ලිබියාවේ යුද්ධය හා යුරෝපීය සංගමයේ අර්බුදය

The war in Libya and the crisis of the European Union

By Peter Schwarz,1 June 2011

2011 පාස්කු නිවාඩුවේ දී සමාජවාදී සමානතා පක්ෂයේ ජර්මානු ශාඛාව පැවැත්වූ සම්මන්ත‍්‍රනයක දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ෂ්වාස් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් පදනම් කරගෙන මතු දැක්වෙන කොටස් තුනකින් යුත් ලිපි පෙ‍ලේ අවසාන කොටසයි. පලමු වන කොටස දෙවැනි කොටස පිලිවෙලින් පලවිය

3 කොටස

ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ ප‍්‍රතිවිපාක

දැන් වන තෙක් ඉදිරිපත් කල සංඛ්‍යා 2008 මූල්‍ය අර්බුදය හටගැනීමට පෙරාතු කාලයට අදාලය. මෙම අර්බුදය ඓතිහාසික සන්ධිස්ථානයකි. මතුපිටට යටින් ඒකරාශීවූ සියලු ආර්ථික ප‍්‍රතිවිරෝධයෝ විප්ලවවාදී ඇඟවුම් සහිත ප‍්‍රධාන දේශපාලන හා ආර්ථික කම්පනයන්ට තුඩු දෙමින් එලිමහනට කඩාවැදී ඇත. පලමු හා දෙවන ලෝක සංග‍්‍රාමයන්ට පෙරාතු අවධියේ මෙන්ම අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් වැඩීයාම කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයක් සමඟ අත්වැල් බැඳගෙන තිබේ.

අර්බුදයට පූර්වයෙන් පවා කම්කරු පන්තියේ ජීවන තත්වයන් එකතැන පල්වෙමින් ද සමාජ ආරක්ෂන පද්ධතීන් ක‍්‍රමානුකූලව ඉවත් කෙරෙමින් ද තිබුනි. නැගෙනහිර යුරෝපයේදී ධනවාදය පුනස්ථාපනය කිරීම විනාශකාරී ප‍්‍රතිපල අත්කර දුන්නේ ය. සාපේක්ෂව කාර්යක්ෂම අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ක‍්‍රමයන්හි කිසිවක් ඉතිරිව ඇත්තේ නැත. මිල මට්ටම් ඉක්මනින්ම බටහිර යුරෝපයේ තත්වයන්ට හැඩ ගැසුනු නමුත් කම්කරුවන්ට හා සේවකයින්ට සමහර අවස්ථාවල ගෙවනු ලැබුවේ බටහිර ගෙවූ වැටුපෙන් දහයෙන් පංගුවකි.

2006 වසරේ සේවකයින් දහයක් හෝ වැඩි ගනනක් සේවයේ යෙදවූ සමාගමක පූර්න කාලීන සේවකයෙක් වාර්ෂිකව ලැබූ සාමාන්‍ය ආදායම පහත වගුවෙන් පෙන්නුම් කෙරේ. වැටුප් ඩෙන්මාර්කයේ යුරෝ 43,000 සිට බල්ගේරියාවේ යුරෝ 1,300 දක්වා පරාසයක විය. ඒ අනුව බල්ගේරියා‍වේ කම්කරුවෙක් ඉපයුවේ සිය ඩෙන්මාර්ක සගයාට වඩා විසි ගුනයකින් අඩු මුදලකි. ග‍්‍රීසිය හා ස්පාඤ්ඤය ඒ අතර මැද යුරෝ 20,000ක් විය. මෙය ඩෙන්මාර්කයේ වැටුපෙන් අඩකටත් වඩා අඩු ප‍්‍රමානයකි. එහෙත් තවමත් බල්ගේරියාවේ වැටුපෙන් දහ ගුනයකටත් වැඩි විය.

2006 වසරේ වාර්ෂික ඉපැයීම් (සේවකයින් දහයක් හෝ ඊට වැඩි ව්‍යවසායන්)

ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් පසුව කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රහාර විනාශකාරී රූපාකාරයන් ගෙන ඇත. සිය සමපේක්ෂනාත්මක අලාභ ආවරනය කර ගැනීම පිනිස බැංකු වලට ලබාදුන් ටි‍්‍රලියන ගනන් අරමුදල් දැන් කම්කරු පන්තියේ වියදමෙන් පියවාගනු ලබයි. මෙම ක‍්‍රියාවලිය යුරෝපයේ වාටියෙන් පටන් ගෙන මධ්‍යය කරා ගමන්කොට ඇත.

හංගේරියාව, රුමේනියාව, ග‍්‍රීසිය, අයර්ලන්තය හා පෘතුගාලය ජනගහනයේ ජීවන තත්වයන් සියයට 20 සිට 30 දක්වා පහත හෙලමින් ද වැට් බදු වැඩිකිරීම නිසා අහස උසට ගොස් තිබෙන මිල ගනන් හා රැකියා හා මූල්‍ය ප‍්‍රතිපාදන කැපීමත් සමග රාජ්‍ය අංශය විනාශ කිරීම වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට දැනටමත් ගොදුරුවී ඇත. දැනටමත් මෙම දුප්පත් රටවල ජීවිතය සත්තකින්ම නොදැරිය හැකි තැනට වැටී ඇත.

ග‍්‍රීසියේ පැපැන්ඩි‍්‍රයෝ ආන්ඩුව දැනටමත් ජනගහනයේ ජීවන තත්වයන් සියයට 30න් පහත හෙලන ලද පලමු කප්පාදු වැඩසටහන් දෙකෙන් පසුව තවත් එකක් දැන් නිවේදනය කර ඇත. යුරෝපීය සංගමයෙන් හා ජාමූඅ න් මූල්‍ය ආධාර ඉල්ලා සිටීමෙන් පසුව පෘතුගාලය එවැනිම කප්පාදු වැඩසටහනක් ක‍්‍රියාවට දැමීමට නියමිතව ඇත.

මහා බි‍්‍රතාන්‍යයේ කැමරොන් ආන්ඩුව බි‍්‍රතාන්‍යයේ කම්කරු පන්තිය භුක්ති විඳින රජයේ සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය හා අනෙක් දේ විනාශ කිරීමේ කප්පාදු වැඩසටහනක් සම්මත කර තිබේ. ජර්මනියේ හා ප‍්‍රන්සයේ සමාජ ප‍්‍රහාර දැනට යොමුකර ඇත්තේ විශ‍්‍රාම වයස් සීමාව දිර්ග කිරීම, ශ‍්‍රම වෙලඳපොලේ නම්‍යතාවය වැඩි කිරීම, ශූභසාධන ප‍්‍රතිලාභ හිමියන්ට යොදන පීඩනය දැඩි කිරීම හා අඩු වැටුප් ශ‍්‍රමය පුලුල් කිරීම වෙතය. එහෙත් එය අවසානය නොවනු ඇත.

සුන්බුන්ව වියැකී ගිය අසංවිධානාත්මක හා බෙදීගිය පිස්සන් කොටුවක් ලෙස 1923දී ට්‍රොට්ස්කි යුරෝපය විස්තර කලේය. අද මෙම ප‍්‍රවනතා යලි වතාවක් ආධිපත්‍ය දැරීමට පටන් ගෙන ඇත. දුප්පත් රටවල් ලාභ නය වෙත පිවිසීමේ පහසුකම් ලබමින් අඩුම තරමින් ආර්ථික ධනවත්කම පිලිබඳ හැඟීමක් නිර්මානය කල අතර, ජර්මනියේ නිර්යාත ආර්ථිකය යුරෝවෙන් වාසි සලසාගත් ඒ කාලය අවසන්වී ඇත. පාලක පන්තිය ඔවුන්ගේ එක්සත් යුරෝපයක් පිලිබඳ ව්‍යාපෘතියට පිටුපස හරවමින් ආක‍්‍රමනකාරී ලෙස ජාතික අවශ්‍යතා අනුව යමින් සිටියි. මෙම වර්ධනයේ ප‍්‍රතිපලයක් ලෙස ආර්ථික පරිහානියේ හා වැඩෙන මිලිටරිකරනයේ වැය කම්කරු පන්තිය මත පටවනු ලැබේ.

ජර්මනියේ හා අනෙකුත් උතුරු යුරෝපීය රටවල් තුල යුරෝව වියදම් අධිකය. තනි ව්‍යවහාර මුදල අහෝසි කල යුතුය. ඉක්මනින්ම එසේ කලොත් වඩා හොඳය යන හඬ මතුකරන සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ. තනි ව්‍යවහාර මුදල උතුරු යුරෝපීය රටවල් කිහිපයකට සීමාකල යුතුය යන සේව් අවර් මනි (අපගේ මුදල් රැක ගනිමු) යන පොත ලිවූ හෑන්ස් ඔලාෆ් හෙන්කල් වැනි හුදෙකලා පුද්ගලයින් ස්වල්ප දෙනෙකුගේ දෘෂ්ටි ආස්ථානයට අනුග‍්‍රහය පලවෙමින් තිබේ. ප‍්‍රන්සයේ ට්රූ ෆින්ස් නැතිනම් ජාතික පෙරමුන වැනි යුරෝපීය සංගමයට මෙන්ම යුරෝවට ද විරුද්ධව උද්ඝෝෂනයේ යෙදුනු ජනතාවාදී දක්ෂිනංශික පක්ෂ, මාධ්‍යයේ ද සහයෝගය ඇතිව සහාය දිනාගනිමින් සිටියි. ජර්මනියේ හෙන්කල් හා තිලෝ සරසින් වැනි දක්ෂිනාංශික ජනතාවාදීන් ට නොයෙකුත් කතා මන්ඩප තුල ප‍්‍රසිද්ධ වේදිකා ලබාදී ඇත.

ජර්මනිය හා ප‍්‍රන්සය අතර යුරෝපීය මූල්‍ය ස්ථායිකරන යාන්ත‍්‍රනයේ ආකෘතිය අරභයා මූලික ගැටුම් වර්ධනය වෙමින් තිබේ. ගී‍්‍රසියට පෞද්ගලික නය පහසුකම් කපාහල හැකි හා එරට බැංකු ක්ෂේත‍්‍රයේ බිඳ වැටීමකට තුඩුදිය හැකි නය ප‍්‍රතිව්‍යුහකරන ව්‍යායාමයකට ජර්මනිය කැමැත්ත දක්වන අතර තමන්ට වල කැපෙනු ඇතැයි යන බිය නිසා ප‍්‍රන්සය එවැන්නක් සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරයි.

යුරෝව පිලිකෙව් කිරීම ආර්ථික හා විදේශ පිලිවෙත්වල ප‍්‍රති දිශානුගතවීමක් සමඟ අත්වැල් බැඳගෙන ඇත. මේ වනතෙක් සම්පූර්න දත්ත ලබාගත නොහැකිවී ඇති නමුත් සමහර ප‍්‍රවනතා දකින්නට පුලූවන.

2009දී ජර්මනියේ අපනයන ආර්ථික අර්බුදයේ ප‍්‍රතිපල වශයෙන් සියයට 19න් පහත වැටුනි. 2010දී එරට මෙම අලාභ පියවා ගත්තේ, 2008 සාපේක්ෂව වාර්තාගත සංඛ්‍යා අත්පත් කර ගනිමිනි. එහෙත් යුරෝ කලාපයට යැවුනු අපනයන වැඩිවූයේ සියයට 14න් පමනි. එය අර්බුදයට පෙරාතු කාලයේ මට්ටමට වඩා පහතින් පැවතුනි. මේ අතර චීනයට කල ජර්මානු අපනයන සියයට 44න් ද රුසියාවට සියයට 28න් ද ඉහල ගියේය.

ජර්මානු නිර්යාත කෙරෙහි මූල්‍ය අර්බුදයේ බලපෑම

පූර්ව වර්ෂයට සාපේක්ෂව වැඩිවීම හා අඩුවීම

ජර්මනිය සිය සෘජු විදේශ ආයෝජනවල (එෆ්ඩීඅයි) පරාසය ද යුරෝපයෙන් එපිටට පුලුල් කර ගෙන ඇත. මෙය ලිබියාවට එරෙහි යුද්ධය මත ඇතිව තිබෙන ගැටුම් වලට එක් හේතුවකි. මෙම යුද්ධය කෙරෙන්නේ මූලිකව ම තෙල් සඳහා වන නමුත් අපනයන වෙලඳපොලවල් ප‍්‍රාග්ධන අපනයන හා සමස්ත අරාබි කලාපයේම විප්ලව මැඩීම ද නොවැදගත් නොවේ. ප‍්‍රන්සය, බි‍්‍රතාන්‍ය හා ඉතාලිය යලිත් ආක‍්‍රමනකාරී යටත් විජිත පිලිවෙතකට මාරුවීම දැකගත යුත්තේ මෙම සන්දර්භය තුලය. යුරෝපා සංගමය තුල අර්බුදය හමුවේ අතීතයේදී ජර්මානු එදිරිවාදියා මත ඔවුන්ට ප‍්‍රමුඛත්වය හිමිකර දුන් සම්ප‍්‍රදායික ක‍්‍රමෝපායන් කරා ඔවුහු ප‍්‍රතිවර්තනය වෙති.

2009 මිලිටරි පිරිවැය

මිලිටරි කාරනා වලදී බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය තවමත් ප‍්‍රමුඛත්වය දරයි. ජර්මනිය මිලිටරි පිරිවැය සඳහා යොදවන්නේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.3ක් පමනි. ප‍්‍රන්සය හා බි‍්‍රතාන්‍ය සියයට 1.6ක් හා 2.8ක් වැය කරති. ඒ අනුව දෙරටේ ඒකාබද්ධ පිරිවැය ජර්මනිය මෙන් තුන් ගුනයකටත් වැඩිය. කෙසේ වෙතත් ඒ දෙරටම එක්සත් ජනපදය හමුවේ අඟුටු මිට්ටන් බවට පත් වෙයි. එරට මිලිටරි පිරිවැය වෙනුවෙන් දදේනි සියයට 5ක් පමන වැය කරයි.

සියලු පැති වලින් "හුදෙකලාවී” ඇති බව ජර්මනියට හැඟී ගිය 1890 මෙන්ම එරට තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට වෙනත් මාධ්‍ය හා මාර්ග සොයනු ඇත. ජර්මන් හමුදාවේ වැඩිවන ක‍්‍රියාකාරකම් හමුවේ විදෙස් පිලිවෙතේ ප‍්‍රති දිශානුගත වීමක් අනිවාර්ය වන්නේය. කෙසේ වුවත් අරමුනු දෙකම අභ්‍යන්තර ගැටුම් හා අර්බුද වලින් තොරව පෙරට ගෙන යා නොහැකිය.

යුරෝපයේ දේශපාලන අර්බුදය

යුරෝපය තුල වෙනස්කම් සියලු ධනේශ්වර පක්ෂ තුල ගැඹුරු අර්බුදයකට තුඩුදී ඇත. මධ්‍යම පන්තීන් කැඩී යද්දී ඊනියා "මහජන පක්ෂවල” සමාජ පදනම් බිඳ වැටෙමින් තිබෙන අතර විදෙස් හා ආර්ථික පිලිවෙත්වල ප‍්‍රති දිශානුගතවීම අනිවාර්යයෙන්ම දේශපාලන ආතතීන්ට තුඩුදෙයි. ප‍්‍රන්සයේ, ජර්මනියේ හා ඉතාලියේ කොන්සවේටිව් (තත්වාරක්ෂක) ආන්ඩු සියල්ල ගැඹුරු අර්බුදයක ගිලී ඇත. මැතිවරන ආසන්න වී තිබිය දී ඒ කිසිවකට යලි බලයට පත් නොවිය හැකි බව පෙනෙන්නට තිබේ.

මේ වන තෙක්ම පාලක පන්තීන්ට මෙම අර්බුදය සියතට ගත හැකිව ඇත්තේ කම්කරු පන්තියට ස්වාධීන නායකත්වයක් හෝ දේශපාලන ඉදිරිදර්ශනයක් නොතිබීම නිසා ය. 1990 ගනන් මැද භාගයේ පටන් ඔවුන් සිය පාලනය සුරක්ෂිත කර ගැනීමේ දී ප‍්‍රධානකොටම වාරු වී සිටියේ මහා බි‍්‍රතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්ගේ නව කම්කරු පක්ෂය, ජර්මනියේ ෂ්රඩර් හා ෆිෂර්ගේ එස්පීඩී හා හරිත පක්ෂ සභාගය, ප‍්‍රන්සයේ ජොස්පින් පාලනය හා ඉතාලියේ ප්‍රෝඩි ආන්ඩුව වැනි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිති මතය. මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රතිපලයක් ලෙස සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් විහින් ම අපකීර්තියට පත්වූ අතර යලි ගොඩආවේ නැත.

එතැන් සිට ධනේශ්වරය කම්කරු පන්තිය පාලනයේ තබාගැනීමටත්, ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් වැලැක්වීම සඳහාත්, වඩ වඩාත් හිටපු වම්මුන් හා සුලු ධනේශ්වර බලවේගයන් වෙත හැරුනහ. ප‍්‍රන්ස පැබ්ලෝවාදීහු සමාජවාදී පක්ෂයේ පරිහානියෙන් වාසි ලැබ මැතිවරනවල දී සැලකිය යුතු සාර්ථකත්වයන් අත්කර ගැනීමට සමත් වූ අතර මෙම ක‍්‍රියාවලියේදී ප‍්‍රධාන භූමිකාවක් ඉටු කලහ. ඔවුන් සිය "සාර්ථකත්වයට” ප‍්‍රතිචාර දැක්වූයේ, ට්‍රොට්ස්කිවාදය සමග සෑම විධිමත් සම්බන්ධයකින්ම කැඩී වෙන් වෙමින් කවර කලෙකටත් වඩා විවෘත ධනපති හා පාර්ලිමේන්තුවාදී නව ධනේශ්වර විරෝධී (එන්පීඒ) පක්ෂය පිහිටුවීම මගින්ය. එන්පීඒ සාකෝසිට එරෙහි වැඩවර්ජන ව්‍යාපාරය මැඩීමේ දී වැදගත් භූමිකාවක් ඉටුකල අතර දැන් ලිබියාවට එරෙහි නේටෝ යුද්ධය යුක්ති සහගත කරයි.

මේ අතර ධනේශ්වර දේශපාලනයේ කුනුවීම දක්ෂිනාංශික හා ෆැසිස්ට් ව්‍යාපාරවල වැඩීමට තෝතැන්නක් වන මට්ටමට ලඟාවී ඇත. ප‍්‍රන්සයේ ජාතික පෙරමුනට සාකෝසිගේ යූඑම්පීයට වඩා ඡන්ද ප‍්‍රමානයක් ලැබුනි. ෆින්ලන්තයේ ට්රූ ෆින්ස්, අලුත්ම මැතිවරනයේදී මුලු ඡන්ද වලින් පහෙන් එකක් ලබා ගත්තේය. හංගේරියාවේ පාලක ෆිඩෙස් පක්ෂය හෝති තන්ත‍්‍රයේ ඒකාධිපති සම්ප‍්‍රදායන් පනගන්වමින් සිටියි. ඉතාලියේ, ඔස්ටි‍්‍රයාවේ, ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ හා ස්විට්සර්ලන්තයේ දක්ෂිනාංශික ජනතාවාදී පක්ෂ ද වැදගත් ක‍්‍රියා කලාපයක් ඉටුකරති.

ඔවුන් සිය සාර්ථකත්වය අත් කර ගෙන ඇත්තේ ධනේශ්වර "වම” හා "අන්ත වම” වඩ වඩාත් දකුනට මාරුවීම හා සමාජ නොසංසුන්තාවයේ වැඩෙන රැල්ල ගසාකෑමට අන්ත දක්ෂිනාශයට ඉඩ සලසා තිබීමේ කාරනය නිසාවෙනි. නිදසුනක් ලෙස පසුගිය ජනවාරියේදී සිය පියා වන ජීන් මෙරී ලේ පෙන් වෙතින් ජාතික පෙරමුනේ නායකත්වය භාරගත් මැරීන් ලේ පෙන් සිය උත්සුකය සමාජ ප‍්‍රශ්න වෙත මාරුකර ඇති අතර සමහර මත විමසුම් වලට අනුව ඇතැම් කම්කරු කොටස්වල පවා සහාය දිනාගෙන සිටියි.

ඒ සමගම අන්ත දක්ෂිනාංශය මාධ්‍ය හා සම්ප‍්‍රදායික ධනේශ්වර පක්ෂ වල සැලකිය යුතු සහායක් ලබාගෙන ඇත. ඔවුන් එවැනි ව්‍යාපාර වලට ඉඩ සලසා ඇත්තේ ඔවුන්ගේ විදේශික විරෝධයට අනුගත වීම මගින් හෝ සෘජු සම්බන්ධතා ගොඩනඟා ගැනීමෙනි. ප‍්‍රන්සයේ දී ඉස්ලාමික භීතිකාව හා විදේශික භීතිකාව ආන්ඩුවේ නිල ප‍්‍රතිපත්තියයි: පාසැල් තුල ලේන්සු වලින් හිස ආවරනය කිරීම හා මුලු සිරුර ම වසන මුස්ලිම් කාන්තා ඇඳුමක් වන බුර්කා පැලඳීම තහනම් කිරීම වැනි පියවරයන්ට ඊනියා "වම්මු” අනෙක් අතට සහයෝගය දැක්වූහ පාලක යූඑම්පීයේ කොටසක් ජාතික පෙරමුන සමග මැතිවරන සන්ධනයකට උඩගෙඩි දෙති.

අන්ත දක්ෂිනාංශිකයින්ට ලැබී ඇති මෙම සහයෝගය කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. කම්කරු පන්තිය මැඩලීම සඳහා ෆැසිස්ට් ක‍්‍රමවේදයන් යොදාගැනීමේ ධනපති පන්තියේ කැමැත්ත වැඩි වෙමින් තිබේ.

ජර්මනියේ ද විදේශික භීතිකාව හා වර්ගවාදය වගාකිරීමේ අරමුන සහිත හිතාමතාම ගෙනයන උද්ඝෝෂන පවතී එක් නිදසුනක් නම්, මාධ්‍ය විසින් තියෝ සරසින්ට ඔහුගේ වර්ගවාදී දහජරාව වැගිරීම පිනිස පුලුල් වේදිකාවක් සපයා තිබීම යි. සරසින්ට ලැබෙන සහයෝගයේ ප‍්‍රධාන මූලාශ‍්‍රය වන්නේ මධ්‍යම පන්තියේ ධනවත් කොටසයි. එහෙත් වර්තමානයේ තවත් දේශපාලන වර්ධනයක් එනම් හරිත පක්ෂයේ නැඟීම ප‍්‍රමුඛත්වයට පැමින තිබේ.

හරිතයින්ගේ දේශපාලන මුල් ඇදී ඇත්තේ හැට ගනන් අග හා හැත්තෑ ගනන් තුලය. මේ අනුව 1990 ගනන් අග භාගය වන විටත් හරිතයින් විවෘත අධිරාජ්‍යවාදී පක්ෂයක් බවට පත්ව තිබුනේ වී නමුත් ඔවුන් හා ප‍්‍රන්ස වම්මුන් අතර සමාන්තරයන් දැකිය හැකිය. ඒ වන විට ආන්ඩු කරවන පක්ෂයක් ලෙස ඔවුන් තමන්ගේම පක්ෂයේ විරෝධය හමුවේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී චාන්සලර් ගේහාඩ් ෂ්රඩර්ට සහාය දෙමින් 2010 න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමේ දී හා ජර්මන් මිලිටරිවාදය නඟා සිටුවීමේ දී තීරනාත්මක භූමිකාවක් ඉටුකර තිබුනි. දැන් අනෙකුත් සියලු ධනේශ්වර පක්ෂවල පොදු අර්බුදයක තත්වය යටතේ කම්කරු පනත්තියට එරෙහිව සුලු ධනේශ්වර ස්ථරයන් මෙහෙයවීම සඳහා ඔවුන් අවශ්‍යව තිබේ. පරිසර විද්‍යාවේ කෑලිබෑලි අනන්‍යතා හා විකල්ප දේශපාලනය දැඩි මූල්‍ය කප්පාදු සමඟ මාට්ටු කර ඇති ඔවුන්ගේ ක‍්‍රියාමාර්ගයෙහි හරය එයයි.

සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

යුරෝපීය අර්බුදයේ වැඩිදියුනු තත්වය සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි යුරෝපීය සම චින්තකයින් හමුවට ප‍්‍රධාන දේශපාලන අභියෝග මුනගස්වා තිබේ. අර්බුදයේ ඊලඟ අවධිය කෙසේ වර්ධනය වනු ඇත්දැයි හරියට ම පැවසීම දුෂ්කර ය. කෙසේ වෙතත් මෙම අර්බුදය ගැඹුරු වෙමින් දිග් ගැස්සුනු කාල පරිච්ඡේදයක් පුරාවට පවතිනු ඇති බව පැවසිය හැකිය.

ඔවුන්ගේ පැරනි සංවිධාන පිටුපස සිට පිහියෙන් අනිනු ලැබ තිබිය දී පවා කම්කරු පන්තිය තම සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර ප‍්‍රතිරෝධයකින් තොරව පිලිගනු නැත. මෑත මාසවල විරෝධතා හා කම්කරු අරගලයන්හි සැලකිය යුතු වර්ධනයක් අප අත්දැක තිබේ. ටියුනීසියාවේ හා ඊජිප්තුවේ විප්ලවයන් මෙන්ම එක්සත් ජනපදය තුල පන්ති අරගලය පුනර්ජීවනය වීම ජාත්‍යන්තර වැදගත් කමක් උසුලයි.

මෙම අරගලයන්ට නායකත්වය හා ඉදිරිදර්ශනය සම්පාදනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හා එහි ජර්මානු ශාඛාව වන සසපයටයි. පසුගිය විසිපස් වසර පුරා අප කර ඇති වැඩ කටයුතු මෙම කර්තව්‍ය සඳහා අපව සූදානම් කර ඇත.

1985-86 කාලයේ දී අපි ජාත්‍යන්තරවාදය වෙතින් ඉවතට ස්ටැලින්වාදය වෘත්තීය සමිති නිලධරය හා සුලු ධනපති ජාතිකවාදය දෙසට මාරුවූ බි‍්‍රතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ භ‍්‍රෂ්ටයින්ගෙන් බිඳී වෙන් වුනෙමු. මෙම භේදය නොවන්නට අද අප ද සිටිනු ඇත්තේ වාම පක්ෂ කඳවුරේය. එම කාලයේ පටන් අපි වෘත්තීය සමිති ජාතික විමුක්ති ව්‍යාපාර පිලිබඳ අපගේ දෘෂ්ටීන් වර්ධනය කර විස්තාරනය කරමින් සසප පිහිටුවා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගොඩනැඟුවෙමු.

වාම පක්ෂයටත් ප‍්‍රන්ස එන්පීඒටත් එරෙහි අපගේ අරගලයන් ද හොර රහසේ ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ දෘෂ්ටිවාදය අපගේ ව්‍යාපාරය තුලට රිංගවීමේ උත්සාහයන්ට එරෙහි විවාදත් වත්මන් තත්වය සඳහා දේශපාලනිකව හා දෘෂ්ටිමය වශයෙන් අප සූදානම් කලේය. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය "සමාජවාදය සඳහා අද සටනට බසිනු” යන ආදර්ශ පාඨය යටතේ මෑතක දී පවත්වන ලද සාර්ථක සම්මන්ත‍්‍රන අපගේ ක‍්‍රියාමාර්ගය කම්කරු පන්තිය අතර රැව් දෙන්නට පටන් ගෙන ඇති බව පෙන්නුම් කලේය. යුරෝපය තුල ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීම ඉල්ලා සිටින්නේ ව්‍යාජ වම්මුන්ට හා හරිත පක්ෂය වැනි සුලු ධනපති පක්ෂ වලට එරෙහිව ස්ථිරසාර දේශපාලන හා දෘෂ්ටිමය අරගලයක් මෙන්ම කම්කරු පන්තිය තුල ආක‍්‍රමනශීලී මැදිහත් වීමකි. මෙම කර්තව්‍යයන් දෙක නොවෙන්කල හැකි සේ එකිනෙකට සම්බන්ධය.

මේ සම්බන්ධයෙන් සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත බර්ලින් ප‍්‍රාන්ත මැතිවරනය තුල අපගේ මැදිහත් වීම වැදගත් ක‍්‍රියා කලාපයක් ඉටු කරනු ඇත. බොහෝ අංශ වලින් යුරෝපයේ සියලු සමාජ හා දේශපාලන ප‍්‍රශ්නවල සංකේන්ද්‍රිත ප‍්‍රකාශනයක් බර්ලිනය තුල දැකිය හැක. නගරය විරැකියාවෙන් හා පහත් වැටුප් ශ‍්‍රමය මගින් අංගලක්ෂිත වෙයි. ධනේශ්වර කඳවුරෙහි හිටපු වම්මුන් සහාය දක්වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර හා වාම පක්ෂයේ සභාගයකට හරිතයින් මුහුන දෙයි. සීඩීයූ හා එෆ්ඩීපී කිසිදු වැදගත් භූමිකාවක් ඉටු නොකරයි.

අපගේ උද්ඝෝෂනය අවධානය යොමු කරන්නේ කඳවුරු දෙකට ම එරෙහිව ක‍්‍රමානුකූල දේශපාලන හා දෘෂ්ටිමය අරගලයක් සඳහා නව සාමාජිකයින් දිනාගෙන දේශපාලනිකව ඔවුන් පුහුනු කිරීම සඳහා ය.

අපි මෙම උද්ඝෝෂනය යුරෝපීය හා ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක පදනම මත මෙහෙයවන්නෙමු. යුරෝපීය සංගම් පාක්ෂිකයින්ටත් ඔවුන්ගේ විරුද්ධවාදී අන්ත දක්ෂිනාංශිකයින්ටත් එරෙහිව සටන් කිරීමේ දී එක්සත් ජනපදයේ සසප ඉදිරිදර්ශනය වැදගත් ක‍්‍රියා කලාපයක් ඉටු කරයි. කම්කරු පන්තියේ දෘෂ්ටි ආස්ථානයෙන් යුරෝපීය ආර්ථික සංගමය තීරනාත්මක ය. එහෙත් මෙම කාර්යය යුරෝපයේ බෙදීම් හා ගැටුම් ගැඹුරු කරන ධනේශ්වරයට හෝ එහි යුරෝපීය ආයතන වලට බාරදිය නොහැකිය. එය කම්කරු පන්තිය දේශපාලන බලය අල්ලා ගැනීම හා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් දියත් කිරීම සමග නොවෙන්කල හැකි පරිදි බැඳී ඇත.

1926 වසරේ ට්‍රොට්ස්කි "යුරෝපය හා ඇමරිකාව” නමැති ඔහුගේ කතාවේ දී මෙසේ ප‍්‍රකාශ කලේය: "විප්ලවය ප‍්‍රථමයෙන් හටගන්නේ කොතැනක වුවත්, එහි ලයමානය කුමක් වුවත්, එහි සමාජවාදි ප‍්‍රති නිර්මානයේ පලමු දියකර නොහැරිය හැකි කොන්දේසිය වන්නේ යුරෝපීය ආර්ථික ඒකාබද්ධතාවයි. යුරෝපය බෙදනු ලැබූ අය අවශ්‍යයෙන්ම පලවා හැර එක්සත් කිරීම සඳහා ද සමාජවාදී යුරෝපා එක්සත් ජනපදයක් නිර්මානය කිරීම සඳහා ද බෙදුනු යුරෝපයේ බලය අල්ලාගත යුතුයයි 1923දී කොමියුනිස්ට් ජාත්‍යන්තරය ප‍්‍රකාශ කලේය.”

අවසානයි