වතු කම්කරු වැටුප් අරගලය පාවාදීමට එරෙහිව ශී‍්‍ර ලංකාවේ සසප ප‍්‍රසිද්ධ රැස්වීමක්

By the Socialist Equality Party (Sri Lanka), 10 August 2011,

ශී‍්‍ර ලංකාවේ වතු වෘත්තීය සමිති විසින් වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය පාවාදෙනු ලැබීමට එරෙහිව සටන් වැදීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කිරීම පිනිස සමාජවාදී සමානතා පක්ෂය (සසප) අගෝස්තු 14 වන ඉරිදා හැටන් නගරයේ ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය ඇතිව ලංකා කම්කරු කොංග‍්‍රසය (සීබබ්ලිව්සී) ඇතුලු වෘත්තීය සමිති විසින් කම්කරුවන්ට හොරෙන් හාම්පුතුන්ගේ සම්මේලනය සමග පසුගිය ජූනි 6 දා ඇති කර ගෙන ඇති වැටුප් ගිවිසුම මගින් දරිද්‍රතා මට්ටමේ වැටුපකට කම්කරුවන් තව වසර දෙකක් බැඳ තබා ඇත. දැන් මෙම ගිවිසුම යටතේ, වැඩ වේගවත් කරමින් කම්කරුවන් වහල් ශ‍්‍රම සූරාකෑමකට යටත් කිරීමේ වැඩකටයුතු වතු සමාගම් විසින් උත්සන්න කරනු ලැබ තිබේ.

මෙම ගිවිසුමට එරෙහිව මනා වැටුප් වැඩිවීමක් ද ශිෂ්ඨ සම්පන්න සේවා හා ජීවන කොන්දේසි ද උදෙසා කම්කරුවන් දේශපාලන හා කාර්මික අරගලයක් දියත් කල යුතු යයි සසප නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

ගිවිසුමට අත්සන් නොකල වතු සමිති ද වහාම එයට යටත් විය. මේ සියලුම සමිති උත්සුක වන්නේ කම්කරුවන්ගේ අවශ්‍යතා ගැන නොව වතු සමාගම්වල ලාභය පිලිබඳවය. ටෙලිකොම්, විදුලි බල හා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ඇතුලු රාජ්‍ය අංශය තුල වැටුප් හා සෙසු මූලික අයිතීන් අරබයා දැන් වැඩෙන අරගල මෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය තුල ද වෘත්තීය සමිතිවල ද්‍රෝහී කි‍්‍රයාකලාපය පිලිබඳ සසප කරන අවධාරනය සනාථ කෙරී ඇත.

මෙම කිසිදු සමිතියක් කෙරෙහි විශ්වාසයක් නොතබමින් එම සමිතිවලින් ද සියලු ධනපති හා වාම වෙස් ගත් පක්ෂවලින් ද මුලුමනින්ම දේශපාලනිකව හා සංවිධානමයව බිඳී පුද්ගලික ලාභය මත පදනම් වූ ධනපති ක‍්‍රමය අහෝසි කිරීමේ සමාජවාදී කි‍්‍රයාමාර්ගය කරා කම්කරුවන් හැරී ගත යුතුය. වතුකරය පුරා තමන්ගේ ස්වාධීන කි‍්‍රයාකාරී කමිටු ගොඩනගාගනිමින් කම්කරුවන් වැටුප්, යහපත් ජීවන හා සේවා කොන්දේසි සහ සෙසු මූලික අයිතීන් වෙනුවෙන් වූ අරගලය සියතට ගත යුතුය.

සසප රැස්වීම මෙම අත්‍යවශ්‍ය සමාජවාදී වැඩපිලවෙල සාකච්ඡා කරනු ඇත. කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා අප සියලු පාඨකයන්ගෙන් එම රැස්වීමට සහභාගි වන ලෙස අපි ඉල්ලා සිටිමු.

දිනය: අගෝස්තු 14 වන ඉරිදා උදේ 10.00

ස්ථානය: හැටන්, කි‍්‍රස්ති‍්‍රයානි කම්කරු සහෝදරත්වය ශාලාව (ඩන්බාර් පාර)