සම්බන්ධ ස්වයංක‍්‍රීය භාවයක් ඇත්තේ නැතැයි ද ඒවා ”ධනේශ්වර වර්ධනය ගලායන ඇල මංවල බාහිර තත්වයන් විසින් නීර්නය වන්නේ යයි” ද අවධාරනය කලේය. ට්‍රොට්ස්කිගේ මරනයෙන් පසුව ගතවූ වසර 70ක කාලය තුල සිදුවූ ධනවාදයේ ඓතිහාසික ගමන් මගෙහි දී මෙම විශ්ලේෂනය සනාථ වී ඇත.

13. 1940 ගනන් වලින් ආරම්භ වූ පශ්චාත් යුද්ධ උත්පාතය, ආර්ථික ක‍්‍රියාවලිය තුල ස්වයංකී‍්‍රව ක‍්‍රියාත්මක වෙමින් පැනනැංගේ නැත. සියල්ලටම පෙර එම හැකියාව ඇති කලේ, දෙවන ලෝක යුද්ධාවසානයේ හා එහි ක්ෂනික ඉක්බිත්තේ පැන නැඟුනු කම්කරු පන්තියේ නැගිටීම්, එහි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ස්ටැලින්වාදී නායකයන් විසින් පාවාදීම තුලිනි. නාසීන් සමඟ ඔවුන් පැවැත්වූ සහයෝගීතාවය නිසා අඩුම තරමින් යුරෝපා මහාද්වීපය තුලවත් දැඩි ලෙස අපකීර්තියට පත් මෙම පාවාදීම්, ධනේශ්වර පර්යායේ දේශපාලන පුනස්ථාපනය ශක්‍ය කල අතර, එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍ය යටතේ ලෝක ආර්ථිකයේ පුනර්ජීවනයක් සඳහා පූර්ව කොන්දේසිය විය. මෙම ප‍්‍රතිව්‍යුහකරනය මඟින්, වඩාත් පලදායි හා තාක්ෂනිකව දියුනු ඇමරිකානු නිෂ්පාදන ක‍්‍රම අනෙකුත් ප‍්‍රධාන දියුනු රටවල් කරා ව්‍යාප්ත කිරීමට පහසුකම් සැලසූ අතර ඒ මඟින් ලාභානුපාතිකය ඉහල නැංවීය. පශ්චාත් යුද්ධ උත්පාතයේ පදනම මෙය විය.

14. යුද්ධය අවසන්වීමෙන් පසුව ගෙවී ගිය 25 වසර තුල, ලෝක ධනේශ්වර ආර්ථිකය නොසිතූ විරූ වර්ධනයක් හා ආර්ථික ස්ථාවරත්වයක් අත්දුටුවේය. එහෙත් 20 වන සියවසේ ප‍්‍රථම භාගයේ පුපුරා ගිය ප‍්‍රතිවිරෝධයන් ජයගෙන තිබුනේ නැත. විසඳා ඇතැයි පෙනෙන්නට තිබුනු ලාභානුපාතිකය වැටීමේ ප‍්‍රවනතාවය 1960 ගනන් මැද භාගයෙන් පසුව යලි හිස එසවීය.

පශ්චාත් යුද්ධ ජාත්‍යන්තර මූල්‍ය සැකැස්මේ කේන්ද්‍රය තුල ආතතීන් ඒකරාශී වෙමින් තිබුනි. 1944 බ්‍රෙට්න්වුඩ්ස් සම්මුතිය යටතේ ප‍්‍රධාන මුදල් වර්ග එකිනෙකක් අතර මෙන්ම ඩොලරයට ද සම්බන්ධ කලේය. ඒ අනුව ඇමරිකානු ඩොලර් 35ක් රත්රන් අවුන්සයකට සමාන කර ඩොලරය රන් වලට ගැටගසනු ලැබිනි. මෙම අනුපාතයට අනුව රන් වලට ඇමරිකානු ඩොලර් හුවමාරු කල හැකි විය. මෙම එකඟත්වය යටතේ ඇමරිකානු ඩොලරය, සමස්ත වශයෙන් ලෝක ධනවාදයේ ව්‍යාප්තියට තීරනාත්මක වූ අතර 1930 දශකය තුල මුලුමනින්ම පාහේ බිඳවැටී තිබුනු වෙලඳාමේ හා ආයෝජනයේ පුනර්ජීවනයට පහසුකම් සලසමින් සඵල ලෙස දායක විය.

කෙසේ වෙතත් ඇමරිකානු ඩොලරය ලෝක මුදල ලෙස භාවිතා වන අතරම ජාතික රාජ්‍යයේ විනිමය ලෙස ද පැවතුනි. එහි ද්විත්ව භාවිතයේ ප‍්‍රතිවිරෝධයන් 1950 ගනන් පසුභාගයේ පටන් ඉස්මතු වන්නට පටන් ගත්තේය. ජාත්‍යන්තර වෙලඳාමේ හා ආයෝජනයේ වර්ධනයට අවශ්‍ය ජාත්‍යන්තර ද්‍රවශීලතාවය සැපයීමට ඩොලරය පිටතට ගලායාමක් අවශ්‍ය විය. ඒ අතර, අවශේෂ ලෝකයේ රටවල් තුල සංසරනය වූ ඩොලර් ප‍්‍රමානය වැඩිවෙත්ම, ඒවා රත්රන් වලට හුවමාරු කිරීම සඳහා වැඩි වැඩියෙන් අවශ්‍යවූ කැපවීම තවදුරත් ඉටුකල නොහැකි විය. මෙම ප‍්‍රතිවිරෝධයට මුහුන දුන් ජනාධිපති රිචඩ් නික්සන් 1971 අගෝස්තු 15දා මෙම දුෂ්කර බන්ධනය කපා හැර ඩොලර් හා රත්රන් අතර සම්බන්ධය අවසන් කලේය.

15. 1971-73 අතර බ්‍රෙට්න්වුඞ්ස් පද්ධතියේ කඩාවැටීමත්, 1974-75 අතර ගෝලීය අවධමනයේ මතුවීමත් සමඟ පශ්චාත් යුද්ධ උත්පාතයෙහි අවසානය ලඟාවිය. මෙය 1930 ගනන් පසුකල අවපාතයට පසුව පැමිනි ගැඹුරුම කඩාවැටීම වූ අතර එය ක‍්‍රමයෙන් පහව ගිය ද. පශ්චාත් යුද්ධ උත්පාත තත්වය යලි පැමිනියේ නැත. ඊට පටහැනිව ඒවා ඇනහිටුවමින් ඉල්ලුමේ හෝ සේවා නියුක්තියේ අනුරූපී වැඩිවීමකින් තොර උද්ධමනයේ (stagflation) සංසිද්ධියට මඟ පෑදීය. එනම්, උද්ධමනයේ වාර්තාගත මට්ටම් හා බැඳුනු නොකඩවා ඉහල නඟින විරැකියාවයි.

වත්මන් අර්බුදය, පසුගිය 30 වසර තුල පැවති ”නිදහස් වෙලඳපොල” ප‍්‍රවාදයේ ව්‍යසනකාරී ප‍්‍රතික්ෂේපය ලෙස පවතින්නාක් මෙන්ම, පශ්චාත් යුද්ධ උත්පාතයේ බිඳවැටීම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 25 වසර තුල ප‍්‍රමුඛත්වය දැරූ කේනීසියානු ප‍්‍රවාදය ද ඒ හා සමානවම විනාශකාරී ලෙස ප‍්‍රතික්ෂේප කිරීමකි.

මෙම ප‍්‍රවාදයන්ට අනුව, ආර්ථිකය තුල රාජ්‍යයේ මැදිහත්වීම මඟින්, 1930 ගනන් වලින් පසුව වර්ධනයවූ තත්වය නැවත මතුවීම වලක්වාගත හැකි විය. 1969දී එවකට එක්සත් ජනපදයේ ජනාධිපති, නික්සන් ”දැන් අපි සියල්ලන්ම කේන්සියානුන් වන්නෙමු” යයි පවසා තිබුනි. එහෙත් 1970 ගනන් මැද භාගයේ පැනනැඟි අර්බුදය හමුවේ කේන්සියානු ප‍්‍රතිකර්ම යොදාගැනීමෙන් සිදුවූයේ තත්වය තව දුරටත් අසාධ්‍ය වීම පමනි. ධනේශ්වර ක‍්‍රමය කෙසේ හෝ රජයේ කාලෝචිත මැදිහත්වීමකින් වලක්වා ගත හැකිය යන ධර්මතාව දැදුරුවී ගියේය. තමන්ගේ ප‍්‍රතිපත්ති වෙත යලි හැරුනේ නම් අඩු වශයෙන් ධනවාදයේ අධි ධාරිතාවය හෝ නැවැත්විය හැකි යයි අවධාරනය කරමින් කේන්සියානුවෝ, පසුගිය වසර 30 තුල ”නිදහස් වෙලඳපොල” වෙනුවෙන් පෙනී සිටියවුන් හෙලා දුටුවෝය. එහෙත් ඔවුන් කිසි දා සරල ප‍්‍රශ්නයට පිලිතුරු දීමට සමත්වී නැත. නැගෙන වඩදිය සියලු බෝට්ටු ඉහලට ඔසවන කල සියල්ලන්ටම වාසි සැලසෙන කාලයක් උදාවන්නේය යන ආකාරයට කේන්සියානු ප‍්‍රතිකර්ම, ඉතිහාසය තුල ධනවාදයේ සුවිශාලතම ප‍්‍රසාරනයේ වගකීම දරන්නේ නම් එහි බිඳවැටීම වැලැක්වීමට ඔවුන්ට නොහැකිවූයේ මන් ද?

16. හැමදාම කර ඇති ආකාරයට ධනවාදය, 1970 ගනන්වල අර්බුදයට ද ප‍්‍රතිචාර දැක්වීය. පුලුල්වූ සමුච්ඡයකරනයේ ප‍්‍රසාරනය යලි පිහිටුවා ගැනීමටත්, පොලී අනුපාතිකය පහත වැටීම ජයගැනීමටත් දරන උත්සාහය එල්ල කරගෙන ඔවුහු, ආර්ථික හා සමාජ සම්බන්ධතාවන්ගේ දැවැන්ත ප‍්‍රතිව්‍යුහකරනයකට අත ගැසූහ. එහෙත් මෙම වර්ධනය තුල ස්වයංක‍්‍රීයවූ හෝ පූර්න නියාම කිසිවක් තිබුනේ නැත. 1979-80 කාලයෙන් ඔබ්බට ධනේශ්වරයට සෑදලය අරා සිටීමටත්, මෙම ක‍්‍රියාවලිය ඇරඹීමටත් හැකි වූයේ 1968-75 අවධියේ කම්කරු පන්තියේ නැඟිටීම් පාවාදීම තුලින් ඔවුන් පාලනයේ වඩා හිඳුවා තිබූ බැවින් පමනි.

17. රීගන් හා තැචර් බලයට පත්වීම සමඟ දල වශයෙන් කාල වකවානු සඳහන් කල හැකි ආර්ථික ප‍්‍රති ව්‍යුහකරනය, පශ්චාත් යුද්ධ උත්පාතයේ හරි මැද පිහිටා තිබුන කර්මාන්ත විනාශ කිරීම හා බැඳී තිබුනි. මෙහිදී මූල්‍ය ප‍්‍රාග්ධනය ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය. කෙසේ නමුත් මේ අවධියේ සිදුවූ මූල්‍යයේ නැඟීම, සරලවම ආයෝජනය සඳහා ලාභදායී අවස්ථාවන් හිඟවීමේ ප‍්‍රතිපලයක් ලෙස දැකීම සාවද්‍යය. සැබවින්ම මාක්ස් සඳහන් කල පරිදි රැවටිල්ලේ ද රැවටිල්ල ප‍්‍රවර්ධනය කිරීමේ ද අවස්ථා විරල නොවූ නමුත් මෙය පිටුපස, පහත වැටෙන සාමාන්‍යයට ඉහලින් තනි සමාගම්වල මෙන්ම සංගත වල ද ලාභ රේට්ටුව නැංවීම සඳහා නව නිෂ්පාදන ශිල්පි ක‍්‍රම හා නව තාක්ෂනය වර්ධනය කිරීමට උත්සාහ දරන ප‍්‍රාග්ධනයේ තල්ලුව පැවතියේය.

පොදුවේ ප‍්‍රාග්ධනයේ නියෝජිතයා ලෙස මූල්‍ය ප‍්‍රාග්ධනය, ධනේශ්වර කර්මාන්ත ප‍්‍රතිසංවිධානය කිරීමේ දී අතිශයින්ම ක‍්‍රියාකාරී භූමිකාවක් ඉටු කලේය. එය, ඒකාබද්ධය හා අත්පත්කර ගැනීම් තුලින්, නිෂ්පාදන ක‍්‍රියාවලිය තුල නව තාක්ෂනය හඳුන්වා දෙමින් ද වියදම් කප්පාදු කිරීමෙන් ද එහි වර්ධනය සඳහා බලය යෙදීය. ඒ ආකාරයට නිෂ්පාදනය විසුරුවා හැරීමෙන් ද සැලසුම්කරනය වෙනත් තැන්වලට මාරුකර යැවීමෙන් ද නිෂ්පාදනයේ භූගෝලීකරනය ලෙසින් අප දන්නා ක‍්‍රියාවලිය සඳහා මූලිකත්වය ගත්තේය.

1980 ගනන්වල ආරම්භ කල මෙම ප‍්‍රතිකර්ම තුලින් හා ඒවායින්ම පමනක් ධනේශ්වර ඉහල නැඟීමේ නව අවධියකට මුල පිරීමට ඔවුන් සමත් වූයේ නැත. එවැන්නක් ඇති වීමට නම්, ධනේශ්වර නිෂ්පාදනයේ වර්ධනය තුලම බාහිර කොන්දේසිවල ඉමහත් වෙනසක් සිදුකල යුතුව තිබුනි. එනම් ආර්ථික භූ ලක්ෂනයේම වෙනසකි.

18. සෝවියට් සංගමය විසුරුවා හැරීම හා චීනය භූගෝලීය වෙලඳපොලට ඒකාබද්ධ කිරීම ද එහි ප‍්‍රති විපාක වශයෙන් වඩාත් පසුගාමි රටවල, සියල්ලටත් වඩා ඉන්දියාවේ, ජාතික ආර්ථික සැලසුම් අතහැර දැමීම හා ”නිදහස් වෙලඳපොල” හඳුන්වා දීමත් සමඟ මෙහි සම්ප‍්‍රාප්තිය සිදු විය.

මෙ වෙනස්කම් ලෝක ධනවාදී ආර්ථික ව්‍යුහයේ දැවැන්ත මාරුවක් ඇති කලේය. දියුනු ධනේශ්වර රටවල සිය සහකරුවන්ගේ වැටුපට බෙහෙවින් පහල වැටුපක් මත ප‍්‍රාග්ධනයට මිලට ගතහැකිවූ බිලියන දෙකක පමන ශ‍්‍රමිකයන් සංඛ්‍යාවක් භූගෝලීය ශ‍්‍රම වෙලඳපොලට එකතු විය. ධනේශ්වර ආර්ථිකයේ රුධිරවාහිනී වලට නැවුම් ලේ එන්නත් කරන ලද අතර, මෙය 1990න් පටන් ගන්නා ධනේශ්වර ඉහල නැඟීමේ නව අවධියකට කොන්දේසි නිර්මානය කලේය.

(සෝවියට් සංගමය පෙරලා දැමුවේ නම් හා චීනය යටත් කර ගත්තේ නම් ඇතිවියහැකි මෙවන් තත්වයක් පිලිබඳව ට්‍රොට්ස්කි 1920 ගනන් වල සිය අවධානය යොමුකර තිබුනි. ට්‍රොට්ස්කි සැලකිලිමත්වූ පරිදි ඒකාබද්ධය සිදු නොවූ නමුත්, ඔහු මතුකල තර්කය අවලංඟු වූයේ නොවේ.)

19. කෙසේ නමුත් 1990 ගනන්වල ඇරඹුනු ධනේශ්වර ඉහල නැඟීම, ඊට පෙර එය පසුකර ආ කිසිවකට සමාන නොවීය. දෙවන ලෝක යුද්ධය පසුපස ආ ඉහල නැඟීම, වඩාත් පලදායී ඇමරිකානු කාර්මික ශිල්පික‍්‍රම අවශේෂ ලෝකයට පැතිර යාම මත, සියල්ලටත් වඩා සෙසූ දියුනු ධනපති රටවලට පැතිරීම මත, පදනම් විය. උත්පාතයේ පදනම වූ ලාභ රේට්ටුවේ වැඩිවීම, ප‍්‍රධාන ධනපති රටවල නිෂ්පාදන කර්මාන්තයේ ශ‍්‍රම පලදායිත්වය වැඩිවීමේ ප‍්‍රතිපලය විය.

1990 ගනන් වලදී, දියුනු ධනේශ්වර රටවල ප‍්‍රමුඛ සමාගම්, වටිනාකම් ක‍්‍රියාවලිය තුල ඉතා වෙනස් භූමිකාවක් ඉටුකල අතර, සමුච්චයකරනයේ නව හැඩගැසීමක් වර්ධනය කෙරුනි. ඔවුහු නව නිෂ්පාදන සැලසුම්කරනය හා නිෂ්පාදන ක‍්‍රියාවලිය ආරම්භයේදී තාක්ෂනික නවෝත්පාදනයන් හඳුන්වාදීම සිදු කරමින් අවසානයේදී බිහිවන නිෂ්පාදිතය වෙලඳපොලවලට බෙදාහැරීම සංවිධානය කලහ. එහෙත් නිෂ්පාදන ක‍්‍රියාවලිය ගෙනයනු ලැබුනේ ලාභ ශ‍්‍රම කලාපවල විවිධ සමාගම් විසිනි. ඒවායින් සමහරක් දැන් ප‍්‍රමානයෙන් ඉමහත් ලෙස ප‍්‍රසාරනය වී ඇත. අඩුම තරමින් කම්කරුවන් 11 දෙනෙකුවත් සියදිවි නසාගැනීම නිසා මෑතදී ප‍්‍රවෘත්ති අතරට එක්වූ චීන සමාගමක් වන ෆොක්ස්කොන්හි 920,000 කට අධික ශ‍්‍රම බලකායක් සිටිති. ඔවුහු අයිෆෝන්, ප්ලේස්ටේෂන්, ඩෙල් කොම්පියුටර් නිපදවති. විධායකයින් අතර කියවෙන විහිලුවක් ඇත. එනම්, තවත් අවුරුදු විස්සක දී ලෝකයේ පවතිනු ඇත්තේ සමාගම් දෙකකි. ෆොක්ස්කොන් හැම දෙයක්ම නිපදවනු ඇත. වැල් මාර්ට් විසින් විකුනනු ඇත. යනුවෙනි.

මෙම විහිලුවේ යම් සත්‍යයක් තිබේ. පසුගිය විසිපස් වසර තුල ගෝලීය ප‍්‍රතිව්‍යුහකරනයේ ප‍්‍රතිපල වශයෙන් ඇතිව තිබෙන, ලාභ සමුච්චයකරනයේ පරිපූර්න නව රටාවක් එමඟින් පෙන්නුම් කරයි. පිලිතුරු දීමට ඇති ප‍්‍රශ්නය වන්නේ, මෙය, දැන් සිදුවෙමින් ඇති බිඳවැටීමට තුඩු දුන්නේ කෙසේ ද යන්නයි.

20. ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමයේ ගාමක බලය වන්නේ කම්කරු පන්තිය වෙතින් අතිරික්ත වටිනාකම් සූරා ගැනීමයි. එහෙත් එන්ට එන්ටම ප‍්‍රධාන සමාගම්, අතිරික්ත වටිනාකම් උපුටා ගැනීමේ යෙදී සිටින්නේ ඒ ආකාරයට නොවේ. ඒ වෙනුවට ඔවුන්, වෙනත් තැනක දී උපුටා ගත් අතිරික්ත වටිනාකම් අත්පත්කර ගැනීමේ යෙදී සිටියි. ඩොලර් 400ක සිල්ලර මිලකට විකිනෙන ගිගා බයිට් 64 අයිපොඞ් ටච් ගැන සිතා බලන්න. මෙහිදී ෆොක්ස්කොන් කම්කරුවන්ගේ ශ‍්‍රමයෙන් එකතු කෙරෙන්නේ ඩොලර් 13ක් පමනි. මෘදුකාංග වැඩ සටහන් හා නව තාක්ෂනය වර්ධනය කිරීම සඳහා විශාල පිරිවැයක් දරනු ලබයි. එහෙත් මෙම පිරිවැය, ඒකක මිලියන ගනනක් මත බෙදී යන බැවින් අවසාන මිලෙහි ගැබ්වන්නේ අල්ප වටිනාකමක් පමනි. එම කටයුත්තම සඳහා එක්සත් ජනපදයේදී ගෙවන වැටුපෙන් 20න් එකක් හෝ 30න් එකක් වන චීනයේ වැටුප් හේතුවෙන් නිෂ්පාදන ක‍්‍රියාවලියේදී අති විශාල අතිරික්ත වටිනාකමක් සූරාගනු ලබයි. එම වටිනාකමෙන් ලොකු පංගුවක් එහි සැබෑ නිෂ්පාදකයාට හිමිවන්නේ නැත. ඇපල් මවු සමාගමට, නිෂ්පාදන වර්ගයට නීතිමය ආරක්ෂාව සලසන නීති සමාගම්වලට, නිෂ්පාදනය බෙදාහරින වෙලඳ සංකීර්නවලට හා සිල්ලර වෙලඳසැල් වලට හා එය ප‍්‍රචාරය කරන ප‍්‍රචාරක සමාගම්වලට යනාදි වශයෙන් එම වටිනාකම බෙදා හැරෙයි. මෙය, හෙන්රි ෆෝඩ් විසින් වර්ධනය කරන ලද ලාභ සමුච්චයකරනයේ රටාවට බෙහෙවින් වෙනස් වූවකි.

21. සමුච්චයකරනයේ මෙම රටාව මූල්‍යකරනයේ නොකඩවා සිදුවන නැඟීම තුල ප‍්‍රකාශිතය. එනම් ලාභ සමුච්චනය සෘජු ලෙස අතිරික්ත වටිනාකම් සූරාකෑම තුලින් නොව, මූල්‍ය ක‍්‍රියාකාරිත්වය තුලින් සිදුවීම ය. එක් අවධියක දී ලෝකයේ විශාලතම කාර්මික සමාගම වූ ජෙනරල් මෝටර්ස් ඊට නිදසුනකි. එය බංකොලොත්වීමට හා එහි ප‍්‍රතිව්‍යුහකරනයට පෙර සමාගමේ මූල්‍ය හස්තය වූ ජීඑම්ඒසී අංශය, නිෂ්පාදන අංශයට වඩා ඉහල ලාභ උල්පතක් විය. මේ පදනම මත මූල්‍ය හස්තයක් සහිත කාර්මික සමාගමක් වූ ජෙනරල් මෝටර්ස්, කාර්මික හස්තයක් සහිත මූල්‍ය සමාගමක් වී යයි තර්ක කල හැක.

22. මූල්‍යකරනයේ පරිමාව සංඛ්‍යා ලේඛන මාලාවක් තුල දැකිය හැක. වසර 30 පමන පෙර එක්සත් ජනපදයේ මූල්‍ය සංගතවල ලාභය සමස්ත ව්‍යාපාරික ලාභයෙන් සියයට 10කට වඩා අඩුවූ අතර 2007 වන විට එය සියයට 40 දක්වා වර්ධනය වී ඇත.

1980 දී ගෝලීය දදේනි ඩොලර් ටි‍්‍රලියන 10ක් වූ අතර ගෝලීය මූල්‍ය වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 12ක් විය. 2007 මූල්‍ය උත්පාතයේ ඉහලම අවස්ථාවේදී ඩොලර් ටි‍්‍රලියන 55ක් වූ ගෝලීය දදේනි හා සසඳන කල ගෝලීය මූල්‍ය වත්කම් ටි‍්‍රලියන 196ක් විය. එනම් ශතවර්ෂ කාලක අවකාශය තුලදී දදේනි සියයට 100ක් පමන වූ මූල්‍ය වත්කම් සියයට 350කටත් වඩා ඉහල ගිය බවයි. වෙනත් වචන වලින් කිවහොත්, 1980-2007 අතර වකවානුව තුල මූල්‍ය වත්කම් ගෝලීය දදේනි මෙන් හතර ගුනයක වේගයකින් ඉහල ගොස් තිබේ.

23. මූල්‍ය වත්කම් නියෝජනය කරන්නේ කුමක් දැයි සලකා බලන විට මෙම දැවැන්ත අසමානත්වයේ වැදගත්කම පැහැදිලි වේ. සමාගමක කොටසක් යනු සමාගම උපයන ලාභයට හිමිකම්පාන දේපල වර්ගයකි. ඒ හැටියට ගත්කල ඒවා සැබෑ ධනයක් නොවන නමුත් ධනයට හිමිකම් පාන දේපලකි. එසේම සංගතයක් විසින් හෝ ආන්ඩුව විසින් නිකුත් කලත් එය බැඳුම්කරයකි. මෙම දේපල ඔප්පු විකිනිය හැකි අතර, එවන් වෙලඳාමක් ලාභයේ මූලාශ‍්‍රයක් විය හැකිය. මෙය, නිෂ්පාදන ක‍්‍රියාදාමයක මැදිහත්වීමේ අවශ්‍යතවකින් තොරව, මුදල්වලට සරලව මුදල් ඉපැයිය හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරයි. එය ධනේශ්වර දිව්‍යලෝකයක් වැනි දෙයකි. අවසාන විග‍්‍රහයේදී මූල්‍ය වත්කම්වලට, ඒවායේ මහපොලොවට ඇති මුල් වලින් ගැලවීගත නොහැකිය. ඒවා සැබෑ ධනයේ හිමිකම් නියෝජනය කරයි.

මෙම සංඛ්‍යා පෙන්නුම් කරන්නේ, මෙම හිමිකම් පෑම දැන් ඒවායේ සැබෑ පදනම බෙහෙවින් ඉක්මවා ගොස් ඇති බවයි. මෙය සිදුවූයේ කෙසේ ද? මූල්‍ය ප‍්‍රාග්ධනයට කිසියම් කාලයක් තුල දේශපාලන අර්ථශාස්ත‍්‍රයේ නීති නොතකා කටයුතු කල හැකිවී යයි පෙනෙන්නට ඇත. එහෙත් කාලයකට පමනි. අවසානයේ දී එම නියාමයන් තෙමේම ක‍්‍රියාත්මක වන්නේ, මාක්ස් පැහැදිලි කල පරිදි, අපේ ඇස් පනාපිට ගෙයක් කඩා වැටෙන විට ගුරුත්වාකර්ෂන නියාමය එය විසින් ම තහවුරු කර ගන්නා ආකාරයෙනි. ඒ අර්බුදයක රූපාකාරයෙනි.

24. මහ බැංකු විසින් මූල්‍ය පද්ධතිය තුලට මුදල් පොම්ප කරද්දී, මූල්‍ය ප‍්‍රාග්ධනය අඛන්ඩව වැඩෙමින් වඩ වඩාත් ඉහල ලාභ හිමිකර ගත්තේය. එහෙත් ෆෙඩරල් මහ බැංකුවේ සභාපති බර්නාන්කේ එය හැඳින්වූ ආකාරයට මෙම මහා මධ්‍යස්ථභාවය, එනම්, පහල පොලී අනුපාත හා පහල උද්ධමනයේ අර්ථය වන්නේ, අවදානම් වත්කම් මත හිමිකරගන්නා ප‍්‍රතිලාභ එනම්, ප‍්‍රතිලබ්ධි අනුපාතය පහත වැටීමයි. නියමිත ප‍්‍රතිලබ්ධි අනුපාතය පවත්වා ගැනීම සඳහා අවදානම් වැඩි වත්කම් නිර්මානය කල යුතුව තිබුනි. මෙම සමස්ත ක‍්‍රියාවලියම අවමුඛ උකස් වෙලඳපොල බිඳවැටීමෙන් අවසන් විය. මූල්‍ය පද්ධතිය තුලට නොකඩවා ද්‍රවශීලතාව එන්නත් කිරීම නිසා නිවාස මිල නොකඩවා එක දිගට ඉහල යනු ඇතැයි යන උපකල්පනය මත අවදානම නොතකා අවමුඛ නය නිකුත්කරන ලදී. එක්සත් ජනපදයේ නිවාස වෙලඳපොල බිඳ වැටීම ඇරඹුනු කල අවමුඛ බුබුල පුපුරා ගියේය. එක්සත් ජනපදය හා පසුව ගෝලීය මූල්‍ය පද්ධතිය හරහා එකක් පසුපස එකක් වශයෙන් ප‍්‍රතික‍්‍රියා මාලාවක් ඇති විය. අවමුඛ අර්බුදය, පසුගිය දශක දෙක තුල මෝදු වෙමින් තිබුනු අර්බුදයේ උත්පේ‍්‍රරකය වූවා පමනි.

25. අවුරුදු දෙකකට පෙර අර්බුදය පුපුරාගිය කල ලෝකය පුරා ආන්ඩු හා මහ බැංකු වානිජ්‍ය බැංකුවලට හා මූල්‍යායතනවලට ඩොලර් ටි‍්‍රලියන ගනනින් මුදල් පොම්ප කලේය. මෙම මෙහෙයුමේ හරය පැහැදිලිය. එනම්, නොවටිනා හෝ ”විෂ සහිත” වත්කම් බැංකු පොත්පත් වලින් ඉවත්කර ඒවා රජයේ වගකීම් බවට පත්කිරීමයි. සමාජීය වැඩසටහන් සඳහා මුදල් නැතැයි වසර ගනනාවක් කෙඳිරිගෑමෙන් පසුව හදිසියේම සොයාගැනීමට හැමතැනම මුදල් පහල විය. එහෙත් පෞද්ගලික නයවලට ඊනියා පොදු නය ආදේශ කිරීමේ මෙම මෙහෙයුම ප‍්‍රශ්නයට විසඳුමක් වූයේ නැත. හුදෙක් එය ස්ථාන මාරුවක් පමනි. දැන් ධනේශ්වර රාජ්‍යය මූල්‍ය පද්ධතියේ වටිනාකම් යලි තහවුරු කිරීමේ කර්තව්‍ය භාරගෙන ඇත. මෙය, කම්කරු පන්තියට එරෙහි සෘජු ප‍්‍රහාරයක් තුල සමාජ හා පන්ති සම්බන්ධතාවන්ගේ මහා ප‍්‍රතිව්‍යුහකරනයක් ගැබ්කර ගනියි.

මූල්‍ය වෙලඳපොල, මෙම පහරදීම දැඩි කප්පාදු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සමඟ ඇරඹිය යුතු බවට ආන්ඩුවලට කල ඇනවුමේ මාධ්‍යයන් වූයේ අපේ‍්‍රල් හා මැයි මාසවල හටගත් ඊනියා රාජ්‍ය නය අර්බුදයයි.

26. දේශනයේ මාතෘකාව ධනවාදයේ බිඳවැටීමට අවධානය යොමු කරයි. ඉන් අදහස් කරන්නේ කුමක් දැයි මාගේ නිරීක්ෂනවලින් පැහැදිලි වන්නට ඇතැයි සිතමි. බිඳ වැටීම යන්නෙන් ධනවාදී ආර්ථිකය ඉබේම නතරවන්නේ යයි අදහස් නොකෙරේ. දශක ගනනාවකට සමාජයේ ඉරනම තීන්දු කරන ඉතිහාසයේ නව අවධියක් ඇරඹී ඇතැයි යන්න ඉන් ඇඟවුම් කරයි. එය සිදුවන්නේ කෙසේ ද? නීතිරීති හා රෙගුලාසිවලින් නොව, දැවැන්ත සමාජ හා පන්ති අරගලයන් තුලින්ය. මෙම අරගල විප්ලවවාදී පරිමාවන් අත් කර ගනු ඇත. පාලක පන්තීන්ට තව දුරටත් පැරනි ආකාරයට පාලනය ගෙනයා නොහැකි අතර කම්කරු පන්තියට, තමන් මත පැටවෙමින් තිබෙන නව කොන්දේසි යටතේ ජීවත්විය නොහැකිය.

27. මෙම අර්බුදයෙන් මතු වන්නේ කුමක්ද? ආර්ථික විද්‍යා ලේඛක ඇනටෝල් කැම්ස්කිගේ මෑතදී ප‍්‍රකාශයට පත් කෙරුනු ග‍්‍රන්ථයකට අනුව එය ධනවාදයේ නව ආකෘතියක් වන්නේය. මාක්ස් ධනේශ්වර ක‍්‍රමය ඇතුලත ප‍්‍රතිවිරෝධයන් පෙන්වාදීම වැරදි නැතැයි ඔහු පැහැදිලි කරයි. එහෙත් මෙම ප‍්‍රතිවිරෝධයන් ධනවාදය පෙරලා දැමීම කරා මෙහෙයවෙන්නේ යයි ඔහු (මාක්ස්) කරන අවධාරනය සදොස්ය. ධනවාදය බිඳ වැටෙන්නේ නැත. එය නැමෙයි. ඉන්පසුව අනුවර්තනය වෙයි. ධනවාදය අතීතයේදී අර්බුදවලට මුහුන දී ඇති අතර එය නොකඩවා අනුවර්තනය වීම තුලින් වර්ධනය විය. මෙම අර්බුදයන්ගෙන් සමහරක් එම පද්ධතිය පදනමට යනතෙක්ම සොලවාලීය. එහෙත් ධනවාදය නව රූපයකින් යලි හිස එසවීය. එය නැවතත් එසේම සිදුවනු ඇත.

28. 1914 අර්බුදයෙන් ගොඩඒමට ධනවාදය සමත්වීය යන්න සත්‍යයකි. එහෙත් කුමන තරමේ වියදමකින් ද? ට්‍රොට්ස්කි අනතුරු අඟවා තිබුන පරිදි, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ලේ හා ඇටකටු තුලින් අවසානයේදී සමතුලිතයක් ඇති කෙරින. දැන් තවත් බිඳවැටීමක් සිදුව ඇත. එය මුහුනදෙන නව තත්වයට අනුවර්තනය වීමට ධනවාදය උත්සාහ කරයි. මෙම අනුවර්තනය ගන්නේ කුමන රූපයක් ද? මෙහිදී ක‍්‍රියාදාමයන් දෙකක් සම්බන්ධවේ.

