ඊස්රායෙල් විදේශ ප‍්‍රතිපත්තිය එහි වැඩෙන සමාජ අසමානතාවට සම්බන්ධිතය

Israel’s foreign policy linked to its growing social inequality

By Jean Shaoul, 13 August 2011

ඉහල යන නිවාස වියදම, සමාජ අසමානතාව, හා පහත වැටෙන ජීවන තත්වයන්ට එරෙහිව ඊස්රායලය හරහා හඹා යන පෙර නොවූ විරූ සමාජ විරෝධය අගමැති නෙතන්යාහුගේ "නිදහස් වෙලඳපොල” ප‍්‍රතිසංස්කරන වැලඳ ගැනීම හා එහි ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථිකය මත දුසිමක් හෝ එවැනි ගනනක් වන ඊස්රායල් බිලියනපතියන්ගේ දැඩි ග‍්‍රහනය වෙත එල්ල වී ඇත.

ඊස්රායෙල් කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත වන මෙම ප‍්‍රහාරය පිටුපස වන ප‍්‍රධාන සාධකයන්ගෙන් එකක් ගැන මේ දක්වා පවසා ඇත්තේ ඇබිත්තකි: එනම්, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග වන ඊස්රායලයේ පලල් සහයෝගිත්වයේ කොටසක් ලෙස අසැල්වැසි රටවල මැද පෙරදිග කම්කරුවන් මත වන ඊස්රායලයේ කුරිරු මර්දනයෙන් එන්නා වූ දැවැන්ත ආර්ථික පීඩනයයි. මෑත වසරවල දී පලස්තීන ප‍්‍රදේශවල පදිංචි වෙමින් හා එහි ජනයා මර්දනය කරමින්, ලෙබනනය ආක‍්‍රමනය කරමින් හා විශාල මිලිටරි යාන්ත‍්‍රනයක් ගොඩ නගමින් සියොන්වාදී පාලනය ඩොලර් බිලියන ගනනාවක් වියදම් කර ඇත. කම්කරුවන්ගේ වියදමින් එහි අපරාධ සිදු කර ඇත.

තව ද, මෙම ප‍්‍රතිපත්ති ගෙන ගොස් ඇත්තේ වැඩි වශයෙන් ම ඊස්රායෙල් ජනතාවගේ කැමැත්ත උල්ලංඝනය කිරීමෙනි. විශේෂයෙන් ම, යලියලිත් තිබූ මැතිවරන පෙන්වා ඇත්තේ ඊස්රායලයේ වැඩි දෙනාට දීර්ග කාලයක් දිවෙන ඊස්රායල් පලස්තීන යුද්ධයට සාමකාමී විසඳුමක් අවශ්‍ය බව යි.

අඩ්වා කේන්ද්‍රයේ ෂ්ලොමො ස්වීර්ස්කි ගේ ඊස්රායෙල් පලස්තීන ගැටුමේ බර, යටත් කර ගෙන සිටීමේ පිරිවැය, 2010 වාර්තාව - ඊස්රායලයට පලස්තීන භූමිය ඈඳා ගැනීමේ සමාජ පිරිවැය හෙලි දරව් කෙරේ - මෙය ඊස්රායලය ඍජුව ඈඳා ගෙන ඇති නැගෙනහිර ජෙරුසෙලම නොමැතිව ය.

දෙපැත්ත ම විශාල මිලක් ගෙවති, නමුත් "පලස්තීනුවෝ විශාලත ම මිල ගෙවති.” යි ස්වීර්ස්කි කිය යි. එහි වැටුප්, සේවා කොන්දේසි, සමාජ, අධ්‍යාපන හා සෞඛ්‍ය ආරක්ෂාව මත නොකඩවා කෙරෙන ප‍්‍රහාරයන් හරහා ඈඳාගැනීමේ පිරිවැය කෙලින් ම ඊස්රායෙල් කම්කරුවන් මත පටවා ඇත්තේ කෙසේ දැ යි ඔහුගේ වාර්තාව පෙන්ව යි.

1987 පලමු පලස්තීන නැගීටීම නොහොත් ඉන්ටිෆාඩාවෙන් පසු මූලික වශයෙන් පලස්තීන ප‍්‍රදේශවලින් මිලිටරි වියදම් ඉවත් කෙරුනි. මෙයට පෙර ඊස්රායෙල් හාම්පුත්තු ඊස්රායෙල් වැටුප් පහල දැමීමට පලස්තීන ලාභ ශ‍්‍රමය යොදා ගනිමින් වාසි ලැබූහ. කෙසේ නමුත් ඉන්ටිෆාඩාවෙන් පසු ඊස්රායෙල් ආරක්ෂක හමුදාව (IDD) ඈඳාගත් ප‍්‍රදේශවල විශේෂ ඒකක දෙකක් පිහිටු විය. තව ද, 1993 ඔස්ලෝ ගිවිසුමෙන් පසු පලස්තීන ප‍්‍රදේශවල ඊස්රායෙල් ජනාවාස ව්‍යාප්ත කිරීමේ වියදම ඊස්රායලයේ ම පර්යන්ත නගරවලින් පියවුන අතර ඒවා ආරක්ෂා කිරීමට තවත් මිලිටරි වියදම් අවශ්‍ය වුනි.

2000 දී දෙවැනි ඉන්ටිෆාඩාව මර්දනය කිරීම අතිරේක ආරක්ෂක වියදම්වලට හා ආර්ථික පිරිහීමකට තල්ලු වුන අතර ආන්ඩුව මහජනතාවගේ සියලුම වියදම් කප්පාදු කරමින් එයට ප‍්‍රතිචාර දැක් වී ය. 2001 සහ 2004 අතර කප්පාදුව නිස් බිලියන 65ක් (ඩොලර් බිලියන 18) විය. වාර්තාව මෙය "පෙර නොවූ විරූ කප්පාදුවක්” යයි විස්තර කලේ ය. 2001 සිට 2005 දක්වා ලමා දීමනා 45%කින් ද, විරැකියා ප‍්‍රතිලාභ 47%කින් ද ආදායම් නඩත්තුව 25%කින් ද කපන ලදී. මෙම කප්පාදු ආරක්ෂක වැය සඳහා ගෙවූ බව මුදල් අමාත්‍යංශය පිලි ගත්තේ ය.

නැගිටීම ඊස්රායලයේ ලේ වැකි මර්දනයෙන් පසු 2001 වියදම් මට්ටම් නැවත සුව වූයේ නැත. 2001න් පසු ඒක පුද්ගල සමාජ වියදම් සෑම වසරක ම පහත වැටී ඇති අතර ආරක්ෂක වියදම් ඉහල ගොස් ඇත.

ඊස්රායලය වසරකට ආධාර වශයෙන් ඇමරිකාවෙන් ඩොලර් බිලියන තුනක් ලබයි. අඩු ම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 13ක් හෝ දල ජාතික නිෂ්පාදනයෙන් හරියට ම 7%-8%ක විය හැකි යයි විශ්වාස කෙරෙන, ලෝකයේ ඉහල ම ඒවායින් එකක් වන ඊස්රායලයේ යුද අයවැය පියවීමට එය කිසිසේත් ප‍්‍රමානවත් නැත.

දිග් ගැස්සුන ගැටුම පලස්තීන හා ඊස්රායල ජාතිකයන් ඊස්රායල් සමාජයට ඒකාබද්ධ කිරීමත්, ඔවුන්ගේ සමාජ හා ආර්ථික දියුනුවත් වැලැක්වී යැයි ස්වීර්ස්කි තව දුරටත් කීවේ ය.

යුද අයවැය කිසි දා ප‍්‍රකාශයට පත් නොකෙරෙන බැවින් ඈඳා ගැනීමේ නිය ම වියදම අප‍්‍රකට ය. ප‍්‍රකාශයට පත් කෙරෙන සියලු දේ ඈඳා ගැනීම සඳහා "අතිරේක විශේෂ වියදම්” ය. 1989 සහ 2010 අතර මෙම අතිරේක විසර්ජනය පමනක් 2009 මිල ගනන් අනුව නිස් බිලියන 45 කි. (ඩොලර් බිලියන 12.6කි). මෙය "ඊස්රායලයේ ප‍්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය සඳහා වන සමස්ථ අයවැය වෙන් කිරීමට වඩා විශාල” යයි වාර්තාව සටහන් කර යි.

