ඊජිප්තුවේ හා ටියුනීසියාවේ විරෝධතා මැඩීම පිනිස එක්සත් ජනපදය දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරයි

US pursues two-track policy to suppress protests in Egypt and Tunisia

By Barry Grey, 27 January 2011

කයිරෝ වීදි දර්ශනයක් (ඡායාරූපය: මේ කැමල්)
<

ඊජිප්තුව හා ටියුනීසියාව යන දෙරටෙහිම මහජන විරෝධතා මැඬීමත්, දේශීය පාලක පැලැන්තීන් ඇමරිකානු අධිරාජ්‍යවාදයට මුලුමනින්ම අවනත කර ගැනීමත් සඳහා එක්සත් ජනපදය දිවා රෑ නොතකා වැඩට බැස සිටියි. රටවල් දෙකෙහි දී එරට යොදා ගන්නා එකිනෙකට වෙනස් ක‍්‍රමවේදයන් බොහෝකොටම තීරනය කෙරෙන්නේ, එක්සත් ජනපද පාලක පන්තියේ මැදපෙරදිග අවශ්‍යතාවන්ට ඒවායේ ඇති සාපේක්ෂ මූලෝපායික වැදගත්කම අනුවයි.

ටියුනීසියාවේදී, සති ගනනක් තිස්සේ ආන්ඩු විරෝධී පෙලපාලි ප‍්‍රචන්ඩ ලෙස මැඬීමෙන් පසුවත් එහි සිය දිගු කාලීන සම්පත වූ සින් එල් අබිඩීන් බෙන් අලිගේ තත්වය බේරාගත නොහැකි බව තීන්දු වන තෙක්ම, වොෂින්ටනය ඔහුට පිටුබලය දුන්නේය. බෙන් අලි රටෙන් පලවා හැරීමට දින කිහිපයකට පෙර රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පැවසුවේ එක්සත් ජනපදය, ආඥාදායකයා හා කම්කරු, තරුන විරෝධතාකරුවන් අතර "පැත්තක් නොගන්නා” බවය.

ටියුනිස් හා අනෙකුත් නගරවල විරෝධතාකරුවන් වෙත ජීව උන්ඩ යොදා වෙඩි තැබීමට දුන් බෙන් අලිගේ නියෝග නොතකා හරින ලෙස එක්සත් ජනපදය ටියුනීසියානු මිලිටරියට උපදෙස් දුන් බවට පුලුල් වශයෙන් වාර්තාවී තිබුනි. ඒ අනුව ක්ෂනිකවම බෙන් අලි කුනු ගොඩට විසිකර රටේ දේශපාලන බේරුම්කරු වශයෙන් මිලිටරි ප‍්‍රධානියා වන ජෙනරාල් රෂීඩ් අමාර් තෝරා ගත්තේය.

බෙන් අලි ජනවාරි 14දා සවුදි අරාබියාවට ගුවනින් පලා යාමෙන් පසුව, ඊනියා අන්තර් වාර එක්සත් ආන්ඩුවක් පිහිටුවීමට නිසැකවම එක්සත් ජනපදය මූලික විය. බලයෙන් පහකල ආඥාදායකයාගේ දේශපාලන හෙන්චයියන් මුලුමනින්ම පාහේ නව ආන්ඩුවේ ආධිපත්‍යය දරන අතර එතැන් පටන්ම, පාලක පක්ෂයේ හිටපු සාමාජිකයින්ගෙන් තොර ආන්ඩුවක් ඉල්ලා සිටින මහජන පෙලපාලිවල ඉලක්කය බවට ඔවුන් පත්ව සිටියි.

"අන්තර් වාර ආන්ඩුව සමඟ සාකච්ඡා කිරීම” පිනිස ඔබාමා පරිපාලනය, එහි ආසන්න නැගෙනහිර සහකාර රාජ්‍ය ලේකම් ජෙෆ්රි ඩී. ෆෙල්ට්මන් ටියුනිස් වෙත පිටත්කර හැරියේ, සය මසක් තුල මැතිවරනයක් පැවැත්වීමේ පොරොන්දුව ද සමඟින්ය. මෙම කුහක ප්‍රෝඩාව "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ලෙස හඳුන්වමින් වොෂින්ටනය, බෙන් අලි හැරෙන්නට පැරනි තන්ත‍්‍රයේ අන් සියලු දේට පිටුබලය දෙයි.

ටියුනිස් නගරාශ‍්‍රිතව ද පසුගිය දෙසැම්බරයේ කැරලි ආරම්භවූ රටේ පාලුවට හැර ඇති මධ්‍යම හා දකුනු කොටස්වල ද දුගී කම්කරුවන් හා තරුනයින් එන්ට එන්ටම විරෝධතා තම අතට ගැනීමත් සමඟ, ඊට එරෙහිව දැඩිකර ඇති පොලිස් මර්දනයට තාවකාලික ආන්ඩුව සහාය දෙන තත්වය හමුවේ පවා, ජෙනරාල් අමාර් "ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ” ආරක්ෂකයා ලෙස ඔවුන් පින්තාරු කරයි.

අල් ජසීරා මාධ්‍ය 26දා වාර්තා කලේ, අගමැති මොහමඩ් ගනවුචි හා බෙන් අලිගේ අනෙකුත් සගයින් ඉවත් කරන ලෙස ඉල්ලා ප.ව 8.00 ඇඳිරි නීතිය නොතකා නගර මධ්‍යයේ කඳවුරුලා සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ටියුනිස්හි කැරලි මර්දන පොලිසිය කඳලු ගෑස් ප‍්‍රහාර එල්ල කල බවයි. බොහෝ දෙනෙක් තුවාල ලත් බව වාර්තා විය.

බෙන් අලි නෙරපා හැරීමෙන් පසුව ටියුනිස්හි හා වෙනත් තැන්වලදී විරෝධතා අඛන්ඩව සිදුවන අතරතුර ප‍්‍රථම වතාවට හමුදාව, මේ සතිය මුල ආන්ඩු විරෝධීන්ට එරෙහිව කඳුලු ගෑස් භාවිතා කලේය. නැගෙනහිර ටියුනීසියාවේ ස්ෆැක්ස්හි දහස් ගනනක් පෙලපාලි දැක්වූ බව අල් අරාබියා මාධ්‍ය 26දා වාර්තා කලේය, විශ්ව විද්‍යාල ආචාර්යවරු 25දා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට ගුරුවරුන් සමඟ එකතු වූහ.

ටියුනීසියාව මෙන්ම ඇල්ජීරියාව, යේමනය හා ජෝර්දානය ද ඇතුලු අනෙකුත් අරාබි රටවල පැනනැඟුනු මහජන විරෝධතා පාලනය කර ගැනීමට දරන වොෂින්ටනයේ උත්සාහය, 25දා ඊජිප්තුවේ හටගත් බරපතල සිදුවීම් වලින් අවුල්කර තිබේ. ප‍්‍රධානකොටම රැකියා විරහිත තරුන කම්කරුවන් හා ශිෂ්‍යයින්ගෙන් සැදුම්ලත් 50,000ක් පමන වෙතැයි ගනන්බලා ඇති ජනකායක් සම්ප‍්‍රදායිකව "එක්සත් ජනපදයේ ප‍්‍රබල සගයෙකු” ලෙස සලකන ජනාධිපති හොස්නි මුබාරක්ගේ පොලිස් ආඥාදායකත්වය නොතකා ඔහුට ඉල්ලා අස්වන ලෙසත්, හදිසි නීති පාලනය ඉවත්කරන ලෙසත් ඉල්ලා විරෝධතාවයේ නිරත වූහ.

මිලිටරිය ජනාධිපති ලෙස මුබාරක් ඔසවා තැබීමට සිව් වසරකට පෙර 1977දී, රට පුරා පැතිර ගිය ආහාර කැරලි වලින් පසුව ඊජිප්තුවේ පැවති ලොකුම මහජන ව්‍යාපාරය වූයේ එයයි. කඳුලු ගෑස්, ජල ප‍්‍රහාර, රබර් උන්ඩ, කම්පන ග්‍රෙනේඞ් බෝම්බ හා බැටන් ප‍්‍රහාර යොදාගනිමින් පාලන තන්ත‍්‍රය දියත් කල මෘග පොලිස් මර්දනය හමුවේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ක්ලින්ටන් 25දා සවස ප‍්‍රකාශ කලේ තම ආන්ඩුව මුබාරක්ට සහාය දක්වන බවයි.

"අපගේ තක්සේරුව වන්නේ ඊජිප්තු ආන්ඩුව ස්ථාවර බවත්, ඊජිප්තු ජනතාවගේ නීත්‍යානුකූල ඕනෑ එපාකම් ඉටුකර දිම සඳහා එය කටයුතු කරමින් සිටින බවත් ය” යනුවෙන් ක්ලින්ටන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී වාර්තාකරුවන්ට ප‍්‍රකාශකල අවස්ථාව වන විටත් සූවස්හිදී, පොලිසිය විසින් විරෝධතා කරුවන් දෙදෙනෙකු මරාදමා තවත් බොහෝ දෙනෙකු අත්අඬංඟුවට ගෙන ඇති බව වාර්තා වී තිබේ.

මෙය වනාහි එක්සත් ජනපදය ඊජිප්තුව තුල සීමා සලකුනුකොට ඇති බවටත්, මුබාරක්ට දෙන සහයෝගය ඉවත්කර නොගන්නා බවටත් නිශ්චිත සංඥාවකි. එය, මහජන නැඟිටීම තලාදැමීම සඳහා අවශ්‍ය කුමන තරමේ හෝ බලයක් යෙදීම සඳහා පාලන තන්ත‍්‍රයට දෙන කොල එලියකට සමාන වන්නේය.

මේ සඳහා වැඩිකල් නොයනු ඇත. 26දා උදෑසන, කයිරෝහි මධ්‍යම ටාරීර් චතුරස‍්‍රයේ කඳවුරුලා සිටි දහස් ගනනක විරෝධතා කරුවන් කැරලි මර්දන පොලිසිය විසින් ප‍්‍රචන්ඩ ලෙස විසුරුවා හරින ලදී. සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් භටයින් පෙලපාලිකරුවන්ට හා මාධ්‍යවේදීන්ට පහරදී අත්අඬංඟුවට ගත්තේය.

ඒ සමග ම, ඉදිරියේදී පෙලපාලි තහනම් කරමින්, විරෝධතාකරුවන් වහාම අත්අඬංඟුවට ගන්නා බව ආන්ඩුව නිවේදනය කලේය. 26දා පසු භාගයේදී පොලිසිය, සූවස්හි 2,000ක පමන විරෝධතා කරුවන් විසුරුවා හැරීම සඳහා රබර් උන්ඩ හා බැටන් ප‍්‍රහාර එල්ල කලේය. වාර්තාවී ඇති පරිදි 350ක් පමන තුවාල ලබා ඇත.

මධ්‍යම කයිරෝහි මිනිසුන් දුසිම් ගනනක් විරෝධතා දැක්වීමට උත්සාහ කල අතර ඊජිප්තු මාධ්‍යවේදීහු තම සමිති ගොඩනැඟිල්ල අභියස පෙලපාලි දැක්වූහ. උතුරු ඊජිප්තුවේ ඇසියුට්හි විරෝධතාවක් අල් ජසීරා විසින් වාර්තාකර තිබුනි. එසේම මුස්ලිම් බ‍්‍රදර්හුඩ් සංවිධානය, තම සාමාජිකයින් 121ක් පමන නගරයේදී අත්අඬංඟුවට ගෙන ඇති බවට නිකුත් කල නිවේදනයක් ද එහි පලවිය.

තුන්වන පෙලපාලිකරුවෙක් ද පොලිසිය විසින් මරාදැමූ බවට වාර්තා පලවිය. දින දෙක තුල පුද්ගලයින් 860ක් අත්අඬංඟුවට ගෙන ඇති බව 26දා ඊජිප්තු ආන්ඩුව සනාථ කලේය. එදින ජනාධිපති ඔබාමාගේ ප‍්‍රවෘති ලේකම් රොබට් ගිබ්ස්ගෙන් එක්සත් ජනපදය මුබාරක්ට සහයෝගය දෙන්නේදැයි විමසූ අවස්ථාවේ පලවූ සන්දර්භය මෙයයි. ප‍්‍රන්ස ඒඑෆ්පී පුවත් සේවයට අනුව, ඊජිප්තුව සමීප මිතුරෙකු ලෙස තවදුරත් සිටිනු ඇතැයි ගිබ්ස් සිය පිලිතුරේදී සහතික වශයෙන්ම කියා සිටියේය.

25දා පැවැත්වූ ජනාධිපති ඔබාමාගේ රාජ්‍ය තත්ව වාර්තාවෙහි හිස්බව හා කුහකත්වය, මුබාරක්ට දෙන පරිපාලනයේ විවෘත පිටුබලය මඟින් මනාව හෙලිදරව් කෙරුනි. "අද රාත‍්‍රියේදී අප පැහැදිලි තැනක සිටිය යුතුය: ඇමරිකා එක්සත් ජනපදය ටියුනීසියානු ජනතාව සමඟ සිටියි. එසේම සියලු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අභිලාෂයන්ට සහයෝගය දෙයි.”

ටියුනීසියාවේදී බෙන් අලි පෙරලා දැමූ ආකාරයට ඊජිප්තුවේදී මුබාරක් ද බලයෙන් පහකිරීමට ඉඩ දීම සඳහා පරදුවට තැබෙන දේ ඉතා ඉහල යයි ඇමරිකානු අධිරාජ්‍යවාදය විශ්වාස කරයි. ඊජිප්තුව අරාබි රාජ්‍යයන් අතුරෙන් වඩාත්ම ජනාකීර්න හා දේශපාලනිකව වැදගත් වන රටය. එරට ඩොලර් බිලියන ගනනින් එක්සත් ජනපදයේ මිලිටරි ආධාර ලබයි. අරාබි ලෝකය තුල එක්සත් ජනපද ආධිපත්‍යයේ ප‍්‍රධාන පවුර වන්නේ එරටයි.

බෲකිංස් ආයතනයේ 2009 වාර්තාව සඳහන් කල පරිදි "ඊජිප්තුව ඇමරිකාවේ සමීප අරාබි මිතුරාය, මැද පෙරදිග එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් සඳහා එරට ප‍්‍රමුඛ මූලෝපායික සහකරුවෙක් ද අරාබි-ඊස්රායල් සාම වැඩපිලිවෙලේ ප‍්‍රධාන හවුල්කරුවෙක් ද වෙයි.”

26දා මුල් පිටුවේ ලිපියක් පලකරමින් නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය, ටියුනීසියාවේදී හා ඊජිප්තුවේදී අනුගමනය කරන එකිනෙකට වෙනස් ක‍්‍රමෝපායන් කුහක විවෘත භාවයකින් පැහැදිලි කලේය. "මූලෝපායික හා වානිජ්‍ය අවශ්‍යතා පිලිබඳ සතුරු ආකල්පයකින් යුත් අරාබි තරුනයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අභිලාෂයන් තුලනය කරමින් වොෂින්ටනය ඉතා ප‍්‍රවේශමෙන් කටයුතු කරයි. සමහරවිට එහිදී, එම තරුන ජනතාවගෙන් බොහෝ කොටසක් එක්සත් ජනපදය සමඟ විරසක කරවන ආකාරයේ, ආඥාදායක හා අපකීර්තිමත් ආන්ඩුවලට සහාය දැක්වීමට ද සිදුවෙයි.

"ටියුනීසියානු මහජන නැඟිටීමෙන් ඉක්බිතිව පසුගිය සතියේ ජනාධිපති ඔබාමා මුබාරක් මහතාට කථා කලේ, තමා ටියුනීසියානු විරෝධතාකරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අභිලාෂයන් ඉටුකිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරද්දී වුවත්, මැද පෙරදිග සාම ක‍්‍රියාවලිය වැනි ඒකාබද්ධ ව්‍යාපෘතීන් ගැන ඔහු සමඟ සාකච්ඡා කිරීමට ය.

"කලාපයේ පරිධියෙහි ඇති රටක් වන ටියුනීසියාවේ නැඟිටීම, කඩඇනයක් වන ඊජිප්තුවට සමාන නොවේ. ඊජිප්තු ආන්ඩුව වොෂින්ටනයේ අති මූලික මිතුරෙකි.”

උතුරු අප‍්‍රිකාවේ හා මැදපෙරදිග පුලුල්වන ව්‍යාපාරය, ජනතාව විප්ලවවාදී අරගල තුලට ඇදී ඒමත්, කම්කරු පන්තියේ සමාජ බලයත් පිලිබඳ බලගතු ප‍්‍රකාශනයකි. කෙසේ වෙතත්, අධිරාජ්‍යවාදයේ ද ජාතික ධනේශ්වරයේ සියලු කොටස්වල මෙන්ම, ඊනියා "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ධනේශ්වරයට කම්කරු පන්තිය බිලිදීමට කැස කවන දේශපාලන බලවේගයන් ද අතෙහි මෙම ව්‍යාපාරය, බලගතු අන්තරායන්ට මුහුනපා සිටියි.

මැදපෙරදිග කම්කරු පන්තිය, ඔබාමා පාලනය හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තමන්ගේ වඩාත්ම බලගතු සතුරා බව ද තම ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මත දැවැන්ත ප‍්‍රහාරයන්ට මුහුනපා සිටින ඇමරිකානු කම්කරු පන්තිය සිය මහම මිතුරා බවත් වටහාගත යුතුය. ඇමරිකානු කම්කරුවන් සිය අරාබි සහෝදරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත්විය යුතු අතර අරාබි ජනතාව, එක්සත් ජනපදයේ කම්කරු පන්තිය සෘජුවම ඇමතිය යුතුය.

තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පිහිටුවීමත්, නොනවතින විප්ලවයේ සමාජවාදී ඉදිරිදර්ශනයෙහි පදනම මත පීඩිත ජනතාව ඒකාබද්ධ කිරීමත් සඳහා අරාබි ලෝකය පුරා විප්ලවවාදී නායකත්වය ගොඩනැඟීමයි. මෙහි අර්ථය වන්නේ, මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංඟමයක් සඳහා අරගලයට ජනතාවන් එක්සත් කිරීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනැඟීමයි.