විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වැටුප් විරෝධතා අත්හරී

By Kapila Fernando, 23 July 2011

ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය, ආන්ඩුව ඉදිරිපත් කල සීමිත දීමනා වැඩිකිරීමක් පිලිගෙන, මාස තුනකට ආසන්න කාලයක් වැඩි වැටුප් සඳහා ගෙනගිය විරෝධතා, ජුලි 22 දා අවසන් කලේය. ආචාර්ය සංගමයේ නායකත්වය මෙම තීන්දුව ගත්තේ, විරෝධතා අරගලය ආන්ඩුවේ දේශපාලන ප‍්‍රශ්න උග‍්‍ර කරන තතු තුල මෙන් ම ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකින් තොරව වැටුප් ඉල්ලීම් දිනාගත නොහැකි බව වඩාත් පැහැදිලි වන කොන්දේසි තුලය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විමසූ විට ආචාර්ය සංගමයේ ලේකම් නිර්මාල් රංජිත් දේවසිරි මැසිවිලි නැගුවේ, "අපේ මූලික වැටුප වැඩිවෙලා නැහැ. වැඩිවෙලා තිබෙන්නේ (වැටුපට එකතු වන) ශාස්තී‍්‍රය දීමනාව සහ පර්යේෂන හා සංවර්ධන දීමනාව පමනයි” යනුවෙනි. ආන්ඩුව කථිකාචාර්යවරුන් කොටසකට පමනක් එම දීමනාව දෙගුනයකට ආසන්න ප‍්‍රමානයකින් වැඩි කර ඇත්තේ යමක් ලැබුනු බව සාමාජිකයන් ඉදිරියේ හුවා දක්වා අරගලය නතර කිරීමට සංගමයේ නායකත්වයට ඉඩ සලසාදීමටයි. සහකාර කථිකාචාර්යවරුන්ට කිසිදු දීමනා වැඩිවීමක් හෝ සිදු වී නැත.

මුල දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් සඳහා රු. 168,000ක් දක්වා වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කල සංගමය, ආන්ඩුව එය ප‍්‍රතික්ෂේප කල තතු යටතේ, රු. 132,000කට ද පසුව රු. 126,000කට ද ඉල්ලීම පහලට බැස්සීය. දැන් දීමනා පමනක් වැඩි කිරීමේ ආන්ඩුවේ යෝජනාව පිලිගෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ සමස්ත වැටුප රු. 115,000 දක්වා වැඩි කිරීමකට එකඟ වී ඇත. එවිට ද වැඩි වී ඇත්තේ, සමස්ත වැටුප ජ්‍යෙෂ්ඨ මහාචාර්වරයකුගේ රු. 15,000කින් ද පරිවාස කථිකාචාර්යවරයකුගේ රු. 1,500කින් ද පමනකියි සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක මහීන් මෙන්ඩිස් පැවසීය. මෙම දීමනා ඉහල දැමීම අර්ථසාධක අරමුදල හෝ විශ‍්‍රාම යාමේ දී පාරිතෝෂිකය වැඩි කිරීමට ද හේතු වන්නේ නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් වැඩිවීමක් දීම දිගින්දිගටම ප‍්‍රතික්ෂේප කර සිටියේය. ඔහු ජුලි 13 දා භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න හා එක්ව ආචාර්ය සංගමය සමග සාකච්ඡා කිරීමේ දී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීමනා වැඩි කිරීම පිලිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් ආචාර්ය සංගමයට වැටුපු වැඩිවීමක් නො ලැබෙන බවට අවසන් නිවේදනය නිකුත් කලේය. ජනාධිපතිගෙන් "සාධනීය ප‍්‍රතිචාර” ලැබී ඇතැයි ආචාර්ය සංගමය ප‍්‍රකාශ කලේ මෙම තතු තුලය.

බ‍්‍රහස්පතින්දා රැස්වූ ආචාර්ය සංගමයේ විධායක කමිටුව, විරෝධතාව අත්හැරීමට තීන්දු කලේ, මුලුමනින්ම නොවුනත් බහුතරයකට විසඳුම් ලැබුනු බවට ව්‍යාජව ජනමාධ්‍යවලට ප‍්‍රකාශ කරමිනි.

වැටුප් ඉල්ලීම්වලින් පසුබැස්සේ, දේශපාලන හේතු මත බව දේවසිරි විවෘතවම පිලිගත්තේය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය විමසූ විට ඔහු මෙසේ සඳහන් කලේය: "ආන්ඩුව ගිය සතියේ ඉදිරිපත් කල යෝජනාවට අපි එකඟ වූයේ මීට එහා දෙපාර්ශ්වයටම යාමට නොහැකි තත්වයකයි. ආන්ඩුව දැඩිව කියනවා මීට වඩා වැටුප් වැඩිකරන්න බැරි බව. අපට වෘත්තීය සමිති මට්ටමින් තව ඉදිරියට යන්න බැහැ. ඉදිරියට යනවා නම් ඔබලා (සමාජවාදී සමානතා පක්ෂය) ඉදිරිපත් කරන ආකාරයේ දේශපාලන ඉදිරිදර්ශනයක් සහිතව සටන් කි‍්‍රයාමාර්ගයකට යන්න ඕන. නමුත් එහෙම සටනකට යන්න සුදුසු තත්වයක් නැහැ කියන එකයි අපේ හැඟීම. සාමාජිකත්වය ඒකට එකඟ කරගැනීම ඉතා අසීරුයි.”

දේවසිරි සහ ආචාර්ය සංගමයේ නායකයන් තැත් කරන්නේ, ආන්ඩුව සමග සම්මුති ගසා විරෝධතාව නතර කිරීමේ වගකීම සාමාජිකයන්ගේ කරේ පටවා තමන් සිදු කර ඇති දේශපාලන යටත්වීම වසා ගැනීමටයි. දෙපාර්ශ්වයට මීට එහා යා නොහැකි තත්වයක් උදා වූයේ යයි දේවසිරි ප‍්‍රකාශ කරන විට එහි තේරුම, ආන්ඩුව සමග සම්මුතියකින් කි‍්‍රයා කිරීම තමන්ගේ පිලිවෙත බවයි.

එහෙත් ඉතා සීමිත විරෝධතාව පටන් ගැන්මේ සිටම පසක් වූයේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකින් තොරව වැටුප් සහ අනෙකුත් ඉල්ලීම් දිනාගත නොහැකි බවය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම "දැරිය නොහැකි” එකක් බව ද එය දුන්නොත් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මන්ඩලය හා අනෙකුත් ආන්ඩුවේ සේවකයන් එවැනිම ඉල්ලීම් ඉදිරිපත් කරනු ඇතැයි ද රාජපක්ෂ කිවේය. ජනමාධ්‍ය කර්තෘ රැස්වීමක දී ආචාර්ය සංගමයේ විරෝධතා ගැන නැගුනු ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් රාජපක්ෂ ඇසුවේ "සල්ලි අච්චු ගහලා පඩි වැඩි කරන්න ද කියන්නෙ?” යනුවෙනි. රාජපක්ෂ මේ ප‍්‍රකාශය කලේ, 1996 දී පටන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි නොකල තත්වයකයි, 2006 පටන් ආන්ඩුව රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක් නොදී දීමනා පමනක් ජීවන වියදමට නොසරිලන ලෙස සොච්චමකින් වැඩි කල තත්වයකයි.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය කාලයේ දී කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලූ විට රාජපක්ෂ වෘත්තීය සමිතිවලට රැව්වේ, "මට යුද්ධය නතර කරන්න කියලද තමුසෙලා කියන්නේ” යනුවෙනි. සමිති නායකයෝ එවිට කරබාගෙන කම්කරුවන් මත යුද්ධයේ බර පැටවීමට හවුල් වූහ.

යුද්ධය කෙලවර වන විට කඳු ගැසුනු වියදම් මෙන්ම 2008 එක්සත් ජනපදයේ බැංකුවල කඩාවැටීම්වල බලපෑමෙන් උග‍්‍ර වූ අර්බුදය, කම්කරුවන් හා පීඩිතයන් මත පැටවීමට ආන්ඩුව කි‍්‍රයාකරමින් සිටී. එය කි‍්‍රයාත්මක වන්නේ 2009 ජුලි මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත් නයවල කොන්දේසි අනුව රාජ්‍ය වියදම් බරපතල ලෙස කැපීම, සුබසාධන වියදම් කප්පාදුව සහ අනෙකුත් ආර්ථික ප‍්‍රතිසංස්කරන කි‍්‍රයාවට දැමීම ලෙසය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට සහ විදේශ ආයෝජකයන් කැඳවීමට ආන්ඩුව තීන්දු කර ඇත්තේ, අධ්‍යාපන වියදම් කප්පාදුවේ කොටසක් ලෙසය.

ආන්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාවට එරෙහිව බුරාපනිමින් ස්වේච්ඡා පරිපාලන තනතුරුවලින් ඉවත් වූ ආචාර්යවරුන්ට එම තනතුරු යලි නොදෙන බවට තර්ජනය කලේය. ආන්ඩුවට ගැති ශිෂ්‍යයන් යොදාගෙන එම විරෝධතාවට එරෙහි උසාවි වාරන නියෝගයක් ද පනවා ගත්තේය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සංවිධානය ඉදිරිපත් කල කි‍්‍රයාමාර්ගය වූයේ, ජීවන කොන්දේසි රැකගනීම පිනිස සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙත හැරී සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීමේ ජාත්‍යන්තර සමාජවාදී අරගලයට එලඹෙන ලෙසයි. දේවසිරි මෙම කි‍්‍රයාමාර්ගයට විරුද්ධ වූයේ, "අප කි‍්‍රයා කරන්නේ වෘත්තීය සමිතියක් හැටියටයි. දේශපාලන කි‍්‍රයාමාර්ග උඩ වැඩ කිරීම දේශපාලන පක්ෂවල කටයුත්තයි" යනුවෙන් පවසමිනි.

සාමාජිකත්වය දේශපාලන අරගලයකට එකඟ කරවා ගැනීම අසීරු බව දේවසිරි පවසන්නේ, එවැනි අරගලයකට විරුද්ධව සිටිමිනි. ආචාර්යවරුන්ගේ විරෝධතා මාස දෙකකට වැඩි කලක් පැවතියේ, ආචාර්යවරුන් බහුතරයක් එයට සහභාගි වී, පෙර නොවූ විරූ ලෙස පෙලපාලි හා පිකට් කිරීම්වල යෙදෙමින් ආන්ඩුවේ තර්ජන ප‍්‍රතික්ෂේප කරමිනි.

එහෙත් දේවසිරි සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශය භාර මහාචාර්ය සුමනසිරි ලියනගේ ආචාර්ය සංගමය මුදුනේ සිටියේ, ධනපති ක‍්‍රමය තුල ප‍්‍රශ්න විසඳා ගත හැකි බව අවධාරනය කරමිනි. ජූනි 20 දා කොලඹ පැවති රැුස්වීමක දී ලියනගේ "වැටුප් අරගලය නිසැකවම ජයගන්නා” බවට පූච්චානම් කීවේ, "පෙර පැවති සමාජ සුබසාධන අදහස්වලට දැන් වෙලඳ පොල ප‍්‍රතිපත්තිවලින් වලකැපී ඇති” බව ද "ආන්ඩුව ආර්ථික පිලිවෙත් ප‍්‍රමුඛතාව අනුව පෙලගස්වන්නේ කෙසේදැයි නොදන්නා” බව ද පවසමින්ය. ඔහු ඉස්මතු වී ඇත්තේ, ධනවාදී පද්ධතිය නිසි පරිදි ප‍්‍රමුඛතාව අනුව කලමනාකරනය කරන්නේ කෙසේ දැයි උපදෙස් දෙන්නෙකු ලෙසය.

ලියනගේ අනුව යමින්, "නව ලිබරල්වාදයට එරෙහිව සමාජ සංවර්ධනය සහ සමාජ සාධාරනත්වය සඳහා අරගලයක් කල යුතු” බව ද කී දේවසිරි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය "යම් කිසි ආන්ඩුවකට එරෙහි අරගලයක් නොවේ” යයි ද ප‍්‍රකාශ කලේය.

ලියනගේ හා දේවසිරි ආන්ඩුවට බලපෑම් දමා අයිතීන් දිනාගත හැකිය යන මිථ්‍යාව තොරොම්බල් කරන ගමන්ම ධනපති ක‍්‍රමය තුල සමාජ සාධාරනත්වය හා සංවර්ධනය ඇති කරගත හැකිය යන උගුලක ආචාර්යවරුන් පමනක් නොව ශිෂ්‍යයන් හා කම්කරුවන් ද හිර කිරීමේ න්‍යාය සම්පාදනය කරති. එසේ කරන්නේ සමාජවාදී පිලිවෙත් සඳහා අරගලයට කල් එලඹ නැතැයි යනුවෙන් ඒ සඳහා අරගලයට එරෙහිව ඉදිරිපත් වූ චිරකාලීන හම්පඩ අවස්ථාවාදී න්‍යාය ඉදිරිපත් කරමිනි.

ලියනගේ හා දේවසිරි හිටපු රැඩිකලුන් ලෙස අතීතයේ "සමාජවාදය” ගැන විටින්විට බොල් කතා දොඩවමින් සිට අද ඉදිරිපත්ව ඇත්තේ, ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීමේ අරගලයට විරුද්ධවය. ශිෂ්‍යයන් හා කම්කරුවන් ඇතුලු බහුතර ජනයාගේ සහයෝගය ආචාර්යවරුන්ගේ විරෝධතාවට ලැබුනි. ආචාර්ය සංගමය ඔවුන්ගේ ආධාරය විවෘතව ඉල්ලා නොසිටියේ, එම කොටස් වහා සහායට ඒමේ කොන්දේසි පැවති නිසාම ය. ඒ වෙනුවට ආන්ඩුව සමග සම්මුතියක් බලාපොරොත්තුවෙන් ඔවුන් හැරුනේ, විරුද්ධ පක්ෂයේ යූඇන්පිය ද ආන්ඩුවේ කොටස්කාරයන් වන ලංකා සමසමාජ පක්ෂය (ලසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා ජාතිවාදී මහජන එක්සත් පෙරමුන වෙතය.

නව සමසමාජ පක්ෂයේ (නසසප) නායක වික‍්‍රමබාහු කරුනාරත්න ආචාර්ය සංගමයේ පාවාදීමට පිටුබලය දෙන්නා ලෙස ඉදිරිපත් විය. ආචාර්ය සංගමය ඉහත සඳහන් පක්ෂවල නියෝජිතයන් සමග ජූනි 26 දා පැවති රැස්වීමට කරුනාරත්න ද විලිලැජ්ජා නැතිව සහභාගි විය.

යූඇන්පිය ආන්ඩුවට එරෙහි විරෝධතා තමන්ගේ දක්ෂිනාංශික න්‍යාය පත‍්‍රය සඳහා ගසාකන පක්ෂයකි. අනෙක් පක්ෂ ආන්ඩුවේ කොටස්කාරයන් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට විවෘතව සහාය දෙන්නෝය. එම රැස්වීමේ දී කරුනාරත්න මෙසේ යෝජනා කලේය: "මම යෝජනා කලා මේ අදහස (විශ්වවිද්‍යාල සටන නිවැරැදියි යන අදහස) එන විධියට පොඩි පෙත්සමක් අත්සන් කරමු කියලා. හැමෝටම ඕන වුනේ පොදුවේ බලපෑමක් සමාජය වෙතට ගෙනයාමටයි.” කරුනාරත්න මෙම රැස්වීමට මැදිහත් වූයේ "සමාජය වෙතින්” බලපෑම් දැමීමේ මහා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමකින් ආන්ඩුව නම්මා ගත හැකිය යන මිථ්‍යාව තහවුරු කිරීමටයි.

ධනේශ්වර විපක්ෂ සහ ආන්ඩුවේ පක්ෂ සමග එක්වී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා කම්කරුවන් ඉදිරියේ මතුව ඇති දේශපාලන ප‍්‍රශ්න යටගැසීමට නසසප නායකයා ආචාර්ය සංගමයට කවරයක් සැපයූවේ එලෙස ය.

සරසවි ආචාර්ය විරෝධතාව තුල සනාථ වී ඇත්තේ විකල්ප දේශපාලන කි‍්‍රයාමාර්ගය සපයන එකම පක්ෂය සසප බවයි. ධනේශ්වර පක්ෂවලින් ද වෘත්තීය සමිති විලංගුවලින් ද බිඳෙමින් කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට සසප ද එහි තරුන සංවිධානය වන සසජාශි සමග ද එක් වන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ද ශිෂ්‍යයන්ගෙන් ද අපි ඉල්ලමු.