ජී 20 රැස්වීම පැලැස්තර දැමීමට සූදානම් වෙයි

G20 meeting papers over conflicts

By Nick Beams, 25 October 2010

2008 සැප්තැම්බරයේ ආරම්භවූ මූල්‍ය බිඳවැටීමට ප‍්‍රතිචාර වශයෙන්, අග‍්‍රගන්‍ය ජාත්‍යන්තර ආර්ථික සංසදය ලෙස ජී 20 සමුලුව පිහිටුවන ලද අවස්ථාවේ බලාපොරොත්තු රඳවන ලද්දේ එය, ගෝලීය ධනේශ්වර ආර්ථිකය බිඳ දමමින් මතුවූ අසමතුලිතතා හා ගැටුම් සමථයකට පත්කරන මාධ්‍යයක් බවට පත්වෙමින් හා ප‍්‍රතිපත්ති සම්බන්ධීකරනය සඳහා මග පෙන්වමින් ආර්ථික වර්ධනය සහතික කරනු ඇතැයි කියාය.

2009 වසර පුරාම ආර්ථික උත්තේජනයේ අවශ්‍යතාව පිලිබඳව පුලුල් එකඟත්වයක් පැවතිය ද මෑත මාසවලදී ජාත්‍යන්තර ''මූල්‍ය යුද්ධයක්’’ හා ප‍්‍රධාන බලවතුන් අතර, විශේෂයෙන්ම එක්සත් ජනපදය හා චීනය අතර, ගැටුම් පිලිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, එම බලාපොරොත්තු දැඩි ලෙස මිලිනවී ගොස් තිබේ.

මතභේද කෙතරම් ගැඹුරුවී ද යත්, පසුගිය සති අන්තයේ දකුනු කොරියාවේ ජායොඉන්ගියුහිදී පැවැත්වුනු ජී 20 මුදල් ඇමතිවරුන්ගේ හා මහ බැංකුකරුවන්ගේ රැස්වීමට මත්තෙන්, සංවිධානයේම අනාගතය ප‍්‍රශ්නයට භාජනය වී තිබුනි.

නොවැම්බර් 11-12 දිනවල සියෝල් නුවර පැවැත්වීමට නියමිත ජී 20 රාජ්‍ය නායක සමුලුවට පෙරහුරුවක් ලෙස පැවැත්වූ රැස්වීමේ අවස්ථාවෙහි, පැලැස්තර ගැසීම් සූදානම් කරන අතරේ අඩු තරමින් මේ දින ගනන ඉක්මවන තෙක්, සියල්ලන්ටම යමක් පිලිගැන්වූ ආකාරයේ, අද්දරෙහි සිට අඩි කිහිපයක් ආපසු ගත් ප‍්‍රකාශයක් නිකුත් කරන ලදී.

''හදිසිභාවය පිලිබඳ අවබෝධය මත” රැස්වීම පැවැත්වූ බව පිලිගනිමින් ප‍්‍රකාශනය කියා සිටියේ ජී20, ''තරඟකාරී ලෙස මුදල අවප‍්‍රමානය කිරීමෙන් වැලකෙමින්, පතුලෙහි ඇති ආර්ථික මූලධර්ම පිලිබිඹු කෙරෙන හා වෙලඳපොල විසින් තීරනය කරන විනිමය අනුපාත ක‍්‍රමයක් දෙසට යොමුවන” බවයි.

සිය මූල්‍ය සංචිත තර කරගැනීමේ හා නිර්යාත වැඩිකර ගැනීමේ අරමුන ඇතිව චීනය එරට යුවාන් නොහොත් රෙන්මින්බි මුදල යලි අගය කිරීම ප‍්‍රතික්ෂේප කරන්නේය යන එක්සත් ජනපද යේ මතයට මෙම තානය ගැලපෙයි. තවත් රටවල් ගනනාවක් ද සමඟ චීනය අවධාරනය කරන්නේ සැබෑ ගැටලුව යුවාන් නොව එක්සත් ජනපදයේ පහත් පොලී අනුපාතික යාන්ත‍්‍රනය හා ''ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම” යන ප‍්‍රතිපත්තිය බවයි. ඒ යටතේ එක්සත් ජනපද මහ බැංකුව භාන්ඩාගාර බැඳුම්කර මිලට ගන්නා අතර එමඟින් අවශේෂ ලෝකය තුලට මුදල් උතුරා යාමට සලස්වා ඊනියා නැඟීඑන ආර්ථිකයන්හි වත්කම් බුබුලු පැන නැංවීමට දායක වන බවය. ඒ අනුව මෙම විරුද්ධත්වයන් ට පිලිතුරු වශයෙන් ප‍්‍රකාශනය යමක් ඇතුලත් කර තිබේ.

''එක්සත් ජනපදය වැනි සංචිත මුදල් සහිත රටවල් ද ඇතුලු දියුනු රටවල්, අධි ධාරිතාව පිලිබඳව හා හුවමාරු අනුපාතිකයන්ගේ අක‍්‍රමවත් හැසීරීම් රටා පිලිබඳව සුපරීක්ෂාකාරී වන බව” එය කියා සිටියි. ''සමහර නැඟී එන වෙලඳපොලවල් මුහුනපාන ප‍්‍රාග්ධන සංචලනයේ අධි විචල්‍යතාවය පිලිබඳ අවදානම අඩුකිරීමට මෙම පියවර හේතුවනු ඇත.”

රැස්වීම එලඹෙමින් තිබියදී එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් තිමෝති ගේත්නර්, සහභාගී වන අය වෙත යොමුකල ලිපියකින් යෝජනාකර තිබුනේ ජී 20 සාමාජිකයන් වෙලඳ හිඟය සිය දල දේශීය නිෂ්පාදිතයෙන් නිශ්චිත සීමාවකට පහලින් තබාගැනීමේ පිලිවෙතක් අනුගමනය කලයුතු බවයි. නිශ්චිත ප‍්‍රමානය සඳහන් නොවුන අතර එක්සත් ජනපද නිලධාරීන් ඇඟවුම් කලේ එය දදේනි සියයට 4ක තරම් මට්ටමක තැබිය යුතු බවටයි.

ෆිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවියේ පලකල ගැවින් ඩේවිස්ගේ සටහනකට අනුව, විවිධ සුවිශේෂ ප‍්‍රශ්න සැලකිල්ලට ගැනීමෙන් පසුව, ''අසාමාන්‍ය අතිරික්ත” කාන්ඩයේ එක් රටක් එනම් චීනය පමනක් ඉතිරිවෙයි. ''මේ අනුව එක්සත් ජනපද යෝජනාව බහු පාර්ශවික භාෂාවක බහා තිබුනු නමුත්, එය යොමුකර තිබුන බව පෙනෙන්නේ ප‍්‍රධානකොටම හුරු පුරුදු ද්වි පාර්ශවික එල්ලයකටය.”

සැලැස්ම පිලිබඳව චීනය ප‍්‍රසිද්ධියේ අදහස් පලකොට නොතිබුනේවී නමුත් විශාල අපනයන අතිරික්ත සහිත දෙරටක් වන ජපානයේ හා ජර්මනියේ විරෝධය ඊට එල්ල වී තිබුනි. ජපාන මුදල් ඇමති යොෂිහිකෝ නෝඩා පැවසුවේ, නානාවිධ ඉලක්ක සපුරාගැනීම දුෂ්කර බවයි.

ජර්මානු නිලධාරින් පැවසුවේ සිය රටේ අතිරික්තය මුදලේ අගයට සම්බන්ධයක් නැති බවත් එය තරඟකාරිත්වයේ සලකුනක් බවත් ය. එක්සත් ජනපදයට එල්ල කල තියුනු තුඩක් ඇති ඊ පහරක් සමඟ ජර්මන් ආර්ථික කටයුතු පිලිබඳ ඇමති රේනර් බෲඩරී මෙසේ පැවසීය. ''අප නැඹුරුවී සිටින්නේ වෙලඳපොල ආර්ථිකයක් වෙත මිස අන පනවන ආර්ථිකයක් වෙත නොවේ.”

මෙම විරුද්ධත්වය හමුවේ ප‍්‍රකාශය, නිශ්චිත ඉලක්ක සඳහන් නොකලේය. එය ප‍්‍රකාශ කලේ ජී 20 රටවල්, ''අනවශ්‍ය අසමතුලිතයන් අඩුකර ගැනීමටත්, ජංගම ගිනුමේ අසමතුලිතයන් තිරසාර මට්ටම්වල පවත්වා ගැනීමටත් ඉවහල් වන ප‍්‍රතිපත්ති මාලාවක් අනුගමනය කල යුතු” බවයි. ''දිගට පවත්වාගෙන යන අසමතුලිතතා, එකඟත්වයකට එලඹිය යුතු මෙහෙයුම් රේඛාවන්ට” පටහැනි බවට නිගමනය කල යුතු අතර ''ඒවායේ ස්වභාවය හා මුල්වන හේතු පිලිබඳ තක්සේරු කිරීමකට” ලක්වෙයි. ඒ අතර ‘''විශාල පාරිභෝගික භාන්ඩ නිෂ්පාදකයන් ද ඇතුලු ජාතික හෝ කලාපීය ප‍්‍රතිවිපාක හඳුනා ගැනීම හා සැලකිල්ලට ගැනීම අවශ්‍යවේ.”

කොරියාවේ ඒසී පූථම ජාතික බැංකුවේ අර්ථශාස්ත‍්‍රඥ ඕ සුක් ටේ බ්ලූම්බර්ග් වෙත මෙසේ පැවසීය. ''මූල්‍ය ප‍්‍රතිපත්තියේ කොන්දේසි, කෙතරම් නොපැහැදිලි හා පුලුල් ද යත් ඒවා, සෑම රටක් මෙන්ම වෙලඳපොල ප‍්‍රමුඛයන් විසින් ද විවිධ අර්ථ කථනයන්ට භාජනය කල හැකිය.’’

වෙනත් වචන වලින් කිවහොත්, අවසාන වීම කෙසේ වෙතත් මූල්‍ය යුද්ධය යන්තම් නතරකරගෙන ඇතුවා පමනි.

තව ද, මූල්‍ය ගැටුමම, ගෝලීය ධනේශ්වර ආර්ථිකයේ ගැඹුරු ගැටලු පිලිබඳ එක් ප‍්‍රකාශනයක් පමනි. මූල්‍ය අර්බුදය පුපුරා යාමට කලියෙන්, 2008 වසර ආරම්භයේ පැවති තත්වය හා සසඳන කල ප‍්‍රමුඛ ධනපති ආර්ථිකයන්ගේ වර්ධනය දැන් ඇත්තේ ප‍්‍රවනතාවයේ මට්ටමට වඩා සියයට 10ක් පහතින් වන අතර, ගෝලීය වෙලඳපොලවල් සඳහා තරගය එන්ට එන්ටම උත්සන්න වෙමින් තිබේ.

මූල්‍ය ඝට්ටනය, ජාත්‍යන්තර වෙලඳ යුද්ධයක හුදු පෙරනිමිත්තක් විය හැකිය යන බිය දැල්වෙමින් තිබේ.

මෙම කනස්සල්ල පසුගිය 19 දින එංඟලන්ත මහ බැංකුවේ අධිපති මර්වින් කිං විසින් පැවැත්වූ ප‍්‍රධාන කථාවක් තුලින් ප‍්‍රකාශිත විය. ‘''යලිත් වැඩෙන්නට පටන්ගෙන තිබෙන වෙලඳ අසමතුලිතයන්ගේ පරිමානය’’ මඟින් ලෝක ඉල්ලුම යලි ස්ථාපිත කිරීම සඳහා දරන උත්සාහයට බාධා පමුනුවන්නේ යයි කිං අනතුරු ඇඟවීය. ප‍්‍රධාන බලවතුන් අතර ප‍්‍රතිපත්තිමය එකඟත්වයක් ඇතිකර නොගතහොත්, ගැටුම විසින්, ''සියලුම රටවලට නරක ප‍්‍රතිවිපාක ගෙන එමින් ලෝක නිමැවුම, අසතුටුදායක පහල මට්ටමකට ඇද දමනු ඇත.’’

