ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂය කොලඹ පැල්පත්වාසීන් ඉවත් කිරීමට සහාය දෙයි

Sri Lankan opposition party backs Colombo slum evictions

By Vilani Peiris, 19 December 2011

යන්තම් මාස දෙකකට පෙර පැවති මැතිවරනය තුල දී දසදහස් ගනනක පැල්පත්වාසීන් කොලඹ නගරයෙන් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලැසුම්වලට එරෙහි බවක් මවාපෑමෙන් පසු විරුද්ධ පක්ෂය බලය දරන කොලඹ නගර සභාව එම ක්‍රියාදාමය සමග තමන් සහයෝගයෙන් ක්‍රියා කරන බව හෙලිදරව් කොට ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මධ්‍යම ආන්ඩුව තෙල් නල වැටී ඇති ප්‍රදේශයක පදිංචි ඳිලිඳු පවුල් 400ක් ඉවත් කිරීමට සූදානම් වීමත් සමග, එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දෙන නගර සභාව ආන්ඩුවේ සැලසුම් හා සහයෝගී වීම එලිමහනට ආවේය. මෙලෙස නිවැසියන් ඉවත් කිරීම ක්‍රියාවට දමනු ලබන්නේ, ජනාධිපතිගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වය දරන ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.

Shanty area where oil leak occurredතෙල් කාන්දුව සිදුවූ පැල්පත් ප්‍රදේශය

පසුගිය මාසයේ දී, කොලඹ වාරයේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ගබඩාවට දිවෙන ප්‍රධාන නල මාර්ගයේ තෙල් කාන්දුවීම් දෙකක් වාර්තා විය. එක් කාන්දුවක් බ්ලූමැන්ඩල්හි පැල්පත් ප්‍රදේශයක දක්නට ලැබුනු අතර අනෙක් කාන්දුව ඒ අසල ම පැල්පත්වලට කිට්ටුවෙන් දැකිය හැකි විය. තෙල් නල දුම්රිය මාර්ගයකට සමාන්තරව දිවේ. මෙම දුම්රිය මාර්ගය දෙපස බ්ලූමැන්ඩල්, මෝදර, මට්ටක්කුලිය හා ෆර්ග්‍යුසන් පාර යන ප්‍රදේශවල නිවාස ඉදි කර ඇති පවුල් පිටමං කිරීමට මුහුන දී සිටිති.

2009 සිට නාගරික සංවර්ධන අධිකාරිය හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව "අනවසර” පදිංචිකරුවන් යයි චෝදනා කරමින් අවස්ථා කිපයක දී ම ඔවුන් පිටමං කිරීමට උත්සාහ කර ඇත. කෙසේ නමුත්‚ පදිංචිකරුවෝ ආන්ඩුවට අභියෝග කරමින් එම ස්ථානවලින් ඉවත් වීමට පෙර තමන්ට කොලඹ නගර සීමාව තුල නව නිවාස දිය යුතු යයි ඉල්ලූහ.

ආරක්ෂක හේතු මත මිනිසුන් එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතු යයි කියමින් දැන් නාගරික සංවර්ධන අධිකාරිය තෙල් කාන්දුව කඩතුරාවක් ලෙස ඩැහගෙන ඇත. යථා කාරනාව නම්‚ එම ජනයා ඉවත් කිරීම‚ විදේශ ආයෝජන හා සංචාරකයින් ආකර්ෂනය කර ගනු පිනිස කොලඹ නගරය දකුනු ආසියානු වානිජ හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයක් ලෙස නගරය පුරා පැල්පත්වල ජීවත්වෙන පවුල් 75,000ක් පමන නෙරපීමේ ආන්ඩුවේ පලල් සැලැස්මක කොටසක් බවයි.

පැල්පත්වාසීන් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලැස්ම ඔක්තෝබරයේ කොලඹ නගර සභා මැතිවරනය තුල කේන්ද්‍රීය කාරනයක් විය. මහා පරිමානයෙන් පැල්පත්වාසීන් ඉවත් කිරීමේ එවන් සැලැස්මක් තමන්ට නැතැයි කියා සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක සභාගය එම ජනයා වෙනුවෙන් කොලඹ නගරය තුල නව නිවාස ඉදිකිරීමට ද පොරොන්දු විය. නිවැසියන්ගෙන් බහුතරය ආන්ඩුවේ පොරොන්දු විශ්වාස කලේ නැත. දක්ෂිනාංශික එජාප ගැන ඒතරම් විශ්වාශයක් නොමැති වුව ද නිවැසියන් බලහත්කාරයෙන් පිටමං කිරිමට තමන් එරෙහි වන බව කියා සිටි විරුද්ධ පක්ෂයට ඔවුහු ඡන්දය දුන්හ.

බලයට පැමිනි වහාම එජාප නාගරික සංවර්ධන අධිකාරිය සමග එහි සැලැස්ම මත වැඩකිරීම ඇරඹුවේ ය. එජාප නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා "සිදුවිය හැකි ඉවත් කිරීමක” අවශ්‍යතාව ගැන ඔවුන්ට ඒත්තු ගැන්වීම පිනිස නගර සභාව නිවැසියන් සමග සාකච්ඡා කරනු ඇතැයි සන්ඩේ ලීඩර් පත්‍රයට පැවසීය. නල මාර්ගය ඔස්සේ ජීවත් වෙන "මිනිසුන්ගේ ආරක්ෂාව” වෙනුවෙන් එජාප ඔවුන් ඉවත් කිරීමට සහාය දක්වනු ඇතැයි ඔහු ප්‍රකාශ කලේ ය.

නොවැම්බර් 28 දා නගර සභාව ප්‍රදේශයේ පවුල්වලින් තොරතුරු රැස්කිරීමට පර්යේෂකයන් ලෙස පත්කල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කන්ඩායමක් යැවී ය. ඔවුහු පදිංචිකරුවන්ගේ ජීවන හා සමාජ තත්වයන් ගැන විමසා නිවාස බිත්ති මත නාගරික සංවර්ධන අධිකාරියේ ලේබල ඇලවූහ. මෙම ලේබල මගින් ඇඟවුම් කෙරෙන්නේ එම ඉදිකිරීම් කඩා දැමීම සඳහා සලකුනු කෙරුනු බවයි. මිනිසුන් ශිෂ්‍යයින්ගෙන් ප්‍රශ්න කල විට‚ නිවාස ඉවත් කිරීමට නියමිත බවත් පදිංචිකරුවන්ට නාගරික සංවර්ධන අධිකාරියෙන් වෙනත් තැන්වල අලුතින් නිවාස ලැබෙනු ඇති බවත් ඔවුහු කීහ.

කෙසේ නමුත්, වාර්තා දුම්රිය දෙපාර්තමේන්තුව එම පවුල් ඉවත් කිරීමට පියවර ගනු ඇති බවත් ආන්ඩුව මූල්‍ය දීමනාවක් සමග "ඔවුන් කොතනක හෝ” නැවත පදිංචි කරවනු ඇති බවත් ලංකාදීප පත්‍රය වාර්තා කලේ ය. දුම්රිය දෙපාර්තමේන්තුව 2009 දී පවුල් 344ක් ඉවත් කිරීමට උසාවි නියෝගයක් ඉල්ලා සිටි නමුත් පදිංචිකරුවෝ තමන්ට සුදුසු නිවාස ලැබෙන තෙක් ඉවත් වී යාම ප්‍රතික්ෂේප කලහ.

එක් පදිංචිකරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ නිවැසියන් විකල්ප නිවාස ලබාදීමේ නාගරික සංවර්ධන අධිකාරියේ පොරොන්දු විශ්වාස නොකරන බව යි. "ඒ ගොල්ල අපිට අලුත් ගෙවල් දෙනවා නම් ඒවා හදල තියෙන්නේ කොහේ ද” යි ඔහු ඇසුවේ ය. "එහෙම ගෙවල් අපිට පෙනෙන්නේ නෑ. කොම්පඤ්ඤ වීදියෙයි අනික් තැන්වලයි අයින් කරපු කට්ටියට ආන්ඩුව සැලකුවා වාගේ අපිත් කොහාට හරි තල්ලු කරන්නයි ආන්ඩුව යන්නේ.”

2008 දී හා 2010 දී ආන්ඩුව දෙමටගොඩ හා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවලින් පවුල් සිය ගනනක් ඉවත් කලේ ඔවුන්ගේ විරෝධය මැඩීමට පොලීසිය හා හමුදාව ද බලමුලු ගන්වමිනි. නෙරපූ සමහරු මූලික පහසුකම් නොමැති කොලඹ නගරයේ පදිංචියට නුසුදුසු ඈත ප්‍රදේශවල පිහිටි තාවකාලික ලී පැල්පත්වලට යැවුනි. ඔවුහු තවමත් මෙම අපිරිසිදු පැල්පත්වල වෙසෙති.

කොලඹ අනෙකුත් පැල්පත්වාසීන් මෙන් ම, තෙල් නල අවට ජීවත්වෙන පවුල් පාසල් හා සෞඛ්‍ය සේවාවන් වැනි මූලික පහසුකම් නොමැතිව දශක ගනනාවක් තිස්සේ එහි පදිංචිව සිටිති. සාමාන්‍යයෙන් වර්ග මීටර් 20ක් පමන වන මෙම නිවාසවලින් බොහොමයක් ලෑලිවලින් ඉදිකර ටකරන්වලින් සෙවිලි කර ඇත. සමහර නිවාස ගඩොලින් බැඳ ඇත. ඒවා සියල්ලේම නිවැසියන් තදබදව වාසය කරන අතර වාතාශ්‍රයෙන් හා අපවහන පද්ධතිවලින් ද තොර ය. බොහෝ පවුල්වලට සේදීම හා බීම සඳහා පොදු ජල කරාම පාවිච්චි කිරීමට සිදුව ඇත.

නිවැසියන්ගෙන් බොහොමයකට නිත්‍ය ආදායම් මාර්ග නැත. ඔවුහු කම්හල්වල අනියම් කම්කරුවන් ලෙස හෝ පදික වෙලෙන්දන් ලෙස වැඩ කරති. නැතිනම් විකිනීම සඳහා යකඩ‚ කඩදාසි හා හිස් බෝතල් වැනි ඉවත ලූ ද්‍රව්‍ය එකතු කරති. සුලු පිරිසක් ත්‍රී-රෝද රථ පදවති. කාන්තාවන්ගෙන් වැඩිදෙනා කාර්යාලවල සනීපාරක්ෂක කම්කරුවන් ලෙස වැඩ කරන අතර අනෙක් අය ක්ෂනික ආහාර හා රසකැවිලි විකුනති. තරුනයන් අතර විරැකියාව උග්‍ර ය.

මෙම තෙල් නල මීට වසර 50ට වඩා පෙර ඇතිරූ ඒවා වන අතර මෑත වසරවල අවස්ථා කීපයක දී ම ඒවායේ කාන්දුවීම් වාර්තා වී ඇත. ඔවුන්ට යා හැකි වෙනත් තැනක් නොමැති නිසා පැහැදිලි අන්තරායන් නොතකා, එම පවුල් එහි ජීවත් වෙති. ඔවුන්ගේ දුර්දශාව සමස්ථ පාලක ප්‍රභූවට ම එරෙහි චෝදනා පත්‍රයකි. එජාප හා මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ පැවති අනුප්‍රාප්තික මහ ව්‍යාපාරික ආන්ඩු, යහපත් නිවාස පිලිබඳ නැවත නැවතත් බොරු මැතිවරන පොරොන්දු දෙමින් නරුම ලෙස මෙම මිනිසුන් ගසා කෑහ.

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මෑත දී මෙම ප්‍රදේශයට ගොස් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නව නිවාස ලබා දීමට පොරොන්දු වී ඇති බැවින් ඔහුට බිය නොවන ලෙස පදිංචිකරුවන්ට කීහ. නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන මන්ඩලය ආරක්ෂක අමාත්‍යංශයේ පාලනය යටතට ගැනීමේ අර්ථය නිශ්චිතව, මේ වන විටත් කොම්පඤ්ඤ වීදියේ දී පෙනුන පරිදි නිවාසවලින් ජනයා පලවා හැරීම ක්‍රියාත්මක කිරීම සඳහා මිලිටරිය යොදා ගැනීම යි. සිවිල් කටයුතු සඳහා මිලිටරිය යොදා ගැනීම දිවයිනේ උතුරු හා නැගෙනහිර දෙමල ජනයාට එරෙහි දිග් ගැසුනු සිවිල් යුද්ධයට තදනන්තරව සමාජය මිලිටරීකරනය කිරීමේ තවත් එක් සංඥාවකි.

නිලධාරීන් නිවාස ලබා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියේ මග පෙන්වීම යටතේ සංවිධානයක් තනා ගන්නා ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටීමත් වෙනත් කිසි ම සංවිධානයකට එකතු වීම හෝ වෙනත් පුද්ගලයන් සමග ඔවුන්ගේ ගැටලු කතා කිරීම හෝ නොකරන ලෙසට අනතුරු හැඟවීමත් ඉතා අර්ථභාරීය. ස්වාධීන කමිටු ගොඩනැගීමත් විශේෂයෙන් ම ඔවුන් සිය නිවාසවලින් ඉවත් කිරීමට විරුද්ධව නිවැසියන් හා සමස්ථ කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සමාජවාදී සමානතා පක්ෂය ගෙන යන උද්ඝෝෂනයත් ගැන රාජපක්ෂ තන්ත්‍රය පැහැදිලිව ම බියට පත්ව සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විධාන කෙරුනු අයවැය කප්පාදුවලට හා වෙලඳපොල-ගැති ප්‍රතිව්‍යුහගත සැලසුම්වලට කැපවුන ශ්‍රී ලංකාවේ ධනවාදයේ පාලක පක්ෂවලට එරෙහිව සසප සමාජවාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කර ඇත. නූතන සමාජයේ සියලු ම ජනතාවගේ මූලික අවශ්‍යතා වන සනීපාරක්ෂාව හා අනෙකුත් පහසුකම් සහිත යහපත් නිවාස‚ සුරක්ෂිත රැකියා සහ හොඳ පාසල් හා සෞඛ්‍ය සේවා ඉටු කර ගත හැකි එකම මාර්ගය මෙය යි.

ප්‍රදේශයේ එජාප ආධාරකරුවන් තම පක්ෂය නව නිවාස ලබා දීමට පොරොන්දු වී තිබුනා ය යන්න දැන් ප්‍රතික්ෂේප කරන බව නිවැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ. එක් කලකිරුනු නිවැසියෙක් පැල්පත් වාසීන් වෙනුවෙන් නිවාස 66,000ක් ඉදිකිරීමට පොරොන්දු වෙමින් මෑත කොලඹ නගර සභා මැතිවරනය අතරතුර දී එජාප පලකල පුවත්පත් දැන්වීම් පෙන්වීය.

"අපගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න යූඑන්පියට ඕනෑ කමක් නෑ. මේ පැත්තේ අනතුරු ගැන අපි දන්නවා. අපේ ගෙවල් තියෙන්නේ කෝච්චි පාරෙන් අඩි තුන හතරක් ඇතින්. පයිප්ප ලයින් එක උඩ පවා සමහර ගෙවල් හදලා තියෙනවා. අපිට යන්ට වෙන සුදුසු තැනක් නැති හින්දා අපිට මෙහේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා” යයි එක් නිවැසියෙක් අදහස් දැක් වී ය.

"දැන් ආන්ඩුව අපේ ඕනෑකම් බලන්නේ නැතිව අපි කොහාට හරි තල්ලු කරල දාන්නයි හදන්නේ. අපේ ජොබ්, ලමයින්ගේ ඉස්කෝල විතරක් නොවෙයි ඔක්කොම තියෙන්නේ මෙහේ. අපි මෙහෙන් අරන් ගිහින් ඈත කොහේ හරි දැම්මොත් අපි හරි ම අමාරුවක වැටෙනවා;”

"ආන්ඩුව අපිට ඔක්කොම පහසුකම් තියෙන ගෙවල් දෙන්න ඕනෑ. බලන්න, අපි ඉන්නේ නිකම්ම හට්වල. කුනු කානුව පැත්තක. මදුරුවොයි කුනුයි පිරිලා. අපිට සවුත්තු ලෑලි ගෙවල්වලට යන්ට ඕනෑ කමක් නෑ. මම තැන දන්නවා. ඒකේ මඩ පිරිලා. මිනිස්සුන්ට පාවිච්චි කරන්ට තියෙන්නේ උතුරලා යන පොදු වැසිකිලි. ඇයි අපි මේ පැල්වල ඉඳල අපායකට යන්නේ ? ” යයි කාන්තාවක් කීවා ය.

Share this article: