ශ‍්‍රී ලංකා පොලිසිය විරෝධතාවේ යෙදුන සිසුන්ට පහර දෙති

Sri Lankan police attack on protesting students

By Panini Wijesiriwardena, 21 October 2010

පූර්වයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තම සහෝදර ශිෂ්‍යයින් හය දෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය සතියේ පැවත්වූ ශිෂ්‍ය විරෝධතාවකට එල්ල කල පොලිස් ප‍්‍රහාරය අතරතුරදී අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් 18 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට 18වෙනි සඳුදා අධිකරනය නියෝග කලේය. මෙම අත් අඩංගුවට ගැනීම් වනාහී විශ්ව විද්‍යාල පෞද්ගලීකරනය කිරීමට සහ සරසවිවල වඩාත් නරක අතට හැරෙමින් පවතින කොන්දේසිවලට එරෙහිව පුලුල්ව නැඟෙන ශිෂ්‍ය විරුද්ධත්වය මැඩලීමට ආන්ඩුව දියත් කර ඇති වැඩපිලිවෙලේ කොටසකි.

අපේ‍්‍රල් මාසයේදී නැවත අලුත් කරන ලද විෂකුරු පනතක් වන අධ්‍යාපන ආයතන තුල නවක වධය සහ අනෙකුත් ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ට එරෙහි පනත යටතේ ''නොහික්මුන හැසිරීම” පිලිබඳව ශිෂ්‍යයන් වෙත චෝදනා එල්ල කෙරුනි. මෙකී නීතිය යටතේ විරෝධතා පැවත්වීම් හා වාඩිලා ගැනීම් ඇතුලුව ශිෂ්‍ය දේශපාලන ක‍්‍රියාකාරිත්වයන් තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන්ට සම්පූර්න බලතල පැවරෙන අතර ඒ සඳහා සරසවි තුලට පොලිසිය කැඳවීමේ බලතල ද ඇතුලත් වේ. පනත යටතට ගැනෙන බොහෝ වැරැදිවලට ඇප දීමක් නොමැති අතර වසර දහයක් දක්වා සිරදඬුවමකට යටත් කල හැකිය.

තම සහෝදර ශිෂ්‍යයින් නිදහස් කරන්නැයි ඉල්ලා පසුගිය 14දා කොලඹ නගරයේ පැවත්වූ විරෝධතාවට සරසවි සිසුන් 2,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ. උසස් අධ්‍යාපන ආමත්‍යාංශයට පාගමනින් පැමිනි විරෝධතාකරුවන් බස්රථවලින් ඉවත්ව යාමට තැත් කරන තෙක් පැයක් පමන එතුල වාඩිලාගෙන සිටියෝය. සියගනනක් කැරැලි මර්දන පොලිස් භටයින් විසින් සියලුම වීදි වසා දමා සිසුන් වෙත බැටන් පොලු, බඳ පටි, කඳුලු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරන ලදි. තුවාල ලැබූ සිසුන් අට දෙනෙකු රෝහල් ගතකරනු ලැබූහ.

එක් සිසුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ප‍්‍රකාශ කලේය: ''පොලිසිය මාව අල්ලගෙන මට පහර දුන්නා. එතකොට මම බිම වැටුනා. මගේ දකුනු වැලමිට තුවාල වුනා. ඔවුන් බඳ පටියකින් මගේ ඔලුවටයි ඇ‍ඟේ හැම තැනටමයි පහර දුන්නා. ඊට පස්සේ ඔවුන් මාව කුරුඳුවත්ත පොලිසියට ගෙන ගියා. තවත් ශිෂ්‍යයෝ 20ක් එතන හිටියා.”

''අපෙන් හතර දෙනෙක් රෝහලට ඇතුලත් කලා. ඒත් අනෙක් අයගෙත් ශරීරවල තැලුම් ලකුනු තිබුනා. නමුත් ඔවුන්ව වෛද්‍යවරයෙකුටවත් පෙන්නුවේ නැහැ. අපි පොලිස් ස්ථානයට අරගෙන ආවේ රාත‍්‍රී අටට වුනත් පාන්දර වනතෙක්ම රෝහලට ගෙන ගියේ නැහැ.”

