දහස් ගනනකගේ රැකියාවන්ට තර්ජනයක් වන පරිදි ශ්‍රී ලංකා ආන්ඩුව ජනවසම බිඳ විසිරවීමට සැලසුම් කරයි

By M. Vasanthan, 26 November 2011

ජනතා වතු සංවර්ධන මන්ඩලයෙන් (ජනවසම) පාලනය වන තේ වතු බිඳ විසිරවීමට ආන්ඩුව ගෙන ඇති පියවර එම වතුවල සේවය කරන කම්කරුවන් 5,200කගේ රැකියාවලට තර්ජනයකි. ආන්ඩුවේ සැලසුමට එරෙහිව කම්කරුවන් අතර විරෝධය වර්ධනය වෙමින් පවතිද්දීත් වතු වෘත්තීය සමිති ඔවුන්ගේ රැකියා ආරක්ෂා කිරීමේ කිසිදු අරගලයක් ඇති වීමට නො දී අවහිර කර ගෙන සිටී.

ජනවසම නිර්මානය වූයේ එවක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ‍්‍රීලනිප), ලංකා සමසමාජ පක්ෂ (ලසසප) සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ (කොප) සභාග ආන්ඩුව සිය ජාතිකවාදී ව්‍යාපෘතියේ කොටසක් ලෙස 1972 දී වතු ජනසතු කිරීමත් සමග ය. විශාල වතු රාජ්‍ය වැවිලි සංස්ථාව (එස්පීසී) යටතට ගැනුන මුත් "ආර්ථික අතින් ශක්තිමත් නොවන වතු” යයි නම්කල ඒවා ජනවසම යටතට පත් කෙරින.

තම රැකියාවලට එල්ල විය හැකි අනතුර දුටු කම්කරුවෝ ධනපති ආන්ඩුව යටතේ සිදු වුනු ජනසතුවට විරෝධය පෑහ. එතැන් පටන් ගෙවුනු දශක ගනනාව තුල දී ජනවසම යටතේ තිබූ ඇතැම් වතු කට්ටි කර සිංහල ගොවීන් අතර බෙදා දෙනු ලැබින, දහස් ගනන් කම්කරුවන්ට රැකියා අහිමි විය.

ආන්ඩුව දැන් කම්කරුවන්ට පවා දැනුම් නො දී ජනවසම යටතේ ඉතිරිව තිබෙන වතු 17 පෞද්ගලික ආයෝජකයන්ට විකිනීමට ඉලක්ක කර ගෙන සිටී. අපගේ වාර්තාකරුවන් රැස් කර ගත් තොරතුරු අනුව, මෙම වතු කොටස්වලට කඩා පෞද්ගලික රෝහල්, විශ්ව විද්‍යාල සහ හෝටල ඇතුලු විවිධ ව්‍යාපෘති සඳහා පෞද්ගලික සමාගම්වලට සහ පුද්ගලයන්ට අලෙවි කිරීමට නියමිත ය.

මහනුවර හන්තාන වත්තේ කම්කරුවන් පැවසුවේ, නවලෝක පෞද්ගලික රෝහල ඉදි කිරීම සඳහා සහ බෞද්ධ භික්ෂුවකට වත්තේ කොටස් දෙකක් වෙන් කර ඇති බව යි. උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ද පෞද්ගලික විශ්ව විද්‍යාලයකට පවරා දීම සඳහා ස්ථානයක් සොයා එහි චාරිකා කලේ ය.

මධ්‍යම කඳුකරයෙහි ම පිහිටි නාවලපිටිය බොහිල් වත්තේ අක්කර 110ක් දැනට මත් පුද්ගලයන් කිහිප දෙනෙකුට විකුනා ඇත. කම්කරුවන් මුහුන පා සිටින්නේ තම රැකියා අහිමි වීමට යි. ජනවසම ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් අරමුදල්-සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්)-සහ සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්)තැන්පත් කර නැත. බොහිල් වත්තේ කම්කරුවෝ 350ක් පමන වත්ත විකුනා දැමීමට එරෙහිව ඔක්තෝබර් 4 දා සිට සතියකට වැඩි කාලයක් වර්ජනයක යෙදුනහ. අක්කර 110 මිල දී ගත් පුද්ගලයන් වත්තට ඇතුලු වීම නතර කරනු පිනිස කම්කරුවෝ පාරවල් අවහිර කලහ. කෙසේ වුව ද, වෘත්තීය සමිති නායකයෝ කම්කරුවන්ගේ විරෝධතාව කඩාකප්පල් කොට, තම සැලසුම පරිදි කටයුතු කිරීමට කලමනාකරනයට මග පාදා දුන්හ.

