එක්සත් ජනපදයේ නය සීමා ගනුදෙනුව

The US debt ceiling deal

1 August 2011

රිපබ්ලිකානු හා ඩිමොක‍්‍රටික් කොන්ග‍්‍රස් නායකයින් ෆෙඩරල් නය සීමාව 02 දිනට පෙර ඉහල දැමිය යුතු බවට භාන්ඩාගාරය පනවන ලද නියමය පරිදි කටයුතු කිරීමේ එකඟත්වයකට පැමින සිටින බව දැනුම්දීම සඳහා ජනාධිපති ඔබාමා ඉරිදා රාත‍්‍රියේ ධවල මන්දිරයෙහි සුලු වේලාවක් පෙනී සිටියේය. ආසියාවේ මූල්‍ය වෙලඳපොලවල් විවෘත කිරීමට ප‍්‍රථම කතාකල ඔබාමා "දෙපක්ෂයේම නායකයින්ට” තුතිය පලකල අතර එකඟත්වය "නය පැහැර හැරීමක් වලක්වා ගැනීමට අපට ඉඩ සැලසී” යයි ප‍්‍රකාශ කලේය.

සෙනේට් සභාව හා නියෝජිත මන්ත‍්‍රී මන්ඬලය තවමත් මෙම ගිවිස්නාව අනුමත කල යුතුව ඇතත් ධනවතුන්ගේ බදු එකදු ඩොලරයකින් හෝ වැඩි නොකර දේශීය සමාජ වියදම් මත පෙර නොවූ විරූ කප්පාදු පනවා ඇත.

වහාම ඩොලර් ටි‍්‍රලියනයකින් හා සිව් මසක් ඇතුලත ටි‍්‍රලියන 1.7න් යන ආකාරයට පියවර දෙකකදී නය සීමාව ඉහල නැංවීමට එය යෝජනා කරයි. කොන්ග‍්‍රසයේ ප‍්‍රමුඛ රිපබ්ලිකානුවා වන බොයිනර් ඉල්ලා සිටි පරිදි ඉදිරි දස වසරක කාලය තුල වියදම් කප්පාදුව ඩොලරයට ඩොලරය සමාන වන පරිදි නය සීමාව වැඩිකරනු ඇත. ඔහු කියා සිටියේ සම්මුතිය මඟින් "රිපබ්ලිකානුවන් ඉල්ලා සිටි සෑම දෙයක්ම ඔවුන්ට ලබාදෙනු ඇති” බවයි.

අධ්‍යාපනය නිවාස ප‍්‍රවාහනය හා පරිසරය ඇතුලු ප‍්‍රධාන කොටම හිමිකම් නොමැති දේශීය වැඩසටහන් පිලිබඳව උප ජනාධිපති ජෝසෆ් බිඩෙන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති ද්වි පාර්ශවික සාකච්ඡා වලදී මේ වන විටත් එකඟත්වයකට පැමින තිබෙන කප්පාදු ප‍්‍රථම ටි‍්‍රලියනයට ඇතුලත් වනු ඇත. ඔක්තෝබර් 01 දිනෙන් ආරම්භ වන 2012 මුදල් වර්ෂය තුල බිලියන 25ක් ද 2013 වර්ෂයට බිලියන 47ක් හා ඉන් එහාට ද දිවෙන මෙම කප්පාදුවේ ක්ෂනික බලපෑම සැලකිය යුතු තරම්ය.

එක් ආයතනයකින් ඩිමොක‍්‍රටිකයින් තිදෙනෙක් හා රිපබ්ලිකානුවන් තිදෙනෙක් වශයෙන් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් මන්ත‍්‍රී මන්ඬල-සෙනේට් කමිටුවට තෑන්ක්ස්ගිවිං උත්සවය දක්වා කාලය තුල අතිරේක ඩොලර් ටි‍්‍රලියන 1.7 සිට 1.8 දක්වා වන වියදම් කප්පාදු හඳුනා ගැනීමට කාලය ලැබේ. ඒවාට සෞඛ්‍ය පහසුකම් සෞඛ්‍ය ආරක්ෂනය හා සමාජ ආරක්ෂනය වැනි හිමිකම් සහිත වැඩසටහන් ඇතුලත්ය. න්‍යායිකව කමිටුවට ආන්ඩුවේ ආදායම වැඩි කිරීම සඳහා නිශ්චිත බදු සහන අවසන් කිරීමේ යෝජනා ඉදිරිපත් කල හැකි වුවත් ධනවතුන්ගේ සංකේත බදු වැඩිකිරීමට පවා රිපබ්ලිකානුවන් දැඩි සේ විරුද්ධ වන අතර ඔබාමා හා කොන්ග‍්‍රසයේ ඩිමොක‍්‍රටික් නායකත්වය හිඟ අඩුකිරීමේ කුමන හෝ පැකේජයකට යම් බදු වැඩිකිරීම් ඇතුලත් විය යුතුය යන ඔවුන්ගේ පූර්ව ඉල්ලීම අතහැර දමා ඇත.

ද්වි පාර්ශවික කමිටුව එකඟත්වයකට පැමිනීමට අපොහොසත් වුවහොත් බදු වැඩිකිරීම් අත්හිටුවා අදාල ප‍්‍රමානයකින් වියදම් අඩුකිරීමට දේශීය සමාජ වැඩසටහන් හා මිලිටරි යන දෙ අංශයේම වියදම් කපා හරිනු ඇත. මාධ්‍ය වාර්තාවන්ට අනුව කමිටුව සැලැස්මකට එකඟ වීමට අසමත් වීම නිසා ස්වයංක‍්‍රීය කප්පාදු වලට යාමට සිදුවුවහොත් ඒවාට සමාජ ආරක්ෂාව හැර සෞඛ්‍ය ආරක්ෂනය ඇතුලත් වනු ඇත. මෙම වාතාවරනය තුල සමාජ ආරක්ෂාව කප්පාදුවෙන් ඉවත් කිරීම කොන්ග‍්‍රසයේ ඩිමොක‍්‍රටිකයින් වෙත වීසිකල මස් කටුවක් පමනි. මන්ද යත් ටී පාටි සංවිධානයට සම්බන්ධකම් ඇති සමහර අන්ත දක්ෂිනාංශික රිපබ්ලිකානුවන්ගේ අපේක්ෂිත පිල් මාරුව වැලැක්වීමට ඔවුන්ගේ ඡන්ද අවශ්‍ය බැවිනි.

වියදම් කප්පාදුව හා නය සීමාව වැඩිකිරීම එකම ප‍්‍රමානයකින් සිදුවිය යුතු නමුත් ඉරාකයේ හා ඇෆ්ගනිස්ථනයේ යුද්ධ අකුලා දැමීමෙන් ඩොලර් ටි‍්‍රලියනයකට වැඩි මිලිටරි වියදම් අඩුකිරීම ඇතුලත් වියයුතු බවට රීඩ් ගෙන ආ යෝජනාව ලත් තැනම ලොප් කරමින් 30 දින කොන්ග‍්‍රස් මන්ත‍්‍රීවරු ඡන්දය දීමෙන් පසුව ඉහත ගිවිසුමේ සැකිල්ල එලිමහනට පැමිනියේය.

මන්ත‍්‍රී මන්ඩලයේ රිපබ්ලිකානුවන්ට අවශ්‍ය වූයේ සමාජ පිරිවැයේ වඩා විශාල කප්පාදුවකි. එබැවින් ඔවුහු රීඩ් ගෙනආ යෝජනාවට විරුද්ධව ඒකමතිකව ඡන්දය දුන්හ. හිටපු ජනාධිපති අපේක්ෂක ඩෙනිස් කුසිනික් ද ඇතුලු මන්ත‍්‍රී මන්ඩලයේ සෑම ලිබරල් ඩිමොක‍්‍රටිකයෙක්ම පාහේ රීඩ්ගේ යෝජනාවට හා එය ඉල්ලා සිටි දැවැන්ත දේශීය වියදම් කප්පාදුවට පක්ෂව ඡන්දය දුන්හ.

ඩොලර් ටි‍්‍රලියන 2.4ක වියදම් කප්පාදුවක් ඇතුලත් රීඩ්ගේ සංශෝධිත යොජනාව රිපබ්ලිකානුන්ගේ බාධා කිරීමට එරෙහිව ඩිමොක‍්‍රටිකයින්ට ඡන්ද 50ක් පමනක් රැස්කරගත හැකි වීමේ හේතුව මත 31දා සෙනේට් සභාවේදී පරාජයට පත් විය. වඩාත් විශාල කප්පාදු අවශ්‍ය යයි කියා සිටි ඩිමොක‍්‍රටික් සෙනේට් සභිකයින් දෙදෙනෙක් එයට විරුද්ධව ඡන්දය දුන්හ.

එක් විචාරකයෙකුට අනුව අවසාන ගිවිසුම හැඩගැන්වෙන අවස්ථාව වන විට නය සීමාව වැඩි කිරීම සඳහා වූ ඩිමොක‍්‍රටික් යෝජනාව "ඉදිරි දස වසර සඳහා ආරක්ෂක නොවන දේශිය වියදමින් ඩොලර් බිලියන 752ක් කැපීමත්” රිපබ්ලිකානු විකල්ප යෝජනාව "එම ක්ෂේත‍්‍රයන්හිම බිලියන 756ක් කැපීමත්” ඉල්ලා සිටියේය. වෙනත් වචන වලින් කිවහොත් ව්‍යාපාරික ඇමරිකාවේ පක්ෂ දෙක අතර වෙනස වැටලීමේ දෝෂයක් පමනි.

නය සීමාව පිලිබඳව මාධ්‍ය ආවරනයට ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා ඔබාමා පාලනාධිකාරයේ නාටකාකාර දක්නාංශික මාරුව තවදුරටත් සැඟවිය නොහැකිය. නිව් යෝර්ක් ටයිම්ස් සිය ඉරිදා පුවත්පතේ මුල් පිටුවෙහි ඔබාමා ධවල මන්දිරයේ "දක්ෂිනාංශික නැඹුරුව” යන සිරස් තලයෙන් පලකල ලිපියක ඔබාමා "රිපබ්ලිකානු බසට හා සමහර ප‍්‍රශ්න වලදී ඔවුන්ගේ ප‍්‍රතිපත්ති වලට අනුගතව ඇති‘‘ බව ලියා තිබේ.

කෙසේ වෙතත් මෙම නිරීක්ෂනය එයාකාරයෙන්ම දෙපිටකාට්ටුවකි. කාරනය ඔබාමා රිපබ්ලිකානුවන්ගේ පාර්ශවයට ගොස් ඇති බව නොවේ. අයවැය කප්පාදුවේ එකඟත්වය රිපබ්ලිකානුවන් තරමටම ඩිමොක‍්‍රටිකයින් ද ඇතුලු ධනපති දෙපක්ෂයේම ද්වි පාර්ශවික සහානුමතිය පිලිබඳ ප‍්‍රකාශනයකි. නය සීමාව වැඩිකිරීම සමාජ ප‍්‍රතිපත්ති පිලිබඳ කුමන හෝ ප‍්‍රශ්නයකින් වෙන්කර සැලකිය යුතුය යන ඔහුගේ පූර්වගාමීන් අනුගමනය කල සිය පරිපාලනයේ මුල් ආස්ථානය අතහැර දමමින් එය දැවැන්ත හිඟ කප්පාදුවකට ගැට ගැසිය යුතු බව අවධාරනය කලේ ඔබාමාය.

තම පක්ෂය දැඩි සමාජ වියදම් කප්පාදු වැලඳ ගැනීම පිලිබඳව කයිවාරු ගසමින් එය "සම්මුතියකට ඇති කැමැත්ත” ලෙස පිංතාරු කල තුන්වන පෙල ඩිමොක‍්‍රටිකයෙක් වන නිව් යෝර්ක්හි සෙනේට් සභික චාර්ල්ස් ෂූමර් ඉරිදා දිනයේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා වැඩ සටහන් ගනනාවක පෙනී සිටියේය. ඔහු මෙසේ පැවසීය. "‘කප්පාදු එපා’ යයි පැවසනු ඇති වමේ මිනිසුන් සිටිය හැකිය. එහෙත් අපගේ පක්ෂය තුල ඔවුන්ට සිය මාවත ඔස්සේ ඉදිරියට යා නොහැකිය.”

සාකච්ඡා කෙරෙමින් ඇති කප්පාදුවේ සැබෑ මානව වියදම පිලිබඳව ඩිමොක‍්‍රටික් හෝ රිපබ්ලිකන් යන මහා ව්‍යාපාරිකයේ හෝ මාධ්‍යයේ කිසිදු නියෝජිතයෙක් වෙතින් මොනම හඬක් හෝ නොනැගෙන තරම්ය. ප‍්‍රාන්ත 50ම වාර්ෂික හිඟයන් මෙන් දෙගුනයක් තරම් වන වසරකට ඩොලර් බිලියන 300 බැගින් වසර දහයකදී කපා හැරෙන ඩොලර් ටි‍්‍රලියන් තුනක දේශීය සමාජ වියදම යෝධ මුදල් කන්දරාවකි. එය වනාහි අධ්‍යාපනය නිවාස හා නාගරික සංවර්ධනය කම්කරු ප‍්‍රවාහන කෘෂිකර්ම හා සත්ව පාලන දෙපාර්තමේන්තුවල ඒකාබද්ධ වාර්ෂික අයවැයට වඩා වැඩි ප‍්‍රමානයකි.

කප්පාදුවල ආරම්භක බලපෑම දැනෙනු ඇත්තේ අධ්‍යාපනය, පොදු නිවාස, මහජන ප‍්‍රවාහනය හා පරිසරය ආරක්ෂා කිරීම පිලිබඳ ක්ෂේත‍්‍රයන්හි සමාජ යටිතල ව්‍යුහයටය. එසේම අන්ධ ආබාධිත දුගීන් සඳහා වන සෞඛ්‍ය ආරක්ෂනයට සම්බන්ධ වැඩසටහන් වලටය. වෙනත් වචන වලින් කිවහොත් 2012 මැතිවරන සාමකාමීව අවසන්වූ වහාම සෞඛ්‍ය ආරක්ෂනයෙන් ආවරනය වන වයස්ගතවූවන් ලක්ෂ 50කට වැඩි ප‍්‍රමානයකට කප්පාදුව දැනෙන්නට පටන්ගනු ඇත.

මෙම කප්පාදුව ආරම්භය පමනක් වන බව පැහැදිලි විය යුතුය. වෝල් ස්ට්‍රීට් ජර්නල් කතෘ මන්ඬලය වැනි මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ කථකයෝ අමතර ටි‍්‍රලියන ගනන් කප්පාදු වෙනුවෙන් බල කරති. ඒවාට සෞඛ්‍ය පහසුකම් හා සමාජ ආරක්ෂාව පුද්ගලීකරනය හා අවසානයේදී අහෝසි කිරීම අරමුනු කරගත් සමස්ත විනාශයක් ද ඇතුලත්ය. කම්කරු පන්තියට එරෙහිව මෙම ඓතිහාසික ප‍්‍රහාරය සිදුකිරීමේ උපායික මාධ්‍යය පිලිබඳව පමනක් ඔබාමා හා ඩිමොක‍්‍රටිකයින් අනෙක් කොටසෙන් වෙනස් වෙයි.

අවසාන විග‍්‍රහයේදී මෙම සමාජ ප‍්‍රතිවිප්ලවය ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික අර්බුදය හා බංකොලොත්කම පිලිබඳ ප‍්‍රකාශනයකි. තම දේපල හා ලාභ ආරක්ෂාකර ගැනීමේ අටියෙන් පාලක පන්තිය සියවසක අරගල වලින් ඇමරිකානු කම්කරු පන්තිය දිනාගෙන ඇති සෑම සහනයක්ම වනසා දැමීමට අරමුනු කර ඇත.

වැඩකරන ජනතාවට මෙම ප‍්‍රහාරයට එරෙහිව බැරෑරුම් අරගලයක් ගෙනයා හැක්කේ තම මූලික ආර්ථික මූලාශ‍්‍රය හඳුනා ගැනීමෙන් පමනි. සමාජ ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂනය සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් සමාජ වැඩසටහන් ආරක්ෂා කර ගැනීම සඳහා ලාභ පද්ධතියට එරෙහි දේශපාලන අරගලයක් ඉල්ලා සිටියි. කම්කරු පන්තිය ඩිමොක‍්‍රටිකයින්ගෙන් කැඩිය යුතුය. ඔබාමා පාලනයට එරෙහිව පෙලගැසිය යුතුය. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත තමන්ගේම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුය.

පැටි‍්‍රක් මාටින්