තම මිතුරෙකු නිදහස් කරගැනීමට උත්සහා දැරූ විට පොලිසිය තමන් අල්ලා ගත් බව තවත් ශිෂයෙක් කියා සිටියේය. ''ඔවුන් මට පහර දෙනකොට මම බිම වැටුනා. ඒත් එක්කම පොලිස් නිලධාරීන් කීප දෙනෙක් මට ම්ලේච්ඡ විදියට පයින් ගැහුවා. මගේ නහයෙන් ලේ ගලන්න පටන් ගත්තා. ඔවුන් මාව අමාත්‍යාංශට ඇදගෙන ගිහින් මගේ මූන හෝදා ගන්නැයි කීවා. එයින් පස්සෙ අපි හැමෝම පොලිසියට ගෙන ගියා. මගේ හිස පිටුපස තැලීමක් තියෙනවා.”

ප‍්‍රහාරය වාර්තා කරමින් සිටි වාර්තාකරුවන්ට සහ ඡායාරූප ශිල්පීන්ට ද පොලිසිය පහර දුන්නේය. ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී බිඟුන් ගමගේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට මෙසේ කීවේය: ''යාබද උද්‍යානයට සාමකාමීව ඉවත්වී යනවා යැයි ශිෂ්‍යයෝ කීවා. පොලිසිය ශිෂ්‍යන්ට පිට වීමට අවසර දුන්නා. ඒත් ශිෂ්‍යයෝ එලියට එනවත් එක්කම පොලිසිය ඔවුන්ට නැවත පහර දෙන්න පටන් ගත්තා. සිසුන් සී සී කඩ දුවන්න පටන් ගත්තා. ඒත් පොලිසිය අතට අහුවෙන හැම කෙනෙකුටම පහර දුන්නා. පොලිසියේ 10 දෙනෙක් විතර වටවෙලා එක් ශිෂ්‍යයෙකුට පහර දෙනවා අපි දැක්කා. එතැන සිටගෙන එය බලමින් සිටි අනෙක් අය නිලධාරීන් විසින් එලවලා දැම්මා.”

පොලිසිය වාර්තාකරුවන් වටකර ගත් අතර ගමගේට බඳ පටියකින් පහර දුන්නේය. ගමගේගේ මිතුරෙකු ඔහු ගලවා ගැනීමට තැත් කරන විට ඔහු ඉවතට තල්ලු කර ඔහුට ද පහර දුන්නේය. වාර්තාකරුවන් තමන් වෙත ආන්ඩුවෙන් ලබා දී තිබෙන මාධ්‍යවේදී හැඳුනුම්පත දක්වන විට පොලිසිය ඔවුන්ට අසැබි වචනයෙන් බැනවැදුනහ. මෙම ප‍්‍රහාරය හෙලා දකිමින් මාධ්‍යවේදීන්ගේ සංගමය 19 වෙනි දින විරෝධතාවක් පැවත්වූවේය.

අත් අඩංගුවට ගත් සිසුන් උසාවියට ඉදිරිපත් කලවිට පොලිසිය ඔවුන්ට ඇප ලබා දීමට විරුද්ධව කරුනු දක්වමින් ප‍්‍රකාශ කලේ සිසුන් මහජන දේපල පනත යටතට ගැනෙන වරදක්, එනම් අමාත්‍යාංශ දේපලවලට හානි සිදුකර ඇති බවයි. ඒ අනුව ඔක්තෝබර් 29 වෙනිදින තෙක් සිසුන් සිර අඩස්සියේ තබන ලෙස කොලඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි නියෝග කලාය.

පොලිසියට අනුබල දෙමින්, නවක වධ විරෝධී පනත අඛන්ඩව බලපවත්වනු ඇතයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක අවධාරනය කලේය. ''මෙම රට, කලාපයේ අධ්‍යාපනය සඳහා කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුනින් අපි ක‍්‍රියාත්මක වෙමින් සිටින්නෙමු. මේ ක‍්‍රියාවලියේදී සිසුන් එක් අයෙක් දෙන්නෙක් විශ්ව විද්‍යාලවලින් නෙරපීමට හෝ සිරගත කිරීමට සිදුවේවි. ඒක එච්චර ප‍්‍රශ්නයක් නෙවෙයි. අපගේ විශ්ව විද්‍යාල ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයේදී ශිෂ්‍යයෝ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි 500කට නැතිනම් 1,000කට වුනත් අපි දඬුවම් කරනවා,” ඔහු තර්ජනය කලේය.

දිවයින, ''කලාපය තුල අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක්” බවට හැරවීම පිලිබඳ දිසානායකගේ සඳහන් කිරීම් වඩා දුර දිවෙන්නාවූ අරමුනු සහිත ඒවාය. එහි ඉලක්කය වන්නේ විශ්ව විද්‍යාලවල වඩාත්ම ලාභදායි අංශ සහ විදෙස් සිසුන් සඳහා වාසිදායි වියහැකි අංග පෞද්ගලීකරනය කරමින් උසස් අධ්‍යාපනය ධනය උපයන ලාබදායි ව්‍යාපාරයක් බවට හැරවීමයි. ආන්ඩුව දැනටමත් ගාස්තු ලෙස ඉහල මිලක් අයකරනු ඇති විදෙස් විශ්ව විද්‍යාලවලට අනුබද්ධිත සරසවි ස්ථාපිත කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂමේ (යූසීජී) වැඩබලන ප‍්‍රධානී ලොහාන් රාජපක්ෂ ඔක්තෝබර් 16 දින ආන්ඩුවේ ඩේලි නිව්ස් පුවත්පතට මෙලෙස ප‍්‍රකාශ කලේය: '' වත්මත් විශ්ව විද්‍යාල පනත ශ‍්‍රී ලංකාව තුල පෞද්ගලික විශ්ව විද්‍යාලවලට අවසර නොදීමේ හේතුවෙන් නෛතිකව රට තුල පුද්ගලික සරසවි ආරම්භ කිරීමට ඉඩ සැලසෙන පරිදි නව විශ්ව විද්‍යාල පනතක් ගෙන ඒමට ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු වේ.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ඉල්ලා සිටින කප්පාදු පියවරවල කොටසක් වසයෙන් ආන්ඩුව අධ්‍යාපනය සඳහා කෙරෙන රාජ්‍ය වියදම් කපා දමමින් සිටී. 2010 වසර සඳහා අයවැය හිඟය පසුගිය වසරේ සියයට 10කට ආසන්න මට්ටමේ සිට මෙම වසරේ දල ජාතික නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 8ක දක්වා අඩුකර තිබේ. අධ්‍යාපනයට කෙරුනු ආන්ඩුවේ වියදම් 2006 වසරේ දදේනි 2.67ක සිට 2009 වසරේ සියයට 2.08 ට අඩු කර තිබේ.

පසුගිය සතියේ විරෝධතාව කැඳවුම් කලේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධිත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) විසිනි. ජවිපෙ මෙන්ම අවිශිබමය ද පදනම් වී ඇත්තේ සිංහල වර්ගවාදය සහ ජනතාවාදී වාචාලත්වයේ මිශ‍්‍රනයක් මතය. එය, විශ්ව විද්‍යාල තුල සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ඇතුලුව එහි දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව දාමරිකකම් යොදා ගැනීම සම්බන්ධව කුප‍්‍රකටය.

උසස් අධ්‍යාපන ඇමැති දිසානායක, සාහසික පොලිස් මර්දනය යුක්තිසහගත කිරීමට ගසා කා තිබෙන්නේ ජවිපයේ මෙම විධික‍්‍රමයන්ය. 18 වෙනි දින ලක්බිම පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී, ''අපි මේ ජේවීපී මැරයින් එලවා දමා” විශ්ව විද්‍යාල නිදහස් කරගන්නවා යැයි ඔහු කීවේය. දිසානායකගේ මෙම ප‍්‍රකාශයන් ආන්ඩුව එහි ප‍්‍රතිපත්තීන්වලට එරෙහිව නැඟෙන ඕනෑම විරුද්ධත්වයක් මැඩලීමට පොලිසිය යොදා ගැනීමට පසුබට නොවනු ඇති බවට සියලුම සිසුන් වෙත කෙරෙන අනතුරු ඇඟවීමකි.

