නිදහස් වෙලඳ කලාප කම්කරුවන් ආරක්ෂා කරනු!

Defend Sri Lankan free trade zone workers

By the Socialist Equality Party , 1 June 2011

සඳුදා, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) විරෝධතා ව්‍යාපාරයක යෙදී සිටි කම්කරුවන්ට එරෙහිව ආන්ඩුව විසින් එල්ල කරන ලද මෘග පොලිස් මර්දනය සමාජවාදී සමානතා පක්ෂය (සසප) හෙලා දකී. පොලීසිය කඳුලු ගෑස්, ජල විදින හා මුගුරු යොදා ගෙන කම්කරුවන්ට පහර දී, ජීව උන්ඩවලින් ඔවුන්ට වෙඩි තැබීය.

සිය සේවා කොන්දේසි රැක ගැනීමට සටන් කිරීමෙහි ලා දැවැන්ත ධෛර්යයක් පෙන්වා ඇති මෙම කම්කරුවන් ආරක්ෂා කරනු පිනිස පෙරට එන ලෙස සසප රට පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. මෙම ප‍්‍රහාරය, සිය වැටුප් හා මූලික අයිතීන් ආරක්ෂා කරනු වස් කම්කරුවන් වෙතින් මතු වන කිසිදු ඉල්ලීමක් ඉවසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සූදානම් නැති බවට අනතුරු ඇඟවීමකි.

විශේෂයෙන් ම නිවෙක කම්කරුවන්ට ලැබෙන ප‍්‍රතිලාභ බරපතල ලෙස කප්පාදු කරන ආන්ඩුවේ යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව මැයි 23 දා සිට විරෝධතා මාලාවක් ම පවත්වා ඇත. සඳුදා, විරෝධතාවයේ යෙදී සිටි කම්කරුවන්ට පොලීසිය ප‍්‍රචන්ඩ ලෙස පහර දුන්නාට පසුව 40,000ක් වන කටුනායක නිවෙක සමස්ත කම්කරු බලකායම වැඩ නතර කොට වීදි බැස්සේය. කුප‍්‍රකට විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) ඇතුලු 2,000ක් පමන පොලිස් භටයන් ද සිය ගනන් හමුදා සෙබලුන් ද සමග ඇති වූ ගැටුම්වලින් කම්කරුවන් සිය ගනනකට තුවාල සිදු කර තවත් සිය ගනනක් අත් අඩංගුවට ගන්නා ලදී.

කම්කරුවන්ගේ අධිෂ්ඨානවත් ප‍්‍රතිරෝධය හමුවේ පැහැදිලිව ම කම්පනයට පත්ව, ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාලක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හදිසි රැස්වීමක් පැවැත්වීය. වෘත්තීය සමිති හා විරුද්ධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවකට හා ඔවුන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට ඉඩ සලසනු වස් විශ‍්‍රාම වැටුප් පනත අත්හිටුවන බවට එම රැස්වීම නිවේදනය කලේය.

වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂ වෙත කෙරෙන මෙම හැරීම නිවෙක කම්කරුවන් විකුනා දැමීමට කෙරෙන සූදානමක් බවට සසප අනතුරු අඟවා සිටී. කප්පාදු පිලිවෙත් මාලාවක කොටසක් ලෙස විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය කි‍්‍රයාවට දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එල්ල වන දැවැන්ත පීඩනයකට ආන්ඩුව මුහුන දී සිටී. නිවෙක කම්කරුවන්ගේ විරෝධතා සෙසු කම්කරු කොටස් ද කි‍්‍රයාමාර්ගවලට එලඹීම සඳහා දිරිගන්වනු ඇතැයි ආන්ඩුව බියට පත්ව ඇත.

ජනාධිපති රාජපක්ෂ සඳුදා ගැටුම් පිලිබඳව පරීක්ෂනයක් මේ වන විටත් නිවේදනය කර ඇත්තේ, ඒවාට වගකිව යුතු අයට එරෙහිව "දැඩි කි‍්‍රයාමාර්ග” ගන්නා බවට අනතුරු ද අඟවමිනි. මෙය වනාහි සටන්කාමී කම්කරුවන්ට එරෙහි දඩයමක් මිස අනෙකක් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙලඳ පොල හිතැති "ප‍්‍රතිසංස්කරනවලට” විරුද්ධ නැති, නව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව කිසිදු උද්ඝෝෂන ව්‍යාපාරයක් සංවිධානය කර නැති, වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂ ගැන මොන යම් හෝ විශ්වාසයක් නොතැබිය යුතුය.

නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා වෘත්තීය සමිතිය මුලින් මැයි 23 දාට විරෝධතාවක් කැඳවු නමුත් පසුව එය අවලංගු කලේය. කෙසේවෙතත් එදින කම්කරුවන් වැඩ නවතා වීදි බට කල්හි සමිති නායක ඇන්ටන් මාකස් නිෂ්පාදනයට එයින් ඇති වූ බලපෑම ගැන සිය කනගාටුව ප‍්‍රකාශ කලේය. කටුනායක කම්කරුවන්ට සහයෝගය පිනිස කිසිදු කි‍්‍රයාමාර්ගයකට නොඑලඹෙන ලෙස ඔහු බියගම නිවෙක කම්කරුවන්ට පැවසීය.

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධිත අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) විරෝධතාවන්හි නායකත්වය ලෙස දැන් බොරු මවාපෙන්වීමක් කරයි. ඒ විරෝධතා ව්‍යාපාරය වඩා හොඳින් පාවාදීම සඳහාම පමනි.

ජනාධිපතිවරනය පැවති සමයේ පසුගිය වසරේ දී රුපියල් 5,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා අසසේස කල උද්ඝෝෂනය කම්කරුවෝ මතකයට නගා ගත යුත්තාහ. මැතිවරනයෙන් පසුව, ජවිපෙ සහ අසසේස, රුපියල් 2,500ක වැටුප් වැඩිවීමක් සඳහා ඔහු දුන් පොරොන්දුව ඉටු කරන ලෙස රාජපක්ෂගෙන් ඉල්ලා සිටීම වෙනුවෙන් තම ඉල්ලීම ඉවත දැමීය. ආන්ඩුව සිය පොරොන්දුව කැඩු කල්හි අසසේස ඇතුලු සමිති ඊට එරෙහිව කිසිවක් කලේ නැත.

අඟහරුවාදා හදිසියෙන් කැඳවූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක, විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය අත්හිටුවීම කම්කරුවන් ලද "ජයග‍්‍රහනයක්” බවට ප‍්‍රකාශ කොට, පනත ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. එවන් ප‍්‍රකාශවල එල්ලය හුදෙක් බොරු බලාපොරොත්තු කම්කරුවන් තුල ඇති කිරීම පමනි.

මහජන විරෝ්ධතා හමුවේ මීට සමාන කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමන ගී‍්‍රසියේ, අයර්ලන්තයේ හා ස්පාඤ්ඤයේ සිය සගයන්ට මෙන්ම රාජපක්ෂ ආන්ඩුවට ද මෙහි දී පසුබැසිය නොහැකි බව ජවිපෙ සහ විපාර්ශ්වික එක්සත් ජාතික පක්ෂය (එජාප) හොඳින් දනී.

ආර්ථික ප‍්‍රකෘතිමත් වීමක් පිලිබඳ රාජපක්ෂගේ සියලු පුරසාරම් සම්බන්ධයෙන් කිව හැක්කේ, ඔහුගේ ආන්ඩුව නය බරෙහි ගිලී සිටින අතර එහි බිල ගෙවන ලෙස කම්කරුවන්ට බල කරන බවයි. මිල ගනන් ඉහල නගින තතු යටතේ පවා, වැටුප් කැටි කරනු ලැබ ඇත. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා සුබසාධන සඳහා කෙරෙන වියදම් කප්පාදු කෙරී ඇති අතර පුද්ගලීකරනය පුලුල් කෙරේ.

විශ‍්‍රාම පනතේ මතුපිටින් කෙරෙන වෙනස්කම්වලට හිලව් වසයෙන්, ජවිපෙ සහ එජාප දැන් එයට එරෙහි විරුද්ධත්වය සමනය කරනු පිනිස ආන්ඩුවට සිය සේවය ලබා දීමට ඉදිරිපත් වී සිටී. යෝජිත සාකච්ඡාවන්හි අරමුන එයයි.

කම්කරුවන් සමිතිවල හා විරුද්ධ පක්ෂවල පුහු මවාපෑම් ප‍්‍රතික්ෂේප කොට මීට සමාන ප‍්‍රහාරවලට මුහුන දී සිටින කම්කරු පන්තියේ සෙසු කොටස් වෙත හැරිය යුතුය.

නිවෙක කම්කරුවන් මුහුන දී සිටින්නේ ද වතු කම්කරුවන් මුහුන දෙන තත්වයටම ය; වතුකරයේ වෘත්තීය සමිති කම්කරුවන් ගේ වැටුප් දරිද්‍රතා මට්ටමේ පවත්වාගෙන යනු පිනිස හාම්පුතුන් හා ආන්ඩුව සමග සහයෝගීව කි‍්‍රයා කරති. ශිෂ්ඨ සම්පන්න මට්ටමක වැටුප් ඉල්ලා සිටීම නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප‍්‍රහාරයට ලක්ව සිටී. කොලඹ නගරයේ වෙසෙන දසදහස් සංඛ්‍යාත පැල්පත්වාසීහු දේපොල සංවර්ධන සංගත සඳහා මාවත සකසනු වස් සිය නිවෙස්වලින් බලහත්කාරයෙන් දොට්ටදමනු ලැබීමට මුහුන දෙති.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි සිය ආන්ඩුවේ වර්ගවාදී යුද්ධය වෙනුවෙන් කම්කරුවන් කැප කල යුතු යයි රාජපක්ෂ අවධාරනය කලේය. දැන් ඔහු ඉල්ලා සිටින්නේ, සංගත ලාභ ඉහල දමනු හා "රට යලි ගොඩනගනු” පිනිස කම්කරු පන්තිය තවත් බරබද්දල්වලට කර ගැසිය යුතු බවයි. වැඩ කරන ජනතාවට එරෙහි සිය වැඩපිලිවෙල බලාත්කාරයෙන් පටවනු වස්, ඔහු දැන් වාරු වන්නේ, දෙමල සිවිල් වැසියන්ට එරෙහිව යොදා ගැනුනු පොලිස් රාජ්‍ය විධික‍්‍රමයන් මත ම ය.

එමෙන් ම, කම්කරු පන්තිය භේද හා දුර්වල කරනු පිනිස, කිසිදා නිම නොවන සිය "විජයග‍්‍රහනයේ” උද්ඝෝෂනය හරහා දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීමේ ද ආන්ඩුව යෙදී සිටී. සිය පොදු පන්ති අවශ්‍යතා හා මූලික අයිතීන් ආරක්ෂා කර ගැනීමට කම්කරු පන්තියට හැකි වන්නේ, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව මගින් පමනි.

සමස්තයක් ලෙස කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ, සංගත ප‍්‍රභූ පැලැන්තියේ ද ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ද ඒජන්තයා වන රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන සටනකට ය. පලමු පියවර වන්නේ ආන්ඩුව සමග මූලික මතභේදයක් නැති විරුද්ධ පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් මුලුමනින්ම බිඳී වෙන්වීමයි.

නිවෙක කම්කරුවන් තමන්ගේම ස්වාධීන සංවිධාන, එනම් තමන්ම තෝරා පත්කරගත් නියෝජිතයින් විසින් මෙහෙයවනු ලබන ක‍්‍රියාකාරී කමිටු, ගොඩනගා ගැනීම ද කම්කරුවන්ගේ අවශේෂ කොටස් වෙත හැරීම ද අවශ්‍ය වේ. මෙයට සාධාරන වැටුප් සඳහා වැඩ වර්ජනය කිරීමේ දී පොලිස් ප‍්‍රචන්ඩත්වයට මුහුන දී සිටින බංග්ලාදේශයේ, කාම්බෝජයේ හා අනෙකුත් රටවල කම්කරුවන් ද ඇතුලත්ය. සියල්ලන්ගේම වැටුප් හා ජීවන තත්වයන් පහතට ඇද දැමීම පිනිස ගෝලීය සමාගම් එක් රටක කම්කරුවන් අනෙකුත් රටවල කම්කරුවන්ට එරෙහිව පිහිටුවයි.

සෑම තැනකම කම්කරුවන් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සිය පන්ති සහෝදර සහෝදරියන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් වෙමින් අත්අඩංඟුවට ගෙන ඇති සියල්ලන්ම වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට හා අනෙකුත් කප්පාදු පියවරයන්ට එරෙහිව පොදු අරගලයක් වර්ධනය කල යුතුය. සසප මෙම අරගලය ගෙනයාම සඳහා නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ට සිය පූර්න සහාය ලබාදෙන බවට පොරොන්දු වෙයි.

අන් සියල්ලටමත් වඩා, පැහැදිලි දේශපාලන ඉදිරිදර්ශනයක් හා කි‍්‍රයාමාර්ගයක් අවශ්‍ය ය. ශිෂ්ඨ සම්පන්න වැටුප් හා මනා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සියලු කම්කරුවන්ගේ මූලික අයිතියකි. එහෙත් ධනවාදය යටතේ, වැඩ කරන ජනතාවගේ අති මූලික අවශ්‍යතා ධනවත් අතලොස්සකගේ ලාභ අවශ්‍යතාවන්ට යටත් කෙරෙයි.

කම්කරුවන් සිය ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීමට හා වැඩි දියුනු කර ගැනීමට සමත් වන්නේ. සමාජවාදී පිලිවෙත්වල පදනම මත ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීම මගින් පමනි. එය, ජාත්‍යන්තරව සමාජවාදය සඳහා ගෙන යන සටනේ කොටසක් ලෙස කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා අරගලය ඉල්ලා සිටී. අපගේ කි‍්‍රයාමාර්ගය අධ්‍යයනය කොට අප පක්ෂයට බැඳී සමාජවාදය සඳහා සටන් වදිනු පිනිස අවශ්‍ය මහජන පක්ෂය ලෙස එය ගොඩනගන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.