ඉන්දියානු මානව හිමිකම් කි‍්‍රයාකාරිකයා ගෙතූ චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගෙට

Indian human rights activist jailed for life on frame-up charges

By Ajay Prakash , 2 February 2011

ජාත්‍යන්තරව ප‍්‍රසිද්ධ මානව හිමිකම් කි‍්‍රයාකාරිකයකු හා ලමා රෝග පිලිබඳ වෛද්‍යවරයකු වන බිනායක් සෙන්, ඉන්දියානු (මා ඕවාදී) කොමියුනිස්ට් පක්ෂයට ආධාර කිරීමේ චෝදනා මත නැගෙනහිර ඉන්දියාවේ චතිස්ගාර් ප‍්‍රාන්තයේ දිස්ති‍්‍රක් උසාවියක් විසින් පසුගිය දෙසැම්බරයේ දී වරදකරුවකු කරනු ලැබ, ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කෙරී ඇත. කොල්කතා නගරයේ සුලු ව්‍යාපාරිකයකු වන පියුෂ් ගුහා සහ මා ඕවාදියකු යැයි කියනු ලබන 74 හැවිරිදි නාරායන් සන්යාල් ද වරදකරුවන් කරනු ලැබ බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කෙරුනි.

ඉන්දියානු හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන් ම ඉන්දියානු මාධ්‍ය හා නෛතික සංස්ථාපිතයේ සැලකිය යුතු කොටස් ද සෙන් වරදකරුවකු කිරීම හෙලා දැක තිබේ. සෙන්ට එරෙහි නඩුව මුලුමනින්ම පාහේ පාදක වූයේ චුදිතයා විසින් අභියෝගයට ලක් කෙරුනු පොලිස් සාක්ෂ්‍ය මත යන වග ද පැමිනිලි පාර්ශ්වය ගොනු කල නඩුව තුල තිබුන ප‍්‍රධාන විෂමතා විනිසුරු නොසලකා හැර ඇති වග ද සෙන්ට එරෙහි චෝදනා පැහැදිලිව ම රාජ්‍යයේ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ තදබල විවේචනයක් නිහඬ කිරීමේ අරමුනින් යුක්ත දේශපාලනිකව පෙලඹවුනු ප‍්‍රයත්නයක් වග ද ඔවුහු සටහන් කරති.

"ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් දේශපාලන සිරකරුවකු ලෙස සලකනු ලබන වෛද්‍ය සෙන් වරදකරුවකු කෙරුනේ, අතිශයින්ම නොපැහැදිලි සහ අපරාධ නඩු පැවරීම පිලිබඳ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට කොහෙත්ම නොගැලපෙන නීති යටතේ” යයි ඇම්නෙස්ට් සංවිධානයේ ආසියා-පැසිෆික් අධ්‍යක්ෂ සෑම් සරිෆි ප‍්‍රකාශ කලේය.

ඉන්දියානු මධ්‍යම සහ චතිස්ගාර් ප‍්‍රාන්ත ආන්ඩුවල, සියල්ලම ඇතුලු කරගන්නා කුප‍්‍රකට "ත‍්‍රස්ත විරෝධී” නීති පනත්වල විධිවිධාන යටතේ, සෙන්ට සහ ඔහුගේ සම-චුදිතයන්ට රාජද්‍රෝහිත්වය, මාඕවාදී කැරලිකරුවන්ට සහයෝගය දීම යන චෝදනා ද සන්යාල්ගේ නඩුවේ දී නීති විරෝධී සංවිධානයකට අයත්වීම යන චෝදනාව ද නගන ලදි.

2006 අපේ‍්‍රල් මස චතිස්ගාර් පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගැනුනු අවස්ථාවේ පටන් බන්ධනාගාරගතව සිටින මා ඕවාදී සන්යාල්ගේ පනිවිඩකරුවකු ලෙස කි‍්‍රයාකල බවට සෙන්ට චෝදනා කෙරුනි. වෛද්‍යවරයකු හා මානව හිමිකම් නීතිඥයකු ලෙස ඔහු සතු වෘත්තිමය මට්ටමින්, සෙන්, 2007 මැයි මස තමා අත් අඩංගුවට පත් වන තෙක් ම, දැඩි රාජ්‍ය අධීක්ෂනය යටතේ, තිස් වතාවකට වඩා සන්යාල් මුනගැසුනි.

ඉන්දියානු ආන්ඩුවේ නීති විරෝධී කි‍්‍රයාකාරකම් (වැලැක්වීමේ) පනත (යූඒපීඒ) සහ චතිස්ගාර් මහජන ආරක්ෂක පනත (සීපීඑස්ඒ), "නීති විරෝධී කි‍්‍රයාකාරකම්” පිලිබඳ ඒවායේ අර්ථදැක්වීමේ දී කෙතරම් නම් පුලුල් ද කියතොත්, කොන් කෙරුනු හා අතිශයින් දුගී ජනයා වෙනුවෙන් සිදු කරනු ලබන අහිංසක දේශපාලනික හෝ සමාජ කි‍්‍රයාකාරකම් පවා අපරාධ ගනයට දැමිය හැකිය. දහස් සංඛ්‍යාත අහිංසක ජනයා මෙම කුප‍්‍රකට පනත්වල හිතුවක්කාරී මර්දන දැලට හසු කරනු ලැබ ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් වරදකරුවන් කෙරී ඇත්තේ පොලීසිය විසින් අටවන ලද ගෙතූ සාක්ෂ්‍ය සහ/හෝ පොදුවේ යොදා ගන්නා වධබන්ධන හරහා බලාත්කාරයෙන් ලබා ගැනුනු පාපොච්චාරන මගිනි.

ඉන්දියානු හා ප‍්‍රාන්ත ආන්ඩු නිරතුරුවම සැපයීමට අපොහොසත්ව ඇති වෛද්‍ය සේවා සහ සෙසු මූලික පහසුකම් චතිස්ගාර්හි පරිපීඩිත ගෝති‍්‍රක ජනයාට ලබා දෙනු පිනිස වසර බොහෝ ගනනාවක් තිස්සේ ඔවුන් අතර වැඩ කර ඇති සෙන් සම්බන්ධයෙන් සිදු වී ඇත්තේ එයයි. සෙන්, සිවිල් අයිතීන් පිලිබඳ මහජන සංගමයේ (පීයූසීඑල්) ජාතික උප සභාපති ද එහි චතිස්ගාර් ඒකකයේ ප‍්‍රධාන ලේකම් ද ලෙස, නැගෙනහිර ඉන්දියාවේ මා ඕවාදීන් විසින් නායකත්වය දෙනු ලබන ගෝති‍්‍රක ජනයාගේ කැරලිවලට එරෙහි ආරක්ෂක හමුදාවන් ගෙන යන නිරන්තරයෙන් පුලුල් වන කැරලි මර්දන යුද්ධය තුල දී එම හමුදාවන් විසින් අනේක වතාවක් කරනු ලැබ ඇති මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම්වලට සහ පැහැදිලි අපරාධයන්ට එරෙහිව නිරතුරුවම කතා කොට ඇත.

යූඒපීඒ හා සීපීඑස්ඒ යටතේ සෙන් හා ගුහා යන දෙදෙනාට චෝදනා ඉදිරිපත් කරනු පිනිස රජයේ අභිචෝදකයන් විසින් 74 හැවිරිදි සන්යාල්ට තිබුනේ යයි කියනු ලබන මා ඕවාදී සබඳතා යොදා ගනු ලැබුවත්, ආරම්භයේ දී එම නීති යටතේ සන්යාල්ට චෝදනා කෙරුනේ නැත. ඔහු අත් අඩංගුවට ගැනුනේ මිනීමැරුමක් සම්බන්ධයෙනි. රාජ්‍යය සන්යාල්ට එරෙහිව ද එම චෝදනා ඉදිරිපත් කලේ, ත‍්‍රස්ත විරෝධී නීති යටතේ සෙන්ට හා ගුහාට චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව පමනි. එවිට සන්යාල්ට තිබුනේ යයි කියනු ලබන මා ඕවාදී සබඳතා තිදෙනාටම එරෙහි රාජ්‍ය නඩුවේ කඩ-ඇනය බවට පත් විය.

චතිස්ගාර් ප‍්‍රාන්තයේ බලධාරින්ගේ විශේෂ වෛරයට සෙන් ලක් වූයේ, සල්වා ජුදුම් නැතහොත් සාම පාගමන නමින් හැඳින්වෙන, "ජනපි‍්‍රය” කියනු ලබන මා ඕවාදී විරෝධී සන්නද්ධ කන්ඩායමක් විසින් කරනු ලැබූ ස්තී‍්‍ර දූෂන, පැහැරගැනීම් හා ඝාතන ඇතුලු අපරාධ ඔහු එලිදරව් කිරීම නිසයි. තථ්‍ය කාරනාව නම්, චතිස්ගාර්හි දන්තෙවාඩා දිස්ති‍්‍රක්කයේ ගෝති‍්‍රක ජනයාගේ ඉඩකඩම් උදුරාගනු වස්, අන්ත දක්ෂිනාංශික හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) ප‍්‍රාන්ත ආන්ඩුව සමග කුමන්ත‍්‍රනයෙන්, ටාටා සහ එසර් ස්ටීල් යන වානේ සමාගම් දෙකෙහි අනුග‍්‍රහයෙන් සල්වා ජුදුම් තැනූ බවයි. දැන් නිල වසයෙන් විසුරුවා හැර ඇතත්, සල්වා ජුදුම් කන්ඩායමට ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුක්ත මධ්‍යම ආන්ඩුවේ සහයෝගය ද ලැබී තිබේ.

පසුගිය දශකය මැද දී, සෙන් පීයූසීඑල් සහ තවත් මානව හිමිකම් සංවිධාන හතරක් සමග එක්ව, සල්වා ජුදුම් පිලිබඳ කරනු සෙවීමේ මෙහෙයුමක් ගෙන ගියේය. එහි 2005 දෙසැම්බර් වාර්තාව නිගමනය කලේ සල්වා ජුදුම් "එය කියාපාන ආකාරයේ මාඕවාදින්ට එරෙහි ගෝති‍්‍රක ජනයාගේ ස්වයං-සිද්ධ නැගිටීමක් නොවන” බවයි. "එය සංවිධිත, රාජ්‍යය විසින් මෙහෙයවෙන ව්‍යාපෘතියකි. . . . සල්වා ජුදුම් පොලිසියේ හා පරිපාලන නිලධාරින්ගේ අධීක්ෂනය යටතේ බයිරම්ගාර්, ගීදම් හා බිජාපුර් ප‍්‍රදේශ පුරා ජනයා බලාත්කාරයෙන් අවතැන් කිරීමට තුඩු දී ඇත. . . . කොංග‍්‍රස් පක්ෂයේ හා බීජේපීයේ ප‍්‍රාදේශීය ඒකක ඒකාබද්ධව සල්වා ජුදුම්ට සහයෝගය දෙයි. . . . ඊට අමතරව, මිනිසුන්ට අවි රැගෙන යාමට දිරිගන්වනු ලැබේ. . . . චතිස්ගාර් ගෝති‍්‍රක ප‍්‍රාන්තයක් ලෙස කියාපාන නමුදු, ආදිවාසී (ගෝති‍්‍රක) සමාජය හා සංස්කෘතිය කි‍්‍රයාශීලීව විනාශයට ලක් කෙරෙමින් පවතී.”

මෙම වාර්තාව නිකුත් කොට මසකට පසුව, චතිස්ගාර් පොලීසියේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕ.පී. රතෝර් මාධ්‍යවලට මෙසේ ප‍්‍රකාශ කලේය: "හම් පීයූසීඑල් කෝ දේඛ් ලේන්ගේ (අපි පීයූසීඑල් ගැන බලා ගන්නම්).”

සෙන් වරදකරුවකු කිරීම කෙතරම් නම් සිත කම්පනයට ලක් කරන හා වංචා සහගත ද කියතොත් ප‍්‍රසිද්ධ නීතිවේදීන් පවා එය හෙලා දැක තිබේ. දිල්ලි මහාධිකරනයේ හිටපු අග විනිසුරු රාජේන්දර් සචාර් එම නඩු තීන්දුව පැහැදිලිවම හෙලා දැක්කේය: "සන්යාල් සමග මොන යම් හෝ රහස් සාකච්ඡාවක් පැවැත්වීමේ හැකියාවක් නැත. . . . මෙයට වඩා විකාර සහගත විනිශ්චයක් තිබිය නොහැකිය. අධිකරනයට අයත් වීම පිලිබඳව මම ලැජ්ජා වෙමි. . . . මෙවන් විකාර සහගත නඩු තීන්දුවක් කිසිදාක දී නැත.”

මීට පෙර, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරනයේ හිටපු විනිසුරුවරයකු වූ කි‍්‍රෂ්නා අයියර්, ඉන්දියානු අගමැති මන්මෝහන් සිංට ලිපියක් යවමින්, 2007 දී ඔහු අත් අඩංගුවට ගැනීමෙන් පසුව වසර දෙකක් තිස්සේ සෙන්ට ඇප දීම ප‍්‍රතික්ෂේප කිරීමේ ආන්ඩුවේ හා උසාවියේ තීන්දුව හෙලා දැක්කේය. "වෛද්‍ය සෙන් හා ඔහු වැනි තවත් බොහෝ මානව හිමිකම් ආරක්ෂකයන් "ත‍්‍රස්තවාදීන්” ලෙස සාවද්‍යව හංවඩු ගැසීම මගින්, ඉන්දියානු රාජ්‍යය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නියමයන් හා සාධාරන පාලනය පමනක් නොව එහි සමස්ත ත‍්‍රස්ත විරෝධී මූලෝපාය හා මෙහෙයුම් ද මුලුමනින් ම විකාරයක් බවට පත් කරයි.” යනුවෙන් අයියර් ලිවීය.

එවන් ප‍්‍රකාශ පිලිබිඹු කරන්නේ, ආන්ඩුව මා ඕවාදී විරෝධී යයි කියනු ලබන සිය යුද්ධය ගෙන යන මෘග හා ඉවබවක් නැති ආකාරය ජනගහනයේ විශාල කොටස් විරසක කරනු ඇත යන්න පිලිබඳව පුලුල්ව පැතිර පවත්නා උත්සුකතාවන් ය. තථ්‍ය වසයෙන් එය වනාහි, ගෝති‍්‍රක ජනයා සහ ඔවුන්ගේ සම්පත්වලින් අනූන ඉඩම් මත ඉන්දියානු ආන්ඩුවේ පාලනය තහවුරු කරනු වස් ගෙන යන යුද්ධයකි. ඉන්දියානු අගමැති මන්මෝහන් සිං මා ඕවාදී කැරැල්ල රටේ "දැවැන්තම අභ්‍යන්තර ආරක්ෂක තර්ජනය” ලෙස නම් කිරීම සමග, 2009 මැයි මස යලි තේරී පත්වීමේ පටන් කොංග‍්‍රස් නායකත්වයෙන් යුක්ත මධ්‍යම ආන්ඩුව මෙම යුද්ධය විශාල වසයෙන් පුලුල් කර ඇත.

ගෝති‍්‍රක ප‍්‍රදේශවල පවතින සම්පත් ඉන්දියානු හා විදේශ ව්‍යාපාරිකයන් සඳහා විවෘත කරගත හැකි වන පරිදි මා ඕවාදී කැරැල්ල පරාජය කිරීම අවශ්‍යව ඇතැයි සිං ප‍්‍රකාශ කලාට යන්තම් දින කිහිපයකට පසුව, ඔහුගේ ආන්ඩුව ඉන්දියානු (මා ඕවාදී) කොමියුනිස්ට් පක්ෂය "ත‍්‍රස්තවාදී” සංවිධානයක් ලෙස නම් කලේය.

සෙන්ට එරෙහි අභිචෝදනයේ ආන්තික ප‍්‍රතිගාමී ස්වභාවය පෙන්නුම් කරන නිදසුනක් නම්, 1897 දී බාල් ගංගාධාර් තිලක් සහ 1922 දී මහත්මා ගාන්ධි ඇතුලු ඉන්දියානු ජාතිකවාදී නායකයන් නිශ්ශබ්ද කරනු පිනිස යොදා ගැනුනු බි‍්‍රතාන්‍ය විජිත පාලනයේ නෂ්ටාවශේෂයක් වන ඉන්දියානු අපරාධ නීති සංග‍්‍රහයේ 124 වගන්තිය (රාජද්‍රෝහිත්වය පිලිබඳ) ආන්ඩුව ඔහුට විරුද්ධව යොදාගැනීමයි.

එම විධිවිධානය මෙසේ සඳහන් කරයි: "කථන හෝ ලිඛිත වචනයෙන්, සංඥාවෙන්, දෘශ්‍ය නියෝජනය මගින්, හෝ වෙනත් ආකාරයකින්, ආන්ඩුව සම්බන්ධයෙන් වෛරය හෝ පිලිකුල ගෙන එන හෝ ගෙන ඒමට උත්සාහ කරන, හෝ ආන්ඩුව පිලිබඳ කලකිරීම පොලඹවාලන හෝ එසේ පොලඹවාලීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය හැකිය. . ..”

සෙන් වරදකරු කිරීමෙන් පසුව ටයිම්ස් ඔෆ් ඉන්දියා මෙසේ අදහස් දැක්වීය: "රාජද්‍රෝහිත්වය පිලිබඳ චෝදනාව මත ගෝලීයව ගෞරවයට පත් මානව හිමිකම් කි‍්‍රයාකාරිකයකු වන බිනායක් සෙන්ට පැනවූ ජීවිතාන්තය දක්වා සිර දඬුවම, නිදහස් ඉන්දියාව තුල විජිත පාලනයේ නෂ්ටාවශේෂයක් වඩාත්ම නින්දිත ලෙස අපයෝජනයට ලක් වූ අවස්ථාව ලෙස පහසුවෙන් ම හැඳින්විය හැකිය.”

විශිෂ්ට ලිබරල් ඉතිහාසඥයකු වන රාමචන්ද්‍ර ගුහා, ඔහුගේ පාර්ශ්වයෙන් මෙසේ ප‍්‍රකාශ කලේය: "චතිස්ගාර් ආන්ඩුව දකින පරිදි, බිනායක් සෙන් කල අපරාධය නම්, මාඕවාදී නැගිටීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදා ගැනෙන දූෂිත හා මෘග විධික‍්‍රම ප‍්‍රශ්න කිරීමට තරම් ඔහු නිර්භීත වීමයි. . . . ඔහු වරදකරුවකු කිරීමේ නඩු තීන්දුව අභියෝගයට ලක් කෙරෙනු ඇත, එසේ අභියෝගයට ලක් කල යුතුය. කෙසේවෙතත්, එය දැන් පවතින ආකාරයෙන් ගත් කල, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අගෞරවයකි.”

බිනායක් සෙන් තමන්ට එරෙහිව එල්ල කෙරී ඇති රාජ්‍ය මර්දනය ඉදිරියේ බියට පත් වීම ප‍්‍රතික්ෂේප කර තිබේ. ඔහු උසාවියට මෙසේ පැවසීය: "මගේ අභිචෝදනය අසද්භාවයෙන් කල දෙයක් බව මම කියා සිටිමි. තථ්‍ය වසයෙන් ගත් කල එය වධබන්ධයකි. ප‍්‍රාන්තය තුල ප‍්‍රකටව සිදු වන මානව හිමිකම් උල්ලංඝනයන් එලිදරව් නොකරන ලෙස අන් අයට අනතුරු ඇඟවීමක් ලෙස චතිස්ගාර්හි ප‍්‍රාන්ත ආන්ඩුව මා උදාහරනයක් බවට පත් කරයි. මා සාවද්‍ය ලෙස වරදට හසු කරනු පිනිස පොලීසිය විසින් ලියවිලි ව්‍යාජ ලෙස සකස් කරනු ලැබ ඇත, බොරු සාක්ෂ්‍යකරුවන් ඉදිරිපත් කරනු ලැබ ඇත.”