එහි සටන්කාමී වාචාල කතා තිබියදී ම අවිශිබම ආන්ඩුවට පීඩනය යෙදීමෙන් එහි සැලසුම් ඉවත්කරවා ගත හැකිය යන පුස් සංකල්පයට උඩගෙඩි දෙමින් ශිෂ්‍යයින් අවෘත අන්තයක් වෙත දක්කාගෙන යමින් සිටී. මෑතම පොලිස් ප‍්‍රහාරයට ප‍්‍රතිචාර වසයෙන් අවිශිබමයේ කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න නිවේදනය කලේ සිරගතකොට සිටින සියලුම සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉතාම ඉක්මනින් තවත් විරෝධතා තම සංවිධානය විසින් ගෙන යනු ඇති බවයි.

අවිශිබම සහ ජවිපෙ දැන් ආන්ඩුව විවේචනය කලත් ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගෙනඒමෙහිලා පෙරමුනේ සිටියේ ඔවුන්ය. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව සිවිල් යුද්ධය යලි ඇරඹීම ද ඇතුලත් කරගත් රාජපක්ෂගේ 2005 මැතිවරන වැඩ පිලිවෙල සකස් කිරීමෙහිලා ජවිපෙ සහයෝගී වූ අතර වත්මන් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහනය වෙනුවෙන් ක‍්‍රියාශීලිව උද්ඝෝෂනය කලේය. එකල ඔවුන්ගේ සටන් පාඨය වූයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඉහලින් ''මව්බිම පලමුව” යන්නයි. විශ්වවිද්‍යාල තුල මිලිටරියට කි‍්‍රයාත්මක වීමට එය ඉඩහලේය.

මේ මොහොතේ ජවිපෙ සරත් ෆොන්සේකා සමඟ සන්ධානයකට ගොස් තිබේ. සරත් ෆොන්සේකා, එල්ටීටීඊයට එරෙහිව නිර්දය මෙහෙයුම් සඳහා වගකිව යුතු හිටපු හමුදාපති වන අතර ජනවාරි මාසයේදී ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා වසයෙන් ජනපතිවරනයට තරග කලේය. ජනාධිපතිවරන උද්ඝෝෂනය අතරතුර තමන් වෙලඳපොල- හිතැති වැඩපිලිවෙලකට සහය දෙන බව සඳහන් කරමින් ජාමූඅලේ ඉල්ලීම් වන අධ්‍යාපනයට කෙරෙන වියදම් ද ඇතුලු දැවැන්ත අයවැය කප්පාදුවලට යාමේ සිය අභිමතය පෙන්නුම් කලේය.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එල්ල කෙරුනු ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාරය සසජාශි විසින් හෙලා දකියි. සිරගත කල සිසුන්ට එරෙහි සියලුම චෝදනා කොන්දේසි විරහිතව ඉවත් කරන ලෙසත් ඔවුන් වහා නිදහස් කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

එමෙන්ම, අවිශිබමයේ සහ ජවිපෙ දේශපාලනය ප‍්‍රතික්ෂේප කරන ලෙස සසජාශි සිසුන්ගෙන් ඉල්ලා සිටී. නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරක්ෂා කරගැනීමටත් පෞද්ගලීකරන සැලසුම් නැවත්වීමටත් කරන අරගලය නියත ලෙසම බැඳී ඇත්තේ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලක් තුලය. සිසුන්ට මෙම අරගලය තනිවම ගෙන යා නොහැකිය. සමාජවාදී ක‍්‍රියාමාර්ග මත පදනම් වූ කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීම පිනිස ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට කම්කරු පන්තිය වෙත ශිෂ්‍යයන් හැරීගත යුතුය. සෑම විශ්ව විද්‍යාලයක් තුලම සසජාශි ශාඛාවක් ගොඩ නගන ලෙසත් මෙම වැඩපිලිවෙලට සටන් කිරීමට එක්වන ලෙසත් සසජාශි සියලුම සිසුන් වෙත කැඳවුම් කර සිටී.