තෙල් මිල නගිද්දී එක්සත් ජනපදය හා යුරෝපය ලිබියාවට මැදිහත්වීම ගැන ගනන් බලයි

US and Europe weigh up Libyan intervention as oil prices spike

By Patrick O’Connor, 24 February 2011

ජාත්‍යන්තර තෙල් මිල කම්පනයක භීතිය හමුවේ ඔබාමා පාලනාධිකාරය හා එහි යුරෝපීය හවුල්කරුවන් ලිබියාවට කෙරෙන මිලිටරි මැදිහත්වීමක හැකියාව ද ඇතුලු වඩාත් ආක‍්‍රමනශීලී පියවරයන් පිලිබඳව සලකා බලමින් සිටියි. ගනන් බලා ඇති පරිදි ලිබියාවේ දෛනික තෙල් නිෂ්පාදනය සියයට 50-60 අතර ප‍්‍රමානයකින් පහත වැටී තිබෙන තත්වය තුල තෙල් මිල දෙවසරකටත් වැඩි කාලයක් තුල එහි ඉහලම මට්ටමට, එනම් බැරලයක් ඩොලර් 110කට පමන, ඉහල ගියේය. මිල තවදුරටත් ඉහල ගියහොත් ආර්ථික කටයුතු මන්දගාමී වී උද්ධමනය අවුලුවාලනු ඇතැයි යන භීතිය හමුවේ එක්සත් ජනපදය, යුරෝපය හා ආසියාව තුල කොටස් වෙලඳපොලවල් වැටී ගියේය.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඉහලම කනස්සල්ල, ලිබියාව තුල යලි ස්ථාවරත්වය ඇති කොට තෙල් අපනයනය යථා තත්වයට ගෙන ඒමයි. පසුගිය දශකය මුලුල්ලේ මුවම්මර් ගඩාෆි, එක්සත් ජනපදය හා යුරෝපය සමඟ උනුසුම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙන තතු තුල කුරිරු ප‍්‍රචන්ඩත්වයක් පිලිබඳව ලිබියානු ආන්ඩුවට එරෙහිව බටහිර නායකයින් එල්ල කරන විවිධ විවේචන අතිශයින්ම කුහකය. කලාපය තුල වොෂින්ටනයේ භූ මූලෝපායික අරමුනු සඳහා එරටින් ලැබුනු සහයෝගය අගය කිරීමක් වශයෙන් මෙම බලවතුන්, ඔහුගේ තන්ත‍්‍රයට ආයුධ හා අරමුදල් සම්පාදනය කලේය. විදේශ තෙල් සමාගම්වලට ලිබියාව සමඟ එක්ව කටයුතු කිරීමට අවසර ලබා දුන්නේය. ගඩාෆි සමඟ සහයෝගීව කටයුතු කිරීමෙන් බොහෝ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් හා ව්‍යාපාරිකයින් පොහොසත් විය. එක්සත් ජනපදයේ ආයෝජන බැංකුවක් වන ජේපීමෝර්ගන් චේස් වෙනුවෙන් ටි‍්‍රපොලි වෙත නිතරම ආ ගිය හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ඒ අතර කැපී පෙනෙයි.

කෙසේ වෙතත් දැන්, විරුද්ධ බලවේග සිය පාලනය නැගෙනහිර සිට රටේ අගනුවර අසල නාගරික මධ්‍යස්ථාන කරා බටහිරට ද පතුරුවමින් සිටින තත්වය තුල ටි‍්‍රපොලි ආන්ඩුව කඩා වැටීමේ අද්දරට ගමන්කර ඇති බවක් පෙනී යයි.

එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා ලිබියානු අර්බුදය පිලිබඳව ප‍්‍රථම වතාවට පසුගිය රාත‍්‍රියේ කතා කලේය. එහිදී ඔහු, "මෙම අර්බුදයට මුහුන දීම සඳහා අප සෑම වර්ගයකම විකල්පයන් සූදානම් කලයුතු බව මගේ පරිපාලනයෙන් මම ඉල්ලා සිටියෙමි” යයි කියා සිටියේය. ඊට පෙර රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද මිලිටරි බලය යෙදීම පිලිබඳ එවැනිම තර්ජනයක් කරමින් පැවසුවේ "හැකි සියලූ විකල්ප” වොෂින්ටනය විසින් සලකා බලන බවත්, "සියල්ලක්ම විවෘතව ඇති බවත්” ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ හදිසි රැස්වීමට පෙරාතුව 23දා, යුරෝපා සංගමය විසින් හෙලාදැකීමේ යෝජනා කෙටුම්පතක් නිකුත් කලේය. "නීති විරෝධී ජන ඝාතන, හිතූ මතයේ කරන අත් අඩංඟුවට ගැනීම්, සාමකාමී විරෝධතා කරුවන් සිරගත කිරීම හා ඔවුන්ට වධ දීම පුලුල් පරිමානයෙන් හා ක‍්‍රමානුකූලව සිදුවන්නේ නම් එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගනයේ ලා සලකන බව” ඉන් කියවුනි. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිලිබඳව සඳහන් කිරීම වැදගත්ය. මක්නිසා ද යත්, 1990 ගනන්වල නේටෝවේ මූලිකත්වයෙන් සිදුවූ බෝල්කන් ආක‍්‍රමනයේදී ඒ සඳහා ද නිමිත්ත ලෙස එය යොදාගත් බැවිනි.

වියහැකි මැදිහත්වීමක් සඳහා ව්‍යාජ නීතිමය ආවරනය දැනටමත් එක්සත් ජාතීන් හරහා සූදානම් කෙරෙමින් තිබේ. ආරක්ෂක මන්ඩල යෝජනාව 22දා ඒකමතිකව අනුමත විය. "ඔවුන්ගේ පාලනය යටතේ ඇති හමුදාවන් ද ඇතුලූව සිවිල් වැසියන්ට පහර දීමට වගකිවයුතු අය නීතියේ රැහැනට හසුකර ගැනීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරන” ප‍්‍රචන්ඩත්වය හෙලාදැකීමක් ඊට අන්තර්ගත විය.

එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන්, ලිබියාවට එරෙහි රාජ්‍ය තාන්ත‍්‍රික හා ආර්ථික සම්බාධක මාලාවක් සූදානම් කරමින් සිටින බව වාර්තා වෙයි. "මෙසේ දැවැන්ත පරිමානයෙන් මානව හිමිකම් උල්ලංඝනය කෙරෙද්දී ජාත්‍යන්තර ප‍්‍රජාවට නරඹන්නෙක් ලෙස සිටිය නොහැකි” යයි ප‍්‍රන්ස ජනාධිපති සාකෝසි ප‍්‍රකාශ කලේය. ලිබියාවට ඉහලින් නේටෝව පොලිස්කාරකමේ යෙදෙන "පියාසර තහනම්” කලාපයක් ප‍්‍රකාශ කල යුතු යයි ඔහු කියා සිටියේය. මෙය උදාවූයේ, උතුරු අප‍්‍රිකාව හා මැද පෙරදිග හරහා දිග හැරෙන විප්ලවවාදී ගිනි මැලය පත්තු කල ටියුනීසියානු කැරැල්ල තලා දැමීම සඳහා හිටපු ආඥාදායක බෙන් අලිට ආධාර පිනිස සාකෝසි පාලනය ප‍්‍රන්ස කැරලි මර්දන පොලිසිය යෙදවීමෙන් පසුව සති ගනනක් ඇතුලතය.

ලිබියාවට ඉහලින් ඇටවීමට හැකි පියාසර තහනම් කලාපයක් ජාත්‍යන්තරව සාකච්ඡා වෙමින් තිබේ. රුසියාව හා චීනය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය තුලින් මෙම පියවර අනුමත කරයි ද යන සැකය එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය තුල පැවතුනි. තමන්ගේ තානාපතිවරු හා පුරවැසියන් ලිබියාවෙන් ඉවත්කර ගන්නා තෙක් මේ කාරනය පිලිබඳව වොෂින්ටනය, ලංඩනය හා තවත් අය ප‍්‍රසිද්ධියේ ආස්ථානයක් ගැනීමට "අදිමදි” කරන බව පෙන්නුම් කරන මාධ්‍ය වාර්තා ගනනාවක් පලවී තිබුනි.

ජනතාව ඉවත් කිරීමේ මෙම ක‍්‍රියාවලිය සමඟ අත්වැල් බැඳගෙන, ලිබියාවේ කුමන හෝ එක්සත් ජනපද-නේටෝ මිලිටරි ක‍්‍රියාන්විතයක කොටසක් ලෙස පසුව උපයෝගී කරගත හැකි පරිදි, මධ්‍යධරනී කලාපයේ සැලකිය යුතු මිලිටරිමය ස්ථානගත කිරීම් සිදුවෙයි. බි‍්‍රතාන්‍ය, තුර්කිය හා ග‍්‍රීසිය යුද නැව් ද ප‍්‍රන්සය, නෙදර්ලන්තය, යුකේ‍්‍රනය අයර්ලන්තය හා ඉතාලිය ද ඇතුලු රටවල් ගනනාවක් ප‍්‍රහාරක ගුවන් යානා ද යොදවා තිබේ.

එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිදුවන ඕනෑම මැදිහත්වීමක මූලික අරමුන වන්නේ ලිබියාවේ තෙල් නිෂ්පාදනය යථා තත්වයට පත්කිරීම මිස ගඩාෆිගේ බලවේගයන් විසින් මුදාහැර තිබෙන කුරිරු ප‍්‍රචන්ඩත්වය නතර කිරීම නොවේ. ඉතාලියේ ඊනි, ස්පාඤ්ඤයේ රෙප්සොල් වයිපීඑස්, ජර්මනියේ වින්ටර්ෂෝල් හා ප‍්‍රන්සයේ ටෝටල් ද ඇතුලු විදේශ තෙල් සමාගම්, එක්කෝ නිෂ්පාදනය නතරකර නැත්නම් සැලකිය යුතු තරමින් කපාහැර තිබේ. විදේශ කාර්මික විශේෂඥයින් හා උප කොන්ත‍්‍රාත්කරුවන් රටෙන් පලායාමට උත්සාහ දරමින් සිටියි.

ලිබියාවේ රාජ්‍ය තෙල් සමාගම විසින් ක‍්‍රියාත්මක කරන තෙල් බිම්වල නිෂ්පාදනය කොතෙක් දුරට පවත්වාගෙන යන්නේ ද හා වාර්තාවී තිබුනු කම්කරු වැඩ වර්ජන තවමත් පවතින්නේ ද යන්න අපැහැදිලිය. "වෙලඳුන්ට අනුව ෆෝස් මැජුවර් නමැති පිරිපහදු කල නිෂ්පාදන වලට සම්බන්ධ, කොන්ත‍්‍රාත් අත්සන්කල බෙදාහැරීම් වලින් ඉවත්වීමට ඉඩ සැලසෙන නීති රෙගුලාසියක් ලිබියාවේ රාජ්‍ය තෙල් සමාගම විසින් පනවා ඇති බව” ෆිනෑන්ෂල් ටයිම්ස් 23දා වාර්තා කලේය.

ලිබියාවේ මුලින් පැවති මුලු දෛනික තෙල් නිෂ්පාදනය ලෝක තෙල් නිමැවුමෙන් සියයට 2කටත් අඩුය. ජාත්‍යන්තර වෙලඳපොලවල ලිබියාවේ තෙල් අර්බුදය ඇතිකරන අසමානුපාතික බලපෑම තවත් සාධක ගනනාවක් නිසා වැදගත් වෙයි.

පලමු කාරනය ලිබියාවේ තෙල්වල තත්වය ඉතා ඉහල වීමයි. එය හුදෙක් සවුදි අරාබිය හා අනෙකුත් ඔපෙක් සාමජිකයින් සිය නිෂ්පාදනය ඉහල නැංවීමෙන් ඌන පූරනය කල නොහැකිය. "එරට කාන්තාර භූ ලක්ෂනයන්හි යටින් පිහිටි නිධි වල බොර තෙල්, ඩීසල් හා පෙට්රල් බවට ලෙහෙසියෙන්ම පිරිපහදු කල හැකි අතර ගෙන්දගම් සංයුතිය ඉතා අඩුය. එබැවින් දහනයේදී දුම් පිටවීම ඉතා අඩුය.” මෙසේ පැහැදිලි කලේ ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයයි. "සමාගම් වලට ඒ හා සමාන ගුනයෙන් යුත් තෙල් සොයාගත හැක්කේ, ඇල්ජීරියාව, නයිජීරියාව, කැස්පියන් කලාපය හෝ උතුරු මුහුදෙනි. ඔට්ටු ඇල්ලීම නිසා ඉහල ගුනයෙන් යුත් බොරතෙල් වර්ගවල මිල තවත් ඉහලට තල්ලුවී, අනාගත තෙල් තොග පාදක කොන්ත‍්‍රාත් සඳහා පිටු බලය සපයමින්, ඒ තත්වයට ඔරොත්තු දීගත නොහැකි පිරිපහදුවල ඉන්ධන නිමැවුම පහතට හෙලනු ඇත.”

ඇල්ජීරියාව හා ලෝකයේ විශාලතම තෙල් අපනයන කරුවා වන සවුදි අරාබිය ද ඇතුලු අනෙකුත් තෙල් නිෂ්පාදකයින් ද ලිබියන් නැගිටීම මඟින් අස්ථාවර කරනු ඇතැයි මූල්‍ය වෙලඳපොලවල භීතිය දැල්වී ඇත. "මෙහි අවසානය කොතනකදැයි කිසිවෙකුත් නොදනියි.” බාක්ලේස් කැපිටල්හි අධ්‍යක්ෂක හෙල්මා ක්‍රොෆ්ට් නිව් යෝර්ක් ටයිම්ස් වෙත පැවසුවාය. සති කිහිපයකට පෙර ඒ ටියුනීසියාව හා ඊජිප්තුවයි. එවකදී සිතුවේ මෙය උතුරු අප‍්‍රිකාවට හා සම්පත් හිඟ මැද පෙරදිග රටවලට සීමාකරගත හැකිය කියාය. එහෙත් දැන්, ගල්ෆ්හි හදවත වන බහරේන්හි විරෝධතා ඇවිලයාමත් සමඟ එය සිත් තැවුලට කාරනයක් වී තිබේ.”

එවන් උත්සුකයන් සමහන් කිරීමේ උත්සාහයක් ලෙස සවුදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් රජු රැකියා සම්පාදනය, නිවාස හා අනෙකුත් සමාජ ප‍්‍රශ්න විසඳීම දෙසට යොමුවූ ඩොලර් බිලියන 36ක වියදම් සැලැස්මක් නිවේදනය කර ඇත. එහි අරමුන සවුදියේ කම්කරුවන් හා තරුනයින් තුලින් පැන නැඟිය හැකි කුමන හෝ ව්‍යාපාරයක් පූර්ව භංග කර දැමීමයි.

නොමුරා නමැති ජපන් බැංකුවේ භාන්ඩ විශ්ලේශකයෙකු "ලිබියාව හා ඇල්ජීරියාව යන දෙරටට ම තෙල් නිෂ්පාදනය නතර කිරීමට සිදුවුහොත්,” තෙල් බැරලයක් ඩොලර් 220ක් දක්වා නැඟීමේ හැකියාව පිලිබඳව අනතුරු ඇඟවීය. තෙල් මිල ඒ සා ඉහලකට ගමන් කල හොත් නොවරදවා ම ඇමරිකාව හා ලෝක ආර්ථිකය තියුනු පසුබෑමකට මුහුනපානු ඇත.

රටේ බොහෝ කොටසක් සේ ම ලිබියාවේ තෙල් බිම් ද දැන් ගඩාෆි විරෝධී බලවේගයන් අතට පත්ව ඇති බවක් පෙනී යයි.

පිලිවෙලින් ලිබියාවේ දෙවන හා තෙවන විශාලතම නගර වන බෙන්ගාසි හා බයිඩාහි ආන්ඩුවේ බලවේග අකර්මන්‍යවී ඇති බව පෙනෙන්නට තිබේ. ඊජිප්තුවේ සිට දේශසීමාව හරහා ජාත්‍යන්තර මාධ්‍යකරුවෝ ප‍්‍රදේශයට ඇතුල් වීමට පටන් ගෙන තිබේ. ගාඩියන්හි මාටින් චූලොව් බෙන්ගාසි සිට මෙසේ වාර්තා කලේය. "ආඥාදායකයාගේ සෑම කායික සලකුනක්ම බිඳ දමා හෝ පුලුස්සා දමා ඇත.” ආන්ඩුවේ ගොඩනැඟිලිවල පරන රාජාන්ඩු යුගයේ ධජ ලෙල දෙයි. යටත්වූ සොල්දාදුවෝ මිලිටරියේ අවි ගබඩා වලින් ටොන් ගනන් අවි ආයුධ හා මූනිස්සම් සිය අත් අඩංගුවට ගෙන තිබේ. දින ගනනාවක වීදි සටන්වලින් අනතුරුව ටි‍්‍රපොලි නගරයට කිමී. 200ක් නැගෙනහිරෙන් පිහිටි මිස්රාටාහි බලය අල්ලාගත් බව විපක්ෂ බලවේග 23දා ප‍්‍රකාශ කලේය. ගැටුම් වලින් සය දෙනෙක් මියගොස් 200 දෙනෙක් තුවල ලත් බව ෆරාජ් අල් මිස්රාටි නමැති, ප‍්‍රදේශයේ වෛද්‍යවරයෙක් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේය. වීදි ශුද්ධ පවිත‍්‍ර කිරීමට ද නගරය ආරක්ෂා කිරීමට හා තුවාලකරුවන්ට පිහිටවීම සඳහා ප‍්‍රදේශවාසීන් එක්ව කමිටු ගොඩනඟා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. "මෙහි ජනතාව අතර සහයෝගය මවිතකරවන සුලුය. ආබාධිත වූවන් පවා උදව්වට පැමින සිටියි.” ඔහු පැවසීය.

අගනුවරට කිමී. 50ක් බටහිරෙන් පිහිටි සිවියා ද ඇතුලු ලිබියාවේ බටහිර ප‍්‍රදේශයේ අනෙකුත් නාගරික මධ්‍යස්ථානවල පාලනය තමන් යටතේ තිබෙන බව විපක්ෂ බලවේග සඳහන් කරයි.

විරෝධතාකරුවන් හා පාලන තන්ත‍්‍රයේ විරුද්ධවාදීන් යයි සැලකෙන ඕනෑම අයෙක් ගඩාෆිගේ මිලිෂියාවන් හා විදේශ කුලී භටයන් විසින් වනසා දමන බවට ටි‍්‍රපොලි අභ්‍යන්තරයෙන් වාර්තාවීමට පටන් ගෙන තිබේ. මෙම බලවේග ගෙයින් ගෙට පරීක්ෂා කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයෙන් පෙන්වනු ලැබින. විරෝධතාකරුවන් නගර මධ්‍යයට ආසන්නව පිහිටි චතුරස‍්‍රය වටා සිමෙන්ති කුටිටි හා පිලිස්සෙන ටයර් යොදා බාධක ඉදිකරනු අනෙක් වීඩියෝ පටවලින් දැක්වුනි. අද සහ හෙට දිනයේ විරෝධතා කැඳවා තිබේ. සිකුරාදා දිනයේදී රටේ අනෙකුත් ප‍්‍රදේශවල සිට ටි‍්‍රපොලි වෙත "ගමන් කිරීමට” විපක්ෂය සැලසුම් කර ඇති බවට වාර්තා පල විය.