බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ට එරෙහි පොලිස් වෙඩි තැබීම

The police shooting of Bangladesh garment workers

By K. Ratnayake, 21 December 2010

බංග්ලාදේශ වර්ජනයේ යෙදී සිටි කම්කරුවන් හතර දෙනෙකු දෙසැම්බර් 12 වැනි දින අගමැති ෂික් හසීනා ගේ අවාමි ලීග් ආන්ඩු‍වේ පොලීසිය විසින් වෙඩි තබා මරා දැමීම ගෝලීය කි‍්‍රයාවලියක තියුනුතම ප‍්‍රකාශනය වේ. 2008 දී ඇරඹුන භූගෝලීය මූල්‍ය අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ ආන්ඩුවේ පිලිවෙතෙහි තියුනු හැරීමක් මෙමගින් පෙන්නුම් කරයි.

රටින් රටට ප‍්‍රතිපත්ති අතර වෙනසක් තිබුන ද, රාජ්‍ය මර්දනය තීව‍්‍ර කිරීම හරහා ඒවා කි‍්‍රයාවේ යොදවනු ලබයි. බංග්ලාදේශය තුල එය, උද්ධමනය වේගයෙන් ඉහල යාම මධ්‍යයේ රෙදිපිලි කම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති වැටුප් ඉල්ලීම් මර්දනය කිරීමේ රූපාකාරය ගෙන ඇත.

බංග්ලාදේශ සිද්ධීන් දිගහැරුනේ ගී‍්‍රක ආන්ඩුව අගෝස්තු මාසයේ දී වර්ජිත කම්කරුවන්ට එරෙහිව හමුදාව මෙහෙයවීම සහ දෙසැම්බර් මාසය මුලදී ස්පාඤ්ඤ ආන්ඩුව ගුවන් ගමන් පාලකයන්ගේ වර්ජනය බිඳීම සඳහා හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කිරීම සහ හමුදාව යෙදවීමෙන් පසුව ය.

බංග්ලාදේශය තුල පොලිස් වෙඩි තැබීම් ජූලි මාසයේදී ඇඟලූම් කම්කරුවන්ගේ වර්ජනවලට එරෙහිව යොදා ගත් විධික‍්‍රමවල තීව‍්‍ර වීමක් සලකුනු කරයි. ජූලි මාසයේ දී කැරලි මර්දන පොලීසිය බැටන් ප‍්‍රහාර, කඳුලූගෑස් හා රබර් උන්ඩ යොදාගත්තේ ය. ආන්ඩුව හා පාලකයන් සමග ගිවිසුමකට එලඹීම මගින් වෘත්තීය සමිති වර්ජනය අවසන් කිරීමේ තීරක කාර්යභාරයක් ඉටු කලහ. අවම වැටුප එ.ජ. ඩොලර්43 දක්වා ඉහල දැමුන නමුත්, එය තවමත් දරිද්‍රතා මට්ටමට වඩා පහල වැටුපක් වන අතර කම්කරුවන් කල ඉල්ලීමෙන් හරි අඩකට වඩා තරමක් වැඩිය.

අපනයන කලාප තුල නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ”කාර්මික පොලීසියක්” පිහිටුවමින් ඉදිරි ගැටුම් සඳහා සූදානම් වීමට ගිවිසුමෙන් ලැබුන විරාමය ආන්ඩුව උපයෝගී කර ගත්තේ ය. වැටුප් ගිවිසුමට අනුව කටයුතු කිරීමට සමාගම් අසමත් වීමට එරෙහිව කම්කරුවන් වර්ජනය කල විට විරෝධතාවය බිඳීම සඳහා පොලීසිය මෙහෙය වීය. පොලීසිය දෙසැම්බර් 12 වර්ජිත කම්කරුවන්ට ජීව උංඩ යොදා ගනිමින් වෙඩි තැබුවේය.

මෙම පොලිස් කඩා පැනීම පිටුපසින් පවතින්නේ ජාත්‍යන්තර ඇඟලුම් කර්මාන්තයේ තරග කාරීත්වය තීව‍්‍ර කර තිබෙන භූගෝලීය ආර්ථික අර්බුදයයි. බංග්ලාදේශ් අපනයනයන්ගෙන් සියයට 80ක් සමන්විත වන්නේ ඇඟලුම් අපනයනයන්ගෙන් ය. පසුගිය වසරේදී එය ඩොලර් බිලියන 12ක් ඉපයීය. මෙම වසරේ මුල් කාර්තුව තුල එයින් ලැබූ ආදායම, පසුගිය වසරේදී එම කාලය තුල ලැබූ ආදායම මෙන් සියයට 37කින් ඉහල නැග්ගේ ය. එය තීව‍්‍ර කෙරෙන සූරාකෑම පිලිබඳ මිනුම් දන්ඩකි.

ටෙස්කෝ, ගැප්, එච් ඇන්ඞ් එම්, වොල්මාර්ට්, මාර්ක් ඇන්ඞ් ස්පෙන්සර්, අස්ඩා, සාරා, කරේ ගෙවර්, ලෙවි ස්ටුවූස් හා ටොම් හිලිෆිගර් වැනි සිල්ලර සහ ඇඳුම් වෙලඳාමේ යෙදෙන ලෝකයේ සමහර දැවැන්තයෝ අඩු මිල ඇඟලුම් මූලාශ්‍රයක් ලෙස බංග්ලාදේශය වෙත හැරෙති. චීනයේ හා සෙසු සෑම තැනකම ඉහල නැගෙන කම්කරු අරගලවලට මුහුන දී ඇති තතු තුල ලාබය උපරිම කර ගැනීම සඳහා වඩාත්ම ලාබ ශ‍්‍රම වේදිකා සොයමින් ඔවුහු ගෝලය සිසාරා සැරිසරති.

"චීනයේ (කම්කරු) නොසන්සුන්තාවයෙන් පසුව ඇඟලුම් සමාගම් සහ අපනයන කරුවෝ ලාබ ශ‍්‍රම ප‍්‍රදේශ සොයමින් සිටිති”යි ෆිනෑන්ෂල් ටයිම්ස් ජූලි මාසයේ දී සනිටුහන් කලේය.

රටේ වැටුප් මට්ටම් ජාත්‍යන්තර තරගකාරිත්වයට වලකැපුවොත් ඇනවුම් හා ලාබ වේගයෙන් අතුරුදහන් වනු ඇතැයි බංග්ලාදේශ් හාම්පුත්තු බියට පත්ව සිටිති. වර්තමාන බංග්ලාදේශ් ඇඟලුම් කම්කරුවෙකුගේ අවම වැටුප පැයකට ඇමරිකානු ඩොලර් ශත 21කි. කාම්බෝජයේ, ඉන්දුනීසියාවේ, ශී‍්‍ර ලංකාවේ, වියට්නාමයේ, ඉන්දියාවේ සහ චීනයේ අවම වැටුප පැයකට අනුපිලිවෙලින් ඩොලර් ශත 24, 35, 46, 52, 55 සහ 93කි.

2006න් පසුව වැටුප් වැඩිවීමක් නොලද කම්කරුවන්ට ඔවුන්ගේ වර්තමාන වැටුපෙන් ජීවත් විය නොහැකිය. මෑත මාසවලදී උද්ධමනය තියුනු ලෙස ඉහල නැග ඇති අතර මූලික ආහාර අයිතම සඳහා උද්ධමනය සියයට 10ට වැඩිය. ඊට අතිරේකව, වැටුප් රහිත අතිකාල සේවයේ යෙදීමට සහ බරපතල වැඩ කෝටා සම්පූර්න කිරීමට බංග්ලාදේශ් කම්කරුවන්ට බලකෙරී ඇත. අවම වශයෙන් කම්කරුවන් 29 දෙනෙකු මරනයට පත් කරමින් තට්ටු 10ක ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුල පසුගිය සතියේ ඇතිවූ ගින්න ඔවුන්ගේ තදබද වූ හා අනාරක්ෂිත කොන්දේසි ඉස්මතු කර පෙන්වයි.

ඇඟලුම් සේවකයින්ගේ මෑත අරගල "විදේශීය කුමන්ත‍්‍රනයක්" ලෙස හෙලා දුටු අගමැති ෂීක් හසීනා "රටේ විශාලතම ආදායම් මාර්ගය වන ඇඟලුම් කර්මාන්තය තුල නොසන්්සුන්තා නිර්මානය කිරීම සඳහා සිදුවිය හැකි කුමන්ත‍්‍රන ගැන අවදියෙන් සිටින්න”යි තම ඇමති මඬුල්ලට නියෝග කලාය. ඇයගේ මෙම ප‍්‍රකාශය විශේෂයෙන්ම ඉලක්ක වූයේ, වෙනත් රටවල් තුල එවැනිම අරගලයන්ගේ නියැලෙන තම සහෝදර කම්කරුවන් සමග බංග්ලාදේශ කම්කරුවන් ඒකාබද්ධ වීමේ කවර හෝ උත්සාහයකට එරෙහිවය.

සැප්තැම්බරයේ දී කාම්බෝජ හුන්සෙන් ආන්ඩුව ඇඟලුම් කම්කරුවන් 200,000 වර්ජනයට ප‍්‍රතිචාර දැක්වූයේ බියවැද්දීමට හා ප‍්‍රහාරය සඳහා හමුදා පොලීසිය බලමුලුගැන්වීමෙන් ය. ආපසු වැඩට නොපැමිනෙන ඕනෑම අයෙකු දොට්ට දමන බවට හාම්පුතුන් තර්ජනය කිරීමෙන් පසු වර්ජනය අවසන් විය.

දරිද්‍රතා වැටුප් තලයන්ට එරෙහිව ආසියානු කම්කරුවන්ගේ අරගල දැවැන්ත කප්පාදුවලට එරෙහිව යුරෝපීය කම්කරුවන්ගේ අරගල සමග සමීප ලෙස බැඳී ඇත. බංග්ලාදේශ, කාම්බෝජ, ස්පාඤ්ඤ, ගී‍්‍රක හා බි‍්‍රතාන්‍ය කම්කරුවෝ පාලකයන්ගේ පොදු ප‍්‍රහාරයන්ට එනම් වැටුප් හා ජීවන තත්වයන් ගේ කප්පාදුවට මුහුන දී සිටිති. ධනවාදයේ ගෝලීය අර්බුදය තීව‍්‍ර අතට හැරීම මෙහි ගාමක බලය වේ.

කම්කරු පන්තියේ ඕනෑම ජාත්‍යන්තර ඒකාබද්ධ අරගලයකට ප‍්‍රධානතම බාධකය වී ඇත්තේ වෘත්තීය සමිති ය. සෑම රටකම වෘත්තීය සමිති මෙහෙයවෙන්නේ කම්කරු පන්තියේ අතිමූලික උවමනාවන් ආරක්ෂා කිරීමට නොව ලාබය සඳහා ජාත්‍යන්තර පොරය තුල තම හාම්පුතුන්ගේ ජාත්‍යන්තර තරගකාරිත්වය සහතික කිරීමට ය.

දෙසැම්බර් 12 දා වෙඩිතැබීමෙන් දිනකට පසුව කම්කරුවන්ගේ එලඹෙන අරගලයන් මැඩ පවත්වන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශ් වෘත්තීය සමිති, කම්කරු ඇමති මොනුජාම් සූෆියාන් හා සේව්‍ය පාර්ශ්වයේ නියෝජිතයන් සමග වාඩි වූහ. "ප‍්‍රශ්න විසඳීම” සඳහා වෘත්තීය සමිති - සේව්‍ය පක්ෂයේ - ආන්ඩුවේ ඒකාබද්ධ නියෝජිත කමිටු සෑම කම්හලක් තුලම පිහිටුවීමට ඇමති කල යෝජනාවට වෘත්තීය සමිති වහාම එකඟ වූහ.

වෘත්තීය සමිති ඒවායේ ස්වභාවය විසින් ම ධනපති පාලනය ද වැටුප් ශ‍්‍රමය කොල්ලකෑමේ රාමුව ද පිලිගනිති. පසුගිය දශක තුන පුරා සිදුවූ නිෂ්පාදනයේ භූගෝලීය කරනය විසින් සීමිත ප‍්‍රතිසංස්කරනයන් සඳහා ජාතික රාජ්‍යයන් තුල උද්ඝෝෂනය කිරීමට තිබූ හැකියාව සම්පූර්නයෙන්ම අහෝසි කර දමනු ලැබ ඇත. 1980 ගනන් වල දකුනු කොරියාව හා දකුනු අප‍්‍රිකාව බඳු රටවල් තුල නීතිවිරෝධී සටන් කාමී අරගල මෙහෙය වූ වෘත්තීය සමිති දැන් රටේ සංගත හා දේශපාලන සංස්ථාපිතයට මුක්කු ගසති.

කම්කරු පන්ති අරගලවලට එරෙහි වත්මන් ප‍්‍රහාරයන් සෑම රටකම කම්කරුවන්ට කරන අනතුරු ඇඟවීමකි. කම්කරුවෝ ස්වකීය ජීවන තත්වයන් හා මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජාත්‍යන්තර අරගලයන් තුල ඒකාබද්ධ විය යුතුය; නැතිනම් බෙදී ඇද වැටිය යුතුය.

පොදු පන්ති සතුරා වන ලාබ පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය එකමුතු කිරීමට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත පදනම් වූ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගිය යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉදිරිපත් කරනු ලබන ඉදිරිදර්ශනය මෙයයි.