ශ‍්‍රී ලංකාවේ දකුනු ප‍්‍රදේශයේ ධීවර ජනතාව චන්ඩ මාරුතයෙන් ව්‍යසනයට ලක් වෙති

By our correspondents, 1 December 2011

සිකුරාදා ශ‍්‍රී ලංකාවේ දකුනු පලාතේ මුහුදුකරය අලලා හමා ගිය චන්ඩ මාරුතයෙන් ධීවරයන් 22ක් මිය ගොස් අඩුම ගනනේ 15 දෙනෙක් අතුරුදහන් වී ඇතැයි වාර්තා විය. මුහුදු ගිය බෝට්ටු 40 ක තොරතුරු තවමත් සොයා ගැනීමට හැකි වී නැත. සම්පූර්නයෙන් විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 700 ඉක්මවන අතර තවත් 4,000කට අධික නිවාස සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හානියට පත් ව ඇත. වරායවල නවතා තිබූ බෝට්ටුවලට ද අලාභහානි සිදු විය.

මෙම ව්‍යසනය සිදු වූයේ ලංකාවේ පලාත් ගනනාවකට කඩා හැලෙන නිරිතදිග මෝසම් වැසි ද සමගිනි. දිවයිනේ නැගෙනහිර දෙස ත‍්‍රීකුනාමලේ, මඩකලපුව, අම්පාර හා මොනරාගල යන ප‍්‍රදේශ ද උතුරු මැද සහ උතුරු පලාතේ ද ස්ථාන ගනනාවක් ධාරානිපාත වැසි සමග ගංවතුරෙන් යට වීම පිලිබඳවත් ජීවිතවලට හා දේපලවලට හානි වීම් ගැනත් වාර්තාවන්ට පටන් ගෙන ඇත.

සිකුරාදා උදේ පටන් ගෙන දවස පුරා පැවති කුනාටු සහගත තත්වය ගාල්ල, මාතර හා හම්බන්තොට යන දකුනු වෙරලබඩ දිස්ත‍්‍රික්කවලට දැඩි බලපෑමක් ඇති කලේ ය. සිදු වූයේ හදිසි ස්වාභාවික ආපදාවක් වුවත් ආන්ඩුව හා බලධාරීන් මිනිස් ජීවිත ගැන නොතකා කි‍්‍රයා කරන ආකාරය යලිත් හෙලිදරව් වී ඇත.

දකුනු වෙරලබඩ සිදු වූ විනාශයන්ගෙන් පසු කාල ගුන විද්‍යා දෙපාර්තමේන්තුව වහාම ප‍්‍රකාශ කලේ තමන් කලින් දරුනු සුලංහැමීමක් ගැන අනතුරු ඇඟවූ බවයි. නමුත් අඟහරුවාදා පුවත්පත් සාකච්ඡාවක දී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජී.බී. සමරසිංහ ඉහල අහසේ හදිසියේ ඇති වන මෙවන් කැලඹීමක් ගැන පෙර දැකීමට නොහැකි බව ද අනාගතයේ එවැනි තත්වයක් ඇති නොවේ යයි සහතික කොට කිව නොහැකි බව ද ප‍්‍රකාශ කලේ ය.

අනතුර පිලිබඳව ධීවර ජනයා අතර පවතින කෝපය ආන්ඩුව වෙත එල්ල වීම වැලැක්වීම සඳහා ආපදා කලමනාකාර ඇමති මහින්ද අමරවීර මුල පටන් ම තැත් කලේ ය. හමුදාව හා පොලීසිය මෙවැනි ආපදාවක් සඳහා මුල පටන් ම සූදානම් කර තිබූ නිසා අලාභ අවම කර ගත හැකිවී යයි අමරවීර ප‍්‍රකාශ කලත් ඔවුන් බේරා ගත් එක ජීවිතයක් වත් නැතැයි ධීවරයෝ ප‍්‍රකාශ කලහ.

අඟහරුවාදා පැවති පුවත්පත් සාකච්ඡාවක දී ඔහුට ප‍්‍රකාශ කරන්ට සිදු වූයේ කාලගුන විද්‍යාඥයන්ගේ හා ඉහල තාක්ෂනික උපකරනවල තදබල හිඟයක් පවතින බවයි. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ගේ තත්වයට දෙපාර්තමේන්තුව දියුනු කිරීමේ ප‍්‍රධාන සැලසුම කි‍්‍රයාත්මක කරන්ට නම් රුපියල් බිලියන 12ක් වැය වන බව ප‍්‍රකාශ කලේ එවැනි වියදමකට ඉඩ නැති බව අඟවමිනි. ආන්ඩුවේ ප‍්‍රමුඛතාව ධනපති මහ ව්‍යාපාරිකයන්ට වාසි සැලසීම හා මිලිටරි යන්ත‍්‍රය කම්කරුවන්ට, දුගීන්ට එරෙහිව යෙදවීම සඳහා තව තවත් ශක්තිමත් කිරීම ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ විපතට පත් ජනයා හමුවීමට ගියහ. විපත් සිදුවූ දින දහස් ගනන් ජනයා අහංගම ප‍්‍රදේශයේ වෙරල ආසන්නයේ රැඳී සිටියේ තම ඥාතීන්ගේ හා හිතවතුන්ගේ මෘත දේහයන් කොයි මොහොතේ හෝ ගොඩ ගසනු ඇතැයි යන අපේක්ෂාවෙනි. සඳුදා ද දුසිම් ගනන් වෙරල ආසන්නයේ හා අවට තැන්වල සිදු වූ විපත පිලිබඳ ශෝකයෙන් කතා කරමින් සිටිනු දක්නට ලැබුනි.

අප සෙනසුරාදා එහි යනවිට වැලිගම, කප්පරතොට, බන්ඩාරවත්ත ධීවර ගම්මානයේ ඒ වන විටත් මිය ගිය ධීවරයන් පස්දෙනෙකුගේ අවමඟුල් කටයුතු සූදානම් වෙමින් තිබුනි. පසු දින එම ගනන 10ක් දක්වා ඉහල ගියේ ය.

අවමඟුල් සඳහා ඒ වනවිටත් මුදල් වෙන් කර ඇතැයි ආන්ඩුව ප‍්‍රකාශ කර තිබුනි. අවමඟුල් කටයුතු නිමවන තෙක් එවැනි ආධාරයක් විපතට පත්වූවන්ට ලැබුනේ නැත. ප‍්‍රදේශයේ තරුනයන් සංවිධානය වී එකතු කර ගත් රුපියල් 100,000ක පමන මුදලින් හාල් කිලෝ 50ක් සීනි කිලෝ 20ක් තේ කිලෝ 1ක් හා බීම කේස් 6 බැගින් සෑම අවමඟුල් අවස්ථාවක් සඳහා ම බෙදා දෙන ලදී.

ආන්ඩුවේ ප‍්‍රකාශ කෝපයෙන් හෙලා දුටු තරුනයෝ තම සගයන් මහ මුහුදට බිලි වීමට පෙර පැය 3-4ක් දිය රකුසා සමග පොර බැදු බව ද තව පැය ගනන් සමහරු ජීවත්ව සිටින්නට ඇති බව ද ඒ කාලය තුල ඔවුන් බේරා ගැනීම සදහා කිසිදු වග කිව යුතු අංශයක් කි‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රයා නොකල බව ද පැවසූහ.

බහුදින යාත‍්‍රාවක සේවය කරමින් සිට දිවි බේරාගෙන පැමිනි දමිත් (30) ධීවරයා සියැසින් දුටු ව්‍යසනය විස්තර කරමින් මෙසේ චෝදනා කලේ ය. "බෝට්ටු පෙරලුනේ ගොඩ පෙනි පෙනී. මිනිස්සු එක පාරට මැරුනේ නෑ පැය 4-5ක් සටන් කරල මැරුනේ. ආමි එකෙන් පොලීසියෙන් එක මිනිහෙක්වත් බේරගත්තෙ නෑ. අඩුම ගනනෙ හෙලිකොප්ටර් කීපයක් යොදවන්න තිබුනා, මිනිසුන් බේරාගන්න එහෙම කිසිම උවමනාවක් වත් සූදානමක් වත් තිබුනේ නෑ.”

සිය සැමියා (එස්.එච්. විමලසිරි) හා වැඩිමහල් පුතු යන දෙදෙනා ම අහිමි වූ, ඊ. ජේ අනුලාවතී ශෝකයෙන් සිද්ධිය විස්තර කරමින් මෙසේ කීවාය: "උදේ 3.30ට විතර ඒගොල්ලො පිටත් වුනා. 9.30ට විතර සුලඟ වැඩි වුනා. බෝට්ටුව දෙකට කැඩිලා, අපි වෙරලේ ඉඳන් බලන් සිටියා. ඒගොල්ලො ඇඳුම් හා තොප්පි වනමින් ගොඩින් ආධාර ඉල්ලූවා.... අන්තිමට බෝට්ටුවේ ගිය 4දෙනා ම නැති වුනා. ලොකු පුතාගෙ මිනිය සොයා ගන්නත් බැරිවුනා.”

funeralමිය ගිය විමලසිරිගේ අවමගුලට පැමින සිටි ඔහුගේ ඥාතීන් පිරිසක්

හතලිස් නව හැවිරිදි ඒ.පී ෂෙල්ටන් වීරරත්න ජයසූරිය තමන් මුහුනදුන් තත්වය මෙසේ පැහැදිලි කලේ ය. "මම උපාලි (මිතුරා) සමග එදින උදෙන්ම රැකියාවට ගියා. සුලං තද වීමත් සමග ම ආපසු ඒමට අපි උත්සාහ කරමින් සිටිද්දී බෝට්ටුව රලට හසුවී දුවවන්න බැරි වුනා. අපි වතුර ඉස්සා. ඇන්කර් දාලා බෝට්ටුව බේර ගන්න බැලුවා. ෂෙල්ටන් මල්ලී අද නම් ජීවත් වෙන්න බැරි වෙයි. බෝට්ටුවෙ ආශාව අත් හැරලා ජීවිත දෙක බේරගන්න බලමු කියා උපාලි කීවා. එයා තෙල් ගෙන එන බූලිය ඇඟේ පටලවා ගත්තා. මම රෙජිෆෝම් කාඩ් දෙකක් බැඳ ගත්තා. බෝට්ටුව බේර ගන්න තව ටිකක් බලා සිටියා. බෝට්ටුව පෙරලුනා. උපාලි නොපෙනී ගියා. මම පීනුවා. හැතැප්ම 6ක් විතර එහා තැනකිනුයි ගොඩට ආවේ. ධීවරයන්ට ලයිෆ් ජැකට් එකක්වත් තිබුනනං මෙච්චර ජීවිත ගනනක් විනාශවෙන්නෙ නෑ.”

jayasuriyaවීරරත්න ජයසූරිය

ඩබ්ලිව්.එච්. රුමේෂ් (22), ඩබ්ලිව්.එච්.ලහිරු (17), ටී.එච්. මධුෂාන් (19), පැයක් පමන වේලා පෙරලුනු බෝට්ටුවේ එල්ලී සිට ඇත. එය පැලී ගිය පසු තෙල් ගෙන යන කෑන් එකක් ආධාරයෙන් ගොඩට ඒමට ඔවුන්ට සිදු විය. ඔවුන්ගේ ජීවිත බේරුනේ රුමේෂ් තම සොහොයුරා සහ අනෙක් සගයා ද මෙහෙයවා ගෙන කි.මී.6ක් පමන දුරක් පිහිනමින් පැය 3ක් පමන කාලයක් දිවි ගලවා ගැනීම සඳහා යෙදුනු ධෛර්ය සම්පන්න අරගලය නිසා ය.

youthsරුමේෂ්, ලහිරු හා මධුෂාන්

දේනුවල වෙරලාසන්න මුහුදේ ජීවිත සමග පොර බදමින් සිටි තවත් ධීවරයකු වන ජේ.පී. චමින්දගේ දිවි ගැලවුනේ එම ප‍්‍රදේශයේ තරුන පිරිසක් දිවි නො තකා දැරූ තැත නිසා ය. දරුනු ලෙස ඉහල නගින රල සමග පොර බදමින් තරුනයන් තිදෙනෙක් එම ධීවරයා ගොඩට ගෙන ඒමට උත්සාහ කලහ.

"වරාය හරියට තිබුනා නම් මෙච්චර විනාශයක් වෙන්නේ නැහැ යි කී පලපුරුදු ධීවරයෙකු වන ජී.පී.එච්. රොහාන් තව දුරටත් කියා සිටියේ වැඩි හරියක් බෝට්ටු විනාශ වූයේ වරාය ආසන්නයේ දී බවය. තවත් ඒවා වරාය අසලට පැමින වරාය පිවිසුමේ දරුනු රල පහර දැක ආපසු ගියේ ය. "අරෙහෙ මාර සටන් කරලා ගෙදර ලඟට ම ආවට පස්සෙත් මැරෙන්න සිද්ධ වුනා.” වරාය පිවිසුම ගොඩ වී ඇත. එය නිසි ලෙස හාරා සකස් කල යුතු ය.

rohanජී.පී.එච්. ‍රොහාන්

"ජනපතිතුමා ධීවර ඇමති කාලේ මගේ ගෙදරට ම ඇවිත් මිනිස්සුන්ට පොරොන්දු වුනා වරායේ ප‍්‍රශ්නය අවුරුද්දෙන් විසඳනවා කියා. ගිය අවුරුද්දේ නගර සභා ඡන්දෙ දී කට්ටිය කීවා මාස දෙකෙන් ප‍්‍රශ්නය විසඳන බව. අද වෙනකං කිසි කෙනෙක් මේ පැත්තට ඇවිත් නැහැ. අඩු ගනනේ ග‍්‍රාම සේවකවත් ආවේ නෑ.

"මැති ඇමති කෙනෙකු නැත්නම් ඒ ගොල්ලන්ගේ පවුලෙ කෙනෙකුට හරි වෙන දෙයක් උනා නම් විනාඩියෙන් හෙලිකොප්ටර් කීයක් ඔතන්ට ඒවිද. මූදට ටියුබ් ටිකක් විසි කරා නම් අපේ කොල්ලෝ බේරෙනවා;”

එදින රල පහරට අසු වී බෝට්ටුවෙන් පිටතට විසිවී ගිය ඔහු අහම්බෙන් අසු වූ ලනුවක් ආධාරයෙන් දිවි බේරාගත් අයෙකි. තමන් කියන හැම වචනයක් ම වෙබ් අඩවියට වාර්තා කරන මෙන් ඔහු ඉල්ලා සිටියේ ය.

"සුනාමියෙන් පස්සේ කීවා අනතුරක් වෙන්න කලින් දැනුම් දෙන්න පුලුවන් තත්වයක් ආන්ඩුවට තියෙන බව. ඒ තාක්ෂනය නිසා පැය 12කට කලින් දැනුම් දෙන්න පුලුවන් කීවා. කලින් අනතුරු ඇගවීමක් කලා නම් අපි කීයටවත් මුහුදු යන්නේ නෑ.” ටැංකි බෝට්ටුවක වැඩ කරන එච්.පී. හරිස්චන්ද්‍ර කියා සිටියේ ය.

2004 දෙසැම්බරයේ ආසියානු සුනාමියෙන් දෙවන ඉහලම ජීවිත විනාශයට මුහුන දුන්නේ ලංකාවේ දකුනු, නැගෙනහිර හා උතුරු පලාත්වල ජනයා ය. මිය ගිය සංඛ්‍යාව 30,922 පමන වෙති. ඊට අසුව දේපොල අහිමි වූ ජනයාගෙන් තවමත් සෑහෙන ප‍්‍රමානයක් නිවාස නොලැබ ජීවත්වෙති. එම ඛේදවාචකයට මූලික ම හේතුව කිසිදු කල් තියා අනතුරු ඇඟවීමක් සිදු නො කිරීම යි.

රලු මුහුදේ පවා ජීවිත පරදුවට තබා රැකියාවේ නිරත වීමට ඔවුනට සිදු වූයේ ඇයි? ප‍්‍රදේශයේ බහුතරයක් කාමර එකක් හෝ දෙකක් සහිත කුඩා නිවෙස්වල අමාරුවෙන් දිවි ගැටගසා ගන්නා ධීවරයෝ ය. සෑම මොහොතක ම අවිනිශ්චිත ජීවන කොන්දේසි සමග ජීවත් වන මොවුහු දින ගනනක් කර්මාන්තයේ නිරත විය නො හැකි වූ විට පොලියට මුදල් සොයා ගත යුතුය. මසුන් අල්ලා ගත නො හැකි ව ගෙවී යන දින ගනන් ද පසු කිරීමට ඔවුනට සිදු වන අතර එවිට ඉන්ධන වියදම සදහා තම කනකර උකසට තැබීමට හෝ වෙනත් නයක් සොයා ගැනීමට සිදු වේ. දෛනික ඉපයීම් හැර ප‍්‍රාග්ධනයක් ඔවුන් සතුව නැති නිසා රැකියාවේ නිරත නො වී සිටීම අසීරු ය. අනෙක් අතින් මෙහි බොහෝ ධීවරයන් ඥාති සබඳතාවලින් බැදී සිටින නිසා එක යාත‍්‍රාවක් නතර වීමෙන් සමීපතම පවුල් කීපයකට ම එය බලපායි. ඔවුනට වෙනත් ආදායම් මාර්ගයක් ද නැත.

ධීවරයන් මුහුන දෙන මෙම ගැටලු එකදු ආන්ඩුවකින් හෝ නො විසඳුනේ ය. වත්මන් ආන්ඩුවේ ඉන්ධන මිල ඉහල දැමීමෙන් කුඩා බෝට්ටුවක ඉන්ධන මිල රුපියල් 2,550 දක්වා ඉහල ගොස් ඇත. එය ධීවරයාගේ ආදායම තවදුරටත් පහත හෙලා ඇත.

ව්‍යසනය සිදුවු පසු ආපදා සහන ලබා දෙන බවට නිල නිවේදන පුරුදු පරිදි නිකුත් වේ. දිලිඳු ජනයා තවකාලිකව සැනසුවත් පීඩිතයන්ගේ එකදු ගැටලුවක්වත් විසඳෙනු නැත. විනාශ වූ ජීවනෝපායන් පිලිබඳ සිදුවනු ඇත්තේ කුමක්ද? පවුල් සුරැකෙන්නේ කෙසේ ද? තව ටික දිනකින් ආන්ඩුව මෙම අනතුර ගැන කතා කිරීම පසෙක තබා ඊලඟ ව්‍යසනය මහජනයා මත කඩා පාත් කරන තුරු බලා සිටින බව අතීත අත්දැකීම යි. ආන්ඩුවේ ප‍්‍රමුඛතාව මහජන ජීවිත රැකීම නො ව ධනේශ්වර ලාභ පද්ධතිය රැකීම ය.

Share this article: