වැඩෙන ආහාර මිල ගනන් සිය කෝටියකට උග‍්‍ර සාගතයක තර්ජනය එල්ල කරයි

Rising food prices threaten 1 billion with chronic hunger

By Naomi Spencer, 21 February 2010

ඔක්තෝබර් හා ජනවාරි අතර කාලයේ ගෝලීය ආහාර මිල සියයට 15ක "අන්තරාදායක මට්ටම්වලට” ඉහල නැඟි බව ලෝක බැංකුව පසුගිය සතියේ වාර්තා කලේය. අනතුරු ඇඟවීම සිදුවුනේ, ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ මිල වේගයෙන් ඉහල නැඟීම පාර්ශවීය ලෙස බලපෑ විරෝධතාවලින් ලෝකය පුරාම ආන්ඩු වෙව්ලුම්කෑ තත්වයක ය.

ලෝක බැංකුවේ පෙබරවාරි "ආහාර මිල නිරීක්ෂනයට” අනුව අත්‍යවශ්‍ය ආහාර මිල වේගයෙන් ඉහල නැඟීම නිසා 2010 ජූනි මාසයේ පටන් දිනකට ඩොලර් 1.25ටත් වඩා අඩු ආදායමකින් පන ගැටගසා ගන්නා ලෝකයේ දිලින්දන්ගෙන් මිලියන 44ක් දෙනා "උග‍්‍ර දරිද්‍රතාවයට” ඇද දමා තිබේ. "දල ආහාර නිෂ්පාදකයින්” ලෙස "බේරී යාමට හැකියාව ඇති” බව සංවිධානය කියා සිටින තවත් මිලියන 24ක් එකතු කල විට ආන්තික දරිද්‍රතාවට වැටී ඇති ජන සංඛ්‍යාව මිලියන 68ක් වෙයි.

ලෝක බැංකු වර්ගීකරනයට අනුව මිලියන 925ක ජනතාවක් මන්ද පෝෂනයෙන් පෙලෙයි. මේ සංඛ්‍යාව වසර අවසානය වන විට පෘතුවිය මත වාසය කරන සෑම හය දෙනෙකුටම එක් අයෙක් වශයෙන් කෝටි 100 ඉක්මවනු ඇත.

ලෝක බැංකුවේ ආහාර මිල දර්ශකය වසරකට පෙර තිබුනාට වඩා සියයට 29න් ඉහල තැනකට පත්ව ඇත. එය, 2008 වසරේදී ලෝකය වටා මහජන විරෝධතා අවුලුවාලූ මට්ටම් වලින් යාන්තමින් සියයට 3න් අඩු මට්ටමකි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ දර්ශකය (එෆ්ඒ ඕ) වාර්තා කල ජනවාරි සාමාන්‍ය මිල මට්ටම දෙසැම්බරයට වඩා සියයට 3.4න් වැඩිය. එය, වාර්තා තැබීමට පටන් ගත් 1990 වසරින් පසු ඉහල ම අගයයි. එය 2008 වාර්තාව ඉක්මවා ගොස් ඇත.

සෑම විටම පාහේ දුප්පතුන් සිය ආදායමෙන් වැඩි පංගුව අත්‍යවශ්‍ය ආහාර සඳහා වැයකරන බැවින්, ඉහල යන ධාන්‍ය, මේද, තෙල් හා සීනි මිල ජනතාවන් මත මන්ද පෝෂනයේ හා සාගතයේ තර්ජනය එල්ල කරයි.

2010 ජූනි හා දෙසැම්බර් අතර කාලයේ ගෝලීය තිරිඟු මිල සියයට 75න් ඉහල ගියේය. අවසන් කාර්තුව තුල පමනක් තිරිඟු මිල සියයට 20න් ද සීනි සියයට 20න් ද මේද හා තෙල් සියයට 22න් ද නැඟී ඇත. ඉහල යන තිරිඟු හා සහල් මිල ආහාර ආනයන රටවලට තියුනු ලෙස බලපා තිබේ. කිර්ගිස්ථානය, තජිකිස්තානය, මොන්ගෝලියාව, අසර්බයිජානය, පකිස්ථානය හා ධාන්‍ය ආනයනය කරන තවත් බොහෝ රටවල දෛනික කැලරි අවශ්‍යතාවෙන් තුනෙන් එකේ සිට දෙකෙන් එක දක්වා ප‍්‍රමානයක් ලැබෙන්නේ තිරිඟු වලිනි.

බොහෝ පවුල් වලට ආහාර පරිභෝජනය කපා හැරීමට සිදුවීමේ තත්වය හමුවේ ලැබෙන කැලරි ප‍්‍රමානය එන්ට එන්ටම අඩුවී යාමෙන්, සංඛ්‍යාන දෙකේ උද්ධමනයෙන් පීඩා විඳින මෙම රටවල දුගීන්ගේ ආහාරවේල මත විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. ලෝක බැංකුව ගනන් බලා ඇති ආකාරයට පසුගිය ග‍්‍රීෂ්මයේ පටන් ඉහල තිරිඟු මිල ගනන් හේතුකොටගෙන තජිකිස්ථානයේ ආන්තික දරිද්‍රතාව සියයට 3.6න් ද පකිස්ථානයේ සියයට 1.9න් ද වැඩිවී තිබේ. සහල් මිල විශාල වශයෙන් වැඩිවීම නිසා වියට්නාමය, බංග්ලාදේශය හා ඉන්දුනීසියාවේ ද ඒ හා සමාන බලපෑම් ඇතිව තිබේ.

අපනයන රටවල කාලගුනික ව්‍යසනයන් ඉහල නඟින ධාන්‍ය මිල කෙරෙහි පාර්ශවීය බලපෑමක් සිදුකිරීමෙන් පසුව දේශීය වශයෙන් තොග රැස්කිරීම ද නිර්යාත සීමා පැනවීම් ද සිදුව තිබේ. පහත් අස්වැන්න, අවම තොග, නැඟී එන ආර්ථිකයන්හි ධාන්‍ය මුල්කරගත් සත්ව පාලනය හා ජීව ඉන්ධන නිෂ්පාදනය යන මේ සියල්ල මිල ඉහලට තල්ලු කිරීමට දායක වී තිබේ.

2011 ජනවාරියේ බඩ ඉරිඟු මිල ගනන් 2010 පැවතියාට වඩා සියයට 73ක ඉහල අගයක් ගත්තේය. මෙම නැඟීම පිටුපස පවතින යාන්ත‍්‍රනය, ලෝක ආහාර සැපයුම මත අධිකාරය පවත්වන මූල්‍ය අරාජකත්වය පිලිබඳ නිදසුන් සපයයි. පසුගිය කන්නයේ භෝග නිෂ්පාදන අනාවැකි, විශේෂයෙන්ම ලෝකයේ ප‍්‍රධාන බඩඉරිඟු නිෂ්පාදකයා වන එක්සත් ජනපදයේ, පහතට සංශෝධනය කිරීම නිසා සමපේක්ෂන ක‍්‍රියාවලීන් ගිනි ගන්වා ඇති අතර දැනටත් පහත මට්ටමක තිබෙන තොගය කෙරෙහි තියුනු ලෙස බලපෑම් කරයි.

වැඩිවන තෙල් මිල ගැන සඳහන් කරමින් ඔබාමා පාලනාධිකාරය ද භාන්ඩ වෙලඳුන් ද ජීව ඉන්ධන නිෂ්පාදනයට බෙහෙවින් අනුබලය සපයයි. එක්සත් ජනපදයේ මුලු බඩ ඉරිඟු අස්වැන්නෙන් ඉන්ධන සඳහා එතනෝල් නිෂ්පාදනයේ පංගුව 2008-09 තුනෙන් එකක සිට 2010-11දී සියයට 40 තෙක් වැඩිවනු ඇතැයි එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෑතකදී වාර්තා කලේය.

එතනෝල් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බඩ ඉරිඟු හා උක් දඬු මිල මෙම ප‍්‍රවනතාවය නිසා ඉහලට තල්ලු කරයි. අනෙක් අතට එතනෝල් සඳහා බඩ ඉරිඟු යොදා ගැනීම නිසා ආහාර හා සත්වාහාර සැපයුම සීමාවන අතර උද්ධමනය තවදරටත් උග‍්‍ර කරයි. ඉහල බඩ ඉරිඟු හා උක් දඬු මිල සමඟ නිෂ්පාදන පිරිවැය වැඩිකරන අතර වඩා ලාභ පැනිරස ගැන්වූ රසකාරක සහිත බඩ ඉරිඟු සිරප් ඉල්ලුම ඉහල යාමෙන් ඉඩ ඉරිඟු මිල තවත් වැඩි කරයි.

ආහාර පද්ධතියේ ගෝලීය ඒකාග‍්‍රකරනය හා මූලික මානව අවශ්‍යතා සියල්ල මූල්‍ය සමපේක්ෂකයින්ගේ කොල්ලයට යටත් කිරීම හමුවේ සෑම රටකම කම්කරු පන්තිය මිල කම්පනයන්ගේ, අස්වනු පාලුවීමේ හා තොග පහත වැටීමේ ගොදුරු බවට පත්කෙරෙයි.

සත්ව පාලනය, ගව පට්ටි හා කුකුලු ගොවිපල නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු හා අනෙකුත් ධාන්‍ය අත්‍යවශ්‍ය වන බැවින් ඒවායේ මිල ඉහල යාම මස්, කිරි, බිත්තර හා බොහෝ සකස්කල ආහාරවල නිෂ්පාදන පිරිවැය වැඩි කරයි. මෙය, විවිධංඟකරනයවූ ආහාර සම්පාදනය කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කරයි. දුගී ජනගහනයන්ට අඩු පෝෂන ගුනයෙන් යුත් ආහාර මත රැඳී සිටීමට බලකෙරන අතර එහි ප‍්‍රතිපල වශයෙන් ඇති කරන මන්ද පෝෂනය හා සාගින්නට ලදරුවන් හා ගර්භනී කාන්තාවන් පහසුවෙන්ම ගොදුරු වෙයි.

බඩ ඉරිඟු සිරප් වර්ග නිෂ්පාදනය කරන ලතින් ඇමරිකානු රටවල් ලා නිනා නියඟයට ගොදුරුවීමත් සමඟ මනුෂ්‍යයාගේ හා සතුන්ගේ ආහාර පද්ධතීන් සඳහා බඩ ඉරිඟු සැපයුම වෙන කවරදාකටත් වඩා සීමාවී ඇත. පසුගිය සතියේ ඒඑෆ් ඕ වාර්තා කල පරිදි ලතින් ඇමරිකාව හා අප‍්‍රිකාව පුරා රටවල් ආහාර කැරලිවල දැඩි අවදානමට ලක්ව ඇත. සහල් මිල සියයට 41න් ද බෝංචි මිල සියයට 48න් ද ඉහල නැඟුනු බුරුන්ඩි රාජ්‍ය ගැන එහි විශේෂයෙන් සඳහන්වේ.

අන්තරායකාරී මිල වැඩිවීමට ගොදුරුවිය හැකි රටවල් ලෙස අප‍්‍රිකාවේ කොංගෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාන්ඩුව, උගන්ඩාව, මාලි, නයිජර් හා සෝමාලියාව දක්වා තිබේ. මසකටත් අඩු කාල පරාසයක් තුල ජීවන තත්වයන් හා අනෙකුත් සමාජ දුක්ගැනවිලි මුල්කරගෙන අප‍්‍රිකාවේ හා මැද පෙරදිග රටවල් දුසිම් භාගයකට වැඩි සංඛ්‍යාවක විරෝධතා පෙලපාලි හටගත් අතර ටියුනීසියාවේ හා ඉජිප්තුවේ පාලන තන්ත‍්‍ර ඇද වැටුනි.

ලතින් හා දකුනු ඇමරිකාව උක්, සෝයා බෝංචි හා බඩ ඉරිඟු අස්වනු පහත වැටීමට මුහුන දෙයි. 2010 ජූනි මාසයේ පටන් සීනි මිල සියයට 73න් ඉහල නැඟ තිබේ. ගංවතුරෙන් විනාශයට පත්වූ ලෝකයේ ලොකුම අපනයන කරුවා වන බ‍්‍රසීලයේ සැපයුම අඩාල වීම ඊට බලපෑ ප‍්‍රධාන සාධකය විය.

මේ අතර ගිනිකොනදිග ආසියාව තුල ගංවතුරේ බලපෑම නිසා පාම්තෙල් නිෂ්පාදනය අඩාල විය. චීනයේ කෘෂිකාර්මික බිම් වලින් සියයට 40ක් නියඟයෙන් පිලිස්සී ගිය අතර එහි උතුරු දිග ශීත සෘතු තිරිඟු අස්වැන්නට බලපෑම් එල්ල වී තිබේ.

පසු ගිය මාසයේ ගංවතුරෙන් ඕස්ටේ‍්‍රලියාවේ තිරිඟු අස්වැන්නට හානි සිදුවිය. එහි ප‍්‍රධාන ගැනුම්කරුවන් වන්නේ චීනය, ෆිලිපීනය හා අනෙකුත් ආසියානු රටවල්ය. මේ වසරේ ගැඹුරු හිඟයක් ඇතිවීම පිලිබඳව එම රටවල බිය පලවී තිබේ. චීනයේ පාරිභෝගික මිල දර්ශකය වසරකට පෙර තිබුනාට වඩා සියයට 4.9න් වැඩිවී ඇත. ආහාර මිල වැඩිවීම සියයට 10.3 ඉක්මවා ගොස් ඇත.

හොංකොංහි ධාන්‍ය නැව්ගත කිරීමට සම්බන්ධ සමාගමක අධ්‍යක්ෂ සජිඩ් හෙයිඩර් පාෂා පෙබරවාරි 16දා රොයිටර් වෙත මෙසේ පවසා තිබුනු බව වාර්තා විය. "සෑම අයෙක්ම ආහාර මිල උද්ධමනයක් පිලිබඳව බිය පලකරද්දී බංගලාදේශයේ පටන් ඉන්දුනීසියාව හරහා ෆිලිපීනය දක්වා ම ඇත්තේ තොග රැස්කිරීම හා සැඟවීමයි. එහෙත් ආනයනයේ එවන් දැඩි ක‍්‍රියාවලියක් කොතෙක් කල් පවත්වාගෙන යාමට මිනිසුන්ට හැකිවේද යන්න ගැන අපට විශ්වාසයක් නැත.

මෙක්සිකෝ ආන්ඩුව පසුගිය සතියේ නිවේදනය කලේ අසාමාන්‍ය ශීත කාලගුනය නිසා සිය බඩ ඉරිඟු අස්වැන්නෙන් සියයට 16-20 අතර ප‍්‍රමානයක් නැතහොත් අක්කර මිලියන 1.5ක් විනාශවී ඇති බවයි. මෙම හානිය ජනාධිපති ෆිලිපෙ කැල්ඩිරොන් අංග ලක්ෂනය කලේ, "බලධාරීන් වෙතින් පැහැදිලි හා බලගතු ප‍්‍රතිචාරයක් ඉල්ලා සිටින හදිසි තත්වයක්” ලෙසය. බඩ ඉරිඟු කේක් මිල සියයට 400න් ඉහල නැඟීමෙන් පසුව 2007 මෙක්සිකෝවේදී පුපුරා ගිය ආකරයේ විරෝධතා පිලිබඳව වත්මන් අර්බුදය ද තර්ජනය එල්ල කරයි.

පසුගිය 18දා බොලිවියාවේ දී ආහාර මිල වැඩිවීමටත් ඊවෝ මොරාලෙස් ආන්ඩුව ඒ පිලිබඳව සැලකිලිමත් නොවීමටත් විරුද්ධව දහස් සංඛ්‍යාත කම්කරුවෝ ප‍්‍රධාන නගරවල පෙලපාලි දැක්වූහ. වාම ප‍්‍රතිසංස්කරන පොරොන්දු වෙමින් දකුනු ඇමරිකාවේ දුප්පත්ම රටෙහි ජනාධිපති ලෙස මොරාලෙස් බලයට පත්වූ අතර වර්ධනය වන සමාජ නොසංසුන්තාවට හා විරෝධතාවන්ට මුහුන දී සිටියි.

ජනවාරියේදී, ඉහල නඟින ආහාර ප‍්‍රවාහන හා ආහාර පිසීමේ වියදම් යම් තරමකට පාලනය කරගැනීමට ඉවහල්වූ ඉන්ධන සහනාධාරය ඉවත්කරන බව මොරාලෙස් ආන්ඩුව නිවේදනය කිරීමෙන් පසුව විරෝධතා හටගත්තේය. ආන්ඩුව සැලැස්ම හකුලාගත් නමුත් උද්ධමනයට ගැලපෙන වටුප් වැඩිවීම් ඉල්ලා විරෝධතා අඛන්ඩව පැවැත්වින. ජූනි මාසයේ පටන් අගනුවර වන ලා පාස්හි තිරිඟු මිල සියයට දහයකින් ඉහලගොස් තිබේ.