කම්කරුවන්ගේ විරෝධතාව නතර කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන වගකීම දරන්නේ පාලක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ශ‍්‍රී ලංකා නිදහස් කම්කරු සම්මේලනය (ශ‍්‍රීලනිකස) යි. බොහිල් වත්තේ කම්කරුවන්ගෙන් බහුතරය ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ නායකත්වය දරන මෙම සමිතියේ සාමාජිකයෝ වෙති.

ආන්ඩුවේ සැලසුම වසං කිරීමට වෑයම් කරමින් ශ‍්‍රීලනිකස ප‍්‍රධාන ලේකම් කේ.එම්. ක‍්‍රිෂ්නමූර්ති කම්කරුවන්ට මෙසේ පැවසුවේ ය: "ජනවසම මේ ඉඩම තමන්ගේ තනි කැමැත්තට විකුනා තියෙනවා. අපේ නායක මහින්දානන්ද අලුත්ගමගේ දැන ගෙන ඉඳලා නැහැ. කම්කරු දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා ඔහු මේ ප‍්‍රශ්නය විසඳාවි.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ලංකා කම්කරු සම්මේලනයෙන් (සීඩබ්ලිව්සී) විමසූ විට එහි සභාපති ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මුත්තු සිවලිංගම් තම දෑත් සෝදා ගත්තේ තම සමිතියට බොහිල් වත්තේ ශාඛාවක් නොමැති බව කියමිනි. කට්ටිවාදී වෘත්තීය සමිති ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් එකමුතු කිරීමට විරුද්ධ ය. සැබවින් ම ඒවා ආන්ඩුවේ සැලසුම් කම්කරුවන් මත පටවන උපකරන ලෙස ක්‍රියා කරයි.

වෘත්තීය සමිති පෞද්ගලික ලාභ පද්ධතියට දෙන බියගුලු සහාය ප‍්‍රදර්ශනය කරමින් මුත්තු සිවලිංගම් මෙසේ පැවසුවේ ය: "ජනවසම වතු බිඳ විසුරුවන එකටත් ඒවා විවිධ පුද්ගලයන්ට විකුනන එකටත් අපි විරුද්ධ යි. මේ වතු කොම්පැනිවලට පවරනවා නම් හෝ ආන්ඩුව පවරා ගන්නවා නම් අපි ඒකට සහාය දෙනවා.” සීඩබ්ලිව්සී අද්වකාත්වරුන් මෙම වතු සමාගම් වලට පැවරීමට කැමැත්ත පල කරන්නේ එය ධනපති සමාගම්වලට ලාභ ලැබිය හැකි ක‍්‍රමයක් බැවිනි.

කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) දේශපාලන නායක වී. රාධක‍්‍රිෂ්නන් ‍පෙන්නුම් කලේ තම සමිතිය කම්කරුවන්ගේ අවශ්‍යතා පිලිබඳව දක්වන නිර්දය නො තකා හැරීමයි . ඔහු මෙසේ විලාප නැගී ය: "ජනවසම බිඳ විසිරවීම ගැන මා ඒ තරම් දුරට දන්නේ නැහැ. ඒ ගැන මගේ සමිති කාර්යාලයෙන් සොයා දැන ගත යුතු යි.”

සීඩබ්ලිව්සී, යූපීඑෆ් සමිති දෙක ම පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) කොටස්කරුවන් ය. 1990 දී රාජයසතු වතු පෞද්ගලීකරනය කරන විට මෙම සමිති ඊට සහාය දුන්නේ ය, ඊට එරෙහිව පැන නැගි කම්කරු විරෝධතා සහ අරගල කඩාකප්පල් කලේ ය, වතු කම්කරුවන් එම පෞද්ගලික සමාගම්වල දරුනු සූරා කෑමට යටත් කලේ ය. ඊනියා සාමූහික ගිවිසුම් හරහා කම්කරුවන්ගේ දෑත් බැඳ දැමූ සමිති, කම්කරුවන් මත දරිද්‍රතා මට්ටමේ වැටුප් පැටවීමටත් නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු මූලික අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කිරීමටත් සහාය දුන්නේ ය.

ජනවසම ඉඩම් විකුනා දැමීම යුක්ති සහගත කිරීම සඳහා, ජනවසම දුවන්නේ විශාල පාඩු ලබමින් යැයි ආන්ඩුව ප‍්‍රචාරය කරයි. මහජන ව්‍යවසායන් පිලිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) පවසන පරිදි, "විශාලතම පාඩු වාර්තා කර තිබෙන්නේ රජය සතු වතු කලමනාකරන ආයතනය වන ජනවසම යි. පසු ගිය 10 වසර තුල දී කලමනාකරනය බිඳ වැටීම නිසා රාජ්‍ය ව්‍යාපාර දැවැන්ත නයකාර ගොනුවක් සහිත නයක් ගොඩ ගසා ගෙන ඇත.”

2005 සහ 2009 අතර පස් අවුරුදු කාල පරිච්ඡේදයේ දී පමනක් ජනවසම රුපියල් මිලියන 686ක් පාඩු ලැබූ බව එය තව දුරටත් සඳහන් කලේ ය. මෙම කාල පරිච්ඡේදය තුල දී ලබා ගෙන ආපසු නොගෙවූ බැංකු අයිරාවල වටිනාකම පොලිය ද සමග ගත් විට 2008 දී මිලියන 56ක් විය. මන්ඩලය සියයට 24ක අසාධාරන පොලියකට රුපියල් මිලියන 5ක නයක් ලබා ගෙන ඇත. පාඩුවලින් වැඩි ප‍්‍රමානය වාර්තා වී තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ 2005 සහ 2009 අතරතුර සමයේ දී ය.

ජනවසම ලද දැවැන්ත පාඩු ප‍්‍රධාන වශයෙන් ම ඇති වූයේ දූෂනය, ආන්ඩුවේ හිතවතුන් සම්පත් කොල්ල කෑම සහ තේ පැල යලි සිටුවීම සහ පොහොර දැමීම නො තකා හැරීම ඇතුලු අවිධිමත් නඩත්තුව නිසා යැයි කම්කරුවෝ චෝදනා කරති.

මෙම ජනවසම වතුවල සේවා කොන්දේසි පෞද්ගලික සමාගම්වලටත් වඩා අයහපත් ය. හන්තාන වත්තේ කම්කරුවෙක් මෙසේ විස්තර කලේ ය: "පෞද්ගලික සමාගම්වල කම්කරුවන් භුක්ති විඳින අයිතිවාසිකම් වත් අපට නැහැ. ජනවසම කලමනාකරනය 2001 ඉඳන් අපේ ඊපීඑෆ්, ඊටීඑෆ් මුදල් කොල්ල කාලා. ඔවුන් අපේ වැටුපෙන් අරමුදල් අඩු කර ගත්තා, ඒත් ඒවා මහ බැංකුවේ තැන්පත් කරලා නැහැ. වතු 17 ම එකට අරන් බැලුවොත්, ඒ ගොල්ලො රුපියල් මිලියන 5,000ක් කොල්ල කාලා.”

ඔහු මෙසේ ද පැවසී ය: "වත්ත ඇතුලෙ සමිති කීපයක් තියෙනවා. සීඩබ්ලිව්සී, යූපීඑෆ්, එල්ජේඊඩබ්ලිව්යූ සහ තවත් සමිති. ඒත් කිසි එකක් අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සටන් වදින්නේ නැහැ. අපි ජනාධිපති රාජපක්ෂට සහ වතු ඇමතිවරයාටත් ලියුම් කීපයක් ලිව්වා. ඒත් කිසි කෙනෙක් ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ.”

හන්තාන වත්තේ කම්කරුවෝ සාමාජිකයින් 700කගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් ගොඩ නගා ගෙන විරෝධතා කිහිපයක් සංවිධානය කලහ. තමන් විරෝධතා ව්‍යාපාරවලට සම්බන්ධ නොවන බව පවසමින් කම්කරුවන්ට තර්ජනය කල සමිති නායකයෝ ඔවුන්ගේ උද්ඝෝෂනය හුදකලා කලහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කලමනාකරනය එකඟ වූයේ විශ‍්‍රාමිකයන්ට පමනක් ඊපීඑෆ් ගෙවීමටය.

කම්කරුවන් කියන පරිදි, සෑම කම්කරුවෙකුට ම පර්චස් 7ක් (වර්ග මීටර 175ක්) වෙන් කර ඇති බව හන්තාන වත්තේ කලමනාකරනය පැවසුවත් මේ දක්වා කම්කරුවන්ට ලැබුනු දෙයක් නැත. කෙසේ වුව ද, මෙම ඉඩම් වෙන් කිරීමේ අරමුන රැකියා අහෝසි කිරීම, කම්කරුවන් වෙනුවෙන් දරන සමාජ වියදමෙන් ගැලවීම සහ ඔවුන්ගේ අනාගතය විනාශ කර දැමීම යි.

ජනවසම බිඳ විසිරවීම, පෞද්ගලීකරනය වේගවත් කිරීමට සහ ආන්ඩුවේ ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීමට ආන්ඩුව ක්‍රියාත්මක කරන සැලසුමක කොටසකි. ඒ අතර, ශ‍්‍රී ලාංකික වතු කර්මාන්තය වඩා ලාභදායී කිරීමට නම් ජාත්‍යන්තර වෙලඳ පොල තුල තරගයට මුහුන දිය හැකි ආකාරයෙන් එය ප‍්‍රතිව්‍යුහගත කල යුතු යැයි ආන්ඩුව සහ පෞද්ගලික සමාගම් අවධාරනය කරමින් සිටී.

මෑතක දී නිකුත් කල පුවත්පත් නිවේදනයක දී එම්ජේඑෆ් සමූහයේ මෙහෙයුම් අධ්‍යක්ෂ මාලි ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකාවේ වතු කර්මාන්තය "තරගකාරී” තත්ත්වයක පවත්වා ගැනීම සඳහා "මූලික සැලැස්මක්” ඉල්ලා සිටියේ ය. තේ කිලෝග‍්‍රෑමයකින් රුපියල් 150ක් පාඩු ලබන්නට දායක වී ඇතැයි පවසමින් ඔහු වතු කම්කරුවන් සඳහා මෑතක දී කල සියයට 30 සොච්චම් වැටුප් වැඩි වීම විවේචනය කර ඇත. කෙන්යාවේ වතු කම්කරුවන් සමග සසඳන විට ශ‍්‍රී ලංකාවේ වතු කම්කරු වැටුප් සියයට 60කින් ඉහල යැයි ඔහු තර්ක කරයි. "කර්මාන්තය හැටියට සමිතිත් එක්ක කේවෙල් කිරීම දැන් යල් පැනලා.... නේවාසික ශ‍්‍රමය පදනම් කර ගත් විජිතවාදී වතු ආකෘතිය මේ කාලයට ගැලපෙන්නේ නැහැ” යි ඔහු අවධාරනය කර ඇත.

පනිවුඩය පැහැදිලි ය. වතු කම්කරුවන්ගේ වැටුප් ජාත්‍යන්තර තරගයට අනුරූප වන ආකාරයට පිහිටුවිය යුතු යැයි ද වතු කම්කරුවන් වෙනුවෙන් ඉතිරිව තිබෙන සියලු සුභසාධන වැඩ සටහන් කප්පාදු කල යුතු යැයි ද ඔවුන් තනි තනි පුද්ගලයන් බවට බිඳ විසුරුවා ලිය යුතු යැයි ද වතු සමාගම් ඉල්ලා සිටී.

සෑම වෘත්තීය සමිතියක් ම පෙන්නුම් කර ඇත්තේ ආන්ඩුවේ සහ සමාගම්වල සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට තමන් සහාය දෙන බව යි. වෘත්තීය සමිතිවලින් කැඩී වෙන් වී සමස්ත වතුකරයේම කම්කරුවන් එකමුතු කිරීම සඳහා ක‍්‍රියාකාරී කමිටු ගොඩ නැගීමත් සමාන ප‍්‍රහාරවලට මුහුන දී සිටින අනෙක් කර්මාන්තවල සහ ජාත්‍යන්තර පරිමාන පන්ති සහෝදරයන් වෙත දෑත් දිගු කිරීමත් හදිසි කර්තව්‍යයකි. කම්කරුවන්ට තම රැකියා සහ වැටුප් ආරක්ෂා කර ගත හැක්කේ රාජපක්ෂ ආන්ඩුවට සහ ධනපති ක‍්‍රමයට එරෙහි අරගලයක් තුලින් ගොඩ නගන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් යටතේ සමාජවාදී ජනසතුකරනයේ පදනම මත පමනකි. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන්නේ එම ක‍්‍රියා මාර්ගය යි.

Share this article: