ශී‍්‍ර ලංකාව: ආන්ඩුවේ වැටුප් කප්පාදුව ඉදිරියේ වෘත්තීය සමිති යටත් වෙයි

By W.A. Sunil , 5 December 2011

තම ඉල්ලීම්වලට අනුකූලව රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයන් සඳහා අයවැයෙන් වැටුප් වැඩි වීමක් ලබා නො දුන්නොත් "දැවැන්ත අරගලයක්” කරන බවට පාරම් බෑ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ වෘත්තීය සමිති හා ස්වාධීන යයි කියා ගත් වෘත්තීය සමිති මහ සම්මේලනය ආන්ඩුව කම්කරුවන් රැවටූ බවට දැන් අඳෝනා නගති.

අය-වැයට පෙරාතුව ජවිපෙට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජාවෘසම) රාජ්‍ය අංශයට රුපියල් 10,000ක මාසික වැටුප් වැඩි වීමක් හා පුද්ගලික අංශයට සියයට 40 වැටුප් වැඩි වීමක් ඉල්ලා විවිධ උද්ඝෝෂනවල නිරත විය. රාජ්‍ය හා නිදහස් වෙලඳ කලාප (නිවෙක) ඇතුලු පුද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ සමිතිවල එකතුවක් වන වෘත්තීය සමිති මහා සම්මේලනය (වෘසමස) ආන්ඩුව පසුගිය වසරේ මැතිවරනයේදී පොරොන්දු වූ රුපියල් 2,500 හා ආන්ඩුව විසින් රාජ්‍ය සේවකයන්ට ගෙවිය යුතු රුපියල් 3896 ක හිඟ ජීවනාධාර මුදල ඉල්ලා වෙන ම උද්ඝෝෂනය කලේ ය.

ජාවෘසම හා වෘසමස නායකයන්ගේ ඊනියා උද්ඝෝෂනවල අරමුන වුයේ වැටුප් වැඩි වීමක් සඳහා අරගලයක් කම්කරු පන්තිය තුල සංවිධානය කිරීම නො වේ. ජීවන වියදම දැරිය නො හැකි මට්ටමකින් ඉහල යන තතු තුල, 2006 සිට දිගට ම එජනිස ආන්ඩුව අනුගමනය කරන වැටුප් කැටිකර තැබීමේ පිලිවෙතට එරෙහිව කම්කරු පන්තිය තුල මෝදු වන අතෘප්තිය සහ නොසන්සුන්කම පෙර වසරවල මෙන් ම සීමිත ඇල්මැරුන උද්ඝෝෂනවලට කොටු කර දිය කර හැරී ම ය. මෙම වෘත්තීය සමිති අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම ආසන්නයේ අවුරුදු පතා හිස් උද්ඝෝෂන සංවිධානය කරමින් ආන්ඩුවට පීඩනය දමා යමක් ලබා ගත හැකිය යන මිථ්‍යාව තුල කම්කරුවන් හිර කර දැමීම දිගටම කරගෙන යති.

ජාවෘසම හා වෘසමස නායකයන්ගේ උද්ඝෝෂනයේ ප්‍රෝඩාකාරී බව හොඳින් දත් ආන්ඩුව ඔවුන්ගේ තර්ජනය තුට්ටුවකට වත් ගනන් නොගෙන ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශවලට අනුකූලව රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ ආන්ඩුවේ පිලිවෙතට අනුව මුලික වැටුප මත පදනම් වූ සියයට 10 ක දීමනාවක් නිවේදනය කලේ ය. එද රාජ්‍ය අංශය සඳහා පමනි.

"හෙට රැකියාවට බැඳෙන කෙනාටත් මේ වැඩිවීම ලැබෙනවා” යයි ජනාධිපති රාජපක්ෂ කම්කරුවන්ට ඔච්චමක් ද කලේ ය.

රාජ්‍ය අංශයේ අවම මාසික වැටුප රුපියල් 11,730 කි. ඒ අනුව අවම මාසික වැටුප හිමි රාජ්‍ය අංශයේ කම්කරුවෙකුට ලැබෙන දීමනාව රුපියල් 1173 කි. පසුගිය වසරේ අය-වැයෙන් වැඩිකල වැටුප් දීමනාව සියයට 5 හෙවත් රුපියල් 586.50 කි. 2009 වසරේ පොරොන්දු වූ රුපියල් 750 ජීවන වියදම් දීමනාව ගෙවීම ඇන හිටුවා ඇත. රාජ්‍ය අංශයේ සේවකයන්ට ලැබිය යුතු එහි හිඟය රුපියල් 3896 කි. ඒ අනුව දීමනා වසයෙන් හෝ වැටුප් වැඩි වීමක් නොව සිදුව ඇත්තේ කප්පාදුවකි.

ඔක්තෝබර් මාසයේ නිකුත් කල ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවට අනුව පසුගිය වසර හා සැසඳීමේ දී මේ වසරේ අගෝස්තු මාසයේ දී රාජ්‍ය අංශයේ නාමික වැටුප් අගය සියයට 6.7 න් ඉහල ගිය ද මූර්ත වැටුප් අගය සියයට 0.7 න් පහත වැටුනි. මෙවර අය-වැය මගින් රුපියලේ අගය සියයට 3 න් අවප‍්‍රමාන කිරීමත්, ඉදිරියේ දී තවදුරටත් රුපියල අවප‍්‍රමානය කිරීමටත් ආන්ඩුව අපේක්ෂා කරන තතු තුලත් කම්කරු පන්තියේ මූර්ත වැටුප් අගය තව තවත් පහතට රූටා යනු ඇත.

රුපියල් 5750 ක සොච්චම් මාසික අවම වැටුපක් ලබන පුද්ගලික අංශයේ කම්කරුවන් සම්බන්ධයෙන් රාජපක්ෂ කිසිවක් සඳහන් කලේ නැත. අය-වැයට පසු දින පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවක දී කම්කරු ඇමති ගාමිනී ලොකුගේ ප‍්‍රකාශ කලේ පුද්ගලික අංශයේ වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් පඩිපාලක සභා වග බලා ගනු ඇති බව ය. පුද්ගලික අංශයේ පිලිවෙත ද ආන්ඩුවේ කප්පාදු පිලිවෙත ම ය. ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදය හා තීව‍්‍ර වන ජාත්‍යන්තර තරගය ඉදිරියේ පුද්ගලික අංශයේ හාම්පුතුන්ගේ උද්ඝෝෂනය ඉලක්ක කෙරී ඇත්තේ වැටුප් හා සේවා ප‍්‍රතිලාභ කැපීමට ය.

ආන්ඩුවේ පිලිවෙත සමිතිවල පීඩනය මත වැටුප් වැඩි කිරීම හෝ සෙසු ප‍්‍රතිලාභ කම්කරු පන්තියට දීම නො වේ. සෙසු රටවල පාලන තන්ත‍්‍රයන් මෙන්ම රාජපක්ෂ තන්ත‍්‍රයේ පිලිවෙත වී ඇත්තේ අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා වඩ වඩා කප්පාදු වැඩපිලිවල ක‍්‍රියාවට දැමීම ය. ඊට එරෙහිව පැන නගින පන්ති අරගල මැඩීම සඳහා පොලිස්-රාජ්‍ය විධික‍්‍රම ක‍්‍රියාවට දමමින් කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රුදුරු ලෙස තලා දැමීම ය.

මැයි මාසය අගදී, වෘත්තීය සමිතිවල පාවාදීම නොතකා, සිය පඩිපත ඊනියා විශ‍්‍රාම වැටුප් අරමුදලකට කපා ගැනීමට එරෙහිව කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් දියත් කල අරගලය ආන්ඩුව මැඩලූවේ එක් කම්කරුවකු මරා දමමින් පොලීසියේ මුර්ග ප‍්‍රහාරයකිනි.

අය-වැයට පෙර පැවති ජාවෘසම හා වෘසමස බොරු ගෝරනාඩුව ඊට පසු දින ම ආන්ඩුව කම්කරුවන් රැවටු බව කියන කනිපින්දමක් බවට පරිවර්තනය විය. ජාවෘසම සභාපති කේ.ඩී. ලාල්කාන්ත නොවැම්බර් 22 දා ලක්බිම පුවත්පතට ප‍්‍රකාශ කලේ 2006 සිට ම කම්කරු පන්තියට වැටුප් වැඩිවීමක් නොලැබුන බවත් ජීවන වියදමට අනුව වැටුප් වැඩි විය යුතු බව පසුගිය කාලය පුරාම ජනාධිපතිට කිවූ බව ය. "ඒ නිසා අපි අය-වැය සම්මත වීමට පෙර ජනාධිපති තුමාට යෝජනාවක් ඉදිරිපත් කරනවා වැටුපට පිටින් එල්ලා තිබෙන දීමනාවල් සියල්ල වැටුපට එකතු කරන්න කියල”.

එම පුවත්පතට ම ප‍්‍රකාශයක් කල වෘසමස සමලේකම් සමන් රත්නප‍්‍රිය කියා තිබුනේ "ජනාධිපතිවරනයේදීත්, මැතිවරනයේදීත් ජනාධිපතිවරයා දුන් පොරොන්දු බැලුවම පොරොන්දු කඩ කල ආන්ඩුවක් බවට මේ ආන්ඩුව පත් වී තිබෙනවා”. පසුගිය වසර කිහිපයේ ආන්ඩුවේ පිලිවෙත් ගැන අත්දැකීම් සහිත හිතනමතන කිසිදු කම්කරුවෙකුට ආන්ඩුව පොරොන්දු කැඩීම අලුත් දෙයක් නො වී ය. එවන් මිථ්‍යාවන් වගා දිගා කරන්නේ සමන් රත්නපි‍්‍රය, ලාල් කාන්ත ඇතුලු සමිති නායකයන් ය.

නිදහස් වෙලඳ කලාප හා පොදු කම්කරු සංගමයේ (නිවෙකපොකස) සම ලේකම් ඇන්ටන් මාකස් මාධ්‍යට ප‍්‍රකාශ කලේ ආන්ඩුවේ පුද්ගලික අංශයේ කම්කරුවන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙනු ඇති යයි බලාපොරොත්තු වූ නමුත් "ආන්ඩුව සලකා ඇත්තේ හාම්පුතුන්ට මිස සේවකයන්ට නො වන” බව ය. නමුත්, කම්කරුවන්ට වැටුප් වැඩිවීමක් ලබා ගැනීමට කුමක් කරන්නේ දැයි කිසිවක් නොකීමට ඇන්ටන් මාකස් වග බලා ගත්තේ ය.

ආන්ඩුවට ගැති වෘත්තීය සමිති හවුල 22 දා පැවති පුවත්පත් සාකච්ඡාවක දී අය-වැය වග වර්නනා කලේ ය. එහිදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස "අය-වැය යෝජනා 100 පුද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය දක්වාත්, සුලූ පරිමානයේ හා මහ පරිමානයේ ව්‍යාපාරිකයන් සහ පොහොසතුන්ගේ සිට දුප්පතුන් දක්වා සමාජයේ සෑම කොටසකට ම ආමන්ත‍්‍රනය කර ඇති” බව ප‍්‍රකාශ කලේ ය.

ආන්ඩුවට පක්ෂ පාතී වේවා ආන්ඩු විරෝධී යයි කියා ගන්නවුන් වේවා සමස්තයක් ලෙස වෘත්තීය සමිති හා ඒවායේ නිලධරයන් කැප වී සිටින්නේත් උනන්දු වන්නේත් කම්කරු පන්තියේ අයිතීන් දිනා දීමට නොව ධනපති රාජ්‍යයේ හා ධනේශ්වර ප‍්‍රාග්ධනයේ උවමනාකම් වෙනු වෙනි. වෘත්තීය සමිති සියල්ල, වෙන් වෙන්ව කටයුතු කලත් පොදුවේ කම්කරුවන්ගේ ජීවන කොන්දේසි හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමේ මොනම වැඩපිලිවෙලක් වත් ඉදිරිපත් කිරීමට අසමත් ය. ඒවා ගැටගැසී ඇත්තේ ධනපති ජාතික රාජ්‍යයට හා ධනේශ්වර ක‍්‍රමයට යි.

ආන්ඩුව මෑතදී හදිසියේ සම්මත කල ඌන ක‍්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත සම්බන්ධයෙන් වෘසමසයේ ආස්ථානය ඒ සම්බන්ධයෙන් විශද උදාහරනයකි. උක්ත පනත සම්බන්ධයෙන් වෘසමස ය නොවැම්බර් 9 දාතමින් නිකුත් කල පුවත් ප‍්‍රකාශයක අවධාරනය කර ඇත්තේ ආන්ඩුවලට ව්‍යාපාර සාර්ථකව ක‍්‍රියාත්මක කල නොහැකි බව ඔප්පු වී ඇති හෙයින් "මෙවැනි පනතක් සම්මත කිරීම හරහා දේශීය හා විදේශීය ආයෝජකයන් රට තුල ආයෝජන කිරීම දුර්වල කරන අතර එය රටේ සංවර්ධනයට බාධාවක් බව” ය.

ආන්ඩුව එම පනත සම්මත කලේ මූලික අරමුනු දෙකක් ඇතිව ය. ඒ සිය දේශපාලන විරුද්ධවාදීන් මැඩ තබා ගැනීම හා කලින් පුද්ගලීකරනය කර අසාර්ථක වී ඇති ව්‍යාපාරයන් පවරා ගෙන යලි විකුනා දැමීම ය. කම්කරු පන්තියට ධනපති දේපල ධනපති රාජ්‍යය අතේ පැවතුන ද ඔවුන්ට වන සෙතක් නැත. එහෙත් සමිති නායකයන්ට ධනේශ්වර ප‍්‍රාග්ධනයේ උවමනාකම් කම්කරු පන්තියේ උවමනාකම්වලට වඩා වැදගත් ය. ඉතින්, වෘත්තීය සමිති හා ඒවායේ නායකයන් වැටුප් හෝ කම්කරු පන්තියේ වෙනත් අයිතීන් රකිත් ද ?

Share this article: