එක්සත් ජනපද අයවැය කප්පාදු සහ සමාජවාදය සඳහා අරගලය

The US budget cuts and the fight for socialism

3 August 2011

සමාජ වියදම්වලින් ඩොලර් ටි‍්‍රලියන ගනනක් කපා දැමීම සඳහා ඔබාමා පාලනාධිකාරයත් රිපබ්ලිකන් පක්ෂයත් අතර ඇති කර ගත් එකඟතාව, එක්සත් ජනපදය තුල සමාජ කැලඹීම්වල ද පන්ති අරගලයෙහි ද නව කාල පරිච්ඡේදයක් සංඥා කරයි.

එක්සත් ජනපදයත් මුලු ලෝකය මත් ආර්ථික අවපාතයක ගිල්වූ සමපේක්ෂන වියරුව හේතුවෙන් මුල පිරුනු මූල්‍ය බිඳ වැටීමෙන් වසර තුනකට ආසන්න කාලයකට පසුව, අර්බුදයට වගකිවයුතු පාලක පන්තිය 20 වන සියවසෙහි දිනා ගත් සෑම සමාජ ප‍්‍රතිසංස්කරනයක් ම ආපසු හැරවීමට සැලසුම් කරමින් සිටී.

අඟහරුවාදා ඔබාමා අත්සන් තබා නීතිගත කල ගනුදෙනුවට අනුව, වසර දහයක දී ඩොලර් බිලියන 900ක ක්ෂනික වියදම් කප්පාදුවක් කල යුතු ය; ඊට අමතරව, 2011 අවසානය වන විට තවත් ඩොලර් ටි‍්‍රලියන 1.5ක් කපා හෙලිය යුතු ය. දංගෙඩිය මත තබා ඇත්තේ, අධ්‍යාපනය සඳහා ලබා දෙන දීමනා, ආහාර සහ බලශක්ති සහන අරමුදල්, සංගත නියාමනය සහ බෙහෙවින් වැදගත් ෆෙඩරල් සෞඛ්‍ය රැකවරන සහ විශ‍්‍රාම ගැන්වීමේ වැඩ සටහන් ය.

මෑත කාලීන ආර්ථික දත්තවලින් පැහැදිලි වන්නේ සමාජ අර්බුදය තව තවත් උග‍්‍ර වෙමින් පවතින බව යි. ආර්ථිකය එක තැන පල් වෙයි. දසලක්ෂ සංඛ්‍යාත ජනයා නිමක් නොපෙනෙන දිග් ගැසුනු විරැකියාවකට මුහුන දී සිටිති. රට පුරා ජනපද සහ ප‍්‍රාන්ත ආන්ඩු බංකොලොත්ව ඇත, ප‍්‍රතිචාර දක්වන්නේ පාසල් වසා දැමීමෙන් සහ සෞඛ්‍ය රැකවරනය පුලුල්ව කපා හැරීමෙනි. ෆෙඩරල් වැයෙහි කරන කප්පාදු මෙම අර්බුදය උග‍්‍ර කරනවා පමනකි.

ආර්ථික ප‍්‍රතිපත්ති ආයතනය සඳුදා නිකුත් කල වාර්තාවක තක්සේරුවට අනුව, කප්පාදු කිරීම්වල ප‍්‍රතිඵලයක් හා කම්කරුවන් සඳහා විරැකියා දීමනා සහ පඩිපත් බදු සහනයක් ලබා දීමට නය සීමා වැඩ පිලිවෙල අසමත් වීම නිසා ලබන වසරේ දී රැකියා ලක්ෂ 180ක් අහිමි වනු ඇත. මෙය ආරම්භයක් පමනකි. නීතිය පැනවීම සඳහා අත්සන යොදන්නට කලින් ඔබාමා ම ප‍්‍රකාශ කලේ, එය "ජාතියක් හැටියට, අප අපට තිබෙන හැටියට ජීවත් වන බව සහතික කරන වැදගත් පලමු පියවරක්” පමනක් බව යි.

උපරිම නය සීමා විවාදයේ ප‍්‍රතිඵලය ඔබාමාගේ ලිබරල් ආධාරකරුවන් නිරුත්තර කර ඇත. වොෂින්ටනයෙහි පැවති නිල "විවාදයේ” අතිශය පටු සීමාව තුල පවා, බොහෝ දෙනෙකුගේ පිලිගැනීම වූයේ අවසන් එකඟතාවෙන් රිපබ්ලිකන් පක්ෂය ඉල්ලා සිටි සෑම දෙය ම ලැබෙන බව යි. සංගත බදු විරාම කිහිපයක් ඉවත් කරන "සමබර ප‍්‍රවිෂ්ටයක්” සඳහා තමන් කල ඉල්ලීම අත් හල ඔබාමා, මුලුමනින් ම කප්පාදුවලින් සමන්විත වැඩ පිලිවෙලක් නීතියක් බවට පත් කරමින් අත්සන යෙදී ය.

ලිබරල් ආර්ථික අටුවාකාරයෙකු වන පෝල් කෘග්මාන් සඳුදා නිව් යෝක් ටයිම්ස් පුවත්පතෙහි රචනයක් පල කරමින්, ඔබාමාගේ "තුච්ඡ යටත් වීම” පිලිබඳව වැලපුනේ ය. ජනාධිපතිවරයා ගත් මග හැරුනු විට, කොන්ග‍්‍රස් සභා දෙක ම ඩිමොක‍්‍රැටිකයන්ගේ පාලනය යටතේ තිබුනු පසු ගිය වසරෙහි උපරිම නය සීමාව වැඩි කිරීම හෝ උපරිම නය සීමාව මග හැරීමට නීති උපක‍්‍රම යොදා ගන්නා බවට තර්ජනය කිරීම ඇතුලු වෙනත් විකල්පයන් කිහිපයක් ඔහුට පැවති බව කෘග්මාන් පෙන්වා දුන්නේ ය.

තවත් ටයිම්ස් තීරු ලිපිකාරයෙකු වන ජෝ නොසේරා අඟහරුවාදා ලියා තිබුනේ, ඒකපාර්ශ්වීයව උපරිම නය සීමාව ඉහල දමා ගැනීමට "ඔබාමා 14 වන ව්‍යවස්ථා සංශෝධනය යොදා ගත යුතුව තිබුනු” බව යි. "ඔහු ඒ වෙනුවට රිපබ්ලිකන් අන්තවාදීන්ගේ ආනුභාවය උපරිම වුනු ක‍්‍රියා මාර්ගයක් තෝරා ගත්තේ මන්දැයි පැහැදිලි කල නොහේ.”

ප‍්‍රතිඵලය තුල "පැහැදිලි කල නොහෙන” හෝ පුදුම වන්නට කිසිවක් නැත. ටයිම්ස් තීරු ලිපිකාරයන් මෙන් ම නේෂන් සහ වෙනත් ලිබරල් සහ "වාම” ප‍්‍රකාශනවල වැඩ කරන ඔවුන්ගේ සගයන් ද පත්ව සිටින මූලික මුලාවක් නම්, ඔබාමාට කිරීමට වුවමනා නොකල දෙයක් කරන්නට ඔහුට බල කරන්නට හෝ උපක‍්‍රමයෙන් ඔහු ලවා එය කරවා ගන්නට කොහොම නමුත් ඉඩක් තිබුනේ ය යන අදහස යි. නොසේරා, "ඇමරිකානු මහජනතාවට එරෙහිව ජිහාඩ් යුද්ධයක යෙදී ගත්” "ටී පා(ර්)ටි රිපබ්ලිකානුවන්” හෙලා දුටුවේ ය. කෘග්මාන්, උපරිම නය සීමාව සම්බන්ධයෙන් සිදු වුනු විවාදයේ ප‍්‍රතිඵලය "[රිපබ්ලිකන් පක්ෂයේ] අමුඅමුවේ මුදල් පැහැර ගැනීම සහ ඒ සඳහා කිසි ම දේශපාලන පිරිවැයක් දැරීමට සිදු නොවීම” පෙන්නුම් කිරීම ගැන කනස්සලු විය.

ඇත්ත වශයෙන් ම, ෆෙඩරල් උපරිම නය සීමාව ඉහල දැමීමට ගන්නා ඕනෑ ම පියවරක් සමග ඩොලරයට ඩොලරය ගනනේ සමාජ වියදම් කපා හැරීමක් ද සිදු විය යුතු බවට රිපබ්ලිකානුවන් කල ඉල්ලීම ඔබාමා පාලනාධිකාරය සාදරයෙන් පිලිගත්තේ, පෙර කිසි දා නොවූ විරූ දක්ෂිනාංශික පිලිවෙතක් අනුයාමට ඉන් ලැබෙන අවස්ථාව සලකා ගෙන ය. කෙසේ වුව ද, අයවැය හිඟය කපා හැරීමේ නාමයෙන් හිමිකම් වැඩ සටහන්වලට ඇතුලත් විය යුතු සමාජ ආරක්ෂනයට පහර දිය යුතු යැයි යෝජනා කරමින් ඔබාමා රිපබ්ලිකානුවන්ටත් වඩා දුර ගියේ ය.

මෙය වනාහි, 2010 මධ්‍ය කාලීන මැතිවරනයේ දී ඩිමොක‍්‍රැටික් පක්ෂය සැලකිය යුතු පරාජයක් ලැබීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වුනු පාලනාධිකාරයේ දකුනට නැඹුරු වීම අඛන්ඩව සිදු වී ගෙන යාමකි. ඩිමොක‍්‍රැටිකයන් මැතිවරන ප‍්‍රතිඵල ඩැහැ ගත්තේ, ධනවතුන් සඳහා බුෂ් ලබා දුන් බදු කප්පාදු පුලුල් කිරීම ද පසු ගිය සතියෙහි සම්මත කර ගත් නීතියේ දී නව අවධියකට එලඹ තිබෙන අයවැය කප්පාදුවට පක්ෂව උද්ඝෝෂනයක් දියත් කිරීම ද යුක්ති සහගත කරන්නක් ලෙස ය.

කෘග්මාන් සිය කොලම සමාප්ත කරන්නේ කනස්සල්ලට පත්ව කරන මෙම ප‍්‍රකාශයෙනි: "තම කැඳවුම්වලින් රිපබ්ලිකානුවන් ලබා ඇති සාර්ථකත්වය නම් අපගේ සමස්ත ආන්ඩු ක‍්‍රමය ම ප‍්‍රශ්නයට ලක් වීම යි.” රිපබ්ලිකානුවන් සහ ඔබාමා අතර පවත්නා සබඳතාව පිලිබඳව ඔහු කරන විශ්ලේෂනය සාවද්‍ය නමුත් ඔහු තුල පවතින උත්සුකතාවන් යුක්ති සහගත ය. එක්සත් ජනපදයෙහි සමස්ත දේශපාලන සහ සමාජ ක‍්‍රමය ම ඇමරිකානු මහජනතාව ඉදිරිපිට අපකීර්තියට පත් වෙමින් තිබේ.

බුෂ් පාලන කාලය තුල පැවති සමාජ ප‍්‍රතිගාමිත්වයට සහ මිලිටරිවාදයට ප‍්‍රගතිශීලී විකල්පයක් යැයි ගෙන හැර පෑ ඔබාමා තේරී පත් වීම සම්බන්ධයෙන් දසලක්ෂ සංඛ්‍යාත මහජනයා බලාපොරොත්තු තබා සිටියහ. එහෙත් ඔවුන් දැන් තේරුම් ගනිමින් සිටින්නේ, ඔහුගේ මුලුමහත් මැතිවරන උද්ඝෝෂනය ම ප්‍රෝඩාවක් බව යි; ඔහු බලයට පත් කලේ, වඩ වඩාත් දක්ෂිනාංශික, කම්කරු පන්ති විරෝධී ප‍්‍රතිපත්ති අනුයාමේ අරමුනෙන් බුෂ්ට සහාය දුන් තුනී මූල්‍ය ප‍්‍රභූව ම බව යි.

කම්කරු පන්තිය සිටින්නේ ඓතිහාසික සන්ධිස්ථානයක ය. පවත්නා දේශපාලන ක‍්‍රමය තුල හිඳිමින් කිසිවක් වෙනස් කල නොහැකි බව කම්කරුවෝ සහ තරුනයෝ වටහා ගනිමින් සිටිති. මෙම කප්පාදු සම්පූර්නයෙන් ක‍්‍රියාත්මක කෙරෙන්නට පෙර කම්කරු පන්තිය සිය ප‍්‍රතිප‍්‍රහාරය අරඹනු ඇත.

එහෙත්, මෙම අරගල සාර්ථක වන්නට නම් කම්කරුවන් අත්‍යවශ්‍ය දේශපාලන නිගමනවලට එලඹිය යුතු ය. මෙම ගැටලුවේ මූලය වන්නේ දැවැන්ත බැංකුවල සහ සංගතවල ලාභ අවශ්‍යතාවලට ආර්ථිකය යට කරන ධනපති ක‍්‍රමය ය යන අවබෝධයෙන් වැඩ පටන් නොගත හොත්, අර්බුදයට විසඳුමක් තිබිය නොහැකි ය.

ඩිමොක‍්‍රැටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙක ම ක‍්‍රෑර ලෙස මෙම ක‍්‍රමය ආරක්ෂා කරයි. උපරිම නය සීමා සාකච්ඡාවල ප‍්‍රතිඵලය වූකලි, ඔබාමා වමට තල්ලු කල හැකි යැයි මායාවන් පතල කලවුන් සහමුලින් ම හෙලිදරව් වීමකි. එම සාකච්ඡා පෙන්නුම් කරන්නේ, මූල්‍ය සහ සංගත ප‍්‍රභූවේ බලගතු ම කොටස් සමස්ත දේශපාලන ක‍්‍රමය මත ම දැඩි ග‍්‍රහනයක් පවත්වා ගෙන යන බව යි.

එමෙන් ම, එක්සත් ජනපදයෙහි කම්කරුවන්ට එල්ල කරන ප‍්‍රහාරය ජාත්‍යන්තර ක‍්‍රියා දාමයක කොටසකි. ඔබාමාගේ අයවැය කප්පාදු, තමන් එල්ල කරන ප‍්‍රහාරය පුලුල් කිරීමට සෑම රටක ම පාලක පන්ති දිරි ගන්වනු ඇත. ඇමරිකානු කම්කරු පන්තියේ මග නොහැරිය හැකි සගයා ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.

පාලක පන්තියේ මෙහෙයවීමෙන් දිග හැරෙන සමාජ ප‍්‍රතිවිප්ලවය එහි ප‍්‍රතිපක්ෂයෙහි අවශ්‍යතාව මතු කරයි: එනම්, සමාජ විප්ලවය යි. මූලික ප‍්‍රශ්නය වනුයේ දේශපාලන නායකත්වය පිලිබඳ ප‍්‍රශ්නය යි. ඔබාමා පාලනාධිකාරය වැඩ පටන් ගත් දා පටන් ම, සමාජවාදී සමානතා පක්ෂය එහි පන්ති ස්වභාවය සහ එහි ප‍්‍රතිපත්තිවල තර්කනය පැහැදිලි කර ඇත. පාලක පන්තිය ගන්නා පියවරයන් එක්සත් ජනපදය තුල කම්කරු පන්ති අරගල යලි කරලියට ඒමට තුඩු දෙනු ඇතැයි අපි අපේක්ෂා කලෙමු.

මෙම විශ්ලේෂනය සනාථ වී ඇත. දැන් හැරීම ගත යුත්තේ මහා සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට යි. තම වැටුප් සහ ප‍්‍රතිලාභ වැනසී යාම අත්දකිමින් සිටින කාර්මික කම්කරුවන්, රජයේ අධ්‍යාපනයෙහි ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට දහස් ගනනින් දොට්ට දැමෙන සහ බිල්ලට දෙන ගුරුවරුන්, ජීවත් වීමට තරම් වැටුපක් සරි කර නොගන්නා සේවා කම්කරුවන්, නය බරින් මිරිකී සිටින කම්කරු පන්තික තරුනයන්, රැකියාවක් පිලිබඳ කිසිදු අපේක්ෂාවක් නොමැති රැකියා වියුක්තිකයන් -යන රටේ සෑම කොටසක ම කම්කරු පන්තික කොටස් අතර, එලඹෙන සතිවල දී සහ මාසවල දී, සමාජවාදී සමානතා පක්ෂය සිය වැඩ කටයුතු තීව‍්‍ර කරනු ඇත.

විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියා මාර්ගය මත පදනම්ව, අප වර්ධනය වෙමින් පවතින අරගලවල නායකත්වය දිනා ගන්නා බව, අපට මුලුමනින් ම විශ්වාසය ය. එහෙත් එවැනි සටනකට, සමාජවාදයේ අවශ්‍යතාව පිලිගන්නා සියල්ලන්ගේ ක‍්‍රියාකාරී සහභාගිත්වය අවශ්‍ය ය. එනිසා, සමාජවාදී සමානතා පක්ෂයට එක් වන්න තීරනය කල යුතු කාලය යි මේ.

ජෝසප් කිශෝර්