ශ්‍රී ලංකාව: නව නීතියට එරෙහිව දසදහස් ගනන් ගොවීහු විරෝධය පාති

Sri Lanka: Thousands of farmers protest against new law

By our correspondents, 21 December 2011

එලවලු හා පලතුරු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩා භාවිතය අනිවාර්ය කිරීමේ ආන්ඩුවේ නව නීතියට විරුද්ධව පසුගිය සතියේ රටේ සෑම ප්‍රදේශයකම වාගේ දසදහස් ගනන් ගම්බද ගොවියෝ හා සුලු වෙලෙන්දෝ විරෝධය පෑහ.

පුලුල්ව පැතුරුනු විරෝධතාවන් නිසා වෙලඳපොලවල්වලට හා රෝහල්, පොලීසිය හා හමුදාව වැනි රාජ්‍ය ආයතනවලට එලවලු සැපයීම ඇනහිටියේ ය. දින ගනනාවක් එලවලු මිල සියයට 300 සිට 400 දක්වා ඉහල ගියේ ය.

Police attack protesting farmers in Bandarawelaබන්ඩාරවෙල දී විරෝධතාවේ යෙදෙන ගොවීන්ට පොලීසිය පහර දෙයි

හුදෙක් නව නීතියට විරුද්ධත්වය පමනක් නොව; ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කෙරෙහි මහජනයා තුල පවතින අතෘප්තිය ද විරෝධතාවන් මගින් පෙන්නුම් කලේ ය. අතිරේක ප්‍රවාහන වියදම නිසා ගොවීන් දැනටමත් මුහුන දී සිටින ප්‍රශ්න තීව්‍ර කිරීමත් සිදුවෙයි.

ප්ලාස්ටික් කූඩ භාවිතය මගින් දුර්වල ප්‍රවාහන ක්‍රම නිසා අස්වනු නෙලීමෙන් පසු එලවලු හා පලතුරුවලින් සියයට 5 සිට 40 දක්වා ප්‍රමානයක් විනාශ වීම වලක්වා ගත හැකි බව කියමින් වෙලඳ අමාත්‍යංශය නව නීතිය සාධාරනීකරනය කලේ ය. ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමේ නීතිය වෙලඳ අමාත්‍යංශය පසුගිය වසරේ අත්තනෝමතිකව ක්‍රියාවට දැමූ නමුත් ගම්බද ගොවීන්ගේ හා සුලු වෙලඳුන්ගේ බරපතල විරුද්ධත්වය නිසා එය අත්හිටුවීමට ආන්ඩුවට බල කෙරුනි.

දෙසැම්බර් 12 වෙනිදා සිට බලපවත්වන පරිදි ආන්ඩුව නව ක්‍රමය යලි ක්‍රියාවට දැමීය. වෙලඳ අමාත්‍යංශ නිලධාරින් විසින් එදින එලවලු සහ පලතුරු ගෝනිවල අසුරා ප්‍රවාහනය කල ලොරි 40ක් අත්අඩංගුවට ගෙන එකකට රුපියල් 2,000 බැගින් විශාල දඩ ගැසීය.

දඩගැසීමේ ප්‍රවෘත්තිය පැතිරීමත් සමග සුලුවෙලෙන්ඳන් හා ප්‍රවාහකයන් දහස් ගනනින් වීදිවලට අවතීර්න වූ අතර කෝපාවිෂ්ට දර්ශන දින තුනක් පුරා පැවතියේ ය. දඹුල්ල, තඹුත්තේගම, කඳපොල, බණ්ඩාරවෙල, නොරොච්චෝලේ සහ රන්න වැනි එලවලු එකතු කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානවල විරෝධතා ඇති විය. 4,000ට අධික ගොවියෝ සුලුවෙලෙන්දෝ හා ප්‍රවාහකයෝ කොලඹ මැනිං වෙලඳපොල අවට මහාමාර්ග අවහිර කලහ.

උද්ඝෝෂණයට සහභාගී වුවෝ "කූඩ කොමිස් කාට ද", "මහින්ද චින්තනේ ගොවියට මර්දනේ" වැනි සටන් පාඨ හඬ නැගූහ. දඹුල්ලේ දී කෝපාවිෂ්ට මහජනයා ප්‍රදර්ශනය වෙමින් තිබු රාජපක්ෂගේ කටවුට් හා පෝස්ටර් ඉරා දැමු හ.

පොලීසිය විරෝධතා කරුවන් විසුරුවා ලීමට උත්සාහ කිරීමේ දී දඹුල්ලේ සහ බණ්ඩාරවෙල දී ප්‍රචන්ඩ ගැටුම් ඇති විය. පොලිසිය ජනයාට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කල අතර ජනයා පෙරලා ඔවුන්ට ගල්වලින් පහර දුන්හ.

දඹුල්ලෙන් 28ක් හා බන්ඩාරවෙලින් 38ක් ඇතුලුව දෙසැම්බර් 13-14 දෙදින තුල 83ක් අත්අඩංගුවට ගත්හ. තවත් විරෝධතා අවුලුවනු ඇතැයි බියවූ පොලීසිය ඔවුන් ඇප මත නිදහස් කලේ ය. බරපතල තුවාල ලැබූ 24ක් රෝහල් ගත කලහ.

එයට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් මැඩලීමේ දී, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය කාල පරිච්ඡේදයේ යොදා ගත් දුෂ්ට මිලිටරි විධික්‍රම යොදා ගැනීම සම්බන්ධව කිසි දෙගිඩියාවක් නැති බව පෙන්නුම් කරමින් ආන්ඩුව දඹුල්ල සහ බන්ඩාරවෙල නගර පාලනය කිරීමට සිය ගනනක් හමුදාව වහාම යැවී ය.

වෙලඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු දෙසැම්බර් 12 පාර්ලිමේන්තුවේ කතාකරමින් විරෝධතාවල යෙදුන අය අතලොස්සක් මැරයන් බව කියමින් උමතුවෙන් මෙන් ගොවීන්ට පහර ගැසූ අතර නීතිය ඉවත් කර නොගන්නා බව අවධාරනය කලේ ය.

Wewala peasant in discussion with WSWS reporterවෑවල ගොවියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවන් සමග සාකච්ඡා කරයි

කෙසේ නමුත් රාජපක්ෂ කෝපය සංසිඳවීම සඳහා දෙසැම්බර් 14 ගොවි හා වෙලඳ නියෝජිතයන් ගේ රැස්වීමක් කැඳ වීය. ඔහු ඊනියා මසක සහන කාලයක් නිවේදනය කල අතර ඉන් පසුව නව නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාවට දමන බවට අනතුරු ඇඟවී ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවෝ දඹුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල සංචාරය කල හ. නව නීතිය දැරිය නොහැකි අමතර බරක් ඔවුන් මත පටවා ඇති ආකාරය ගොවීහු, වෙ‍ලෙන්දෝ හා ප්‍රවාහකයෝ පැහැදිලි කලහ.

ප්ලාස්ටික් කූඩ යොදා ගැනීමේ දී ගෝනිවල ප්‍රවාහනය කරනවාට වඩා තුන් හතර ගුණයක් ප්‍රවාහනයට වියදම් කල යුතු ය. උදාහරනයක් වසයෙන්, එක ගෝනියක එලවලු කිලෝ පනහක් ඇසිරිය හැකි නමුත් අවම වසයෙන් ඒ සඳහා ප්ලාස්ටික් කූඩ තුනක් අවශ්‍ය ය.

බන්ඩාරවෙල සිට එලවලු ප්‍රවාහනය කරන ගාල්ලේ සුලු වෙලෙන්දෙක් ප්‍රකාශ කලේ, "ගෝනි පාවිච්චි කරන කොට මට වියදම් වෙන්නේ රුපියල් 1,600 ප්ලාස්ටික් කූඩ යොදා ගත්තොත් එක් වරකට රුපියල් 15,000 ට වැඩිය වැය කල යුතුයි. ඒ වගේ තත්වයක් තුල මම කොහොම ද මගේ ව්‍යාපාරය කරගෙන යන්නේ? ආන්ඩුව මෙම නීතිය ක්‍රියාත්මක කලොත් මම වගේ වෙලෙන්දෝ මහා පාරට වැටෙනවා."

"පාරට එලවලු ගේන්න අපි ලොකු වෙහෙසක් දරන්න ඕන. අපි කුඹුරුවල නියරවල් දිගේ බර උස්සගෙන එන්න ඕන. කඳුකරය නිසා ඒක හරිම දුෂ්කරයි. කෙසේ නමුත්, අපි ගෝනිවල එලවලු ගේන කොට අපිට ඒක කරෙන් කරට මාරු කරන්න පුලුවන්. නමුත් කූඩා පාවිච්චි කලොත් ඒක කරන්න බැහැ" බන්ඩාරවෙල ගොවියෙකු ප්‍රකාශ කලේ ය.

කූඩවල එලවලු ප්‍රවාහනය කිරීමෙන් පසුව හිස් කූඩ ආපසු ගෙන ඒ මට ද වියදමක් දැරිය යුතු බව තවත් ගොවියෙකු පැවසුවේ ය. "අපි ඒ වියදමත් නිෂ්පාදන මිලට එකතු කලොත් එලවලු මිල දී ගැනීමේ දී පාරිභෝගිකයන්ට තවත් අමතර ගනනක් ගෙවන්න වෙනවා.

ආන්ඩුව කියනවා කූඩ නීතිය ගෙනාවේ එලවලු අපතේ යාම වලක්වන්න කියල. නමුත් ඔබ මහ කන්නයේ, පෙබරවාරි සහ මාර්තු මාසවල ඇවිල්ල බලන්න හොඳ මිලක් නැති නිසා ගොවියෝ කොයිතරම් ප්‍රමානයක් එලවලු විනාස කරනව ද කියල"

ගොවීන් ප්‍රකාශ කරන ආකාරයට එලවලු අධික කාලයට තක්කාලි කිලෝවක මිල රුපියල් 3 දක්වාත්, කිලෝ 50 ක ගෝවා ගෝනියක මිල රුපියල් 50 දක්වාත් පහත වැටෙයි. සාධාරන මිලකට තම අස්වනු විකුනා ගැනීමට නොහැකි නිසා කලකිරීමට පත්වන ගොවියෝ තම අස්වනු විනාස කරති. නැත හොත් ගොවි බිම්වලට ගිනි තබති. පසුගිය සතියේ විරෝධතාවල දී තම අප්‍රසාදය හ කෝපය පල කිරීම සඳහා ගොවීහු විසාල ප්‍රමානයක් එලවලු මහා පාරවල්වල හැලු හ.

දඹුල්ලේ සිට කිලෝ මීටර් 22 ක් පමන දුරින් වූ වෑවල ගොවියෙකු අදහස් දක්වමින් "මම පොඩි ගොවියෙක්. එක අවස්ථාවකට එලවලු ගෝනි දෙක තුනක් බයිසිකලෙන් මම වෙනද පොලට ගෙනියනවා. මෙම නීතිය ක්‍රියාත්මක කලොත් එක ගෝනියක දාන එලවලු ගෙනයාම සඳහා අඩුවසයෙන් ප්ලාස්ටික් කූඩ තුනක් වත් ඕන වෙනව. කූඩ 9 ක් හෝ 10 ක් මට ගන්න වෙනව, ඒව ප්‍රවාහනය කරන්න වාහනයක් කුලියට ගන්නත් වෙනව. එක කෑල්ලකට ඒ ගොල්ල රුපියල් 50 ක් අය කරනවා. එතකොට එක ගෝනියක ගෙනියපු එලවලු ටික ගෙනියන්න මම රුපියල් 150 ක් වැය කරන්න ඕන. එතකොට මට කීයක් වත් ලාබයක් තියෙයි ද?"

Farming family outside their Welwala homeවෑවල ගොවි පවුලක් ඔවුන්ගේ නිවස ඉදිරිපිට

වෑවල ගොවීන් තම ජීවිතය සරිකර ගන්නේ එලවලු සහ පැපොල් වගාවෙනි. ඔවුන්ට නිසි වාරිමාර්ග ක්‍රමයක් නැති අතර ඔවුන් ගෙන් බොහෝ දෙනෙකු සිය ගොවිතැන කරන්නේ වැසි ජලය හෝ ඇල වේලිවලින් සහ ලිංවලින් පොම්ප කර ලබා ගන්න ජලයෙන් ය. දඹුල්ලේ සිට වෑවල දක්වා මාර්ගය වලවල් සෑදී අබලන් වී ඇති අතර වැසි දින වල දී පාර මඩ වෙයි. ප්‍රමානවත් තරම් බස් සේවාවක් ද නැත.

ගමේ බොහෝ නිවාස නිදන කාමර එකක් හෝ දෙකක් හා කුස්සියක් සහිත බ්ලොක් ගලෙන් හෝ ගඩොලින් තැනූ ඒවා ය. සමහර නිවාස නිම කර නැත. කුඩා රෝහලක් තිබෙන නමුත් ප්‍රමානවත් තරම් බෙහෙත් නොමැති අතර එක වෛද්‍ය වරයෙක් පමනක් සිටී. නිල නිවසක් නැති නිසා රාත්‍රී කාලයේදී ඔහු රෝහලේ නැත. රාත්‍රීයෙහි අසනීප වන අය හෝ බරපතල රෝග වැලඳුන රෝගීන් දඹුල්ලට හෝ කිලෝ මීටර් 60 ක් පමන දුර ගෙවා ගෙන නුවරට හෝ ගෙන යා යුතු ය.

ප්‍රදේශයේ ගොවීන්ට අනුව අක්කරයක එලවලු වගා කිරීමට රුපියල් 150,000 ත් 175,000 ත් අතර මුදලක් අවශ්‍යය. පසුගිය වසර දෙක තුන ඇතුලත බීජ සහ කෘෂි රසායන වල මිල වේගයෙන් ඉහල ගොස් තිබේ. නව ප්‍රවාහන ක්‍රමය තදුරටත් ඔවුන්ගේ අදායම හීන කරන බව ගොවීහු කී හ.

"ස්ථාවර මිලක් නැති නිසා ලාබයක් ගන්න අමාරුයි" මම අක්කර තුනක් වගා කලත් ඒ අදායම අපට ජීවත් වෙන්න මදි. මට ලමයි දෙන්නෙක් ඉන්නවා. ඒ අය තවමත් ඉස්කෝලේ යනව. ඒ ගොල්ලන්ගේ අධ්‍යාපනයටත් වියදම් කරන්න ඕන. ගොවිතැනෙන් ප්‍රමානවත් මුදලක් උපයන්න බැරි නිසා අමතර ආදායමක් හොයා ගන්න මම මගේ ත්‍රීවීලරය හයර් කරනවා" වෑවල ගොවියෙකු පැවසූවේ ය.

පසුගිය ඡන්දවල දී තමන් ආන්ඩුවට ඡන්දය දුන් බව දඹුල්ලේ බොහෝ ගොවීහු සහ වෙලෙන්දෝ කී හ. "අපි එහෙම කලේ ආන්ඩුව යුද්ධය අවසන් කරපු නිසා අපට යම් සහනයක් ලැබෙයි කියල හිතල. නමුත් දැන් හැම දෙයක් ම ගනන් ගිහිල්ල. අලුත් නීතියත් එක්ක ආන්ඩුව අපිව නට්ටම් කරන්න හදන්නේ. අපි ආන්ඩුවට කියනවා දැන් මැතිවරනයක් තියල මොකක් ද වෙන්නේ බලන්න කියල" අයෙක් පැවසී ය.

ගොවි විරෝධතා ලංකාවේ ගම්බද පලාත්වල ගැඹුරු වන ප්‍රශ්න එලිමහනට ගෙන ආවේය. ඉඩම් හිඟය, ප්‍රමානවත් තරම් වාරි පහසුකම් නැතිකම, නිෂ්පාදනයන් සඳහා සහතික මිලක් නැතිකම, නය ගැතිකම, නවීන කෘෂි තාක්ෂන පහසුකම්වල ඌනතාවය හා බීජ, පොහොර සහ කෘෂි රසායන මත කෘෂි ව්‍යාපාරික සමාගම් විසින් පවත්වාගෙන යන පාලනය විසින් ගම්බද දුගීන් පීඩාවට පත් කර තිබේ. රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇති කූඩ ක්‍රමය දැරිය නොහැකි තවත් බරකි.

නව ප්‍රවාහන නීතිය ක්‍රියාවට දැමූ අත්තනෝමතික ආකාරය හා ගොවීන්ට එරෙහිව පොලිසිය හා හමුදාව යෙදවීම මගින් "ගම්බද ජනයාගේ මිත්‍රයෙක්" ලෙස ආන්ඩුවේ මවා පෑම කුඩු පට්ටම් වී ඇත. එය පොහොර සහනාධාරය ලබා දුන්නේ ගොවීන් කෙරෙහි ආදරයකින් නොව; ආන්ඩුව කෙරෙහි වැඩෙන අපුල තුනී කිරීමේ තැතක් ලෙස ය. රාජපක්ෂ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමන විට මෙම සීමා සහිත සහන පවා හූරා දැමීමට එතරම් කාලයක් ගත නොවනු ඇත.

විරුද්ධ පක්ෂ එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) අනිවාර්ය කූඩා නීතිය ඉවත් කර ගන්න ලෙස ඉල්ලමින් හා තවදුරටත් විරෝධතා වලට කැඳවුම් කරමින් ගම්බද දුගීන් ගේ කෝපය ගසා කෑමට උත්සාහ කලහ. කෙසේ නමුත්, ආන්ඩුව හෝ මේ පක්ෂ දෙකෙන් එකක්වත් ගොවි ජනයාගේ "මිතුරෝ" නො වෙති. එජාපය බලයේ සිටිය දී කෘෂි සහනාධාර කප්පාදුව ඇතුලු ප්‍රධාන නිදහස් වෙලඳ පොල ප්‍රතිව්‍යුහකරනයන් ක්‍රියාවට දැමී ය. ජවිපෙ කලින් රාජපක්ෂ සමග හවුලක සිටි අතර සුලු ගොවීන්ගේ කොදේසිවලට වල කැපීමේ එකල පියවරයන්ට සහයෝගය දුන්නේ ය.

ලාබ නය, තාක්ෂනික සහාය හා ඔවුන්ගේ නිෂ්පාදනයන්ට සහතික මිලක් ඉල්ලා සිටින ගම්බද දුගී ගොවීන් ගේ ප්‍රශ්නවලට විසඳුම් සම්පාදනය කල හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් පමනි. ටික දෙනෙකුගේ ලාබ සඳහා නොව, සමාජයේ බහුතරයේ සමාජ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා සමාජය ප්‍රතිසංවිධානය කිරීමේ කොටසක් ලෙස බැංකු සහ කෘෂි ව්‍යාපාර ජනසතු කිරීම එයට අනිවාර්යෙන්ම ඇතුලත් වෙයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Share this article: