යුරෝ කලාපීය හදිසි සමුලුව එලඹෙද්දී ආතතීන් තියුනු වෙයි

Fierce tensions in run-up to euro-zone emergency summit

By Peter Schwarz, 21 July 2011

අද බ‍්‍රසල්ස්හිදී පැවැත්වීමට නියමිත යුරෝ කලාපීය හදිසි සමුලුව යුරෝ මුදලේ මෙන්ම යුරෝපීය සංඟමයේ ද අනාගතය සම්බන්ධයෙන් තීරනාත්මක බව බොහෝ නිරීක්ෂකයින්ගේ අදහසයි. ඔවුන්ට අනුව එක්රැස්වන රාජ්‍ය හා ආන්ඩු නායකයින් යුරෝපීය නය අර්බුදය ජයගැනීමේ තීරනාත්මක පියවර ගැනීමට එකඟ නොවුනහොත් පොදු මුදලට එරෙහි සමපේක්ෂනයේ තවත් වටයක් ද යුරෝ මුදල අඩපන වීම හා යුරෝපීය සංඟමය බිඳී යාමේ තර්ජනය ද මතුවනු ඇත.

වෝල් ස්ටී‍්‍රට් ජර්නලය මෙසේ පවසයි: "සිය සාමාජිකයින්ගේ මූල්‍ය ගැටලු පිලිබඳ යුරෝ කලාපයේ මූලෝපාය කැබලිතිවී ගොසින්ය. 21දා ඔවුන් හමුවන විට වඩා සාර්ථක විකල්පයක් ඉදිරිපත්කර ගැනීමට නායකයින්ගේ කැමැත්ත හා හැකියාව පිලිබඳ කිසිදු නිශ්චිත භාවයක් ඇත්තේ නැත. ඔවුන් අසමත් වුවහොත් මූල්‍ය කලාපය ගොඩඑනු නැත.”

ෆිනෑන්ෂල් ටයිම්ස් මෙසේ ප‍්‍රකාශ කරයි: "යුරෝව සඳහා සටන මුලුමනින්ම වාගේ අතිශය අන්තරායකාරී අදියරකට පිවිසෙමින් තිබෙන බව දැන් පැහැදිලිය. යුරෝපය මුහුන දෙන්නේ හුදෙක් කුඩා මනාව හිරු එලිය පතිතවන මධ්‍යධරනී රාජ්‍යයක ද්‍රවශීලතා ගැටලුවකට නොව, යුරෝපීය මූල්‍ය සංඟමයේම පද්ධතිමය අර්බුදයකටය.”

බි‍්‍රතාන්‍ය මූල්‍ය පුවත්පත මෙසේ ද පවසයි, "යුරෝපීය දේශපාලන හා ආර්ථික ඒකාග‍්‍රකරනයේ පශ්චිම 1945 ව්‍යාපෘතියේ කිරුල ලෙස යුරෝව නැඟී සිටියේය. මෙම කුලුන ඉවත් කරන්න, එවිට ඉතිරි ගෘහ නිර්මානයට මෙන්ම ලෝකය තුල යුරෝ සංඟමයේ බලපෑමට ද කුමක් සිදුවිය හැකිදැයි නොකිය යුතුය.”

ආර්ථික විද්‍යා මහාචාර්ය හා යුරෝ සංඟමයේ උපදේශක ස්ටෙෆන් කොලිග්නන් මෙම තත්වය පලමු ලෝක සංඝ‍්‍රාමයේ සැඳෑ කාලය සමග පවා සසඳයි. "යුරෝපය දැන් සිටින්නේ 1913 ට සමාන තත්වයකයි. කිසිවෙකුටත් පලමු ලෝක යුද්ධය අවශ්‍ය වූයේ නොවේ. එහෙත් අදක්ෂ භාවය හා දුර නොදක්නා බව නිසා සියල්ලෝම එය තුලට තල්ලූවී ගියහ.” ඩි වෙල්ට් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු එසේ පැවසීය.

සමුලුවට පූර්වයෙන් පැවතුනේ නාටකීය සති දෙකකි. ගී‍්‍රසිය, අයර්ලන්තය හා පෘතුගාලයේ උග‍්‍ර නය බරින් මිරිකී සිටින යුරෝ කලාප සාමාජිකයින්ගේ ආන්ඩු කුරිරු කප්පාදු වැඩසටහන් තුලින් දක්කන අතර මූල්‍ය වෙලඳපොලවල් හා නය වර්ගීකරන ආයතන පීඩනය දැඩි කරමින් මෙම තත්වය ඉතාලිය, ස්පාඤ්ඤය හා යම් තාක් දුරට ප‍්‍රන්සය ද වැනි එහි ප‍්‍රධාන සාමාජික රටවල් කරා ද ගෙන ගියහ.

ග‍්‍රීක ආන්ඩුවෙහි වසර දෙකේ බැඳුම්කරයන් සඳහා ගෙවිය යුතු ප‍්‍රතිලාභ සියයට 42 තෙක් ඉහල ගියේය. වෙනත් වචන වලින් කිවහොත්, යුරෝ සංඟමයෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) නොව විවෘත වෙලඳපොලෙන් මුදල් නයට ගන්නේ නම් ග‍්‍රීසියට ඒ සඳහා සියයට 42ක පොලියක් ගෙවීමට සිදුවන බවයි. කප්පාදු පියවර ගනිමින් සිටියදී ම ග‍්‍රීසියේ මුලු නය නොකඩවා ඉහල නඟියි. ඊට හේතුව කප්පාදු වැඩසටහන් හා එරට යුරෝපීය ගැලවීමේ අරමුදලෙන් ලබාගන්නා අරමුදල් සඳහා ගෙවිය යුතු සාපේක්ෂ ඉහල පොලී අනුපාත නිසා අවුලුවන අවපාතයයි.

2013 වන විට ග‍්‍රීක රාජ්‍ය නය එරට දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 175 දක්වා නඟිනු ඇත. එරට බදු ආදායමෙන් සියයට 27ක් නය සඳහා පොලිය ලෙස පමනක් ගෙවීමට සිදුව තිබේ. මෙම වාතාවරනය හමුවේ නය උගුලෙන් ගැලවීම කල නොහැකි දෙයකි. බංකොලොත් වීමෙන් ගැලවීගත හැක්කේ නය කපා හැරීමෙන් හෝ නය ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් පමනි. කෙසේ නමුත් එවන් දෙයක් සිදුවිය යුත්තේ කෙසේ ද යන්න මත යුරෝපීය ආන්ඩු දරුනු ලෙස බෙදී සිටිති.

ජාමූඅ ආදර්ශමත් සිසුවා ලෙස සලකන අයර්ලන්තය, 2011 මුල් කාර්තුවෙහි ප‍්‍රබල ආර්ථික වර්ධනයක් අත්කරගත් නමුදු විවෘත වෙලඳපොලෙන් ගන්නා නය සඳහා එරටට ද පෙරදීට වඩා ඉහල පොලියක් ගෙවීමට සිදුව තිබේ.

ඉතාලි පාර්ලිමේන්තුව පසුගිය සතියේ යුරෝ බිලියන 79ක කප්පාදු පැකේජයක් අනුමත කලේවී නමුත් මේ සතිය මුල ඉතාලි හා ස්පාඤ්ඤ ආන්ඩුවල බැඳුම්කර පොලිය තියුනු ලෙස ඉහල ගියේය. දෙරට සඳහා ම පොලී අනුපාතය සියයට 6ට වඩා ඉහලින් පවතියි. එය සියයට 6.5කට වඩා ඉහල ගියහොත් නය පාලනය කරගත නොහැකිවන බවට ගනන් බලා තිබේ.

පොලී අනුපාත වැඩිවීමත් සමග මූල්‍ය වෙලඳපොලවල් බහු බිලියන නව යුරෝ මුදල් පැකේජයක් ඉදිරිපත් කල යුතු යයි බැංකු යුරෝපීය ආන්ඩු මත යොදන පීඩනය දැඩි කරමින් සිටියි. මෙය නයගැති රටවලට "ඇපදීමේ පියවරක්” ලෙස නිල වශයෙන් නම්කර තිබෙන නමුත් යථාර්තයේදී අරමුදල් කෙලින්ම ගලායනු ඇත්තේ බැංකු හා මූල්‍ය ආයෝජකයින්ගේ ගිනුම් වලටය.

ග‍්‍රීසිය සම්බන්ධ කාරනයේදී මෙය මනාව පැහැදිලිය. ජාත්‍යන්තර "ආධාර” වලින් රට ගලවා ගන්නවා වෙනුවට එය විනාශ කර තිබේ. විරැකියාව, නිවාස නොමැතිකම හා සාගින්න නාටකාකාර ලෙස ඉහල ගොස් ඇත. ඇතන්ස්හි පැන්ටියොන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සවාස් රොබෝලිස් නිගමනය කරන්නේ කම්කරුවන්ගේ හා විශ‍්‍රාමිකයින්ගේ ජීවන තත්වයන් 2008 සමග සසඳන කල 2015දී සියයට 40න් පහත වැටෙනු ඇති බවටය.

800,000ක් වන රැකියා විරහිතයින්ගෙන් දැන් රජයේ සහන සඳහා හිමිකම් ලබන්නේ 280,000ක් දෙනා පමනි. අන් අය අසරන භාවයට පත්ව ඇත. අගනුවර නිවාස අහිමි සංඛ්‍යාව හතරෙන් පංගුවකින් ඉහල ගොස් ඇත. ඇතන්ස් නුවර මධ්‍යයේ පමනක් සෑම දිනකම 4,000ක් දෙනා පන ගැටගසා ගන්නේ ඕතඩොක්ස් පල්ලියෙන් පවත්වාගෙන යන සුප් මධ්‍යස්ථානයේ සුප් ආහාරයට ගැනීමෙනි. රටේ අවශේෂ ප‍්‍රදේශවල එවන් තවත් මධ්‍යස්ථාන සිය ගනනක් ඇත.

960,000ක් පමන වන ග‍්‍රීක ව්‍යාපාර වලින් 930,000ක් වන සිව් දෙනෙකුට වඩා සේවකයින් නොමැති කුඩා ව්‍යාපාර අඩපන වී ඇත. පසුගිය වසරේදී ඒවායින් 60,000ක් පමන වැසී ගියේය. මෙම වසරේදී ද යලිත් එවන් ප‍්‍රමානයක් වැසී යනු ඇත.

ජාත්‍යන්තර ඇප අරමුදල් යොදාගනු ලබන්නේ ග‍්‍රීක ජනතාවට ආධාර කිරීම පිනිස නොව, නය අලුත් කිරීම පිනිස ය. බැංකු හා ප‍්‍රමුඛ ආයෝජකයෝ දැනටමත් සිය නය සඳහා අධි අවදානම් පාරිතෝෂික රැස්කරමින් පූර්න ගෙවීම් ලබාගන්නා අතර අලුත් නයවල අවදානමෙන් විශාල පංගුවකට කර ගසන්නේ යුරෝ කලාපීය රටවල රජයේ භාන්ඩාගාර ය. යුරෝපීය මධ්‍යම බැංකුව ද පුද්ගලික බැංකු අවදානමෙන් මුදා හරිමින් ග‍්‍රීක ආන්ඩුවේ බැඳුම්කර මිලට ගැනීම පිනිස විශාල මුදලක් වැයකර තිබේ.

මූලධර්මයක් වශයෙන් සියලු යුරෝපීය ආන්ඩු, 2008 මූල්‍ය බිඳවැටීමෙන් පසුව බැංකු ඇපදීම් මඟින් බොහෝ කොටම නිර්මානය කල හිඟයන් පියවීම පිනිස බැංකුවල ඉල්ලීම් වලට අනුගතව යුරෝ බිලියන ගනනින් යුත් නව ගැලවීමේ පැකේජයන් ඉදිරිපත් කල යුතු බවට එකඟ වෙති. එහෙත් ඒවායේ බර දැරිය යුත්තේ කවුරුන් ද යන ප‍්‍රශ්නය යුරෝපීය සංඟමය පුපුරවා හැරීමට තර්ජනය කරන ගැඹුරු ආතතීන් හා ගැටුම් වලට තුඩුදී ඇත.

සියල්ලටත් වඩා ජර්මානු ආන්ඩුව සමග නෙදර්ලන්තය, ඔස්ටි‍්‍රයාව හා ෆින්ලන්තය වැනි සමහර ධනවත් රටවල් ග‍්‍රීසිය සඳහා තව තවත් ඇප දීමේ පැකේජ සඳහා කොන්දේසියක් ලෙස පුද්ගලික නයහිමියන්ගේ සහභාගිත්වයේ අවශ්‍යතාව ඉදිරිපත් කරති. මෙය යොමුවී ඇත්තේ බැංකුවලට එරෙහිව නොව වියදමේ තමන් දැරිය යුතු පංඟුව අඩුකර ගැනීම සඳහා ය. ආර්ථික වශයෙන් ශක්තිමත්ම රට ලෙස ජර්මනියට යුරෝ කලාපයේ රාජ්‍යයන් ගලවාගැනීමේ පැකේජයන්ගේ පිරිවැයෙන් හතරෙන් එකකට කරගැසීමට සිදුව තිබේ. ග‍්‍රීසිය බංකොලොත් වීමේ තත්වයකදී ආන්ඩුව විසින් ඇපදෙනු ඇතැයි සැලකෙන ජර්මානු බැංකු ප‍්‍රන්සය වැනි අනෙකුත් රටවල සිය සහකරුවන්ට වඩා ග‍්‍රීක නයෙන් උසුලන්නේ කුඩා පංඟුවකි.

තමන් පිරිවැයේ වැඩි කොටසකට බැඳීමට ඉඩ ඇති අනෙකුත් පියවරයන්ට ද ජර්මනිය හා ඇගේ මිතුරෝ විරුද්ධ වෙති. නිදසුනක් ලෙස ග‍්‍රීසියට අඩු පොලී අනුපාතික යටතේ අරමුදල් කරා පිවිසීමට ඉඩ සැලසෙන පොදු යුරෝපීය බැඳුම්කරයන් ලෙස "යුරෝ බැඳුම්කර” නිකුත් කිරීම ඔවුන් ප‍්‍රතික්ෂේප කරන්නේ එමඟින් තම රටවල දේශීය පොලී අනුපාතික සුලු වශයෙන් ඉහල නැඟීමේ ඉඩකඩ නිසාය.

කෙසේ වෙතත් තමන් සමපේක්ෂනයේ සුලිය තුලට ඇදගනු ඇතැයි යන බිය නිසා ප‍්‍රන්සය හා ඉතාලිය එවන් යුරෝ බැඳුම්කර නිකුතුවට මනාප වෙති. ඉතාලි බැඳුම්කර පොලිය දැනටමත් තියුනු ලෙස ඉහල නැඟී ඇති තත්වය තුල ප‍්‍රන්සයේ නය පැහැරහැරීමේ ඇපකර මිල ඉහල ගියේය.

යම් ඉඩක් ලදහොත් සමුලුවේදී තීරනය කිරීම සඳහා සමුලුවට ඉහතදී අර්බුදය සඳහා විසඳුම් සෙවීමේ විවිධ මාදිලීන් හා වාතාවරනයන් පිලිබඳව තිරයෙන් පිටුපස ලහි ලහියේ සාකච්ඡා පැවැත්වුනි.

යුරෝ අර්බුදය විශේෂයෙන්ම ජර්මනියේදී දරුනු අභ්‍යන්තර දේශපාලන ගැටුම් අවුලුවා තිබේ. ආන්ඩුවේ පක්ෂ අභ්‍යන්තරයෙහි ග‍්‍රීසියට කුමන හෝ මූල්‍ය සහයෝගයක් දීම වාචිකව ප‍්‍රතික්ෂේප කරන සුලුතරයක් ඇත. ෆින්ලන්තයේ, ඔස්ටි‍්‍රයාවේ හා නෙදර්ලන්තයේ බලගතු දක්ෂිනාංශික ජනතා පක්ෂ එලිපිට ම යුරෝ සංඟමයට විරෝධය පලකරති.

මෙම බලවේගයන්ට කැමැත්තෙන්ම අනුගත වීම හා යුරෝව ද යුරෝපීය සංඟමය ද රැකගැනීම සඳහා අඩුවෙන් කතා කිරීම පිලිබඳව චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ට චෝදනා එල්ල කෙරේ. ජර්මානු නිර්යාත ක්ෂේත‍්‍රය යුරෝ මුදලින් බොහෝ වාසි අත්කරගෙන ඇති බවත්, තනි මුදල් ඒකකයක් එය අසාර්ථක වීම නව ඇපදීමේ අරමුදලෙහි වැඩි බරක් දැරීමට වඩා වියදම් අධික වනු ඇති බව ව්‍යාපාරික කොටස් පෙන්වා දෙති. හිටපු චාන්සලර් වරුන් වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ හෙල්මුට් ස්ක්මිඩ් හා ක‍්‍රිස්තියානු ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ හෙල්මුට් කෝල් හීන යුරෝපීය කැපවීම සම්බන්ධයෙන් මර්කෙල්ට චෝදනා නඟති.

පසුගිය සතියේ පක්ෂ නායක සිග්මා ගේබි‍්‍රයෙල් පාර්ලිමේන්තු නායක ෆ‍්‍රෑන්ක් වෝල්ටර් සිට්න්මියර් හා හිටපු මුදල් ඇමති පියර් ස්ටේන්බෘක් යන ප‍්‍රමුඛ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් තිදෙන මර්කෙල් වෙත ඒකාබද්ධ ලිපියක් යැවූහ. එයින් පිරිනැමුනේ යම් වර්ගයක නිල නොවන සභාගයකි. ග‍්‍රීසියේ නය කපා හැරීමක් හා යුරෝ බැඳුම්කර නිකුතුව ඇතුලු "පර්යන්තයේ යුරෝපීය රටවල් සඳහා මාර්ෂල් සැලැස්මක්” වෙනුවෙන් කතා කරමින් ඔවුහු යුරෝව ආරක්ෂා කිරීමේ නියෝජිත වරිය ලෙස ඇය ප‍්‍රබල ලෙස මැදිහත් වන්නේ නම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ (එස්පීඩී) සහාය ඇයට ලබාදෙන බවට පොරොන්දු වූහ.

"මූල්‍ය අර්බුදයට විසඳුමක්” ලෙස එස්පීඩී නායකත්වය ඉදිරිපත් කරන දෙය බැංකුවල අන පැනවීම් වලට එරෙහිව ගන්නා ආස්ථානයක් සමග ගෑවිලාවත් නැත. ඒ වෙනුවට එස්පීඩී ප‍්‍රමුඛයින් තිදෙන විශ්වාස කරන්නේ ග‍්‍රීසියේ පමනක් නොව යුරෝපය පුරාම කම්කරු පන්තියට වඩාත් දැඩි ලෙස පහර එල්ල කරමින් ජර්මනිය යුරෝපය මත ප‍්‍රබල ලෙස සිය අනසක පැතිරවිය යුතු බවය.

ගෙර්හාඩ් ෂ්රඩර් යටතේ එස්පීඩී-හරිත පක්ෂ සභාගය ද ඉන් අනතුරුව ඔවුන් තිදෙනාම ඇමතිකම් දැරූ මර්කෙල් යටතේ පිහිටවූ මහා සභාගය ද දැවැන්ත අඩු වැටුප් ක්ෂේත‍්‍රයක් නිර්මානය කිරීමේ ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපය ඉටුකලේය. ඔවුහු ශුභ සාධන හා කම්කරු "ප‍්‍රතිසංස්කරන” හඳුන්වා දුන් අතර විශ‍්‍රාම ගන්නා වයස අවුරුදු 67 දක්වා දීර්ග කලහ. දැන් ඔවුන් එම පිලිවෙත් යුරෝපය පුරාම ක‍්‍රියාවට නැඟිය යුතු බවට යෝජනා කරයි.

එස්පීඩී නායක ගේබි‍්‍රයෙල් මර්කෙල් වෙත සිය සහාය පලකරන්නේ මර්කෙල් අපකීර්තිමත් පියවර කි‍්‍රයාත්මක කරමින් සිටිය දී වීම විශේෂිතය. "එය රාජ්‍ය අරමුදල් ගිල දමයි. ඒ අර්ථයෙන් පුරවැසියන්ගේ මුදල් කාබාසීනියා කරයි. එහෙත් ඔවුන්ට කිසිවක් නොලැබෙයි. එහෙත් එස්පීඩීය ඊට සහයෝගය දිය යුතුය.” ඔහු පැවසීය.

කොමියුනිස්ට් පක්ෂයේ අනුප‍්‍රාප්තික ඉතාලි ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු ද එවැනිම මූලිකත්වයක් ගෙන තිබේ. පසුගිය සතියේ ඔවුහු අගමැති බර්ලුස්කෝනි ආන්ඩුවේ නව කප්පාදු වැඩසටහනට අනුමැතිය පල කලහ. ඔවුහු දැන් මෘග සමාජ කප්පාදු පැනවීමේදී තමන්ගේ අවශ්‍යතා මත වැඩි අවධානය යොදන හා දුර්වල යයි ව්‍යාපාරික කොටස් තුල සාකච්ඡාවට බඳුන්වන අගමැති ඉවත් කිරීමේ මාවත් සොයමින් සිටිති. ප‍්‍රජාතන්ත‍්‍රයෙකු වන හිටපු අගමැති මැසිමෝ ඩි ඇලිමා ජාතික එකමුතුවේ ආන්ඩුවක් යෝජනා කර ඇත. ඒ අනුව එහි නායකත්වය ගත යුත්තේ අපක්ෂපාතී අර්ථශාස්ත‍්‍රඥයෙකු යයි සලකන හිටපු යුරෝ සංඟමයේ කොමසාරිස් මාරියෝ මොන්ටිය.