ශ‍්‍රී ලාංකාවේ බැංකු සේවකයෝ විශ‍්‍රාම වැටුප් අයිතිවාසිකම් ඉල්ලා වැඩ වර්ජනය කරති

Sri Lankan bank workers strike to demand pension rights

By Saman Gunadasa, 18 February 2011

1996න් පසු බඳවා ගත් සේවකයන් සඳහා විශ‍්‍රාම වැටුප් අයිතිවාසිකම් ඉල්ලමින් පසු ගිය 11දා රාජ්‍ය බැංකු සේවකයෝ 20,000කට වැඩි සංඛ්‍යාවක් දින භාගයක විරෝධතා වැඩ වර්ජනයක නිරත වූහ. සේවකයන් සියල්ලන්ම පාහේ වැඩ නතර කිරීමට එක්වූ අතර රාජ්‍ය බැංකු ඇන හිටියේය.

වැඩ වර්ජනය කල් දමා ඇති බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවසන් මොහොතේ එය කඩාකප්පල් කිරීමට ලංකා බැංකු සේවක සංගමයේ (ලංබැසේස) සභාපති අමරපාල ගමගේ දැරූ උත්සාහය කම්කරුවෝ නොතකා හැරියහ.

පෙබරවාරි 11 දා කම්කරු උද්ඝෝෂනය සිදුවූයේ සති කිහිපයක් තිස්සේ බැංකු සේවකයන් දිවා ආහාර විවේකයේ දී කල පිකට් උද්ඝෝෂනවලින් පසුව ය. පෞද්ගලික බැංකුවල කම්කරුවෝ ද පිකට් උද්ඝෝෂනවලට එක් ව සිටියහ.

වැඩ වර්ජනය අතරතුර දී විරෝධතාවයේ යෙදුනු සේවකයෝ නගර කිහිපයක ම උද්ඝෝෂන සහ රැස්වීම් පැවැත්වූහ. කොලඹ, මහනුවර, යුද්ධයෙන් වැනසුනු උතුරේ යාපනය හා වව්නියාව මෙන් ම නැගෙනහිර මඩකලපුව සහ ත‍්‍රිකුනාමලයේ ද උද්ඝෝෂන පැවැත්වුනි.

විනාශයට පත්ව ඇති උතුරු හා නැගෙනහිර දෙමල කතා කරන බැංකු සේවකයන්ගේ සහභාගිත්වය විශේෂයෙන් ම වැදගත් ය. ඔවුන් වැඩ නතර කිරීමට එක් වූයේ ප‍්‍රදේශය බිය ගන්වා නතු කර ගැනීමේ මිලිටරි වාඩි ලා ගැනීම ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සහ මාධ්‍ය විසින් ගෙන යන දෙමල විරෝධී ව්‍යාපාරය ද පවතිද්දී ය. කොලඹ පාලන තන්ත‍්‍රයේ වාර්ගික ආක‍්‍රමනය වූකලි, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ආන්ඩුව ගෙන ගිය නිර්දය යුද්ධයෙන් පසුව කම්කරු පන්තිය භේද කිරීමට දරන ප‍්‍රයත්නයකි.

වැඩි ම කම්කරුවන් සංඛ්‍යාවක් සේවයෙහි යොදවා තිබෙන මහජන බැංකුවේ කලමනාකරනය පෙබරවාරි 11 දා සේවකයන්ට නිවාඩු ගැනීම තහනම් කිරීම, බිය ගැන්වීමේ තවත් අවස්ථාවකි. වැඩ වර්ජනයේ යෙදුන හොත් කම්කරුවන් සේවයෙන් පහ කරන බවට බැංකුව තර්ජනය කලේ ය. වැඩ වර්ජනයට නායකත්වය දුන් හා ඊට සහභාගී වූ අයගේ තොරතුරු රැස් කිරීම පිනිස පසුව චක‍්‍ර ලේඛයක් නිකුත් කල බැංකුව, වැඩ වර්ජකයන්ගේ දින දෙක හමාරක වැටුප් කපන බව ප‍්‍රකාශ කලේ ය.

නොකැමැත්තෙන් ම වැඩ වර්ජනය කැඳවූ ආන්ඩුවට ගැති ලංබැසේස නායකයෝ අනතුරුව පෙබරවාරි 10 දා සවස එය අවලංගු කිරීමට උත්සාහ දැරූහ. භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මුන ගැසුනු පසුව ලංබැසේස සභාපති ගමගේ, වැඩ වර්ජනය කල් දමා ඇති බව ආන්ඩුවට ගැති අයිලන්ඩ් පුවත්පතට පැවසුවේය. ඊලඟ ක‍්‍රියා මාර්ගය තීරනය කිරීමට පසු දින ලංබැසේස විධායක කමිටුව රැස් කරන බව ගමගේ කීවේ ය.

සමිති සාමාජිකයන් ඔහුට විරෝධය පා ඉවත්ව ගිය කල, තමන් අයිලන්ඩ් පුවත්පතට එවන් ප‍්‍රකාශයක් දුන් බව ගමගේ ප‍්‍රතික්ෂේප කලේ ය. එහෙත්, පුවත්පත සිය පුවතේ නිරවද්‍ය භාවය අවධාරනය කලේ ය.

රාජපක්ෂට පෙර බලයේ සිටි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, ලෝක බැංකුවේ ඉල්ලීම් අනුව ක‍්‍රියා කරමින් 1996 දී අලුතෙන් බඳවා ගන්නා රාජ්‍ය බැංකු කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිවාසිකම් අහෝසි කලා ය. විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමය වනාහි පරම්පරා ගනනාවක් තිස්සේ කම්කරුවන් සටන් වැදි මූලික අයිතිවාසිකමකි. ඒ යටතේ විශ‍්‍රාම ලත් කම්කරුවන්ගේ සේවා කාලය පදනම් කර ගෙන ඔවුන් අවසන් වරට ලද වැටුපෙන් සියයට 75 සිට 90 දක්වා ප‍්‍රමානයක් මාසික විශ‍්‍රාම වැටුප ලෙස ගෙවන ලදී.

විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ යලි සහතික කර ගැනීම සඳහා බලපෑම් හා පීඩනය යොදා ආන්ඩු සහ බැංකු කලමනාකරනය ඒත්තු ගැන්විය හැකි ය යන මායාව, ලංබැසේසය පසු ගිය දශක එක හමාරක් තිස්සේ වපුරා ඇත. සේවකයන්ගේ කලකිරීම වෙනතකට යොමු කිරීමට උත්සාහ දරමින් ඔවුහු අධිකාරින්ට ලිපි ලියූහ, ඉඳ හිට පිකට් උද්ඝෝෂන සංවිධානය කලහ.

විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමය දරුනු ලෙස කප්පාදු කිරීම සඳහා 2008 දී බැංකු කලමකාකරනය ගෙන ආ යෝජනාවක් සමිතිය මුල දී "ජයග‍්‍රහනයක්” ලෙස කර පින්නා ගත්තේ ය. ඒ අනුව බැංකුව විශ‍්‍රාම වැටුප් අරමුදලට සියයට 5කින් දායක වන අතරේ සේවකයෙකු සියයට 8කින් දායක වීමට නියමිත විය (1996ට කලින් පැවති යෝජනා ක‍්‍රමය යටතේ කම්කරුවන්ට අරමුදලට දායක වීමට සිදු නො වී ය). ඒ යටතේ වසර 35ක් සේවය කල කම්කරුවෙකුට විශ‍්‍රාම ගැනීමේ දී හිමි වූයේ ඔහු අවසන් වරට ලද වැටුපෙන් සියයට 60ක් පමනි. කම්කරුවන්ගෙන් මතු වුනු විරෝධය නිසා එම ගනුදෙනුව අත හැර දැමීමට සමිතියට බල කෙරින.

අවසන් ජනාධිපතිවරනයට කලින් 2009 දෙසැම්බරයේ දී, සියලු රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිවාසිකම් යලි ලබාදෙන බවට රාජපක්ෂ පොරොන්දු විය. එය, වැටුප් වැඩි කිරීම ද ඇතුලුව ඔහු දුන් වංචනික මැතිවරන පොරොන්දු බොහොමයෙන් එකක් විය.

වැඩ වර්ජනයට පෙර ලැංබැසේසයේ ගමගේ භාන්ඩාගාර ලේකම් ජයසුන්දර හමු වුනු අතර, ආන්ඩුවේ නියෝජිතයා අනුපාතිකය කප්පාදු කල තවත් විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමයක් ඉදිරිපත් කලේ ය. වාර්තා වන පරිදි ඊට, බැංකු සහ සේවක යන දෙපාර්ශ්වයෙන් ම සියයට 2ක දායකත්වයක් ලබා දීමට නියමිත විය. ලංබැසේසයේ නිලධාරීන් තව මත් මෙම යෝජනා ක‍්‍රමය පිලිබඳ විස්තර පැහැදිලි කර නැත. පසු ගිය නොවැම්බරයේ ඉදිරිපත් කල සිය අයවැයේ දී රාජපක්ෂ, කම්කරු පන්තියේ ජීවන තත්ත්වය වඩා පුලුල් හා දරුනු ලෙස කප්පාදු කිරීම සඳහා ඉදිරිපත් කල යෝජනා සමග එය එක පෙලට පිහිටයි.

දැනට සිය වැටුපෙන් විශ‍්‍රාම වැටුප් සඳහා දායක නොවන රාජ්‍ය අංශයේ සියලුම අලුත් කම්කරුවන් උදෙසා, එම අයවැයෙහි දී රාජපක්ෂ මීට සමාන විශ‍්‍රාම වැටුප් සැලැස්මක් ගෙන ආවේ ය. ගෙවුම් ශේෂ අර්බුදය වැලැක්වීම සඳහා 2009 ජුලි මාසයේ දී ආන්ඩුවට එ.ජ.ඩොලර් බිලියන 2.6ක නයක් ලබා දෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැටවූ කොන්දේසි සැපිරීමට ආන්ඩුවේ වියදම් කැපීමේ කොටසක් ලෙස ඔහු එම යෝජනාව ඉදිරිපත් කලේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙහෙයවෙන අනෙක් වැඩ පිලිවෙලවල් අතර තිබෙන්නේ, මූලික භාන්ඩවල සහනාධාර කැපීම, අත්‍යවශ්‍ය භාන්ඩවලට බදු පැනවීම, මහ ව්‍යාපාරිකයන්ට බදු සහන දීම සහ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය යි.

ප‍්‍රධාන වශයෙන් ම එල්ටීටීඊයට එරෙහිව පාලන තන්ත‍්‍රය යලි දියත් කල යුද්ධයේ වියදම් ගෙවීමේ අවශ්‍යතාවය මත රාජපක්ෂ සිය පොරොන්දු කුනු කූඩයට දැමූ අතර, 2006 සිට රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම් අත්හිටුවනු ලැබිනි. 2009 මැයි මාසයේ දී එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජය කෙරුන ද රාජ්‍ය අංශයේ කම්කරුවන්ට අවසානයේ ලැබී ඇත්තේ අහස උසට නගින ජීවන වියදමට අලගු තැබීමට වත් ප‍්‍රමානවත් නැති හිඟන දීමනාවක් පමනකි.

බැංකු කම්කරුවන් ලංබැසේසය පිලිබඳව කිසිදු විශ්වාසයක් නො තැබිය යුතු ය. එහි පාවා දීමේ වාර්තාව වූකලි, මූලික අයිතීන් හා ජීවන තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමට සිය සාමාජිකයන් ගෙන යන අරගල කෙරෙහි සමස්ත වෘත්තීය සමිති නිලධරය ම දක්වන සතුරුකම පිලිබඳ නිර්ලජ්ජිත උදාහරනයකි. රාජ්‍ය මුද්‍රන නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ වරයෙක් ලෙස පත් කරමින් ආන්ඩුව ගමගේට කලගුන සලකා ඇත. ඔහුට කලින් සමිතියේ සභාපති ලෙස කටයුතු කල එම්.ආර්. ෂා විශ‍්‍රාම ගිය පසුව, රජය සතු ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සභාපති ලෙස පත් කෙරින.

මෙය තනි තනි වෘත්තීය සමිති නායකයන් පිලිබඳ ප‍්‍රශ්නයක් නො වේ. වෘත්තීය සමිති සමස්තය ම ආන්ඩුවේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නංවමින් සිටී. ඒවා බොහෝ අවස්ථාවල දී වැඩ වර්ජන කඩාකප්පල් කර හෝ අවලංගු කර ඇත. කම්කරුවන් සංසිඳුවීම සඳහා සහ ඔවුන්ගේ කෝපය දියකර හැරීම සඳහා අතරින් පතර විරෝධය පෑම් සහ සීමිත වැඩ නැවැත්වීම් සිදු කලත් එක ද වෘත්තීය සමිතියක් වත් රාජපක්ෂ පාලන තන්ත‍්‍රය කම්කරු පන්තියට එල්ල කරන ප‍්‍රහාරයට විරුද්ධ වී නැත.

මහනුවර රාජ්‍ය බැංකුවක සේවය කරන පුෂ්ප කුමාර ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ප‍්‍රකාශ කලේ ය: "රාජපක්ෂ අපේ විශ‍්‍රාම වැටුප් ඉල්ලීම ඉටු කරන බව පවසමින් ඔහුට ඡන්දය දෙන ලෙස සමිතිය අප පෙලඹෙව්වා. අපේ සමිතිය එය ජනතාවට ලැදි ආන්ඩුවක් ලෙස හුවා දැක්වුවා. දැන් අපට වැටහෙනවා සත්‍යය ඒකෙ අනෙක් පැත්ත බව.”

කොලඹ ලංකා බැංකුවේ කම්කරුවෙකු වන චන්ද්‍රන් මෙසේ අදහස් දැක්වී ය: "ප‍්‍රශ්නෙ තියෙන්නෙ භාන්ඩාගාරයේ මිස ආන්ඩුවේ නොවන බව කියන සමිති නායකයන් තවමත් ආන්ඩුව රැකීමට උත්සාහ කරනවා. මේක විකාරයක්. තමන්ගෙ සේප්පුවලට අරමුදල් හොයා ගන්න කම්කරුවන් මිරීකීමට අවශ්‍ය නිසා ආන්ඩුව යි මේක මෙහෙයවන්නෙ.”

චන්ද්‍රන් මෙසේ ද පැවසී ය: "රාජ්‍ය බැංකුවල ලාභ ඉහල යමින් තිබුනත් වැඩි වන ජීවන වියදම නිසා අපේ ජීවන තත්ත්වය පිරිහෙනවා. නිවාස නයක් ගත්තොත් අපේ වැටුප් හුඟක් පහල වැටෙන නිසා අතිකාල නො කර ජීවත් වෙන්න බැහැ. පසු ගිය වසර කීපය තුල දී, බැංකු අප කල යුතු වැඩ ප‍්‍රමානය වැඩි කරලා තියෙනවා. අපි බැංකු දියුනු කල යුතු බව කියා සිටින සමිති ඒකට උදව් කලා.”

ඔප්පු වී ඇති දෙය නම් බැංකු සේවකයන් ඇතුලු කම්කරුවන්ට වෘත්තීය සමිති හරහා සිය අවශ්‍යතා සඳහා සටන් කල නොහැකි බව යි. සමිතිවලින් කැඞී වෙන් වෙමින් තම අවශ්‍යතා උදෙසා සටන් කිරීමට ස්වාධීන ක‍්‍රියාකාරී කමිටු සංවිධානය කිරීමට වැඩ කරන ජනතාව පියවර ගත යුතුය. විශ‍්‍රාම වැටුප්, ජීවන තත්ත්වයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ශ‍්‍රී ලාංකික සහ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රභූවේ අවශ්‍යතාවලට සේවය කරන රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කරන දේශපාලන සටනක් සමග බැඳී ඇත. එනම්, සමාජවාදය සඳහා ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස-ධනවත් සුලුතරයකගේ නො ව අතිමහත් බහුතරයේ යහපත සඳහා-සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම සඳහා, කම්කරු-ගොවි ආන්ඩුවක් උදෙසා සටන් වැදීම යි.