තිරුපූර් සිය දිවි නසා ගැනීම්: ඉන්දියාවේ ධනවාදී සූරාකෑමේ මානුෂික පිරිවැය

Tirupur suicides: The human cost of India’s capitalist expansion

By a WSWS reporting team,31 December 2010

2010 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ දෙවසර තුල ඇඟලුම් කම්කරුවන්, ඔවුන්ගේ සැමියන් බිරින්දෑවරුන් හෝ දරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සියදිවි නසා ගැනීමට තුඩුදුන් කොන්දේසි විමසා බැලීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ කන්ඩායමක් ඇඟලුම් නිෂ්පාදනය නිසා වේගයෙන් දියුනුවන දකුනු ඉන්දියානු නගරයක් වන තිරුපූර්වලට ගියහ.

අපි මුලින්ම යන්ත‍්‍ර කි‍්‍රයාකරුවකු වූ 25 වියැති ගව්තම්ගේ ඥාතීන්ට කතා කලෙමු. ඛේදාන්තක තත්වයන් යටතේ ඔහු සහ ඔහුගේ බිරිඳ ප‍්‍රියා මෑත දී සිය දිවි නසා ගත් ආකාරය ඔවුහු අපට විස්තර කලහ. පසුගිය සැප්තැම්පර් 14 දා ගව්තම් එනවිට ඔහුගේ බිරිඳ කඹයකින් සීලිමේ එල්ලී සිටින ආකාරය ඔහු දුටුවේය. වසර දෙක හමාරකට පෙර පෙමින් බැඳුන ඔහුගේ බිරිඳගේ සියදිවි නසා ගැනීමෙන් කම්පනයට පත් ගව්තම් සිය දෙමාපියන්ගේ නිවසට ගොස් වස පානය කලේය.

ඔවුන් විසින් මුදල් නයට ගෙන තිබුනි. නයට මුදල් දෙන්නන් විසින් මේ දෙපලට නිරන්තරව කරදර හිරිහැර කරනු ලැබීය. මුදල් නයට දෙන්නන් විසින් කුලියට ගනු ලැබූ මැරයෝ ගව්තම් නිවසේ නැති අවස්ථාවල දී ප‍්‍රියාට නිරන්තර හිරිහැර කරනු ලැබූහ. පීඩනය තව දුරටත් දරා ගත නොහැකිව ප‍්‍රියා සියදිවි නසා ගත්තා ය. දැන් පි‍්‍රයාගේ සහ ගව්තම්ගේ දෙමව්පියන්ට කිසිම හව්හරනක් නැති අවුරුදු එකහමාරක් වයසැති ඔවුන්ගේ දරුවා රැක බලා ගැනීමට සිදුව තිබේ.

සාමිනාදන් නම් වූ තවත් කම්කරුවෙකු සිය දිවි නසා ගැනීමට පෙර පහත සඳහන් ලිපිය ලියා තැබුවේය.

"මා තිරුපූර්වලට පැමින වසර 32ක් ගතවී තිබේ. මූලිකව මගේ නය ප‍්‍රමානය රුපියල් (ඉන්දියානු) 21,000කි. පසුගිය මාස හතර තුල මට නය ගෙවා ගැනීමට නොහැකි විය. මේ නිසා මම ලැජ්ජාවටත් වේදනාවටත් පත්වීමි. මට තව දුරටත් ජීවත් වීමේ ආශාවක් නැත. මේ කාලකන්නි භාවයෙන් මිදෙන්නේ කෙසේදැයි මම නෙදනිමි. නොදන්නා තැනකට යන ගමනක් මම ආරම්භ කර ඇත්තෙමි. මට මගේ දරුවන් ගැන ප‍්‍රශ්නයක් නැත. මගේ බාල දුව විවාහයක් කර ගැනීම මගේ එකම පැතුමයි.”

තිරුපූර්වල ඇඟලුම් කර්මාන්ත ශාලාවක කටර් අංශයේ කම්කරුවෙකු වූ 26 හැවිරිදි අමීර් ට ද මුදල් නයට දෙන්නන් ගේ හිරිහැර නිසා වස පානය කිරීමට සිදුවිය. ඔහුගේ සහෝදරියගේ විවාහය සඳහා ඔහුට මුදල් නයට ගැනීමට සිදු විය. ඉක්බිතිව නය වාරික ගෙවා ගැනීමට නොහැකි වීම නිසා නය මුදල සීග‍්‍රයෙන් ඉහල ගියේ ය.

තවත් ඇඟලුම් කම්කරුවකු වූ 27 වියැති සෙල්වම්ට සියදිවි නසා ගැනීමට සිදුවූ තත්වයන් ගැන ද අපට දැනගැනීමට ලැබුනි. අනතුරකින් සෙල්වම්ගේ අත බිඳුනේය. සුවවීමෙන් පසු වැඩටගියත් හාම්පුතා ඔහුට වැඩ දීම ප‍්‍රතික්ෂේප කලේය. වෙනත් රැකියාවක් සොයා ගැනීමට ඔහුට නොහැකි විය. ආදායමක් නැති නිසා ඔහුට ඔහුගේ බිරිඳ, අවුරුදු හයක දියනිය සහ ලදරු පුතාගෙන් වෙන් වීමට සිදු විය. ඉක්බිතිව ඔහු ක්ෂනිකවම සිය දිවි නසාගත්තේ ය.

තිරුපූර් ඇඟලුම් කම්හලක කටර් කෙනෙකු වන 27 වියැති ඊබ‍්‍රහිම් ඔහු සහ සෙසු ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් මුහුන දෙන කොන්දේසි පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලේය.

"අපට ලැබෙන්නේ සොච්චම් වැටුපක් නිසා අපගේ පවුල්වල මූලික අවශ්‍යතාවයන් සඳහා වත් ප‍්‍රමානවත් මුදලක් අපට නැහැ”යි ඊබ‍්‍රාහිම් පැවසුවේය. "අප බොහෝ පැය ගනනක් වැඩ කරනව. සමහර විට පැය 12, 16 හෝ පැය 24ක් දවසකට වැඩ කරනවා වැඩිපුර යමක් උපයා ගන්න. මේ නිසා අපගේ පවුල් සාමාජිකයින් සමග ගත කිරීමට හෝ දරුවන් සමග සෙල්ලම් කිරීමට අපිට වේලාවක් නැහැ. මෙහෙ අපට ආන්ඩුවේ රෝහල් හෝ සේවක රාජ්‍ය රක්ෂන රෝහල් නැහැ. ජීවිතයට තර්ජනයක් වන ශාරීරික රෝගයක් තිබුනත් දැරිය හැකි මිලකට මෙහි අපට වෛද්‍ය පහසුකම් නැහැ. පෞද්ගලික සායනයකට හෝ පෞද්ගලික රෝහලකට යාමට නොහැකි වීම නිසා බොහෝ අයට ජීවිත අහිමි වුනා.

"අප වහල්ලුන් වගේ. මධ්‍යම රජයේ හෝ ප‍්‍රාන්ත රජයේ කවර දේශපාලන පක්ෂයක් බලයට පත්වුනත් අපගේ දුක්ඛිත තත්වයට විසඳුමක් නැහැ. අපේ තත්වය වෙනසක් වෙන්නේ නැහැ. කිසියම් විශේෂ ආගමක් හෝ කුලයක් අපට ආහාර සපයන්නේ නැහැ. කුලය ආගම හා භාෂාව ඉක්මවා යමින් කම්කරුවන් ලෙස අප එකමුතු විය යුතුයි.”

තිරුපූර්වල මනෝගතිය පිලිබඳව නිසැකවම බලධාරින් දැනුවත් ය. අප නගරයට ගිය දවසේ මාවෝවාදීන් සොයන බව පවසමින් පොලීසියේ දහස් ගනනක් ගෙයින් ගෙට පරීක්ෂා කිරීමක නිරත වූහ. එහි සැබෑ අරමුන වුනේ විරෝධතාවයක් සැලසුම් කර ඇති ආසන්නයේ ඇඟලුම් –කම්කරුවන් බිය වැද්දීම ය.

නූල් අපනයනය මත සීමාවන් පනවන ලෙස ආන්ඩුවට බල කරමින් හාම්පුතුන් සහ කම්කරුවන්ට හිතවත් බවක් මවා පෙන්වන ස්ටැලින්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය වැනි සංවිධාන විසින් විරෝධතාව සංවිධානය කර තිබුනත් කම්කරුවන් ස්වාධීනව කි‍්‍රයාකරනු ඇතැයි නිසැකවම සැලකිලිමත් වූහ. මෑත මාසවල දී තමිල්නාඩුවේ සටන්කාමී වර්ජන හා ෆැක්ටරි වාඩිලා ගැනීම් මාලාවක් සිදු විය.