ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමිති විරෝධතා ව්‍යාපාරය නතර කරයි

By W.A. Sunil, 22 July 2011

විදුලි සංදේශ ඇමති රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකින් පසුව, සේවා ප‍්‍රතිලාභ මුල්කරගෙන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සේවකයන් සති දෙකක් තිස්සේ ගෙන ගිය විරෝධතා ව්‍යාපාරය නතර කිරීමට ටෙලිකොම් වෘත්තීය සමිති පසුගිය ජුලි 8 දා තීන්දු කලේය. ඒ සේවකයන්ගේ එකම ඉල්ලීමක් වත් පිලිබඳව කිසිදු සහතිකයක් නැතිවය. ඉල්ලීම් ගැන ටෙලිකොම් කලමනාකරනය සමග තමන් සාකච්ඡා කරන බවට ඇමති දුන් පොරොන්දුව පිට විරෝධතා ව්‍යාපාරය නතර කිරීමට සමිති එකඟ වූහ.

තොරතුරු හා විදුලිසංදේශ සියලු සේවක සංගමය (අයිටීඒඊයූ) ඇතුලු සමිති 21ක සන්ධානයක් වන ටෙලිකොම් වෘත්තීය සමිති සන්ධානය (ටීටීයූඒ) විසින් කැඳවන ලද විරෝධතාව අතිශය සීමිත එකකි. පිකට් කිරීම්, අතිකාල වර්ජනය හා ජුලි 6 දා දින භාගයක සංකේත වර්ජනයක් යනාදි කි‍්‍රයාවන්ට උද්ඝෝෂනය සීමා කිරීමට සමිති වගබලා ගත්හ.

මාසික ප‍්‍රවාහන හා ආහාර දීමනාව (ටීඑම්ඒ) රුපියල් 25,000 දක්වා ඉහල දැමීම, විධායක ශ්‍රේනියේ වැටුප් පිලිබඳ රහස්‍ය භාවය ඉවත් කිරීම, ටෙලිකොම් සමාගමට අනුබද්ධිත මෑන් පවර් සොලියුෂන් කම්පනි (එම්පීඑස්සී) යටතේ කොන්ත‍්‍රාත් සේවකයන් බඳවා ගැනීම නතර කොට ඔවුන් ටෙලිකොම් සමාගමට අනුයුක්ත කිරීම, අනාගතයේ ටෙලිකොම් සමාගමට කෙරෙන බඳවාගැනීම්වලින් සියයට 50ක් වත්මන් සේවකයන්ගේ දරුවන් අතරින් බඳවා ගැනීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් ගනනාවක් මත 8,000ක් පමන වන සමස්ත ශ‍්‍රම බලකායෙන් සියයට 70කට ආසන්න සේවකයෝ පසුගිය ජූනි 17 දා සිට පැවති විරෝධතා ව්‍යාපාරයට එක් වූහ.

ටෙලිකොම් කලමනාකරනය සමාගමේ ශ‍්‍රම බලකායෙන් කොටසක් කොන්ත‍්‍රාත් සේවකයන් ලෙස තබාගන්නේ, කම්කරුවන් භේද කිරීමේ හා ඔවුන් රුදුරු සූරාකෑමකට යටත් කිරීමේ ඉලක්කය ඇතිවය. එම තතු තුල කොන්ත‍්‍රාත් කම්කරුවන් ද මෙම විරෝධතාවට එක්වීම, කලමනාකරනයේ එම ප‍්‍රයත්නයට එරෙහිව ඒකාබද්ධව සටන් වැදීම පිනිස ටෙලිකොම් සේවකයන්ගේ සූදානම පෙන්නුම් කිරීමකි.

ජුලි 5 දා වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකින් හා ජුලි 13 දා ටෙලිකොම් කලමනාකරනයේ රැස්වීමකින් පසුව සේවකයන් වෙත ජුලි 15 දා යවන ලද ලිපියකට අනුව, කලමනාකරනය එකඟ වී ඇත්තේ, සමාගමේ රැකියා පුරප්පාඩුවලින් සියයට 50ක් සේවකයන්ගේ දරුවන්ට ලබා දීමේ ඉල්ලීමට පමනි. ආහාර හා ප‍්‍රවාහන දීමනාව රුපියල් 2,250කින් රුපියල් 11,250 දක්වා ඉහල දැමීමට පමනක් එකඟ වී ඇත. එය කම්කරුවන් ඉල්ලා සිටින මට්ටමින් හරි අඩකටත් වඩා පහල අගයකි. කොන්ත‍්‍රාත් කම්කරුවන් ටෙලිකොම් සමාගමට බඳවා ගැනීම හා විධායක ශ්‍රේනියේ රහස්‍ය වැටුප් ක‍්‍රමය අහෝසි කිරීම යන ඉල්ලීම් එකහෙලා ප‍්‍රතික්ෂේප කර තිබේ.

ඇමති සියඹලාපිටිය සහ ටෙලිකොම් කලමනාකරනය අතර ජුලි 19 දා හමුවක් පැවති අතර එහි තීන්දු මොනවාද යන්න තවමත් සේවකයන්ට හෝ සමිතිවලට දැනුම් දී නැති බව සමිති නායකයෝ පසුදින අප විමසූ කල කියා සිටියහ. ජුලි 15 දා ලිපියේ සඳහන් මට්ටමට වඩා ඔබ්බට යාමට කලමනාකරනය එකඟ වී නැතිනම් සඳුදා සිට තමන් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එලඹෙන බවට ද අයිටීඒඊයූ සභාපති කේ.බී. ගුරුසිංහ පැවසීය. සමිති නායකයන් කි‍්‍රයාකරන්නේ, සේවකයන්ගේ විරුද්ධත්වය වාෂ්ප කොට කලමනාකරනයේ කොන්දේසි ඔවුන් මත පැටවීමටයි.

ටෙලිකොම් කම්කරුවන්ගේ විරෝධතාවට පරිපාලනය ප‍්‍රතිචාර දැක්වූයේ එම්පීඑස්සී කොන්ත‍්‍රාත් කම්කරුවන්ට එරෙහි දඩයමක් දියත් කරමිනි. ඔවුන්ගෙන් ගනනාවක් කොලඹින් පිටත ප‍්‍රදේශවලට මාරු කරන ලද අතර ඔවුන්ට විරුද්ධව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවට අනතුරු අඟවමින් ලිපි නිකුත් කෙරුනි. එමෙන්ම 2006 දී ටෙලිකොම් සේවකයන්ගේ වැටුප් අරගලයට එරෙහිව ලබා දුන් අධිකරන තීන්දුව තවමත් බලපවත්වන බවට ද පරිපාලනය තර්ජනය කලේය. එම තීන්දුව මගින් ටෙලිකොම් සමාගමේ වැඩකටයුතු "කඩාකප්පල්” කරන කි‍්‍රයාවන්හි යෙදීම සේවකයන්ට තහනම් කෙරුනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් උද්ඝෝෂනය ඇතුලු, කම්කරු අරගල මැඩීම පිනිස මෑත දී රාජ්‍ය හා පුද්ගලික යන දෙපාර්ශ්වයේ ම බලධාරින් විසින් කිහිප වතාවක් ම අධිකරනය යොදා ගෙන තිබේ.

අයිටීඒඊයූ සභාපති ගුරුසිංහ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ, සේවක ගැටලු සතියක් ඇතුලත විසඳීමට ඇමති පොරොන්දු වූ නිසා "වගකිව යුතු සමිති නායකයන් ලෙස” තමන් සති දෙකකට උද්ඝෝෂනය නතර කල බවයි. මෙම සමිති නායකයන් වග කියන්නේ සිය සාමාජික ටෙලිකොම් කම්කරුවන්ට නොව ඇමතිවරු, ටෙලිකොම් පාලකයන් ඇතුලු ධනපති පන්තියටයි. ඉහල ජීවන වියදම හා සිය පිරිහෙන සේවා කොන්දේසි අරබයා ටෙලිකොම් කම්කරුවන් අතර වැඩෙන අසහනය වාෂ්ප කර දැමීමේ උත්සාහයක් ලෙස ඔවුන් කැඳවූ සීමිත විරෝධතාව පවා නතර කිරීමට සමිති නායකයන් කි‍්‍රයා කර තිබේ.

කලින් රජය සතු තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස පැවති රාජ්‍ය විදුලි සංදේශ අංශය 1991 දී එයින් වෙන්කොට ශී‍්‍ර ලංකා ටෙලිකොම් සංස්ථාව (එස්එල්ටීසී) නමින් රාජ්‍ය සමාගමක් බවට පත් කරන ලදි. 1997 දී එය ශී‍්‍ර ලංකා ටෙලිකොම් (එස්එල්ටී) නමින් පුද්ගලීකරනය කරන ලදි.

මෙම පුද්ගලීකරන කි‍්‍රයාදාමයේ දී, එස්එල්ටීසී සේවකයන් අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමකට ලක්කොට නව සේවකයන් ලෙස එස්එල්ටී වෙත බඳවා ගන්නා ලදි. විශ‍්‍රාම වැටුප් ලැබුනේ, වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සහිත සේවකයන්ට පමනි. පුද්ගලීකරනයෙන් පසුව 2003, 2006 හා 2008 යන වසරවලට ස්වේච්ඡා විශ‍්‍රාම වැඩපිලිවෙලවල්” (වීආර්එස්) හරහා සේවකයන් 1,200කගේ පමන රැකියා අහිමි කර තිබේ. එම්පීඑස්සී වැනි සමාගම් හරහා කොන්ත‍්‍රාත් ක‍්‍රමයට සේවකයන් බඳවා ගැනීමේ පිලිවෙතක් හඳුන්වා දුනි. අඩු වැටුප් මට්ටම් හා පහත් සේවා කොන්දේසි යටතේ කම්කරුවන් රුදුරු සූරාකෑමකට යටත් කිරීමේ මෙම කොන්ත‍්‍රාත් ක‍්‍රමය එස්එල්ටී සමාගමේ සේවා පිලිවෙත බවට වඩවඩාත් පත්වීමට නියමිතය.

ටෙලිකොම් සමිති පුද්ගලීකරනයට හා එහි ප‍්‍රතිවිපාකවලට විරුද්ධ නොවූහ. කොන්ත‍්‍රාත් සේවකයන් අතර අසහනය වැඩෙන තතු යටතේ ඔවුන් එස්එල්ටී වෙත අන්තර්ග‍්‍රහනය කරගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවක් සංවිධානය කිරීමට සමිතිවලට බල කෙරුනි. 2008 දී එම්පීඑස්සී සමාගම එස්එල්ටී අනුබද්ධ ආයතනයක් බවට පත් කරන ලද නමුදු, එම සේවකයන්ගේ වැටුප් හා සේවා කොන්දේසි එලෙසම පැවතී ඇත.

තමන් පුද්ගලීකරනයට පක්ෂ වීමේ පිලිවෙත යුක්තියුක්ත කරගැනීටම උත්සාහ කරමින් ගුරුසිංහ මෙසේ පැවසීය: "පීඩනය යටතේ එය පිලිගැනීමට සමිතිවලට බල කෙරුනා. එය නව තාක්ෂනය හඳුන්වා දී සේවාවන් වැඩි දියුනු කල නිසා පුද්ගලීකරනයේ හොඳ පැත්තක් තියෙනවා.”

ධනපති ක‍්‍රමය යටතේ නව තාක්ෂනය යොදා ගන්නේ, පැහැදිලිවම, කම්කරු පන්තියේ වාසිය පිනිස නොව ධනපතියන්ගේ ලාභ අවශ්‍යතාව උදෙසාය. පුද්ගලීකරනයෙන් පසුව එස්එල්ටී ශුද්ධ ලාභය 2008 වන විට රුපියල් බිලියන 6.60 දක්වා කිහිප ගුනයකින් වැඩි කරගැනුනත් විදුලිසංදේශ වෙලඳපොලේ ඉහල යන තරඟකාරිත්වය හමුවේ එය පහල වැටී තිබේ. 2009 හා 2010 වසරවල ලාභය පිලිවෙලින් රුපියල් බිලියන 1.23 සහ බිලියන 2.48 විය. මෙම තතු යටතේ එස්එල්ටී පරිපාලනය හැරී ගෙන ඇත්තේ වියදම් කප්පාදුව මගින් සිය ලාභ ඉහල දමා ගැනීමටයි.

එස්එල්ටී මූලස්ථානයේ වැඩ කරන එක් සේවකයෙක් කියා සිටියේ සමිති නායකයන් පිලිබඳ විශ්වාසයක් නැති බැවින් සමහර සේවකයන් මෑත විරෝධතාවට එක් නොවූ බවයි. "සමිති පුද්ගලීකරනයට විරුද්ධව කිසිදු බැරෑරුම් සටනක් කිරීම මගහැරියා. ඔවුන් වීආර්එස් හා සමාගමේ වැඩ පිටතට කොන්ත‍්‍රාත් දීම වගේ වියදම් කප්පාදු කරන පිලිවෙත්වලට මග පෑදුවා. මට මතක හැටියට, 2005 දී හෝ 2006 දී ඔවුන් ජිවන වියදම් දීමනාව කප්පාදු කිරීමට එකඟ වුනා. ඊට හිලව් වසයෙන් සියයට 5ක් හෝ 6ක් වැනි සොච්චම් වාර්ෂික වැටුප් වැඩිවීමක් පිලිගත්තා. ඔවුන් දීපු සහයෝගය වෙනුවෙන්, පරිපාලනය ඔවුන්ට උසස්වීම්, විදේශ සංචාර ලබා දුන්නා. ඉල්ලීම් වෙනුවෙන් අවසානය දක්වා සටන් කරන්න ඕන නම් සැබෑ නායකත්වයක් අවශ්‍යයි.”

එම්පීඑස්සී යටතේ සේවය කරන තාක්ෂනතා සේවකයෙක් විස්තර කල පරිදි, ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 14,050කි. ප‍්‍රවාහන දීමනාව රුපියල් 1000කි. අනතුරු දීමනාව රුපියල් 2000ක් පමනි. අතිකාල සඳහා ගෙවන උපරිම වැටුප පැයකට රුපියල් 95කි. මසකට අතිකාල පැය ගනන 100කට සීමා කර ඇත. වසරකට ඇත්තේ නිවාඩු 21ක් පමනි. "ආන්ඩුවේ විවිධ බොරු පොරොන්දු ගැන සැලකුවාම (විදුලි සංදේශ) ඇමතිගේ පොරොන්දුව ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ” යයි ඔහු පැවසීය.

ටෙලිකොම් සේවකයන්ගේ අරගලය, කම්කරුවන්ගේ සේවා හා ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල වන ප‍්‍රහාරයන්ට විරුද්ධව ශී‍්‍ර ලංකාව තුලත් ජාත්‍යන්තර පරිමානවත් වැඩෙන කම්කරු අරගල මාලාවක කොටසකි.

පසුගිය මැයි මාසයේ නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙලඳපොල හිතැති ආර්ථික ප‍්‍රතිසංස්කරනවල කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුව ගෙන ඒමට උත්සාහ කල නව විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව අරගලයට පිවිසියේය. වතු කම්කරුවන්ට ද සිය වැටුප් වැඩි කරගැනීම පිනිස සටන් වැදීමට අවශ්‍යව තිබුනත් වතු සමිති එවැන්නක් වැලැක්වූයේ කම්කරුවන්ට රහසින් හාම්පුතුන් සමග වැටුප් ගිවිසුමකට අත්සන් තැබීමෙනි. ජූනි 17 දා ඉල්ලීම් ගනනාවක් උඩ තැපැල් සේවකයෝ විරෝධතා දැක්වූහ. ජුලි 6 දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දිවයින පුරා පාලත් ආදායම් අංශවලට දහස් ගනනක් සේවකයෝ සිය රැකියා සුරක්ෂිතතාව ඉල්ලමින් විරෝධතා දැක්වූහ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් උද්ඝෝෂනය මාස දෙකකට වැඩි කලක් තිස්සේ පවතී.

රාජපක්ෂ ආන්ඩුව දැනටමත් පෙන්නුම් කර ඇත්තේ සිය වෙලඳ පොල හිතැති ආර්ථික පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තිය වෙතින් නැගෙන මොනම විරුද්ධත්වයක් හෝ ඉවසීමට තමන් සූදානම් නැති බවයි. එබැවින් ටෙලිකොම් සමිති ඇතුලු වෘත්තීය සමිති විසින් පවසන පරිදි ආන්ඩුවට හෝ පාලකයන්ට බලපෑම් දමා කම්කරුවන්ට සිය ඉල්ලීම් දිනාගත නොහැකිය. විදුලි සංදේශ ඇමති හරහා ටෙලිකොම් සේවකයන්ගේ ඉල්ලීම් දිනාගත හැකිය යන්න මාරාන්තික මිථ්‍යාවක් බව දැනටමත් පැහැදිලි වී තිබේ.

මෙම සමිති නායකයෝ ධනපති ක‍්‍රමයට මුලූමනින්ම ගැටගැසී එහි ආරක්ෂකයන් ලෙස සේවය කරති. ධනපති ලාභ ගරන ක‍්‍රමයට එරෙහිව කම්කරුවන්ගේ මොන යම් හෝ සැබෑ අරගලයකට ඔවුන් දක්වන විරුද්ධත්වය ලාභ ගරන ක‍්‍රමය සමග ඔවුන්ගේ පවතින මෙම වෛෂයික සම්බන්ධය හා බැඳී පවතී. වෘත්තීය සමිති යටතේ කම්කරුවන්ට සිය මූලික ඉල්ලීම් පවා දිනාගත නොහැකිය. ටෙලිකොම් කම්කරුවන්ගේ අත්දැකීම වී ඇත්තේ එම සමිති කම්කරුවන්ට එරෙහිව සමාගමේ ලාභ ඉහල දමා ගැනීමේ පිලිවෙත්වලට දායක වී ඇති අන්දමයි. එබැවින් කම්කරුවන් එම සමිතිවලින් බිඳී සිය අරගලය ඉදිරියට ගෙනයනු පිනිස තමන්ගේ ම ස්වාධීන කි‍්‍රයාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. ඔවුන් කම්කරු පන්තියේ සෙසු කොටස් සමග එක්ව ලාභ ගරන ධනපති ක‍්‍රමයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් මත පොදු අරගලයක් දියත් කල යුතුය.