පලමුව ප‍්‍රාග්ධන සමුච්චයනය සඳහා ඉඩකඩ සලසනුවස් කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම සූරාකෑම තීව්ර කිරීම මඟින් එයම හැඩ ගැසිය යුතුය. එහෙත් මොන ආකාරයෙන් ද? එක්සත් ජනපදය තුල ජෙනරල් මෝටර්ස්හි දරිද්‍රතා මට්ටමින් පහල වැටුප් හඳුන්වාදෙනු අපි දැක ඇත්තෙමු. (කම්කරුවෙකුගේ ආරම්භක වැටුප ඩොලර් 14කි.) ඔබාමා පරිපාලනය ඇමරිකාවේ ඉදිරි ගමන එහි අපනයන වැඩිකිරීම මත රැඳී ඇතැයි ප‍්‍රකාශ කර ඇත. එහෙත් මෙය කල හැක්කේ කෙසේ ද? එහි තරගකරුවන්ගේ මට්ටමට එක්සත් ජනපදයේ වැටුප් පහත හෙලිය යුතුය. මූල්‍ය පදධතියේ අවශ්‍යතා සඳහා සම්පත් ලබාගැනීමට සමාජ සේවා, සෞඛ්‍ය හා අනෙකුත් සහන විනාශ කල යුතුය. ඒවායේ සියලු ජාතික විචල්‍යයන් ද සමඟින් මෙම ක‍්‍රියාදාමය ලෝකය පුරා සිදුවෙමින් තිබේ. මෙරට (ඕස්ටේ‍්‍රලියාව) තුල දේශපාලන පද්ධතියේ දැවැන්ත අස්ථාවරත්වය හා අතිශයින් අස්ථාවර ”ද්වි මාර්ග” ආර්ථිකය ඇඟවුම් කරන්නේ ඉදිරියේ ඇත්තේ කුමක් ද යන්නයි.

පන්ති සම්බන්ධතා පමනක් නොව ප‍්‍රධාන ධනේශ්වර බලවතුන් අතර සම්බන්ධතා ද ගෝලීය මට්ටමකින් ප‍්‍රතිව්‍යුහගත කල යුතුය. 20 සියවසේ පලමු දශක හතරේ ව්‍යසනයෙන් ඉක්බිත්තේ, ලෝක ධනවාදය ඇමරිකානු ධනවාදයේ ශක්තිය මත යලි ස්ථාපිත කරන ලදී. දැන් මෙම අර්බුදයේ හරි මැද ඇත්තේ ඇමරිකානු ධනවාදයේම පරිහානියයි. ඇමරිකානු ධනවාදය ඉන් ගැලවීමට උත්සාහ කරන්නේ කෙසේ ද? මිලිටරි මාධ්‍ය තුලින්ය. ඇමරිකාව හා චීනය අතර ප‍්‍රතිඝතිතා වර්ධනය වෙද්දී කලාපය තුල දැවැන්ත භූ දේශපාලනික ආතතීන් උත්සන්න වනවා දැකිය හැකිය. මෙම ගැටුම 1930 ගනන්වල ප‍්‍රතිඝතිතාවන්ට වෙනස් කිසිවක් මතකයට නොනංවයි. ඒවා ද එම ප‍්‍රතිපලයම අත් කර ගනු ඇත. න්‍යෂ්ටික අවිවලින් විමුක්ත වනවා වෙනුවට මේ වතාවේදී ඔවුන් ඒවායින්ම පටන් ගන්නවා ඇත.

එහි ආරක්ෂකයෝ ධනවාදය ”අනුවර්තනය” වනු ඇතැයි අපට පවසති. ඔව් එය වනවා ඇත. එහෙත් ”අනුවර්තනය වීමේ” රූපය මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම ම තර්ජනයට ලක් කරයි. මනුෂ්‍ය වර්ගයාට සිය ඓතිහාසික ප‍්‍රගමනය යලි ඇරඹීම සඳහා නම් ධනවාදය පෙරලා දමා තාර්කිකව සැලසුම් කල ලෝක සමාජවාදී ආර්ථිකයක් ස්ථාපිත කලයුතු වන්නේ එබැවින්ය.

පාද සටහන්

[1] ලියොන් ට්‍රොට්ස්කි, The Permanent Revolution, (නොනවතින විප්ලවය), නිව්පාක් ලංඩන් 1975, 22 පි. [ආපසු]

[2] ඇනටෝල් කැලස්කි, Capitalism 4.0, (ධනවාදය 4,0) , බ්ලූම්ස්බරි, ලංඩන් 2010, 177පි. [ආපසු]

[3] රගුරාම් ජී රාජන්, Fault Lines, (සදොස් මාවත්) , ප‍්‍රින්ස්ටන් යුනිවර්සිටි ප්‍රෙස්, ප‍්‍රින්ස්ටන් 2010, 3පි. [ආපසු]

[4] ජෝසෆ් ෂුම්පිටර්, Capitalism Socialism and Democracy, (ධනවාදය, සමාජවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය), ඇලන් ඇන්ඩ් අන්වින් ලංඩන් 1976, 44පි. [ආපසු]

[5] ලියොන් ට්‍රොට්ස්කි, The First Five Years of the Communist International, (කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු පස් වසර), 1 වෙලුම, නිව්පාක් ලංඩන් 1973, 263පි. [ආපසු]