ශී‍්‍ර ලංකාව : නිදහස් වෛලඳ කලාප වෘත්තීය සමිති ව්‍යාජ වැටුප් උද්ඝෝෂනයක් පටන් ගනිති

Sri Lanka: Free Trade Zone unions mount bogus wage campaign

By Nihal Geekiyanage and Somasiri Wathugedara , 22 January 2011

ආහාර සහ සෙසු මූලික භාන්ඩවල මිල වේගයෙන් ඉහල යන තත්වය තුල වැටුප් වැඩි වීමක් සඳහා කම්කරුවන් අතරින් මතුවෙමින් පවතින ඉල්ලීම් යටපත් කිරීමේ උත්සාහයක් ලෙස ශී‍්‍ර ලංකාවේ නිදහස් වෙලඳ කලාප වෘත්තීය සමිති ව්‍යාජ විරෝධතා උද්ඝෝෂනයක් පටන් ගෙන තිබේ.

නොවැම්බර් මාසයේ සිට වැඩ කරන කාලය තුල "වඩා හොඳ වැටුප් බීඑච් අයි සමග ලොකු ලැබ” යන වචන ලියූ කහ පටියක් අත්වල බඳින ලෙස කම්කරුවන්ට කියා ඇත. මෙය ඉහල නිෂ්පාදන ඵලදායිත්වයක් සහ ලොකු ලාබ ලැබීම සඳහා වැටුප් වැඩි කරන ලෙස හාම්පුතුන්ට කෙරෙන කෝපරේට්වාදී ආයාචනයකි. බී ඕඅයි හෙවත් ආයෝජන මන්ඩලය යනු නිවෙක කලමනාකරනය කරන ආන්ඩුවේ ඒජන්සියකි.

උද්ඝෝෂනය මෙහෙයවනු ලබන්නේ නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය , නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ගේ ප‍්‍රගති වෘත්තීය සමිතිය සහ ඇඟලුම් කර්මාන්ත කම්කරුවන්ගේ අයිතීන් සඳහා ව්‍යාපාරය අන්තර්ගත කර ගත් වෘත්තීය සමිති පෙරමුනක් විසින් ය. ඔවුන්ගේ ඉල්ලීම රුපියල් 2,500ක හෝ සියයට 30ක මාසික වැටුප් වැඩි වීමකි. වර්තමාන සාමාන්‍ය මාසික වැටුප රුපියල් 8,500කි.

වසර ගනනාවක් තුල නිවෙක කම්කරුවන්ට වැටුප් වැඩිවීමක් ලැබී නැත. කම්කරුවන් අතර නොසන්සුන්තාවය සමනය කිරීම සඳහා 2009 දී රුපියල් 500ක දීමනාවක් වැටුපට එකතු කලේය. මූර්ත වැටුප් දර්ශකය 2008 දෙසැම්බර් මාසයේ 78.5 සිට 2009 අග වෙද්දී 76.2 දක්වා පහත වැටුන අතර මිල තියුනු ලෙස ඉහල යාම නිසා පසුගිය වසරේදී එය තව දුරටත් පහත වැටී තිබිය යුතුය.

කහපටි උද්ඝෝෂනයේ ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙකු සහ ආර්ථික සංවර්ධන ඇමති වන බැසිල් රාජපක්ෂ ජාතික කම්කරු උපදේශක සභාවේ රැස්වීමක් කැඳවීමට එකඟ වූ බව නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ නායක ඇන්ටන් මාකස් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කීවේය. රැස්වීම සඳහා දිනයක් නියම කර නැත. රැස්වීම කැඳෙව්වත් කම්කරුවන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් නොලැබෙනු ඇත.

ජාතික කම්කරු උපදේශක සභාව, වෘත්තීය සමිති , සේව්‍ය පක්ෂය හා ආන්ඩුවේ නියෝජිතයින්ගෙන් සමන්විත කෝපරේට්වාදී මංඩලයකි. වසර ගනනාවක් රැස් නොවී සිටීමෙන් අනතුරුව, ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ශී‍්‍ර ලංකා අපනයනවලට පහර වදින විට 2008 දී එය යලි කැඳවනු ලැබීය. දසදහස් ගනනක් සේවකයන් දොට්ට දැමීමෙන් හා ප‍්‍රතිලාභ කැපීම මගින් නිවෙක සමාගම්වල ලාබ රැකදීමට මාකස් ඇතුලු මෙම වෘත්තීය සමිති නායකයෝ එකඟ වූහ.

කම්කරුවන් කහ පටි උද්ඝෝෂනයට සම්බන්ධ වී සිටින්නේ අකමැත්තෙනි. කටුනායක නිවෙක කෘතිම මල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවිකාවක වන ලක්මිනි වෘත්තීය සමිති භූමිකාව කෙරෙහි කම්කරුවන්ගේ අතෘප්තිය ප‍්‍රකාශ කලාය. "කම්කරුවන් මාකස්ගේ සමිතිය ගැන කලකිරී ඇති” බව ඇය කීවාය. "මම ඒකෙ සාමාජිකාවක්, උද්ඝෝෂනයට සම්බන්ධ වුනා. ආන්ඩුවට සහ කොම්පැනිවලට බලපෑම් දැමීම සඳහා මීට කලිනුත් නොයෙක් විරෝධතාවලට අපට එන්න කිව්වා. නමුත් අපට කිසි දෙයක් ලැබුනෙ නැහැ.”

නිදහස් වෙලඳ කලාප තුල වෘත්තීය සමිති පවත්වාගෙන යාමට හාම්පුත්තු ඉඩ නොදෙති. එහෙත් කම්කරුවන්ගේ ප‍්‍රශ්න ගැන උපදෙස් දීමට පාලනාධිකාරය විසින් පවත්වනු ලබන ඡන්ද මගින් පිහිටුවන කම්කරු උපදේශන සභා හරහා ඒවා කි‍්‍රයාත්මක වෙති. උපදේශක සභා නියෝජිතයින් සමග පවතින සම්බන්ධය නිසා වෘත්තීය සමිති යම් පිලිගැනීමක් තිබෙන අතර ජාතික කම්කරු උපදේශන සභාවේ සාකච්ඡාවලට සහභාගි වෙති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කථා කරමින් මාකස් දැඩිව කියා සිටියේ වෘත්තීය සමිති කිසිසේත්ම කාර්මික අරගල ආරම්භ නොකරන බවයි. "අපි වර්ජන කැඳවන්නෙ නැහැ. කම්කරුවෝ වර්ජන කලොත් අපි ඔවුන්ට උදව් කරනවා.” ඔහු කීවේය. ඇත්ත වශයෙන්ම නිවෙක සහ සෙසු අංශවලත් වර්ජන පැන නැගුන විට හැමවිටම වෘත්තීය සමිති ක්‍රියාත්මක වී ඇත්තේ ඒවා යටපත් කිරීමට ය. නිවෙක ඇතුලු ශී‍්‍ර ලංකාවේ පුද්ගලික අංශයේ වර්ජන සංඛ්‍යාව කලාපයේ සෙසු රටවල ට වඩා අඩු බව පසුගිය වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සංවිධානය කල වැඩ මුලුවකදී ආන්ඩුවේ කම්කරු සම්බන්ධතා සහ මිනිස් බල අමාත්‍යංශයේ ලේකම් මහින්ද මඩිගහේවා කයිවාරු ගැසුවේය.

ඇඟලුම් අංශයේ සේවකයන්ට කිසිදු සැලකියයුතු වැටුප් වැඩි වීමක් දීම දැනටමත් ප‍්‍රතික්ෂේප කර තිබේ. ඇඟලුම් සමාගම් ඒකාබද්ධ සංසදයේ ලේකම් රොහාන් මාසකෝරාල පසුගිය දෙසැම්බර් මාසයේ දී ඩේලි එෆ්ටී පුවත්පතට මෙසේ මෙසේ කියා තිබුනි. "එය (වැටුප්) ඉල්ලුම සහ සැපයුම මත පදනම් විය යුතුයි. වැටුප් වැඩිවීම් අක‍්‍රමිකව සිදුවෙන්නෙ බැහැ. එය දැරිය හැකි ආකාරයකට සිදුවන යාන්ත‍්‍රනයක් තිබිය යුතුයි.” බංඟලාදේශයේ ප‍්‍රශ්න සහ චීනයේ ශ‍්‍රම පිරිවැය ඉහල යෑම ශී‍්‍ර ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා බෙහෙවින් වාසිදායක බව මාසකෝරාල තවදුරටත් කීවේය.

ආයෝජකයන් සඳහා වඩාත් ලාබ ශ‍්‍රමය සැපයීමට එකිනෙකා තරග වැදී සිටින ශී‍්‍ර ලංකවේ ඇඟලුම් නිෂ්පාදකයෝ හා බංගලාදේශයේ, වියට්නාමයේ, චීනයේ සහ කාම්බෝජයේ ඔවුන්ගේ සම පාර්ශවකරුවෝ පිරිහෙන ජාත්‍යන්තර වෙලඳපොලේ තම පංගුව වැඩි කර ගැනීම සඳහා බෙලි කපා ගන්නා තරගයක යෙදී සිටිති. ජාත්‍යන්තර ඇඟලුම් කර්මාන්තය තුල අඩුම වැටුප් ලබන බංගලාදේශයේ කම්කරුවන් අවම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දෙසැම්බර් මාසයේ වර්ජනය කල විට අවාමිලීග් ආන්ඩුව යෙදවූ පොලිසියේ වෙඩි තැබීමෙන් කම්කරුවෝ හතර දෙනෙක් මරනයට පත් වූහ.

වෘත්තීය සමිත් මූල්‍ය ප‍්‍රාග්ධනය වෙනුවෙන් කාර්මික පොලිස්කාරයෙකු ලෙස ජාත්‍යන්තරව කි‍්‍රයාත්මක වන අතර ජාතිකවාදී පදනමක් මත කම්කරුවන් එකිනෙකාට එරෙහිව බෙදීමට වැඩ කර ඇත. කාම්බෝජය බංගලාදේශය වැනි රටවල කම්කරුවන් සමග ජාත්‍යන්තර තරගකාරිත්වයක් පවත්වා ගැනීම සඳහා පරිත්‍යාග කරන ලෙස ශී‍්‍ර ලංකාවේ කම්කරුවන්ට කියනු ලබයි.

ඔවුන්ගේ උද්ඝෝෂනවලදී ජාත්‍යන්තර මූනක් පෙරට දමාගැනීමට වෘත්තීය සමිති විසින් දරන ප‍්‍රයත්නයන් රැවටිල්ලකි. නිවෙක වෘත්තීය සමිති පෙරමුන "ගැනුම්කරුවන්, පාරිභෝගිකයින්, හා ගෝලීය වෘත්තීය සමිති වෙත ප‍්‍රශ්න ජාත්‍යන්තරව යොමු කිරීම මගින් ආයෝජන මන්ඩලයට බලපෑම් දැමීම සඳහා උද්ඝෝෂනය පුලුල් කරන බව මාකස් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලේය. ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති වගේම "ගෝලීය වෘත්තීය සමිති” ද කි‍්‍රයාත්මක වන්නේ මාර්ක් ඇන්ඩ් ස්පෙන්සර්, ටෙස්කෝ, ද ගැප්, වොල්මාර්ට්, කාර්රෙෆෝර සහ ලෙවී ස්ට්‍රොස් වැනි ප‍්‍රධාන ඇඟලුම් සමාගම්වලට නිෂ්ඵල ආයාචන කිරීමට කම්කරුවන් මෙහෙයවීම මගින් ඔවුන්ගේ කෝපය අපගමනය කිරීමට ය.

ඔවුන්ගේ වෙලඳනාම දහඩිය හෙලන ශ‍්‍රමිකයන් සමග අනන්‍ය නොකරන අතර මෙම සමාගම්වල මූලික අරමුන වන්නේ උපරිම ලාබ ඉපයීම ය. සමස්ථයක් ලෙස සූරා කෑමේ පද්ධතිය බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට සහතික වන අතර ජාත්‍යන්තර වෘත්තීය සමිති, පාරිභෝගික සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇඟලුම් වැඩපලවල්වල රුදුරු කොන්දේසිවලට විරුද්ධව විවිධ උද්ඝෝෂන සංවිධානය කරති.

තම අරගලය අනෙකුත් රටවල සිය පන්ති සහෝදරයන් සමග ඒකාබද්ධ කිරීමේ නව මූලෝපායක් නිවෙක කම්කරුවන්ට අවශ්‍ය ය. ආරම්භක පියවරක් ලෙස කම්කරුවෝ වෘත්තීය සමිති සහ ඒවායේ කොපරේට්වාදී ක‍්‍රමවේද ප‍්‍රතික්ෂේප කර ඔවුන්ගේ අයිතීන් සඳහා සටන වැදීමේ තමන්ගේම කි‍්‍රයාකාරී කමිටු ගොඩනැගිය යුත්තාහ. අන් සියල්ලටමත් වඩා දැන් කි‍්‍රයාත්මක වන ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට එරෙහිව සටන් වැදීම සඳහා නව සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍යය. ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ මේ සඳහා ය.