ඉහල නගින භාන්ඩ මිලගනන් නව වසරේ ගෝලීය ආහාර අර්බුදයක වේදිකාව සකසයි

Commodity price surge sets stage for global food crisis in new year

By Barry Grey ,31 December 2010

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හෙවත් එෆ්ඒ ඕ ආහාර මිල දර්ශකයට අනුව, 2008 ගෝලීය ආහාර අර්බුදය අවධියේ පැවති මට්ටම්වලට සමීප වෙමින්, වෙලඳාම සඳහා යොමු කෙරෙන තිරිඟු බඩඉරිඟු හා සහල් වැනි අත්‍යවශ්‍ය ආහාර මිල ජූනි සිට නොවැම්බර් දක්වා සියයට 26න් පිම්මේ ඉහල ගියේය.

දෙසැම්බර් මාසය තුල ද පැවති මෙම නැඟීම ආහාර හා මූලික භාන්ඩ මිල නව ඉහලකට තල්ලු කල අතර 2011 වසර තුල තවදුරටත් ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2008 වසරේ ආහාර මිල වාර්තාගත මට්ටම් කරා ලඟාවෙද්දී අඩුම තරමින් රටවල් දුසිමකවත් කැරලි හටගත්තේය. ලෝකය පුරා මිලියන සියගනනක් ජනතාව ගැඹුරුවන අවපාතය හා ආන්ඩුවල කප්පාදු වැඩ සටහන්වල බලපෑම නිසා හෙම්බත්ව සිටින අතර නව මිල ඉහල නැගීම දුප්පත්කම හා සමාජ කාලකන්නිකම නව වටයකින් උග‍්‍ර කරමින් තව තවත් පුලුල් පරිමානයකින් සමාජ නොසන්සුන්තාවය පතුරුවනු ඇත.

එෆ්ඒ ඕට අනුව 2010 වසරේ ලෝකය පුරා මිලියන 925ක ජනතාවක් සාගින්නෙන් පීඩාවට පත්වූහ. එය 1995-97 පැවතුනාට වඩා මිලියන 150න් වැඩි සංඛ්‍යාවකි. ඊනියා සංවර්ධනය වන රටවල ලමුන්ගෙන් තුනෙන් එකක් මන්ද පෝෂනයෙන් පෙලෙති.

පාරිභෝගික භාන්ඩ මිල ගනන්වල පුපුරනසුලු නැගීමට තල්ලුව දී ඇත්තේ, ප‍්‍රධාන කෙටිකාලීන පොලී අනුපාත බිංදුවට ආසන්න මට්ටමක පවතින යුරෝපයේ, ජපානයේ හා සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ මධ්‍යම බැංකු හා ආන්ඩුවල ලාභ නය ප‍්‍රතිපත්තියයි. මෙම ප‍්‍රතිපත්ති, වඩාත් තීරනාත්මක ලෙස එක්සත් ජනපද මහ බැංකුව නව වටයකින් ආරම්භ කල ඊනියා "ප‍්‍රමානාත්මක ලිහිල්කිරීම,” සැලසුම්කරනු ලැබුවේ, බැංකු හා සමාගම් වලට මුලුමනින්ම පාහේ නොමිලයේ නය සැපයීම මඟින් ජාතික කොටස් වෙලඳපොලෙහි හා ව්‍යාපාරයන්ගේ ලාභ ඉහල නැංවීම සඳහා ය.

ඩොලර් නෝට්ටු මුද්‍රනය කිරීමට මඟ පාදමින් ඩොලර් බිලියන 600ක එක්සත් ජනපද භාන්ඩාගාර සුරැකුම්පත් තමන් මිලයට ගන්නා බව එරට මහ බැංකුව නොවැම්බරයේ නිවේදනය කරන ලදී. මෙම ලාභ ඩොලර් ප‍්‍රතිපත්තිය, ලෝකයේ මූලික වෙලඳාම හා සංචිත මුදලේ පදනම් වෙනස්කිරීම කෙරේ බලපා ඇති අතර එමගින් ලෝකය පුරා උද්ධමනකාරී පීඩනයන් අවුලුවමින් වේගවත් වර්ධනයක් හා ඉහල පොලී අනුපාතයන් සහිත නැගීඑන ආර්ථිකයන් තුලට ක්ෂනික මුදල් ගලායාම වේගවත් කර තිබේ.

මෙහි බලපෑම බෙහෙවින් අස්ථාවරකාරී වන අතර ගෝලීය ආර්ථික අසමතුලිතතාවයන් උග‍්‍ර කරයි. එය, බැංකුවලට හා ආරක්ෂිත අරමුදල් වලට භාන්ඩ මිලගනන් මත සමපේක්ෂනයේ යෙදීම සඳහා දිගු දර්ශන පථයක් ද විවරකර තිබේ.

එක්සත් ජනපදයේ පමනක් සමාගම් හා බැංකු විසින්, නිෂ්පාදනය හා ශ‍්‍රම සැපයුම සඳහා ආයෝජනය කිරීමට නොයොදවා රඳවාගෙන සිටින ද්‍රවශීල මුදල් සංචිතවල අගය ඩොලර් ටි‍්‍රලියන 3ක් පමන වේ. ගෝලීය මුදලින් සැලකිය යුතු පංගුවක් හිලව් කරන්නේ තෙල්, තඹ, කපු, රත්රන් හා රිදී වැනි දේ මෙන්ම තිරිඟු, බඩඉරිඟු, සහල් හා සෝයා බෝංචි වැනි අත්‍යවශ්‍ය ආහාර මිලගනන් පිම්බීමට ය.

ස්වාභාවික විපත් ද ක‍්‍රියා කලාපයක් ඉටු කරයි. කලු මුහුද ආශ‍්‍රිත කලාපයේ නියඟය 2010 වසරේ රුසියාවේ තිරිඟු අස්වැන්න තුනෙන් එකකින් අඩු කලේය. ආර්ජන්ටිනාවේ හා ධාන්‍ය අපනයනය කරන අනෙකුත් ලතින් ඇමරිකානු රටවල අනියම් ලෙස පැවති උෂ්න හා වියලි කාලගුනය හේතුකොටගෙන, ලෝක වෙලඳපොලේ තිරිඟු බඩඉරිඟු හා සෝයා බෝංචි තොග තවදුරටත් පහත හෙලීමේ තර්ජනය මතුකරයි.

කෙසේ වෙතත් එවන් ස්වාභාවික සාධක, ගෝලීය ආර්ථිකය කරෙහි ජාතික බෙදීම්වල බලපෑම මගින් උග‍්‍රකෙරෙයි. රුසියාව තම ධාන්‍ය අස්වනු පාලුව කෙරෙහි ප‍්‍රතිචාර දැක්වූයේ තිරිඟු අපනයන තහනම් කිරීමෙන් ය. එලෙස ම ඉන්දියාව රතුලූනු නිර්යාත මත තහනමක් පැනවීය. එවන් පියවරයන්ගේ ප‍්‍රතිපලය ලෝක පරිමානව මිලගනන් ඉහලට තල්ලු කිරීමේ පීඩනය දැඩිවීමයි.

බඩඉරිඟු මිල ඉහල නැඟීමට බලපෑ ප‍්‍රධාන සාධකය වූයේ එක්සත් ජනපදයේ බඩඉරිඟු නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් 2010 වසරේදී වඩා ලාභදායී මෙතනෝල් නිෂ්පාදනය සඳහා යෙදවීමයි.

2009 වසරේ ගෝලීය වෙලඳපොලවල තිරිඟු හා බඩඉරිඟු මිල සියයට පනහකින්ම වාගේ ඉහල ගියේය. මේ සතියේදී තිරිඟු මිල, දෙවසරක කාලය තුල එහි ඉහලම මට්ටමට ලඟාවිය. එක්සත් ජනපද සෝයා බෝංචි අනාගත තොග මිල, අගෝස්තු මාසයේ පටන් වේගයෙන් ඉහල යන අතර බඩඉරිඟු මිල වසර අවසන්වන විට මාස 29ක් තුල එහි ඉහලම අගය කරා ලඟාවිය.

වෝල් ස්ටී‍්‍රට් ජර්නලය දෙසැම්බර් 24දින වාර්තාකල පරිදි, "විශ්ලේෂකයන් කියන්නේ, 2011 වසර ඇරඹෙන විට දර්ශක අරමුදල් තව තවත් මුදල් කෘෂිකාර්මික භාන්ඩ කරා හරවනු ඇති බවට වෙලඳුන් ගනන් බලන බවයි. එමගින් මිල ගනන් තවත් ඉහලට තල්ලු කරන බවයි.”

එක්සත් ජනපදයේ සෝයා බෝංචි වැනි භාන්ඩ වෙලඳාමේ ප‍්‍රමුඛයෙක් වන බන්ජ් සමාගමේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ ඇල්බටෝ වෙයිසර් දෙසැම්බර් 29 ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසීය. ධාන්‍ය හිඟ තත්වය එලඹෙන වසරේද පවතිනු ඇත. ”මම සිතන්නේ ඉදිරි මාස දොලහ තුල මිලගනන්වල අස්ථායීතාව ඔබට දැකගත හැකිය කියාය.”

සමස්තයක් වශයෙන් පසුගිය සය මාසය පුරා ලෝක භාන්ඩ මිල ගනන් සියයට 25න් ඉහල ගොස් තිබේ. දෙසැම්බර් 27 ජර්නලයට අනුව, යුරෝපීය නය අර්බුදය හා මහ බැංකුවේ (එක්සත් ජනපද) ලාභ ඩොලර් ප‍්‍රතිපත්තිය "ආයෝජකයින් සීමිත වත්කම් කරා තල්ලූකර තිබේ.”

මාස 26කට පසු තෙල් මිල දැන් එහි ඉහලම අගය වන බැරලයක් ඩොලර් 90ට පැමින තිබේ. තෙල් මිලෙහි තියුනු නැඟීම ආහාර හා අනෙකුත් භාන්ඩ ප‍්‍රවාහනයේ වියදම් වැඩිකර ඇත.

එක්සත් ජනපදයේ තෙල් මිල ජාතික වශයෙන් පිරවුම් මධ්‍යස්ථානයේදී ගැලුමකට ඩොලර් තුන දක්වා වැඩිවී ඇතැයි ඇමරිකානු ඔටෝමොබයිල් සංඟමය කියා සිටියි. මෙය වසරකට පෙර තිබුනාට වඩා ශත 40න් ද මාසයකට පෙර තිබුනාට වඩා ශත 20න් ද වැඩිවීමකි.

පසුගිය 29දා සීබීඑස් ජාලයේ "හිමිදිරි වැඩසටහනට” කථාකරමින් ෂෙල් සමාගමේ හිටපු සභාපති ජෝන් හොප්මෙස්ටර්, 2012 වන විට තෙල් ගැලූමක මිල ඩොලර් 5දක්වා නඟිනු ඇතැයි අනතුරු ඇඟවීය.

28දා දෙවන දිනයටත් එක්සත් ජනපදයේ තඹ මිල වාර්තාගත මට්ටමකට ලඟාවිය. තඹ මිල ජූනි මාසයේ පටන් සියයට 57න් ද දෙසැම්බර් මාසයේදී පමනක් සියයට 13න් ද ඉහල නැඟුනි.

මේ සතියේ රත්රන් අවුන්සයක් එහි වාර්තාගත මට්ටමේ ඩොලර් 1,400ක පැවතුනි. මේ වසර තුල එය සියයට 26න් ඉහල ගියේය.

භාන්ඩ මිල වැඩිවීමේදී සමපේක්ෂනය ඉටුකරන ක‍්‍රියාකලාපය ඉස්මතු කරමින් වෝල් ස්ටී‍්‍රට් ජර්නලය 27දා දැවැන්ත ලෙස රිදීමිල වැඩිවීම පිලිබඳව මුල් පිටුවේ ලිපියක් පලකලේය. උද්ධමනයට පෙර වටිනා ලෝහයේ මිල පසුගිය මාස හතර තුල 30 අවුරුදු වාර්තාගත මට්ටම් කරා සියයට 51න් වැඩිවිය. එහි මිල 2010 මුල තිබුන ට්‍රෝයි අවුන්සයක් ඩොලර් 16.822 ක සිට පසුගිය සතිය අවසන්වන විට ඩොලර් 29.31 තෙක් සියයට 74න් ඉහල ගියේය.

භාන්ඩ මිලෙහි පොදු නැඟීම පිලිබඳව ජර්නලය මෙසේ සඳහන් කලේය. "අධි සැපයුම ද කාර්මික ඉල්ලුමේ මන්දගාමී ස්වභාවය ද නොතකා මිල ඉහල යමින් තිබේ. බොහෝ විශ්ලේෂකයින් බලාපොරොත්තු වූයේ එම සාධක 2010 වසරේ මිල ගනන් වලට ඇබයක් වනු ඇති බවයි. ඔවුන් අපේක්ෂා නොකලේ, භාන්ඩ මිල රැල්ලක් දිවවීමට උත්සුකවූ ආයෝජකයින් වෙලඳපොලට ඉහවහා යන පරිදි මුදල් පොම්පකිරීමකි.”

පුවත්පත "මෙය මුලුමනින්ම වාගේ ආයෝජන පිලිබඳ කාරනාවක්” යයි සඳහන් කල, බීඑන්පී පැරිබාස්හි ලෝහ පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු වන ස්ටෙෆන් බි‍්‍රග්ස් උපුටා දක්වීය.

වොෂින්ටනයේ ලාභ ඩොලර් පිලිවෙතෙහි බලපෑම, චීනය විසින් ප‍්‍රමුඛත්වය දරන ඊනියා "නැඟී එන ආර්ථිකයන්” තුලදී වඩාත් සෘජු ලෙස දැනෙන්නට පටන් ගෙන තිබේ. බටහිර සමපේක්ෂන මුදල්, චීන භාන්ඩ මිලගනන් මත විශේෂයෙන්ම නිවාස පිරිවැය මත, රුදුරු වින්නැහියක් වී ඇත. එක්සත් ජනපදයේ නිවාස මිල ගනන් මේ දශකයේ සාමාන්‍ය ඉපැයීම් වලින් 6.4 ගුනයක් බවට පත්වී ඇත. බීජිනයේ නිවාස මිල සාමාන්‍ය ඉපැයීම් වලින් 22 ගුනයකි.

නොවැම්බරයේදී චීන පාරිභෝගික මිල ගනන් සියයට 5.1න් ඉහල ගිය අතර උද්ධමනය වැලැක්වීමේ පියවරක් වශයෙන් චීන මහජන බැංකුව (මහ) 26දා සති 10ක් ඇතුලත දෙවන පොලී අනුපාත වැඩිකිරීම නිවේදනය කලේය. මෙම තත්වය, ලෝක පරිමානයෙන් ආර්ථික වර්ධනය රිනාත්මක අගයකට ඇදවැටීම වැලැක්වීමට දරන උත්සාහය කඩාකප්පල් කරන ප‍්‍රධාන සාධකය වන එක්සත් ජනපද, යුරෝපීය හා ජපාන වර්ධනයේ රක්තහීනතාවය හමුවේ, චීන ආර්ථික වර්ධනය පහත හෙලීමේ තර්ජනය මතු කරයි.

කෘෂි ව්‍යාපාරයටත්, සමපේක්ෂකයින්ටත් ඉමහත් ලාභ ගෙන එන හා මිලියන ගනන් සාමාන්‍ය ජනතාවට කියා නිමකල නොහැකි වේදනාවන් ගෙන එන ආහාර මිලෙහි වැඩිවීම, ධනේශ්වර වෙලඳපොලේ ද ලාභය සඳහා නිෂ්පාදනයේ ද සමාජීය වශයෙන් ව්‍යසනකාරී ස්වභාවය පෙන්නුම් කරයි.

the WSWS |