අතිරික්තයන් හා හිගයන් සහිත රටවල්, සෘජු ගැටුම්කාරී ප‍්‍රතිපත්ති අනුගමනය කරනු ලබන බැවින් ජාත්‍යන්තර මූල්‍ය ක‍්‍රමය ''විකෘති” තත්වයකට වැටී තිබේ. ''එබැවින් චීනය හා එක්සත් ජනපදය අතර ද්වි පාර්ශවික ගැටුමට වැඩිමනත් දෙයක් මෙහි තිබේ.”

2008 ඔක්තෝබරයේ පැවති ජී 20 රැස්වීම, එක්ව වැඩ කිරීම සඳහා ''දැඩි අධිෂ්ඨානයක්” පල කල බව සඳහන් කරන කිං, එම ජීව ගුනය දැන් ''තුනීවෙමින්” පවතින බව පැවසුවේය.

''සාමුහික අවශ්‍යතාවය තුල කටයුතු කිරීමේ වැදගත්කම තවමත් හඳුනාගත යුතුව තිබේ. එසේ නොමැතිවුවහොත්, අවශ්‍ය ප‍්‍රතිතුලනයකට සහායවන එකම දේශීය උපකරනය වන වෙලඳ ආරක්ෂනවාදයට එක් රටක් හෝ රටවල් ගනනාවක් පියවර ගැනීම කාලය පිලිබඳ ප‍්‍රශ්නයක් පමනි. එවැන්නක්, 1930 ගනන්වලදී සිදුකලාක් මෙන්, ලෝකය පුරා කටයුතු විනාශකාරී ලෙස බිඳ වැටීමට පමනක් තුඩුදෙනු ඇත. සෑම රටක්ම ව්‍යසනකාරී ප‍්‍රතිවිපාකයන්ගෙන් පීඩාවට පත්වනු ඇත.”

අවශ්‍ය වන්නේ ප‍්‍රධාන කෙරුමන් අතර ''මහා කේවෙලයක්” බව කිං පවසයි. ලෝක ආර්ථිකය තුල ජී 20 එවන් කේවලයක් සඳහා සුදුසු තැනයි.

එහෙත් එවැන්නක් සිදුවන්නේ ද යන්න පිලිබඳව විශේෂ විශ්වාසයක් ඔහු තුල ඇති බවක් පෙනෙන්නට නැත. බටහිර මිඩ්ලන්ඞ්හි බ්ලැක් කන්ටි‍්‍ර නමැති බි‍්‍රතාන්‍යයේ කාර්මික විප්ලවයෙහි උපන් බිම වන ප‍්‍රදේශයේදී සිය කථාව පවත්වමින් කිං කියා සිටියේ, ''ජාත්‍යන්තර රැස්වීම්වල විධිමත් වටය තුලට සැබෑ එකඟතාවක් ගෙන ඒමට නම්, බ්ලැක් කන්ට්‍රි සිතියමේ ප‍්‍රමුඛ තැනක තැබුවාවූ විප්ලවයට වඩා ස්වභාවයෙන් වෙනස් නමුදු, ඊට නොඅඩු වැදගත්කමකින් යුත් විප්ලවයක් අවශ්‍ය කෙරෙන’’ බවයි.

කෙසේ වෙතත්, ධනවාදය යටතේ එවන් ''විප්ලවයකට” ජාත්‍යන්තර සහයෝගය සහතික කිරීම කල නොහැකිය. මක්නිසාද යත්, ගැඹුරු හා විනාශකාරී විභවයක් සහිත ගැටුම් ජනනය වන්නේ, එය මුල්බැස තිබෙන ලාභ ක‍්‍රමයෙන් හා ජාතික රාජ්‍ය පද්ධතියෙන්ම වීම නිසාය.

ලෝක ආර්ථිකය ධනවාදය යටතේ ඒකාබද්ධ කල නොහැකිය. එවන් කර්තව්‍යයක් වැටෙන්නේ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ උර මතටය.