2005 ගාසාවෙන් "ඉවත්වීමට” නිස් බිලියන 9ක් (ඩොලර් බිලියන 2.5ක්) වැය විය. ඊස්රායලය හා බටහිර ඉවුර අතර වෙන් කිරීමේ තාප්පය ඉදිකිරීමට නිස් බිලියන 13ක් වැය විනැ යි බ්‍රෝඩෙට් කොමිසම ඇස්තමේන්තු කලේ ය. මෙම මුදල සෞඛ්‍ය ආරක්ෂන වියදමට සමාන ය.

දකුනු ලෙබනනයේ පලස්තීනයට පක්ෂ යටිතල පහසුකම් ඉවත් කිරීමට වූ යුද්ධයට නිස් බිලියන 8.2ක් (ඩොලර් බිලියන 1.3ක් ) වැය විය. 2008-09 ගාසාවට එරෙහි කාස්ට් ලීඩ් මෙහෙයුමට තවත් නිස් බිලියන 4.5ක් (ඩොලර් බිලියන 2.3ක්) හා ගාසාවට යාබද ප‍්‍රදේශය ශක්තිමත් කිරීමට අතිරේක නිස් බිලියන 1ක් (ඩොලර් මිලියන 280ක්) වැය විය.

එවැනි මිලිටරි වියදම් කිරීම්වල බලපෑම ඊස්රායල් සමාජයේ සියලු ම සමාජ ස්ථරයන්ට මහත් විනාශයක් වී ඇත - ඉහල ම පොහොසත්තු ආරක්ෂා කෙරී ඇත. ඊස්රායල් ආන්ඩුව මහජනයාගේ අවශ්‍යතාවයන් හෝ එහි සියලු ම යුදෙව් පුරවැසියන්ගේ අවශ්‍යතාවයන් වත් නියෝජනය නොකර යි, නමුත් එය වොෂින්ටනයේ තම හාම්පුතුන් වෙනුවෙන් ජාත්‍යන්තර තක්කඩින් ලෙස ක‍්‍රියාකරන දූෂිත හා පගාකාර කල්ලියක් වන මූල්‍ය ප‍්‍රභූවේ කොටසකගේ අවශ්‍යතාවයන් නියෝජනය කර යි.

පොහොසතුන් හා දුප්පතුන් අතර පමනක් නොව කම්කරු පන්තියේ එකිනෙකට වෙනස් කොටස් අතර එනම්, යුරෝපීය සම්භවයක් ඇති යුදෙව් ඊස්රායල් ජාතිකයින්, මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකානු සම්භවයක් ඇති යුදෙව් ඊස්රායල් ජාතිකයින්, පලස්තීන ඊස්රායල් ජාතිකයින්, දිලිඳු තත්වයට වැටුනු පාරම්පරික යුදෙව්වන් හා බටහිර ඉවුරේ හා ගාසාහි මිලියන 3.5ක් වන පලස්තීන ජාතිකයන් අතර අසමානතාව ඉහල ගොස් ඇති අතර තව දුරටත් වැඩෙමින් පවතින බව ඇඩ්වාගේ 2009 -10 වාර්ෂික සමාජ වාර්තාව පෙන්ව යි. 2010 දී ඊස්රායලයේ ගිනී සංගුනකය 39%කි. එය ලෝකයේ පොහොසත් ම රටවලින් සමාජමය වශයෙන් ඉතාමත් අසමාන එකක් බව පෙන්ව යි.

දුප්පත් ම සියයට 40 ආදායම් ඉතාමත් පහල යාමත් සමග 2009 දී කම්කරුවන්ගෙන් සියයට 80කගේ දල සාමාන්‍ය ආදායම පහත වැටුනි. මධ්‍යම මට්ටමේ කාන්ඩයේ 1988දී සියයට 33 සිට 2009දී සියයට 27 දක්වා පහත වැටී ඇත. සියලු ම කුටුම්භ ගත් විට මෙම කාන්ඩයේ ආදායම පහත වැටීම සියයට 28 සිට 21 දක්වා වෙයි.

ඊස්රායලයේ සියයට 52ක් දුගී හෝ අන්ත දුගී වන අතර පලස්තීන ඊස්රායල් ජාතිකයන්ගේ වාර්ෂික ඒක පුද්ගල ආදායම යුදෙව් ඊස්රායල් ජාතිකයන්ගේ ආදායමෙන් 1∕3කි. ඔවුහු රක්ෂා හා අධ්‍යාපනය, සමාජ සුභසාධන හා නිවාස ආයෝජන මුදල් වෙන් කිරීම්වල දී අසාධාරනයට මුහුන දෙති. 850,000ක් වන සියලු ම දුප්පත් ලමුන් අතරින් භාගයක් පලස්තීන ඊස්රායල ජාතිකයන්ය.

විරෝධතා ව්‍යාපාරයේ තවත් ප‍්‍රධාන එල්ලයක් වන සියලු ම මට්ටමේ අධ්‍යාපනය බියකරු තත්වයකට ලක්ව ඇති බව මුලු ලොව ම වාගේ පිලිගනී. අනෙකුත් දියුනු රටවලට සාපේක්ෂව ගුරුවරුන්ගේ වැටුප් පහල වන අතර පන්ති කාමරවල ප‍්‍රමානය අවශ්‍යවාටත් වැඩි ය. ඊස්රායලයේ ඉහල ම ශිෂ්‍යයන් ද ඇතුලත් ශිෂ්‍යයන්ගේ කාර්ය දර්ශනය ගත් විට ජාත්‍යන්තර මට්ටමින් පහත් ය. සමාජ කන්ඩායම් අතර ආදායම් අසමානතාව ඉතාමත් නිරුවත් ව පිලිබිඹු කරමින් අවුරුදු 17 සිසුන්ගෙන් 54%ක් උසස් පාසලින් උපාධිය ලැබීමට සමත් නොවී ය.

රජයේ ප‍්‍රතිපාදන පහත වැටී තිබීමත් සමග ම නොකඩවා ඉහල ගොස් තිබෙන අතිරේක සෞඛ්‍යආරක්ෂා රක්ෂනය මත කෙරෙන කුටුම්භ වියදම් පිලිබිඹු කල පරිදි සෞඛ්‍ය ආරක්ෂාව ලබා ගැනීමට ඇති ඉඩකඩ ද අයහපත් ය. දුප්පතුන් ඔවුන්ගේ ආදාමෙන් වඩා ඉහල අනුපාතයක් සෞඛ්‍ය ආරක්ෂාවට වැය කරන අතර ඔවුන්ගේ වඩාත් සීමිත රක්ෂන ඔවුන්ට ගෙන දෙන්නේ සැලකිය ලෙස අඩු ප‍්‍රතිලාභයකි.

රජයේ විශ‍්‍රාම වැටුප් අව ම ජීවන තත්වයන්ටත් වඩා පහල නිසා වැඩිහිටියන්ට අයහපත් ලෙස බලපා ඇත. වැඩි දෙනාගේ ආදායම් ඉතා පහල නිසා ඔවුන්ගේ විශ‍්‍රාම දිවිය සඳහා යමක් ඉතිරි කිරීම අපහසු ය. ඇඩ්වා වාර්තාව අනුව පහල ම සියයට 20 විශ‍්‍රාම යන කාලය වනවිට කිසි දෙයක් ඉතිරි නොකරති.

මෙම තත්වයෝ ඊස්රායලය තුල සමාජ අසමානතාවට එරෙහි සාර්ථක අරගලයක් සඳහා ධනේශ්වර සියොන්වාදී ආන්ඩුවට හා ලෝක ධනවාදයේ අපරාධකාරී ප‍්‍රතිපත්තිවලට එරෙහිව ඊස්රායල්, පලස්තීන හා අරාබි කම්කරු ජනතාවගේ ඒකාබද්ධ අරගලයක දැවෙන අවශ්‍යතාවය මතු කෙරෙන බව අවධාරනය කරති.