නේටෝ බෝම්බ ප‍්‍රහාර පකිස්ථානය තුල කෝපය පතුරවයි

Outrage spreads in pakistan over NATO bombings

By Alex Lantier, 29 November 2011

පකිස්ථානු දේශසීමා මුරපොලවලට සෙනසුරාදා එල්ල වූ නේටෝ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් පකිස්ථානු ජනයාගේ හා හමුදාවේ කෝපය වැඩුනු තතු යටතේ එක්සත් ජනපදය හා පකිස්ථානු නිලධාරීහු ඊයේ දැඩි සාකච්ඡා පැවැත් වූහ. පකිස්ථානු ස්වාධිපත්‍ය කිසිදු චකිතයකින් තොර ව උල්ලංඝනය කරමින් එල්ල කෙරුනු හදිසි ප‍්‍රහාරය ඇෆ්ගනිස්ථානු හා පකිස්ථානු දේශ සීමාවේ සලාලාවට ආසන්නයේ දී පකිස්ථානු යුද භටයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් කලේ ය.

පකිස්ථානය පුරා නගරවල විරෝධතාවයන් සිදු වෙමින් පවතින බව වාර්තා වෙයි. දහස් ගනනක් උද්ඝෝෂකයෝ කරච්චියේ එක්සත් ජනපද තානාපති නිවස අසලට රැස්වූහ. ශිෂ්‍යයෝ "ත‍්‍රස්ත විරෝධී යුද්ධය හැර යනු”යි සටන් පාඨ කියමින් පෙෂාවෝර් හි මාර්ග අසුරා සිටියහ. ප‍්‍රහාරය සිදු කෙරුනු දිස්ත‍්‍රික්කයේ පිහිටි මොහොමෑන්ඩ්හි දී ගෝත‍්‍රික ජනයා විරෝධතාවලට එක් වූහ. නීතිඥයෝ අගනගරය වන ඉස්ලාමාබාද්, ලාහෝර්, රාවල්පින්ඩි, පැක්පතන්, මුල්තාන් හා පෙෂාවෝර් ඇතුලු නගරවල පැවති නඩු විභාගවලට සහභාගී වීම වර්ජනය කලහ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පකිස්ථානු ජනයාට එල්ල කල ප‍්‍රහාර කෙරෙහි "ගැඹුරු කෝපාවිෂ්ට හැඟීමක්” ඇති වූ බව ප‍්‍රකාශ කල සිය පකිස්ථානු පාර්ශවකරු වන විදේශ ඇමති හිනා රබ්බානි සමග සාකච්ඡා කලා ය. එක්සත් ජනපද මාන්ඩලික ප‍්‍රධානියා වන ජෙනරාල් මාර්ටින් ඩැම්සි ද තම පාර්ශවකරු වන පකිස්ථානු හමුදා ප‍්‍රධානී ජෙනරාල් අශ්ෆාක් පාවේස් වයානි සමග කථා කලේ ය.

ප‍්‍රහාරය තුල දී සිදු වූයේ කුමක් ද යන්න ගැන තවමත් එකඟතාවයක් නොමැත. නැටෝව හා එක්සත් ජනපද මධ්‍යම නායකත්වය යන දෙපාර්ශවය ම පරීක්ෂන ප‍්‍රකාශයට පත් කර ඇත. ඇෆ්ගනිස්ථානයේ නේටෝ-ඇෆ්ගන් ඒකාබද්ධ ආරක්ෂක සංචාරයකට පකිස්ථාන දේශසීමාවේ දී වෙඩි ප‍්‍රහාරයක් එල්ල වූ අතර දේශ සීමා මුර පොලවලට ගුවන් ප‍්‍රහාර එල්ල කල බව ඇෆ්ගනිස්ථානයේ හා බටහිර නම් සඳහන් නො කල නිලධාරීන් කල ප‍්‍රකාශ ඊයේ පුවත්පත් උපුටා දැක්වීය.

නේටෝ ප‍්‍රහාර උසි ගැන්වීමකින් තොර ව ම සිදු වූ බවත් පකිස්ථානයෙන් එල්ල වූ ප‍්‍රහාරයක් ගැන වාර්තා ගොතන ලද බොරු බවත් අවධාරනය කරමින් පකිස්ථානු හමුදා නිලධාරීහු කෝපාවිෂ්ට ප‍්‍රකාශ නිකුත් කලහ. "මෙය සත්‍යයක් නො වේ. ඔවුහු නිදහසට කරුනු සම්පාදනය කරමින් සිටිති. මෙහි දී එසේ සැලකූ කල ඔවුනට නැති වූයේ මොනවාද? ඔවුන්ට සිදු වූ අලාභහානි මොනවාද?” යි මේජර් ජෙනරාල් අතා අබ්බාස් ප‍්‍රශ්න කලේ ය.

ප‍්‍රහාරය පැය 2ක් පැවති බව අබ්බාස් තවදුරටත් කීය. පකිස්ථානු නිලධාරීන් "ප‍්‍රහාරය නතර කරන්න”යි නේටෝවට කීවා. "එසේ වුවත් එය දිගට ම කෙරී ගෙන ගියා” යි ඔහු අවධාරනය කලේ ය.

ඉස්ලාමාබාදය වොෂින්ටනය සමග රාජ්‍ය තාන්ත‍්‍රික හා ඔත්තු සේවා සබඳතා බිඳ දමන බවට තර්ජනය කල අතර පකිස්ථානු නගරයක් වන ෂැම්සි නගරයේ පිහිටි පකිස්ථානය තුල නියමුවන් රහිත යානාවලින් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා සී.අයි.ඒ. භාවිතා කල ගුවන් කඳවුරක් හැර යාමට නියම කිරීමෙන් ද එකට එක කර ඇත. එය ඇෆ්ගනිස්ථානයේ සිටින එක්සත් ජනපද හා නේටෝ හමුදාවන්ට භාන්ඩ සම්පාදනය කල ට‍්‍රක් රථ ගමන් කල පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර දේශසීමාව වසා දැමීම ද සිදු කලේ ය.

පකිස්ථානයේ ප‍්‍රධාන සහකරුවකු වන චීනය හදිසි ප‍්‍රහාරය නිසා තමන් "ගැඹුරින් ම කම්පාවට” පත් වූ බව ප‍්‍රකාශ කලේ ය. "පකිස්ථානය තම ජාතික ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය හා භෞමික අඛන්ඩතාවය රැක ගැනීම සඳහා දරනා ප‍්‍රයත්නයන්ට චීනය ස්ථිරසාර ලෙස සහයෝගය දක්වනු ඇතැ” යි විදේශ ඇමති යෑං ජියෙෂි ප‍්‍රකාශ කලේ ය.

ඇමරිකානු යුද්ධයත් සමග තම සහයෝගීතාවය කෙරේ පකිස්ථානයේ ජනයා තුල පවතින නො මනාපය රට තුල දේශපාලන පිපිරීමකට තුඩු දෙනු ඇත යන වැටහීම පිලිබඳ පකිස්ථාන ආන්ඩුව වොෂින්ටනයට සංඥා කරයි.

ඊයේ පකිස්ථානු අගමැති යූසුෆ් රාසා ගිලානි හදිසි ප‍්‍රහාරය ඇෆ්ගනිස්ථානයේ නේටෝ යුද්ධය තුල ඉස්ලාමාබාදයේ ජනප‍්‍රිය නො වූ මැදිහත් වීම කෙරේ විරුද්ධත්වය ඇවිලවීම සිදුකර ඇති බවට අනතුරු අඟවමින් සීඑන්එන් ප‍්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේ ය. "ඔබට මහජන සහයෝගය නැති ව කිසි ම යුද්ධයක් ජයගත නො හැකි අතර අපට ජනතාව අප සමග සිටීම අවශ්‍ය යි. මෙබඳු සිදුවීම් ජනතාව එබඳු තත්වයක් වෙතට යොමු කරවයි”යි පවසමින් ඔහු ආරම්භ කලේ ය.

කෙසේ වෙතත් පකිස්ථානය එක්සත් ජනපදය හා සබඳතා බිඳ දමන්නේ ද? යි සීඑන්එන් ප‍්‍රශ්න කල විට ඔහු ඊට කෙලින් පිලිතුරක් නොදුන්නේ ය. "අපි අපගේ සබඳතා සලකා බැලීමට කල්පනා කරමින් සිටිමු” යි කී ඔහු "එම සබඳතාව පවත්වා ගත හැකි වන්නේ අන්‍යෝන්‍ය ගරුත්වය හා අන්‍යෝන්‍ය අවශ්‍යතාවයන්ගේ පදනම මත” බව ද ඊට එක් කලේ ය. පකිස්ථානු පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවෙන් රෙකමදාරුවක් ලැබෙන තෙක් තමන් බලා සිටින්නේ ය යි ඔහු ප‍්‍රකාශ කලේ ය.

කෙසේ වෙතත් එක්සත් ජනපද මාධ්‍ය, ඉස්ලාමාබාදය වොෂින්ටනය සමග එහි සම්බන්ධතා නැවත ආරම්භ කල යුතු යයි ලියමින් හදිසි ප‍්‍රහාරය පිලිබඳ පකිස්ථාන විවේචන ගනනකට නො ගත්තේ ය. "එය ආත්මාරක්ෂක ප‍්‍රහාරයක් ලෙස සාධාරනීකරනය කරන්නේ ද නො එසේ නම් විනාශකාරී වරදක් ලෙස වටහාගන්නේ ද යන්න ගැටලුවක් නො වේ... දැනටමත් ඇමෙරිකානු මූලෝපායට හානි වී හමාර ය. ප‍්‍රශ්නය වන්නේ දෙරටේ වගකිවයුතු අංශවලට සහයෝගීතාව යලි ගොඩ නැගීම සඳහා කෙතරම් කාලයක් ගතවේ ද යන්නයි.” නිව්යෝර්ක් ටයිම්ස් ලිවී ය.

වොෂින්ටනය මත යැපෙන පකිස්ථානු ධනේශ්වරයේ මූල්‍ය ආරක්ෂන නිසි ලෙස පවත්වාගත යුතු යැයි ෆොක්ස් නිවුස් ආයතනය යෝජනා කලේ ය. "එක්සත් ජනපදය හා පකිස්ථානය අතර පූර්න බිඳවැටීමක් ගැන කල්පනා කල නො හැකි ය. පකිස්ථානය ඩොලර් බිලියන ගනන් එක්සත් ජනපද ආධාර මත යැපෙන අතර ඇෆ්ගනිස්ථාන කැරලිකරුවන් සාම සාකච්ඡා සඳහා පොලඹවා ගැනීම පිනිස පකිස්ථානයේ උදව් එක්සත් ජනපදයට අවශ්‍ය ය.”

ෆොක්ස් නිව්ස් නේටෝව ගැන වාර්තා වන විවේචන සම්බන්ධයෙන් ඉස්ලාමාබාදය පිලිබඳ හාරා ඇවිස්සීමක් ද එකතු කලේ ය. "උක්ත බෝම්බ ප‍්‍රහාර පකිස්ථානය තුල බෙහෙවින් ම අපකීර්තියට පත්ව ඇත. එක්සත් ජනපදය පකිස්ථානයේ අවසරයක් නොමැතිව එම කටයුතු කරගෙන යන බව පකිස්ථානු මිලිටරිය හා මහජන නායකත්වය ප‍්‍රසිද්ධියේ කියා සිටිති. නමුත් පුද්ගලිකව, ඔවුහු ඒවාට ඉඩ සලසනවා පමනක් නොව සමහර ඉලක්ක ගැනීම සඳහා සහයෝගය පවා ලබා දෙති.”

"ඇෆ්පැක්” යුද්ධය සඳහා වන එක්සත් ජනපද මූලෝපාය සමග පෙල ගැසෙන ලෙස ඇමරිකානු පාලක පන්තිය නො නැවතී ඉල්ලා සිටී. තලිබාන්වරු සමග ගනුදෙනුවක් සඳහා ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද සාකච්ඡාවට ඉස්ලාමීය කන්ඩායම් ගැට ගසා ගැනීම සඳහා පකිස්ථානයේ සහයෝගය ලබාගන්නා අතර ම ඇෆ්ගනිස්ථානයේ හා පකිස්ථානයේ ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහි එක්සත් ජනපද ප‍්‍රහාරයට සහයෝගය ලබා ගැනීමට ද එයට අවශ්‍ය ය. එක්සත් ජනපද ඉල්ලීම් ඉටු කිරීම සඳහා වන ඉස්ලාමාබාදයේ උත්සාහයන් එක්සත් ජනපද හා පකිස්ථානය යන දෙරටේ ම මහජන මතය සමග තීව‍්‍ර වන ගැටුමකට වැඩි වැඩියෙන් ඇදී ගොස් ඇත.

ඇෆ්ගනිස්ථානයේ නැටෝ හමුදා, පකිස්ථානයේ පදනම් වී සිටින හකානි ජාලය වැනි කැරලිකාර සංවිධානයන්ගෙන් නිරන්තතරයෙන් එල්ල වන ප‍්‍රහාර යටතේ සිටින අතර පකිස්ථානයේ ක්වේටා නගරයේ ප‍්‍රමුඛ තලිබාන් නායකයන් වෙසෙන බව පුලුල්ව වාර්තා වේ. තලිබාන්වරුන් සමග සක්‍ය ගනුදෙනුවක් තුල අතරමැදි හවුල්කරුවකු ලබා ගැනීම සහතික කිරීමට සහාය වන මෙම කන්ඩායම් සමග පකිස්ථානයට ඇති බැඳීම එක්සත් ජනපද නිලධරය විඳ දරා ගත්තේ ය. කෙසේ වෙතත් එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ තලිබාන් හමුදා සමග ඉස්ලාමාබාදය අඛන්ඩ ව පවත්වා ගෙන යන සම්බන්ධය කෙරේ නො මනාපයෙන් සිටී.

සැප්තැම්බරයේ දී එක්සත් ජනපද තානාපති කාර්යාලයට පහර දුන් හකානි ජාලය පකිස්ථානයේ අභ්‍යන්තර රහස් ඔත්තු ඒජන්සියේ "සැබෑ හස්තයක්ය” යි අද්මිරාල් මයික් මුලන් චෝදනා කිරීමත් සමග එක්සත් ජනපදය ඉස්ලාමාබාදය සමග ප‍්‍රසිද්ධ භේදයක් ආරම්භ කලේ ය.

එක්සත් ජනපදය පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය තුල සන්නද්ධ ඉස්ලාම්වාදීන් අතර පරස්පර විරෝධී සම්බන්ධතාවල ඉතිහාසය, 1979-89 සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේ දී සෝවියට් පිටුබලය ලැබූ කාබුල් තන්ත‍්‍රයට එරෙහි ව එක්සත් ජනපදය හා පකිස්ථානය ඉස්ලාම් මුජහෙදීන්වරුන්ට පිටුබලය ලබා දුන් 1980 දක්වා දිවෙයි. පසුව 1990 මැද භාගයේ දී එක්සත් ජනපදය හා පකිස්ථානය, ඒකාබද්ධ ව ඇෆ්ගනිස්ථානය එක්සත් ජනපද පාලනය යටතේ තබා ගැනීමටත්, මධ්‍යම ආසියාවේ පැවති සෝවියට් සමූහාන්ඩුව දක්වා වෙලද මාර්ගයක් විවෘත කිරීමටත් උත්සාහ දරමින් තලිබාන්වරුන්ට පිටුබලය සැපයී ය.

2011 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් ඉක්බිතිව එක්සත් ජනපදය පකිස්ථානය හා තාලිබාන්වරුන් දෙසට යොමු වූ අතර පකිස්ථානු තලිබාන් සබඳතා අත්හල යුතු බවත් එසේ නො වුන හොත් ‘ගල් යුගයට’ යන තුරු බෝම්බ හෙලනු ඇති බවටත් අනතුරු ඇඟවූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරී රිචඩ් ආමිටේජ්ගේ වචනවලින් ම ඉල්ලා සිටියේ ය. වොෂින්ටනය දැන සිටින පරිදි ඉන්දීය බලපෑම තුලනය කර ගැනීම සඳහා අර්බූදයට ගොස් තිබූ ඇෆ්ගන් පකිස්ථාන දේශ සීමා ප‍්‍රදේශයේ පාලනය පවත්වා ගැනීමේ උත්සාහයක් ලෙස පකිස්ථානු හමුදා කන්ඩායම් ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම්වරුන් සමග තවමත් සහයෝගීතාවය පවත්වා ගෙන යමින් සිටී.

එක්සත් ජනපදය ඉස්ලාමාබාදයට එරෙහි ව යොමු වී ඇති අතර ඉස්ලාමාබාදය, ඇෆ්ගන් යුද්ධය පකිස්ථානය තුලට පැතිරීම ගැන සහ නේටෝව වැඩි වැඩියෙන් එරී යාම නිසා, ගැඹුරු අභ්‍යන්තර අර්බූදයකට මුහුන පා සිටී. ඊයේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත චීනයේ සිටි ඇමෙරිකානු තානාපති ජෝන් හන්ට්ස්මන් මෙසේ උපුටා දැක්වූයේ ය. "එක්සත් ජනපද පකිස්ථාන් සම්බන්ධය හුදෙක් ම පැවතීගෙන යන සම්බන්ධයකි. මෙම සබඳතාවය ඉවත ලීමට අපට හැකිය යන අර්ථයෙන් අපගේ අපේක්ෂාවන් ඉතාමත් පහල තත්වයකට පත් වනු ඇතැ යි මම නියත වශයෙන් ම වටහා ගත්තෙමි.”

ඉස්ලාමාබාදය ඇෆ්ගනිස්ථානයට කෙරෙන නේටෝ සේවා සැපයුම් වසා දැමෙන නිසා මෙම ආතති වැඩි දියුනු වෙනු ඇත. සේවා සැපයුම් රථ පෙලකට ත‍්‍රස්ථ ප‍්‍රහාර එල්ල වූ 2009 වසරට පෙර නේටෝ සේවා සැපයුම්වලින් සියයට 80කට වඩා සිදු කලේ පකිස්ථානය හරහා ය. දැන් සියයට 31ක් ගුවනින් සැපයෙන අතර ඉතුරු බඩු තොගවලින් සියයට 63ක් ලඟා වන්නේ, බෝල්ටික් සහ කලු මුහුදේ වරායවල් හා රුසියාව හා කොකේසස් හරහා මධ්‍යම ආසියා සමූහාන්ඩු තුලින් ඇෆ්ගනිස්ථානයට යොමු වූ මහාමාර්ග හා දුම්රිය මාර්ග එකතුව හරහා වන ඊනියා බෙදා හැරීමේ උතුරු ජාලය හරහා ය.

එසේ වුවත් මෙහි අර්ථය වන්නේ නේටෝ සේවා සැපයුම්වලින් සියයට 25ක් පකිස්ථානය හරහා සිදුවන අතර පකිස්ථානු දේශ සීමාවල දී ඒවාට බාධා සිදු වනු ඇති බව ය. "එක්සත් ජනපදය පැත්තේ සිටින සියලු ම නායකයෝ මෙය බරපතල ලෙස වටහා ගනිති. අපට සෑම විට ම තර්කානුකූල විකල්පයක් පවතී. එය තීරනය වනුයේ එය කොතෙක් දුරට ඇදී යන්නේ ද යන්න මත මෙන් ම එහි බලපෑම දිගු කාලීන වශයෙන් ද නැද්ද යන්න මත ය" යි ප‍්‍රධාන එක්සත් ජනපද නිලධාරියෙක් වෝල් ස්ටී‍්‍රට් ජර්නලයට පැවසී ය.

යුද කටයුතු මෙහෙයවීමේ හා එක්සත් ජනපද තර්ජනය හමුවේ යටහත් පහත් ව සිටීමේ කුහක මිශ‍්‍රනයක් වන ඉස්ලාමාබාදයේ මධ්‍යම ප‍්‍රතිපත්ති මෙහෙයුම් අංශය පකිස්ථාන කම්කරුවන් හා පීඩිතයන්ගේ විප්ලවවාදී නැගිටීමක් පිලිබඳව බියට පත්ව සිටී. ඊජිප්තු විප්ලවය සිදු වූ පෙබරවාරි මාසයේ මුල් සතිවල පකිස්ථානය ලාහෝර් වෙලඳපොලේ දී පකිස්ථාන කම්කරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමෙන් අනතුරුව නඩු විභාගයකින් තොරව ඉස්ලාමාබාදය විසින් මුදා හැරුනු සීඅයිඒ ඝාතකයකු වන රේමන්ඩ් ඩේවිස්ට එරෙහි මහජන විරෝධතාවන්ට පකිස්ථානය මුහුන දුන්නේ ය. මෙම කෝපය එක්සත් ජනපද හමුදා ඇබොට්ටාබාද් නගරයේ දී ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම සඳහා පකිස්ථානය අභ්‍යන්තරයට ම කඩා වැදීම සිදු කල මැයි මාසයේ දී තවදුරටත් වර්ධනය විය.

මෑත වසරවල දී එක්සත් ජනපදය පකිස්ථානය තුල සිටින මිලියන ගනනක් වූ සරනාගතයන් අවතැන් කරමින් එහි ඇෆ්ගන් දේශ සීමාවේ මූලික මිලිටරි ප‍්‍රහාරයක් ක‍්‍රියාත්මක කරන ලෙස පකිස්ථානයට බල කර ද ඇත. මෙයින් ඇඟවුම් කෙරෙන්නේ මහජන විරැකියාව, විදුලිබල හිඟය සහ 2010 සහ 2011 යන දෙවසර තුල දී ම දස දහස් ගනනින් නිවාස අහිමි කල ජල ගැලීම් මගින් සටහන් වූ විනාශකාරී සමාජ තත්වයකි.

එමෙන් ම ආන්ඩුව පකිස්ථාන හමුදාවේ පාලනය අහිමිවීම පිලිබඳව ද බිය වෙයි. ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ, ජාත්‍යන්තර ආරක්ෂක සම්බන්ධතා පිලිබඳ ආයතනයේ හසාන් අබ්බාස් රොයිටර් ප‍්‍රවෘත්ති සේවයට මෙසේ කීය. "පකිස්ථානයේ මිලිටරිය සිද්ධීන්ගේ වර්ධනය කෙරේ ඉතා පැහැදිලි ලෙස ම නො මනාපයෙන් සිටින අතර හමුදාවේ ඉහල නායකත්වය මධ්‍යම හා කනිෂ්ට මට්ටමේ නිලධාරීන් විසින් ප‍්‍රතික‍්‍රියා දක්වන ලෙස කෙරෙන බලගතු පීඩනයට මුහුන දී සිටී.”

මෙය සිදු වන්නේ එක්සත් ජනපද විසින් බින් ලාඩන් ඝාතනයෙන් අනතුරු ව පකිස්ථාන් ආන්ඩුවට එරෙහිව කෙරුනු මිලිටරි කුමන්ත‍්‍රනයට නායකත්වය දුන් බවට පැතිර ගිය කටකථා මධ්‍යයේ එක්සත් ජනපදයේ පකිස්ථානු තානාපති හුසේන් හකානි යලි කැඳවනු ලැබීමෙන් පසුව ය.

Share this article: